කාලීන සංවාද

ආබාධය බාධාවක් කර නොගනු පිණිස…

Off

මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයා සතු හදිසි නීති බලතල උපයෝගී කරගනිමින් ෆේස්බුක් අැතුලු සමාජ මාධ්‍ය වාරණය කෙරුණේ පසුගිය සතියේ ය. දින තුනකට නං කමක් නෑ යි කියූ පිරිසක් ද සිටි නමුත් ලක්ෂ 7 කට ආසන්න පිරිසක් VPN ඔස්සේ ෆේස්බුක් වෙත පිවිසි බව ඩිජිටල් පහසුකම් අමාත්‍යවරයා පවසයි. එතරම්ම ජන මනසට සමීප ෆේස්බුක් හොඳට නරකට දෙකටම භාවිතා කල හැකි මෙවලමකි. කෙසේ වුවද වසර දහයකට ආසන්න මගේ ෆේස්බුක් අත්දැකීම් වඩා නැඹුරු වන්නේ යහපත් දිශාවට ය. එදා මෙදා තුර සයිබර් අවකාශය තුල හමු වූ මිතුරු මිතුරියන්, අවස්ථාවන් සහ සම්බන්ධතා ප්‍රමාණය අති මහත් ය. එවන් මිතුරු සමාගම් හේතුවෙන් ඉතා වැදගත් අවස්ථාවකට සහභාගී වීමට පසුගිය ඉරිදා (18) මට අවස්ථාව ලැබිණි. මේ සටහන ඒ වෙනුවෙනි.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ කාන්තා බලමණ්ඩලය සංවිධානය කල කාන්තා දින වැඩසටහනක දේශනයක් පවත්වන්නැයි මට ආරාධනා කරන ලද්දේ සහෘද බ්ලොග් ලේඛිකාවක වන වෛද්‍ය බෝධිනී සමරතුංග සොයුරියයි. එහිදී මා කල දේශනය බ්ලොග් සටහනක් ලෙස පළ කරන්නැයි ඇයත්, තරුරසී සොයුරියත්, සත්‍යා සොයුරියත් කරන ලද ඉල්ලීම අනුව එහි යම් පමනකට සංස්කරණය කරමින් වඩා පුලුල් සටහනක් සකස් කලෙමි. මේ එකී සටහනයි.

ලෝකයේ ජීවත් වන ආබාධ සහිත පුද්ගලයන්ගෙන් අති බහුතරය දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් ය. සෞඛ්‍ය සංවිධානයට අනුව ඔවුන්ගේ සංඛ්‍යාව මිලියන 253 කි. එයින් මිලියන 36 ක් පූර්ණ ලෙස අන්ධ භාවයට පත් වූවන් ය. පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන්ගෙන් 53% කට ඇස් කණ්නාඩි පැළඳීම මගින් පෙනීම නැවත ලබා ගත හැකි නමුත් එයින් සැළකිය යුතු පිරිසකට උපැස් යුවලක් මිළ දී ගැනීමේ හැකියාවක් නොමැත. ලෝකයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2050 වන විට තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි උපකල්පනය කර තිබේ.

දෘෂ්‍යාබාධිත බව නිසා සිදු වන සමාජ සහ ආර්ථික වැය බර අති විශාලය. වර්ෂ 2015 දී දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් ලෝකයට ඇති වන වැය බර එ.ජ. ඩොලර් බිලියන 3369 ක් ලෙස ගණන් බලා ඇත. එය 2020 වන විට බිලියන 3677 ක් වනු ඇතැයි ගණන් බලා ඇත. මේ විශාල මුදල් ප්‍රමාණය වැය වන්නේ කෙසේ ද? 2015 වර්ෂයේ දත්ත අනුව දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් ඇති වන සෘජු වියදම් එ.ජ. ඩොලර් බිලියන 2529 කි. ඒ ඔෘෂධ, ආහාර සහ වෙනත් වියදම් සඳහා ය. සුබසාධන වියදම් ප්‍රමාණය බිලියන 259 කි. දෘෂ්‍යාබාධිත බව නිසා අහිමි වන ශ්‍රමයේ වියදම බිලියන 175 කි. දෘෂ්‍යාබාධිත පුද්ගලයන් නිවසේ දී රැක බලා ගැනීමට යන වියදම ඩොලර් බිලියන 273 ක් ලෙස ගණන් බලා තිබේ. දෘෂ්‍යාබාධිත බව නිසා අහිමි වන නිරෝගී ජීවිතයේ වියදම (Disability-Adjusted Life Year – DALY) ඩොලර් බිලියන 133 කි.

මේ වැය බර අඩු කරගත හැක්කේ කෙසේ දැයි ලොව පුරා ආර්ථික විශේෂඥයෝ සාකච්ඡා කරති. කිසියම් ප්‍රතිඵලයක් නැති කිරීමට නම් ඊට හේතුව නැති කල යුතු යැයි බුදු දහමේ දැක්වෙයි. ඒ අනුව දෘෂ්‍යාබාධිත බව නිසා ඇති වන වැය බර අඩු කිරීමට දෘෂ්‍යාබාධිත බව අවම කල යුතුයැයි මම සිතමි. එය කල හැක්කේ කෙසේද? ආබාධිත බව ඇති වන්නේ කිසියම් අහිමි වීමක් (impairment) නිසා ය. එකී අහිමි වීම නිසා අනිත් ‘සාමාන්‍ය’ පුද්ගලයන් කරන ආකාරයට කටයුතු කිරීම අපහසු වේ. එය ආබාධිත බව (disability) ලෙස හැඳින්වේ. කිසියම් පුද්ගලයකුට සිදු වන අහිමි වීම් වැලැක්විය නොහැකිය. එහෙත් අහිමි වීම් හේතුවෙන් ඇති වන ආබාධිත බව අවම කළ හැකිය.

දෘෂ්‍යාබාධිත පුද්ගලයන් ආබාධිත වීමට බලපාන විවිධ‍ හේතු තිබේ. ඉන් පළමුවැන්න වන්නේ දෘෂ්‍යාබාධය හේතුවෙන් අවට පරිසරය දැක තම වටපිටාව මනසින් නිර්මාණය කිරීමට ඇති වන නොහැකියාව යි. එය වෙනස් කල නොහැකි තත්ත්වයකි. එහෙත් එම තත්ත්වය හේතුවෙන් ඇති වන වැඩ කරගැනීමේ නොහැකියාව අවම කිරීමට පරිසරය වෙනස් කල හැකිය. ප්‍රධාන මාර්ග වල ආබාධ සහිත පුද්ගලයන්ට සංවේදී වන පදික වේදිකා (උදා: කොල්ලුපිටිය), කථන පහසුකම් හෝ ශබ්ද සංඥා සහිත පාර මාරු වීමේ ස්ථාන, බ්‍රේල් ලේඛන, audio books එවැනි වෙනස්කම් වලට උදාහරණයන් ය. ඔබ අප ඉතා සරළ යැයි සිතන මෙවැනි සුළු වෙනස්කම් වලින් දෘෂ්‍යාබාධිත පුද්ගලයා තම කටයුතු සැළකිය යුතු ප්‍රමාණයකින් දියුණු කර ගනියි.

දෙවැන්න වන්නේ ඔවුන් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු ය. දෘෂ්‍ය සහ ශ්‍රවන ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් විවිධ මානසික පීඩාවන්ට සහ විෂාදය වැනි තත්ත්වයන්ට මුහුණ දීමේ වැඩි අවදානමක් ඇති බව අධ්‍යයන වලින් පෙන්වා දී ඇත. එබැවින් එවැනි පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නැංවීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් මුහුණ දීමට සිදු වන කායික, මානසික සහ ලිංගික අතවර අවම කිරීමට ද පියවර ගත යුතුව තිබේ.

මෙවැනි බාහිර බාධාවන් අවම කිරීමට සමාජයට හැකියාව තිබේ නම් ඔවුන් සමාජයට ඵලදායී පුද්ගලයන් කිරීම අපහසු කරුණක් නොවේ. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සමාජගත වීම ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකමක් ලෙස දක්වා තිබේ. දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් සමාජගත වීමට බලපාන ඉහත ආකාරයේ බාධාවන් අවම කිරීමට සමාජයට හැකි නම් ඔවුන් ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා භුක්ති විඳිනු ඇත. එය ඔවුන් නිසා ලෝකය දරන වියදම සැළකිය යුතු ප්‍රමාණයකින් අවම කරනවා පමණක් නොව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම තුලින් ඔවුන් ලෝකයට නව ආදායම් උත්පාදනය කිරීමට ද දායක වනු ඇත.

පවතින තත්ත්වය වෙනස් කිරීම සඳහා දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ද, දෘෂ්‍යාබාධිත නොවන පුද්ගලයන්ට ද සමාන වගකීමක් ඇත. තනි පුද්ගලයන් වශයෙන්, කණ්ඩායම් වශයෙන් සහ සමස්ථ සමාජය වශයෙන් අපට ඒ සඳහා දායක විය හැකිය. යහපත් පෙනීමක් සහිත ඔබ, තනි පුද්ගලයන් වශයෙන් ඔබට හමු වන ඇසුරු කරන දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට අනුකම්පා කර උදව් කිරීමට ඉදිරිපත් වීම සුදුසු නොවේ. ඔහු හෝ ඇය අභිමානයක් සහිත පුද්ගලයෙකි. ඔහුට ඇතැම් දේ ස්වාධීනව කර ගැනීමට හැකියාව තිබෙනවා වන්නට පුලුවන. එසේ නොවන අවස්ථා වලදී ඔවුන් ඔබේ උදව් ඉල්ලා සිටිනු ඇත. එහෙත් උදව් අවශ්‍ය නම් තමා උදව් කිරීමට සූදානම් බව හැඟවීම උදව් ඉල්ලීමට ඔවුන් දිරිමත් කරනු ඇත. ආබාධිත නොවන පුද්ගලයකුට දක්වන ආකාරයේ සමාන පිළිගැනීමක් ලැබීමට ඔවුන්ට සුදුසුකම් ඇත.

ඔවුන් මුහුණ දෙන බාධාවන් අවම කිරීමට අවශ්‍ය පියවර කණ්ඩායමක් වශයෙන් ඔබට ගත හැකිය. උදාහරණයක් ලෙස ඔබගේ සේවා ස්ථානය දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයකුට බාධාවකින් තොරව සේවය කල හැකි ආකාරයේ තැනක් බවට පත් කිරීමට පියවර ගත හැකිය. එමෙන්ම සමාජය වශයෙන් එවැනි පුද්ගලයන්ට බාධාවකින් තොරව, හැකි තාක් ආබාධ නොමැති පුද්ගලයකු හා සමානව සමාජගත වීමට, අධ්‍යාපනය ලැබීමට, රැකියාවක නිරත වීමට සහ සමාන අවස්ථා ලබාගැනීමට අවස්ථාව ලබා දීමට පියවර ගත යුතු ය. දෘෂ්‍යාබාධ සහිත ප්‍රජාවගේ ආබාධිත බව අවම කිරීමටත්, ආබාධය හේතුවෙන් ඇති වන වැය බර අවම කිරීමටත් ඔබට දායක විය හැක්කේ ඒ අයුරිනි.

දෘෂ්‍යාබාධ සහිත ප්‍රජාව ට ද තනි පුද්ගලයන්, කණ්ඩායම් සහ ප්‍රජාව වශයෙන් කල හැකි කාර්යභාරයක් තිබේ. පසුගිය දා මා විසින් සවිස්තරාත්මකව පැහැදිලි කලේ ඒ සම්බන්ධයෙනි. ඔබ දෘෂ්‍යාබාධිත අයෙකු නම්, තනි පුද්ගලයෙක් වශයෙන් ඔබ මුහුණ දෙන අභියෝග නිවැරදිව හඳුනාගැනීම ඉතා වැදගත් ය. ඒවා අවම කිරීමට තනිව ගත හැකි ක්‍රියාමාර්ග හෝ නව ක්‍රමවේදයන් පුහුණු වීමත්, අවශ්‍ය අවස්ථාවේ සහය ඉල්ලා සිටීමත් කල හැකිය. විශේෂයෙන්ම කොන් කිරීමට, වෙනස් කොට සැලකීමට සහ අතවරයන්ට ලක් වීමට බොහෝ සේ ඉඩ ඇති බව තේරුම් ගත යුතු ය. ඒවායින් මානසික පීඩාවන් ඇති වන්නේ නම් ඊට අවශ්‍ය වෛද්‍යමය සහ නීතිමය සහය ඉල්ලා සිටිය හැකිය.

කණ්ඩායම් වශයෙන් දෘෂ්‍යාබාධිත ප්‍රජාවට තම තමන් මුහුණ දෙන පොදු ගැටලු විසඳාගැනීමට එක් එක් අය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම තුලින් එම දැනුම හුවමාරු කරගැනීම ඉතා වැදගත් කරුණකි. කණ්ඩායමක් වශයෙන් ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීම මගින් තනිව යා හැකි දුරට වඩා බොහෝ දුර යා හැකිය. එමෙන්ම ප්‍රජාවක් වශයෙන් සමාජයේ තමන්ට අහිමි වන අවස්ථා ලබාගැනීමට අදාළ බලධාරීන් වෙත බල කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මීට පෙර සිටි එවැනි පුද්ගලයන් කල උද්ඝෝෂණ නොවන්නට ඔබ අද ලබන වරප්‍රසාද පවා නොලැබීමට ඉඩ තිබිනි. යමක් ලබා ගැනීමට ඉල්ලා සිටිය යුතුය. එය කල හැක්කේ ඔබ ප්‍රජාවක් වශයෙන් එකතු වන්නේ නම් පමණි. දෘෂ්‍යාබාධිත ප්‍රජාව පමණක් නොව සියලු ආකාරයේ ආබාධ සහිත ප්‍රජාව එක් කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම තුලින් බොහෝ අහිමි වීම් අවම කරගත හැකි බවට ලෝකයේ බොහෝ උදාහරණ තිබේ.

දිනෙන් දින වැඩි වන දෘෂ්‍යාබාධිත ප්‍රජාවට ස්වාධින පුද්ගලයන් ලෙස සමාජගත වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට එක් වෙමු.

මූලාශ්‍ර:
01. World Health Organization – Vision impairment and blindness (fact Sheet) – October 2017
02. World Health Organization – Socio-economic aspects of blindness and visual impairment – (analysis) – 2003
03. AMD Alliance International – The Global Economic Cost of Visual Impairment – 16 March 2010

http://hithenahati.blogspot.com/2018/03/visualimpairment.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල