අධ්‍යාපනික

පැරණි ගැමියා, ගෘහාශ්‍රීත කර්මාන්තයක් ලෙස,අපනයනික මට්ටමේ ‘රබර් රොටි’ නිෂ්පාදනය කළ හැටි

Off

රබර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත භාණ්ඩ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකියයුතු ප්‍රතිශතයක් ආවරණය වේ. 2016 වසර වනවිට දිවයිනේ බිමෙහි හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ රබර් වගාකර ඇති අතර, එම වර්ෂයේදී රබර් මෙට්‍රික් ටොන් අනූ දහසක් පමණ නිපදවා, මෙයින් මෙට්‍රික් ටොන් හතලිස් පන්දහසක් පමණ අපනයනය කර ඇත. 2016 වර්ෂයේදී ස්වාභාවික රබර් සහ රබර් නිෂ්පාදන අපනයනය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන අටසියයක පමණ ආදායමක් ලබා තිබේ. 2020 වන විට නව ක්‍රමෝපායයන් යෙදවීම් මගින්, මෙම ආදායම ඩොලර් බිලියන විස්සක් පමණ ලබාගත හැකි වේයයි අනුමාන කර තිබේ. (ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවකිනි.)

1876 වසරේදී ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යාණයේ, රබර් බීජ 1919 ක් රෝපණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ රබර් වැවීම ආරම්භ කර තිබේ. මෑතක්‌ වනතුරුම ශ්‍රී ලංකාවේ රබර් වගා කරන ලද්දේ රටෙහි තෙත් කලාපයට අයත් වන බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත් වළය.

දැනට රටෙහි රබර් නිෂ්පාදන ක්‍රියාවලිය උසස් මට්ටමක පවතින අතර, අදත් මෙයට දායක වන කුඩා රබර් ඉඩම් හිමියන්, දශක කිහිපයකට උඩදී මෙම ක්‍රියාවලියට උර දුන් ආකාරය මඳක් විමසා බැලීම මෙම සටහනෙන් බලාපොරොත්තු වේ.

විද්‍යාත්මකව රබර් ශාකය Hevea brasiliensis යන නමින් හැඳින්වේ. මෙහි brasiliensis යන්නෙන් එයට දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය නිජ භුමිය වී ඇති බව දැක්‌වේ. රබර් ගසෙන් වැගිරෙන කිරි, මිදුණු විට ප්‍රත්‍යස්ථ භාවයකින් (elastic) යුක්තය. වේලාගත් මිදුණු රබර් කෑල්ලකින් පැන්සල් ඉරි හෝ පැන්සලකින් ලියන ලද දේ මැකිය හැකි නිසා එම ද්‍රව්‍යයයට – ‘rub’ – ‘මැකීම’ යන අර්ථය ඇතිව ‘rubber’ ලෙස නම්කර ඇතිබව විශ්වාස කළ හැකිය.

දැනට දශක හයකට හතකට ඉහතදී අපගේ ගම් පලාත්වල ගෘහාශ්‍රීත රබර් නිෂ්පාදනය ගැමියාටම ආවේණික ක්‍රමවේදයන්ට අනුකුලව කරන ලදී. මේ නිසාම රබර් කර්මාන්තය ආශ්‍රිත වාග් මාලාවක්ද කට වහරට පැමිණ ඒවා බොහෝ දුරට ඒ ලෙසටම භාෂාවටද එකතුවී තිබේ.

කිරි කැපීම, කිරි පිහිය, කිරි කට්ටිය, කිරි ඇකිලිම, කිරි පෙරීම, ‘ඩයමන්’ රෝල, දිය රෝල, රොටි තැලීම, රොටි වේලීම, දුම් ගෙය, ඔට්ට පාල්, පොල්කටු පාල්, බ්ම් පාල්, රබර් කොළ නිවාඩුව ආදිය මෙම වාග් මාලාවේ පොදු වචන කිහිපයකි. රබර් කර්මාන්තය ආරම්භ කළ මුල් කාලයේදී විදෙශිකයින් විසින් රබර් වතුවල යොදවන ලද ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන් භාවිත කළ සමහර වචන නිසා ඒවාට ද්‍රවිඩ ඌරුවක්ද තිබේ.

රබර් වැවීම ආරම්භ කළ කාලයේ සිටම බොහෝ ගැමියන් තම ඉඩම් වලද කුඩා රබර් වගාවන් ආරම්භ කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් වූ අපටද පාරම්පරිකව ගෘහාශ්‍රීත රබර් කර්මාන්තය ගැන හුරුවක් තිබුණි. පෙබරවාරි මාසය වන විට රබර් ගස්වල කොළ ඉදී වැටේ. මෙසේ සති තුනක් පමණ තිබී අලුතින් දළු ලා මල් හටගනී. ගස් වළ කොළ නොමැතිව ලා දළු පමණක් තිබෙන ඒ කාලයේ ‘කිරි කැපීම’ සිදු නොවේ. මේ නිසාම පෙබරවාරි මාසය ‘රබර් කොළ නිවාඩුව’ වශයෙන් නම් කිරීමට ගැමියා පුරුදු විය. බොහෝ විට ඉඩමේ වල් පැල නෙලීම, සහ රබර් ගස් වලට පොහොර යෙදීම මේ කාලයේ දී කළ යුතු වැදගත් කාර්යයකි. ඒ සමගම කිරි කැපීමේදී ගස්වල පොත්ත පලුදු වී ඇති ස්ථානවල, අලුතින් පටක වර්ධනය සඳහාත් බැක්ටීරියා මර්දනය සඳහාත් ගොම මැටි සහ රසායනික ද්‍රවයක් ආලේප කිරීමද අවශ්‍යම දෙයකි.

ඊළඟ මාසයේදී ‘කිරි කැපීම’ ආරම්භ කරනවිට ගසෙහි අනික්‌ පැත්තේ අලුතින් කැපුමක් ආරම්භ කිරීම සිරිතකි. කිරි පොල් කටුව සවි කිරීම සඳහාත්, කිරි ධාරාව ගලායාම සඳහාත් ලෝහ පීල්ලද ගලවා නව කැපුමට සවි කිරීම ද අත්‍යවශ්‍ය දෙයකි.

මෑත කාලයේදී වවනු ලබන PB (Pure bred) 86 වැනි, ප්‍රමාණයෙන් කුඩා, කිරි වැඩියෙන් ලැබෙන, රබර් ගස් එකළ නොවිය. සමහර ගෙවතු වල රූස්ස රබර් ගස්ද සුලභ විය. සිටුවා වසර පහකින් පමණ, රබර් ගසකින් කිරි ලබාගත හැකිය. මේ සඳහා ගසේ මුල සිට අඩි හතරක් පමණ උසින්, ගසේ වටප්‍රමාණයෙන් අඩක පමණ පළමු ‘කැපුම’ දමනු ලැබේ.

මේ සඳහා විශේෂයෙන් සකස් කර තිබෙන ‘කිරි පිහිය’ භාවිත කෙරේ. වෑස්සෙන කිරි පහසුවෙන් ගලායාම සඳහා මෙම කැපුම අංශක 15 ක පමණ ආනතියකින් යුක්තය. මෙම කැපුමේ අවසානයේ සිට අඩියක් පමණ පහලට නොගැඹුරු ඇලියක් කපා, එයට පහලින් කුඩා ලෝහ ‘පීල්ලක්’ සවිකෙරේ. කැපුමෙන් වැගිරෙන කිරි, පහලට ගලාගොස්, ඇලිය ඔස්සේ පීල්ලට වැටී, පීල්ලෙහි මැද කුඩා කොටසක් පහලට නමා සකස් කළ ආධාරක නෙරීමටත්, ගසේ කඳටත් අතරින් සවි කෙරෙන, පොල් කටුවකට එකතු වේ.

ඝර්ම කලාපිය රටවල වැඩෙන බොහෝ ගස්වල තිබෙන, ක්ෂිරධර පටක (Laticiferous tissues) විශේෂයක් මගින් විවිධ ආකාරයේ යුෂ නිපදවනු ලැබේ. අමිහිරි රසයකින් යුක්ත විෂ සහිත යුෂ නිසා මෙම ශාක, ශාක භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වේ. එසේම පරිවෘත්තිය අපද්‍රව්‍ය වන රෙසින, ඇල්කලොයිඩ සහ වෙනත් හයිඩ්රෝකාබන ද යුෂ වල අන්තර්ගත වේ. රබර් වල ප්‍රත්‍යස්ථ භාවයට හේතු වනුයේ එහි ඇති දික් හයිඩ්රෝකාබන් අණු ජාල නිසාය.

කිරි ලබාගැනීම සඳහා ගසෙහි පොත්ත කැපිමද ප්‍රවේශමෙන් කළ යුත්තකි. කිරි වෑස්සෙන ක්‍ෂීරධර පටක පිහිටනුයේ, ගසෙහි දුඹුරු පැහැති වල්කමය පිටපොත්තට යටින් ඇති ද්විතිය ප්ලෝයම පටක ආශ්‍රිතවය. මීට යටින් ඇති ගසෙහි වර්ධක පටක වන ප්‍රාථමික ප්ලෝයමට හානි නොවන ලෙස රබර් කැපුම සකස් කර ගැනීමට ගැමියා දක්ෂයෙකි.

රබර් කිරි කැපීම, හැකි තරම් උදෙන්ම ආරම්භ කිරීම සිරිතය. සාමාන්‍යයෙන් එක ‘රබර් කට්ටියක’ රබර් ගස් සියයක් පමණ තිබේ. උදෙන්ම කිරි කැපීම පටන් ගත් විට පෙරවරු දහය පමණ වන විට ‘කිරි ඇකිලිම’, නැතහොත් ගසින් ගසට ගොස් පොල්කටු වලට වෑස්සී තිබෙන කිරි, බාල්දියකට එකතු කර ගැනීම කරනු ලැබේ. පැයකදී පමණ ගස් සියල්ලේම කිරි එකතු කර ගත හැකි වේ. ගසේ කැපුමේ ඉතිරි වන කිරි, කිරි එකතුකරන වේලාව වන විට කැපුම මත ඝනවී පට්ටයක් මෙන් සෑදේ. මෙම පට්ටය පසුදින කපන විට ගලවා වෙනම එකතු කර ගනී. ‘ඔට්ට පාල්’ලෙස හඳුන්වනුයේ මෙම පට්ටා විශේෂයයි. (හොඳින් ඇදෙනසුලු ‘ඔට්ට පාල්’ වෙසක් කුඩු බැඳීම සඳහා ඉස්තරම් පට්ටා වර්ගයකි.)

ඊළඟ පියවර වනුයේ එකතු කරගත් කිරි වලින් රබර් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමයි. ගෙදරට හෝ සැකසුම් මධ්‍යස්ථානයට ගෙනෙන කිරි, පෙරණයකින් පෙරා, ඒ සඳහා විශේෂයෙන් සකසා ඇති ‘තැටි’ වලට වත්කර එයට තනුක ඇසිටික් අම්ලය හැඳි කිහිපයක් සහ ජලය නියමිත ප්‍රමාණයක් එකතු කරනු ලැබේ. (සාන්ද්‍ර අම්ලය නියම ප්‍රමාණයට තනුක කර ගැනීම ගැමියා දනී). ඊට පසු කිරි ද්‍රාවණය හැන්දෙන් හොඳින් කූරු ගා, පෙණ ඉවත් කර නිශ්චලව තැබිය යුතුය. නවීන ‘බඩ්’(budded) රබර් ගස් විස්සකින් පමණ ලැබෙන කිරි වලින් එක කිරි තැටියක්‌ සකස් කළ හැකි වේ.

අම්ලය මිශ්‍ර කළ කිරි, පැය හතරකදී පමණ මිදී, මෘදු කැටියක් බවට පත්වේ. රබර් ෂීට් නිෂ්පාදනය සඳහා මෙම කිරි කැටිය හොඳින් තලා, තුනී කර ගත යුතුය. බොහෝවිට කුඩා ඉඩම් හිමියා, එය ලෑල්ලක් මත තබා අතින් තලා. බොරළු පුරවා බර වැඩිකරගත් බෝතලයකින් එය තවත් තුනීකර, අමු ‘රොටියක්’ සකස් කර ගනී. රොටිය තලා ගැනීම සඳහා අතින් කරකවනු ලබන ‘දිය රෝල්’ සමහර තැන්වල තිබේ. මිටපසු, තුනී කළ අමු ‘රොටිය’, ‘ඩයමන්ඩ් රෝල’ නමැති අතින් කරකවන තදීන් බර දැමිය හැකි විශේෂ උපකරණය තුලින් යවා තවදුරටත් තුනී කරගනු ලැබේ. මෙම ක්‍රියාව ‘රොටි ඇල්ලීම’යි මෙසේ කළ විට එහි ජලය බොහෝදුරට ඉවත් වී දාර සහිත තුනී අමු ‘රොටියක්’ ලැබේ. (diamond යන වචනය යොදා ඇත්තේ රොටිය මත ඇතිවන දෙපැත්තට සකස් වන දාර වලින් සෑදෙන හැඩතල නිසාය) බොහෝ විට කිරි කැපීමේ සිට මේ දක්වා ඇති කාර්යයන් සියල්ලම කරනුයේ රබර් කිරි කපන තැනැත්තා විසින්මය.

මේ ආකාරයට සාදාගන්නා ‘අමු රොටි’ වේලීම මීළඟ කාර්යයයි. කුඩා රබර් ඉඩම් හිමියා මේ සඳහා තමන්ගේම දුම් ගෙයක් ප්‍රයෝජනයට ගනී. බොහෝ විට, කටු මැටි ගසා ආවරණය කළ ගැල්වනයිස් තහඩු සෙවිලි කළ කුඩා කාමරය ‘දුම් ගෙය’ යි.

රබර් ‘දුම්ගෙය’ තුළ ඉහලින් සෑදු මැස්සක, හරස් අතට දැමු පොලුවල එල්ලා වැටෙන සේ රඳවනු ලබන ‘අමු රොටි’දුම් ගසා වේලීම පිණිස, පහලින් ලී කොට දමා ගිනි අවුලවනු ලැබේ. දින දෙක තුනක් තිස්සේ දුම් ගැසීමෙන් පසු ජලය සම්පූර්ණයෙන් ඉවත්වූ ‘රොටි’, ලා දුඹුරු පැහැයක් ගනී. මේවා ‘ශීට් රබර්’ ලෙස හැඳින්වේ. ආනයනය කරනු ලබන මෙම ‘ශීට් රබර්’ විදේශ වෙළඳ පලේ හඳුන්වනු ලබන්නේ ‘දුම් ගැසූ දාර රොටි’ (RSS – Ribbed smoked rubber) යන නමින්ය.

එකළ රටෙහි රබර් වගා කළ සෑම ප්‍රදේශයකම, ගම් වල ගැමියා විසින් නිෂ්පාදීත ‘දුම් ගැසූ දාර රොටි’ මිලදී ගෙන ආනයන කරුවන් වෙත යවන වෙළෙන්දෝ සිටියහ. මෙම වෙළඳ සැල්වල ‘අවසර ලත් රබර් වෙළඳ තැන’ (Licenced dealer in rubber) යන දැන්වීම දකින්නට ලැබිණ. රබර් නිෂ්පාදකයාට තම භාණ්ඩ මෙම වෙළඳ සැල් වලට අළෙවි කර, එවලේම මුදල් ලබාගත හැකි විය. නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස සැලකිය හැකි ‘ඔට්ටපාල්’ ද අළෙවි කර මුදලක් ලබා ගත හැකි අපද්‍රව්‍යයක් විය.

‘දුම් ගැසූ දාර රොටි’ වලට, විදේශ වෙළඳ පලේ ඉතා හොඳ ඉල්ලුමක් තිබේ. විශේෂයෙන්ම වාහන වල ටයර් සහ වෙනත් ගෙවී යාම් වලට තුඩු දෙන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙම රබර් ප්‍රභේදය ඉතාමත් සුදුසු බව නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනයේ පුරෝගාමිකයන්වු, පැරණි ගැමියන් විසින් කරගෙන ආ ‘දුම් ගැසූ දාර රොටි’ නිපදවීම, අද බොහෝ දුරට අක්‍රිය වෙමින් පවතී. මහා පරිමාණයේ රබර් කර්මාන්ත ශාලා මගින් ‘අමු කිරි’ එකතු කර යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් ‘ක්‍රේප් රබර්’ නිෂ්පාදනය කෙරෙහි යොමුවීම මෙයට ප්‍රධාන හේතුවයි. කෙසේ වෙතත් මේ මගින් රබර් නිෂ්පාදනයේදී ගැමියා මත තිබුණු බර බොහෝ දුරට අඩුවී ඇත. රබර් මුදවා ගැනීම, රොටි සකස් කිරිම, දුම් ගසා වේලීම වැනි භාරදුර ක්‍රියාවලියන් අද ඔහුට නැත. තම රබර් ඉඩමෙන් ලැබෙන අමු කිරි කෙලින්ම එකතු කිරීමේ මධ්‍යස්ථානයකට සැලකියයුතු මිලකට ලබාදී, අද ඔහුට සවස් වරුවේ විවේකයක් ගත හැකිය.

ස්වාභාවික රබර් කර්මාන්තය, ශ්‍රී ලංකාවේ ඉතාමත් සාර්ථක, එමෙන්ම තිරසාර සහ සමාජ-ආර්ථික වශයෙන් වැඩදායි, අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණු අගනා සම්පතක් ලෙස සැලකිය හැකිය. රබර් කර්මාන්තයේ නියැලි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක මෙහෙය වීමෙන් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොඅඩුව ලැබේ. අගලවත්තේ, ‘ඩාර්ටන් ෆීල්ඩ්’ වතු යායේ පිහිටුවා තිබෙන රබර් පර්යේෂණායතනය, ලොව ඇති පැරණිම රබර් පර්යේෂණායතන වලින් එකකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදන අංශය, රටෙහි විදේශ විනිමය උපයන තුන්වන කර්මාන්තය වී තිබේ. මෙය මගින් රටෙහි විවිධ මට්ටම් වල වෘත්තිකයින් තුන් ලක්ෂයකට පමණ රැකියා පහසුකම් සලස්වා දී ඇත.

(සියලුම ඡායාරූප අන්තර්ජාලයෙනි. ඒවා වෙනුවෙන්, අදාළ ආයතන වලට ස්තුතිය පළ කරමි.)

http://dayawee2.blogspot.com/2018/04/blog-post_20.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල