ඉතිහාසය

සෞන්දර්යය අධ්‍යාපනයට තෝතැන්නක් වූ හොරණ ශ්‍රීපාලියේ, ‘උපාසනය’

0

අධ්‍යාපනයේ පරමාදර්ශී මුලිකාංග වශයෙන්, ඉගෙනුම ලබන ශිෂ්‍යයා තුළ දැනුම, කුසලතා සහ ආකල්ප (knowledge, skills and attitudes) යන ත්‍රිත්ව සංවර්ධනය සිදුවිය යුතු බව සම්මත පිළිගැනීමකි. එහෙත් මෑතකදී සිට නව තාක්ෂණ මෙවලම්ද අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ශීඝ්‍රයෙන් සම්බන්ධ වීම නිසා මහත් පෙරළියක් සිදු වෙමින් පවතින බැවින්, නිර්මාණශිලිත්වය (creativity) නමින් නව අංගයක්ද එයට එකතු වී, මුලිකාංග චතුර්තයක් ලෙස පිළිගතයුතු බව සාධාරණීකරණය වී තිබේ.

එහෙත්, එකිනෙකා පරයා යමින්, දුවන්නන් වාලේ දුවන සමාජයක ඉහත දැක්වූ අධ්‍යාපන සිද්ධාන්ත වලට පටහැනි බොහෝ දේවල්, ඊනියා අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළම විද්‍යාමාන වෙමින් පවතී.

මෙවන් පසුබිමක් යටතේ වුවද, දිවයිනේ ප්‍රසිද්ධ ජාතික පාසැලක් වන, හොරණ ශ්‍රීපාලි විද්‍යාලයයේ, සම්ප්‍රදායට මුල් තැන දෙමින් කරගෙනයනු ලබන, ඉතාමත් චමත්කාරජනක ‘උපාසනය’ ඕනෑම කෙනෙකුගේ සිත් ඇදගන්නාසුළු සංදර්ශනයකි.

‘උපාසනය’ යන නමින් හැඳින්වෙනුයේ විදුහලේ උදය රැස්වීමයි.

ශ්‍රීපාලි විදුහලට දීප්තිමත් අතීතයක් තිබේ. එහි නිර්මාතෘ වරයා හොරණ පදිචිව සිටි ප්‍රභූවරයෙකු, දේශපාලනඥයෙකු, මානව හිතවාදියෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකු වූ විල්මට්. ඒ. පෙරේරා මැතිතුමාය. එතුමාගේ ආරාධනය පරිදි 1934 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි, භාරතයේ මහාකවි ගුරුදේව් රබින්ද්‍රනාත් තාගෝර් ශ්‍රීමතාණන් විසින් විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබා සිහිවටනයක් ලෙස සියඹලා පැලයක්ද ‌ රෝපණය කරන ලදී.

ඒ සමගම සිසුන් හය දෙනෙකුගෙන් විදුහල ආරම්භ කර, එතුමා විසින්ම විදුහලට තබා ඇති ‘ශ්‍රීපාලි’ යන නම, වංග භාෂාවෙන් ‘චමත්කාරය රජයන දෙවොල’ යන අරුත ගෙනදේ. මහා කවියෙකු මෙන්ම සෞන්දර්යය රසාස්වාදකයෙකුද වූ රබින්ද්‍රනාත් තාගෝර් වියතාණන් විසින් නිර්මාණය කරන ලද භාරත ශාන්ති නිකේතනයේ ආකෘතිය අනුව ශ්‍රීපාලි විදුහල ගොඩනැගීම ආදී කර්තෘවරයාගේ අභිප්‍රාය විය. ශ්‍රීපාලියේ උදය රැස්වීම වන ‘උපාසනය’ අනිකුත් බොහෝ විදුහල්වල උදය රැස්වීම් වලට වඩා වෙනස් ස්වරුපයක් ගනී. ප්‍රධාන රැස්වීම් ශාලාවක් තිබියදීත් සතියකට වරක්, විදුහල් භුමිය මධ්‍යයේ පිහිටි ‘උපාසන මළුවේ’ පැවැත්වෙන රැස්වීම විචිත්‍ර සංදර්ශනයකි. උපාසන මළුවේ ඉදිරියෙන්ම ඇත්තේ කුඩා වේදිකාවක් වන ‘උපාසන පීඨිකාවයි’.

තාගෝර් තුමා විසින් රෝපණය කරන ලද සියඹලා ගස දක්වා, උපාසන මළුව විහිදී යයි. මේ සියඹලාව අද වයෝවෘද්ධ රූස්ස ගසකි. උපාසන මළුව වටා සහ විදුහල් බිමේ තවත් ස්ථාන කිහිපයකම, මුළු ගසම රෝස පැහැති මලින් බරවන Tabebuia rosea ශාක සමුහයක් තිබේ. විදේශීය ශාකයක් වන මෙය ‘රොබොරෝසියා’ යන අන්වර්ථ නාමයකින් හැඳින්වීමට ශ්‍රී පාලියේ කවුරුත් පුරුදුව සිටිති.

උපාසන මළුව වටා ඇති ‘රොබොරෝසියා’ ගස් මලින් බරවී තිබෙන මැයි මාසයේදී ගස් යට වැටෙන මල් වලින් තවත් විශ්මිත දේ කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙළඹෙති.

උපාසන දිනයේ උදෙන්ම පාසලට පැමිණෙන ඔව්හු බිම වැටී ඇති ‘රොබොරෝසියා’ මල් අහුලා, ඒවායින් උපාසන මළුව බෑවුමේ සිත් ඇදගන්නාසුලු නිර්මාණ සකස් කරති. එසේ කරන ලද එක නිර්මාණයක ඡායාරුපයක්‌ පහත දැක්වේ.

උපාසන සීනුව නාද වූ විගස, පන්ති කාමර තුළ සහ පාසල් වත්තේ විසිරි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දුව විත්, තම පන්ති සගයින් සමග පන්ති අනුපිළිවෙලට උපාසන මළුවේ පෙළ ගැසෙති.

ආචාර්ය මණ්ඩලය උපාසන මළුවේ පැත්තක ඇති උස් බිම් තීරුවේ සිට ගනිති.

විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති වරයෙකු සහ විශේෂ අමුත්තෝ සිටිතොත් ඔවුන්ද, උපාසන පීඨිකාව මතට පැමිණෙති.

ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු විසින් මහත් භක්තියකින් වඩමවාගෙන එනු ලබන, විද්‍යාලයේ ආචාර්ය ස්වාමින් වහන්සේ නමක්, පීඨිකාවේ අසුන් ගනිති.

උන්වහන්සේ විසින් පිරිස තිසරණ සහිත පංච ශීලයේ පිහිටුවා, කෙටි අනුශාසනාවක්ද කරති. ඉන්පසු, විදුහල්පති තුමාගේ කෙටි දේශනයකින් මුලික කටයුතු නිමාවට පත්වේ. විදුහලට පැමිණෙන විශේෂ අමුත්තෝද බොහෝ විට සිසුන්ට දැක ගැනීම පිණිස උපාසන පීඨිකාවට කැඳවනු ලබති.

විද්‍යාලයයේ පැවැත්වූ උත්සවයක් සඳහා, එසේ පැමිණි සුවිශේෂී අමුත්තන්ගේ ඡායාරුපයක්‌ පහත දැක්වේ.

උපාසනය අවසන් වනුයේ තවත් අති රමණිය ශිෂ්‍ය සංදර්ශනයකින්ය. විදුහල්පතිතුමා විසින් දිනයේ උපාසනය අවසන් බව නිවේදනය කළ විගසම, සිසුහු සියල්ලෝම සිව් දෙනා බැගින් පෙළ සෑදී, තාගෝර් තුමා විසින් වංග භාෂාවෙන් රචිත ‘අධ්‍යාපනයේ මිහිර’ දනවන ගී කිහිපයක් සහ එම තනු වලටම අදාලව, සිංහලෙන් සකස් කළ දේශීය ගී කිහිපයක්ද, ගයමින් උපාසන මලුව වටේ සහ ඉන් ඔබ්බෙහි ඇති සක්මන් මගෙහි ගොස් විදුහලේ ‘නිමාලනී’ ප්‍රධාන ශාලාව ඉදිරිපිට සීරුවෙන් සිට ගනිති.

මෙහි සිට සියලු දෙනාම විදුහලේ සිසුවන්ගේම වයලීන සහ බටනලා වාදනයකට අනුව, පාසැල් ගීය සහ ජාතික ගීය ගායනා කර, විදුහලට ආවේනික උරුමයක් වන උපාසනය අවසන් කර තම පන්ති කරා පිය නගති.

මා, ප්‍රදේශයේ අධ්‍යාපන නිලධාරිවරයෙකු ලෙස සේවය කරන කාලයේ, ශ්‍රීපාලියේ විදුහල්පතිව සිටි, ගාමිණි ගුණරත්න මහතා මගේ කුළුපග මිත්‍රයෙකි. ඔහුගේ කාරුණික ඇරයුම පරිදි, කිහිප අවස්ථාවකදීම විදුහලට ගිය මම, ‘උපාසනය’ රිසි සේ නරඹා මහත් සතුටට පත්වී ඇත්තෙමි.

1976 වසරේදී උපකෘත පාසල් රජයට පවරා ගැනීමේදී, ශ්‍රීපාලි ආයතනයේ විද්‍යාල අංශය පමණක් රජයට ලබාගෙන, එය ද්විතිය විදුහලක් බවට පත් කරන ලදී. ශ්‍රීපාලි නමින්ම කළා ශිල්ප සහ සෞන්දර්යය ආයතනයක් ලෙස ඉදිරියටත් සංවර්ධනය වූ, ශාන්ති නිකේතන ආකෘතියේ කලායතනය, පසුව, කොළඹ විශ්ව විද්‍යාලයයේ සෞන්දර්යය පීඨය ලෙස පිළිගැණින.
අද එය සෞන්දර්යය සහ කළා ශිල්ප උපාධි, ලබාදෙන විශ්ව විද්‍යාලයයකි. ශ්‍රීපාලි කළා ශිල්ප සහ සෞන්දර්යය ආයතනය විශ්ව විද්‍යාල තත්ත්වයට පත්වීමෙන් පසුව, එම පරිශ්‍රමයේම වෙනම ආයතනයක් ලෙස දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙමින් තිබේ.

ඒ සමගම, ශ්‍රීපාලි විද්‍යාලයය දශක හතක පමණ කාලයක සිට නොකඩවා ගෙන ආ ‘උපාසනය’ නම් චමත්කාරජනක උදය රැස්වීම, සම්ප්‍රදායික ආකාරයටම ගෙනයාම පිළිබඳව, එයට සම්බන්ධ සියලු දෙනාටම ප්‍රණාමය පුද කෙරේ.

(ඡායාරුප, ස්තුති පූර්වකව, ශ්‍රීපාලි විදුහලේ ආදී ශිෂ්‍ය නයන මධුවන්ත වීරසේකරගේ face book සටහනකිනි. සමුහ ඡායාරුපය අන්තර්ජාලයෙනි.)

http://dayawee2.blogspot.com/2018/05/blog-post_21.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල