කාලීන සංවාද

ටැබ් නොදී වැසිකිලි දීම හා ටියුෂන් අධ්‍යාපනය

Off

ආණ්ඩුවට ඕනෑ තරම් ඉඩ තිබුණා ළමයින්ට ආණ්ඩුවේ වියදමින් tab අරන් දෙන්න. ඒක එහෙම කරා නම් ලංකාව ඇතුලේ ලොකු අධ්‍යාපන විප්ලවයක් වෙන්න ඉඩ තිබුණා අධ්‍යාපනය කියන්නේ සමාජ විප්ලවයක ආරම්භය නිසා ළමයින්ට ටැග් නොදීමෙන් ලංකාවේ විප්ලවය ආපස්සට ඇදුන කියලා තමයි මට හිතෙන්නේ. ආණ්ඩුවේ මෝඩ කම වගේම වාමාංශික කුහකකමත් ඒකට හේතු වුණා.

අද අන්තර් ජාලය ප්‍රබල අධ්‍යාපන මෙවලමක්. ඉස්කෝලෙක හරි ටියුෂන් පන්තියේ එක හරි මාස ගණනාවක උගන්වන සංකීර්ණ විෂයක් අන්තර්ජාලයෙන් ඉතා කෙටි කාලයකින් ගුණාත්මකව වටහා ගත හැකියි. <මයින්ගේ / දෙමාපියන්ගේ කාලය / මුදල් ඉතුරු වෙන විදියක් වෙන්න තිබ්බා ඒ පියවර.

උදාහරණයක් විදියට උසස්පෙල විද්‍යා ගණිත ධාරාවට සමගාමිව යන Khan Acadamy, MIT free courses, ආදියෙන් ළමයින්ට නොමිළේම අන්තර් ජාතික අධ්‍යාපනයක් ලබා ගන්න තිබ්බා. දැන් ඒ අවස්ථාව මඟහැරුනා.
සන්නස්ගල වගේම ග්‍රේරෝ ඒක හොඳින් දන්නවා.

නමුත් මුන් දෙන්නම එ්කට කටවහන් හිටියා. අපි දන්න විදියට Grero, බන්දුලට කොහොම වෙතත් සන්නස්ගල ට දේශපාලන දර්ශනයක් තිබුණා. නමුත් සන්නා මේක දිය යුතුයි කියලා කතා නො කළේ ඇයි කියල අපි දන්නේ නෑ. සමහර විට ඒකෙන් ටියුෂන්වලට පහරක් වදින නිසා ද දන්නෙ නෑ.

– ක්ලෙමන්ට් නාමල් පීරිස්, මේ ලිපියේ කමෙන්ටුවක

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් 36,000කට හා සිසුන් 150,000කට රු. බිලියන පහක වියදමෙන් ටැබ් ලබා දීමට රජය අයවැයෙන් මුදල් වෙන් කළ බව කියනවා. ඒත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, වාමාංශික පක්ෂත්, වෘත්තීය සමිතිත්, මාධ්‍ය ආදියත් එකතු වී එයට විරෝධය පළ කර මෙම යෝජනාව කඩාකප්පල් කළා.

රජය වුණත් මෙවැනි කාරණාවලදී එතරම් අධිෂ්ඨානශීලී නැහැ. ඔවුන් ද මෙය ප්‍රචාරය සඳහා භාවිතා කර අතහැර දැමූ බවයි පෙනෙන්නේ. 2017 පෙබරවාරි මාසයේදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පන්ති කාමරයක් සංකේතාත්මකව ඩිජිටල් කිරීමත් මෙවැනි ප්‍රචාරක වැඩක්. ඒ ව්‍යාපෘතියත් එතනින් එහාට ඉදිරියට ගිය බවක් දකින්නට නැහැ.

අක්කරෙයිපත්තුවේ සමන්තුරේ පාසල් උත්සවයකට සහභාගී වීමට ගිය තමන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් එහි නොමැති බව දරුවන්ගෙන් දැනගැනීමට ලැබුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2017 පෙබරවාරියේදී කිව්වා. “දරුවන්ගෙන් අහපුවම මොනවද දරුවනේ තියන අඩුපාඩු කියල, වැසිකිළි නෑ, කැසිකිළි නෑ, බොන්න වතුර නෑ, ඩෙස්ක් පුටු නෑ කිව්වා” යි ජනාධිපතිවරයා පැවසුවා.

දියුණු අධ්‍යාපනික සංකල්ප ක්‍රියාත්මක කිරීම වළක්වන්නට සාමාන්‍යයෙන් ම ලංකාවේ ඉදිරියට ගන්නේ මෙවැනි අදහස් තමයි. ඒවා බොරු යයි කාටවත් කියන්නට බැහැ. දුෂ්කර ප්‍රදේශවල ඇතැම් පාසල්වල මෙවැනි අඩුපාඩු රැසක් තිබෙන බව ඇත්ත. ඒත්, එය සියලු දුෂ්කර පාසල්වල සාමාන්‍ය තත්වය නො වන බවට උදාහරණ මම ඕනැ තරම් ඉදිරිපත් කරන්නම්. එක උදාහරණයක් විතරක් කිව්වොත්, අනුරාධපුරයේ සිට කිලෝමීටර් 100ක් ඊසානදිගින් යුද කලාපයේ පිහිටි බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ තමයි මම 1994දි මුලින් ම ගුරුවරයකු ලෙස සේවය කළේ. ඒ කාලෙත්, මේ පාසලට ලැබුණු සම්පත් රැසක් ප්‍රයෝජනයට නොගෙන විනාශ වුණා. රූපවාහිනී සංඥා තිබුණෙ දුර්වල තත්වයක. මෙහෙ නාලිකාවලට වඩා හොඳට දූරදර්ශන් පෙනුණා. ඒ වුණාට මේ ඉස්කෝලෙ කවදාවත් ප්‍රයෝජනයට නොගත් විශාල වර්ණ රූපවාහිනී තුනක් විද්‍යාගාරයේ පසුපස කාමරයක ගොඩගහලා තිබුණා. ටේප් පටියකින් ධාවනය වන පරිගණකයක් තිබුණා කිසිවෙකු කිසිම දාක පරිහරණය නොකළ. මේ තත්වය අදත් එහෙමයි. මෑතදී මා මේ පාසලට ගොඩවුණා. විද්‍යාගාර, නේවාසිකාගාර, ගුරු නිවාස ගණනාවක් අලුතෙන් හදලා. හැබැයි, දැන් ඉස්සරටත් වඩා ළමයින් අඩුයි. මොකද, මේ මට්ටමේ පාසල් රැසක් පදවිය ජනපදයේ තිබෙනවා. හැබැයි, අධ්‍යාපනයේ ලොකු දියුණුවක් නැහැ. ඒක භෞතික සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් ම නෙමෙයි.

ඒත්, අද වන විට දුෂ්කර ප්‍රදේශවල පාසල් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය මොකක් ද? ඒ තමයි, පාසල්වලට දරුවන් නැතිකම. ආර්ථිකයේ, මාර්ග පද්ධතියේ, ප්‍රවාහනයේ දියුණුව නිසාත්, අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඉස්සරට වඩා දෙමව්පියන්ට තිබෙන උනන්දුව නිසාත්, අද වන විට බොහෝ දරුවන් ගමේ පාසල තිබියදී නාගරික පාසල් වෙත යනවා.

ළඟම පාසල හොඳම පාසල ය කිව්වාට ඒක ඇත්ත වෙන්නෙ නැහැ. ගම කියන්නෙ නගරයට වඩා බොහෝ වෙනස්කම් සහිත තැනක්. නාගරික පාසල විසින් ඇති කරනු ලබන වාතාවරණය හෙවත් ඇම්බියන්ස් එක ඇති කිරීමේ හැකියාව ගමේ පාසලට නැහැ. ඒ නිසා වඩා හොඳ අධ්‍යාපනයක් සොයාගෙන මව්පියන් දරුවන්ව නාගරික පාසල් වෙත යවන එක නවත්වන්නට ලැබෙන්නෙ නැහැ කවදාවත්. යම් දුරකට පාලනය කරන්නට විතරයි පුළුවන්.

ලංකාව දියුණු අධ්‍යාපනික තාක්ෂණයන් වෙත යාමට පෙර මේ සියලු ගැටලු විසඳා ගත යුතු යයි කීම නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් හා තවත් ටිකකුත් ඉල්ලීම වැනි දෙයකි. හේතුව, ගමේ ගොඩේ මේ ප්‍රශ්න විසඳා අවසන් කිරීම කිසිදා කළ නොහැකි බැවිනි. එසේම, ඇති හැකි පවුල්වල දරුවන්ට හා ඔවුන් විසින් අත්පත් කරගෙන තිබෙන, මහජන මුදලින් නඩත්තු වන වරප්‍රසාදිත පාසල්වලට මේ පහසුකම් ලබා ගැනීමට තිබෙන හැකියාවට ද කිසිදු බාධාවක් වී නැහැ. අවසානයේදී සිදු වන්නේ එවැනි පහසුකම් සපයා ගැනීමට අපහසු දරු පිරිසකට ඒවා නොලැබී යාමයි.

ඉහත අදහස පළ කළ ක්ලෙමන්ට් නාමල් පීරිස් කියන පරිදි ම උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් ලබා දීම සිදු වුණා නම්, එය දැවැන්ත අධ්‍යාපන පරිවර්තනයකට හේතු කර ගත හැකිව තිබුණා. උසස් පෙළ ටියුෂන් වෙළඳපොළට එයින් දැවැන්ත බලපෑමක් ඇති කළ හැකිව තිබුණා. උදාහරණයක් ලෙස, අද වන විට, සම්පූර්ණයෙන් ම ඩිජිටල් පාඨමාලා සැකසීමේ හැකියාව තිබෙනවා. ඒවාට වීඩියෝ දේශන, ගැටලු සාකච්ඡා කළ හැකි හා එකිනෙකාට උපකාර කර ගත හැකි සංසද, ක්‍රියාකාරකම්, අධ්‍යාපන ක්‍රීඩා, පරීක්ෂණ ආදිය එකතු කිරීම ඉතා සුළු දෙයක්. මෙවැනි නව ව්‍යාපාර බිහි වීමත් සමග ප්‍රධාන අභියෝගය එල්ල වන්නේ ටියුෂන් ජාවාරම්කාරයන්ටයි.

මේ ටියුෂන් ජාවාරම් ඇත්තට ම ජේසු ජීවමානයි පන්නයේ ප්‍රාතිහාර්ය වැඩසටහන්. දහස් ගණනක් සිසුන්ට එකවර උගන්නන මේ මැජික් ගුරුවරුන් කරන්නේ දැවැන්ත බොරුවක්. සිසුන්ගෙන් මුදල් ගසාකෑමේ ඒකායන අරමුණින් කරන ඒ මහා බොරුව වසා ගන්නේ විභාග බිය විකිණීමෙන් සහ තමන් ම මාකට් කර ගන්නා විවිධ රැවටිලිකාර උපායන්ගෙනුයි.

ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන ප්‍රධාන ගැටලුව මේ ටියුෂන් ජාවාරමයි. අධ්‍යාපනය වෙළඳපොළකරණය වී තිබෙන්නේ මූලිකව ම ටියුෂන් ජාවාරම නිසායි. පාසල් සිසුන්ට ටැබ් ලබා දීම නිසා මේ ටියුෂන් ජාවාරමට ලොකු අභියෝගයක් වෙන්නට ඉඩ තිබුණා. ඒ නිසා තමයි ටියුෂන්කාරයන් අනියමින් මේ වැඩේ කඩාකප්පල් කරන්නට උපකාර කළේ. ටියුෂන්කාරයන් කියන්නේ මේ වන විට ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රධාන ම බලවේගය බව අප අමතක කළ යුතු නැහැ. මහා පරිමාණ ටියුෂන්කාරයන්ගේ සිට ගෙවල්වල ගරාජ් දක්වා පැතිරුණු ටියුෂන් ජාවාරමට අද වන විට සමස්ත අධ්‍යාපනය ම ගොදුරු වෙලා ඉවරයි.

මේවා තමයි රටේ අධ්‍යාපනික ප්‍රශ්න. මෙතන ඇති නව ලිබරල් මගුලක් නැහැ. මේ යථාර්ථයෙන් වාසි ලබන කුණු කන පණුවන්ට පහසු ආවරණයක් සපයන කොන්ත්‍රාත්කාර වාමාංශිකයන්ගේ බොල් සටන් පාඨයක් තමයි ඔය නව ලිබරල් කෝකටත් තෛලය.

http://www.w3lanka.com

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල