විවිධාංග

හොද්දට ලුණු ඇඹුල දමන පදම ඉගෙන ගනින් දුවේ / පුතේ

0

මා නිදහස් චින්තනය කෙතරම් ඇලුම් කල ද, සෑමවිටම මගෙ අදහස වූයෙ ගතානුගතික නොවීම යනු සාම්ප්‍රදායිකව බලාපොරොත්තු වන දෑ නොහැකි නිසාවෙන් එය වහගන්නට යොදා ගන්නා රෙදි කඩක් නොවිය යුතුය යන්න ය. සාම්ප්‍රදායික ගැහැණියගෙන් බලාපොරොත්තු වන දේ වල කිසිඳු වරදක් මා නොදකින අතර වරද මා දකින්නෙ ඒව ගැහැණියගෙන් පමණක් බලාපොරොත්තු වීම තුල ය. නැතිනම් තමන්ටම කෑම වේලක් උයා ගන්නට, රස කැවිල්ලක් සාදා ගැනීමට, තේ එකක් පිලිගැන්වීමට, මල් පැලයක් සිටුවා ගැනීමට, තොප්පියක් /කබායක් ගොතා ගැනීමට, ඉරුණු ඇඳුමක අණ්ඩයක් මසා ගැනීමට, බොත්තමක් අල්ලා ගැනීමට, කාමරයක් අස් කරගැනීමට, රටා තබා මිදුලක් අතු ගා ගැනිමට හැකි වීම මා නම් දකින්නෙ ගැහැණු පිරිමි භේදයකින් තොරව ස්වයං තෘප්තියක් ඇති කරවන ජීවිතයේදි අප විසින් එකතු කර ගත යුතු කුසලතා සමූහයකි. තේ එකක් සාදා ගත නොහැකි, බොත්තමක් අල්ලා ගත නොහැකි, සරල කෑම වේලක් සාදා ගත නොහැකි පිරිමියා ද, මට ඒ දේ නොහැකි ගැහැණිය තරමටම දුර්වලයෙකි. එසේම, දන්නා එකා වැඩ්ඩෙකි

මා පෙර කියා ඇති පරිදි මගෙ කුඩා කාලයෙන් වැඩි දවසක් අත්තම්මා සමඟත්, සති අන්ත බොහෝ විට ආච්චිමමී (තාත්තාගෙ මව) සමඟත් ගෙවුණු නිසා ඉවුම් පිහුම් කටයුතු පිලිබඳ දැනුම මට ඉතා කුඩා වයසේ සිටම නොවලහා ලැබිණි. මේ නිසා මා පත පොතේ දැනුමට වඩා කුඩා කල උනන්දු වූයෙ ඉවුම් පිහුම් කටයුතුවලට ය.

කුඩාම කාලයෙ මට ලැබුණු පලවෙනි පාඩම හාල් ගැරීම ය. ආච්චිට නැතත් මම අත්තම්මාටත්, ආච්චිමමීටත් හාල් ගරා දෙන්නෙමි. ඔවුන් ලොකු කොරහක් සහ නෑබිලියක් ගෙන බිමට වක් වී හාල් විශාල ප්‍රමාණයක් ගරන විට මම ඊට පසෙකින් ඉදගෙන ඔවුන් අනුකරණය කරමින් කුඩා කොරහක කුඩා නෑඹිලියකින් හාල් ගරමි. ගරනවාට වඩා විශාල වතුර ප්‍රමාණයක් බිම දිගෙ ගලා යෑම වෙනම කතාවකි. නෑඹිලියට වඩා පස්සා පැත්ත කැරකෙන බව ද ඇත්තකි. නමුත් මම ගරමි.

මුල්ම කාලයෙ එකඳු ගලක් හෝ නෑඹිලියේ ඉතිරි නොවේ.. මේ මට වයස අවුරුදු 4දී පමණය.. මම ගැරූ හාල්, බතට ගතහොත් ගල් කැටයක් දෙකක් එක කටක නොවරදින්නේය. මේ නිසා මා ගැරූ හාල්, බතට එක් කිරීම ගැන අත්තා විසින් වාරණ නියෝගයක් ගෙන ආවේ ගල් හැපී ඔහුගෙ දතක කැබැල්ලක් කැඩී යාම නිසාය. උන්දෑගෙ උණ්ඩුක පුච්ඡය ගල්වලින් පිරී ඇතැයි බිය වූ නිසා ය. නමුත් කෙතරම් ගල් තිබුණත් ආච්චිමමීනම් මාගෙ හාල් ටික බතට එක් කිරීම නොනැවැත්වූවාය. මේ නිසා කුඩා මට ආච්චිමමීට හාල් ගැරීම, අත්තම්මාට හාල් ගැරීමට වඩා ආශ්වාදජනක අත්දැකීමක් විය.

නෑඹිලියෙ මුලින්ම ගලක් ඉතිරි වී තිබෙනු මා දුටුවේ වයස අවුරුදු 8දී පමණය.. එදා මා හට ගණන්වලට ඒ අකුරක් ලැබුණාට වඩා සතුටක් දැණින. ටිකෙන් ටික මාගෙ නිපුණතාව දියුණුවන විට මා ගැරූ හාල් අත්තම්මාගෙ බත් මුට්ටිය ද එක් විය. එය මා දිනූ විශාල අභියෝගයක් වූ බැව් මට අදටත් මතකය.

බොහෝ මාළු පිණි ඉවීමේ කුසලතාව මට ලබා දුන්නෙ අත්තම්මා ය. ඈ මට මුලින්ම කියා දුන්නෙ අල තම්බන්නට ය. ඒ පුරුද්දට දෝ හෝ මම විශ්ව විද්‍යාලයේදීද අල තැම්බීමෙ ශූරියක වීමි. අල තැම්බීම ඉතා සරල කටයුත්තක් සෙ පෙනුණ ද අද මෙන් ප්‍රෙෂර් කුකර් නොතිබුණු එදා අල ගෙඩියෙ පොත්තට පොඩි කැපුමක් දමා තැම්බුමට දැමීමෙ සිට දැමිය යුතු වතුර ප්‍රමාණය, ලුණු දැමිය යුතු නොයුතු බව, ගින්දර ප්‍රමාණය, වේලාව ආදී සියක් පාඩම් ඒ පාඩම තුල ගැබ් විය.

අල ගෙඩියෙන් ඇරඹුණු පිසීම, වීසි නොකර ගිනි කූරක් ගසා ගැනීම, සිහින්ව මැල්ලුම් ලිවීම, පොල් කට්ටෙ කුඩක් ඉතිරි නොවී පොල් ටික හීනියට ගා ගැනීම, අත දාව ගන්නෙ නැතිව මිරිස් ලියා ගැනීම, ලූණු පොතු ගසා ගැනීම සහ ලියා ගැනීම, සම්බෝලයක් කොටා ගැනීම, බිත්තරයක් පුච්චා ගැනීම, පරිප්පු ඉවීම, එලවළු වර්ග ඉවීම, මස් මාළු ඉවීම, මැල්ලුම්, සම්බෝල මලවා ගැනීම, පපඩමක් බැද ගැනීම ආදී සියල්ලක් කෙරේ දැනුම ලබා දීමට අත්තම්මාත්, අම්මාත්, තාත්තාත් උපකාරී වූහ. වෙනකක් තබා මට මැල්ලුම් ලිවීම සඳහාම පිහියක් ගෙනවුත් මුවහත් තබා වෙන් කොට තැබීමට තාත්තා උත්සුක විය.

මෙසේ කුඩා මා විසින් එකල පිසින ලද ඇතැම් මාළු පිණි කටේ තබන්නට බැරි තරම් ජුගුප්සාසහගත විය. නමුත් ඒවා ඉතා රස යැයි කියමින් කෑ අම්මාටත්, තාත්තාටත් මම අදටත් ස්තූති පූර්වක වෙමි. එදා ඒ ලැබුණු ෆීඩ්බැක් එක නොවන්නට ඉවිල්ල එදායින් එදාම අවසන් වන්නට බොහෝ දුරට ඉඩ තිබිණි..

වෙනකක් තබා ඒ කාලයෙ මාගෙ අනාගත බලාපොරොත්තුව වූයේ ද දොස්තර, ගුරුවර වීම නොව චෙෆ් කෙනෙක් වී නුග සෙවණ ආදී රූපවාහිනි වැඩසටහන් වල විස්තර කරමින් කෑම ඉවීම ය.. එකල මා උයන්නට කුස්සියට ආ විට මුලින්ම කරන්නෙ ලූණු, මිරිස්, සුදු ලූණු ආදිය ලියා වෙන වෙනම කුඩා දීසිවල දමා ගැනීම යි. ඉන්පසු අඩුම කුඩුම බෝතල් ටික ද ලඟට ගෙන රූපවාහිනි වැඩසටහන්වල මායාදුන්න නෝනා විස්තර කරන ආකාරයට ” අද අපි ඔන්න හදන්න යන්නේ රසම රස පරිප්පු මාළුවක්. මේ සඳහා අපට අවශ්‍ය වෙනවා හොඳින් සෝදා ගත් පරිප්පු ග්‍රෑම් 200ක් (කැමරාවට දිගු කරමින්), සිහින්ව කපා ගත් බොම්බයි ලූණු ගෙඩියක්, කපාගත් මිරිස් කරල් 2ක්…” “දෙවනි! අද දවල්ට කන්න ඕක හදනවද? නැත්නම් මම ඇවිත් හදන්නද?”

මා 6 වසරට පමණ එන විට නෑදෑ හිත මිතුරන්ට අපේ නිවසේ පැවැත්වෙන භෝජන සංග්‍රහවලදී ගොටුකොල සම්බෝලය සෑදීමෙ අවස්ථාව අම්මා සහ තාත්තා විසින් ප්‍රදානය කරන ලදී. ඒ කාලයේදි මෙය මහා පොරත්වයක් සෙ දැණුන ද දැන් දැන් නම් මෙසේ ගොටුකොල ලිවීමට අඬ ගැසීම මහත් වදයක් සේ දැනෙන්නෙ එයට බොහෝ වේලා ගත වන නිසාත් නියපොතු අවපැහැ ගැන්වෙන නිසාත් ය. කෙසෙ නමුත් මෙසේ වැඩෙනා මට ක්‍රමයෙන් දායකත්වය ලබා දිය හැකි මාළු පිණි ගණන වැඩි වූ අතර විශ්ව විද්‍යාලයට යන්නට ඔන්න මෙන්න තියා පලමු වතාවට මුළු කෑම මේසයම පිලියෙල කිරීමට අවකාශ ලැබිණ.

ඊට වඩා මුහුකුරා යනවිට මෙසේ උයන්නට වීම මහත් අභාග්‍යයක් ලෙස දැනීම වෙනම කතාවකි. ගෙදර කෑමක් දෙන්නට යනවා යැයි අසන්නට ලැබීමම භීෂණයක් ඇති කරවන්නෙ නිවාඩු දාටත් උදේ රැයින් කුකුලා අතේ තබාගෙන අවධිවන්නට වන නිසාය. දැන් දැන් උයන්නට උදව් වන්නෙ අම්මාගෙ කන්කලු නෝක්කාඩුව ඉදිරි දින කීපයෙ අසා ඉන්නවාට වඩා උදෙන් අවධි වීම සැපතක් බැවිනි. දැන් දැන් දෙන්නෙ සීමාසහිත, කොන්දේසි සහිත සේවා පමණි. මස් ව්‍යංජනය හෝ ඩෙවල් එක, මැල්ලුම, චොප්සි වැනි පොස් කෑමක්, ජෙලි පුඩිමක් හෝ වෙනත් අතුරුපසක් ආදී ලෙස සේවා වර්ගීකරණයක් කොට සැපයීම හැර මුළු පැකේජය පිටින් කරට ගන්නට හිත දෙන්නේම නැත. යම් අංශයකින් පරිණත වන විට කොයි කාගේත් සැටි එසේ යැයි, කන පුරවා බැනුම් දෙන අම්මාට මම පැහැදිලි කරමි…

මැසිමෙන් මසන්නටනම් මට කොහෙත්ම බැරි කුඩා කල ඉහ මොල රිදෙන සේ කටුවකින් ඇන බාගෙට හිරි වට්ටවා අමු අමුවෙ ගැලවූ දතකට පින් සිද්ධ වන්නට වැලඳුනු, අදටත් වද දෙන කටු ෆෝබියාව ය. වේගෙන් ඉහල පහල යන ඉඳි කටුව මා සිත සෑම විටෙකම සසල කලේය. කටු ෆෝබියාවට අභියෝග කලෙ නිර්වින්දන වෛද්‍යවරියක ලෙස සේවය කරන්නට පටන් ගත් දා සිට නිසාවෙන් දැන් දැන් අම්මාගෙ මැසිමට හොර ගල් අහුලන්නට මා ඒ කාමරයට රිංගිය යුතුය. මේ හැර ඉතා කුඩා වියේදීම ඉඳි කටුවෙන් මහන්නට මට පුරුදු පුහුණු කලෙ ආච්චිමමී ය. ඇය තරම් පිලිවෙලට කොට්ටා උර, අණ්ඩ දැමීම්, බොත්තම් ඇල්ලීම් මට කල නොහැකි වුවත් හදීසියකට මේවායින් මොනා හෝ ගැටයක් ගසා ගන්නට ඇයට පින් සිද්ධ වන්නට මට හැකියාව ලැබිණි.

මගෙ පලමුවෙනි උපන්දින කේක් එක සාදා දුන් තිලානි අක්කා, මැහුම් ගෙතුම්වලට ද ඉතා දක්ෂ ය. ඈ නෑදෑකමින් ද මට අක්කෙකි. අපේ අක්කීට ගොතන්නට ඈ කියා දුන් කල ඇති වූ ඉමහත් ඊරිසියාව, 2 වසරේදීම ගෙතුමෙහි මුල් පොත් තබා ගන්නට මඟ පෑදී ය. මේ නිසා පාසලෙ ජීවන නිපුණතා, ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා ආදී විෂයන්ගෙන් පහසුවෙන් ගැලවීමට මට මඟ පෑදුණි. ගෙතීම යනු ඉතා හොඳ භාවනාවක් බව මට පසක් වූයෙ සාමාන්‍ය පෙල පන්තිවල සිටිනා කාලයේදීය. ඒ නැතත් මනෝ ගසමින් වැඩක් කල යුතුනම් ඊටත් හොඳම විසඳුම තොප්පියක් හෝ බෑගයක් ගෙතීමය.

මේ කොයිකෙන් කෝක කෙසේ වෙතත් මේ සියල්ලේම දැනුම මට වඩාත්ම ප්‍රයෝජනවත් වූයෙ සීමාවාසික පුහුණුව කරන සමයේ දීය. කෑම ඇන්ටීගෙ කෑම එපා වීමත්, ඊටත් වඩා ඒවා ලැබෙන්නෙ බඩේ පණුවන් ද බඩගිනි වී පිනුම් ගසා මහන්සි වී නින්දට වැටුණු පසු නිසාත්, සීමාවාසික පුහුණුවෙ විඩාව සහ ආතතිය දුරු කරගැනීමෙ හොඳ මඟක් නිසාත් මට තිබූ කුඩා නේවාසික කාමරයේ උයාගන්නට කටයුතු යොදා ගතිමි. රෑට රෑ බොවී කාමරයට එබුණත්, පාන් කියාගන්නට පණ නැතත් මා මොකක් හෝ මාළුවකුත්, බතකුත් උයන්නට වන්නෙ දවසෙ සියළු ගැහැට මඳකට පසෙක තබා සැහැල්ලු වන ගමන්‍ ය. ඒ විඩාව තවත් දුරු වන්නෙ අයිස් තරමට සීතල පේරාදෙණි වතුර ටිකක් ඇඟ මත වද්දාගෙන අවුත් රස්නේ පිටම බෙදාගන්නා කෑම ටිකක් ඇකිලී ගිය අන්නස්‍රෝතය සහ අමාශය දිගෙ පහලට බසින විටය.

පසුදා උදේ අඳින්නට ගන්නා හැට්ටයේ හෝ සායෙ තැනක් ලෙහී ඇති විට හෝ ඇඟලා ගන්නා විට බොත්තමක් හැලී ගිය විට මම ආච්චිමමීට පින් දෙමි. හිතේ සන්සුන් බව ගිලිහී ගියා වූ දිනෙක කාමරයේ පසෙක වූ මල බැඳුණු අල්මාරියේ අස්සක ගසා ඇති වූල් පන්දුවත්, මිලි මීටර 2 ගෙතුම් කටුවත් මා අත සිප ගනිමින් මගෙ දුක බෙදා ගනී… සීතල රැයක මා වෙලා ගන්නට කිසිවෙකුත් නැති විටෙක මෙසේ ගෙතූ සීත කබායක් මා ගත වෙලා ගනී..

ජීවිතයෙ පදම පොතෙ පතේ දැනුම පමණකැයි මම විශ්වාස නොකරමි. එසේම මේ නිපුණතා අප විසින් ගොඩ නඟා ගත යුත්තෙ කවදා හෝ දීගෙක ගිය දිනෙක නැන්දම්මාගෙන් ගුටි නොකා සිටීමට ද නොවන වග මම උදක්ම විශ්වාස කරමි. නමුත් තම තමාටත්, අවශ්‍යනම් තම ආදරණීයයන්ටත් ආදරය, සෙනෙහස දක්වන්නට ද මේ නිපුණතා උපයෝගී කරගැනීමේ කිසිඳු වරදක් මම නොදකිමි. එය සාම්ප්‍රදායික නොවන කාන්තාවකට තරම් නොවන දෙයක් ද නොවන බව මගෙ දැක්මයි.. කොයික වුවත් මේ සියල්ලක්ම මට අමුතුම ආතල් එකක් ලබාදෙන බවනම් සැබෑ ය…

-ප්‍රාර්ථනා ඇම්. ඇල්.
#සව්බොර

http://sawbora.blogspot.com/2018/02/422018.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල