කාලීන සංවාද

අන්න ගන්නවානම් මළ ගෙවල් ! Not the length but the depth of life what matters..

0

සංසාර ගමන කෙසේ වෙතත් මේ කොලොම්පුරේත් ඉන් ඔබ්බටත් දුව දුව ජිවිතේ හොයන මේ ගමනේදීම අපිට හමුවෙන විවධ පුද්ගලයින් හා ඔවුන්ගේ චර්යා අධ්‍යයනය කරන එක ආයේ අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕනි නැති මගේ එක්තරා විනෝදාංශයක්.. යෙදිලා හිටි හා ඉන්න රස්සාවල හැටියට රට පුරාම ඇවිදින්න ලැබීමත් නා නා ප්‍රකාර මිනිසුන් ඇසුරු කරන්න ලැබීමත් නිසා මේ විනෝදාංශය ලේසියන් ඉවරයක් වෙන එකකුත් නෙවෙයි..

මේ සති අන්තයේ යෙදුණු කටයුතු දෙකක් නිසා කොළඹින් පිට නොයා ඉන්න කලින්ම තීරණය කරලා තිබුනයින් තවදුරටත් මිත්‍රද්‍රෝහියෙක් නොවී තරුරසිගේ අලුත් නවකතාව ‘දේශද්‍රෝහියා ගේ නිර්මල හෘදය’ ගැන කතාබහට සෙනසුරාදා හවස්වරුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයට ගොඩ වෙලා එන්නත් බෝනස් අවස්ථාවක් ලැබුන.. පුළුවන් අය එතැනදී මුණ ගැහෙමු.

තරුරසී ගේ වැඩේ ගැන විස්තරේ..

සති අන්තයේ යෙදුන ප්‍රධාන කටයුත්ත මගුලක්.. මනමාලයට මගේ වයස.. ඒ කියන්නේ හරිනම් ජිවිතාබෝධය ලැබෙන්න ඕනි වයස.. ඒ උනාට මූ අමාරුවේ වැටෙන්න තීරණය කරලා.. ඒක උගේ කැමැත්ත කියමුකෝ.. වෙඩිම ගන්නේ කොළඹ තරු හෝටලේක.. කෑම පිඟානක් අස්ප ගානක් ලු.. ඒක නිසා ඉන්වයිට් කරනකොට මුලින්ම කියුවේ ‘මචං බැචාලා විතරයි.. ෆැමිලි එක්ක පස්සේ සෙට් වෙමු’ කියල.. ෆැමිලි එක්ක එන්න ගත්තොත් එකා හතර පහ වෙලා ඉන්න එකේ ඌට ඇඳන් ඉන්න කලිසමත් උකස් තියන්න වෙනවා.. ඌ නම් බලෙන් දා ගන්න ලෙඩක් නිසා ඌට වෙන අලාභය කෙසේ වෙතත් ඔතනට පවුල දක්කන්න ගියොත් අපිට වෙන අපහසුතා? හම්මේ ඉතීම් ඕනිම නෑ.. කොහොම හරි උගේ රෙස්ට්‍රික්ටඩ් ඉන්විටේෂන් එක නිසා අපේ සතුට උතුරා ගිහිං තමයි දෙවෙනි ඉවෙන්ට් එක සෙට් උනේ.. ඒ කියන්නේ ඉරිදා වැඩේට බැචා ල ඔක්කොම එන නිසා අපි තීරණය කරා සෙනසුරාද දවල් ඉඳලම වෙඩිම සමරන්න.. අන්න එහෙමයි අපි.. කොහොමත් වෙඩිමට කියල අපිට විශේෂයෙන් කරන්න දෙයක් නැති එකේ (සර්විස් ඉන්න උන් නම් archsword වත් ගහයි) අපේ අදහස කලින් දවසේ ඉඳල සප්පායම් වෙලා එතන ගිහින් එක බත් පිඟාන දෙන්න තුන්දෙනා ගානේ කාල අරුගේ බර ටිකක් හෑල්ලු කරන්න.. හරි.. කියන්න ගියේ වෙඩිමක් ගැන නෙවෙයිනේ.. ඔයිට හාත්පසින්ම වෙනස් ‘අවවෙඩිමක්’ ගැන..

නේවි වෙඩිමක්..

පෙරේදා රෑ.. ඔය මගුල සහ ගෙට් එක ගැනම කතා කරන්න මගේ බැචෙකුට කෝල් එකක් දුන්න.. මම කතා කරනකොට ඌ හිටියේ නුවර ඉස්පිරිතාලේ.. ‘මචං වයිෆ් ගේ අම්ම ඇඩ්මිට් කලා.. ලියුකේමියාව’ ඌ කියුව.. ‘අහ.. සොරි මචං.. දැන් මොකද? මොකක් හරි උදව්වක් ඕනි වෙනවද? දන්නා අඳුනන කෙනෙක් සෙට් කර ගනිමුද?’ මම ඇහුව.. ‘නෑ මචං.. අවශ්‍ය ඔක්කොම ඉස්පිරිතාලෙන් වෙනවනේ.. අවුලක් නෑ.. අපි බලමු’ ඌ කියුවම මම හෙටත් කෝල් එකක් දෙන්නම් මොනවා හරි ඕනේ කමක් උනොත් කතා කරපං කියල ෆෝන් එක කට් කරා..

ඊයේ රෑ.. වැඩ ඉවරවෙලා කාමරේට ගිහිං නිදහස්වෙලා රෑ නවයට විතර මම ආපහු කෝල් එකක් ගත්ත..

‘මචං අම්මට කොහොමද?’

‘ආ.. අම්ම නැති උනා මචං..’

‘ඔහ්….. දැන් මොකද වෙන්නේ කොහෙද උඹ ඉන්නේ?’ මට වෙන අහන්න දෙයක් කියන්න දෙයක් එක පාරට ඔලුවට ආවේ නෑ..

‘ම්ම්ම්.. අපි අදම අවසන් කටයුතු කරා මචං.. අම්මත් කලින්ම කියල තිබ්බේ පැය විසි හතරක් යන්න කලින් වැඩ කරන්න කියල.. ඊයේ රෑ උඹ කතා කරලා ටික වෙලාවකින්..රෑ එකොළහට විතර අම්ම නැති උනේ.. වයිෆුයි එයාගේ අක්කයි දෙන්නම අම්ම නැති වෙනකොටත් ළඟ හිටියා.. පස්සේ අද උදේම මරණ සහතිකේ එහෙම අරගන්න හොස්පිටල් එකෙන්ම ගොඩක් උදව් කරා.. දුර ඉන්න නෑයින්ට එන්න එපා කියලම පණිවුඩේ කියුව.. කොළඹ ඉන්න එක පුංචි අම්ම කෙනෙක් විතරක් ආවා.. මහයියාවත් හවස රිසර්ව් කර ගන්න පුළුවන් උනා.. අපි ටික වෙලාවක් මල් ශාලාවේම මිනිය තියාගෙන ඉඳල හවස අවසන් කටයුතු ඉවර කරා..’

උගේ දීර්ඝ විස්තරේ ඉවර වෙනකොට මම මගේ උත්තරේ හදාගෙන ඉවරයි..

‘මචං.. ලෝක චාරිත්තරේට කියල අපි මරණ බදාගෙන අනේ අපොයි කියුවට ඇත්තටම විය යුත්ත ඕක තමයි.. හැබැයි ඒක ඔය විදියටම කර ගන්න පුළුවන් උනා කියන්නේ උඹයි **යි (වයිෆ් ගේ නම) ග්‍රේට්.. ආයි ඉතින් ** ගැනවත් උඹ ගැනවත් අහන්න දෙයක් නෑනේ.. වෙරි ගුඩ් මචං.. මට කියන්න වෙන දෙයක් නෑ.. **ගේ අම්මට ට සුභ ගමන්.. **ගේ අම්ම නිසා ඒ අම්මත් අර වගේ හිතල තිබ්බ එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ.. ”

ලක්ෂ ගණන් වියදං කරගෙන තව මිනිස් පැය දහස් ගානකුත් විනාස කරගෙන මිනී කුණ බදාගෙන පුරා සතියක් ‘සෝක ආතල්’ අර ගන්න අද කාලේ මළගෙවල් ගැනම අහල අහල අපි සමහරුන්ට මේ කතාව ඇත්තක්ය කියල හිතා ගන්න අමාරු නම් මගේ මේ යාලුවා හා ඔහුගේ බිරිඳගේ මේ කතාව පොඩ්ඩක් කියවල ඉමු.

ඔහු ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි නාවික හමුදාවේ නිළධාරියෙක්.. ඇය කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගත්ත මහරගම ජිවත් උණු ජයවර්ධනපුර රෝහලේ සේවය කල වෘත්තීය හෙදියක්.. ඔවුන් විවාහ උනේ 2005 වසරේ වගේ.. මගේ යාළුවා කොළඹින් ඈත මංසන්ධියක් වීම නිසා අතිශය කාර්යබහුල වෙච්ච නගරයකට ආසන්න ගමක පදිංචිකරුවෙක්.. ඔහුට කවදාවත් ගමෙන් පිටට ඒමට ඕනි උනේ නෑ.. ඒ නිසාම ඔහු ගමේ ඉඩමකම මහා ගෙදරට කිට්ටුවෙන් ලස්සන පොඩි ගෙයක් හදල තිබ්බ.. ජෝඩුව විවාහ වෙලා පදිංචියට ගියේ මේ ගෙදරට.. ඇය රැකියාවෙන් ඉවත් උනා.. ළමයි දෙන්නෙක් ලැබුන.. සැමියා රස්සාවට යද්දී ඇය ගමේ ගෙදරට වෙලා ළමයි හදාගෙන හිටියා.. ළමයි ඉස්කෝලේ යන වයසට ආවම ගෙවල් ලඟම තියෙන කනිෂ්ඨ විද්‍යාලෙට දැම්ම.. ඊට අමතරව ගෙදර ඉඳගෙන ඈ ළමයින්ට අමතර දේ ඉගැන්නුවා. ලොකු දරුවා ඉතා විශිෂ්ඨ ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් උනාම ලඟම තියෙන නගරයේ මහා විද්‍යාලයට ඇතුල් කළා..

හොඳම එක.. විශ්‍රාම යාම සඳහා සුදුසු සේවා කාලය ආපු ගමන් ඔහු විශ්‍රාම යාමට අයදුම් කරා.. දැන් ඉන්නේ විශ්‍රාම යන්න කලින් ලැබෙන නිවාඩුව විඳිමින්.. හෙට අනිද්දට පුර්ණ විශ්‍රාම අරගෙන ගෙදරට වෙලා පුංචියට වගාවක් කරගෙන පවුලත් එක්ක ඉන්න ඔහු සුදානමින් ඉන්නේ.. නේවි එකේ හිටියානම් මේ උපරිම පහසුකම් ගන්න පුළුවන් කාලේ.. අවුරුදු 55ක් වෙනකං ඉන්න තිබ්බ.. ඒත් උන් ජෝඩුවට ට ඒවායේ තඹේක වටිනාකමක් නෑ..

මේ අව්‍යාජ හිනාවයි මල් මිටයි උඹල ජෝඩුවට… (ආ.. මගේ බැචා හොඳ බ්ලොග් පාඨකයෙක්.. මාතලන් ගැන චෙෆාකි ගැන අටම් ගැන නිතර මගෙන් අහනවා.. සමහර බ්ලොග් පොස්ට් ගැන අපි බෝතල් ගණන් වාද කරලත් තියෙනවා.. ඒක නිසා ඌ මේක දකිනවා ෂුවර්!)

ඔව්.. පුදුම වෙන්න එපා.. තාමත් අපේ රටේත් ඒ වගේ හිතන වැඩ කරන මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා.. හැබැයි කොච්චර දැනගෙන හිටියත් මටවත් එක පාරට අර අවමගුල අවසන් කරපු සරළ පිළිවෙත විස්වාසේට ගන්න බැරි උනා කියහන්කෝ..

අනේ අපි කොයිතරං නම් පටලවගෙනද මේ ජිවිතේ?

http://kalahitha.blogspot.com/2018/01/not-length-but-depth-of-life-what.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල