කාලීන සංවාද

සුරාව, චින්තන ධර්මදාස හා අජන්තා රණසිංහ

Off

පසුගිය දිනවල මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ මූලිකත්වයෙන් යුතුව මත්පැන් සම්බන්ධව කාලයක් තිස්සේ තිබුණු කාන්තාවන්ට වෙනස් ලෙස සලකන නීති වෙනස් කරන්නට පියවර ගැනුණා. එයට ජනාධිපතිවරයා මැදිහත් වී ඒ නීති සංශෝධන ආපසු හරවන ලද අතර, දැන් එය අධිකරණයට ගිය මානව හිමිකම් නඩුවක් වී තිබෙනවා.

මේ ප්‍රශ්නය කාන්තාවන්ට වෙනස් අන්දමින් සැලකීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ගැනීමෙන් ඒ නීති සංශෝධනය ආරක්ෂා කර ගන්නට අවශ්‍ය දේශපාලන ජවය ලබා ගත හැකි නිසා, එහි මත්පැන් පිළිබඳ කාරණය ඉස්මතු නො කළ යුතු බව තමයි මගේ අදහස වුණේ. මත්පැන් හැම තිස්සෙම සොඳුරු දෙයක් නෙමෙයි. මත්පැන් එක්ක රාජ්‍ය සූරාකෑම, දුප්පත්කම, ප්‍රචණ්ඩත්වය හා විශේෂයෙන් ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, දූෂණ සහ ලෙඩ රෝග සම්බන්ධනයි.

ඒ වුණාට මත් වීම පිළිබඳ චින්තන ධර්මදාස මතු කරන කාරණාත් නො සලකා හරින්නට බැහැ. ඔහු නීට්ෂෙ මෙසේ උපුටා දක්වනවා.

‘ආර්ට් පවතින්න නම්, මොකක් හරි විදිහක සෞන්දර්යාත්මක ක‍්‍රියාවලියක් සිද්ද වෙන්න නම් ශාරීරිකව පූර්ව සූදානමක් අවශ්‍යමයි. ඒ තමයි මත්වීම”
-ෆෙඩ්රික් නීට්ෂෙ-

“බොන සියල්ලන් කවියන් නොවුනත් කවියෙක් නම් බොන්නෙක් විය යුතුයි. ඒ බීමෙන්ම ජීවිතේ කෙලවා ගන්න අය නැතුව නෙමෙයි. ඒත් ඒක අරක්කුවල ප‍්‍රශ්නයකට වඩා පුද්ගලයා සම්බන්ධ ප‍්‍රශ්නයක්. අරක්කුවලින් නෙමෙයි ඕනම දේකින් ජීවිතේ කෙලවෙන්න පුළුවන්. කොටින්ම සීනි වලින් වුනත්. කෙලවා ගැනීම කියන්නෙම සාපේක්ෂ අදහසක්. කෙනෙකුට ජීවිතේ පුරුදු කරපු විදිහට දිගටම පුළුවන් තරම් කාලයක් ගත කිරීම මාර වෙන අතරෙදි තව කෙනෙකුට සුළු කාලයක් උපරිම නිදහසේ ජීවත් වෙන එක මාර වෙන්න පුළුවන්.”
– චින්තන ධර්මදාස

චින්තන කියන මේ කතාව එක්ක යන ගීයක් තමයි මම පහත දක්වන්නෙ.

“සේකර, පේ‍්‍රමකීර්ති, මීමන, මානවසිංහ, සයිමන් මේ හැමෝම බිව්වා. බීම අත් ඇරියට පස්සෙ ඒ සමහරුන්ගෙ ලිවීම පවා බාල වුනා. ඒ ගොල්ලො කරපු වැඩ අතර උසස්ම කෘතීන් බිහිවුනේ අරක්කු ඇසුර ඇතුලෙ.”

අජන්තා රණසිංහයන් විසින් ලියන ලද පහත සඳහන් පද පෙළ ඇතුළෙ ලොකුවට තේරුම් හොයන්න යන එකත් තේරුමක් නැහැ. හේතුව, මේ පද ම තමයි ගීය. එහි තියෙන්නෙ වෙන මොකවත් නෙමෙයි මත්බව ගැන ම තමයි. ඒක ලිව්වෙත් මත් වෙලා ම වෙන්න ඇති. ඒ නිසා ඒකෙ ඒ තරම් තර්කානුකූල දේවල් හොයන්න එපා. මත් වීම හා මත් වීමෙන් පසු හැසිරීම් කියන්නෙ ලොකු තර්කානුකූල දේවල් නෙමෙයි. විඳින්නට ඕනැ ඒ වචන, ඒ ගායනය හා සංගීතය. ඒක මත්පැන් වීදුරුවක් වගේ එක දෙයක්. ඒකෙ අරක්කු, සෝඩා, අයිස් කැට වෙන වෙන ම හොයන එක තේරුමක් නැහැ. ඒකෙන් මත් වෙන්න. එච්චරයි.

පෙමාතුර හැඟුම් – ඇගේ නෙත් කැළුම්
හද සංතානයෙ සදා සරණා අායාචනා සුසුම්
නුරාගික පැතුම් – පිපාසිත සිතුම්
මන මන්දිරයෙ කලාලය මත මී අමා බඳුන්

නියාලුව හදින් – පියා නෙතුපියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් – එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොයා එමි සිතින්

අරා සිරි යහන් – නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණින් – පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්

ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සනත් නන්දසිරි

හැබැයි, තව හුඟක් කට්ටියත් බිව්වා. බොනවා. බීලා පිස්සු කෙළිනවා. ගෑනුන්ට ගහනවා. කුහකකම් කරනවා. බීම වෙනුවෙන් සියල්ලම පාවාත් දෙනවා. බොන හැම එකාම සොඳුරු මිනිසුන් නෙමෙයි. බිව්ව පලියට හැම එකා ම රසවත් වෙන්නෙ නැහැ.

http://www.w3lanka.com/2018/01/blog-post_30.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල