කාලීන සංවාද

තිත්තවැල්ගොල්ලේ වධකයා

Off

මම ලඟදි දවසක පොඩි වැඩ වගේකට මිහින්තලේ ගියාම දවල්ට කන්ඩ වෙලාව එළඹුනා. මගේ මිතුරෙක් මාව එක්ක ගියා හරි අපූරු තැනකට. (ඒ තැන ගැන මම ලඟකදී බ්ලොග් අඩවියකත් කියවලා තිබුණු බව මතක නමුත් ඒ කොයි බ්ලොග් එකේද කියලා හොයා ගන්ඩ බැරි උනා). එතැන තමයි ඔරිජිනල් නෙලුම් කොළේ කියන කෑම කඩේ. රඹෑව ටවුන් එක ළඟ තියෙන්නේ. ඉතාම සුන්දර අත්දැකීමක් එහෙම ව්‍යවසායකයෙක් දකින්ඩ ලැබීම. ඊට අමතරව තව වැදගත් දෙයක් උනේ ඒ කෑම කඩේ තිබුණු දැන්වීමක්.

හරියටම වචන මතක නැති උනත් එයින් කියැවුනේ මෙහෙම අදහසක්. “වැරදි කල අයෙකුට සමාව දිය හැක්කේ ශක්තිමත් පුද්ගලයෙකුට පමණි”. මම කල්පනා කළා ඒක ඇත්තද කියල. වෙන කෙනෙක් ගැන හිතනවට වඩා තමන් උපමා කරලා යමක් හිතන්ඩ කියලනේ බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ…ඉතිං මම මං ගැනම කල්පනා කරලා බැලුවා. මට වැරද්දක් ඒත් මගේ හිතේ පැහැවන තරහක් තියන කෙනෙක් කවුද?

ඔන්න එතකොට මතක් උනා කලාබර ගැන. කැමතිද ඒ කතාව කියවන්ඩ.

අපේ රටේ තියන ‘විද්‍යාත්මක’ තීරණ ගැනීමේ දක්ෂතාව හිංදා මාව රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තේරිච්ච කතාව මම මීට ඉස්සරත් කියල තියනවනේ. ඒ ගැන ආයෙත් බලාගන්ඩ ඕන නං මෙන්න ඒ ලිපියට සබැඳිය. රුහුණ කියන්නේ ඒ කාලේ ජෙප්පන්ගේ තිඹිරිගෙය කියලයි අපි අහලා තිබ්බේ. ජෙප්පෝ අලුත් එකෙකුට ‘කොක්ක’ ගහන්නේ රැග් එක හරහාලු. ඉතිං මේ ‘ප්‍රත්‍යක්ෂ’ ඇසුරෙන් ගොඩ නගපු අපේ බලාපොරොත්තුව උනේ රුහුණේ දී ජෙප්පෝ අපිට අම්බානකට රැග් කරනු ඇති බව. ඔය කාලෙදි පේරාදෙණියේ ඉංජිනියරින් කරපු වරප්‍රකාෂ් මරා දැමෙනවා. ඒත් රැග් වෙමින් සිටියදී. ඉතින් පේරාදෙණිය වගේ තැනකත් මැරෙන ලෙවල් එකට රැග් එක සිද්ධ වෙනවා නං රුහුණේදී අපිට අබ සරණයි කියලා සූදානං සරීරෙන් තමයි කොල්ලා මාපලානට ගියේ.

පළවෙනි දවස හරි ෂෝක්. කිසි රැගක් නෑ. අපිට හොස්ටල් හම්බ වෙලා නොතිබ්බ හිංදා අපි හිටියේ පිට බෝඩින් වල.

“සහෝදරයා සහෝදරිය උඹලා වගේ අලුතෙන් මේ විශ්ව විද්‍යාලයට පය තබන නවකයන්ට නේවාසික පහසුකම් ලබා දෙන්න මේ පාලනාධිකාරිය අසමත් වෙලාතියනවා. අපි ඒ ගැන සටන් කරනවා. ඒත් ඒ සටන දිනන්ඩ තව කල් යයි. ඒ වෙනකොට සමහර විට උඹලා දෙවෙනි අවුරුද්දට ඇවිල්ලා තියෙයි. එතකල් උඹලාව බෝඩින් වල තියන්ඩ අපිට බෑ. අපේ කාමර වලට උඹලා වරෙල්ලා. අපි තියන හැටියකට බෙදාගෙන ජීවත් වෙමු. එහෙම එකට ඉන්න කොටයි අපි එකිනෙකා හොඳට අඳුනා ගන්ඩ පුළුවන් වෙන්නේ” එහෙම කිව්වේ ජිල්බා. ශිෂ්‍ය සංගමේ සභාපති අයියා!!

වරේවා!…වරේවා!!! කවුද ඩෝ කිව්වේ ශිෂ්‍ය සංගමේ ඉන්නේ ජෙප්පෝ කියලා. මේ ඉන්නේ එල චරිත නේ…බොක්ක උනත් ෂෙයා කරන්ඩ කැමති අයියලානේ මේ… අපි හිතුව විදිහ කොච්චර වැරදිද? අපිට හිතුනේ එහෙමයි. ඉතිං පහුවදාම අපි ඔක්කොම කැම්පස් එක ඇතුලේ තිබ්බ හොස්ටල් වලට ආවා.

එදා දවල් කන වෙලාවේදී රැග් එක පටං ගත්තා. හරියට ගුහාව ඇතුලට හා පැටියා එනකල් බලාගෙන හිටපු නරි රංචුවක් වගේ ඊයේ හිටපු අයියලා අක්කලා අපිව වට කර ගත්තා.

පර බල්ලෝ දණ ගාගෙන පලයවූ කැන්ටිමට…එහම අණ නිකුත් වෙනකොට අපි හිටියේ බොරළු පාරක

අනේ අයියේ….

අයියේ..කවුද හු*** අයියා?. ජේෂ්ට උත්තමයා කියාපිය! අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් බෙරිහන් දුන්නා. ඔන්න එතන ඉඳන් අපේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ උත්තමාවියෝ අපිව කරන්ඩ පටන් ගත්තා.

දවල් කෑම පාර්සල් මේස දෙකක් උඩ එලපු කඩදාසි කොළ දෙක තුනක් උඩට එක ගොඩකට හලන්ඩ නියම උනා. ඊට පස්සේ ඒ ඔක්කොම එකට අනන්ඩ. ඊට පස්සේ එක එක බත් ඇටේ ගණනේ අරගෙන කන්ඩ. ඉස්කෝලෙදි එකට කාලා හුරුව තිබ්බ මට නං එක ගොඩකට ගහලා අනපු බත් කන එකේ එච්චර අජූවක් දැනුනේ නෑ. හැබැයි එක බත් ඇටයක් කාලා තව එකසිය පනහක් විතර පෝලිමේ ගිහිං බත් ඇටේ ගානේ අරං කන කල් බඩ ගින්නේ ඉඳීම නං මට අමාරු උනා. හැබැයි සමහර සහෝදරියෝ විතරක් නෙවෙයි සහෝදරයන්ටත් එක ගොඩකට දාලා අනපු කෑම කන එක හරිම අමාරු කාරණයක් උනා. සමහරු වමනේ දැම්මා. එතකොට අමු තිත්ත කුණු හරුප වැලක් අහ ගන්ඩ පුළුවන්. එදා දවල් වරුවටම බත් ඇට දහය දොළහකට වඩා කන්ඩ හම්බ උනේ නෑ. අපි ඔක්කොම එක බත් පාර්සලයක් කන්ඩ ඇති. අනිත් සිය ගානම කුණු කූඩෙට!!

නවක හඳුනා ගැනීම ආරම්භ උනේ එහෙමයි!

එදා රෑ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ හොස්ටල් එකකට ගාල් කරපු කොල්ලෝ ටික ඔක්කොම නිගන්ඨ ආගමට හරවන්ඩ ඒ උත්තමයෝ කාරුණික උනා. එහෙමනේ සමානාත්මතාව පුරුදු පුහුණු කරවන්ඩ ඕන! ගල් බැමි උඩ දණ ගසා සිටීම්, එහෙම දණ සිටිමින් උඩ පැනීම් (එතකොට දණිස් තුවාල වෙනවනේ කියල කවුද අහපු එකා….යකෝ එහෙම නැත්තං කොහොමද දන්නේ හැම එකාගෙම දුවන්නේ රතු පාට ලේ ද කියලා?….දණිස් පලා ගලකින්…… බලන් රුහිරූ එක රතු පාටින් ගලා හැලෙන අයුරූ…..), හොස්ටල් එකේ කොමන් රූම් එක ස්විමිං පූල් එකක් කියලා හිතාගෙන නිර්වස්තරෙන් බඩ ගෑම්, හිටපු ගමන් එකෙක් දෙන්නෙක් මිදුලේ වැලි උඩ විශේෂ පිහිනුම් සැසි සඳහා සහභාගී කිරීම් වැනි එකී නොකී මෙකී දහසක් අලුත් සෙල්ලං අපි ඉගෙන ගත්තේ අර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට පිහිට වෙන්ඩ. අපි එහෙම සෙල්ලං කරන කොට ඒ උත්තමයෝ අමු තිත්ත කුණුහරුප කියමින් අපිව උද්‍යෝගිමත් කළා. හරියට ඔලිම්පික් බලන ග්‍රීක දෙවිවරු වගේ ඒ උත්තමයන්ගේ මුහුණු වල සතුට දොරේ ගියා. අපෙන් දෝරේ ගියේ කඳුළු සමග ලේ.

අපි එදා නින්දට වැටෙන කොට රෑ දොළහත් පහු වෙලා. එදා රෑටත් කෑම බත් කටකට දෙකකට වැඩි නෑ. බඩගින්නත්, ශාරීරික හා මානසික තුවාල හිංදා දැනුණු වේදනාවත් අපිව වේදනාවට පත් කළා. ජීවිතේම වේදනා විඳගෙන ඉගෙන ගෙන කැම්පස් එකකට ආවේ මේකටද?

සීතල වතුර පාරකින් අපිව ඇහැරුනේ පහුවදා උදේ පාන්දර හතරට විතර.

@##$$%^^&&&&***(****()**)(&*^(^%^%&^$&$*(^(^(^(^(^^(^(…..!!!

ඒ වචන මම සිංහල බසින් ලියන්නේ නැත්තේ කිසිම මනුස්සයෙකුට ඒ වගේ දේවල් අහන්ඩවත් දකින්ඩවත් නොලැබිය යුතු හිංදා. සරලව ගත්තොත් ඒ අපි ඇඳගෙන හිටපු සරං ජටාවක් විදිහට ඔලුවේ බැඳගෙන හොස්ටල් එක ඉස්සරහා පිට්ටනියේ පෝලිං ගැහෙන්ඩ අණක්. උත්තම අණ දෙන නිලධාරියා අඩි පහ මාරකට ටිකක් වැඩියෙන් උස, උසට හරියන මහතක් තිබුණු සුදු පාට ජෙනරාල් කළාබර ගෙන්. (ඒ කාලේ මම එතුමාගේ කාඩ් එක දැනගෙන හිටියේ නෑ. ඒක දැනගත්තේ රැග් එක ඉවර උනාට පස්සේ). අපි කිලෝ මීටර් දෙක තුනක් මේ පාන්දර දුවවන එක තමයි එතුමාගේ විනෝදාංශය. ඊට පස්සේ උදෑසන සරඹ කරවීම්. ඊට පස්සේ දෙතුන් දෙනෙක්ගේ වැලමිටි, දණිස් ආදියෙහි ලේ ගලන බව සහතිකව දැන ගැනීම පිණිස තුවාල සිදු කිරීම්. ඊට පස්සේ අපිට පැය කාලක් විතර හම්බ වෙනවා උදේ ඉංග්‍රීසි කඩිනම් පාඨමාලාවට සහභාගී වීමට යන්ඩ වෙලාවක්.

කැන්ටිමෙන් උදේ කනකොට කලාබර තුමා දෙතුන් දෙනෙක් ගේ පිඟන් වලට වතුර දාන්නේ හොදි මදි හින්ද වෙන්ඩ ඕන. ඊට පස්සේ ෆැකල්ටියේ කොමන් රූම් එකේ තියන යකඩ පුටු අස්සෙන් රිංගලා බඩ ගාමින් තමයි අපි ඉංග්‍රීසි ක්ලාස් යන්ඩ ඕන. ඉතින් එතකොට ෂර්ට් එකෙයි කලිසමෙයි පොලිෂ් ගෑවිලා දුඹුරු රතු පාටක් ගන්නවා. එක අතකින් ඒක හොඳයි. නැත්තං අපේ කමිස කලිසං වල තියන ලේ පැල්ලම් දැක්කොත් අපිට ඉංග්‍රීසි උගන්නන උත්තමයෝ බයවෙලා පාලනාධිකාරියට රපොර්තු කරන්ඩ පුළුවන් නේ. අනේ ඉතිං මොකටද කාටවත් කරදර කරන්නේ!!!!

දවස දෙක තුන ගෙවිලා ගියා. එක්කෙනා දෙන්නා තුන්දෙනා ඉස්පිරිතාල වල පිහිට හෙව්වා. මේ වෙනකොට අපේ නිළ වධකයා කළාබර බව අපිට තේරිලා තිබුනා. මේ අස්සේ අපිට යන්තමින් වත් බුරුලක් දුන්නු, අපේ දුක සැප හොයලා බලපු අයත් නොහිටියා නෙවෙයි. පොරමඩුල්ල සෙන්ට්‍රල් එකෙන් ආපු කණ්ඩියා එහෙම කෙනෙක්. දැන් ඔහු කැළෑ කන්තෝරුවේ නිළයක් දරනවා. තව හිටියා මැඩෝනා කියල අක්කා කෙනෙක්. අර මම මුලින් කියපු ශිෂ්‍ය සංගම් සභාපති ජිල්බා පස්සේ කාලෙකදී මේ අක්කව කසාද බැන්දා කියලා දන්නවා මිසක් වැඩි විස්තරයක් දන්නේ නෑ. අර අපායේ උනත් මිනිස් දෙවිවරු හිටපු බව කියන්නයි මම එහෙම සඳහන් කලේ. තව කට්ටියක් හිටියා රැග් එකට විරුද්ධ. හැබැයි ඒ අය අපිට විශේෂ උපකාරයක් කලෙත් නෑ. හැම දේම නොපෙනුනා, නෑසුනා වගේ හිටියා.

ඒ කොහොම උනත් දින සති ගණන් වලට පෙරලේද්දී කළාබර ගේ ලේ සහ කඳුළු පිපාසෙ තව වැඩි උනා. ඔහුගේ සහයට බාවා වගේ චරිතත් එක්කහු උනා. දිව්‍ය ලෝකේ එක්තරා දෙවි වරු කොටසක් ඉන්නවලු අබ්භාහාරක දෙවිවරු කියලා. ඔවුන් සන්තෝෂය මත යැපෙන අය. වෙනත් ආහාර ගන්නේ නෑ. ඒකෙ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි කළාබර. ඔහුට සතුට ගෙනාවේ අනෙක් අයගේ දුක් වේදනා. ටික දවසකින් මගේ කකුලේ උලුක් වීමක් වෙච්ච හිංදා මේ වධ වලින් ටිකක් බේරෙන්ඩ මට පුළුවන් උනා. ඉස්පිරිතාලෙන් දීපු බේත් මම පාවිච්චි කලේ නැත්තේ උලුක්කුවේ වේදනාව නැති උනොත් කලාබරගේ ගොදුරු බවට පත් වෙන්ඩ වෙන හිංදා.

සති තුනකට පස්සේ අපේ රැග් සීසන් එක ඉවර උනා. ඊට පස්සේ ඇඟේ පතේ තුවාල හොඳ උනාම මම ගෙදර ආවා. ඒත් තුවාල කැලලි පේන්ඩ තිබ්බ හිංදා අම්මා දැන ගත්තා මම විඳපු වද ගැන. දවසක් අම්මලාගේ ස්ටාෆ් එකේ සර් කෙනෙක් අපේ ගෙදර ආවා. ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක්. අම්මා ඇඬු කඳුලින් මගේ විස්තර කියනකොට එයා මෙන්න මෙහෙම කිව්වා.

මාත් දන්නා කෙනෙක් ඉන්නවා මාපලානේ. මගේ හිතේ දැන් දෙවෙනි නැත්තං තුන්වෙනි අවුරුද්දේ විතර ඇති.

ඒ කවුද සර්…මම ඇහුවා.

නම නං XXXX ගම තිත්තවැල්ගොල්ල. දඹුල්ල පැත්තේ.

අපි ඉතින් තාම නං දන්නේ නෑ. කාඩ් එක තමයි ටිකක් වත් දන්නේ….

මිනිහට තිබ්බේ හරි අමුතු කාඩ් එකක්…ඉන්ඩ බලන්ඩ මතක් කරන්ඩ….මගේ හිතේ කළාබර!

න්…..නෑ!

ඇයි ඔයා එයාව දන්නවද? මගේ නම කියන්ඩ එයා මාව හොඳට අඳුනනවා.

ඒ තමයි අපේ ප්‍රධාන වධකයා!!!

මම කළාබර ගේ වැඩ ගැන දාහෙන් එකක් කිව්වා. ඔක්කොම කියලා අහගෙන ඉන්න අය බය කරන්නේ මොකටද? මම කතාව කියන කොට සර් අඬන්ඩ පටන් ගත්තා.

ඔය ඇත්තද?

මම මොකටද බොරු කියන්නේ?

මම මේ කියන්ඩ යන කතාව අහගන්ඩ. එයා ශිෂ්‍යත්වේ පාස් වෙලා නුවර කිංස්වුඩ් එකට ආවා. කන්ඩ බොන්ඩ වත් තිබ්බේ නෑ. හරි අමාරුවෙන් ජීවත් උනේ. මායි අයියයි මෙයා විඳින දුක දැකලා අපේ ගෙදර එක්කගෙන ආවා. ඒ ලෙවල් කරන කල් අපේ අම්මයි තාත්තයි තමයි මෙයාට කන්ඩ අඳින්ඩ දුන්නේ. අපි උදවු කලේ අසත්පුරුෂ බල්ලෙකුට කියලා අපේ අම්මලාට කිව්වොත් ඒ අයගේ පපුව පැලෙයි!

මොනවා ඔය ඇත්තද?

සහතික ඇත්ත….හම්බ වෙච්ච දවසක අහලා බලන්ඩ මගේ නම කියලා.

ඊට පස්සේ සතියේ මම කළාබර ගෙන ඇහුවා අහවලා අඳුනනවාද කියලා. ඌ ටිකක් අමාරුවෙන් මතක් කරලා පිලි ගත්තා ඌට සැලකුවේ අර මම කියපු සර්ගේ දෙමව්පියෝ තමයි කියලා.

මම හිතා ගෙන හිටියට රැග් කරන්නේ ජෙප්පෝ කියලා කළාබර ජෙප්පෙක් නෙවෙයි. අඩු ගානේ ඌ එළිපිට ඒ බව පිළිගත්තේ නෑ. හැබැයි ඌ තමන්ට වඩා දුබලය්න්ව පෙළීමෙන් සතුටට පත්වෙච්ච මානසික රෝගියෙක්. මගේ හිතේ තමන් ජීවිතේ පුරා මූණ දීපු දුප්පත්කමේ ශාපයේ ඇරියස් එක තමන්ගේම පංතියේ එවුන්ගෙන් පහ කරපු බය ගුල්ලෙක්. අර සත් ගුණවත් පවුලකට මූව මුණ නොගැසුනා නං මේ වධකයා ලෝකෙට ඉතුරු වෙන්නේ නෑ. මගේ බැච් එකේ අයට ඌ හම්බ වෙන්ඩ කලින් කනත්තක වලකට ඔහුව හම්බ වෙන්න තිබ්බා එහෙම උනානං. අපේ පවට එහෙම උනේ නෑ.

කාලෙකට පස්සේ මට ආපහු කළාබරව හම්බ උනා. එතකොට ඔහු කෘෂිකර්ම දෙපාර්තමේතුවේ අම්පාරේ සේවය කරමින් හිටියේ.

ආ තිත්තවැල්ගොල්ලේ ජ්‍යෙෂ්ඨ තුමා…කොහොමද?

ඔ…ඔබතුමාට මගේ ගමේ නමත් මතකද?

(අපොයි ඔව්. මගේ දනිස්සේ තුවාල කැලලි මැකෙන්නේ නෑ නොව……) මම එහෙම කිව්වේ නෑ හිතුවා විතරයි. මොකටද කාටවත් රිදවන්නේ?

මට මතක් වෙනවා ප්‍රත්‍ය ශතකයේ පස්වෙනි ශ්ලෝකය.

උත්කෘෂ්ට මධ්‍යමනිකෘෂ්ට ජනෙෂු මිත්‍රං
යද්වත් ශිලාෂු සිකතාෂු ජලෙෂු රෙඛා
වෛරං ක්‍රමාදධම මධ්‍යම සජ්ජනෙෂු
යද්වත් ශිලාෂු සිකතාෂු ජලෙෂු රේඛා

උත්තම මධ්‍යම අධම යන මොවුන් කෙරෙහි කළාවූ උපකාරය ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳි රේඛාවක් මෙන් වන්නේය. විපර්යාස වශයෙන් අධම, මධ්‍යම උත්තමයන් කෙරෙහි කළාවූ ද්‍රෝහී කමුත් ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳි රේඛාවක් මෙන් වන්නේය.

ඉතින් මේ කතාව මතක් උනේ ඔරිජිනල් නෙලුම් කොළේ කඩේදී කිව්වනේ. ඇත්තටම මට ශක්තිය තිබ්බේ නෑ කළාබරට සමාව දෙන්ඩ. හැබැයි අර කඩේදී දැක්ක දැන්වීමත් එක්ක මට ඕන උනා ශක්තිවන්තයෙක් වෙන්න. ඒක හිංදා අන්තිම පාරට කතාව මතක් කරලා ලියන්ඩ ඕන උනා. දැන් මම ශක්තිමත්.

කළාබර මම ඔබට සමාව දෙනවා!! බොහෝ කළක් සුවෙන් ජීවත් වෙන්න. කාටවත් රිදවන්න එපා. ඒ රිදෙන මිනිස්සු දුර්වලයි නං ඔවුන් ඔබට සමාව දෙන එකක් නෑ….සංසාරය හරි බියකරුයි!!!!

https://kattakaduwa.blogspot.com/2018/06/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල