විවිධාංග

ගසක කොස් ගෙඩි, බුරුතු පිටින් කඩා වැටීම ‘ඇස්වහ කටවහ දෝෂයක්ද? අහඹු සිදුවීමක්ද?

Off

මම ගම් ප්‍රදේශයෙන් පිට ආයතනයක සේවය කරද්දී (1960 ගණන් වලදී) රාජකාරි ස්ථානය කිට්ටුව පදිංචිවී සිටි, අපට දුර නෑකමක් ඇති වෙද මහත්මයෙකුගේ නිවසෙහි නවාතැන් ගත්තෙමි.

නගරයේ පිහිටි ඔහුගේ බෙහෙත් ශාලාවේ, වෙදකම් කළ ඔහු, සමහර දිනවල සවස් කාලය ගෙදරම ගත කරයි. පාරම්පරික වෛද්‍යවරයෙක් වූ ඔහු, හොඳින් ඉඩකඩ තිබුණු තම ගෙවත්තේ නොයෙකුත් ඖෂධ වර්ග වගා කළේය. ඒ පැරණි ගෙවත්තේ කොස්, දෙල්, අඹ, පොල් වැනි ගස්ද එමට විය. දුර නෑ කම නිසා ඔහු මට මල්ලි කියා ඇමතුවේය. මා හට ඔහු, වෙද අයියා විය.

සවස්කාලයේ ගෙදර සිටින විට ඔහු බොහෝවිට, මා සමග විවිධ රෝග නිවාරණය සඳහා සඳහා ඖෂධ ශාකවල ඇති ගුණ, වට්ටෝරු ආශ්‍රිතව බෙහෙත් වර්ග සකස් කරන ආකාරය ආදී ශාස්ත්‍රීය දේවල් සහ වෙනත් පැරණි රසවත් තොරතුරු කියමින් විනෝද වීම සිරිතක් කර ගත්තේය.

සමහර දින වල වෙද පොත් වල තිබෙන ඔහු කට පාඩම් කර ඇති ශ්ලෝක, මන්ත්‍ර, ආදියද කියා, ඒවායේ විස්තර සහ බලගතු කම්ද මට පැවසීය. ඔහුට ඖෂධ පැලෑටිවල උද්භිද විද්‍යාත්මක නම් සහ භාවිත කරන සමහර ද්‍රව්‍ය වල රසායනික නම් සොයා දීමටද මම පුරුදුව සිටියෙමි.

එක් සෙනසුරාදා දිනක දහවල් අප දෙදෙනා කතාකරමින් සිටින විට වයස්ගත කාන්තාවක් ගෙදරට පැමිණියාය. ඈ ගෙට ගොඩ වන ගමන්ම

‘අන්න හොඳයි….. අද වෙද පුතා ගෙදරම ඉන්නවා’ කියමින් ගෙතුළට ගියාය.

ඇය වෙද මහතාගේ බිරිඳට නෑ කමට නැන්දා වන කෙනෙක් බවත් ඇය සොපි හාමි බවත් වෙද අයියා මා සමග කිවේය.

‘ඔය නැන්දා මාස තුන හතරකට පාරක් මෙහේ එනවා. එන හැම වතාකදීම අසනීප දෙක තුනකට මගෙන් කෂාය ලියාගෙන යනවා. ඒ උනාට කවදාවත් අසනීප හොඳ වෙන පාටක් නම් නැහැ.’

‘මල්ලි අහලත් ඇති, ඔය උන්දෑ ඇස්වහ කටවහ ඇති කෙනෙක් හැටියට ගම් පළාතේ හරි ප්‍රසිද්ධයි.’

වෙද හාමිනේ සමග ටික වෙලාවක් කතාකරමින් සිටි ඇය ආලින්දයට පැමිණ ආ ගිය තොරතුරු කියා, රක්ත වාතයට කෂායක් ලියා ගැනීම අවශ්‍ය බව කීවාය.

වෙද මහතා ඇයගේ නාඩි අල්ලා බලා, ඇස් සහ දිවද පරික්ෂා කර කෂාය වට්ටෝරුවක් ලියාදී.

‘නැන්දා කෑම ටිකක් කාලම යන්න’ කී විට

‘ඔව්… වෙද පුතා, මේවා පිට ගෙවල්ද? මට ඕන නම් දවසක් දෙකක් උනත් නතර වෙන්න බැරියැ. වත්ත පිටියත් ටිකක් බලන්නට ඕනෑ’ කියමින් මිදුලට බැස්සාය.

වෙද මහතාගේ මුහුණ නරක්‌ වී අමුතු ස්වරුපයක් ගත්තේය.

‘අන්න සොපි නැන්දා වත්ත පහලට යනවා ටිකක් බලන්න.’ කියා තම බිරිඳ ඇමතු වෙද මහතා

‘අද නම් මොකක් හරි පාඩුවක් වෙනවා.’ යයි සැක පහල කරමින් මා දෙස බලා ආලින්දයෙන් මිදුලට බැස වත්ත පහලට එබිකම් කර බැලුවේය.

‘විනාසයි… විනාසයි… අන්න… සොපි උන්දෑ, ඉනට අත් දෙකත් ගහගෙන කොස් ගහ දිහා බලාගෙන ඉන්නවා.’ කිවේය.

එබී බැලු මටද එම දර්ශනය හොඳ හැටි පෙනුනි.

ආපසු ආලින්දයට පැමිණ පුටුවේ වාඩි වූ වෙද අය්යා කිසිවක් කතා නොකර කල්පනා කරන්නට විය.

ටික වෙලාවකින් සොපි නැන්දා ආපසු ආලින්දයට ගොඩ වදිමින්
‘මේ පාර නම් මල් කොටුවේ කොස් ගහේ හොඳට ගෙඩි හැදිලා. නේද වෙද පුතේ?’ කීවාය.

එසේ ඇසීමෙන් තරමක් කේන්ති ගිය බවක් පෙන්වූ වෙද මහතා, ‘ඔව්, පසුගිය අවුරුදු හතර පහේම ගෙඩි හැදුනේ නැහැ. මේ පාර ගෙඩි තුන හතරක් තියෙනවා’ යයි කියා

හොඳින් උගුරපාදා, කාරා. ‘තූඃ’ ගා මිදුලට කෙළ ගැසිය.

එය නොදුටු බව පෙන්වූ නැන්දා ‘ගෙඩි තුන හතරක් නෙවෙයි. අර පහළ බුරුත්තේ විතරක් ගෙඩි හතරක්ම තියෙන්නේ. ඒකට දැන්ම කරුවක් තිබ්බා නම් හොඳයි. බුරුත්ත බර වැඩියි’ කියමින් ගෙතුළට ගියාය.

එදින ඇඳිරි වැටී ගෙන වෙලාවේ වෙද මහතා, මෙතෙක් කල් මට දකින්නට නොලැබුණු යමක්‌ කරන්නට සුදානම් වනු දුටු මම, එදෙසට ගියෙමි.

‘ආ මල්ලිත් ආ එක හොඳයි. අර සොපි උන්දැගේ කට හරිම වසයි. ගහේ කොස් ගෙඩි කුණුවෙලා යයිද දන්නෙත් නැහැ. මේ ඒකට පොඩි ගුරු කමක් කරලා ඇස් වහ දිය ටිකක් මතුරන්නයි හදන්නේ.’ කියමින් මා දෙස බලා ගත් වනම සිටියේය.

එම බැල්ම නිසාම, එතැන සිටීම නොගැලපේයයි සිතු මම මඳක් ඉවතට ගියෙමි.

වෙද මහතා බාල්දියකට ලිඳෙන් වතුර ගෙන, සුදු රෙදි කඩක්‌ පෙරහනක් ලෙස පාවිච්චි කර, කුඩා නැවුම් මුට්ටියකින් භාගයක් පමණ වතුර පෙරා ගත්තේය. එයට කුඩා දෙහි අතු කැබෙල්ලක් දමා, කොස් ගස අසල තිබුණු ගල් පඩියක් මත වාඩිවී පැය භාගයක්‌ පමණ වෙලා හෙමිහිට ‘මන්තර’ කිහිපයක් ජප කර, මුට්ටියේ ඇති ජලය දෙහි කොළ ඉත්තෙන් ගස වටේ ඉස, අත දිග මානයේ තිබුණු ගෙඩි වලටත් ඉස්සේය.

ආපසු ආලින්දයට පැමිණි වෙද මහතා ‘ඇස් වහ කට වහ නැතිවෙන්නට පොඩි ගුරු කමක් කළා’ කියමින් තමන් ඒ වැඩ වලටත් හපනෙක් බව මට පෙන්විය.

පසුදින සවස මා කාමරයේ සිටින විට වත්ත පිටුපස ‘දඩා…ස්’ යන හඬින් යමක් වැටෙන ශබ්දය ඇසී ඉක්මණින් ඒ පැත්තට ගියෙමි.

මට, මගේ ඇස් අදහා ගැනීමට නොහැකි විය. ‘දඩා…ස්’ හඬින් බිමට වැටී ඇත්තේ කොස් ගෙඩි හයක්‌ සහිත කොස් බුරුතු දෙකකි. ගෙඩි එකිනෙකින් වෙන නොවී බුරුතු පිටින්ම ගස යට තිබුණි.

මා එහි සිටින විට වෙද හමිනේද එතැනට පැමිණියාය. එදින වෙද මහතා ලෙඩෙක් බැලීම සඳහා පිටතට ගොස් ඇති බව ඇය කීවාය.

‘සොපි උන්දැගේ අවලං කටට හොඳක් වෙන්නේ නැහැ…. ඊයේ ගෑනිගේ නපුරු ඇස් දෙකෙන් කොස් ගෙඩි දිහා බලලා, කට මැත දොඩන කොටම මම හිතා ගත්තා හොඳටම ඇස්වහ කටවහ වදින්නට ඇතිය කියලා. අපරාදේ යන්තම්වත් පැහිලා නැති නාඹර කොස්. කොස් වලටත් නැහැ. ගැට පොලොස් වලටත් නැහැ.’

‘ඊයේ වෙද අයියා, ඇස්වහ කටවහ මග හරවන්නට ගුරු කමකුත් කළා නේද? මම ඇසීමි.

‘අනේ එයාහේ ගුරුකම්….? දහයක්‌ කළොත් එකක් හරියයි…. ගුරු කම කොහොම වෙතත් ඔය කොස් ගෙඩි ටික ගහ යට තියෙන්නේ.’ කියමින් ඇය ගස්සාගෙන ගෙතුළට ගියාය.

තරමක් සවස් වී ගෙදර ආ වෙද අයියා සිද්ධිය දැනගත් ගමන්ම සොපි නැන්දාට පරිභව කරමින් කොස් ගස යටට ගොස් කම්මුලට අත තබාගෙන

‘මම හිතුවා හරි. ඇස්වහ කටවහ වැදුනට පස්සේ ගුරුකම් හරියන්නේ නැහැ. උන්දෑ මෙහේ එන්නට කලින් ඔය වැඩේ කළා නම් කොස් ගෙඩි ටික බේරා ගන්නට තිබුණා.’ කියමින් තවත් පුරසාරමක් දෙඩුවේය.

සිදුවී ඇති දෙය හොඳින් පරික්ෂා කිරිමේදී මට දකින්නට ලැබුණේ, ගසෙහි තරමක් ඉහළින් තිබුණු, විශාල කොස් ගෙඩි දෙකක් සහිත බුරුත්තක්, බර වැඩි කම වැනි, යම්කිසි හේතුවක් නිසා, නටුව කඳෙන් ගැලවී පහල තිබුණු ගෙඩි හතරක් සහිත බුරුත්ත මත වැටී, එයත් ගැලවී ගොස්, බුරුතු දෙකම බිමට පතිත වී ඇති බවයි.

කෙසේ වෙතත් එම කොස් වාරයේදී තවත් අවස්ථා දෙක තුනකදීම බුරුතු පිටින් කොස් නටුවෙන් ගැලවී බිමට වැටුණු බවද, මම දුටුවෙමි.

‘ඇස්වහ කටවහ’ දෝෂයත් එය මගහරවා ගැනීම සඳහා කරනු ලබන ‘වතුර මැතිරීම’ නම් ‘ගුරු කම’ත් දශක කිහිපයකට පෙර අප සමාජයේ බෙහෙවින් දකින්නට ලැබුණි. බොහෝ විට පාරම්පරික වෙද මහත්වරු, වෙදකම, ජ්‍යෝතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වස් කවි සෙත්කවි සෑදීම වැනි සියලු දේ කිරීමේ හපනුන් ලෙස සිටි කාලයක්ද තිබිණ. තවමත් ගම්බද ප්‍රදේශ වල මෙවැනි අය ජීවත් වනවා ඇත. මොහොතක් කල්පනා කර බැලූ විට ස්වාභාවිකව සිදුවිය හැකියයි උපකල්පනය කළහැකි මෙවැනි දේවල් සමග ‘ඇස්වහ කටවහ’ සම්බන්ධ කර ගැනීම මුලාවක් යයි සිතේ.

සමහරවිට මෙවැනි සිද්ධි ‘සහසම්බන්ධ සිදුවිම්’ (coincidences) ලෙසද නිගමනය කළ හැකි නොවේද?

http://dayawee2.blogspot.com/2018/04/blog-post_13.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල