කෙටි කථා

සැහැල්ලුයි, මරණය බර නෑ……. (කෙටි කතාව)

Off

‘ඔහු තිරිසනෙක්. කාන්තාවන් සිව්දෙනෙක්ම මාස තුනක් ඇතුළත අමානුෂික ලෙස වධදී මරා දැමීමට තරම් ඔහු තිරිසනෙක්. එහෙත් ඔහුට දෙවියන්ගෙන්නම් ගැළවීමක් නැහැ’

ඩුබියා එසේ පැවසුවේ අද උදෑසන නිවාඩු ගෙන ඇගේ නිවසට යාමට ප්‍රථමවයි.

‘නැහැ. මම බයවෙන්නෙ නැහැ. ඩුබියා නිවාඩු ගියත් මට තනියම ගෙදර ඉන්න පුළුවන්’

රාත්‍රී අඳුරේ වීදිය දිගේ ඇවිදින අතරේ මම සිතුවෙමි.

‘සැකකරු සොයා තවමත් පරීක්ෂණ. ඝාතන හතරම එක් පුද්ගලයෙක් කෙරූ බවට සැකයක්. ඝාතනයවී තිබෙන්නේ රූමතියන් සිව්දෙනෙක්. සැහැල්ලුයි මරණය බර නෑ. තවත් රතු රෝස මල් පොකුරක්’

පහුගිය දිනපතා පුවත්පත්වල පළවූ එවැනි සිරස්තල මට සිහිවිය. එසේම ඩුබියා පැවසූ දේත් සිහිවිය. මෙසේ වරින්වර ඒ දේවල් සිහිවීම නිසාම මම කළබල වීමි. රාත්‍රී නවයට ආසන්න මේ මොහොතේ වීදියේ වූයේ පාළු බියකරු පෙණුමකි. තවත් මීටර හාරසියයක් පමණ දුරක් නිවස වෙත ඇති නිසාම මම ගමන ඉක්මන් කෙරුවෙමි. එහෙත් නිරතුරුවම යටිහිතේ මැවී පෙණෙනුයේ ඒ අමානුෂික ඝාතන රැල්ලත් එලෙස ඝාතනයට ලක්වූ සුරූපිනියන්ගේ මළ සිරුරුවල දර්ශණත්ය. ඒ මොහොතේ ජංගම දුරකථනය නාද වීම නිසා මම එයට ඇමතුවෙමි.

‘ඩුබියා. මම තාම ගෙදර යන ගමන්. ආ.. සැකකරුවෙක් අල්ලාගෙනද? ස්තූතියි ඩුබියා පණිවිඩය කිව්වාට. අනිද්දා උදෙන්ම වැඩට එන්න. හරි හරී. මම මල් පාත්තිය බලාගන්නම්. ස්තූතියි’

මම ජංගම දුරකථනය විසන්ධි කෙරුවෙමි. දෙවියන්ට ස්තූති වේවා. ඩුබියා දුන් පණිවිඩය ඇසීමෙන් මට ඇතිවූයේ සැනසුමකි. එහෙත් අල්ලාගත් සැකකරු ඝාතකයාම බව තවමත් සනාථකර නැත. ඔහු ඝාතකයාම විණි නම් තවත් බිය විය යුතු නැත.
ඒ අතරේ මම බෑගයට දැමීමට lසැරසුණු ජංගම දුරකථනය වැටුනේ බිමටය.

වීදි ලාම්පුව ඈතින් පිහිටි නිසා මෙම ස්ථානය තරමක අඳුරු බවක් ඉසිලීය. මම අඳුර අතරේම ජංගම දුරකථනය රැගෙන යළි නැගී සිටීමට සැරසුනෙමි. ඒ මොහොතේ තවත් මීටර තුනක් පමණ ඉදිරියෙන් මට පෙණුනේ මිනිස් ඡායාවකි. මම වහාම නැගී සිටිමින් ඉදිරිය බැලුවෙමි.

හිස් වැස්මක් පැළඳගත් උස මහත සිරුරකට හිමිකම් කියන්නෙක් මා දෙසට පැමිණෙමින් සිටියමුත් රාත්‍රී අඳුර නිසාම ඒ මුහුණ පැහැදිලිව දැකගැනීමට නොහැකිවිය.

‘ද්… දෙවියනේ….මේ අර…. ?’ ඇති වූ බිය නිසාම මම ආපසු හැරී දිව්වෙමි.

‘කැමේලියා….. කැමේලියා’

ඒ පුද්ගලයා යමක් පැවසූ නමුත් පැහැදිලිව ඇසුණේ මගේ නම පමණකි. හුරු පුරුදු කටහඬක් වුවද මම නතර නොවුනෙමි. අතේ වූ ලිපි ගොනුව මා අතින් ගිලිහී ගියද මම දිව්වෙමි. එහෙත් ඵලක් නොවුණි. මොහොතකින් මම පරාජය වුණෙමි. වේගයෙන් දිව ආ ඔහු මා ඉදිරියේ පෙනී සිටියේ මගේ දෑත් අල්ලා ගනිමින්ය.

‘එපා….’ මම කෑ ගැසුවෙමි.

‘කැමේලියා, මේ මම. මම වුල්ගාරිස්’ ඔහු ඇමතූ පසු මම එදෙස බැලුවෙමි.

‘කැමේලියා… ඇයි මේ බියවී? මම වුල්ගාරිස්’ අනතුරුව ඔහු මගේ දෑත් අතහැරියේය.

‘ඕ… වුල්ගාරිස්. ඔබද මාව මෙතරම්ම වෙහෙසුවේ’

‘ඔබව වෙහෙසවන්නවත් බිය කිරීමටවත් මම හිතුවේ නෑ කැමේලියා. මම හිතුවෙ නෑ ඔබ මෙතරම් කළබල වෙයි කියා. කැමේලියා හිතුවේ අර ඝාතකයා ඔබ පසුපසින් දිව ආවා කියාද ?

මම හිස සලා ඔහුගේ කියමන අනුමත කරමින් ආපසු හැරුනෙමි.

‘මට සමාවෙන්න කැමේලියා’

‘හරි වුල්ගාරිස්. අපි දැන් ඒක අමතක කරමු. එයින් වූයේ මට ඇවිදගෙන යාමට ඇති දුර තවත් වැඩිවීම පමණයි’

‘එය හොඳ ක්‍රියාවක්නේ. වැඩිපුර ඇවිදීමෙන් ඔබේ ශරීර පෙනුම තවත් සුන්දරවෙයි බොහෝ. එසේම අනාගත සැමියා සමග ඇවිදීමට ලැබීම ඔබට සතුටක් නොවන්නේමද ?’

ඉදිරියට යන අතරේ වුල්ගාරිස් පැවසුවේ මගේ උරහිස මත ඔහුගේ අතක් දමා ගනිමින්ය.

‘කැමේලියා…’

‘ම්…’

‘තාමත් බියෙන්ද?. බිය විය යුතු නැහැ. ඝාතකයා අල්ලාගෙනයි ඇත්තේ’

‘ඒත් වුල්ගාරිස් ඔහු සැකකරුවෙක් පමණයි’
ඉදිරියට යන අතරේ බිම වැටී තිබූ මගේ ලිපි ගොනුව එකතුකර ඇහිඳගත් වුල්ගාරිස් එය මා අත තැබුවේය.

‘ස්තූතියි වුල්ගාරිස්’

‘කැමේලියාට මම මල් පොකුරකුත් දෙන්නයි හිටියෙ. හොඳ වෙලාවට මා එය නොගෙනාවෙ’

‘මල් පොකුරක් ?’

‘ඔව්. රතු රෝස මල් පොකුරක්’

‘ඕ.. ඔබ නැවතත් අර ඝාතකයා සිහි කිරීමටයි උත්සාහ කරන්නේ. ඔහුත් ඝාතනයට කළින් දිනයේ නිවසේ දොරටුව ඉදිරියෙන් තබා ඇත්තේ රතු රෝස මල් පොකුරක්’

‘මම විහිලුවට කිව්වෙ. මල් පොකුරක් තැබීම සාමාන්‍ය දෙයක් ලෙසට හිතන්න පුළුවන් වුවත් අර අමුතු වැකියක් ලියා තැබීමනම් අසාමාන්‍ය දෙයක්, නේද කැමේලියා’

‘ඔව් වුල්ගාරිස්. එයින්ම ඔප්පු වෙනවා ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බව. ඔබට මතකද එම වැකිය?’

‘ඔව්. සැහැල්ලුයි මරණය බර නෑ’

‘සැහැල්ලුයි මරණය බර නෑ’

කතාව අතරේ අපි මගේ කුලී නිවස අසළට පැමිණියෙමු.

‘එහෙනම් මම යන්නම් වුල්ගාරිස්’ ඒ සමගම ඔහු මගේ බඳ වටා දෑත් යවමින් මාව වැළඳගත්තේය.

‘ඒත් වුල්ගාරිස්. මට…’
වුල්ගාරිස් මගේ මුව මත ඔහුගේ දබරඟිල්ල තබා මගේ කතාව නතර කෙරුවේය.

‘බිය නොවන්න’ ඔහු මිමිණුවේය. මම හිස සැළුවෙමි.

‘හිනාවෙලා ඉන්න කැමේලියා’ ඔහු හෙමින් හෙමින් දබරඟිල්ල මගේ තොල් මතින් පහළට ගෙන ගොස් පසුව නිකටින් අල්ලා ගත්තේය. ඒ රළු තොල්වලින් මාව සිප ගනිද්දී මම තවත් ඔහුට තුරුළු වූයෙමි.

‘ආදරෙයි ගොඩාක් කැමේලියා’

‘මමත්’

‘බිය නොවී ඉන්න. සුභ රාත්‍රියක් කැමේලියා’

‘සුභ රාත්‍රියක් වුල්ගාරිස්’

ඔහු නොපෙනී යනතුරු එදෙස බලා සිටි මම අනතුරුව මගේ කුළී නිවසට පැමිණ රාත්‍රී ආහාරයද ගැනීමෙන් පසු ඇඳට පැන්නෙමි. මේ වනවිටත් වුල්ගාරිස් කෙටි පණිවිඩ කිහිපයක්ම ජංගම දුරකථනයට එවා තිබුණි.

‘සුභ රාත්‍රියක් වුල්ගාරිස්’

මමද ඔහුට කෙටි වණිවිඩයක් යවා නිදාගත්තෙමි. පහුවදා අවදිවනවිට උදේ හතට ආසන්න වී තිබුණි. නිවාඩු දිනයක් වූ නිසාම ප්‍රමාද වී අවදිවීම පිළිබඳව කළබල විය යුතු නැත.

මුහුණ සෝදාගෙන තේ කෝප්පයක් පිළියෙල කරගත් මම නිවාඩු දින සුපුරුදු ලෙස ගෙවත්තට යාමට සිතාගත්තෙමි. ඩුබියා ආදරයෙන් සාත්තු කෙරූ ලිලී සහ ටියුලිප් මල් කැකුළු බලනාතුරු ඉවසුමක් නැත. මම ප්‍රධාන දොර විවර කෙරුවෙමි. එවිට මට දක්නට ලැබුණේ අදහාගත නොහැකි දසුනකි.

තේ කෝප්පය මා අතින් ගිලිහී බිම පතිතවිය.

‘ද්… දෙවියනේ… රතු රෝස…..’

රතු රෝස මල් පොකුරක් දොර ඉදිරියේ තිබූ අතර මිදුලේ ලියා තිබූ ඒ වැකිය දුටු මම භීතියට පත් වූයෙමි.

—සැහැල්ලුයි, මරණය බර නෑ—

http://dumimda.blogspot.com/2018/04/blog-post_21.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල