බ්ලොග් නවකතා

හද වෙණ සත්සර…21

Off

යාළුවොත් එක්ක මේ ඇවිදින්න යන එකට අම්මානං එච්චර කැමතිවුණේ නෑ. රස්තියාදු ගහන්න පුරුදු වෙන්න එපා කියලා කෙළින්ම කිව්වා. පික්නික්, හයිකිං ගියාට තාත්තානං මුළදි මුකුත් කිව්වෙ නෑ. ඒත් කැම්පස් එකෙන් ටිකක් ඈත තිබ්බ පොඩි කැලෑවක අපි කට්ටිය ගිය ඇඩ්වෙන්චර් ටුවර් එකේ විස්තර කිව්ව දවසෙනං තාත්තගේ මූණත් ටිකක් හොඳ නැති වුණා.

ඒත් ඉතිං මං ඒවායෙන් ඇත්තටම හොඳ විනෝදයක් වගේම වටින අත්දැකීමුත් එකතු කරගන්න බව තේරුණාට පස්සේනම් තාත්තා ඒ ගමන්වලට අවසර දුන්නා. පරිස්සමෙන් මොළේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ කියලා විතරක් ටිකක් තදින් කිව්වා. මල්ලිත් නඩුකාරයෙක් වගේ මගෙන් හරස් ප්‍රශ්න අහ අහ ඔක්කොම විස්තර අහගත්තට ඒවාට තහංචි දාන්න ආවෙ නෑ. මොකද එහෙම කරන්න ආවොතිං එයා දන්නවා මං එයාගේ රස්තියාදු ගමන් ගැන වහාම තාත්තාට රපෝර්තු කරනවා කියලා. කොහොමත් ඉතින් අපේ කට්ටිය ගියේ එහෙමට රස්තියාදු ගමන් නෙවෙයි. ලෙක්චර්ස් නැති දවස්වලට, වීකෙන්ඩ්ස්වලට හොස්ටල් එකට වෙලා, නැත්තං ලයිබ්‍රරි එකට වෙලා දවසම කම්මැලිකමේ ගෙවලා දානවාට වඩා මෙච්චර ලස්සන පළාතක ඇවිදලා, යාළුවොත් එක්ක ටිකක් විනෝද වුණාම මොකද. කවදාහරි ජීවිතේ සතුටින් මතක් කරන්න පුළුවන් මතක එකතුකරගන්න එක නරක වැඩක් නෙවෙයිනේ.

රඛිත අයියාව අඳුරගන්න ලැබුණේ අහම්බෙන්. එකම ෆැකල්ටි එකේ වුණාට සෙකන්ඩ් ඉයර් කට්ටිය එක්ක තරම් අපි තර්ඩ්, ෆෝර්ත් ඉයර්ස්වල කට්ටිය එක්ක එකතුවෙලා හිටියෙ නැහැනේ. එදා අපේ ඉන්ටර් ෆැකල්ටි ක්‍රිකට් මැච් එක. අපේ ෆැකල්ටි ටීම් එක තමයි චැම්පියන්ස්ලා වුණේ. රඛිත අයියාත් ඒ ටීම් එකේ මෙම්බර් කෙනෙක්. මෑන් ඔෆ් ද මැච් වුණේ එයා. රඛිත ජයතිලක. අවෝර්ඩිං සෙරමනි එක ඉවර වෙච්ච ගමන් මුළු ෆැකල්ටි එකම පිට්ටනියට පැනලා ටීම් එක වට කරගත්තා. මෙලීසාත් මාව ඇදගෙන දිව්වා. ටීම් එකේ කට්ටියට විෂ් කරද්දී මං කියන්න කළින් මෙලීසාම රඛිත අයියාට මං ලංකාවේ බව අඳුන්නලා දුන්නා. එයා හරි සතුටු වුණා. අලුත් බැච් එකේ ලංකාවේ කීප දෙනෙක් ඉන්න බව ආරංචි වුණාට ඒ ෆැකල්ටි එකේම එක්කෙනෙක් ඉන්න බව එයා දැනං හිටියෙ නෑලු. එයානං ඉපදිලා තියෙන්නෙත් මෙහෙ. සිංහලත් අපි කියන ඒවා තේරුණාට එයාට කතා කරන්න එච්චර බෑ. ඔක්කොම වැඩ සුද්දෙක් වගේම තමයි. ඇත්තට මීට කළින් ෆැකල්ටි එකේම එහෙ මෙහෙ යද්දි දකින්නත් ඇති වුණාට එයා සිංහල කොල්ලෙක් කියලා පෙනුමෙන් එකපාරට අඳුරගන්න බෑ. කතාබහෙන්නම් කොහොමත් බෑ. ඉතින් එදායින් පස්සේ ෆැකල්ටි එක ඇතුළෙදි හම්බවුණාම අපි නතරවෙලා කතාබහ කළා. මම පියුමිලාවත් එයාට අඳුන්නලා දුන්නා. ටිකෙන් ටික එයත් අපේ ගමන්වලට එකතු වුණා. එයාගේ බැච් එකේ අයනම් විහිළු කරන්න ගත්තලු පොඩි එවුන් එක්ක රෝන්දේ යනවා කියලා. ඒත් එයාට ලංකාවේ අයත් එක්ක ඉන්න ලැබෙන එක යාළුවො අතර නම්බුව බේරගන්නවට වඩා වටිනවලු. එයාමයි කිව්වේ. එක වීකෙන්ඩ් එකකදි එයා අපි හතරදෙනාවයි, කවිඳුලාගෙ ෆැකල්ටි එකේ සීනියර් ජෝඩුවයි ගෙදර එක්ක ගියා. පැය හයක කෝච්චි ගමනක්. මං මෙලීසාටත් එන්න කිව්වට එයා ආවේ නෑ. එයාට බ්‍රයන් එක්ක කොහෙද යන්න තියෙනවා කියලා නතර වුණා. රඛිත අයියාගේ අම්මයි තාත්තයි හරි සතුටු වුණා අපිව දැකලා. එයාට තව ඉන්නවා අක්කා කෙනෙකුයි, අයියා කෙනෙකුයි. අක්කා මැරි කරලා නොටිංහැම්වල ඉන්නේ. අයියා ඇමරිකාවේ. එදා එයාගේ තාත්තා අපි එක්ක කතා කරලා ඉක්මනට ගියා ඔෆිස් යන්න තියෙන නිසා. අම්මානං අපිට රසට කන්න බොන්න හදලා දීලා දවසම අපිත් එක්ක කතා කර කර හිටියා. ඉතිං ඔහොම, රඛිත අයියාත් පියුමිලා, කවිඳුලා තරමටම මගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක් වුණා. එයා හරියට නිර්මාල් වගේ. ඒ තරං කුකුල් කේන්තිකාරයෙක්නං නෙවෙයි හැබැයි හොඳ වෙලාවට. ෆැකල්ටි එකට ලැප්ටොප් එක අරං ගිය දවසක මං එහෙදි ස්කයිප් ලොග් වෙලා අම්මලාටත් අඳුන්නලා දුන්නා රඛිත අයියාවත්.

දැන් මගේ මොළේ හිරිවැටිලා හිත නතරවෙන ලෙඩේ සෑහෙන දුරට අඩුයි. පරණ මතක අමතක වෙලාම නෙවෙයි. ඒත් ඒවා හිත උඩට ආපු ගමන් ආපහු හැංගිලා හිටපු තැනටම ඉක්මනටම එළවලා දාන්න දැන් මට පුළුවන්. ඒත් ඒකත් අමාරු වෙච්ච දවස් තිබුණා. පිරිච්ච හඳ තියෙන අහස දකිද්දි මට හිතෙනවා තව කෙනෙක් මේ හඳ දිහා මේ වෙලාවේ බලං ඉන්නවා ඇතිද කියලා… මල් වත්තකදි, පිට්ටනියකදි, ගං ඉවුරකදි සීතල හුළඟක් ඇඟේ හැපීගෙන හමාගෙන යද්දි මට හිතෙනවා මේ හුළඟ තව කෙනෙක්ගේ ඇඟෙත් හැපීගෙන එන්න ඇත්ද කියලා… කාලය ඕනෙම තුවාළෙකට හොඳ බෙහෙතක් කියලා කිව්වාට මේ වගේ අසනීප නිට්ටාවටම සනීප කරන්න කාලයටවත් බෑ මං හිතන්නේ…

ඉතිං ඔහොම අපේ පළවෙනි සෙමෙස්ටර් එක ගෙවිලා ගියා. මං විභාගෙට හොඳට ලෑස්ති වුණා. විභාගේ අමාරු වුණේ නෑ. හොඳ රිසල්ට්ස් හම්බවුණා. මෙලීසාත් ඔක්කොම සබ්ජෙක්ට්ස් පාස්. අපි දෙන්නා එකටනේ පාඩම් කළේ. දෙවෙනි සෙමෙස්ටර් එක පටන්ගන්න කළින් අපිට පොඩි වැකේෂන් එකක් හම්බවුණා. ඒ දවස්වලම ටවුන් එකට කානිවල් එකක් ඇවිත් තිබුණා. පළවෙනි දවස් ටිකේම අපි කට්ටිය දවල් වරුවම හිටියෙ එහෙ. විනෝද වෙන්න ඇති තරං දේවල් තිබුණා. මං ජීවිතේ පළවෙනි වතාවට රෝලර් කෝස්ටර් එකක ගියෙ එහෙදි. පණ නොයා බේරුණා මදෑ. හැබැයි ඉතිං ගිහිං ඉවර වුණාට පස්සෙ ආයෙ රවුමක් යන්න තරං ජොලි. කානිවල් එකේ අන්තිම දවස වුණේ අපේ වැකේෂන් එකේ අන්තිම දවසට කළින් දවස. එදානම් දවල් නෙවෙයි කානිවල් එකට යන්න ඕනෙ රෑමයි කියලා කට්ටිය කතා කළා. මුළින්ම යෝජනා වුණේ හොස්ටල් එකෙන් හොරෙන් ගිහින් හොරෙන් එන්න. ඒක ඇහිච්ච ගමන්ම මම මෙලීසාට කිව්වා මමනං එන්නෙ නෑ කියලා. ඒක ඉතින් ඕනෙමනම් කරන්න බැරි වැඩක්ම නෙවෙයි කියලා අත්දැකීම් තියන සීනියර්ස්ලා කිව්වා. හැබැයි ඉතින් කට්ටිය ගොඩක් ඉන්න නිසා හොර වැඩේ මාට්ටු වෙන්න ඉඩ වැඩි නිසා අවසර අරගෙනම හොඳ ළමයි වගේ වැඩේට බහින්න අන්තිමට තීරණය වුණා. ළමයින්ගේ දැඩි ඉල්ලීම හින්දාම වෙනදාට රෑ නවයට වහන හොස්ටල් ගේට්ටුව එදා දහයාමාර වෙනකල් ඇරලා තියන්න වෝර්ඩන් එකඟ වුණා. වැකේෂන් එකේදිත් හොස්ටල් එකේම හිටපු සහ වැකේෂන් එකට ගෙදර ගිහින් එදා හවස් වෙද්දි ආපහු ඇවිත් හිටපු ළමයින්ගෙන් රෑ දහයාමාර වෙද්දි හොස්ටල් එකේ නොඉන්න සියලු දෙනා සස්පෙන්ඩ් කරන බවට ස්ටුඩන්ට් ලීඩර් එක්ක වොර්ඩන් ඇග්‍රිමන්ට් එකක් ගහලා අත්සන් කරලාම තමයි අවසරය දුන්නේ.

ඉතිං අපි ඒ ඉරිදා රෑ කානිවල් එකට ගියා. ඇත්තට දවල්ට වඩා රෑනේ මේක නියම කානිවල් එකක් වගේ පේන්නේ. දවල්ට වඩා රෑට ගේම්සුත් වැඩියි. සෙනගත් දවල්ට වඩා වැඩියි තමයි, ඒත් ඉතිං එහෙමට තදබදයක් නෑ, පාක් එක ලොකු නිසා ඇතිවෙන්න ඉඩ තිබ්බා. මං පියුමිලාත් එක්ක අයිස්ක්‍රීම් කකා ඉස්සරහෙන් ඇවිදගෙන ගියා. මෙලීසා බ්‍රයන් එක්ක පිටිපස්සෙන් ආවා. ටිකකින් පියුමි පුළුන් පුරෝපු ටෙඩියො ගොඩාක් ඉන්න ගේම් ස්ටෝල් එකක් ළඟ නැවතුණා. ෂූටිං ගේම් එකක්. දින්නොත් ටෙඩියෙක් හම්බවෙනවා. පියුමිට දිනන්න බැරිවුණා. කවිඳු බොහොම කැමැත්තෙන් එයා වෙනුවෙන් ටෙඩියෙක් දිනාගන්න ඉදිරිපත් වුණා. ඒ දෙන්නට නිදහසේ ඒ වැඩේ කරගන්න දීලා මායි රදිනියි ඉස්සරහට ඇවිදගෙන ගියා. දවල් කාලෙදි වහලා තිබ්බ හොල්මං බංගලාවත් ඒ රෑ ඇරලා තිබ්බා. ඒ හොල්මංවලට ඒ හැටි බය හිතුණෙ නෑ, මට හිතුණෙම ඒ හොල්මං ටික ලංකාවට එක්ක ගිහින් එහෙ ඉන්න රීරි යකා මහසෝනා ගැන එහෙම කියලා දෙන්න. මං ඒ ගැන රදිනිටත් කිය කිය යන අතරේ මෙන්න පැනපි මූණත් වහගෙන තව මොකෙද්දෝ එකෙක් ගොරවගෙන අපි ඉස්සරහට. එච්චර වෙලා හොල්මං අවතාරවලටවත් බය නොවිච්ච අපි දෙන්නාටම එවෙලෙනං කෑගැහුණා. ඒ ගමන ඒ වෙස්මූණුකාරයා බක බක ගාලා හිනාවෙන්න ගත්තා. “රඛිත අයියා!” මං අඳුරගත්තා.

“බය වුණා නේ?” එයා හිනාවෙවීම ඇහැව්වා.

“එග්සෑම් තියෙනවා කිව්වා නේද?” අපිට වැකේෂන් වුණාට සීනියර් බැචස්වල විභාග තිබ්බේ ඒ කාලේ.

“සිකුරාදා ඉවරවුණා. ඉතිං යාළුවොත් එක්ක අද මෙහෙ ආවා…”

“අපියි කියලා දැනගෙනමද එහෙම පැන්නේ?” රදිනිත් මට හිතිච්ච එකම ඇහැව්වා.

“අපොයි ඔව්. මේක ඇතුලේ සිංහලෙන් කියවන්න වෙන කවුද ඉන්නෙ ඉතිං…” එයත් අපි එක්ක එළියට ආවා. “කමු අයිස්ක්‍රීම්…” එයා එතනම තිබ්බ අයිස්ක්‍රීම් ස්ටෝල් එකකට ගියා.

“එපා, අපි දැන් ටිකකට කළිනුත් කෑවා…”

“ඒකට මොකද, ආයෙ කමු…” එයා සල්ලි ගෙවලත් ඉවරයි එතකොට. ඉතින් අපි තුන් දෙනා අයිස්ක්‍රීම් කකා තව ටිකක් වෙලා හිටියා එතන ඉඳගෙන. “කෝ අනිත් යාළුවො ටික?” එයා ඇහැව්වා.

“හිටියා. හෙමින් එයි මේ පැත්තට. අයියලාගේ විභාගෙ කොහොමද?”

“කළා ඉතිං. රිසල්ට්ස් එනකල් මුකුත් කියන්න බෑනේ.”

“ලේසිද?”

“ෆර්ස්ට් ඉයර් ඒවා තරංනං ලේසි නෑ…” මගේ රිසල්ට්ස්නං එයා දැනගෙන හිටියේ. ඒකයි එහෙම කියන්න ඇත්තේ.

“අපෝ අපේ එග්සෑම්නං ෆර්ස්ට් ඉයර් කියලා නෑ, ෆයිනල් ඉයර් තරම්ම අමාරුයි,” රදිනි කිව්වා.

“ආ, මගෙ යාළුවෙක් ඉන්නවා අමන්දිගෙ යාළුවෝ අඳුරගන්න ආසාවෙන්…” රඛිත අයියා හදිසියෙම මතක් වුණා වගේ කියලා රදිනි දිහා බැලුවා. “මං හිතන්නේ රදිනි ගැන ස්පෙෂලි ඉන්ටරෙස්ටඩ්…”

රදිනි මූණ උල් කරගත්තා. “ඒ මොකටද?”

“ඒක ඉතිං එයාගෙන්ම අහලා බලන්න… ඉන්ඩියන් එකෙක්…”

“හාපෝ අර කවිඳුගෙ රූම් මේට් වගේ කෙනෙක්ද?” රදිනි ඔළුවෙත් අතගහගත්තා. “අනේ මටනං එපා…” ක්‍රිෂාන්තන් ගැන කවිඳු කියන කතා මතක් වෙලා මටත් එවෙලෙ හිනා ගියා.

“ඒ මොකද?” රඛිත අයියා ඇහැව්වා. අපි දෙන්නා ඉතිං උඩින් පල්ලෙන් එයා ගැන කිව්වා. “ආ මූ එහෙම නෑ.” එයා යාළුවා වෙනුවෙන් කතා කළා. “කෝකටත් පොඩ්ඩක් අඳුරගෙන කතාබහ කරලා බලන්නකෝ…”

එවෙලෙම ඇහුණේ කවුදෝ ඈත ඉඳං රඛිත අයියාගේ නම කියනවා. එයා ඒ පැත්ත බලලා කතා කරපු කට්ටියට අඬගැහුවා. පස් හය දෙනෙක්ගේ සේනාවක් අපි හිටපු පැත්තට එන්න ගත්තා. “ඔය එන්නේ. අන්න අර කොළ පාට-” එහෙම කියනගමන් එයා රදිනි හිටපු පැත්ත බැලුවා. “ඈ? කෝ මෙයා?” මාත් බැලුවා. රදිනි අතුරුදහන්. එයා ෂෙරෝන්ලා හිටපු පැත්තට දුවගෙන යනවා. ඒ ගොල්ලෝ මැජික් ස්ටෝල් එක ළඟ. තාමත් පියුමිලා, මෙලීසාලා පේන්න නෑ.

රඛිත අයියගේ යාළුවෝ අපි ළඟට ආවා. එයා මාව එයාලට අඳුන්නලා දීලා ඒ එක එක්කෙනාව මට අඳුන්නලා දුන්නා. කොළ පාට ජැකට් එක ඇඳං හිටපු ඉන්ඩියන් කෙනා ගැන මං හොඳට බලාගත්තා. රදිනිට විස්තර කියන්න එපැයි. නම විජේ. කට්ටියම බොහොම විනීතව මා එක්ක කතා කළා. කොච්චර හැදිච්ච යාළුවෝ ටිකක්ද මෙයාට ඉන්නේ කියලා මට හිතෙන්න ගත්තා විතරයි ඒගොල්ලෝ රඛිත අයියාට මට තේරුම්ගන්න බැරි ජාතියේ විහිළු කරන්න පටන්ගත්තා. මං ගැන කියලා. මට රදිනිත් අමතක වුණා, විජේවත් අමතක වුණා, යාළුවන්ගේ විනීතකමත් අමතක වුණා. කොටින්ම මට උතුර දකුණ මාරු වුණා. මාත් රදිනි වගේ එතනින් නැගිටලා නොදිව්වේ අපරාදේ කියලා මට හිතුණා. රඛිත අයියා බොහොම අමාරුවෙන් උන්ගේ කටවල් වහලා එතනින් එළවලා දානවා මං බලාගෙන.

“ඒ මොකද ඒගොල්ලෝ එහෙම දේවල් කිව්වේ?” ඒගොල්ලෝ ගියාට පස්සේ මං බොහොම පරිස්සමෙන් එයාගෙන් ඇහැව්වා.

“උන්ට පිස්සුනේ…” එයා කිසි ගාණක් නැතුව වගේ කිව්වා.

ඒත් මං එයාට මගේම අයියා කෙනෙක් වගේ සැලකුවාට, ලංකාවේ වෙන කවුරුත් නැති අපේ ෆැකල්ටි එකේ ඉන්න එකම සිංහලයෝ දෙන්නා වෙච්චි මායි එයයි අතර තියෙන්නේ ඒ සහෝදරකම කියලා මං හිතං හිටියාට, එයා හිතං ඉන්නේ වෙනස් විදිහකටද කියලා සැකයක් මගේ හිතට පළවෙනි වතාවට එවෙලෙ දැනුණා. මාත් ඉස්සරහදිම යාළුවෝ එයාට ඔහොම කතා කියන්නේ නිකං වෙන්න බෑනේ. එයා නිර්මාල් වගේ කියලා මට කළින් හිතිච්ච කාරණාව එවෙලෙදිත් මට හිතුණා. මේ මොන මළ කරදරයක්ද… කවදද මට මේවායෙන් ගැලවිල්ලක් ලැබෙන්නේ… මං පුටුවෙන් නැගිට්ටා. “මං යනවා මෙලීසාලාව හොයන්න…” රඛිත අයියාට මාව නවත්තගන්න ඉඩක් ලැබෙන්න කළින් මමත් රදිනි වගේම එතනින් පැනලා දිව්වා.

පියුමිට කෝල් කරලා බැලුවාම එයාලා ඒ කිට්ටුවම හිටියා. මං ගිහින් එයාලට එකතු වුණා. රදිනිත් ඒගොල්ලෝ එක්ක එවෙලෙ හිටියා. කවිඳු ෂූටිං ගේම් එකෙන් දිනලා ලැබිච්ච තඩි ටෙඩී බෙයාර්ව පියුමි වඩාගෙන හිටියා. වෙලාව නවයහමාරට ළඟයි. පියුමියි රදිනියිනං හොස්ටල් එකට ආපහු යමුයි කිව්වා. මටත් ඕන වෙලා තිබ්බේ ඒක. මං මෙලීසාට කෝල් කරලා බැලුවා. එයා බ්‍රයන්ගේ අතේ එල්ලිලා අපි හිටපු තැනට හොයාගෙන ආවා.

“තව චුට්ටක් ඉමු. අද ෆයර්වර්ක්ස් තියෙනවලු. ඒක බලලාම යමු…” මෙලීසා කිව්වා.

ඇත්තටම නවයහමාර වෙද්දි ලස්සන මල්වෙඩි සංදර්ශනයක් තිබ්බා. ටීවී එකේ කොච්චර එහෙම ඒවා දැකලා තිබ්බත් මං කවදාවත් හැබැහින් එහෙම දෙයක් දැකලා තිබ්බෙම නෑ. මුළු කානිවල් එකේම මං වැඩියෙන්ම ආස වෙච්ච දේ ඒක. හැබැයි ඒක ඉවර වෙච්ච ගමන්, ආපහු හොස්ටල් එකට යන්න හිතාගෙන හිටපු කීප දෙනෙක්ගෙම අදහස වෙනස් කරවන දෙයක් අනවුන්ස් කරනවා ඇහුණා. කට්ටියට කානිවල් එක මැද තිබුණ එළිමහනට එන්න කියලා ආරාධනාවක්. ඩාන්ස් කරන්න. ඩීජේ මියුසික්වලට. අනවුන්ස්මන්ට් එක ඉවර වෙච්ච ගමන්, මල්වෙඩි සංදර්ශනේට කළින් තිබිලා එවෙලෙ නතරවෙලා තිබ්බ මියුසික් දෙතුන් ගුණයක් හයි වොලියුම් එක්ක ආයෙ ප්ලේ වෙන්න ගත්තා ෆාස්ට් බීට් එකකින්. ඒ කියාපු ඉඩේ පාට පාට ලයිට් කැරකෙන්න ගත්තා.

දැන් ඉතින් මෙලීසාව මෙතනින් හොල්ලගන්නවා බොරු. කවිඳුටත් පියුමිවත් තියාගන්න ඕනවුණාට පියුමි ටෙඩී බෙයාගෙ පිට දාලා මාරු වෙලා යන්න හැදුවා. ඒත් රදිනි ගේට් එක පැත්තට යන එයාලගේ ෆැකල්ටි එකේ කට්ටියක් දැකලා එයා පියුමිගේ ටෙඩියාව පරිස්සමෙන් හොස්ටල් එකට එක්ක යන්නං කියලා, මටත් බායි කියලා ටෙඩියාවත් උස්සගෙන ඒ පස්සෙන් දිව්වා. දැන් මං මොකද කරන්නේ. ගේට් එක පැත්තට යන අය අතර අපේ හොස්ටල් එකේ කාවවත් මට හොයාගන්න බෑ. කවිඳුලාත් ගියානං ඔන්න මාව අපේ හොස්ටල් එක ළඟින් බස්සලා යන්න කියන්න තිබ්බා. ඒත් අර රදිනි එකතු වෙලා ගිය යාළුවෝ මං අඳුරන අය නෙවෙයි, එයාලගෙන් මට එහෙම උදව්වක් ඉල්ලන්න බෑනේ. එයාලාගෙ හොස්ටල් එක තියෙන්නේ වෙන පාරක.

කවිඳු කිසි කතාවක් නැතුව මං වගේම හොල්මං වෙලා බලං හිටපු පියුමිගේ අතින් ඇදගෙන ඩාන්සිං ඒරියා එක පැත්තට යන්න ගියා. පියුමි අනික් අතින් මාවත් අල්ලගත්තා. මාත් ඒ පස්සෙන් ඇදුණා. මෙලීසායි බ්‍රයනුයි ඒ වෙද්දිත් නටනවා. මගේ ඔළුව කරකැවෙනවා වගේ. අර මීදුමෙන් වැහිච්ච කන්දක් උඩදි හීනෙං නැටුව දවසට පස්සේ මං ආයෙ මේ වෙනකල් නැටුවේම නෑ. අඩුගානේ ඉස්සර වගේ කාමරේ දොර වහගෙන රේඩියෝ එක දාගෙන තනියමවත් නැටුවේ නෑ. මට මෙතන ඉන්න කිසිම ඕනකමක් නෑ. ඒත් මට තනියම යන්නත් බෑ. මනුස්සකමට හරි උදව්වක් කරයි කියලා අඳුරන්නෙ නැති කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලගන්නවත් විදිහක් නෑ, දැන් ඔක්කොම හොස්ටල් එකට යන අය ගිහින් ඉවරයි. ආයෙ ඉතිං දහයමාර කිට්ටුවෙලා තමයි මේ නටන අයට යන්න හිතුණොත් යන්නේ. සස්පෙන්ඩ් කළත් කමක් නෑ, රෑ එළිවෙනකල් හරි මෙතන නටන්න හිත හදාගත්තු අයත් ඇති. මෙලීසාත් එහෙම ඉඳියි සමහරවිට, කියන්න බෑ.

“ඇති යාන්තං, මං හිතුවේ ඔයා ගිහිං ඇති කියලා…” මට ඒ ඇහිච්ච කටහඬවත් කාගෙද කියලා බලන්න ඕන වුණේ නෑ. මේ දේවල් මීට කළින් වෙලා තියෙන බවත්, ඒ දේවල් සිද්ධ වුණාට පස්සේ හැම දෙයක්ම අවුල් වෙලා ගිය බවත් ඇරෙන්න මට වෙන මුකුත් හිතුණේ නෑ. ඒ දේ ඇරෙන්න වෙන මුකුත් නොහිතෙන තරමට මගේ හිත ඒ මීට කළින් මොහොතෙන් පිරිලා ගියා. මිස්ටර් සම්පත්… මාස ගාණකට පස්සේ මගේ ඉස්සරහා හිටගෙන හිටියා… මට දරාගන්න බැරි තරමට ඒ මතක මගේ ඔළුව ඇතුළේ හැමතැනම දුවන්න පටන්ගත්තා. එදා දවසේ එයා මේ වගේ මියුසික්වලට නටපු හැටි, කෑම කන අතරෙදි කියපුවා, ඊට පස්සෙ… අපි දෙන්නා… අපි දෙන්නා… එක පාරටම මියුසික් නතරවුණා. මගෙ මතක පොදිය බිම ඉහිරිලා ගියා. නට නටා හිටපු කට්ටියගෙන් ඇහිච්ච අඬෝවැඩියාව මැද්දෙන් මං ඉස්සරහා හිටගෙන හිටපු මිස්ටර් සම්පත් – මගේ හිත ආයෙමත් නතරවුණා… නෑ… මේ එයා නෙවෙයිනේ… මොකද්ද මේ මට වෙලා තියෙන්නේ… මං කන් දෙකත් වැහෙන්න ඔළුව බදාගත්තේ වටේ ගෝසාව වහගන්න නෙවෙයි, මගේ ඔළුව ඇතුළෙන්ම ඇහිච්ච ගෝසාව වහගන්න… මගෙ ඉස්සරහා හිටගෙන හිටියේ රඛිත අයියා. එයා හිනාවෙවී මං දිහා බලං හිටියා.

“හපෝ, ලංකාවේ කෙල්ලෝ ඔක්කොම ඔහොමද ඩාන්ස් කරන්නේ?” එය හිනා වෙවීම ඇහුවා.

මට එයාට උත්තර දෙන්න ඕනකමක් නෑ, මගේ හිත ඇතුළේ මට නවත්තගන්න බැරි මහා කුණාටුවක් හමාගෙන යනවා. මෙච්චර කල් උඩට එන එන සැරේට මං එළවලා දාපු මතක මහා ගංවතුරක් වගේ මගේ නහයටත් උඩින් ගලාගෙන එනවා.

“ඔයත් එකයි, අර පියුමිත් එකයි. දෙපැත්තට වැනි වැනි – පැද්දි පැද්දි – ඔහොමද අනේ ඩාන්ස් කරන්නේ…” එයා කියන ඒවා මගේ කන් දෙකේ ගෑවී නොගෑවී විසි වෙලා යනවා. එයා කියන විදිහට වැනි වැනී නැටුවද කියලාවත් මට මතක නෑ. මට මෙතන ඉන්න බෑ. මට යන්න ඕනේ. මට ගෙදර යන්න ඕනේ. නතර වෙච්ච මියුසික් එක ආයෙ පටන්ගන්නවා වෙනුවට ඒ වෙලාවේ එකපාරටම මුළු කානිවල් එකේම කරන්ට් එක ගියා. වටේම කට්ට කළුවර වුණා. අඬෝවැඩියාව මහා හූ සද්දයකට හැරුණා. කවුදෝ මගේ අතින් අල්ලගත්තා. “අමන්දි…” මිස්ටර් සම්පත්? නෑ, රඛිත අයියා. මං අත ඇදලා ගත්තා. “මගේ යාළුවෝ කියපු දේවල් ගැන ඔයාට හිතුණ දේවල් මට කියන්න…” හතර වටෙන් ඇහෙන මහා ගෝසාව මැද්දෙන් එයා ඒ දේවල් කොහොම මට ඇහෙන්න කිව්වද මං දන්නෙ නෑ. වචන ඔක්කොම පැහැදිලිව කන් දෙකට ඇහුණාට ඒ එක වචනයක්වත් මගේ මොළේට ඇහුණෙ නෑ. කොටින්ම මගේ මොළේ හරියට ඒ වෙලාවේ වැඩ කළේම නෑ. මට ඕන වුණේ එතනින් පැනලා දුවන්න. ඒත් මේ කළුවරේ මොකවත් පේන්නෙ නෑ. එකපාරට ආපු තල්ලුවකින් මං බිමට නොවැටී බේරුණේ හරිම අමාරුවෙන්. රඛිත අයියා මාව අල්ලගත්තා. “බය නොවී ඉන්න, ඉක්මනට කරන්ට් එයි…” එයා මිමිණුවා. එයා මට ළංවෙලා ඉන්නවා ඕනැවට වැඩියි. ඒත් එන්න එන්නම කලබල කරන සෙනඟ රොත්ත මැද්දේ මං නොවැටී හිටියේ එයා මාව අල්ලගෙන හිටපු හින්දා. සෙනග මැද්දෙන් කළුවරේ යාගන්න විදිහක් තිබ්බනං මං එයාව තල්ලු කරලා දාලා යනවා යන්න. මට අඩුගානේ අපේ එහාපැත්තේ හිටපු පියුමියි කවිඳුයිවත් හොයාගන්න බැහැ.

කිව්වත් වගේම ඉක්මනට කරන්ට් ආවා. මියුසික් එකත් ආයෙ පටන්ගත්තා. වටේ හිටපු අය ආයෙමත් උඩ පැන පැන නටන්න පටන්ගත්තා. ඒත් රඛිත අයියා මාව අතඇරියේ නෑ. එයා මාව අල්ලගෙනම නටන්න පටන්ගත්තා. “මට යන්න ඕනෙ…” ආයෙමත් වතාවක් මේ දේවල් මීට කළින් වෙලා තියෙන බව ඔළුවට දැනෙන අස්සේ මං කිව්වා.

“ඔයාට මං නටන්න උගන්නන්නං… තව වෙලා තියෙනවා හොස්ටල් එකට යන්න. තාම දහයයි…”

“බෑ බෑ, මට නටන්න ඕනෙ නෑ…” මං එයාගෙන් ගැලවෙන්න පොරකෑවා. “මට යන්න දෙන්න…”

ඒත් එයා මාව අත අරිනවා වෙනුවට කළේ මට මුකුත් හිතාගන්නවත් ලැබෙන්න කළින් එකපාරටම ඉස්සරහට නැමිලා මගේ කම්මුල ඉඹින එක. මගෙ මුළු ඇඟෙන්ම දුම් විසිවෙන්න පටන්ගත්තා. කන් දෙකෙන් ගින්දර විසිවෙන්න පටන්ගත්තා. මටත් නොදැනිම මගේ අත ඉස්සිලා පුළුවන් වීරිය යොදලා ඒ මෝඩයාගේ කම්මුලට ගැහැව්වා. එයා මාව අත ඇරියා. කම්මුල අල්ලගෙන බිරන්තට්ටු වෙච්ච මූණෙන් වටපිට බැලුවා. ලැජ්ජ ඇති සෙනග මැද්දේ කෙල්ලෙක්ගෙන් ගුටි කන්න වෙච්ච එකට. එයා හරිනං සතුටු වෙන්න ඕනේ මට සපත්තුව ගලවලා අතට ගන්න නොහිතී අතෙන්ම කම්මුලට ගහපු එක ගැන. ඒත් වටපිටාවේ කාටවත් වගේ වගක් නෑ. ඒගොල්ලො ඒගොල්ලන්ගෙ ලෝක වල. මේ මෝඩවහන්සේ ඇරෙන්න මං දන්න කියන කවුරුවත් ළඟ පාතක හොයාගන්නවත් නැහැ. මං ඒ මෝඩයා ඒ නොසණ්ඩාල වැඩේ කරපු කම්මුල අතින් පිහිද පිහිද එතනින් හැරිලා සෙනග මැද්දෙන් රිංගගෙන ආවා. මගේ ඇස් දෙකෙන් කඳුළු කැට හෝ හෝ ගාලා වැටෙනවා. “අමන්දි… අමන්දි…” තව ලැජ්ජ නැතුව පස්සෙනුත් එන හැටි! මං නවතින්නෙ නැතුවම ගියා. සෙනග මැද්දෙන් එළියට පැනගත්තු ගමන් එයා ආපහු මගේ අතින් අල්ලගත්තා.

මං කුණාටුවක් වගේ ඒ අත ගසලා දාලා ආපහු හැරුණා. “මොකද???” මං කඩං පැන්නා.

“දෙයියනේ, ඒක ඔයාට ඔය හැටි තරහා යන්න දෙයක් නෙවෙයිනේ…” එයා මිමිණුවා. මොකද නැත්තෙ??? මෙහෙම සෙනගක් මැද්දේ කොල්ලෙක් කෙල්ලෙක්ගේ කම්මුල ඉඹිනවද??? සෙනඟක් නැති තැනක වුණත් කෙල්ලගෙන් අවසරයක් නැතුව එහෙම දෙයක් කරන්නේ එයාට තියෙන මොන අයිතියකටද??? මාව කේන්තියට වෙව්ලනවා. මොනවත් කියාගන්නවත් බෑ මට. “හරි හරි, ඔයා කාල්ම් ඩවුන් වෙන්නකෝ ඉස්සල්ලා… මම හිතුවෙ නෑ ඒක වැරැද්දක් කියලා… අයිම් රියලි වෙරි සොරි…” එයා මගේ උරිස් දෙකෙන් අල්ලලා ළඟම තියෙන පාක් බෙන්ච් එකේ වාඩි කරවන්න හැදුවා. ඒත් එයාගෙ අත් දෙක ළං වෙද්දිම මං ආපහු ඇවිලිච්ච හින්දා එයා අත් දෙක අහකට ගත්තා. කෙළින් හිටං ඉන්න බැරි තරමට ඔළුව අවුල් වෙලා හිටිය හින්දා මම ඒ බංකුවෙන් ඉඳගෙන ඔළුව අත් දෙකේ ඔබාගත්තා. “පොඩ්ඩක් ඉඳං ඉන්න ඔහොම…” එයත් මං ළඟින් ඉඳගත්තා. එවෙලෙම මං එතනින් නැගිට්ටා. එයත් ආපහු නැගිට්ටා. “අනේ අමන්දි, මං ඔයාට මුකුත් කරන්නෙ නෑ… අයිම් සෝ සොරි…” මං කතාවක් නැතුව ආපහු ඉඳගෙන ආයෙමත් මූණ අත් දෙකේ හංගගත්තා. “ඔයා ඔහොමම ඉන්න… මං බොන්න මොනවාහරි අරං එන්නං…” මං උත්තර දෙන්න ගියේ නෑ. “ඔතනම ඉන්න හොඳද… මං ඉක්මනට එන්නං…” එයා ගියා.

මං ඔළුව ඉස්සුවා. එයා ඈත සොෆ්ට් ඩ්‍රින්ක්ස් ස්ටෝල් එක පැත්තට යනවා පේනවා. මං නැගිට්ටා. තවත්නං මෙතන ඉන්න බෑ. මං ජැකට් එකත් තවත් තද කරලා පොරවගෙන ආපහු බලන්නෙවත් නැතුව කෙළින්ම ගේට් එක පැත්තට දිව්වා.

කානිවල් පාක් එකෙන් එළියටම එනකල් මම නෙවෙයි හැරිලවත් බැලුවේ. ගේට්ටුව ළඟත් වැඩි වෙලා වටපිට බල බල හිටියෙ නෑ මං කෙළින්ම ක්‍රොසිං එක ළඟට ඇවිත් පාර පැන්නා. දැන් කෙළින්ම ඉස්සරහා බ්ලොක් එකට වම් පැත්තෙන් මේන් රෝඩ් එක දිගේ ගිහින් හතරමං හන්දියෙනුත් පාර පැනලා ඊළඟට හම්බවෙන තුන්මං හන්දියෙන් දකුණට හැරිලා යන්න තියෙන්නේ. එහෙම ටික දුරක් ගියාම ආයෙ වම් අත පැත්තට පාර පැනපු ගමන් අපේ හොස්ටල් එක. පහුගිය ටිකේම අපි ආවේ ගියේ ඒ පාරෙන්නේ. මට මතකයි. පයින් යන්න ඒ හැටි දුරක් නෙවෙයි. තනියම යන්න වෙච්ච එකයි අවුල. ඒ ගැන දැන් හිතන්න ඕන නෑ. ඕක ඇතුළේ තවත් ඉඳලා තවත් ඔළුව නරක් කරගන්නවාට වඩා හොඳයි මෙහෙම. අනික මේ සුද්දොංගෙ රටේනේ. සුද්දෝ හොඳට මැනර්ස් දන්නවලුනේ. දැනටනං කවුරුවත් පේන්න නෑ. ඒ හින්දා හිතේ බයක් නැතුව යත හැකි.

මට පාර පැනලා අඩි දහයක් යන්න හම්බවුණේ නෑ ෆෝන් එක රිං වෙන්න ගත්තා. මං නැති බව දැකලා පියුමිලා කෝල් කරනවද දන්නෙ නෑ, මං ෆෝන් එක අරං බැලුවා. හයියෝ, අර මැටි මෝලා! මට ෆෝන් එක පොළොවේ ගහන්න තරං කේන්තියක් ආවා. කරපු හරිය මදිවට තව කෝල් කරන්නත් එනවා. මං කෝල් එක කට් කරලා දත්මිටි කකා ඉස්සරහට ගියා. ආයෙ කෝල් කරනවා. මේ වෙලාවේ ෆෝන් එක ඕෆ් කරගෙනත් බෑ. මං කෝල් එක සයිලන්ට් කළා. ඔහෙ රිං කරපුදෙං. මං හතරමං හන්දිය ළඟට ආවා. ඉස්සරහා මට යන්න තියෙන පාර ක්ලියර්. වම් පැත්තත් ක්ලියර්. ඒත් දකුණු පැත්තේ මට පනින්න තියෙන ක්‍රොසිං එක ළඟම මිනිස්සු තුන්දෙනෙක් ස්ට්‍රීට් බෙන්ච් එකක වාඩිවෙලා සිගරට් බොනවා. මට හීන් දාඩිය දැම්මා. දෙයියනේ, මේ වෙලාවට පොලිස්කාරයෙක්වත් හොයාගන්න නැති හැටි. මට ආපහු හැරිලා පාක් එකටම දුවන්න හිතුණා. ඒත් ඒ වැඩේ තේරුමක් නෑ, දැන් මං ගමනෙන් බාගයක්ම ඇවිල්ලා ඉවරයි. පාරේ වාහන නැති හින්දා මං ක්‍රොසිං එක ළඟට යන්නෙ නැතුව හන්දිය ළඟින්ම පාර පැන්නා. ‘ඒයි, මොකෝ තනියෙං?’ ‘පාර පනින්න තියෙන්නේ මෙතනිං’ ඔන්න ඔහොම මොනවදෝ කියලා ඒ මිනිස්සු කෑගහනවා ඇහුණා. පාර පැනලා ඉස්සරහා බිල්ඩිං එක ළඟින් හැරෙද්දි එච්චරවෙලා ඉඳං හිටපු මිනිස්සු ටික නැගිටලා ඉන්නවා මගෙ ඇස් කොනට පෙනුණා. මාව ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තා. ඒ අස්සේ ෆෝන් එක ආයෙත් රිං වුණා. මං බයටම ඒ වතාවේ කෝල් එක ආන්සර් කළා. ඒත් කනේ තියාගත්තෙ නෑ. දැන් එයා අහන ඒවට උත්තර දිදී යන්න ගියොත් මට පරක්කු වෙනවා. අර මිනිස්සු පස්සෙන් එනවා මට දැනෙනවා. මට හැරිලා බලන්නවත් බයයි. හැරිලා නොබැලුවත් මට ඒගොල්ලන්ගේ සපත්තු සද්දෙයි, කියවන සද්දෙයි ඇහෙනවා. මෙහෙම කෙළින්ම ඉස්සරහට ගියොත් උන් ටික මට ළං වෙනවා. දකුණට තියෙනවා ෂෝට් කට් එකක්. අපි දවස් දෙක තුනක් ඒ පාරෙන් ඇවිත් තියෙනවා, මට මතකයි. ඒ පාරේ තියෙනවා පොඩි ඇඳුම් කඩයක්. ඔව් මට මතකයි ඒ කඩේ, පොඩි වුණාට ලස්සන ඇඳුම් තියෙනවා ඒකේ. ඒ කඩේ පහුවෙච්ච ගමන් වමට හැරෙන්න ඕනේ. ඒ පාර කෙළින්ම අපේ හොස්ටල් ගේට් එක ඉස්සරහට වැටෙන්නේ. හරි මට මතකයි. මං ඉස්සරහා දකුණු පැත්තේ පාරට හැරුණා. ටිකක් ඉස්සරහට යද්දියි මං කරගත්තු මෝඩකමේ තරම මට තේරුණේ. දෙයියනේ, මහ පාළු හරියක්. අරුන් ටිකත් ඒ පාරට හැරුණා මට දැනුණා. මං තවත් හයියෙන් ඇවිදින්න පටන්ගත්තා. කෝ මේ කඩේ ළඟින් හැරෙන පාර? කෝ මේ කඩේ? දෙයියනේ කොහොමද හොයාගන්නේ? කඩවල් වහලා, ලයිට් එකක්වත් දාපු කඩයක් නෑ. මං මේ මොන මෝඩකමක්ද කරගත්තේ. දුරයි කියලා බලන්නෙ නැතුව මේන් රෝඩ් එකෙන්මනේ යන්න තිබ්බේ. යාන්තමට තිබුණේ තැනින් තැන තිබුණු ලයිට් කණුවල එළිය විතරයි. ආයෙමත් ෆෝන් එක රිං වුණා. ඒ වතාවෙදි මං ආන්සර් කරලා කනේ තියාගත්තා. “අයියෝ අමන්දි, ඔයා මොන ලෝකෙද ඉන්නෙ???” රඛිත අයියා කෑගැහුවා.

“මං යන ගමන්… හොස්ටල් එකට…”

“මොකා??? කාත් එක්කද???”

පිටිපස්සෙන් එන උන්ගේ කටහඬ තවත් ළංවෙලා ඇහුනා. මං දුවන්න පටන්ගත්තා. “තනියම…”

“තනියම??? දෙයියනේ! ඔයා මොකද දුවන්නේ??? මට කියන්න කොහෙද ඉන්නෙ කියලා??? මං දැම්මම එන්නං…”

“අනේ රඛිත අයියේ, මගෙ පස්සෙන් කවුදෝ මිනිස්සු කට්ටියක් පන්නනවා…”

“දෙයියනේ! මැටි මෝලි! මොළයක් තියෙන කෙල්ලෙක් තනියම ගමන් යන වෙලාවක්ද මේ??? කියනවා මට කොහෙද ඉන්නෙ???”

“මං ෂෝට් කට් පාරට හැරුණා අර පාර දුර වැඩි නිසා…” උන් ටික ළඟ ළඟම එනවා. මං ඔළුව හරව හරව හෙව්වේ වම් පැත්තට හැරෙන පාර. අන්න තියෙනවා වම් පැත්තට පාරක්. ඒකද? “අර කඩේ-” එකපාරටම මගෙ කකුල මොකද්දෝ ගැට්ටක හැප්පිලා මාව විසිවෙලා ගිහින් ඇදගෙන වැටුණා. ෆෝන් එක මගෙ අතින් විසිවෙලා තව කොහෙටදෝ වැටුණා. මං ළඟ තිබ්බ කණුව අල්ලගෙන දනිපනි ගාලා නැගිට්ටා. තෝන්තු ගතිය යන්න පොඩ්ඩක් එහෙමම ඉන්න ගමන් මං ෆෝන් එක කොහෙද බැලුවා. ඒක පාර මැද. අරුන් ටිකත් දුවගෙන එනවා දැන්. ෆෝන් එක ඕනෙ නෑ. මං ඒක එහෙමම තියෙද්දි ළඟම තිබ්බ අතුරු පාරෙන් වමට හැරිලා දිව්වා. කළින් තරං හයියෙන් මට දුවාගන්නත් බෑ, හති. ඒත් මං නවතින්නෙ නැතුවම දිව්වා. ඔළුවත් රිදෙනවා පැලෙන්න වගේ. මං ඩිංගක් නතරවෙලා ඉස්සරහා බැලුවා. ඉස්සරහින් අතුරුපාර වෙන හරස් පාරකට එකතු වෙනවා… ඒත් ඒක මේන් රෝඩ් එක නෙවෙයිනේ… හරිනං මෙතනට හොස්ටල් එකේ ගේට් එක පේන්න ඕනේ… අනේ දෙයියනේ… මං මේ කොහෙද ඉන්නේ… මට සිහි නැති වෙන්න තරම් මහන්සියි… මං ඔළුව බදාගත්තා… මේ තෙත මොකද… දාඩිය දාලා වෙන්න ඇති… මං අත් දෙක දිහා බැලුවා… දෙයියනේ ලේ??? මගෙ නළලෙන් ලේ ගලනවා… වැටිච්ච පාරට කණුවෙ හැප්පෙන්න ඇති… අනේ මං මොකද කරන්නේ… ෆෝන් එකත් නෑ… අරුන්ගේ සද්දෙ ආයෙමත් ඇහෙනවා… උන්ට ෆෝන් එක මදි වෙලා වගෙයි… මං ඔළුව අමතක කරලා ආයෙත් දුවන්න පටන්ගත්තා… ඉස්සරහා හරස් පාරට වැටිච්ච ගමන් මං ආයෙත් හිතන්නෙ නැතුවම වමට හැරිලා දිව්වා… මේ පාර කළුවරයි… ආයෙ කොහෙ හැප්පිලා වැටෙයිද දන්නෙ නෑ… මං නතරවෙලා වටපිට බැලුවා… මුළු ලෝකෙම කැරකෙනවා වගෙයි… මගෙ පපුවයි, මොළෙයි දෙකම මගේ ඇඟෙන් එළියට පනින්න හදන තරං වේගෙන් ගැහෙනවා… ෆෝන් බොක්ස් එකක්! ළඟම! මං ආපහු කකුල් දෙකට පණ අරගෙන එතනට වෙනකල් දිව්වා… ඒක ඇතුළට රිංගගෙන දොරේ අගුල දාගත්තෙත් පුදුම අමාරුවකින්, මගේ ඇඟිලි වෙව්ලනවා… මගේ මුළු ඇඟම වෙව්ලනවා…

කෙළින් හිටගෙන ඉන්න බැරි හින්දා මං ෆෝන් බොක්ස් එක ඇතුළෙම බිම වාඩි වුණා… පේෆෝන් කාඩ් එක ජැකට් එක ඇතුළේ පර්ස් එකේ තියනවා… කාසිත් තියෙනවා… ඒත් කාටද මං දැන් කතා කරන්නේ… මෙහෙ යාළුවෝ කාගෙවත්, හොස්ටල් එකේවත් නොම්බර මට මතක නෑ… ඔක්කොම සේව් කරලා තිබුණේ ෆෝන් එකේ… එමර්ජන්සි නම්බර් එක! මට මතක් වුණා. මං හෙමින්සැරේ හිටගෙන පේෆෝන් කාඩ් එක දාලා 119 ගහලා බැලුවා. රිං වෙන සද්දයක් නෑ. ඔක්කොම රටවල්වල එකම එමර්ජන්සි නම්බර් එකක් නෙවෙයිද තියෙන්නේ… මං දන්නෙ නෑ… ලංකාවේ එකනං ඉතින් ඕකනේ. ඩිරෙක්ට් ඩයල් බට්න් එකක්වත් තියෙනවද කියලා මං නම්බර් පෑඩ් එක හොඳට බැලුවා… ඒකත් පේන්නේ මට බොඳ වෙලා… එහෙම බට්න් එකක් නෑ… ඒ නම්බර් එක අඩුගානේ – ආ මේ තියෙන්නේ – නෝටිස් එකක් තියෙනවා… ඒත් කෝ නම්බර් එක… අනේ දෙයියනේ… මොකෙද්දෝ අත තියං ඉන්න බැරි එකෙක් ඒක බාගෙට ඉරලා දාලා… මම දැං මොකද කරන්නේ… මම ආයෙත් 119 ගහලා බැලුවා… වැඩක් නෑ… මං ෆෝන් බොක්ස් එකේ කළුවර වීදුරු අස්සෙන් එබිලා බැලුවා. කවුරුවත් පේන්න නෑ… ඒත් කොයිවෙලාවේ හරි අරුන් ටික එයි මේ පැත්තට… මං ආයෙත් බිම ඉඳගත්තා… එච්චර වෙලා හිතේ බයටම හිර වෙලා තිබ්බ කඳුළු හෝ ගාලා ගලාගෙන එන්න පටන්ගත්තා… අනේ දෙයියනේ මං දැන් මොකද කරන්නේ… දැන් ගන්න තියෙන්නේ එක්කෝ ගෙදර ෆෝන් එකට, නැත්තං මල්ලිට… ඒත් කොහොමද මං ඒගොල්ලන්ට කතා කරලා මේ වෙච්ච දේවල් කියන්නේ… රස්තියාදු ගමන් යන්න එපා කියලා අම්මා කියලා තියෙද්දී… මොළේ කල්පනා කරලා පරිස්සමෙන් වැඩ කරන්න කියලා තාත්තා කියලා තියෙද්දී… මල්ලිට කතා කළත් එයා ඕක අම්මලාට කියයි… අනික මං මේ වෙලාවේ ඒගොල්ලන්ට කිව්වා කියලා ඒගොල්ලෝ මොනවා කරන්නද… මාව හොයං මෙහෙ එන්නද… බෑ බෑ බෑ, ඒගොල්ලන්ව බොරුවට බය කරන්න බෑ……

මට තවමත් සිහිය තියෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ… අතේ තිබ්බ ෆෝන් එක නැති වුණේ මගෙ කරුමෙට… ඇත්තට ඉතිං මෙහෙම දේවල් වෙන්නේ කරුමෙට තමයි… නෑ, මෝඩකං කරුමෙට පටවලා වැඩක් නෑ… මේ තනිකරම මගේ මෝඩකම… අරුන්ගේ සද්දෙ ආයෙමත් ඇහුණා… උන් මේ පාරට ඇවිල්ලා… රෝලර් කෝස්ටර් එකේ යද්දි දැනිච්ච බය මේ වෙලාවේ මට දැනෙන බය අහලකින්වත් තියන්න බෑ… මරණ බය කියන්නේ මේක වෙන්න ඇති… මං වෙව්ල වෙව්ල ආයෙමත් නැගිට්ටා… අනේ දෙයියනේ මට මැරෙන්න බෑ… මගෙ අම්මයි තාත්තයි මල්ලියි කොහොම උහුලගනියිද… මුං මාව ඉතුරු කරන එකක් නෑ… මේකේ ලොක් එක දාගෙන හිටියා කියලා වැඩක් නෑ, උන් ඕක කඩලා මාව එළියට ඇදලා ගනියි… මං ආයෙමත් කළුවර වීදුරු අස්සෙන් එබිලා බැලුවා. උන් ටික වහලා තියෙන සාප්පුවල වීදුරු අස්සට එබි එබී බලනවා… මං පිස්සුවෙන් වගේ රිසිවර් එක කනේ තියාගෙන නම්බර්ස් ඔබාගෙන ඔබාගෙන ගියා… මොකද්දෝ නොම්බරයක් එබුණා… ෆෝන් එක රිං වෙන්න පටන්ගත්තා… මං රිසිවර් එකත් කනේ තියාගෙන බිත්තිය දිගේ හේත්තුවෙලා ආපහු බිම ඉඳගත්තා…

මට මතක එච්චරයි………….

– මතු සම්බන්ධයි –

ප.ලි.: සිත්තමීගේ සිස්ටම් අවුට් වී ඇති මහා ජොලි සමයෙක ලියැවෙනා මේ කොටස් කියැවීමෙන් ඔබගේද සිස්ටම් අවුට් වී යා හැකි බව කරුණාවෙන් සලකන්න…

http://sithumkavipotha.blogspot.com/2018/02/250-21.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල