අතීතකාමය

පරිසරයට සමීප, දරුවන්ගේ සුන්දර ලෝකයේ සරල ක්‍රියාකාරකම් කිහිපයක් සිහියට නගමු

Off

සිංහල අවුරුදු කාලය කුඩා දරුවන්ට ඉතාමත් ප්‍රීතිදායක කාලයයි. දශක කිහිපයකට ඉහතදී නම් අවුරුදු ලං වෙත්ම ගම්බද මහත් කලඑළියක් දකින්නට ලැබුණි. බක් මහ ලබන බව හඬගා කියන කොහාගේ නාදයත් සමග, එරමුදු ගස් රත් පැහැති මලින් බරවී, කොහාගේ පණිවුඩය සනාථ කරයි. වෙල් යායෙන් ඇසෙන කමත් කවි වලට අමතරව ළඟ ළඟම ඔන්චිලි වාරම්ද ඇසෙන්නට පටන් ගනියි.

නිවාඩුව කෙළිදෙලෙන් ගතකරන කුඩා දරුවෝ තමන්ටම ආවේනික බොහෝ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වලට නිතැතින්ම යොමු වෙති. වර්තමාන තාක්ෂණික බලපෑම් නිසා ක්‍රමක්‍රමයෙන් ගිලිහි යමින් පවතින එදා ගැමි දරුවන් අතර දකින්නට ලැබුණු සාමුහික ක්‍රියාවලි කිහිපයක් ගැන සිත් මෙනෙහි කරමු.

කුඩා දරුවන්ට නැතුවම බැරි භාණ්ඩයකි බට තුවක්කුව. තරමක් මෝරා ඇති බටලියක් කපා එය තුලට ඇතුල් කළ හැකි මල්කෑර වැනි සිහින්, දිග ඇති එමෙන්ම ශක්තිමත් කෝටුවක් බට විල්ලක සවිකර ගත් විට එය ‘තුවක්කු කූර’ ලෙස හැඳින්වේ. තුවක්කුවට බලුදන් උන්ඩ ඇතුල් කරනුයේ කුරෙන්ය.

බට තුවක්කුවේ කුඹලට බලු දන් ගෙඩියක් දමා එහි අග්‍රය දක්වා ‘කූරෙන්’ තදකර, තවත් බලු දන් ගෙඩියක් දමා තල්ලු කරන විට කුඹල ඇතුලේ තෙරපෙන වාතය තරමක් හඬ නගමින් ඉදිරි කෙළවරේ බලු දන් ගෙඩිය එලියට වීසිවේ. වෙඩි තැබීම මෙයයි. බට තුවක්කුවට බලු දන් දමා වෙඩි තැබීම දරුවන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙන සරල ක්‍රීඩාවකි. පරිසරයෙන් ලබාගත් අමු ද්‍රව්‍ය වලින් සාදනලද බට තුවක්කුව කිසිම හානියක් රහිත සරල ක්‍රීඩා භාණ්ඩයකි.

පාසැලේ අත්වැඩ වලදී සාදාගන්නා කඩදාසි බෝට්‌ටු, ගෙදර එන ගමන් තම යහළු යෙහෙලියන් සමග, මග තොටේ ඇති, දොළ පාරක පා කර හැරීම දරු දැරියන්ගේ සිරිතය.

වර්ෂාව පවතින අවස්ථා වලදී, මිදුලේ සෑදෙන තාවකාලික දිය කඩිති වල, පවා කඩදාසි බෝට්‌ටු පා කරන දරුවන්ට දොළ පාරෙහි කඩදාසි බෝට්‌ටු පා කර හැරිම මගින් මහත් විනෝදයක්‌ සහ අමුතුම ආශ්වාදයක් ලැබෙනු ඇත.

පරිසර පරිහානි වලට ගොදුරු නොවූ බොහෝ ගම්බද වට පිටාවන්හි, පිරිසිදු ජලය ගලා බසින නොගැඹුරු ඇළ, දොළ තවමත් දකින්නට ලැබේ. මෙවැනි ඇළේ දොළේ බැස, දන්ඩි පැටව්, තිත්තයින් වැනි මාලුන් අල්ලා ටික වේලාවක් ජල බඳුනක දමා ඔවුන්ගේ හැසිරීම් රටා බලමින් කුඩා දරුවෝ කෙතරම් ප්‍රීතියක් අත්පත් කර ගනිත්ද? ඔවුනට දෑත ගොටුවක්‌ මෙන් සකස් කර හෝ කඩදාසි ගොටුවක් සාදා කුඩා මසුන් අල්ලා ගැනීමට මනා පළපුරුද්දක්‌ තිබේ. එම මසුන්ට හිරිහැර නොකර හොඳින් දැක බලා ගෙන ආපසු දියට දමා උන් නැවත පිහිනා යනු බලා දරුවෝ නොමඳ සතුටක් ලබති.

අවුරුදු ලබන, බක්‌ මාසය වන විට, කෙත් වතුවල ගොයම් පාගා වී අස්වැන්න අටු කොටු වලට පුරවා අවසන්වේ. මේ වන විට පාවරේ ඉතිරි වන පිදුරු ගොඩවල් කුඩා දරුවන්ට සිත්සේ දඟලමින්, උඩ පනිමින් සෙල්ලම් කිරීමට ඉතාමත් හොඳින් ගැලපෙන ස්ථාන වේ.

නගරයේ ක්‍රීඩාගාරයක තිබෙන රබර් මෙට්ටයක ඇති කෘතීම භාවය නොමැති පිදුරු ගොඩක, පෙරළෙමින්, උඩ පැන නටමින් ලබන මිහිරියාව දන්නේ එවැනි තැනක සෙල්ලම් කර ඇති දරුවන් පමණකි.

සෙල්ලම් ගෙයක් සාදා ගෙන, එය තුළට වී සෙල්ලම් බත් උයා, බෙදා හදා ගැනීමෙන්ද දරුවෝ අපමණ සතුටක් ලබන අතරම සාමුහික හැඟීමකින් යුතුව කටයුතු කිරීම පිළිබඳවද පුහුණුවක් ලබති. ගැමි දරුවන්ගේ සෙල්ලම් ගෙවල් විවිධාකාර වේ. පොල් අතු, කෙසෙල් අතු, උණ ලී වැනි වටපිටාවෙන් ලබාගත හැකිදේ භාවිත කර සාදාගත් සෙල්ලම් ගෙයක් මෙහි දැක්වේ. සෙල්ලම් ගෙය තුළට වී පංචි දැමීම, නෙරෙංචි ඇදීම, ගල්පෙලීම වැනි පැරණි ක්‍රීඩා වල නිරත වීමට දරුවෝ බොහෝ කැමති වෙති. එහෙත්, ගම පවා, නාගරීකරණයට හසුවී ඇති මේ වකවානුවේදී, සමහර දරු දැරියන් සඳහා වැඩිහිටියන් විසින් වෙළඳ පළෙන් මිලදී ලබාගන්නා සෙල්ලම් ගෙවල් මගින් නම්, දරුවන්ට කිසිම පාරිසරික වින්දනයක් ලබාගැනීමට කිසිසේත් හැකියාවක් නොලැබේ.

අවුරුදු කාලයේ සෙල්ලම් ගෙයක් සාදා ගන්නා බොහෝ කුඩා දරු දැරියෝ, කොස් කොළ තොප්පි සාදා පැළඳ ගෙන සිටිනු දකින්නට ලැබේ. කොස් ගස් වලින් ඉදී බිමට වැටෙන, කොස් කොළ කිහිපයක්, රවුමක් ලෙසට ඉරටු වලින් අමුණා, ඉදිරියෙන්, එක කොස් කොළයක් සිරස්ව අමුණා ගත් විට ඔටුන්නක හැඩය ඇති කොස් කොළ තොප්පියක් සාදා ගත හැකිය.

අපතේ යන කොස් කොළ වලින් මෙසේ සාදාගත් තොප්පි පැළඳ ගත් දරු දැරියෝ ඒ ගැන මහත් අභිමානයකින් යුක්තව තම ක්‍රීඩාවල නිරත වෙති.

තම අවට පරිසරයේ තිබෙන බොහෝ ස්වභාවික දේ, පරිසර හානියක් නොවන පරිදි, තම විනෝදය සඳහාත් නව නිපැයුම් සඳහාත් යොදා ගැනීම පිළිබඳව ගැමි දරුවාට මනා හසුරු කෞශල්‍යයයක් තිබේ.

රබර් ඇටයක්, ඉරටුවක්, නූලක් සහ පොල්පිත්තක පතුරු කැබැල්ලක් පාවිච්චි කර ඉතා හොඳින් ක්‍රියා කරණ, බඹරයක්මෙන් කරකැවිය හැකි හුළංපෙත්තක් සාදා ගැනීමට ගැමි දරුවා දනී. ඔහු, රබර් ගස් යට වැටී, පැළ නොවී, අජීවී තත්වයට පත්වි ඇති, මදය ඉවත්වී ඇති රබර් ඇටයක්, මේ සඳහා තෝරා ගනී. ඉරටුව ඇතුල් කිරීම සඳහා රබර් ඇටය අග්‍ර දෙකෙන් සිදුරු කර ගත යුතුය. තමන්ගේ කවකටු පෙට්ටියේ ඇති උල් කටුව රබර් ඇටයේ සිදුරු සෑදීම සඳහා බොහෝවිට පාවිච්චි කරන මෙවලමයි. රබර් ඇටයේ මැදින් සකස් කළ යුතු තුන්වැනි සිදුර උල් කටුවෙන් හෑරිම ඉතාමත් සීරුවෙන් කල යුතු කාර්යයකි. මෙසේ සාදා ගන්නා හුළංපෙති බඹරය අද වෙළඳ පලේ ඇති එවැනි බඹරයකට කිසිසේත් දෙවැනි නොවේ.

කුඩා දරුවන්ගේ කුසලතාව දක්වන තවත් සරල ක්‍රීඩා උපකරණයකි ‘කුරුම්බැට්ටි මැෂිම’

පොල් මලෙහි සාර්ථක පරාගණයක් නොවී හැලී යන ‘කුරුම්බැට්ටි’සහ ඉරටු කැබලි කිහිපයක්‌ එක්තරා ක්‍රමයකට, රුප සටහනේ දැක්වෙන පරිදි එකලස්‌ කර ගැනීමෙන් ‘කුරුම්බැට්ටි මැෂිම’සකස් කර ගත හැකිය. මහි මැදට ඇල්බීසියා හෝ වදමල් ගසක කොළයක් දමා, ඉරටුවෙන් අල්ලා ගෙන ‘කුරුම්බැට්ටිය’ වේගයෙන් කරකවන විට ‘ටික්…. ටික්…. ටික්’ යන හඬක්ද සහිතව කොළයේ මැහුමක් වැනි රේඛා දෙකක් සෑදී ඉවතට වැටේ.

මෑතක් වන තුරුම ගම්බද දරුවන් මෙවැනි අවට පරිසරයට, ගසට කොළයට, සතා සීපාවාට, සමීප සරල ක්‍රියාකාරකම්, ක්‍රීඩා බවට හරවා ගනිමින් අපමණ වින්දනයක් ලබනු දකින්නට ලැබිණ. එහෙත් වර්තමානයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නාගරීකරණය සහ තාක්ෂණ විප්ලවය නිසා දරුවන්ට පරිසරයෙන් ලබාගතහැකි වින්දනය සිමා වෙමින් පවතී. මෙසේ සිදුවෙමින් පවතින පරිවර්තනය කිසිසේත් මැඩ පැවැත්විය නොහැකිය.

එසේ වුවත්, සිංහල අලුත් අවුරුදු සමයේදී ජාතික ක්‍රීඩා, ජනගායනා, ගැමි නැටුම් ගැයුම් ආදියට මුල්තැන දීම අදත් ගැමි පරිසරයේත් නගර බදත් දකින්නට ලැබෙන සංස්කෘතික පිබිදීම් බව පෙනේ. මෙවන් අවස්ථාවලදී කුඩා දරු දැරියන්ටද එදා දකින්නට ලැබුණු සරල ක්‍රියාකාරකම් වල නියලිමටද ඉඩකඩ ලබාදීම නුවණට හුරු නොවේද?

(හිතවතෙකු විසින් අන්තර්ජාලයෙන් ලබාගෙන මා වෙත ඒවා ඇති, මෙහි ඇතුළත් ඡායාරුප ‘Think for Moment’ නමැති වෙබ් අඩවියෙන් බව ස්තුති පුර්වකව සටහන් කරමි)

http://dayawee2.blogspot.com/2018/04/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල