සංචාරක හා ඡායාරුප

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ, ‘උලුරු’ (Uluru) පර්වතය පිහිටි යුනෙස්කෝ සංස්කෘතික උරුම වනෝද්‍යාණයේ සංචාරයක්

Off

මෙය ඉතාමත් මෑතදි ලැබූ අත්දැකීමකි. (මෙම විස්තරය කොටස් කිහිපයකින් පළකරන බව කරුණාවෙන් සලකන්න)

(පළමුවෙනි කොටස)

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ, සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනම මගින් එහි සාමාජික සාමාජිකාවන් සඳහා සංවිධානය කරන ලද, මෙම සංචාරය සඳහා එහි සාමාජිකයෙකු වන මටද සහභාගී වීමට අවස්ථාවක් ලැබිණ.

UNESCO සංවිධානය මගින් ලෝකයේ රටවල් 167 ක සංස්කෘතික, ඓතිහාසික හෝ ස්වාභාවික උරුම 1073 ක් නම්කර තිබේ. මෙයින් 832 ක් ඓතිහාසික උරුම වන අතර 206 ක් ස්වාභාවික පිහිටීම් වේ. ඉතිරි 35 මිශ්‍ර උරුම ලෙස සැලකේ. (2015 UNESCO සංඛ්‍යා ලේඛන අනුව)

මේ අනුව, ශ්‍රී ලංකාවේද සංස්කෘතික සහ ස්වාභාවික උරුම අටක්‌ නම්කර ඇත.
ඕස්ට්‍රේලියානු කලාපයේ, (අවට දූපත්ද ඇතුළුව) සංස්කෘතික උරුම 3 ක්,‌ ස්වාභාවික උරුම 12 ක්‌ සහ මිශ්‍ර උරුම 4 ක්‌ හඳුනාගෙන තිබේ.

ඓතිහාසික, සංස්කෘතික සහ ස්වාභාවික වැදගත්කම යන කරුණු සියල්ලම නිසා UNESCO සංවිධානය මගින්, ජගත් උරුමයක් වශයෙන් නම් කර ඇති, ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ, මධ්‍ය ප්‍රදේශයේ පිහිටි අති විශාල ‘උලුරු’ පර්වතය පිහිටි ප්‍රදේශය ‘උලුරු – කාටා ට්ජුටා’ (Uluru-Kata Tjuta) රක්ත කාන්තාර (Red desert), වනෝද්‍යාණය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. ‘කාටා ට්ජුටා’ නමින් හැඳින්වෙනුයේද උලුරු පර්වතයේ සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි තවත් පර්වත සමූහයකි.

අප මෙල්බර්න් සිට උලුරු පර්වතයට තරමක් දුරින් පිහිටි යුලාරා (Yulara) නම් කුඩා ගුවන් තොටුපල දක්වා අභ්‍යන්තර ගුවන් යානයකින් ගමන් කළෙමු. මෙල්බර්න් සිට යුලාරා දක්වා ගොඩබිමින් යාමට කිලෝමීටර් 2362 ක්‌ තිබෙන අතර මෝටර් රථයකින් එම ගමන යාම සඳහා, පැය 25 ක්‌ පමණ ගතවේ. ගුවන් යානයෙන් ගමනට ගතවනුයේ පැය තුනකට තරමක් අඩු කාලයකි.

අපි 2018 පෙබරවාරි මස තුන්වෙනිදා, අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යානයකින් මෙල්බර්න් සිට, ඉතා කුඩා ‘යුලාරා’ ගුවන් තොටට පැමිණෙන විට පස්වරු තුන පමණ විය.

උලුරු ගුවන් තොට වෙත ලඟා වනවිට අහසේ සිට බලන විට තැනිතලා බිමින් ඉහලට නැගී සිටින රක්ත වර්ණ පර්වතය පැහැදිලිව දැක ගැනීමට හැකිවිය.
වනෝද්‍යාණ ඇතුලත විශාල දුර ප්‍රමාණයක් ගමන් කිරීමට සිදුවන නිසා ඒ සඳහා ගුවන් තොටෙහි ඇති කුලී වාහන ලබාගැනීමට හැකි විය.

අපට නවාතැන් ගැනීම සඳහා උලාරා ගුවන් තොට ආසන්නයේ පිහිටි සංචාරක ගම්මානයේ, ‘Emu walk apartments’ නම් සියලු පහසුකම් සහිත නිවාඩු නිකේතන නිවාස වෙන්කර තිබුණි. මෙයින් එක් නිවාසයක හය දෙනෙකුට නතරවීම සඳහා සියලු පහසුකම් සැපයින. අපි අපගේ ආහාර පාන එම නිවාස වලම සකස් කර ගැනීමට කටයුතු කළෙමු.

දහවල් කාලයේ තද අව් රශ්මිය නිසා (මේ දිනවල එහි දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය.) මේ නිසාම අපගේ නැරඹීම් කටයුතු, අලුයම 5.00 ට පමණ ආරම්භ කර, දහවල් 11.00 දක්වාත්, සවස් කාලයේ පස්වරු 3.00 සිට ඉදිරියට රාත්‍රී නවය වනතුරු කළහැකි බවට උපදෙස් ලැබී තිබුණි.

ඒ සමගම නිරතුරුවම බිම සඳහා, වතුර බෝතලයක් බැගින් ගෙන යාමද අත්‍යාවශ්‍ය බව දන්වන ලදී.

වනෝද්‍යාණය නැරඹීම සඳහා, නිකුත් කළ දින සිට දින තුනක්‌ දක්වා වලංගු ප්‍රවේශ පත්‍ර (එකක් ඩොලර් 25 බැගින්) වනෝද්‍යාණ කාර්යාලයෙන් මිලදී ගතහැකි විය.

පළමු දින සවස් වරුවේ අපට නියමිත වුයේ, හිරු අවරට ගොස් බැස යන අවස්ථාව එළඹෙන විට, උලුරු පර්වතය මත පතිත වන හිරු රැස් පරාවර්තනය මගීන් නිර්මාණය කෙරෙන විචිත්‍ර ආලෝක රටා දර්ශණය දැක බලා ගැනීමයි.

පෙබරවාරි-මාර්තු කාලය ඕස්ට්‍රේලියාවේ ගිම්හාන සමය නිසා, මේ දිනවල හිරු බැස නොපෙනී යනුයේ, පස්වරු අටට පමණය. එදින අපි සියලු දෙනාම පස්වරු හත පමණ වන විට, එම දර්ශනය නැරඹීම සඳහා පහසු ස්ථානයක්

සොයා ගියෙමු. එදින හිරු බසින වෙලාව පස්වරු අට පසුවී මිනිත්තු දොළහට බව සඳහන් කර තිබුණි.

වනෝද්‍යාණයේ පිවිසුම් දොරටුවද ඉතාමත් දැකුම්කලු එකක්‌ විය. එය නම්කර ඇත්තේ ‘Uluru-Kata Tjuta’ වනෝද්‍යාණය යන නමින්ය.

අප පර්වතය අසලට යන විටත් තවත් සංචාරකයෝ විශාල පිරිසක් හිරු බැසයාමේ දර්ශනය නැරඹීමට සුදුසු ස්ථාන වලට රොක්වී සිටියහ.

එහිදී සන්ධ්‍යා කාලයේ හිරු රැස් වැටී, ලා රක්ත වර්ණයෙන් දිදුලන, උලුරු පර්වතය අපට ඉතා පහසුවෙන් දැක බලා ගැනීමට හැකිවිය.

මෙම පර්වතය කබුක්‌ වැනි, වැලි ගල් පාෂාණ (laterite sandstone) විශේෂයකින් නිර්මාණය වී ඇති අතර, රක්ත වර්ණයක් පවතිනුයේ එහි ෆෙල්ඩ්ස්පාර් (feldspar) නම් ඛනිජය බහුලව තිබෙන නිසාය. ෆෙල්ඩ්ස්පාර් ඛනිජයේ යකඩ මුල ද්‍රව්‍යය (Ferrous) අඩංගු නිසා දිගු කාලයක් තිස්සේ සුර්යාලෝකයට නිරාවරණය වීම නිසා ඔක්සිකරණය වී පර්වතය මතුපිට රතු පැහැයෙන් යුක්ත යකඩ මළ (ferric oxide) වැනි සංයෝගයක් සෑදෙයි. පර්වතය සහ සම්පූර්ණ භූමියේම පස ගඩොල් රතු පැහැයක් ගන්නේද මෙම රසායනික සංයෝගය නිසාය.

චාරිකාවේ දෙවන දිනය පෙබරවාරි හතර වන දා විය. පෙරදින එක් කණ්ඩායමක් ප්‍රමාදවීම නිසා හිරු අවරට යාමේ දර්ශනය ඔවුනට දැකගත නොහැකිවීම ගැන තරමක කනස්සල්ලක් ඇතිවිය.

‘හෙට උදේ සියලු දෙනාම තමන්ගේ උදේ ආහාරයද රැගෙන අපගේ නිකේතන සංකීර්ණයේ ප්‍රධාන දොරටුව අසලට නොවරදවා රැස්වන්න. ඉර පායන වෙලාව උදේ 6.14 ට. ඒ සඳහා නැරඹුම් වේදිකාවල හොඳ තැනක් අල්ලා ගැනීමට පැය කාලකටවත් කලින් යන්නට ඕනෑ’.
මෙම පණිවුඩය, පදනමේ ලේකම් සහ චාරිකාවේ ප්‍රධාන සංවිධායක අජන්තා සොයුරිය විසින්, අපගේ කණ්ඩායමේ අය නවාතැන් ගෙන සිටි, සෑම නිකේතන නිවාසයකටම පෞද්ගලිකව දන්වන ලදී.

සියලු දෙනාම දැන්වූ පරිදි, හිමිදිරි පාන්දර පහට පිටත් වීමට සූදානම් වී වූවෙමු නියමිත තැනට රැස්වූයෙමු.

හිරු උදාව නැරඹීම සඳහා යෝජිත ස්ථානයට යාම සඳහා අපට පැයක් පමණ ගතවිය. ඒ වන විටත් සංචාරකයින් විශාල පිරිසක්, පර්වතය ඉදිරිපස කඳු ගැටයක, තට්ටු වශයෙන් සකස් කර තිබුණු නැරඹුම් වේදිකා මත රොක්වී සිටියහ. අප සියලු දෙනාටම පහසුවෙන් නැරඹිය හැකි ස්ථානයක් ලැබිණ.

විවිධ කැමරා මානා ගෙන හිරු උදාව ඡායාරුප ගත කිරීම සඳහා විවිධ රටවල අය සිය ගනණක්‌ නැරඹුම් වේදිකා මතට වී සිටියහ.

පෙරවරු හය පමණ වන විට පෙරදිග අහසේ තරමක දීප්තියක් ඇතිවී එය ක්‍රමක්‍රමයෙන් වැඩිවන අකාරය අපට පහසුවෙන් දැක ගන්නට ලැබිණ.

එම දීප්තිය ක්‍රමක්‍රමයෙන් වැඩිවී පර්වතයට ඉහළින් ක්‍ෂිතිජය මට්ටමෙන් එක්වරටම ළහිරු රැස් දහරා දසත විහිදුවමින් හිරු උදාවී අරුණැල්ල මගින් වටපිටාව ඒකාලෝක විය ය. මෙය කාටත් සදා අනුස්මරණිය දසුනක් වූ බව නොඅනුමානය.

මෙම දර්ශණය, බොහෝ දුරට, අප කවුරුත් ශ්‍රී ලංකාවේදී සිරිපා කරුණා කරන අවස්ථාවලදී දැක ඇති සිරිපා කඳු මුදුනේ “ඉර සේවය” වැනි ස්වාභාවික සංසිද්ධියකි.

උලුරු ‘ඉර සේවය’ නැරඹීමෙන් පසුව අපි තවත් ඉතා වැදගත් යුතුකමක් ඉටු කිරීමට අමතක නොකෙළෙමු. එදින, අපගේ ශ්‍රී ලංකා මාතාවට බටහිර ආධිපත්‍යයෙන් නිදහස ලැබී හැත්තෑ වසරක් ගත වන දිනය බව අපි අමතක නොකෙළෙමු.

මේ වන විට නැරඹුම් වේදිකාවල සිටි ජනතාව ක්‍රමක්‍රමයෙන් අඩුවන්නට විය. එක් වේදිකාවකට පැමිණි අප සියලු දෙනාම ඕස්ට්‍රේලියාවේ ආදී වාසීන්ට පුජනිය ස්ථානයක් වූ උලුරු පර්වතය අබියස සීරුවෙන් සිට අපගේ ජාතික ගීය, “ ශ්‍රි ලංකා මාතා ……..” හඬ නගා කියමින් රට, දැය වෙනුවෙන් අපගේ අභිමානය දැක්වූවෙමු. වෙනත් ජන කොට්ඨාශයක් තමන්ගේ සංස්කෘතිය පිළිබඳව අභිමානය දක්වන මෙම පර්වතය අබියස සිට ජාතියක් වශයෙන් අපගේ නිවහල් බවේ සංකේතය හඬගා කීමට අවස්ථාවක් ලැබීම, අපට කිසිදිනක අමතක නොවන වැදගත් සිද්ධියකි.

(තව කොටසක් පසුව)

http://dayawee2.blogspot.com/2018/02/uluru.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල