කාලීන සංවාද

ටියුෂන්වලට කෙළින අකිලගේ 1988

Off

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය මහජන මුදලින් ලබා ගැනීමේ අවස්ථාව සියලු සිසුන්ට හිමි ය. එහෙත්, එහි හොඳම කොටස විවිධ කූට උපායමාර්ගවලින් ඩැහැ ගන්නේ සමාජයේ ඇති හැකි පිරිස ය. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ම හොඳම පාසල් ටික හිමි කර ගන්නේ මෙම පිරිසයි. නැති බැරි මිනිසුන්ට හිමි වන්නේ අවර ගණයේ පාසල් ය. එතනින් ආරම්භ වන විෂමතාව අවසන් වන්නේ නොමිළේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ද එකී ඇති හැකි පිරිස විසින් ම ඩැහැ ගනිමිනි.

ලංකාවේ අධ්‍යාපනයේ පවත්නා අසාධාරණය ඉහත කී විෂමතාවයි. එහෙත්, විශේෂයෙන් ම සමාජවාදී යයි කියන වාමාංශික, මාක්ස්වාදී ව්‍යාපාර විසින් කරනු ලබන්නේ ඒ වෙනුවට ලොවෙත් නැති නව ලිබරල් මගුලක් ගැන කතා කිරීමයි.

ලංකාවේ අධ්‍යාපන අර්බුදයේ කෘරතම ප්‍රකාශනය වන්නේ ටියුෂන් ජාවාරමයි. ටියුෂන් ජාවාරමට අවකාශය විවෘත කර දෙන්නේ ඉහත කී අධ්‍යාපන විෂමතාවයි. එය සිදු වන ආකාරය මෙසේ පැහැදිලි කළ හැකි ය.

මහජන මුදලින් සීමිත වරප්‍රසාදිත පිරිසකට පමණක් ලබා දෙන උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලබා ගැනීම සඳහා පොරකෑම ආරම්භ වන්නේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන අවස්ථාවෙනි. එහිදී හොඳ පාසල් ටික හිමි කර ගන්නා දරුවන්ට ඉදිරි අවස්ථා පහසුවෙන් හිමි කර ගත හැකි ය. එතනින් ගිලිහී යන පිරිස ඒ වෙනුවෙන් මාරාන්තික සටනක් කළ යුතුව තිබේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එහි තීරණාත්මක කඩඉමකි. එයිනුත් මගහැරෙන දරුවන්ගේ තත්වය තවත් භයානක ය.

සාමාන්‍ය පෙළට A සාමාර්ථ නවයක් ලබාගන්නට හැකි සුළු පිරිසකට නැවතත් හොඳ පාසලකට පිවිසීමේ අවස්ථාවක් සඳහා උත්සාහ කළ හැකි ය. එය ද අහිමි වුවහොත් සොරි ම තමා ය. අව වරප්‍රසාදිත දරුවන්ගේ පාසල්වලින් යම් දුරකට හෝ විශ්වවිද්‍යාලවලට සිසුන් තේරෙන්නේ කලා විෂය ධාරාවෙන් පමණි.

අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් වන මෙම කෘර තරගකාරිත්වය හේතුවෙන් සිදු වී තිබෙන්නේ පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙළඳපොළකරණයක් සිදු වීමයි. ලංකාවේ පාසල් අධ්‍යාපනය හිර වී තිබෙන්නේ මෙවැනි දැවැන්ත වෙළඳපොළක මිස ඔය කියන ඊනියා නව ලිබරල්වාදයක නොවේ.

අධ්‍යාපන වෙළඳපොළකරණය ටියුෂන්වලට සීමා වී ඇතැයි නො සිතන්න. එය පාසල් අධ්‍යාපනය ද ඉහවහා පැතිර ගොස් තිබේ. ඇත්ත ම කියනවා නම් මේ වන විට පාසල් අධ්‍යාපනය යනු ටියුෂන්වල උණ්ඩුක පුච්ඡයකි.

පාසල වෙළඳපොළකරණයට හසු වන හැටි ඉතා සියුම් ය. මේ වන විට පාසල් ගුරුවරුන්ගෙන් බහුතරය කුමන හෝ අන්දමකින් ටියුෂන් කරති. එහෙත්, දැවැන්ත ටියුෂන් මුදලාලිලා යනු පාසල් අධ්‍යාපනයෙන් බාහිර පිරිසකි. ඔවුන් අධ්‍යාපනඥයන් ලෙස සැලකිය හැකි අය නො වුණ ද, අධ්‍යාපන ක්ෂේත්‍රයට දැවැන්ත දෘෂ්ටිවාදීමය බලපෑමක් කිරීමේ ආර්ථික බලයක් ඔවුන් සතුව තිබේ. ග්‍රේරෝ, සන්නස්ගල වැනි අය ලංකාවේ අධ්‍යාපනඥයන් වී සිටින්නේ ඒ සල්ලි බලයෙනි.

ඔවුන් විසින් ගොඩනගනු ලබන ටියුෂන් මූලික අධ්‍යාපන මනෝභාවය අතිශය පසුගාමී, සමාජය මුග්ධභාවයට ඇද දමන එකකි. එහෙත්, පවත්නා දැඩි අධ්‍යාපන තරගකාරිත්වය හේතුවෙන් එයින් ගැලවී සිටීම අතිශය දුෂ්කර ය. එයින් ගැලවෙන්නට හැකියාව තිබෙන ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය ලබන පිරිස වෙනත් ආකාරයක වෙළඳපොළක ගිලෙද්දී, සමස්ත සමාජය ම දැවැන්ත අධ්‍යාපන වෙළඳපොළක ගිලෙයි.

විකල්ප අදහස් ඉදිරිපත් කරන චින්තකයන්ට පවා තමන් එරී සිටින ගොහොරුව තේරුම් ගත නො හැකි ය. වාමාංශිකයන්ට නම් කොහොමත් බැරි ය. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය චින්තන ධාරිතාව නැත. ඒ නිසා ඔවුන් කරන්නේ කෝකටත් තෛලය වන් නව ලිබරල් යයි කියන තමන්ටත් නො තේරෙන මන්තරයක් ජප කිරීම ය. උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් 36,000කට හා සිසුන් 150,000කට රු. බිලියන පහක වියදමෙන් ටැබ් ලබා දීමට රජය ගත් පියවරවලට පවා මේ ඊනියා වාමාංශිකයෝ විරුද්ධ වූ හ. එසේ විරුද්ධ වුණේ ඊට වඩා වෙනත් ප්‍රමුඛතා ඇති බව කියමිනි.

අව වරප්‍රසාදිත පාසල් සම්බන්ධ එවැනි ප්‍රමුඛතා ඇති බව අපි පිළිගනිමු. එහෙත්, උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් ලබා දීම ලංකාවේ අධ්‍යාපනය පරිවර්තනය කළ හැකි දැවැන්ත පියවරක් විය. එවැනි පියවරවලින් ටියුෂන් ජාවාරමටත් පහර වදින්නට ඉඩ තිබිණි. ප්‍රතිගාමීන් සියල්ල එයට එරෙහි වුණේ ඒ නිසා ය.

මේ සියලු කළු වළාවන් මැද යම් යම් රිදී රේඛාවන් දකින්නට ලැබේ. ඒවා දකින්නට ලැබෙන්නේ ද අර නව ලිබරල් ය කියා හඳුන්වන එක්සත් ජාතික පක්ෂ රජය පැත්තෙන් වීම උත්ප්‍රාසජනක ය.

තමන්ගේ ටියුෂන් පන්තියට පැමිණෙන්නැයි දරුවන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් 1988 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කිරීමේ අවස්ථාව තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

මෙය පාසල්වල ඉතා සුලබව සිදු වන අපරාධයකි. කෙළින් ම බලපෑම් නො කළත්, තමන්ගේ පන්තියට නො එන සිසුන්ගෙන් පළි ගන්නා, ඔවුන්ට අවස්ථා ලබා නො දෙන ගුරුවරු ද සිටිති. මේවාට එරෙහිව මව්පියන් සටන් කළ යුතු ය.

http://www.w3lanka.com/%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1-%E0%B6%85%E0%B6%82%E0%B6%9A-1988/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල