කෙටි කථා

“නිල්” අහස යට

Off

“උර්සුලා තව එක වතාවක් මේ ගැන හිතන්න.” රිචඩ්ගේ කටහඬ උස් බිත්තිවල හැපී දෝංකාර දුන්නා.

“ඔයා මේ ප්‍රොජෙක්ට් එකට අත්සන් කලේ මාසෙකට කලින්. දැන් ඒක කැන්සල් කරන්න විදියක් නෑ.”

“කරන්න දෙයක් නැහැ රිචඩ්. මම ඉන්න තත්වෙ තේරුම් ගන්න. මේක තවත් එක දර්ශනවාරයක් නෙමෙයි. මාස හයක් තිස්සෙ කැලෑවල් ගානෙ, දිය ඇලි ගානෙ ඇවිදින්න වෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්. මගේ අවසාන තීරණේ මේක.”
මං අපහසුවෙන් වුනත් රිචඩ්ගේ ඇස් දිහාම බලාගෙන කතා කලේ ඔහු මාව තේරුම් ගනීවියි කියන ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන.

“ඔහේට, ඔහේට තිබුනා පරෙස්සම් වෙන්න.” රිචඩ් යළිත් වරක් හිස දෙපසට වනමින් කෑ ගැහුවා.

“ඔහේ මේ නැති කරගන්න හදන්නෙ එක ඩීල් එකක් විතරක් නෙමෙයි. අවුරුදු ගානක් පුරාවට දශමෙන් දශමෙ ගොඩනගා ගත්තු ප්‍රතිරූපය. මං දන්නෑ මීට වඩා ඔහේට කොහොම පැහැදිලි කරන්නද කියලා. ඔහේ මේ තැනට ආවෙ තනියම නෙමෙයි ගෑනියේ! ඒක මගෙත් මහන්සිය. මගෙත් කැපවීම. පොඩ්ඩක් හිතපන්!!”
තවත් ඔහු එක්ක කතා කරල තේරුමක් නැතැයි හිතුන නිසා මම යන්න සූදානම් වුනා. රිචඩ් වහාම නැගිටලා මාත් සමගම විදුලි සෝපානය දෙසට ඇවිදගෙන ආවේ මේ ගැන තව වතාවක් හිතා බලන්නැයි ආයාචනා කරමින්.

මම වාහනයට ගොඩවුනේ රිචඩ් ගැන උපන් තරහත් පිළිකුලත් හදවතේ සමසමව බුබුලනය වෙද්දි. ‘මාව හදන්න මහන්සි වුනාය කියන ඒ මිනිහා මුල් කාලෙදි මට සැලකුවේ මොනතරම් පහත් විදියටද! ඒ වෙනකොටත් සෑහෙන දුරට සුවවෙමින් තිබුන මගේ පැති කුදය ගැන හැමවෙලාවෙම උලුප්පා දක්වමින් ඒ මිනිහා මට මොනතරම් උසුළු විසුළු කලාද!’ තරහත් එක්ක මම කඳුලු එනතුරු යටිතොල තදින් විකාගත්තා. ‘ඒත් ඔවුන්ට උවමනා වෙලා තිබුනේ වෙනසක්. ‍යාන්තම් පැති කුදයක් තියෙන, පෙට්ටි හැඩේ ගැහැණියකගේ නිරුවතට මිනිස්සු ඒ තරම් ආකර්ශනය වෙයි කියලා රිචඩ් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.’

මට හීනයක් තිබුනා තාරකාවක් වෙන්න. මට වුවමනා වෙලා තිබුනේ සමාජ විද්‍යාව හදාරන්න.

මාර්ක් මගේ ජීවිතයට ඇතුල් වෙන්නේ උසස් විද්‍යාලයේදි. අපි ආදරය කලා කියන එක ඒ සම්බන්ධය විස්තර කරන්න ගැලපෙන්නෙ නැහැ මම හිතන විදියට.

අපි එකිනෙකා තුල ජීවත් වුනා.
ඇටමිදුලු පවා හිරිවට්ටන්න පුලුවන් තරමේ ප්‍රභල ආදරයක් ඒක.
මගේ හීනේ දළුලන්න පටන් ගත්තේ උසස් විදුහලේදි මම තොරාගත්තු වාරාවසාන ව්‍යාපෘතියත් එක්ක.

මට උවමනා වුනේ ඉන් පෙර කිසිම කෙනෙක් නොකල විදියේ සමාජ ගවේෂණ ව්‍යාපෘතියක් සිදු කරන්න. උසස් විදුහලට අලුත්ම ව්‍යාපෘති වාර්තාවක් එකතු කරන්න.

ඒ නිසයි මම තෝරාගත්තේ කාමෝත්පාදන සිනමා ක්ෂේත්‍රය.

මාර්ක් මුලදි හිතුවේ මං විහිලු කරනවා කියල වුනත් ව්‍යාපෘති යෝජනාව දුටු දවසේ ඉඳන් එයා මට පුදුම තරමක් උදව් කලා. තොරතුරු ගවේෂණය, විශ්ලේෂණය වගේම වාර්තාව සැකසීමත් අපි දෙන්නාම කලේ එකට.

අන්තිමේදි මට පුලුවන් වුනා ඒ අවුරුද්දේ විශිෂ්ඨම ව්‍යාපෘතිය වෙනුවෙන් සම්මානයක් දිනාගන්න.
අපි එදා රෑ එළි වෙනකම් සැමරුවා ඒ සතුට.

ඒත් ඒ වෙනකොට මගේ හීනෙ හැඩය
වෙනස් වෙලා තිබුනා.

හැඩය වෙනස් වුන හීනෙ ගැන මාර්ක්ට නොකියා ඉන්න මට අමාරු වුනා. තමන්ගේ ආදරවන්තිය නිල් චිත්‍රපට නිළියක් වෙන්න යන එක දරාගන්න ටිකක් අමාරු දෙයක් තමයි. එයා මුලින්ම දෙකට නැමීගෙන මහ හයියෙන් හිනා වුනා. විද්‍යාල මාවතේ යන එන මිනිස්සු පවා තිගැස්මෙන් එයා දිහා බලනකොට එයා තව තවත් හයියෙන් හිනා වුනා.

“ඒක හොඳ විහිලුව!” මාර්ක් බර හුස්මක් ඉහල ඇද්දා.
“විශ්වාස කරන්න ඩාලිං ඒක මම ඔයාගෙන් අහපු හොඳම එක.”

ඒත් අන්තිමේ මගේ හීනෙ හැඩය ඇත්තටම වෙනස් වෙලා බව තේරුම් ගත්තු මාර්ක් බොහොම කලබල වුනා. ඔහු කෑගැහුවා. බැන්නා. රෑ එළිවෙනකම් මාව තුරුළු කරගෙන පැයෙන් පැයට අලුත් තර්ක ගොඩනැගුවා. ආයෙමත් ඇස් වල කඳුලු පුරවගෙන මා දිහා බලන් උන්නා.

ඒ දීර්ඝම සතිය අවසානයේ හවස අපි දෙන්නා ආලින්දයට වෙලා කළුවර අපිව ගිලගන්නකම් උණු කෝපිවල කිමිදෙන්න තීරණය කලා. කෙලවරක් නැති පැහැදිලි කිරීම්, වාද විවාද සහ සිත් තැවුල් නිසා අපි දෙන්නාම සෑහෙන තරම් විඩාපත් වෙලයි උන්නෙ.

“මාර්ක්, මේ අහන්න. ඒක හිතන තරම් නරක දෙයක් නෙමෙයි.”
මං වෙනදාට වඩා පරෙස්සමට, හඬ නොනැගෙන්න කෝපි කෝප්පය හැඳි ගාමින් කිවුවා.

මාර්ක්ගේ ඇස් රතුපාට වෙලා තිබුනෙ.
එයා බර හුස්මක් පිටකලා.

“ඔයා හිතනවද මේක ලේසි දෙයක් කියලා? අනික ඔය කොඳු ඇට පෙලේ ඇදයත් එක්ක. එයාල ඔයාව කොන් කරාවි. තේරුම් ගන්න ඩාලිං. මේක නෙමෙයි ඔයාට තාරකාවක් වෙන්න ගැලපෙන තැන. ඔයාට පායන්න තවත් අහසවල් ඕන තරම් තියෙනවා, ඔයාට නොපෙනුනාට.”

“එකම එක ඉන්ටර්විව් එකක් මාර්ක්. එකම එක වතාවක්!”

දෙවරක් නොහිතාම මං ඔහු ළඟ දණින් වැටුනා. ඔහුගේ බර දණහිසට හිස තියාගෙන මං දිගටම ඇවිටිලි කරන්න වුනා.

“හොඳයි එකම එක වතාවක්!” මාර්ක් දැඩි හඬකින් අන්තිමේදි කියා හිටියා.
“හෙට උදේ නවයට, මං ඔයාගෙ ෆොටෝ ෂූට් එක කරනවා. හරිනෙ?”

වාහනයෙන් බැහැගත්තු මම එහා මෙහා ඇවිද්දේ හිතේ නොසන්සුන්කම ටිකක් සමනය කරගන්න. මට සිගරැට්ටුවක් බොන්න ලොකු උවමනාවක් දැනුනා. ඒත් දෙවනි දුම් උගුරත් එක්කම මට මතක් උනේ එයාව. එයා මගේ ලෝකෙ. මගේ පණ. මං විසකුරු සතෙක් දැක්කා වගේ වහාම සිගරැට්ටුව නිවලා බින් එකට දැම්මා.

එක අතකට මගේ පළමු පියවර තියන්න උදව් වුනේ රිචඩ්ම තමයි. ඔහු මගේ පින්තූරවලට හිනාවෙලා ඒවා කාර්යාල බිම පුරාම විසුරුවා හැරියා. ඇත්තටම, මාර්ක්ට වැඩිපුරම කේන්ති යන්නේ තමන් ගත්ත ඡායාරූපවලට අපහාස කරද්දි බව මම දැනගත්තෙත් එදා.

මාර්ක් එතැන, ඒ මොහොතේ පටන් මට පුදුම තරම් උදව් කලා. රිචඩ් වැරදි බව පෙන්වන්න මටත් වඩා මාර්ක්ට වුවමනා වෙලා තිබුනා.

ඔව්. දැන් මගේ හීනෙ හැබෑ වෙලා. ඒ වෙනුවෙන් ගෙවන්න වුන මිල කොතරම් විශාල වුනත් අන්තිමේ මම තාරකාවක් වෙලා. පළමු හමුවීමෙදි මගේ පින්තූර අහකට විසිකරපු රිචඩ්ගෙ කාර්යාල කාමරේ බිත්තිවල මගේ මැගසින් කවර් රාමු කරලා එල්වා තියෙන හැටි දකිනකොට හිතට දැනෙන්නේම අසීරු ජයග්‍රහණයක උණුහුමක්.

මම ගෙදරට ඇතුල්වෙනකොට මාර්ක් ආලින්දයට වෙලා ඇල්බමයක් පෙරලමින් උන්නා. මම ඔහුගේ ගෙල වටා දෑත් යවන ගමන් ඇල්බමයට එබුනා. අපේ මංගල උත්සවයේ පින්තූර. මම මාර්කේ නළල දෙපස හාද්දකින් පිරිමැද්දා.

“මං අලුත් වැඩේ බාරගන්න බැහැ කීවා.” මම සෝෆාවේ කෙලවරකට බර වුනා.

“අවුරුද්දක් යනකම් මම විරාමයක් ගන්නයි හිතුවෙ.”

මාර්ක් තදින් ඇල්බමය වහලා මා දිහා බැලුවා.
“ඒ ගමන මොකද? මොකක් හරි ප්‍රශ්ණයක් උනා ද? කියන්න ළමයො! මොකද මගෙ මූණ දිහා අමුතු විදියට බලන්නෙ?”

මම මාර්ක්ගේ සිහින් දිගු ඇඟිලි මගේ දෙ අත්ල තුල සඟවා ගත්තා. “ලොකුම ලොකු ආරංචියක් කියන්න තියෙනව ඔයාට.” මම හිස පැත්තකට ඇල කරන් ඔහු දිහා බැලුවා.

“ඔයා, තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ!”

“උර්සුලා!” මාර්ක්ගේ ඇස් දෙක බැබලෙන්න පටන් ගත්තා.

“දන්නවද! මම හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයාගෙ හිත මේ තරම් උණුහුම් කියලා. දන්නවද! ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ආදරණීයම කෙල්ල. අපි මේක සමරන්න ඕනෙ ළමයෝ… අපි මේක ඉහළින්ම සමරන්න ඕනෙ!”

අත්බෑගයේ තිබුන ජංගමය හඬ තලන්න ගත්තේ ඒ වෙලාවෙ. ‘රිචඩ්!’ මම ජංගමය අතට ගත්තේ මූණ පුලුටු කරගෙන.

“ඇයි?” මං කතාකලේ හිතේ තරහ ඔහුට ඒත්තු යන ස්වරයකින්.

“උර්සුලා, මේක ඔයාගෙ අවසාන තීරණේද?” රිචඩ් ආයෙමත් ඇහැවුවා.
“මේ අහන්න. මම අඳුනන හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඔයාට කිසිම අපහසුවක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. ඔයාට පහසු තැනක, ඔයාට පහසු දවසක.”

පිළිකුලත් කේන්තියත් නිසා ගෙල දෙපස ගිනියම් වේගෙන යනවා මට දැනුනා.
“තමුසෙට මොළේ විකාරද මිනිහෝ? මේ මගේ පෞද්ගලික ජීවිතේ. මං අහන්නේ තමුසෙට කොහෙන් ආපු හයියක්ද ඒකට ඇඟිලි ගහන්න. තව එක වතාවක්, ඔව් එකම එක වතාවක් ඔය පාහර කතාව කිවුවොත් මම ඒ මොහොතෙම යනවා පොලීසි. අන්න ඒක මතක තියා ගන්නව!”

රිචඩ් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවෙන්න ඇති. ඔහු වරක් දෙවරක් උගුර පාදන හඬ ඇහුනා. මවාගත් ඉතා මෘදු කටහඬකින් ඔහු පරෙස්සමින් වචන ගලපන්නට වුනා.

“හොඳයි. එහෙනම් ඒක එහෙමයි. හෙට අපි පොඩි සාකච්ඡාවක් තියලා ඔය ගිවිසුම අවලංගු කරල දාමු. ඔයාට පුලුවනිනේ හෙට උදේ අටහමාර වෙනකොට මායා රෙසිඩෙන්සීස් එකේ විසි තුන්වැනි ෆ්ලෝ එකට එන්න. අපි එතනදි හමුවෙමු. වෙලාවට එතැනට එන්න, මැඩම්” ඔහු කතාව අවසන් කලේ මද උපහාසයක් තැවරුනු ස්වරයකින්. කොහොමත් ඒ රිචඩ්ගේ හැටි.

හවස කෙටි නින්දකට පස්සෙ මම අවදි වෙනකොට මාර්ක් විශේෂ රෑ කෑමක් ගෙන්වලා තිබුනා. බැල්කනිය පුරාම ඇපල් සුවඳ හමන ඉටිපන්දම් දල්වලා. විශාල දේදුණු රෝස පොකුරක් කෑම මේසය මත තබා තිබුනා. ඇත්තටම මට මීට වැඩියෙන් කිසිම දෙයක් වුවමනා වුනේ නැහැ.

මම මුලින්ම කලේ ගෙදර තිවුනු සිගරැට් පැකට්ටු සියල්ලම කුණු බඳුනට විසි කරන එක. මාර්ක් කට කොණකින් සිනහවෙමින් ඒ දිහා බලා උන්නා. ඉන් පස්සේ අපි අවසාන ඉටිපන්දමත් දැල්වී අහවර වෙනකල් බැල්කනියට වෙලා තරු දිහා බලාගෙන කතා කරමින් උන්නා.
එලාම් ඔරලෝසුවේ හඬත් නෑහෙන තරම් ගැබුරු නින්දෙන් මම අවදි වුනේ සෑහෙන තරමක ප්‍රමාදයක් එක්ක. තවමත් නින්දේ උන්න මාර්ක්ව ඇහැරවන්නවත් පමා නොවී මම ඉක්මනින්ම ගෙදරින් පිටත් වුනේ මේ ගිවිසුම තද හිසරදයක් තරමටම බරට හිසත් හිතත් අඩපණ කරමින් තිබුන හින්දයි.
විදුලි සෝපානය තුලදී අපිළිවෙල හිසකේ පිළිවෙලක් කරගන්න අතරේ මගෙ හිතට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්. මම විසිතුන්වැනි මහලට පා තැබුවේ පුලුවන් තරම් ඉක්මනින් මේ කරදරකාර අත්සනින් ගැලවිලා මගේ ලෝකෙට ඇතුල් වෙන්න හිතාගෙන.

කාර්යාලයේ දොර ළඟ මදක් නතර වුන මම දීර්ඝ හුස්මකින් පසු හිනා මුහුනක් පැළඳ ගත්තා. ඔව්. අර නරුමයා ඉස්සරහදි ව්‍යාජ හිනා මුහුණක් නැතුවම බැහැ.

“එන්න උර්සුලා. වාඩිවෙන්න.” රිචඩ් දොර වසා දමන අතරේ පැවසුවා. “මේ ජෙෆ්රි.”

මට වචනයක්වත් කියන්නට ඉඩක් නොතියා ජෙෆ්රි තමන්ගේ කතාව පටන් ගත්තා. “මේ අහන්න මැඩම්. ගිවිසුම අවලංගු කරන්න බැහැ, නමුත් අපිට ඔය කළලය අවලංගු කරන්න පුලුවන් පහසුවෙන්ම”
මාව පුටුවෙන් ඉවතට විසි වුනා. මිනිහෙකුට මේ තරම් අමනුස්ස කතා කියන්න පුලුවන්ද? මම වචනයක්වත් නොකියාම දොර දෙසට හැරුනේ ආපහු මේ මිනිස්සුන්ගේ මුහුණවත් නොබලන්න හිතාගෙන.
“ඔහෝ! ඔයා ඉක්මනින්ම යන්නද හදන්නෙ උර්සුලා? මේ බීම වීදුරුවක්වත් නොබී?” රිචඩ්ගේ මුහුණේ තිබුනේ විසුළු සිනහවක්.

“ජෙෆ්රි හරි විහිළුකාරයා. ඔයා දන්නෙ නැද්ද ඒක! පුදුමයි!” රිචඩ් මහ හඬින් හිනා වුනා. ඒ සිනහව කාමරය තුල දෝංකාර දෙද්දි උස් වීදුරු කවුළුවෙන් පිටත බලාගෙන මම සීතල මිදි යුෂ බඳුන උගුරෙන් උගුර හිස් කරන්නට ගත්තා.

***************

වීදුරු කවුළුව තුලින් පෙරී එන හිරු එළියෙන් උරහිස් පිළිස්සෙනවා දැනෙනකොට මම ඇස් ඇරියා. තියුණු ඉඳිකටු තුඩු දහසකින් අනින්නා වාගේ වේදනාවක් යටි බඩ දෙසින් දැනෙනකොට මම අමාරුවෙන් වකුටු වුනා. හිස බමන්නට වුනත් මට වුවමනා වුනේ කොහොමහරි මෙතැනින් පලා යන්න. ඒත් මගේ සිරුර පිඟන් මැටියෙන් කල බෝනිකි සිරුරක් බවත්, එය දැන් කුඩා කැබලි දහසකට ටිකක් වැඩි ගණනකට බිඳී ගොස් ඇති බවත් මට සිහිනයෙන් මෙන් අවබෝධ වුනා. ඇද ගැහුනු සර්පයෙක් මෙන් සිහින් ලේ පාරක් මේස කෙලවරක සිට බිත්තිය දෙසට ගලා යමින් තිබුනා.
අන් සියලු හැඟීම් තුනී වෙලා යනකොට මට වුවමනා වුනේ මෙතැනින් පලා යන්න. ඒ අරමුණ ඝන දුමාරයක් වගේ අවකාශය පුරා පැතිරී යන්නට වුනා. පලා යාමේ අරමුණේ අන්තිම නූල් පටත් මගහැරේවියැයි බියෙන් මම දෑස තදින් පියාගත්තා.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල