ප්‍රහසන

ඇණපති දඟර පාඬියා

Off

ලෝකෙ ප්‍රසිද්ධියට පත් වෙච්ච එක එක තෑගි, සම්මාන තියනවා. මොන්ටිසෝරි යන පොඩි එකෙක් ගෙන් ඇහුවත් කියයි නොබෙල් තෑග්ග එහෙම නැත්තං ඔස්කාර් සම්මානෙ එහෙමත් නැත්තං ෆිල්ම්ෆෙයාර් සම්මානේ වගේ සම්මාන ගැන. අද මම කියන්ඩ හිතුවේ එහෙම ප්‍රසිද්ධියක් ලෝකෙ පුරාම නැතුවත් අඩු ගානේ පේරාදෙණියේ කැම්පස් එකේවත් සෑහෙන ප්‍රසිද්ධියක් තියන සම්මානයක් ලබපු උත්තමයෙක් ගැන ලියන්ඩ. මගෙ හිතේ මේ සම්මානේ අනිත් කැම්පස් වලත් තියනවා. සමහර විට නම වෙනස් ඇති. හැබැයි සම්මානේ දිනන අයගේ වැඩ කොහෙ බැලුවත් එක හා සමානවම ඇති විශිෂ්ටයි. මේ මම කියන්ඩ තෙපර බාන සම්මානේ තමයි ‘ඇණපති’ සම්මානේ.

ඇණපති වෙන්ඩ නං ‘ඇණ ගෙන’ තියෙන්ඩ ඕන. කැම්පස් බාසාවෙන් ඇණ ගන්නවා කියන්නේ ගෑල්ලමයෙක් ගෙන් යාලු වෙන්ඩ අහලා ඒ ගෑල්ලමයා විසින් ප්‍රතික්ෂේප කිරීමට ලක් කිරීම. අද කාලේ දන්න විදිහට කියනවනං මෙන්න මෙහෙම.

“ඔනරබල් සිරිපිනා?”

“විරුද්ධා…..යි!”

ඔන්න එතකොට බැච් එකේ එවුං ගණන් තියාගන්නවා ලොකු මල්ලි…. ඇණ එකා….යි කියල. ඇණ එක දෙක වෙලා, දෙක තුන වෙලා , හතර පස් පාර කෙල්ලොන්ගෙන් ඇණ ගත්තු ‘චරිතයක්’ වෙනකොට බැච් එක ඇතුලේ වගේම කැම්පස් එක ඇතුලෙත් අර අහිංසක කොල්ලට විවිධ සමච්චලයන්ට භාජනය වෙන්ඩ වෙනවා. ඉතින් සමහරු කැම්පස් එක ඇතුලින් හිච් වීමේ හීනය මහවැලි ගගට දාලා පා කරනවා. හැබැයි සමහරු නං ඒ උත්සාහය අත් අරින්නේ නෑ. අන්න එහෙම නොපිරිහෙන ධෛර්යයක් තියන මහා පුරුෂ රත්නයකට තමයි බැච් එකේ වැඩියෙම්ම ඇණ ගත්තු සාඩම්බර යුග පුරුෂයාට සිය අද්විතීය මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක වරක් පමණක් හිමිවන මහා ‘ඇණපති’ සම්මානේ හම්බ වෙන්නේ.

අපේ බැච් එකේ මේ මහා සම්මානය හම්බ උනේ දඟර පාඬියා ට.

දඟර පාඬියා අපේ බැච් එකේ කෙල්ලෝ හය දෙනෙක් ගෙන් ඇණ ගත්තේ අපි ඉස්සරෝම කැම්පස් ආපු දවසේ. මට නං හිතුනේ ඒක හතර විලි ලැජ්ජා නැති වැඩක් කියල. ඒ උනාට ඌට ඒකෙ කිසි ගානක් නොතිබ්බ බව මට තේරුනේ අමතක වෙලා හරි, හිතා මතා හරි තව තුං පාරක්ම ඌ ඒ කෙල්ලන්ගෙන්ම අහලා ඇණ ගත්තු හිංදා. අපේ පලවෙනි අවුරුද්දේ මාස දෙකක් යනකොට දඟර පාඬියා තව කෙල්ලෝ හතර දෙනෙක්ගෙන් ඇණගෙන. ඒත් කෙල්ලෙක් සෙට් කර ගැනීමේ උත්සාහය අත ඇරියේ ඌ නෙවෙයි. අම්මප මට නං හිතා ගන්ඩත් බෑ ඌට තිබ්බ ඩම් එක! මටහෙම එහෙම උනානං මුළු ජීවිතේම කිසිම කෙල්ලෙකුට කතා නොකර ඉඳියි. හැබැයි ඌට මාර උත්සාහයක් තිබ්බා. මම ඒ ගතියට ගරු කරනවා.

පලවෙනි අවුරුද්ද ඉවර වෙනකොට දඟර පාඬියා අපේ ෆැකල්ටියේ අක්කලා දොළොස් දෙනෙක් ගෙනුයි ආර්ට් ෆැකල්ටියේ කෙල්ලෝ දහ අට දෙනෙක් ගෙනුයි, සයන්ස් කෙල්ලෝ පස් දෙනෙක් ගෙනුයි ඇණ ගෙන හිටියේ. උං එක්කෝ දඟර පාඬියා පිස්සෙක් කියල හිතුව. නැත්තං සල්ලාලයෙක්, ගෑණු පෙරේතයෙක්, සෙවලයෙක් කියල හිතුව. අපේ බැච් එකේ කෙල්ලෝ උනත් දඟර පාඬියා එනකොට ලාදුරු කාරයෙක් එනකොට පාර දෙපැත්තේ ඉන්න එවුං වගේ හැංගෙන්ඩ පටං ගත්ත. ඒත් උගෙ හිතේ තිබ්බ උවමනාව අපිට තේරුනා.

ඌට ඕන උනේ ඩිග්‍රිය ගන්ඩ නෙවෙයි. කැම්පස් එකේ තව අවුරුදු සීයකටවත් කාටවත් කඩන්ඩ බැරි රෙකෝඩ් එකක් තියන්ඩ. කොහෙද අපි ඒ කාලේ ගිනස් වාර්තා ඔෆිස් එකේ ඇඩ්රස් එක දන ගෙන හිටියේ නෑනේ නැත්තං ඌට ලෝක වාර්තාවක් උනත් තියන්ඩ තිබ්බා කෙල්ලන්ගෙන් ඇණගෙන! බලහං ඩෝ මේ පසික්කාඩු අධ්‍යාපන ක්‍රමයේ තියන වැරැද්ද. උන්ට ඕන එකම අච්චුවේ මිනිස්සු හදන්ඩ. දඟර පාඬියා වගේ වෙනම දක්ෂතා තිබ්බ එවුං අඳුන ගන්ඩ අපේ ලෙචාලට බැරි උනා. ඒ හින්දනේ අපේ ද.පා. ව සබ්ජෙක්ට් හයකින්ම ෆේල් කලේ.

හැබැයි අපේ ද.පා. ඌ මාර පොරක්! ඔච්චර දෙයක් වෙලත් ඌට ගාණක් නෑ. මට මතකයි ෆස්ට් සෙමෙස්ටර් එකේ රිසල්ස් ආපු දවසේ ද.පා. ගත්තා අපේ බැච් එකේ ඇටෙන්ඩන්ස් මාක් කරන්ඩ තිබ්බ ෂීට් එක. ලෙක්චර් රූම් එකේ දොර ගාව ඉඳන් එලියට එන හැම කෙල්ලෙක්ගෙන්ම ඌ ඇහුවා යාලු වෙන්ඩ. කොහෙද එවුං එකෙක්වත් කැමති උනේ නෑ. කෙල්ලෝ දෙන්නෙක් ඌට කුඩෙන් ගහලා ගියා මට අද උදේ ඉර පෑව්වා වගේ මතකයි.
ද.පා. බැච් මිස් කර ගත්තෙත් කෙල්ලන්ගෙන් අහන්ඩ ගිහිං. කොහොමින් කොහොම හරි කැම්පස් එකෙන් අපි අවුට් වෙනකොට ඌ කෙල්ලෝ අසූ හතර දෙනෙකුගෙන් අහලා ඇණ ගෙන තිබ්බා. සමහරු එවුන් කියපු විදිහට ඌ බුලත් විට විකුනපු ඇන්ටිගෙනුයි මැඩම් ලා හය දෙනෙකුගෙනුයි පවා ඇහුවලු. මම නං ඒ කතාවල ඇත්ත නැත්ත දන්නේ නෑ.

ඒ කොහොම උනත් කැම්පස් එකෙන් පස්සේ රස්සාවක් කරන කොට, කසාද බැඳලා ජීවිතේට මූණ දෙනකොට ආපු හැම ප්‍රශ්නෙකදිම මට ද.පා. ව මතක් උනා. මම ඒ හැම වෙලාවකදීම හිතුවේ ‘යකෝ දඟර පාඬියා ට හැම නව නින්දාවක්ම විඳ ගෙන අර විදිහේ රෙකෝඩ් එකක් තියන්ඩ හිත හදා ගන්ඩ පුලුවන්නං මේ මම මූණ දෙන ප්‍රශ්න මොනවද කියල. හැම අවුරුද්දෙම ප්‍රොමෝෂන් නොලැබී ඉන්ක්‍රිමන්ට් නවත්තපුවම මම නෙවෙයි වචනයක් වත් කතා කරේ. ගෑණි නං කිව්වේ මගේ නෝන්ජල්කම, ගොංකම, කොන්ද පන නැති කම කියල. ඒකි දන්නේ නෑ ද.පා. ට හැමදාම කෙල්ලෝ කතා කරේ ඔය වචන වලින් කියල. ඉතිං ද.පා. වගේ ශ්‍රේෂ්ට පුරුසයෙකුට එහෙම කියන්ඩ කෙල්ලන්ට පුළුවන් උනා නං අපේ ගෙදර උන්දැ දවසක් දෙකක් ඒ වචන කිව්වට මොකද නේද?

කැම්පස් කාලෙන් පස්සෙ ඌ ගැන කිසිම ආරංචියක් හම්බ උනේ නෑ. ඌ උන්නද මලාද කියලවත් අපි කවුරුවත් දැනං හිටියෙ නෑ. කාලයත් එක්ක ඔක්කොම මතක වැළලිලා ගියා.

මේ ලඟදි අවුරුදු විසි ගාණක් අතුරුදහන් වෙලා හිටපු චීන කෙල්ලක් හොයා ගත්තු කතාවක් මම ප්‍රවෘර්ති වලට දැක්කා. ඒ කෙල්ලගේ තාත්තා චිත්‍ර කාරයෙකුට දුව පොඩි කාලේ ෆොටෝ එකක් පෙන්නලා. චිත්‍ර කාරයා, දුවගෙ දැන් රූපය කොයි වගේ වෙන්ඩ ඕනද කියල චිත්‍රයක් ඇඳලා. සුස් ගාල රටේ අනික් කොනේ හිටපු කෙල්ලව හොයා ගෙන. මාරයි නේ. ඉතින් මටත් හිතුනා චිත්‍ර කාරයෙකුට අපේ ද.පා. ගේ ෆොටෝ එකක් පෙන්නලා බලන්ඩ. මට ඇස් අදහා ගන්ඩ බැරි උනා චිත්‍ර කාරයා ඇඳලා දුන්නු ද.පා. ගේ දැන් කාලේ රූප සොබාව දැක්කම. මං හිතුවේ ඌ මේ අවුරුදු කාලේ කසිය ගහල මගේ වැඩේ බාගෙට කරල කියල. නැත්තං මචං මෙච්චර ප්‍රසිද්ධ චරිතයක් අඳුන ගන්ඩ මට බැරි වෙනවද?

හුහ්… චිත්‍රකාරය කොහොමද මාව තම්බන්නේ. මම ගියා මම අඳුනන ඩොකෙක් ගාවට. මනුස්සයා හෙන වැඩ්ඩා. එයා තමයි අපරාධ කාරයන්ගේ මානසික තත්ත්ව විශ්ලේෂණය කරන්නේ. ඩොකාට මම ද.පා. ගේ ගති ලක්ෂණ කියල පරණ ෆොටෝ එක පෙන්නුවා. ඩොකා ෆුල් ඇනලිසිස් එකක් කරලා මට එන්ඩ කිව්වා.

“මේ කවුද?”

“මම දන්න කෙනෙක් සර්”

“ඔයා පිස්සන් කොටුවේ ගිහිං තියනවද?”

“දන්න තරමින් නෑ සර්!”

“එතකොට කොහෙදිද මූව හම්බ උනේ?”

“ඉතිං සර් දැන් මගෙන් ප්‍රශ්න අහනවනේ. සර් කියන්ඩකෝ මූ දැන් කවුරු වෙලා ඇතිද කියල?
එක්කො අමු පිස්සෙක්! එක්කෝ අම්ම තාත්තවත් මරපු සීරියල් කිලර් කෙනෙක්!!”

“අම්මප?”

“හ්ම්…බලනවකො මේ ඇස් දෙක!”

“මේ ඉන්න විදිහෙම්ම කියන්ඩ පුළුවන් මූට දුර පේන්නේ නෑ කියල”

“වෙන්ඩ පුළුවන්!”

“මේවගේ මිනිස්සු ලොකු හීන මානෙකින් පෙළෙනවා. මූ ඒ කාලේ ගෑණු පස්සේ ගියා කිව්වා නේද?”

“ඔව්”

“එයාට ඕන වෙන්ඩ ඇත්තේ කෙල්ලන්ව රවට්ටලා සතුටු වෙන්ඩ”

“ඒත් කවුරුවත් රැවටුනේ නෑ සර්”

“ඒක තමයි මේ ලෙඩේ හැටි. හුගක් වෙලාවට ඉඩ තියනවා මෙයා වගේ කට්ටියට බෝඩර්ලයින් පර්සනලිටි ඩිස්ඕඩර් (Borderline Personality Disorder) කියන මානසික රෝගය තියෙන්ඩ”

“ඇත්තට?”

“හරියටම කියන්ඩනම් මනුස්සයව පරීක්ෂා කරලා බලන්ඩ ඕන”

“මොනවද ඒ ලෙඩේ ලක්ෂණ?”

“කවුරුවත් රැවටුනේ නැති උනාට මිනිහ හිතනවා හැමෝම පොරට රැවටිලා ඉන්නේ කියල. කා එක්ක හරි සම්බන්ධතාවක් තිබ්බොත් ඒකත් අවුල් කර ගන්ඩ පුළුවන්. ඕනවට වඩා කලබල වෙලා වැඩ අනා ගන්නවා. තමුං ගැන කිසිම ආත්ම විශ්වාසයක් නෑ. හැමෝටම හානි වෙන කලබලකාරී වැඩ කරනවා”

එච්චරද?

“හැමෝගෙන්ම තනිවෙච්ච හිස් බවක් මේ අයට දැනෙනවා. සාමාන්‍යයෙන් වයසට යනකොට ලෙඩේ අඩු උනත් එහෙම නොවෙන වෙලාවලුත් තියනවා”

“ඉතින් මේ ලෙඩේ භයානකද?”

“ඔව්. මෙහෙම ලෙඩ්ඩු අනුන්ට වගේම තමුන්ටත් හාණි කර ගන්ඩ ඉඩ තියනවා”

“මෙහෙම ලෙඩ්ඩු කවුරු වගේද සර්?”

ඩොකා මගේ කනට කරල රහසක් කිව්වා. ඒ රහස් එළිපිට කියන්ඩ තරං සුදුසු නැති හින්ද මම ඉක්මනටම ගෙදර එන්ඩ ආවා.

හැබැයි මම ඩොකා ගාව ඉඳන් එනකොට පත්තරේ හෙඩ්ලයින් එකක් දැක්කා.

මම යනවනං යන්නේ ඔක්කොම ගිනි තියලයි!

පත්තර ලෑල්ල වටේ හිටපු මිනිස්සු මෙහෙම කියනවත් ඇහුනා.

“මූට පිස්සුද කොහෙද? මූ රජෙක් නෙවෙයි හැමදේම ඇණ ගන්න පිස්සු ගොනෙක්!!”

මම දඟර පාඬියා හොයන එක පැත්තක් තියල කොළඹ මහගම සේකර මාවතට යන්ඩ ත්‍රී වීල් එකකට නැග්ගේ 1990 ට කෝල් එකක් ගන්න ගමං. දැනටමත් මේ ලෙඩා මොන වින්නැහියක් කර ගෙන්ද දන්නේ නෑ.

මට ඩොකා කියපු දේවල් එක්කම ආපහු මතක් වෙනවා උමතුසන් වරුසාව නාට්‍යය.

රජෙක් පිස්සු උනත් එකයි
පිස්සෙක් රජ උනත් එකයි
කාගෙ ගෑණු කාට ගියත්
අපේ නමට ලැබෙයි ළමයි !

ඔය රජවරු ඇමතිවරු ආය අමුතුවෙන් ගිනි තියන්ඩ ඕන නෑ. සුභාෂිතයේ 29 වැනි කවියේ මෙහෙම තියෙනවා.

සමවත වැසි සුළඟ කෙත්වත් වැවෙන මෙන
ලොව සත රැකෙයි නිසි රජනැණැති මැති ගෙන
එමහත නලනලින් වන දහන වන මෙන
දුසිරිත රජකුමැතිගෙන් නසිය සැම තැන

කළගුණ මතක නැති කමට වඩා වැඩි දුසිරිතක් තව වෙන කොහෙන්ද? එක අතකින් ගත්තම මානසික රෝගියෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බෑ නේද?

“ට්‍රීං …..ට්‍රීං…….ආ ඔය අර ෆ්‍රී ඇම්බියුලන්ස් සර්විස් එකද?”

https://kattakaduwa.blogspot.com/2018/04/blog-post_8.html#more

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල