විශේෂ

‘මිහිමව සුරකින හරිත දියණියෝ’ සමග නෙළුම්යාය, ආර්තව දිළිඳුකම පිටුදැකීමට මුල පුරයි

Off

‘හැතැක්ම සිය ගාණක් දුර ගෙවාගෙන ආර්තවයක් ගැන කතාකරන්න ඇවිත්ද..?” පැමිණ සිටි කාන්තාවන් බහුතරයකගේ මුහුණේ මුලින් ඇඳී තිබුණේ කුතුහලය මුසු නොපැහැදිලි කමක් බවට සැක නැත. එය එසේ වීම ඉතා සාධාරණ ය. අප ජීවත් වන්නේ, කාන්තා දින සිය ගණනක් සැමරූ, එහෙත් ග්‍රාමීය කාන්තාව සහ ග්‍රාමීය පාසල් දැරියගේ ‘ආර්තව දරිද්‍රතාවය’ මාතෘකාවක් ලෙස තබා අනුමාතෘකාවක් ලෙසවත් මෙතෙක් කතා නොකළ සමාජයකය. ‘ආර්තව දිළිඳුකම පිටුදැකීම‘ යන්න, ග්‍රාමීය දිළිඳුකම තුළ සහ විශේෂයෙන්ම ළමා දරිද්‍රතාවයේ ප්‍රබල සාධකයක් වශයෙන් හඳුනාගනිමින් සිටියදී ඒ පිළිබඳ කිසිදු සමීක්ෂණයක් පවා මෙතෙක් සිදුනොකෙරුණු දේශයක ය.

කිලිනොච්චියේ දැරියකගෙන් “ඔබ ජීවිතයේ කිසියම් දිනෙක සනීපාරක්ෂක තුවායක් පාවිච්චි කර තිබේදැ”යි අසන්න. බහුතරය ඔබට පවසනු ඇත්තේ සිය ජීවිත කාලයටම එවැන්නක් පාවිච්චි කර නැති බව ය. ඒවා හැබැහින් කිසිදිනෙක දැක නැති අය ද ඔබට හමුවීමට ඉඩ තිබේ. වෙළඳසැලට ගොස් ඒවා ඉල්ලන්නට ලැජ්ජා හිතෙන බවත්, ඒ නිසා හතරට නැමූ අපිරිසිදු රෙදි කඩකින් පුළු පුළුවන් විදිහට ලැජ්ජාව වසා ගන්නා බවත්, සුදු ඇඳුමේ ගෑවෙන ඒ ලැජ්ජාජනක රුධිර පැල්ලමට බියෙන් ඒ දිනවල පාසල් නොයන බවත් ඔවුන් බහුතරය ඔබට කියනු ඇත. වැඩිවිය පැමිණීමෙන් පසු පාසල් ගමන සදහටම නතර කර දමන්නට මේ සංසිද්ධිය හේතු වූ බවත්, අන්ත අසරණ ළමා මවක් මාපට ඇඟිල්ලෙන් පොළොවේ වැලි කැට සාරමින් ඔබට හෙමිහිට කියනු ඇත. තමන්ගේ අම්මා-අප්පා වුණත් ‘දැන් ඉතින් කරන්න දෙයක් නෑ. කෙල්ලෙක් වෙලා ඉපදුණු කරුමෙ ගෙවාපන් අද ඉඳන්” වැනි හැඟීමකින් තමන්ව ගෙයි මුල්ලට කර තැබූ බව නුවරඑළියේ දුගී ලැයිමක දැරියක් ඔබට මුමුණනු ඇත.

ග්‍රාමීය දරිද්‍රතාවයේ සලකුණු නොකළ හැරුම් ලක්ෂ්‍යයක්

අවසන් වරට ලංකාවේ මේ පිළිබඳ සිදුකෙරුණු රජයේ සමීක්ෂණයට අනුව (2006-2007) ග්‍රාමීය සහ වතු ජනතාව මේ රටේ දිළිඳු ජනතාවගෙන් අතිබහුතරය නියෝජනය කරති. ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගෙන් 82% ක අති බහුතරයක් ග්‍රාමීය දිළිඳුකමෙන් පීඩා විඳින්නෝ ය. (බලන්න, ගෘහයේ ආදායම සහ වියදම් පිරිවැය පිළිබඳ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් එළිදැක්වූ සමීික්ෂණ වාර්තාව). මේ අතිබහුතරය රටේ දේශපාලනඥයන් ඇතුළු තීරණාත්මක බලවේගයන් විසින් කලින් කලට ඔසවා තබන්නෝ වෙති. සකලවිධ බලවේගයන් විසින් ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඩොලර් බිලියන ගණන් වටිනා ව්‍යාපෘති මේ දක්වා සිදුකර ඇති බවට සැක නැත. නමුත් දරිද්‍රතාවයේ සැබෑ මූලබීජයන් අද දක්වා ආමන්ත්‍රණය කර තිබේද? ඒ සඳහා කළ යුතු දේ රටක් වශයෙන් අප විසින් හඳුනාගෙන තිබේද? අඩුම වශයෙන් ග්‍රාමීය ජනතාවගේ ඒක පුද්ගල ආදායම හෝ ක්‍රය ශක්තිය පිළිබඳ ‘අවංක දත්ත‘ එක්කාසු කිරීමක් මේ රටේ සිදුවේද? එයින් ඔබ්බට ගිය විට රටේ ජීවනාලිය යැයි ද, පරපුරේ මාතාව යැයි ද උත්කර්ෂයට නංවන ලංකාවේ ග්‍රාමීය කාන්තාවගේ දිළිඳුකමේ මූලබීජය පැළවෙන්නේ ඇගේ ආර්තවයේ පටන් යැයි පිළිගැනීමට තරම් අප හෘදයාංගමද? විවෘත මනසකින් යුතුද? ගැහැණු ළමයාගේ මල්වර වීමේ පටන් ආරම්භ වන ඔසප් වීම මාසිකව සිදුවන දිනය දාට ලංකාවේ කොපමණ පාසල් නොපැමිණීම් සංඛ්‍යාවක් නාම ලේඛනයේ ලකුණු වන්නේදැයි මෙතෙක් කිසිවෙක් සොයා බලා නැත. ගැහැණු ළමුන්ට ඒ වෙනුවෙන් පාසලේදී පහසුකම් සැපයීම තබා, අවම වශයෙන්, විශේෂයෙන්ම මිශ්‍ර පාසල්වලදී ඔවුන් ලක්වන මානසික අපහසුතාවය පිළිබඳව ද කිසිදු පර්යේෂණයක් හෝ සමීක්ෂණයක් මෙතෙක් සිදු කෙරී නැත. නෙළුම්යාය පදනම, ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය වන පොළොන්නරුවේ ග්‍රාමීය කාන්තාවන් සඳහා මේ රටේ පළමුවැනි වතාවට නැවත පාවිච්චි කළ හැකි සහ පරිසර හිතකාමී සනීපාරක්ෂක තුවායක් නොමිලයේ බෙදා දෙන විට ද ඒ ප්‍රශ්න එලෙසින්ම පැවතුණේය.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පාරිසරික යථාර්ථයක්

පසුගිය 11වැනිදා (ඉරිදා) පොළොන්නරුවේදී නෙළුම්යාය පදනම මුලපිරුවේ එම දීප ව්‍යාප්ත වැඩසටහනේ නියමු ව්‍යාපෘතියට ය. ළමා මව්වරුන්ගේ පටන් දරිද්‍රතාවයේ පතුල සලකුණු කරන විවිධ නියෝජනයන්ද, ගණන් ගොල්ලේ සිට බෝවත්ත දක්වා දිස්ත්‍රික්කයේ සියලු ගම්මාන නියෝජනය වන පරිදි කාන්තා ක්‍රියාකාරිනියන් ද, පාසල් ගුරුතුමියන් ද ඇතුළු විවිධ ස්ථර නියෝජනය කරන කාන්තාවන් සහ පාසල් යන වයසේ දැරියෝ 60කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගි වී සිටියහ.

වැඩසටහන තුළ ග්‍රාමීය ආර්තව දරිද්‍රතාවය පිළිබඳ සැබෑ දත්ත, එනම් මහපොළොවේ පවතින දත්ත එක් රැස් කිරීම පිණිස ද ඔවුන් විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට තිබේ. ඊටත් වඩා කැපී පෙනෙන අංගයක් වූයේ ඔවුන් විසින් වාණිජ සනීපාරක්ෂක තුවායෙන් සිදුවන පරිසර හානිය පිළිබඳ සිදුකළ අතිශය යථාර්ථවාදී පැහැදිලි කිරීමයි. එය ලංකාව තුළ මෙතෙක් කිසිදු පර්යේෂකයෙකුගේ හෝ ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ අවධානයට ලක් නොවූ බිම්ගැන්වුණු යථාර්ථයක් බව කිව යුතුම ය.

සාමාන්‍ය තත්ව යටතේ ස්ත්‍රියක් සිය ජීවිත කාලය තුළ වසර 30 ක් පමණ ආර්තවය සමග ජීවත් විය යුතුය. ඒ කාලය තුළ, යම් හෙයකින් ඇගේ ආර්ථික මට්ටම වෙළඳපොළේ තිබෙන වාණිජ සනීපාරක්ෂක තුවායේ මිල දරා ගැනීමට සෑහේ නම්, අවම වශයෙන් එවැනි අසුරණ හෙවත් පෑඩ් පැකට්ස් දෙකක් පමණ එනම් සනීපාරක්ෂක තුවා අවම 10 ක් හෝ 20 ක් එක් ආර්තවයකදී භාවිතා කළ යුතුය. එවිට ඇය විසින් වසරකට සහ ඉන් අනතුරුව තිස් වසරකට භාවිතා කරන සනීපාරක්ෂක තුවා ගණන 9000 ක් පමණ වේ. එකම පවුලේ කාන්තාවන් එනම් මව සහ දියණිය වශයෙන් ගණන් බැලූ විට ද, එක් ගමකින් පරිසරයට එකතු කරන සනීපාරක්ෂක තුවා ගණන ඔවුන්ගේ ජීවිත කාලය තුළදී ලක්ෂ කිහිපයක් වනු ඇත. මුළු රටක් සැලකූ විට ඒ ප්‍රමාණය ටොන් මිලියන ගණනකි.

මේ තත්වය පහදා ගැනීමට වාණිජ සනීපාරක්ෂක තුවායක අන්තර්ගතය හෝ සංයුතිය පිළිබඳ දළ අවබෝධයක් ලබාගැනීම සෑහෙයි. ඒවායේ අන්තර්ගතය තුළ ප්ලාස්ටික් අනිවාර්යයෙන්ම අන්තර්ගත ය. එහි මතුපිට ස්ථරය සමන්විත වී තිබෙන්නේ ඉතා තුනී නොදිරන ප්ලාස්ටික් වර්ගයකිනි. නොදිරන පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇති රටක් වශයෙන් ලංකාව මෙතෙක් මේ ගැන සිතුවාද? එපමණක් ද නොවේ. වාණිජ පෑඩය අළවා තැබීම සඳහා භාවිතා කරන රසායනික ගම් වර්ග, විරංජනකාරක වශයෙන් යොදාගන්නා ක්ලෝරීන් ආදිය මෙන්ම අවශෝෂණය කිරීමේ හැකියාව උපරිමයක් කිරීමට යොදාගන්නා පොලිමර්ස් හෙවත් කෘතිම බහුඅවයවික අණු, සිලිකන් ආදිය එහි සංරචක ලෙස අඩංගු වෙයි. ලෝකයේ ඇතැම් රටවල සිදුකරන ලද ඇතැම් පර්යේෂණයකට අනුව විරල අවස්ථාවලදී කෘමි නාශක අණු කොටස් ද වාණිජ සනීපාරක්ෂක තුවාවලින් හමු වී ඇත.

අවසානයේ ඒවා බැහැර වන්නේ කොතැනටද? අප හොඳින් දන්නා පරිදි ලංකාවේ වාණිජ සනීපාරක්ෂක තුවා වෙළඳපොළ තුළ, ඒවා බැහැරකිරීමේ කිසිදු පරිසරහිතකාමී විසඳුමක් ක්‍රියාත්මක නොවේ. වාණිජ සනීපාරක්ෂක තුවායේ ලොකුම ‘මාකටින් සටන් පාඨය’ වන්නේ ‘පහසුව සහ වරක් පාවිච්චි කර ඉවත දැමීමයි.’ ඉන්දියාවේ නම් එසේ වරක් පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවා පුළුස්සා ඉවත් කිරීම සඳහා කුඩා දාහක තිබේ. නමුත් අවසානයේ ඒවා පිළිස්සීමෙන් ද සිදුවන්නේ ඉහත කී පරිසර දූෂක ද්‍රව්‍ය නිසා වායුගෝලය දූෂණය වීමයි. එසේ නොවන අවස්ථාවලදී ඒවා අනිවාර්යයෙන්ම එකතු වන්නේ එළිමහන් පරිසර පද්ධතියට ය. ලංකාවේ වරක් වාර්තා වූ පරිදි කාණු පද්ධති අවහිර වීමට බලපාන ප්‍රධානතම ප්‍රායෝගික සාධකය වන්නේ කාන්තාවන් විසින් පාවිච්චි කර ඉවත දමන වාණිජ සනීපාරක්ෂක තුවායන් ය. ඔවුන්ට ඒවා බැහැර කරන්නට කිසිදු විධිමත් ක්‍රමවේදයක් පාසලේ, රැකියා ස්ථානයේ හෝ නිවසේ නොමැති කල එසේ වීම අරුමයක් නොවේ. මේ අනුව අවසාන අර්ථයේදී ඒවා සියල්ලම මේ මිහිමත කොතැනක හෝ ‘කුණු කඳු’ සාදමින් ගොඩ ගැසෙනු ඇත. එවිට අප කළ යුත්තේ ‘ගැහැනුන් වී ඉපදීමේ පව’ ඒ කුණු ගොඩේ බර සමග සසඳා කිරා බැලීමද? මේ තාක් කාලයකට නම් මේ රටේ සිදුවූයේ එය බව අපි දනිමු. අවම වශයෙන් පරිසරයට ආදරය කරන කාන්තාවන්, පරම්පරාව බිහිකරන ආදරණීය මාතාවන් මේ මහා පාරිසරික ඛේදවාචකය වළක්වා ගැනීමට පෙරමුණ ගත යුතුය.

මේ අන්දමින් පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවායක් පරිසරය තුළ ඉතා සෙමෙන් දිරා යමින් සම්පූර්ණයෙන්ම පරිසර පද්ධතියෙන් ඉවත්වීම සඳහා අවම වශයෙන් වසර 400 ක් ගත වන බව ඔබ දැන සිටියාද…? පරිසරයට ආදරය කරන සැමගේ අවධානය යොමු විය යුතු බරපතළ කාරණයකි, ඒ.

කිළිටි රෙදි කඩකින් සනීපාරක්ෂාව සොයමුද?

මීළඟට, කිසිසේත්ම වාණිජ සනීපාරක්ෂක තුවායේ ආර්ථික බර දරා ගත නොහැකි ග්‍රාමීය කාන්තාව සහ ග්‍රාමීය දැරියගේ වත්මන් විකල්පය කුමක්දැයි සොයා බලමු. එය පැහැදිලිවම රෙදි කඩකි. වැඩසටහනට සහභාගි වූ කාන්තාවන් සිය අත්දැකීම් බෙදා හදාගනිමින් පැවසූ අන්දමට අද පවා ගම්මානවල කාන්තාවන්ගෙන් හරි අඩකටත් වඩා සිය ඔසප් දිනවලදී පාවිච්චි කරන්නේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත බවකින් තොර රෙදි කැබලි ය. තමන් ඔසප් දිනවලදී පාවිච්චි කරන්නේ සැමියා ගේ පරණ සරම් කැබැල්ලක් යැයි වැඩසටහනට පැමිණ සිටි එක් කාන්තාවක් පැවසුවාය! තවත් විටෙක එය දුර්වර්ණ වූ කපු රෙදි කඩක් හෝ පරණ චීත්ත රෙදි කැබැල්ලකි. බොහෝ විට එය ඉවත දමන හෝ වෙනත් පාවිච්චියකට ගත නොහැකි ඉවත දැමීමට ආසන්න පරණ රෙදි කැබැල්ලකි. ඔවුන් මේවා භාවිතා කරමින් සිටින්නේ ස්ත්‍රී ශරීරයේ අතිශයින්ම සංවේදී සහ විෂබීජවලට නිරාවරණය වූ විට පහසුවෙන්ම බරපතළ ප්‍රතිඵල ඇතිකරන, ඇතැම් විට සරු බවට පවා බලපෑම් ඇතිකරනසුලු කාරණාවන් සමග ය.

අද්වීතීය ප්‍රවේශයක්

නෙළුම්යාය පදනම ‘මිහිමව සුරකින හරිත දියණියෝ’ නමැති තේමාවෙන් යුතුව මේ සත්කාර්යයට මුල පුරා තිබෙන්නේ අද්වීතීය ප්‍රවේශයකිනි. ඔවුන් සිදුකරන්නේ පරිසර හිතකාමී සහ නැවත නැවතතත් පාවිච්චි කළ හැකි, නවීන ලෝකයට ගැළපෙන, රෙදිවලින් නිර්මිත සනීපාරක්ෂක තුවායකි. එය කිසිදු චකිතයකින් තොරව, පාසලේදී පවා, නිවසේදී පවා ඕනෑම එළිමහනක පවා රැගෙන යා හැකි, පසුම්බියකට සමාන පරිසර හිතකාමී අසුරණයක් තුළ ගැබ් කර ඇති සකසුරුවම් සහගත පරිසර හිතකාමී නිෂ්පාදනයකි. වැසටහන අවසානයේ එයට සහභාගි වූ කාන්තාවන් එය තමන්ගේ කුඩය, බෑගය යනාදිය සමග ඉතා නිදහස් ආකාරයෙන් එය ද රැගෙන යන ආකාරය මාධ්‍යවේදීන් වන අපට ද දැක ගන්නට ලැබිණි.

මෙම වැඩසටහනේ ප්‍රධාන දේශන දෙක පැවැත්වූයේ ද වෙනම පරපුරක් නියෝජනය කරන ලංකාවේ ප්‍රකට සමාජ ක්‍රියාධරයන් දෙදෙනෙක් විසිනි. නීතීඥ රදිකා ගුණරත්න සහ තුෂාර මනෝජ්, පුහුණුකරුවන් මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා මානව හිමිකම් පිළිබඳ දේශකයන් සහ ක්‍රියාධරයන් වශයෙන් ද සමාජය තුළ කැපී පෙනෙන සහ වෙනස් කාර්යභාරයක් ඉටුකරමින් සිටින සම්පත් දායකයන් ය. ඔසප් වීම හා සබැඳි සමාජ තහංචි හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය පිළිබඳ ලංකාවේ අර්බුදය අළලා තුෂාර මනෝජ් මහතා ආකර්ෂණීය දේශනයක් පැවැත්වූ අතර, වැඩසටහන ලංකාව වෙනුවෙන් කළමනාකරණය කරන නීතීඥ රදිකා ගුණරත්න වත්මන් භාවිතය තුළ පවතින අවදානම් සහගත පරිසර හානිය මෙන්ම ආර්ථික අයිතිවාසිකමක් වශයෙන් ‘පසුම්බියට, පහසුවට සහ පරිසරයට’ යන තේමාව යටතේ පරිසර හිතකාමී සහ නැවත නැවතත් පාවිච්චි කළ හැකි මෙවැනි විකල්පයක් වෙත යාමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.

ලන්ඩන් නුවර පිහිටා තිබෙන නෙළුම්යාය මෙහෙයුම් කාර්යාලය සමග සම්බන්ධීකරණය වන මෙම වැඩසටහනේදී නෙළුම් යාය මගින් හඳුන්වාදෙන්නේ ඉතාම ප්‍රමිතිගත පරිසරහිතකාමී විකල්පයකි. වැඩසටහන සහ එම පරිසරහිතකාමී නිෂ්පාදනය වෙනුවෙන් යන පිරිවැය දරමින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ රොමාලි ඩි සිල්වා අනුස්මරණ පදනම විසිනි.

රොමාලි ඩි සිල්වා නාමය, අවදියෙන් පසුවන ලංකා සමාජයට පහසුවෙන් අමතක කළ හැක්කක් නොවන අතර එය කිසිසේත්ම අමතක කළ නොකළ යුතු නාමයක් ද වේ. වයස අවුරුදු 24 ක යුවතියක් වූ රොමාලි ඩි සිල්වා යනු, ලංකාවේ ප්‍රකට පුද්ගලික රෝහලකදී අතිශය විවාදාත්මක පසුබිමක් යටතේ ඩෙංගු රෝගය හේතුවෙන් අකාලයේ මරණයට පත්වූ, සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් සිය කෙටි දිවියේ විශාල ඉඩක් වෙන් කළ සුන්දර යුවතියකි. මේ වන විට ඇගේ එම උරුමය ඉදිරියට ගෙන යමින් සමාජ සත්කාරවලට දායක වීම සඳහා ඇගේ දෙමාපියන් සහ පවුලේ අය විසින් ඇගේ නමින් අනුස්මරණ අරමුදලක් පිහිටුවා තිබේ. නෙළුම්යාය පදනම විසින් ඩෙංගු රෝගය නිවාරණය සඳහා යටිබිම්ගත වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය සහ දැනුවත් කිරීමේ වැඩසටහනකට මුලපුරා තිබෙන්නේ ද එම උරුමය ක්‍රමවත් ලෙස ඉදිරියට ගෙන යමිනි.

ආර්තව දරිද්‍රතාවය වෙනම මාතෘකාවක් සේ ඉදිරියට ගෙන එමින් නෙළුම්යාය පදනම මෙසේ මුලපුරා තිබෙන්නේ රටේ අමාත්‍යාංශ කිහිපයක් එක්ව සිදුකළ යුතු තරමේ භාරදූර සහ දැවැන්ත කාර්යභාරයක් සඳහා බව අපගේ අවබෝධයයි.

කිළි ගැන කතා කිරීමත් විළිවැදෙන මාතෘකාවක් වන රටක, ආර්තව දරිද්‍රතාවයේ තීරණාත්මක බලපෑම හඳුනාගනිමින් ඒ පිළිබඳ විවෘත සංවාදයක් ඇති කරමින්, ඒ හා සමගාමී ව ඒ පිළිබඳ කතා කිරීමෙන් පමණක් නොනැවතී, වෙළඳපොළේ ඇති සාමාන්‍ය වාණිජ සනීපාරක්ෂක තුවායෙන් සිදුවන මහා පරිසර හානිය පිළිබඳ ලංකාවේ ප්‍රථම වතාවට අනාවරණය කරමින් සහ, ඒ අතරම කළ යුතු දේ පිළිබඳ හොඳම විසඳුමක් ඉදිරිපත් කිරීමත් සම්බන්ධයෙන් නෙළුම්යාය පදනම වෙත ජාතියේ කෘතඥතාවය හිමිවිය යුතු ය. අභියෝගාත්මක පරිසරයක් තුළ ඔවුන් ඒ සඳහා ගනු ලබන උත්සාහය වෙත සැමගේ අවධානය යොමු විය යුතුය.

‘මිහිමව සුරකින හරිත දියණියෝ’ මීළඟ වැඩසටහන අප්‍රේල් මාසයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ක්‍රියාත්මක කිරීමට නෙළුම්යාය පදනම බලාපොරොත්තු වෙයි.

– දීපක විජේසුරේන්ද්‍ර | ඡායාරූප: අජිත් සෙනෙවිරත්න

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල