අධ්‍යාපනික, සංචාරක හා ඡායාරුප

මැදිරිගිරිය වටදාගේ – MADIRIGIRYA WATADAGE

Off

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අර්ධ වශයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පළමු වරට මුදල් නෝට්ටු නිකුත් කළේ 1951 වසරේදීය. ඒ නෝට්ටුවලට යෙදීමට එවකට මහා බ්‍රිතාන්‍යයේ රජු වූ ජෝර්ජ් රජුගේ හා ශ්‍රී ලාංකික උරුමයේ ඉතා වැදගත් ස්ථාන කීපයක පින්තුර පලකිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් ඒ නෝට්ටු සමහරක් ජෝර්ජ් රජු 1952 දී මිය යාම නිසා නිකුත් නොකරන ලදී. එසේ නිකුත් නොකරන ලද රුපියල් දෙකේ මුදල් නෝට්ටුවේ හා පසුව 1952 දී දෙවන එළිසබත් රැජින ගේ රුව සහිතව නිකුත්කළ දෙවන කාණ්ඩයේ මුදල් නෝට්ටුවල සිට 1965 වසරේදී බණ්ඩාරනායක මහතාගේ රුව සහිතව නිකුත්කළ පස්වන කාණ්ඩයේ මුදල් නෝට්ටු දක්වාම සියලුම කාණ්ඩවල රුපියල් දෙකේ නෝට්ටුවේ ශ්‍රී ලාංකික උරුමය සනිටුහන් කිරීම සඳහා පලකොට තිබුනේ මැදිරිගිරිය වටදාගේ දැක්වෙන පින්තුරයකි.

රුපියල් දෙකේ නෝට්ටුවේ දැක්වෙන මැදිරිගිරිය

එවන් වැදගත් කමක් ඇති මැදිරිගිරිය වටදාගෙය පින්තුරයකින් විනා හැබැහින් දැක ඇත්තේ සුළු පිරිසක් විය හැකිය. ඒ බොහෝ දෙනෙකු පොළොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට හා දැකබලා ගැනීමට දක්වන උනන්දුව ඒ ආසන්නයේ පිහිටි මැදිරිගිරිය කෙරෙහි නොදක්වන බැවිනි.

එහෙත් මැදිරිගිරියට බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මේ සිද්ධස්ථානය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවස දක්වාම ක්‍රියාත්මකව පවත්වාගෙන ගොස් ඇත. අතීතයේදී මණ්ඩලගිරි, මැඩිලිගිරි ආදී නම් වලින් හඳුන්වා ඇති මේ සිද්ධස්ථානය පළමුවෙන්ම කවුරුන් විසින් ගොඩ නගන ලද්දේ දැයි අවිනිශ්චිතය. දෙවන සියවසේ අග භාගයේදී කනිට්ඨ තිස්ස රජුත්, හත්වන සියවසේ මුල් කාලයේදී දෙවන අග්බෝ රජුත්, නවවන සියවසේ මැද භාගයේදී දෙවන සේන රජුත් මෙහි ඉදිකිරීම් කළබව මහා වංශය කියයි.

The entrance door

එකොලොස්වන සියවසේදී පළමුවන විජයබාහු රජු මේ විහාරය ප්‍රති සංස්කරණය කල බවද සඳහන්වේ. මේ ස්ථානයේ තිබූ සෙල් ලිපියක් අනුව මෙහි ඉතා දියුණු සිද්ධස්ථානයක් හා දියුණු රෝහලක් තිබුණු බව හෙළිවේ.13 සියවසේ මාඝ ආදී ආක්‍රමණ නිසා රජරට අතහැර සිංහලයන් දකුණට පලාගියෙන් මේ සිද්ධස්ථානය පසුව වල්බිහි වින.

මහා වන පියසක් මැද හුදකලාවූ මේ ඓතිහාසික භුමිය 1897 දී පමණ H.C.P. බෙල් මහතා විසින් සොයා ගන්නා ලදී. 1939 දී මේ පෙදෙස පුරාවිද්‍යා සංරක්‍ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත්කෙරින. 1941 දී මේ භුමියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, පාරක් තොටක් හා බීමට ජල පොදක් පවා නොමැති මිනිස් වාසයෙන් තොර මහා වන මැද පිහිටි මේ භූමිය පාදාගෙන ප්‍රතිසංස්කරණය කිරීම මහත් දුෂ්කර කටයුත්තක් වූ බව සෙනරත් පරණවිතාන මහතාගේ වාර්තාවලින් පැහැදිලිවේ. මැලේරියා වසංගතය හා 1941 ලෝක යුද්ධය මේ කටයුතු තවත් ව්‍යාකුල කරවන්නක් වී ඇත. කෙසේහෝ පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන සැලසුම් කරුවෙකු වූ W. E. ප්‍රනාන්දු මහතා ඇතුළු පුරාවිද්‍යා කාර්යමණ්ඩලයේ කැපවීම හා අප්‍රතිහත ධෛර්යය නිසා අද මේ අලංකාර පින්බිම අපට දැකගත හැකිව තිබේ.

රෝහලේ තිබුණු බෙහෙත් ඔරුවක්

මේ පින් බිමට මට යාමට හැකිවුයේ 2016 පෙබරවාරි මස තුන්වැනිදාය. ඒ ගමනේදී මා දුටු දේ හා සොයාගත් කරුණු කෙටියෙන් මෙසේය.

මැදිරිගිරිය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති අලංකාර වටදාගෙය නිසාය. මැදිරිගිරිය වටදාගෙය පැරණි වාස්තුවිද්‍යාවේ හා ගෘහනිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයකි. මෙය භුමි මට්ටමට වඩා ඉහලින් ගල් කුලක් මත ඉදිකර ඇති නිසා එහි ප්‍රෞඩත්වය කැපී පෙනුණි.

වටදා ගෙය ඉදිකර ඇත්තේ අඩි 91 ක් පමණ විෂ්කම්භය හා අඩි 14 -17 පමණ උස පනා බැම්මකින් ආරක්ෂාවී ඇති වටකුරු වේදිකාවක් මතයි. ඊට පිවිසීම සඳහා උතුරු දෙසින් ඇති අඩි 10 ක් පමන උස අඩි 5 ක් පමණ පළල ගල් උළුවස්සකින් ඇතුළුවී පියගැට පෙළක් නැගිය යුතුවීය. වටදාගේ බාහිර මළුවට ඇතුළු වූ විට දෙපස කැටයම් සහිත ගල් පීටිකා දෙකක් මත පුර්ණ ඝට දෙකකි.

පුර්ණ ඝට

ඉන් අනතුරුව පිය ගැට හතරක් නැග වටදාගෙයට පිවිසියෙමි.

වටදාගෙය මධ්‍යයේ අඩි 26ක් පමණ විශ්කම්භයෙන් යුත් ස්තුපයකි.එය වටදාගෙයට වඩා අවුරුදු 800 ක් පමණ පැරණි බව කියති. ස්තුපය ඉදිරිපස සිව්දෙසට මුහුණලා සමාධි පිළිම හතරකි.

සමාධි පිළිම

මෙය වජ්‍රසත්‍ව මණ්ඩලයක් බව කියති. උතුරට අධිපති අමෝඝ සිද්ධි, නැගෙනහිරට අධිපති අක්ෂෝබ්‍ය දකුණට අධිපති රත්නසම්භව හා බටහිරට අධිපති අමිතාභ යන බුද්ධ මණ්ඩලයෙන් විශ්ව්‍යාපි ධර්මකාය සංකේතවත් වන බව චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා පවසා ඇත. ඊට පිටතින් මනරම් කැටයමින් යුත් අට පට්ටම් හැඩයෙන් යුත් ගල් කණු පේලි තුනකි.

ඇතුලත වටය අඩි 9 ක් උස කණු 16 කින්ද, දෙවැනි වටය අඩි 16 ක් උස කණු 20 කින්ද, පිටත වටය අඩි 17 ක් උස කණු 32 කින්ද සමන්විතවිනි. මේ සෑම කණුවකම එකිනෙකට වෙනස් විසිතුරු කැටයමින් යුතුවේ. පිටත වටයේ කණු පෙළ අඩි 3 අඟල් 6 ක් පමණ උස ආවරණ වැටකින් බැඳීතිබෙනු දුටිමි. පිටත කණු පෙළ හා මැද අතර ගඩොල් වලින් කළ බිත්තියක් තිබී ඇත. මේ බිත්තියේ නටබුන් දක්නට ලැබුණි. මේ බිත්තිය හා කුළුණු මේ වටදාගෙයට ලි වලින් කළ කුටාගාර වහලක් තිබුණු බවට සාක්ෂි වේ.

මුල් යුගයේදී මෙහි තිබී ඇත්තේ දාගැබකි. ඊට වටදාගෙය තනා ඇත්තේ හත්වන සියවසේදීය. 4 වන අග්බෝ රජුගේ පුත්‍රයා වටදාගේ තැනුබව කියති. වටදා ගෙවල් තැනීම මහායාන අදහස් පිළිගත් අභයගිරි විහාරිකයන්ගේ උපදෙස් අනුව කළ බවට අදහසකි.

වටදාගෙයට වයඹ දෙසින් බුදු මැදුරු කීපයක් පෙනුණි. එහි පද්මාසන මත වැඩ හිඳින බුදු පිළිම කීපයක්ම දක්නට ඇත.

වටදාගෙයට උතුරින් වන කඳු ගැටය මත තවත් ස්ථුපයක් දක්නට ඇත.

මැදිරිගිරියේ පරිසර සුන්දරත්වයට පැරණි හෙළයන්ගේ නිර්මානාත්මක කුසලතාවය එක් කරමින් ඉදිකොට ඇති විශිෂ්ඨ වාස්තුවිද්‍යා සලකුණක් වූ මැදිරිගිරිය වටදා ගෙය තහවුරුකොට පවත්වාගෙන යාම පිළිබඳව අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි හා සිටින සියලු දෙනාට කෘතඥ විය යුතුය.

හිඟුරක්ගොඩ සිට ගමන්මග

සබැඳි අනෙක් වටදා ගෙවල්

දළදා මලුව – පොළොන්නරුව. DALADA MALUWA – POLONNARUWA
ගිරිහඬු සෑය – තිරියාය GIRIHANDU SEYA – THIRIYAYA

මැදිරිගිරිය වටදාගේ – MADIRIGIRYA WATADAGE

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල