සාහිත්‍ය කළා විචාර

70 දශකයේ පොඩි මල්ලි ඇවිත්… (කරළියෙන් එපිට කතා)

Off

පරාක්‍රම මහතා සභාව අමතමින් – සේයා රුව ලාල් ලක්ෂ්මන්

27 සෙනසුරාදා සවස වෙලාව දෙකට විතර ඇති. මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ ලාල් අයියයි, මමයි දේශද්‍රෝහියා කතාබහට ලකලෑස්ති වෙමින් පෝස්ටර් වගයක් එල්ලමින් උන්නෙ. ශාලාවෙ දොරටුව විවෘත වෙලා ඇතුළට පැමිණි පුද්ගලයා මම සැනෙකින් අඳුනගත්තා. ඒත් මේ එයාමයි කියල හිතන්න හිත පෙළඹුණේ නැහැ. ඒක වෙන්න බැරි දෙයක් කියල දැනන් උන්න නිසා. ඔහු ඉන්නෙ බොහෝ දුර බැහැර. අනික මං විශේෂයෙන් ආරාධනයක් කරලත් නැහැ. ‘වෙන කෙනෙක් වෙන්න ඇති.’ කියල හිතමින් මම පෝස්ටර් වැඩේම එල්ලිලා උන්නා.

ඒ අතර ඔහු හෙමිහිට මා අසලටම පැමිණියා. මම සිනාවකින් ඔහුව පිළිගත්තා.

‘මට කම්මැල්ලවීර තමයි මේ වැඩේ ගැන කිව්වෙ. විමුක්ති ක්‍රිස්තියානි දැක්මක් තියෙන නවකතාවක් කියල. ඒ ගැන මගෙත් උනන්දුවක් තියෙන නිසා වැඩේට සහභාගි වෙන්න හිතුණා.’

ඔහු ඉතාම හෙමිහිට වචනයෙන් වචනය ඇමිණුවා.

‘මේ මහත්තයා…?’ සාංකා සිත නිරවුල් කරගන්න මම තාවර වෙමින් ඉද්දි,

‘මම පරාක්‍රම කොඩිතුවක්කු. ඔයාද ඕතර්’ ඔහු මගෙන් ඇහුවා.

අප්පච්චියේ මාව උස්සල පොළවෙ ගැහූ ගාණයි. ඔහු බව හිතුවත් ඒ බව පිළිගන්න හිත මැලි වෙමින් තිබුණෙ ඒ මොහොතේ 70 දශකයේ විශිෂ්ට කවියා මගේ මේ ආධුනික වැඩේදි දකින්න කොහෙත්ම බලාපොරොත්තුවක් නොතිබුණ නිසා. ඉතින් ඉක්මණින්ම ඔහුව වාඩි කරල මමත් ළඟින් වාඩි වෙලා කතා බහ කළා.

පරාක්‍රම කොඩිතුවක්කු කවියා කොළඹ කිට්ටුව පදිංචියට ඇවිත්. අවුරුදු 15 කට පස්සෙයි මේ කොළඹ සාහිත්‍ය කටයුත්තකට සහභාගි වෙන්නෙ කියල ඔහු කිව්වා. පොතක් ගන්න තියෙනවද ඇහුවම මම ඉක්මණින් පොතක් අත්සන් කරල ඔහු අත තිබ්බා. කොයිතරම් ප්‍රතික්ෂේප කළත් බලෙන්ම මා අත මුදල් තැබුවා. ‘‘එහෙම හොඳ නෑනෙ කියමින්.‘‘

මං වැඩවල යෙදිලා ඉන්න අතර ඔහු පොත කියවන බව මා දැක්කා. ලද අවසරයකදි,

‘මම මේ පිටු දෙක තුනක් කියෙව්වා. භාෂාව හරිම ලස්සනට හසුරුවල තියෙනවා. කවි බසක් තියෙන්නෙ’ ඔහු කිව්වා. දෙයියනේ ඉතින් එහෙම කිව්වෙ පරාක්‍රම කොඩිතුවක්කු කවියා නේද කියල මට හිතුණා.

මූලික කතාව සහ සංවාද මණ්ඩපයේ කෙටි අදහස් දැක්වීම් අවසානයේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාත් කතා කළා. ඔහු දැක්වූ අදහස් මගේ මතකයට අනුව මෙහෙමයි. (මගේ අවාසනාවට ඒ වෙද්දි රෙකෝඩරය ඕෆ් වෙලා කතාව පටිගත වෙලා නැහැ.)

පරාක්‍රම මහතා සභාව අමතමින් – සේයා රුව ලාල් ලක්ෂ්මන්

‘අවුරුදු පහළොවකට පස්සෙ මම මේ කොළඹ සාහිත්‍ය වැඩකට ආවෙ. මහපොලවෙ වැඩ කරන අය බොහොම අව්‍යාජව කතා කරන බව දැනුණා. ගොඩක් සතුටුයි මේ කතා බහට සම්බන්ධ වෙන්න ලැබුණට.

මගේ තාත්තා බෞද්ධ. අම්මා කතෝලික. තාත්තා මාව අම්මට හොරෙන් පන්සල් එක්ක ගියා. තාත්තා නැති වෙලාවට අම්මා මාව පල්ලියට අරන් ගියා. තාත්තා බීල ආවම මගේ බෙල්ලෙ එල්ලල තිබ්බා බොරලික්කම්, මාල කඩල දාලා අම්මටත් ගහල රණ්ඩු කළා. මේ හින්දා ඒ පුංචි කාලෙම මම ඉල්ලුවෙ එක දෙයයි ‘අනේ මාව මේ බුදුන්ගෙනුයි, ජේසුගෙනුයි බේරල දෙන්න කියල.

මේ සාකච්ඡාවට සහාභාගි වුණ කාන්තාවො හැමෝම වැඩවල යෙදිලා ඉන්න අය. ඒ බව එයාලගෙ කතා බහෙන්ම පෙනුණා. ඒ කතා හරිම නිර්ව්‍යාජයි. ගෑනු අය මෙහෙම සමාජය එක්ක වැඩ කරන එක බොහොම හොඳ දෙයක්. මං කාලෙකින් මේ වගේ කාන්තා සහභාගිත්වයක් දැක්කෙ.’

මීට අමතරව පරාක්‍රම මහත්තයා දැක්වූ අදහස් මට අමතක වුණා නම් එදා සංවාදයට සහභාගි වූ අය එකතු කරන්න. මා ලියූ දේවල් නිවැරදි කරන්න ඇත්නම් එයටත් අවස්ථාව තියෙනවා.

ඔහුගේ අලුත්ම කවි පොත, ළඟ ඇති මුත් තාම කියවන්න නොහැකිවුණා..

http://tharurasi.blogspot.com/2018/01/70.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල