කාලීන සංවාද

දානෙට යාම, ට්‍රැපික් පෙරහැර, මාර්ග නීති සහ දිගංචියා අතුරුදහන් වීම

0

දං දීම සෑහෙන පින් සිදුවන දෙයක් බව දහම් පාසලේ දී අපට කියා දී තිබුණත් මේ දං දීම කියන්නේ ලඳු කැලෑ වල හැදෙනා දං ගහෙන් කඩාගන්නා දං ගෙඩි දීම ද, පාට පෙට්ටියේ තියෙන අපි කැමතිම පාට වන දං පාට කෑල්ල කාට හරි දීම ද යන්න හරි හැටි වටහාගන්න මට ඉස්කෝලෙ හතරෙ පන්තියටම යන්නට සිදු විය.

පහුගියදාක අපේ නැන්දම්මාට ද දනක් දෙන්නට හිතුනේය. සාංගික දනක් දෙන්නට නං හක්කේ දතක් විදුරුමහ පිටින්ම යන බැවින් මේ දන සැර බාල කොට දීම යුක්ති සහගත බව මට සිතුනේය. ඒ වුනත් එ් බව අම්මලා දූලාට පහදා දීම සෑහෙන්න අමාරුය. ඒ

“ඔය අනික් මිනිස්සුත් ඕන හැටියෙ දෙන්නෙ. අපිට බැරි වෙන්නෙ මොකෝ”

කියා අහන හන්දාය. ඒ නිසා කරුණු පැහැදිලි කරන්න ඕනෑ මෙන්න මෙහෙමය.

සාංගික දනක් දෙන්ට ගිය විට හැම එකම හොඳම එකෙන් ඕනෑය. මාලු ලැල්ලෙං මාලු නොගෙනත් බේරුවල වැල්ලටම යන්ට ඕනෑය. ඒකටත් වෙනම බාජනයක් හරි රිජිපෝං පෙට්ටියක් හරි ගන්ට ඕනාය. රිජිපෝම් පෙට්ටි හෙන ගනං ය. පනිට්ටුවක දාගෙන ආවොත් පියන හුළඟෙ යන්නට පුළුවන්ය. අල, බෝංචි, කැරට් ආදී ‘ඉංගිරිස් එලෝලු’ නුවර එලියේ පාත්ති වලින්ම ගේන්න ඕනෑය. උයන්නට විසාල රාස්පාන්, හැඳි, චාච්චි, ගේන්ට ඕනාය. ඒ රාස්පාන් තියන්ට ලොකු ලිප් හදන්ට ගල්වැටි පෙරල පෙරලා ගිජ්ජකූට වර්ගේ ගල් ගේන්ට ඕනාය. ඒ ගල්වලින් හදන ලිප්වලට පුරවන්ට දරට ගන්නට මහ සබර ගස් පෙරලා පලන්ට ඕනාය. නෑයන්ට, ගමේ අයට, යාලුවන්ට දානෙ බලන්නට එන්න කියා ආරාධනා කරන්න ඕනාය. දානෙ බලන්ට එන අයට ඉන්ට හට් ගහන්ට ඕනාය. හට් ඇතුලෙ ඉඳගන්න පුටු ඕනාය. පුටුවෙ ඉඳං ඉන්න ගමං කන්න බුලත් විට ඕනාය. එව්වා දා තියන්ට ඉලත්තට්ටුවක් ඕනාය. බුලත් විට කන අය මිදුලේ මුළු වසම්ම බුලත් කෙළ ගහනවාය. එව්වා සුද්ද වෙන්ට මුරුගසං වරුසාවක්ම වහින්න ඕනෑය.

ඒ මදිවාට දානෙට පිඟං, කෝප්ප, පීරිසි, හැඳි, බුජං, පළඟාං, පඩික්කං ආදී පාරිභෝජ්‍ය භාජන ඕනාය. දං බෙදංන කෙහෙල් කොල කපන්න ඕනාය. කෙහෙල් කොල රවුං කපන්න අච්චුවට පිඟං ඕනාය. පිහි ඕනාය. ස්වාමීන් වහන්සේලා වඩම්මන්න වෑන් ඕනාය. සමහර පන්සල්වලට යන පාරවල් සවුත්තු හංදා ඒවායේ යවන්ට වෑං කාරයාට වඳින්ට ඕනාය. කුඩා පන්සල්වලින් දෙතුන් නම වඩම්මන්න කොලපත්ගොටු යවන්ට ඕනාය. උයන්ට කෝකිං ඕනාය. කෝකින්ට බොන්ට ගල් නැත්තං ඕල්ඩ් ඕනාය. කෝකින්ට ඒවා දෙනවානං දානෙ බලන්න එන අයටත් දෙන්න ඕනාය. එව්වා අන්තිමට යංකිසි විදියකින් බෑනාටත් ගෙදර මහ මිනිහාටත් පෙවෙන්නට පුළුවන. ඒ විදිහට ගෙදර මිනිස්සු බීගත් විට දෙන දානෙ මොන ආනිසංසද? (අපේ නැන්දම්මාගේත් උන්දැගේ දෝණියැන්දාගේත් දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට ලාවට දෙකක් දා ගැනීම ආනන්තරීය පාප කර්මය X දහයෙ අටවැනි බලය වන්නේය)

මේ ආදී හැටහුටාමාරක් ගැටළු එක්ක සංඝගත දක්ෂිණාවක් කියන බරසාර නමින් හැඳින්වෙන උත්සවයක් පවත්වන්ට අපි කීපදෙනාට බැරි බව අපේ නැන්දම්මාට පෙන්නා දෙන්නට මට පුළුවන් විය. ඒ හන්දා අපට වෙනත් විකල්පයක් උවමනා විය. මේ වතාවේ අපට උපකාරෙට හිටියේ ගමේ පන්සලය. චූටි මැණිකේ විතරක් නොව අපේ නැන්දම්මාද දාංපාසල් ගොස් ඇත්තේ ඒ පන්සලටමය. එදා අපේ නැන්දම්මා ඇතුළු ‘නංගිලාට’ ලොකු හාමුදුරුවන්ට හොරෙන් පන්සලේ ගස්වලින් අඹ කඩාදුන් ඉහළ පන්තියේ අයියා කෙනෙක් අද මහන දම් පුරමින් ඒ පන්සලේම විහාරාධිපති කම හොබවන්නේ දෛවයේ කෝචොක් එකකට වාගේය. මෙදා පොටේ අපේ පිහිටට හිටි උන්වහන්සේ

“ඉතිං බෝම ලේසියෙං මේ දාම්පාසලේ ලමයින්ට දානයක් දෙතෑකි නෙවැ”

කියා අපට මග පෙන්වූ සේක. උන්වහන්සේ වැඩිදුරටත් වදාරා ඇති ආකාරයට පොඩි ළමයින්ට දෙන දේ උනත් පිරියක් ඇති දෙයක් දෙන්න ඕනාය. ගමේ අනික් අය කරන්නාක් මෙන් බාර හාර වලිං ගැලවෙන්නට, අපල වලට බයිපාස් කරන්නට හතරට පැලූ බෝංචි දිය කිරෙං තම්බා හැදූ හොදිත්, අතංගු දමා හාල්මැස්සං ඇල්ලිය යුතු විසිතුරු මාලු ටැංකි වැනි හාල්මැස්සන් හොදිත්, බෙරි බතුත්, පපඩං කුඩුත් ළමයින්ගේ පිඟං වලට බෙදා එය දානයක් යැයි නම් කිරීම නියම දානයක් නොවේය. අඩුම ගානේ ‘කටලිස්’ බෝලයක් තරමවත් ලැබුනොත් ළමයි සංතෝස වනු ඇත.

දහම් පාසලේ ඉන්නා ළමයි විසිපහක් වැනි ‘සුට්ටං ගානකට’ දානයක් ඉවීම ‘මහ කජ්ජක්’ නොවන බවත් ඒ වැඩේ ‘එළ’ටම කර දෙන්නට හැකි බවත් කියා අපේ මාමණ්ඩී දානෙට දින වෙන්කරගෙන ඇත.

ඒ අනුව ‘මහ කජ්ජක්’ නොවන මේ දානෙට අපේ ගෙදරින් අපි දෙන්නාත්, මහ ගෙදරින් නැන්දම්මා, මාමණ්ඩිය සහ මලෙයාත්, පවුලේ හැම දේකටම ගෙන්නාගන්නා දිගං මාමා සහ නැන්දා යන අක්කයි මල්ලියි දෙදෙනාත් එක්කාසු වුනෝය. දානයක් දුන්නහම පිරිකරකුත් දෙන්ට ඕනා නිසා ළමයින්ගේ ජීවිතයට ගහට චේන්සෝ එක මෙන් ද, ගුරුවරයාට ඇගයීම් වාර්තා මෙන් ද, හාමුදුරුවන්ට වටාපොත මෙන් ද බැඳී පවතින පොත් සහ පෑන්ම දෙන්නට සකස් කර ගත්තෙමු.

දිගං නැන්දා සහ දිගං මාමා (අක්කයි මල්ලියි)

දානෙට උවමනා බඩු මුට්ටු ප්‍රමාණ ගනං හදන්නට සිද්දවුනේ මටය. වැඩි වෙලා අහක දාන්න වුනොත්

“ඒකනෙ අපි කිව්වෙ ඔය හැටි ඕන්නෑ කියල. අපරාදෙ ඉව්වෑං බාගෙයක්ම අහක”

යනුවෙන්ද, මදි වුනොත්

“තව ටිකක් වැඩියෙං හදන්නෙපෑ. කොහෙද ඉතිං අපි කිව්වට ඇහුවෑ”

කියාද, දොස් අහන්න අකමැති හංදා හැමෝම

“ඒවා හැමෝටම වැඩිය දැනුං තේරුං ඇති කෙනාම ගනං හැදුවොත් තමා හොඳ”

කියා මාව මුරුංගා අත්තේ තබා ඒ වගකීම මගේ කරේ තියා බේරුනෝය.
මේ ගනං හැදිල්ලෙ දී අපි දෙන්නගෙන් කාගෙ නමුත් පිඟානට වේලකට බෙදන නමුනුකුල වර්ගයේ කෑම වේලක් දහම් පාසලේ ඕනෑම දරුවෙකුට පරිභෝජනය කළ හැකි බවට උපකල්පනය කර ගනං හැදීම සිද්ද විය. උදාහරණයක් කියතොත් බෝංචි දෙසිය පනහක් හොදි හැදුවොත් එයින් අපි දෙන්නාට වේල් දෙකක් කෑ හැකිය. ඒ අනුව බෝංචි දෙසිය පනහක් හතර දෙනෙකුට වේලකට සෑහේ. අනික් එලෝලු මාලු ආදියද ඒ විදිහටම ගණනය කරන්නට විය. මේ සූත්‍රය හරි නොගියේ හාල් වලටය. අපේ ගෙදර දෙවේලකට හාල් බෙලෙක්ක දෙකකුත් ටිකක් උයන්ට ඕනාය. ඒ හාල් ප්‍රමාණය කොච්චරක්දැයි අපේ නැන්දම්මාගේ එකම දෝනියන්දාගෙන් ඇහූවිට උත්තරේ ලැබුනේ හුණ්ඩු X සංඛ්‍යාවක් කියාය. ඒ කොච්චරක් දැයි ඇසූවිට කිව්වේ හුණ්ඩු X සංඛ්‍යාවක් සේරු Y සංඛ්‍යාවක් කියාය. හාල් හුණුඩුවෙං, සේරුවෙං මැනලා දෙන්ට ඇත්තේ මැතිණිගෙ කාලෙ සංපකාරෙන් බවත්, දැං කඩේ හාල් දෙන්නේ කිලෝ ගාන්ට බැවින් ඔය හුණ්ඩු සේරු මෙට්‍රික් ක්‍රමේට හරවා කියන ලෙසත් කාරුණිකව ඉල්ලූ විට

“හාල් කිලෝ ගාන්ට මැනල උයන්න තරාදි තියෙනවැයි කුස්සියෙ. ඕන විදිහකට ගනං හදාගන්න එකයි ඇත්තෙ”

කියා උත්තරය ලැබුණි. ඒ අනුව ලඝු ගණක වගුවක් ද, හාල් මනින බෙලෙක්කයක් සහ හාල් දාන පනිට්ටුව ද යොදාගෙන සිදුකළ අසීරු ගණනය කිරීම් වලින් අනතුරුව සොයාගත්තේ මේ වැඩේ හරියන්නැති බවත් හාල් මිටියක් ගෙනගොස් ඔය කියන්නාවූ හුණ්ඩුවෙන් එවෙලෙට මැන අවශ්‍ය ප්‍රමාණය ගැනීම ගෙදරින් ලැබෙන බත්පත රැකගැනීමට ඇති හොඳම විසඳුම බවත්ය.

දානෙට කලින් දවසේ සුන්දර සෙනසුරාදා උදේ ඉර මුදුන්වෙන වෙලාවට අපි දෙන්නාත් ‘ගමේ යන්න’ පිටත් වුනෙමු. අපේ වෙලාවට හපුතලේ එලෝලු තොග කඩේක වැල් පිටින් උදුරාගෙන ආපු බෝංචිත්, ඉහිං කනින් මඩ නාගත්තු කැරට් අලත් ඒ වගේම මඩ නාගත් උණ ගස් විතර මහත ලීස් ගසුත් තිබුණේය. ඔය කියන අංග ලක්ෂණ ඇති එලෝලු සැලකෙන්නේ “අලුත්ම එලෝලු” හැටියටය. ඒවා අපේ ගම් පලාතට අයිසිං කේක් පෙට්ටියකට වඩා වටින්නේය. (එක් වරක් අපි ගමේ යන විට කැරට් කොළ එක්ක ගස් පිටිං ගලවාගෙන ගිහින් දුන් විට ඒ කැරට් ගස් ටික කුණු වී යන තෙක්ම ගෙදරට කවුරු ආවත්

“මල්ලි/අයියා/අක්කා/නංගි/නැන්දා/මාමා/උඹ/ඔය ළමයා/තමුසෙ කැරට් ගස් දැකල තියෙනවද?”

කියා අසා

“ඤැක්”

යන උත්තරය ලද සැනින් එයිං එකක් සාලෙට ගෙන ගොස් පෙන්වා

“මේක සංබෝලෙ බෝම රසයි. මේ ළමයි එද්දි ගෙනත් තිවුනෙ.”

කියා උජෝ වඩන ලදී.)

ඒ කඩෙන් එලෝලු ඇති තරමක් අරගෙන අන්තිමට ඉතුරු සල්ලි අරං ගනං කරල බලලා

“සරි, නන්රි, පොයිටි වාරන්”

කියා දන්න දෙමළ වචන දෙක තුන වනා කඩේ මුදලාලි ඩබල ටකරමේ වදින්න උඩ අරින්නට ද පුළුවන් විය. දෙමළ කඩවල්වලින් බඩු අරගෙන අන්තිමට ඔවැනි වචන තුන හතරක් දෙමළෙන් කියූ විට කඩේ මුදලාලි හිතන්නේ එතෙක් වෙලා කඩේ මුදලාලිත් ගෝලයිනුත් දෙමළෙන් කතා කළ සේරම මේ මනුස්සයාට තේරුං යන්නට ඇතැයි කියාය.

එතැනින් පැල්මඩුල්ලට සේන්දු වුනායින් පසු තියෙන්නේ මහපාරේ මාරක ධාවන තරඟයයි. සැරින් සැරේ වැලි ටිපර්, කොටං ලොරි, ළඟ කොටන බස් ලඩි, ඕටී මවන ඇම්බියුලන්ස්, කුදු ගැහුණු 21 නොම්බරේ ත්‍රීවිල්, ලෑන්මහත්තුරු, බුල්ඩෝසර්, එක තැන නැවතුනත් පෙරලෙන්නෙ නැති ට්‍රැෆික් පොලිස් බයිසිකලේ, බවුසර, හාල් ලොරි, හයිබ්‍රිඩ්, පණ අදින ඩිමෝ බට්ටො ආදී වාහනයක් පෙරටුකොටගත් වාහන පෙරහරවල්වලට අහුවී ඒවායින් මේ කල්පෙදි එතෙර වෙන්න කඩ ඉරක් හොයාගන්න කොට අනික් පැත්තෙනුත් ඒ වගේම පෝලිමක් ඇවිත් ඉවසීමේ සැනසීම ලබා දෙන්නේය. ඉඩක් හම්බුවෙන්නේ ඉරි දෙක තියෙන තැංවලදි වුනත් එයිට අඩි දහයක් එහායින් සුදු ඉරි ධාරී ගොම පාට සූට් ඇඳි අය පොත දිගෑරගෙන, යටින් කාබන් කොලේ තියාගෙන පෑනත් අතට අරන් රැකගෙන ඉන්නා බැවින් ඉස්සර කරන්ට හොඳ නැත.

තිරිවානාකැටිය හන්දියේ පටං ඒ කරදරේ නැතත් එතැන් පටං පහුකරන හැම ගමකම මිනිස්සුන්ට යටත් වෙලා වාහන එලොවන්ට ඕනාය. පාරේ මං තීරු බාගෙක වී වේලනකොට, හන්දිවල පාර මැදට වී ගම්වැසියන් සාකච්ඡා තියනවිට, පාපිසි, ලණු පැදුරු ආදිය වේලාගන්නට පාරේ එලා ඇති විට, ගෙවල්වල තාප්ප බඳින්න පාරෙ තියාගෙන බදාම අනනා විට, ගෙවල්වල හදන බල්ලන් නගුටත් උඩට තියාගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාහන මෙන් පාරේ ගමන් යනවිට, සිස්සත්වෙ ලියන වයසෙ ළමයි සීට් එක උඩ කොට්ට ඩබොලක් තියා ඉඳගෙන පල්සර්, ටීවිල්, ඩිමෝ බට්ටො එලෝන විට, අතුරු පාරවල්, නියරවල්, දෙපාවල්, වැට කඩොලු අස්ස‍ෙ බයිසිකල්, ටීවිල් ආදිය එක විටම මහපාරට පනින විට අපි අයිං වෙලා මැදිං යා යුතුය. කනගාවින් දමා ඉස්සර කරද්දී බ්‍රේක් පාගාගෙන අයිං කරගත යුතුය. නැත්තං ගමේ සීමාව පනින්නට පෙර වැට පොලු පාරවල් දෙන්නට තරං ඒ ගම්වල ග්‍රාම සංවර්ධන සමිති ප්‍රබල වෙති.

ඒ කිසිම ගමකිං අතුරු ආන්තරාවට ලක් නොවී මානානෙ ටවුමට යනවිට දිගං මාමාත් නැන්දාත් අපි එනකං පැය හතරක් තිස්සේ බලා හිටියෝය. පත්තර කඩේට වී පත්තර කියවන්නට හැකි වීම නිසා දිගං මාමාට නං ඒ වෙලාව මහ වෙලාවක් නොවුනත් දිගං මාමා පත්තරේ අකුරු ගණින දිහා බලං ඉන්නට වීම නිසා දිගං නැන්දා හිටියේ මූන දනිස්සේ වදින්නට එල්ලාගෙනය.

ටවුමේ සතොසෙන් ඇට හීං හාලක් තෝරන්නට ගිය විට දිගං මාමා මැදිහත් වී කියා හිටියේ එයිට වඩා හීං තුත්තිරි ඇට වගේ බොහොම ලස්සන හාලක් එහා කඩේක තියෙනා බවත් මේ හාලට වඩා ඒක හොඳ බවත්ය. ඒ හංදා අපි සතොසෙන් වෙනිං සලාක මල්ලක් පමණක් ගෙන හාල් ගැනීමට ‘ඒ’ කඩේට ගියෙමු. දිගං මාමාත් නැන්දාත් ‘ඒ’ කඩේට ඇතුල් වෙන අතරේ ‘ඒ’ කඩේ දොරකඩ හිටි ‘දිගංචියා’ දැකීමෙන් මට මගේ අතීතය මතක් විය. දිගංචියා ඒ කාලේ අපිට අවුරුද්දක් ඉහලිං 13 වසරේ සෑන්ස් පන්තියේ හිටි අනාගත ‘ලදුපත් ගේට්ටුවා (Bill Gates)’ විය. කොම්පිවුටරේ ඇණ මුරිච්චියක්, වෑර් පොටක්, බලුප් එකක්, තැටියක් කොටුවක් ගානේ දැන සිටි ‘දිගංචියා’ට ඉස්කෝලේ ගුරුවරු පවා බය වූයේ ඌට කොම්පිවුටරේ බලයෙන් ඒ හැමෝගේම ජීවිත එක මොහොතෙන් සුන්නද්දූලි කරන්ට පුළුවන් වනු ඇතැයි හිතාගෙනය. අපි පරිගණක විද්‍යාගාරෙට අධිගෘහිත සුමේදා අක්කාගේ අණ දීම් (“ඩෙස්ටොප්පෙකේ සේව් කරන්නෙපා, පුටු කරකවන්නෙපා, ගේම් ගහන්නෙපා, කී බෝඩ් එකට හයියෙං අනින්නෙපා, ප්‍රෝගෑම් පයිල් මකන්නෙපා”) යටතේ ක්ෂූද්‍රමෘදු තීන්ත, ක්ෂූද්‍රමෘදු වදන, ක්ෂූද්‍රමෘදු බල තුඩුව, වාගේ දේවල් අරින, වහන විදිහ ඉගෙන ගනිද්දී දිගංචියා ඒ දිහා බැලුවේ කට කොනිං ‘පුහුක්’ කියා ලීක් වෙන නක්කල් හිනාවකින් යුක්තවය. අපිට කොම්පිවුටර් ලැබ්බෙක නම් දේවාලයට ඇතුල්වෙන්නට නියමිත පීරියඩ් එකක් සහ සපත්තු ගැලවීම වැනි පිළිවෙත් රැසක්ද තිබූ අතර දිගංචියා එහි කපුවා වූ බැවින් ඒ කිසිවක් ඌට අදාල වූයේ නැත. ඕනෑම වෙලාවක ඉස්කෝලේ ගේට්ටුවෙන් ප්‍රසිද්දියේ පිටවන්නට බලය තිබූ දිගංචියාගේ පරිගණක දැනුම පිළිබඳව පැහැදිලි කරන විට දිගංචියා අපිට කිව්වේ

“උඹල මොනාද මල්ලි දන්නෙ. මං කියන වචන ටිකවත් උඹලට තේරුං යනවද කියහල්ලකො”

කියාය. දිගංචියාගේ කතා වලින් අපි තේරුං ගත්තේ අපි ඉස්කෝලෙන දොට්ට විසික්වන කාලය වන විට එදිනෙදා ජන ජීවිතයේ සියලු අත්‍යාවශ්‍ය වැඩ, එනම් දෑළ කඩේ රෝල්ස් හැදීම, සුරාජ්ගෙ ටේලර් සොප් එකේ කලිසං කමිස මැහීම, රත්නපුරේ ජෝති එක ළඟ කාදර්ගෙ කඩේ පරාටි දෙකක් කපා පිඟානට දමා හොදි හැඳි දෙකක් වැක්කෙරීම, බස් එකේ සීසන් එක කැපීම, ඉස්ටෑන්ඩ් එකේ තාප්පෙ අයිනෙ රටකජු බැදීම, ආදිය පවා ‘කම්පියුට’ වලින් සිද්දවෙනු ඇති බැවින් අපි කොයි තරං ඉගෙනගත්තත් අපිට ‘කම්පියුට’ බැරි හංදා අපේ අනාගතේ ‘උජාලා’ වැඩි වූ පාසල් නිල ඇඳුමක් මෙන් නරි නාටකයක් වනු ඇති බවය.

ඉස්කෝලෙ යන කාලෙදිම හවස්වරුවේ ටවුමේ එකම කොමිනිකේසන් එකේ පොටෝ කැපීම සහ ඉන්ටනෙට්ටෙකෙං විභාග ප්‍රතිපල බැලීමත් කළ දිගංචියා ඒ කාලයේ දී තමුන් තරම්ම දිග උණ ගහක් වැනි කෙල්ලක් යාලු කරගත්තේය. ඒ කෙල්ලගේ කකුල් දෙකේම දනිස්සෙනුත් අඟලක් විතර උසට (අපි දැක්කෙ එතැන්ට විතරයි) දුං ගසා ඉදවූ කෝලිකුට්ටු ගෙඩියක වගේ කලු ලප පිහිටීම නිසා (“යස ඕකට හොඳ වැඩේ කියා”) අපි හිත යටින් සතුටු උනෙමු.

දැං මේ දිගංචියා කඩේ ඉස්සරහ හිටං ඉන්නා හැටියට පේන්ට තියෙන්නේ මිනිහා කොම්පියුටර් දැනුමෙන් සෑහෙන්ට හම්බුකරගෙන අවසානයේ දී මේ තට්ටු දෙකේ මහා බඩු කඩේ දමාගෙන ඇති බවය. ඒ තරං මහා වියාපාරිකයෙක් අපේ ඉස්කෝලේ ගිය, මං අඳුරන කෙනෙක් බව පෙන්නීම අනික් අය ඉස්සරහ මටත් ලකුණු වැටෙන වැඩක් හංදා මම දිගංචියා හමුවී මාව මතක දැයි අහන්න යන්නට දොර ඇරගෙන බිමට බැස්සෙමි. ඒ වනවිටත් දිගංචියා කඩේ අස්සේ අතුරුදහන් වෙලාය. ඒ හංදා මට දිගංචියා හම්බවෙන්නට නොහැකි විය.

එතැනින් ගත් බඩුමුට්ටුත් පටවාගෙන ටවුමෙන් පිටවීමෙන් පසුව මම දිගං මාමාගෙන් ‘දිගංචියා’ පිළිබඳ විමසුවෙමි.

“මාමෙ ඔය කඩේ අයිතිකාරය එළාර ඉස්කොලෙ සෑන්ස් කරද්දි අපිට ඉහළ පංතියෙ හිටියෙ”

“හෑහ්.. හහ් හහ් හහ් හා…”

“හිචි හිචි හිචි හිචි”

“ඇයි මොකෝ”

“ගාමිණි මුදාලිට දැං පනහත් පැනල. ඕගොල්ලෑ පංතියට කලිං පන්තියෙ ඉන්නෙ කොහොමද ඒ මිනිහ”

“ඇයි ඒ කඩේ අර දිගංචියෑ නෙමෙයි ද?”

“හෑහ්…. හහ් හහ් හහ් හා….”

“හිචි හිචි හිචි හිචි කැහ් කොහ් කොහ්”

“ආයිත් පිපිඤ්ඤ පලන්න තියාගත්තෙ කියාල්ලකො රෙද්ද”

“හිහ් හිහ් … දිගංචිය ඒකෙ අයිතිකාරය නෙමෙයි”

“එහෙනං”

“මිනිහ ඒකෙ බඩු කිරනව”

තුනෙං හතරට දාන්න ගිය ජියර් එක දෙකට වැටුනි. ඒටීඑම් මැසිමෙං සල්ලි ගනිද්දි පෑං ඉරි ඇඳපු දාහෙ කොලයක් අතට ආවා වගේ මගෙ කට ඇරුනි………

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල