සඳැස් / නිසඳැස්

මගෙ බිසවුනේ අසාපන්

Off

“දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි…”
“රත්නේ.. රත්නෙ..”

“රත්නේ..”

“හ්..හ්ම්.. ඇ..ඇයි?”

“හප්පේ..මොන ලෝකෙද හිටියේ? මං කොච්චර කතාකලාද. ඇයි රත්නෙ මේ? අද ඉස්කෝලෙ ඇරිල ආව වෙලාවෙ ඉඳල ඔයා හරි වෙනස්. බලාගත්තු අතේ බලාඅගෙන කල්පනාකරනවා. ඇයි මේ? මොකුත් ප්‍රශ්නයක්වත්ද? කියන්නකො මටත්.”

“ප්‍රශ්නයක්නම් තමයි හේමා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. කෝ.. දූ නිදිද?”

“හ්ම්.. උදේ ඉඳල නට නටා ඉඳල ඔන්න දැන් නින්දෙ. ඒක නෙවෙයි, කියන්නකො රත්නෙ, මොකද උනේ? රස්සාවෙ ප්‍රශ්නයක්ද?”

“ඔව් හේමා. අහල කලබල වෙන්නෙපා, මාව ට්‍රාන්සර් කරලා.”

“මොනවා.. අනේ දෙයියනේ මොන වරදක් කලාටද ඒ? මේ හදිස්සියේ. කොහාටද?”

“ඔය ඉතින් ඔයා කලබල වෙලානේ.”

“කලබල නොවී කොහොමද රත්නේ. මට එහෙම කිව්වට ඔයත් ඔය ඉන්නෙ කලබල වෙලානේ. කියන්නකො මට, මොකද්ද හේතුව? කොහෙටද ට්‍රාන්සර් එක?”

“මෙන්න මේකයි කියල හේතුවක් නෑ හේමා. ඒකයි මගේ හිතටත් දුක. අපේ දේසපාලකයන්ට මිනිහෙක්ට මෙහෙම කරන්න හේතුවක් ඕනිම නෑනේ. මං උන්ගෙ පදේට නැටුවෙ නැති හින්ද තමයි මේ. තමන්ගෙ දේශපාලන මතය ස්වාධීනව තියාගන්න තරම්වත් නිදහසක් නැති කාලකණ්නි රටක් මේක.”

“අනේ දෙයියනේ… මං ඔයාට මුලින්ම කිව්ව රත්නෙ මේ ටික වෙයි කියලා. කෝ ඔයා ඇහුවද. දැන් ඉතින් වෙච්ච දේ උනා. හැබැයි ඔයා කොහෙට ට්‍රාන්සර් කලත් මායි දූයි අනිවාරෙන්ම එනව ඔයත්තෙක්ක යන්න.”

“හිතන තරම් ඒක ලේසි නෑ හේමා. දන්නවද මාව ට්‍රාන්සර් කරල තියෙන්නෙ කොහෙටද කියලා? ඔක්කම්පිටියට..”

“මයෙ අම්මේ ඒ මොන දීපංකරේකද? මං ඒ නම ඇහුවෙත් අදයි.

“මං දන්නෙත් නෑ හේමා. ඒත් ඔක්කම්පිටිය තියෙන්නෙනම් මොණරාගල පැත්තේ.”

“අනේ දෙයියනේ.. එච්චර දුරක. අනේ රත්නෙ, ඔයා එච්චර දුරක යවල මේ ගාල්ලෙ මායි දූයි තනියෙන් කොහොම ඉන්නද. අපි දෙන්නත් එනව රත්නෙ ඔයත්තෙක්ක. දැන් කවදද ඔයාටෙ එහෙට යන්න තියෙන්නේ?”

“මහ කාලයක් නෑ හේමා.. මේක වහාම ක්‍රියාත්මක ක්ෂණික මාරුවක්ලු. ලබන සඳුදට මං එහේ ඉන්න ඕනි.”

************************************************************************************************************

“ඕනිකරන හැමදේම හරි නේද රත්නේ? අනේ මට බයයි. මට බෑ ඔයාව තනියෙන් යවන්න. හෙට මේ වෙලාව වෙනකොට ඔයා මගෙනුයි දූගෙනුයි හැතැම්ම සියගානක් ඈත් වෙලා. තට්ට තනියම, කාත් කවුරුවත් අඳුනන්නෙ නැති නන්නාදුනන පළාතක. මෙහේ මායි දුවයි තනියම. කාගෙවත් පිළිසරණක් නැතිව.”

“අපිට වෙන විකල්පයක් නෑ හේමා. මේ හැමදේම යථා තත්වෙට පත්වෙනකල් අපි ටිකක් ඉවසමු. මට එහේ කරදරයක් වෙන එකක් නෑ. ඔයාටත් මෙහේ ප්‍රශනයක් වෙන්නෙ නෑ. ඔය මෙහේ ඉඳන් දූට හොඳට උගන්නන්න.”

“අනේ රත්නේ, අපි වෙන විදියක් බලමු. අපි ඔය කෙහෙල්මල් රස්සාවෙන් අයින් වෙමු.”

“හැඟීම් වලට වහල් වෙන්නෙපා හේමා. අපිට යථාර්තෙට මූණ දෙන්න වෙනවා. මේ රස්සාව නැතුව කොහොමද අපි ජීවත් වෙන්නෙ? දූට හොඳට උගන්නන්නෙ.”

“ඒවා පස්සෙ බලමු රත්නෙ. වැදගත්ම දේ අපි තුන්දෙනා එකට ඉන්නෙක නේද. එතන තමයි ශක්තිය තියෙන්නේ. මැරුණත් අපි තුන්දෙනා එකට. දූට ඔයා න්තුව බෑ. මටත් ඔයා නැතුව බෑ. ඒ වගේම ඇත්තම කතාව ඔයාටත් අපි දෙන්නම නැතිව බෑ. ඉන්න තැනක නොකා නොබී එකට මැරෙන්න හරි අපි නවතිමු රත්නේ, මං වඳින්නම්. අපි මෙහෙන් වෙන රස්සාවක් හොයාගමු. එතකල් අපි කොහොමහරි ජීවිතේ ගැට ගහගමු.”

“හෙට ගමනාට හැම දේම ලෑස්තිකරගෙන තියෙන්නේ. අපි මේ හැම දෙයක්ම පහුගිය සතියෙම අනන්තවත් කතාකලා. ගන්න තියෙන හොඳම සුදුසුම එකම තීරණේ අපි දෙන්න මේ ගත්තෙ. ඉතින් ඇයි දැන් මේ ආයෙත්? වෙන් වෙන්න තියෙන මොහොත ළංවෙන්න ළංවෙන්න දුක වැඩියි තමයි හේමා. මං කඳුලු හිරකරගෙන හිත ගලක් කරගෙන් අඉන්නවා. ඒත් ඔයාට ඒ දේ අමාරුයි කියල මං දන්නවා. ඒ නිසයි මේ. ඒත් අපි මේ අමාරුම මොහොත ගෙවිල යන්න ඉඩදෙමු. අපි අපේ ජීවිත අවුල් නොකරගෙන ඉමු. රස්සාව නැතිකරගෙන මං මෙහේ නැවතුනොත්, අපි තුන්දෙනාගෙම ජීවිත අනාථ වෙනවා. අපි අපේ දූ ගැන හිතන්න ඕනි. රස්සාව නැතිකරගන්නවට වඩා හුඟාක් අමාරුයි රස්සාවක් හොයාගන්නෙක. අපිට එහෙම උනොත් ගොඩාක් දුක් විඳින්න වෙයි. අද රටේ මිනිස්සු ජීවත් වෙන විදිය පේනවනේ. කරන්නම අතක් නැතිකොට ගෑණු උදවිය පිටරටවල් වල යනවා බැලමෙහෙවර වලට. මට එහෙම තත්වෙකට ඔයාව පත්කරන්න බෑ හේමා. මට ඔයාව රට පටවන්න බෑ. මට මගේ දරුවො වාල්කම් කරනවා බලන්න බෑ. ඒ නිසා අපි බොහොම බුද්ධිමත්ව වැඩකරමු මේ වෙලාවෙ. ඒ නිසා මට යන්න දෙන්න හේමා.”

“ඉතින් රත්නෙ ඔයාට ඔච්චරටම රස්සාව ඕනිනම්, ඔච්චරටම යන්න ඕනි නම්, ඉතින් අපිත් එක්ක යන්නකෝ. තාම ඒකට පරක්කුවක් නෑනෙ. තියෙන ඇඳුම් කඩමාල්ලක් ඔතාගෙන දූයි මායිත් ලෑස්තිවෙන්නම් හෙට උදේම ඔයත්තෙක්ක යන්න.”

“මං දන්නවා ඔයා මට කොච්චර ආදරෙයිද කියල හේමා. ඒත් මං ඔයාටත් ඊටත් වඩා ආදරෙයි. ඒ නිසා මං මේ යන වංකගිරියට මට ඔයාලවත් එක්ක යන්න බෑ. ඒ නිසා මෙහෙම කඳුලු පුරවගෙන අඬන්න එපා. ඒ දුෂකර පළාඅතට මට ඔයාව එක්ක යන්න බෑ. ඉන්න තැනක් තියෙයිද, ගුරු නිවාසයක් තීයෙයිද, නැත්නම් කුලී ගේක ඉන්න වෙයිද, එහෙම තැනක් හොයාගන්නකල් කොතන කොහොම ඉන්න වෙයිද, මේ කිසිම දේකට හරිහමන් උත්තරයක් නැතිව ඒ නන්නාදුනන හිමේට මට ඔයාව එක්ක යන්න බෑ හේමා. හිතන්න දූ ගැන, එයා කොහොම ඉන්නද එහෙම තැනක. ”

“ඔයා හඳක් වගේ. හඳ එලියක් වගේ. ඒ එලියෙ සිහිලට වෙලා හා පැටියෙක් වගේ ඉන්න අපේ දුව සුවෙන් ඉන්නවා, ඒ සුව යහන කඩල දාන්න අපිට බෑ. කරදරයක් නැති ඔයාගෙ උනුහුම රැකවරණය ආදරය එයාට ඕනි. සර්ප විමාඅනෙකට එයාව ගෙනියන්න අපිට බෑ. නොදන්න පළාතක දුෂකර බව එයාට දරාගන්න බෑ. ඒ නිසා එයාව ලෙඩ නොකර, එයාව බඩගින්නෙ නොතියා, හොඳ කෙල්ල වගේ හේමා ඔයා මේ නගරෙ නවතින්න.”

“මට තේරෙනවා රත්නේ. මට තේරෙනවා. ඔයා මටයි දූටයි අසීමිතව ආදරෙයි කියල දන්නවා මං. ඔයා පෙරුම් පුරන බෝධිසත්වයෙක් වගේ මනුස්සයෙක්. දුවයි මායි ගොඩක් වාසනාවන්තයි. ඒත් දෙයියනේ, මට මේක දරාගන්න බෑ. මෙච්චර ඈතක ඔයාව යවන්න හිත හදාගන්න බෑ මට.”

“මට ඕනි ඔයාල දෙන්නව සතුටින් සුවෙන්, හොඳින් ජීවත් කරන්න තමයි හේමා. ඒ නිසා මට මේ මොනවත් දුෂකර දේවල් නෙවෙයි. මට පෙරුම් පුරන්න ඕනි නෑ. ඕනි මගේ ජීවිතේ දීල හරි ඔයාල දෙන්නව රකින්නයි. ඒ නිසා මේ යන ගමනට මං ඔයාගෙන් ඉල්ලන්නෙ කඳුලු පිහදගෙන අපේ අනාගතේ වෙනුවෙන් නාඬා ඉන්න කියලයි. ඒ ශක්තිය විතරක් මට දෙන්න හේමා.”

“මගේ ආශිර්වාදයයි, ශක්තියයි ගෙවෙන හැම මොහොතකම ඔයා ළඟ තියෙනවා රත්නේ. ජීවිතේ ගෙවෙන හැම තත්පරයකම මගේ හිත තියෙන්නෙ ඔයා ළඟ, මතක් වෙන්නෙ ඔයාව. හැම වෙලේම දෙවියන්ගෙන් මං ඉල්ලන්නෙ ඔයාව රැකල දෙන්න කියලයි. ඔයාට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා කියලයි. යනගමන හිත හොඳින් යන්න රත්නේ. ඔයා කිව්ව වගේ ඉදිරි අනාගතේ පුරා උදාවෙන අපේ සුවදායි අනාගතේ වෙනුවෙන් මේ පොඩි කාලෙ අපි අපි වෙනුවෙන්ම ඉවසමු. ඊටපස්සෙ අපිට හැකිවෙයි මැරෙනකල්ම අපේ ළඟටම වෙලා ඉන්න.”

“ඔව් හේමා. ඒ විදියට සුබවාදීව අපි ජීවිතේ දිහා බලමු. ජීවිතේ අහිමිවීම් පමණක්ම උරුම වෙච්ච මට හිමි වීම් ලැබුනෙ ඔයා හින්දයි. ඔයාගෙ ශක්තිය, ඔයාගෙ වචන, ඔයාගෙ ආදරේ මට මහ ශක්තියක් වෙලා මගේ හැමදේටම හැමදාමත් ලැබෙනවා. ඒකට ඔයාට ගොඩක් පින්. ඒ නිසා අපි මේ ටික කාලෙ කොහොමහරි ඉවසමු.”

“හ්ම්.. එහෙනම් දැන් අපි නිදාගමු රත්නේ. හෙට ඔයා බොහොම දුරගමනක් යන්නේ. උදේම ඇහරෙන්නත් වෙනවා. කාලාන්තරයකට මට ආයෙ මෙහෙම ඔයා ළන්න්හ ඉන්න බැරිවෙයි.”

“මොනා කරන්නද.. කමක් නෑ හේමා.. මං දන්නවා මොණරාගල ඒ පාලු කාමරේත් ඔයාගෙ සුවඳ අරන් ඔයා හීනෙන් හරි එනවා කියලා. අපි හිත් හදාගෙන ඉමු.”

“ගියපු ගමන් මට ලියුමක් එවන්න රත්නේ, හැම විස්තරය්ක්ම කියලා. මං මඟබලන් ඉන්නවා. ඔයාගෙන් ලියුමක් ලැබෙනක්ල් මං ඉන්නෙ බයෙන්..”

“ඒ ගිහින් විතරක් නෙවෙයි හේමා.. මං ඔයාට නිතර ලියන්නම්… ලිවීම හැර මගේ තනිය මකාගන්න වෙන දෙයක් නෑ මට…”
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි…//

මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ ‍
විස ඝෝර සර්ප බවනේ..

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා…//
දිවි පු‍දා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්…

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

ගණදස_කපග

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල