කාලීන සංවාද

ඔබේ අලුත් අවුරුදු පැතුම කුමක්ද ?

0

ලෝකය දිනෙන් දින වෙනස් වීම යථාර්තයකි. අද දින දරුවන්ගේ අවශ්‍යතා එදා දරුවන්ගේ අවශ්‍යතා වලට වඩා වෙනස්ය. බක් මස අවුරුද්දක ආරම්භයේ, ඔබ මොනවා නම් අවුරුද්ද හරහා බලාපොරොත්තු වන්නේද ? ඒ බලාපොරොත්තු කුමක් වුවද, එයින් රටට සහ ලෝකයට ලැබෙන ප්‍රයෝජනය මොනවාද කියා ඔබ සිතා බැලුවේද ?

කෙනෙක්ගේ පෞද්ගලික දියුණුව ගැන සිතිය යුතුය. එහෙත් පොදු වශයෙන් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සිතීම, උදාර බලාපොරොත්තුවක් නොවන්නේද ? තව දින කීපයකින් බක් මස අලුත් අවුරුදු උදාව ආරම්භ වේ. ඉන් පසු පුණ්‍ය කාලයද, තෙල් ගාන නැකත් කාලයද, රැකි රක්ෂා සඳහා යා යුතු කාලයද එන්නේය.

ඒවා ඔබ අනුගමනය කළද නැතද, මේ උත්සව සමයේ ඔබේ බලාපොරොත්තු මොනවාද ?

කුඩාවුන් වූ අපගේ ළමා කාලයේ අලුත් අවුරුද්ද එනතුරු දින ගනිමින් සිටින්නේ, අළුත් ඇඳුමක් ලැබෙන තුරුය. එසේ නැත්නම් උණ බම්බු වෙඩිල්ලක් හදා තරඟයට පත්තු කිරීමට හෝ, ගමේ ඇති අවුරුදු උත්සවයකට ගොස් ලිස්සන ගහේ නැගීම, ගඟේ ඔරු පාරු පැදීම වැනි අනේක දේවල් වේ. වැඩිහිටියන්ගෙන්ද මේ කාලයේ අපට බුරුළක් ලැබේ. දඟ කාරයන් වූ අපට එයද සහනයකි.

වැඩ අල්ලනවා කියන දිනයේ, අප පාසැල් පොත් බලා ගණන් සෑදිය යුතුය. රචනාවක් ලිවිය යුතුය. වැඩිහිටියන් පොල්, කොස් වැනි පැළයක් වත්තේ සිටවති. එසේ නැත්නම් කුඹුරට ගොස් ළියැද්දක පැළ සිටවීම කරති. එහෙත් අදද ඒ ආශාවන්, අද සිටින දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ඇත්තේද?

මෙයින් දශක කීපයකට පෙර නුවරඑළිය වැනි ප්‍රදේශයකට ගිය විට, නොකඩවා කඳු මතින් ඇද හැලෙන සුන්දර දිය පහරවල් සාමාන්‍ය දෙයක් විය. ඒවා දැක නැති තරුණ කෙනෙක්ට නම් අද ඒ පළාත් වලට ගිය විට ඇති වී තිබෙන වියළි ස්වභාවය සහ ජල හිඟය සමඟ, ඔහු හෝ ඇය නොදුටු අතීත සුන්දරත්වය සසඳන්න හැකියාවක් නැත.

ඒ පරිහානිය ගැන ඔහු හෝ ඇයට අදහසක් නැත. එහෙත් ජීවිත රෝදය වට භාගයක් කැරකුණු කෙනෙක්ට මේ අවාසනාවන්ත තත්වය මතකයට ආ යුතුය. එය එසේ නම් මේ තත්වය නැවත වෙනස් කල නොහැකිය යන්න ඔබ සිතන්නේද ? ඇත්තටම නැත.

කෙටියෙන් කිවහොත් අප, අපගේ අළුත් අවුරුදු පැතුමට, මේ විෂම කාළගුණික තත්වයන් නැති කරගන්නේ කෙසේදැයි කියා එක් කරගැන්මද වටී. ලොවෙන් අප උදුරාගත් ඒ සෞන්ධර්යය නැවත ලොව වෙත සහ, හෙට උපදින දරුවන්ට ප්‍රධානය කිරීමට අප ඉටා ගත යුතුය. කාර්මික, විද්‍යා ක්ෂේත්‍ර වලට අයත් අය පමණක් අද ලොවට ඇතිවී තිබෙන ඉරණම දත යුතු වන්නේද?

කිසිසේත් නැත.

මේ අලුත් අවුරුදු සමයේ සියල්ලන් විසින් ඇති කරගත යුතු තවත් බලාපොරොත්තුවක් නම්, අපගේ පෞද්ගලික කාබන් පාදය ශුන්‍යයක් කර ගැන්ම වස්, ගසක් වැවීමය. ගසක් වැවීම පමණක් නොව, ගස් අසළ ගැවසීමද මානසික මෙන්ම ශරීර සෞඛ්‍යයටද ශුභදායි වන බව පිළි ගැනීමකි. ගස් නිසා අපගේ රුධිර පීඩනයද, මානසික ආතතිය ඇති වීමේ හෝමෝනද අඩු වන බව ජපානයේ කරන ලද පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.

අඩුම නිරීක්ෂණයක් ඇති කෙනෙක්ට පවා මේ විෂම කාළගුණික තත්වය ගැන අදහසක් ඇත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ෆොසිල ඉන්ධන දහනය බව ඔබ දනී. මෙය ලංකාවට පමණක් සිදු වූ දෙයක් නොවේ. උදාහරණයක් ලෙස නාසා ආයතනයෙන් ගන්නා ලද චන්ද්‍රිකා ජායාරූප අනුව ආර්ක්ටික් මුහුදේ අයිස් තට්ටු දිය වූ ප්‍රමාණය, 1978 වසරේ ප්‍රමාණයට වඩා 15 % කින් අඩු වී ඇත. විද්‍යාවට බොරු කල නොහැක.

එසේ හෙයින් සියළු වාද භේද ජාති කුළ ආගම් භේද දුරලා, මේ කාළගුණ විපර්යාසයෙන් ලොව ගලවා ගැනීමට අපද හැකි ප්‍රමාණයෙන් ඇප කැප විය යුතුය.

මේ ගැන අප පිටුවල කතා කර ඇත්තෙමු. කෙනෙක්, තමන්ගේ මොබයිලය වත්, ‘මින් පසු ෆොසිල ඉන්දන මගින් ලැබෙන පාරේ විදුළියෙන් ක්‍රියාත්මක නොකරමි’ ලෙස තීරණය කර, අඩු මිළකට පහසුවෙන් මිළ දී ගත හැකි, කුඩා සූර්ය පැනලයකින් එය ආරෝපණය කර ගැනීම හෙට උපදින දරුවන්ගේ නමින් කරන යුතුකමකි.

2025 වසරේ නෝර්වේ රජය මගින් රටේ ධාවනය වන සියළුම පෙට්‍රල් ඩීසල් වැනි ෆොසිල ඉන්ධන මගින් දුවන වාහන තහනම් කෙරේ. ඉන් පසු නෝර්වේ, ‘කාබන් නිදහස් රටක් වනු ඇත. එංගලන්තය වැනි යුරෝපීය රටවල් වල 2040 වසරේ එම සීමාවට යන බව ප්‍රකාශ කර ඇත.

ඒ ගමන හිතනවාටත් වඩා ඉක්මනින් කෙරෙන බව 2015 නත්තල් සමයේ එංගලන්තයේ භාවිතා කල පුනර්ජනනීය බල ශක්තියේ ප්‍රතිශතයෙන් පෙනේ. එය 40%කි. මෙය 2015 වසරේ 25%ක්ද, 2012 වසරේ 12% කි. ඒ ප්‍රතිශතය වැඩි වූ අයුරු සතුටට කරුණකි. ස්කොට්ලන්තය 2020 වසරේ රටට අවශ්‍ය සියළු බල ශක්තිය සුළඟ හරහා ලබාගනු ඇත.

ප්‍රධානතම හේතුව, ඒ රටවල් වල වසන්නන් ස්වකීය කාබන් පාදය සහ පරිසරය ගැන බොහෝ සුපරික්ෂාකාරී වීමය. එංගලන්තයේ, කෙනෙක් අළුත් විදුළි වාහනයක් මිළ දී ගන්නේ නම්, ඔහුට රජයෙන් පවුම් 4500 ක සහනයක් දෙනු ලැබේ. තවද මුල් කාලයේ විදුළි වාහන වලින් යන්නට හැකි උපරිම දුර පිළිබඳ සීමා තවත් නැත.

අපට පෙට්‍රල් වාහන අවශ්‍ය වූවාට අනෙක් විශාල වෙළඳ පොළවල් වලට ඒවා අනවශ්‍ය නම්, පෙට්‍රල් වාහන තවත් අවුරුදු කීපයකින්, එහි නිෂ්පාදනය අවමයක් වී තිබෙනු ඇත. මෙය ලංකාවටද අදාළ වෙන්නේ ලංකාව යනු ඉතා කුඩා වෙළඳ පොළක් හෙයිනි.

අපට ලෝකයෙන් ලැබුණු දේට ණය නොවී සිටින්නට කල හැක්කේ මෙය පමණක් නොවේ. උදාහරණයක් ලෙස, අපේ රටට පමණක් නොව ලොවටම බරක් වී ඇති පෞද්ගලික කාබන් පාදය තවත් ආකාර වලින් අවමයක් කල හැක. අප මේ ගැන මුල් ළිපි වල සාකච්චා කර ඇති හෙයින්, ඒ ගැන තවත් කියන එකේ තේරුමක් නැත.

අපේ රට එංගලන්තයේ යටත් විජිතයක් වන තුරු ලංකාවේ මිනිසුන්, බටහිර ක්‍රම යනු මොනවාදෝ කියාවත් දැන සිටියේ නැත. එතැන් සිට අප ක්‍රමයෙන් ස්වභාව ධර්මයෙන් ඉවත් වුනෙමු. උදාහරණයක් ලෙස, මැස්සන් සහ කෝඳුරුවන් විනාශ කිරීමට බෙහෙත් ගසන්නට පටන් ගන්නේ එතැන් සිටය.

උදාහරණයක් සේ, පුරාණ ගම්මාණයක නිවසක අලුත් අවුරුදු උත්සව කාලයට වැඩි වන මැස්සන් සහ කෝඳුරුවන් කෙසේ ඉවත් කලේද කියා කී දෙනෙක් දන්නේද ? එය කලේ මුළුතැන් ගෙයි ‘පැණි කැවුමක්’ එල්ලා තිබීමෙනි. එය තාච්චියෙන් බැද ගත් පළමු කැවුම විය. නිවසේ ගෘහිණිය වන අම්මා හෝ අත්තම්මා එය මහත් ඕනාකමකින් කුස්සියේ වැඩිපුරම මැස්සන් කෝඳුරුවන සිටින තැන එය එලවයි. එවිට එය වටා අපමණ මැස්සන් සහ කෝඳුරුවන් පිරේ.

පරිසරයේ කොටසක් වන ඒ අහිංසක සතුන් විනාශ නොකරන්නට ඔවුන් වග බලා ගත්හ. මෙසේ පරිසරය අනුව සමගාමීව ජීවත් වන ඔවුන්ට විෂ නාශක, සතුන් ඉවත් කරන ක්‍රම සහ බෙහෙත් හේත් වූයේ පරිසරයෙන්ම ලැබුණු දේවල්මය. එහෙත් අදත් ඒ තත්වය එසේම වේද ? මෙහිදී රැල්ල සමඟ බටහිර දැනුමෙන් කියන දේද ඒකායන සත්‍යය කියා අප පිළිගත යුතුද යන ප්‍රශ්ණය අප ඇසිය යුතුය.

නැවත ඒ පැරණි ජීවන මාර්‍ගයට යාමට අපට නොහැක. එය එසේ නම් කල යුත්තේ, පාරම්පරික දැනුමට සමගාමීව, නවීන තාක්ෂණයටද නිවැරදිව අනුගත වීමය. කාර්මික අපට එය කරන්නට නොහැකි නම් කව්රුන් එය කරන්නේද ? බටහිරෙන් එන සියළුම දේ ඔහේ කරන්නන් වාලේ අනුගමනය කල යුතු නැත.

මේ අලුත් අවුරුදු සමයේ කී දෙනෙක් නම් තමාගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ගැන සිතුවේද? මෙහිදී ස්වභාව ධර්මයට අනුගත වීම නැවතත් ප්‍රයෝජනවත් වේ. තවත් ආකාරයකින් කිවහොත්, ඔබගේ සෞඛ්‍යය සඳහා වෙද ක්‍රම වලට වඩා හෙද ක්‍රම අනුගමනය කිරීමය. වෙද- හෙද කම් යනු මොනවාද ?

අසනීපයක් හැදුණු විට ඒ සඳහා බෙහෙත් ගැනීම වෙද කමකි. නමුත් ඒ අසනීපය හැදෙන්නට පෙර, අසනීපයක් වැළැක්වීමට කල යුතු දෑ ‘හෙද කම’ වේ. මේ සඳහා අපේ පුරාණ සහ පාරම්පරික කෙම් ක්‍රම මෙන්ම නවීන විද්‍යාවේ පිහිට ලබා ගත හැකි ක්‍රමද ඇත. ආයුර්වේදයේ එන ‘හෙද ක්‍රම’ වලට සමගාමීව, සෞඛ්‍යය නිරීක්ෂණය කරන අතේ පළඳින උපකරණයක් භාවිතා කිරීම එක්තරා නවීන විද්‍යාත්මක ක්‍රමයකි.

එම උපකරණ වළ මිළ දිනෙන් දින අඩුවෙමින් යයි. ඇත්තටම අද එවැනි උපකරණද අනවශ්‍යය. ඔබේ මොබයිලයේ ස්ථාපිත කරගත හැකි ‘ඇප්’ එකකින් එය පහසුවෙන් කර ගත හැක. උදාහරණ :- Step counter. එමගින් ඔබ දිනකට ගමන් කරන පියවරවල් ගණන ගණන් කර, එමගින් ඔබට දිනකට ලැබෙන ව්‍යායාමය ප්‍රමාණවත්ද යන්න පිළිබඳ අදහසක් ගත හැකිය.

සෞඛ්‍යය ගැන සාකච්චා කිරීමේදී ‘ඉල්ලං කෑම’ ගැනද දෙයක් කිව යුතුය. මත් පැන් සහ දුම් පානයට ඇබ්බැහි වී සිටින කෙනෙක්, මේ අවුරුදු දිනයේ එයින් වැළකීමට ඉටා ගත යුතු වේ.

මත් පැන් පානය අතින් ලංකාව ඉතා ඉහළ ස්ථානයක සිටී. එයට හේතුව නම් මිනිසුන්ගේම වැරදි ආකල්ප නිසා මිසක, හතු පිපෙන්නා මෙන් ඇතිවන බාර් නොවේ. යුරෝපයේ බොහෝ සාමාන්‍ය වෙළඳ පොළවල් වලින් මත්පැන් මිළදී ගත හැකිය. එහි සෑම කඩයක්ම ‘බාර්’ එකකි. එහෙත් භාවිතය අවමයකි.

එය එසේ නම් අප අපගේ ආකල්ප වෙනසක් කර ගැන්මට මේ අවුරුදු සමයේ ඉටා ගැනීම යෙහෙකි. මෙතනදීද, නවීන තාක්ෂණය මත පැනට ඇබ්බැහි වීමෙන් මිදීමට අපට භාවිතා කල හැක. හැකිනම් ‘Breathanlyser’ යන්න ගූගල් කර බලන්න. එයින් කරන්නේ අපේ ශරීරයේ ළේ වල ඇති මධ්‍යසාර ප්‍රමාණය මැන , එම උපකරණය මගින් ඔබගේ ස්මාර්ට් මොබයිලයට එය දැනුම් දීමය. මත්පැන් පානය නවතා දැමීමට පෙර, මුලින්ම කල යුත්තේ ශරීරයේ මත පැන් ප්‍රමාණය මැන බැලීමය.

ස්වභාව ධර්මයට අනුගත වී ජීවත් වනවා හැර වෙන වැදගත් දෙයක්, අලුත් අවුරුදු පැතුමේ නැත. ගසක සිසිළ අප හැර දැමුවේ වායු සමීකරණ යන්ත්‍ර නිසාය. නගරයේ ජීවත් වීම ආරම්භ කල පසු නැවුම් පසේ සුවඳ අප අමතක කළෙමු. සුවඳ විළවුන් භාවිතා කරන්නට ගත් පසු, මලක සුවඳ අමතක කළෙමු. ක්ෂණික ආහාරවලට පුරුදු වූ අපි, පාරම්පරික නිරෝගී ආහාර අමතක කළෙමු. ස්වභාව ධර්මයෙන් කෙමෙන් ඈත්වෙමින් අපගේ ශක්තීන් මොට කළෙමු.

අවසානයේ කියන්න ඇත්තේ, ශ්‍රී ලාංකිකයාගේ රුධිරයේ ඇත්තේ එදා හෙළ විස්කම් කල හෙළයා ගේ රුධිරය මය. වැව් දහස් ගණන් තැනුවේ ඔහුය. සීගිරිය ගල මුදුනට ස්වයංක්‍රීයව ජළය පොම්ප වන්නේ තැනුයේ ඔහුය. යෝද ඇළ වැනි විස්මිත නිර්මාණ මෙන්ම සමුද්‍ර වැනි පරාක්‍රම සමුද්‍රය තැනුයේ ඔහුය. නැවත ඒ තත්වයට අපට යන්නට ධෛර්යයක් නැත කියා කියන්නේ කව්ද ?

අළුත් අලුත් වාහන තාක්ෂණික ක්‍රම, නවීන විදුළි වාහන තාක්ෂණය මෙන්ම පාරම්පරික වෙද හෙදකම්, කෙම් ක්‍රම භාවිතා කිරීමට සිත් දෙන ශුභ අලුත් අවුරුද්දක් ඔබට වේවා…!

ඔබේ අලුත් අවුරුදු පැතුම කුමක්ද ?

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල