අධ්‍යාපනික

කපුටු කාක්… කාක්… කාක්…. කපුටු කාක්…. !

Off

“ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්
නැගෙව් කියන්නා වැනි වහාම නින්දෙන්
දොරෙන් අඩක්‌ඇරියාම මේඑන්නේ
සිහිල් සුළං ආයුබෝවන් කියා …..”

දශක හයකට හතකට ඉහතදී කුඩා දරුවන්ගේ, පාසැල් පාඩම් පොතක් වූ මුනිදාස කුමාරතුංග ශුරීන්ගේ ශික්ෂා මාර්‍ගය පොතෙහි ඇති ගීයක කොටසකි ඉහත දැක්වුයේ.

මෙහි සරලව දැක්වෙන එක්‌ අදහසක් වනුයේ හිමිදිරි උදයේ අවදිවීම සඳහා කපුටන්ගෙන් ලැබෙන අගනා පණිවුඩයක් පිළිබඳවයි. මෙහි සඳහන් වන කාලයේ වේලාව බලා ගැනීම පිණිස ඔරලෝසු හෝ වෙනත් උපකරණ පහසුවෙන් ලබාගැනීමට නොතිබුණු නිසා පාන්දර අවදිවීම සඳහා ‘කපුටා හඬන වෙලාව’ ප්‍රයෝජනයට ගෙන තිබෙන බව මෙයින් පෙනේ.

කපුටන් අපගේ ජීවිතය සමග බොහෝ සමීප පක්ෂීන් වුවද අපට ඔවුන් පිළිබඳව නිරතුරුවම අසන්නට ලැබෙනුයේ අමිහිරි කතන්දර වේ.

කපුටා පිළිබඳව එවැනි කතන්දර බහුල වනුයේ ඌ ඇසට අප්‍රියජනක කාල වර්ණයෙන් යුක්ත, අමිහිරි නාදයකින් කෑගසන, ඕනෑම කුණු ගොඩක් අවුස්සන පක්ෂියෙකු නිසාවත්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කපුටු විශේෂ දෙකක් දකින්නට ලැබේ. මේ විශේෂ දෙක වනුයේ ‘කොළඹ කපුටා’ (Corvus splendens) සහ ‘ගම්බද කපුටා’ (Corvus macrorhynchos) යන විශේෂ දෙකයි.

මෙයින් කොළඹ කපුටා නගරබද පමණක් ජිවත් වේ. උගේ ශරීරයේ පිහාටු තරමක් අළු පැහැයට හුරු කාළ වර්ණයකින් යුක්තය. බෙල්ල අවට ප්‍රදේශයේ කළු පැහැය අඩුවී අළු පැහැයක් ගනී. නාදයද එතරම් ගැඹුරු අමිහිරි එකක් නොවේ. රංචු වශයෙන් ජිවත්වන කොළඹ කපුටෝ සර්ව භක්ෂක්යෝය.

ගම්බද කපුටාගේ මුළු ශරීරයම තද කාළ වර්ණයෙන් යුක්ත වන අතර උගේ පිහාටු වලද අපිලිවෙළක් දකින්නට ලැබේ. උන්ගේ ඉතාමත් රළු සහ ගැඹුරු නාදය අප්‍රිය ජනකය. මොවුන්ද රංචු වශයෙන් ජිවත්වන සර්ව භක්ෂක්යෝය.

ජීව විද්‍යාත්මකව එක් සත්ත්ව විශේෂයක් තවත් සත්ත්ව විශේෂයකින් වෙන්කර හඳුනාගන්නේ ‘ස්වාභාවික පරිසර තත්ත්ව යටතේ, ඔවුන් අතර අන්තර් අභිජනනය සිදුවීමෙන් සරු ජනිතයින් හට නොගනී’ යන සිද්ධාන්තය මුලික කර ගනිමිණි.

මේ අනුව ‘කොළඹ කපුටා’ සහ ‘ගම්බද කපුටා’ බොහෝ සමාන වූවත් එකිනෙකට වෙනස් කපුටු විශේෂ දෙකකි. ඒ නිසා ඔවුන් අතර අන්තර් අභිජනනයක් සිදු නොවේ. යම්කිසි හෙයකින් අභිජනනයක් සිදු වුවත් එම අභි ජනනය නිසා සරු ජනිතයින් හට නොගනී.

මිට වසර විස්සකට තිහකට පමණ ඉහතදී මා කොළඹ සේවය කළ ආයතනයේ මගේ කාමරය අසලම තිබුණු පොල් ගසක, කපුටු යුවලක් විසින් තනන ලද අමුතු කපුටු කුඩුවක් පිලිබඳ යමක් මෙහිලා සඳහන් කිරීමට සිත්විය. දෙවන මහලේ තිබුණු මගේ කාමරයේ ජනේලයේ සිට කපුටු කුඩුවට දුර මීටර් තුනකට වඩා නොවිය. දින කිහිපයක් පොල් ගස මුදුනේ සැරි සැරූ කපුටු යුවළ කූඩුවක් තනන්නට පටන් ගත්හ.

දින කිහිපයකට පසු, කපුටු කූඩුව දෙස විපරම් කර බැලූ මට, කපුටු යුවළ කූඩුව තනන්නේ Gauge 20 හෝ 22 පමණ ප්‍රමාණයේ යකඩ කම්බිවලින් බව දකින්නට ලැබුණි.

මේ නිසා පුදුමයට පත්වූ මම, මගේ රාජකාරි කටයුතු ටික වේලාවකට නතර කර, කපුටන් කම්බි ගෙනෙන ස්ථානය ගැන මඳක් සොයා බැලුවෙමි. මා දුටුවේ යාබද යකඩ වැඩපලක විවිධ ප්‍රමාණයන්ට කපා, අනවශ්‍ය නිසා, ඉවත දමා තිබුණු මළ බැඳුනු කම්බි කෑලි ගොඩකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ කම්බි කෑලි තෝරමින් සිටින කපුටු යුවළයි. මොවුන් ‘කොළඹ කපුටු’ යුවළකි.

‘කෝටු කෑලි ගෙනැල්ලා – පරඬැල් කොළ තබාලා
තාලයකට තියාලා – පොඩි කුරුළු ගෙයක් තනාලා’

යන සම්ප්‍රදායික කුරුළු නිවාස තැනීමේ ක්‍රමවේදය වෙනුවට

‘කම්බි කැබලි ගෙනැල්ලා – හොඳ හැටියට නමාලා
තාලයකට තියාලා – පොඩි කපුටු ගෙයක් තනාලා’

යනුවෙන් මොවුන්ගේ ක්‍රම වේදය වෙනස් කරණ ලද්දේදැයි මට සිතුණි.

මේ සිද්ධියත් සමගම මට කපුටන් ගැන තවත් කරුණු රැසක් මතකයට නැගුණි. අපගේ ගෙවතුවල නිතරම දකින්නට ලැබෙන කපුටාට වඩා කුඩා තවත් කාලවර්ණ පක්ෂියෙකි කවුඩා හෙවත් කවුඩු පණික්කියා

කපුටා අයිති පක්ෂි කුලයේවත් නොවන මොහු ‘කපුටු බෑණා’යන නමින්ද ගම්බද ජනයා විසින් හඳුන්වනු ලැබේ. ‘කපුටු බෑණා’ Sri Lanka Dongo වන අතර, සත්ත්ව විද්‍යාත්මක නාමය (Dicrurus lophorinus) වේ.

කවුඩන්ට බළලෙකුගේ ‘ඤාව්.. ඤාව්’ හඬ අනුකරණය කළ හැකි නිසා සමහර අවස්ථාවලදී එසේ නාද කර බළලුන් රවටන අවස්ථාද දකින්නට ලැබේ. මිහිරි හඬින් ගී ගයන ‘කපුටු බෑණා’ කෘමි භක්ෂකයෙකි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේත් කඳුකර ප්‍රදේශ වලත් දකින්නට ලැබෙන මෙම පක්ෂියා ප්‍රිය මනාප එකෙකි.

කපුටන් අතර වෙනත් පක්ෂීන් අතර දකින්නට නොලැබෙන සමගියක් තිබේ. තම ආහාර සොයා යාමේදී කපුටන් බොහෝවිට යුගළ වශයෙන් සිටිතත්, ආහාරයක් ලැබුණුවිට හඬ නගා, තම සගයින්ද ගෙන්වා ගෙන ආහාරය බෙදා හදා ගැනීම කපුටු වර්ගයාගේ සිරිතය. රාත්‍රී කාලයේදී කපුටන් රංචුවක් වශයෙන් එකතුවී විශාල ගසක ලැගුම් ගැනීම මගින්ද ඔවුන්ගේ සම්ගිය පෙන්වති. එසේම තම සගයෙකුට ආපදාවක් සිදුවූ විටකදී හඬනගා තම පිරිස ගෙන්වා ගැනීමටද ඔවුහු සමත් වෙති.

අප කුඩා කාලයේදී අසා තිබෙන ‘කපුටා සහ වතුර භාජනය’ වැනි සමහර ළමා කතන්දර වලදී කපුටු නුවණ ගැන සඳහන් කර තිබේ. ඒ සමගම ‘කපුටා සහ කේජු කෑල්ල’ කතන්දරයේදී කපුටා නරියාගේ කපටි කමකට හසුවූ හැටිද අසා ඇත්තෙමු.

තමන්ගේම කුඩුවක් සාදා ගැනීමට නොදන්නා (කොහාගේ ) කොවුලාගේ බිරින්දෑ, හොර රහසේ, කපුටු කුඩුවකට රිංගා තම බිත්තර එහි දමන බව අප පැරණි සාහිත්‍යයේ අසා තිබේ. මෙසේ දමන බිත්තර, තමන්ගේ බිත්තර සමගම රකින කපුටු දෙමහල්ලෝ බිත්තරවලින් එලියට එන පැටවුන්ද පෝෂණය කරති. එසේ හටගන්නා කොවුල් පැටවුන්, කපුටු පැටවුන් මෙන්ම කාල වර්ණ නිසා හඳුනාගැනීමට නොහැකිය. කෙසේ වෙතත් තරමක් වැඩුණු කොවුල් පැටවුන් වෙනත් හඬකින් නාද කරන විට කලබල වන කපුටු දෙමහල්ලෝ ආගන්තුකයින් කුඩුවෙන් නෙරපන බව පැරැණ්නන්ගේ විශ්වාසයකි. (මෙය සත්‍ය සිද්ධියක්ද යන්න ඔප්පු කර නොමැති බව මෑතකදී කියවන්නට ලැබුණි) කොවුලා ‘පරපුටු’ (අනුන් විසින් පෝෂණය කරනු ලබන) යන නමින් හඳුන්වනුයේද මේ නිසාය.

කපුටු කොවුල් විරසකයත් මෙම සිද්ධිය නිසාම ඇතිවුවක් විය හැකිය. සිංහල අවුරුදු සමයේදී තම සහකාරිය ගෙන්වා ගැනීම සඳහා නොකඩවා ගී ගයන කොවුලෙක් දුටුවිට ඌට කොටමින් පලවා හරින කපුටන් බොහෝවිට දැකිය හැකිය.

(මාර්තු අප්‍රියෙල් මාස වලදී කොවුලන් ගී ගයන්නේ අපට අලුත් අවුරුද්ද එන බව දැන්වීමට බවද කුඩා දරුවෝ විශ්වාස කරති.)

“කපුටු කාක් …. කාක් …. – ගොරක දේන්… දේන්…
කපුටගේ කටේ වැල මදුලයි – පුතුගේ කටේ කිරී උගුරයි
උසි කපුටා……. උසීයේ …”

කියමින් අතීතයේ සිටි අපගේ අම්මලා තම දරුවන් නැළවූ බවද අසන්නට ලැබේ.

කපුටා කොපමණ ආහාර ගත්තත් නිරතුරුවම සාගින්නෙන් පෙළෙන සතෙකු බව ගැමියා විශ්වාස කරයි. සෙනසුරු ග්‍රහ අපලය තිබෙන අයට සෙත් ශාන්තියක් ලබාගැනීම සඳහා ගිතෙල් මිශ්‍ර බතක් සකස් කර ‘බලු කපුටු දානයක්’ දීම අදද ගම්බද සමහර වැඩිහිටියන්ගේ සිරිතක්ව පවතී. ගිතෙල් මිශ්‍ර බත් නිසා කපුටු සාගින්න තරමක් හෝ අඩු වන බව ඔව්හු විශ්වාස කරති.

‘කළු කපුටා සුදු වනතුරු – මෝල් ගහේ දළු ලන තුරු
සිය වසරට දෙසිය වසක් – ආවඩා… ආයුබෝ වේවා…’

දැනට දශක හතකට පමණ ඉහතදී, අපගේ සීයා කෙනෙකු, අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ අවස්ථාවකදී ඉහත ජනගී පද ගයමින් නව වසරට ආශීර්වාද කර දිගාසිරි පැතූ බව මට තවමත් මතකයට නැගේ.

ඝර්ම කලාපිය ආසියානු ප්‍රදේශය මුල් නිජ භුමිය වූ කපුටන්ගේ විශේෂ රාශියක් ලොව බොහෝ රටවලට සංක්‍රමණය වී සිටිති. ඔස්ට්‍රේලියාව වැනි රටවලට නැව් වල සැඟවී සංක්‍රමණය වී තිබෙන කපුටන් සමහර අවස්ථාවලදී පාරිසරික උවදුරක්‌ ලෙස සැලකේ. කපුටා ස්වභාවයෙන්ම සර්ව භක්ෂකයෙකු හෝ කසල භක්ෂකයෙකු වන නිසා එරටට ආවේනික සමහර පක්ෂීන්ගේ බිත්තර කා දමන නිසාත්, පලතුරු වලට හානි කරන නිසාත් ඔවුන්ගේ ගහණය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද සිදුවී තිබේ.

කලකට පෙර අප රටේ ජීවත්ව සිටි ජනප්‍රිය කෙටි කතා රචකයෙකු වූ ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා මහතා විසින් ලියන ලද උපහාසාත්මක කෙටි කතා මාලාවක හඳුන්වා දුන් පණ්ඩිත ඔල්මොරොන්දම්, භගලවති ඉස්කෝලේ හාමිනේ වැනි චරිත ජීවත්වූ මනඃකල්පිත දිවයිනට ‘කාකද්විපය’ යන නම යොදන්නට ඇත්තේද කපුටන්ගේ ‘ඔල්මොරොන්දම්’ ගති පැවතුම් නිසා වන්නට ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මට්ටක්කුලිය අසල දර්ශනීය මුහුදු වෙරළ ප්‍රදේශය ‘කාක දුපත’ (Crow Island) යනුවෙන් අදටද හැඳින්වේ. මෙය දැනට ගොඩබිමට සම්බන්ධවී තිබුනත් අතීතයේදී දුපතක්ව තිබෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය.

කපුටා බොහෝ අයගේ පිළිකුලට භාජන වන සතෙකු වුවද ඌ පරිසර සමතුලිතතාවය රැක ගැනීම සඳහා විශාල මෙහෙයක් කිරීමට සමත් සතෙකි. කසල භෝජකයෙකු වන කපුටා වෙනත් සතුන්ගේ මළ කුණු භෝජනයට ගෙන පරිසරය පිරිසිදු කර දමයි. විදාගම මෛත්‍රිය මහා තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද ලෝවැඩ සඟරාවේ පැදියකින්ද කපුටාගේ මළකුණු බුදීමේ කෑදරකම ගැන මෙසේ සඳහන් කර තිබේ.

“ගඟ යන ඇත්කුණ ඉඳ මස් රස ටා
සිදු මැද වැද වැනසුන මෙන් කපු ටා”

අපට බොහෝ සමීප, එහෙත් කිසි කෙනෙකු අගය නොකරන කපුටන් ගැන ඔබ දන්නා තවත් රසවත් තොරතුරු මෙයට එකතු කිරීමට කාරුණික වන්න.

http://dayawee2.blogspot.com/2018/03/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල