දේශපාලන

විජයකලා සම්බෝලයට ගැනීම සහ දයාපාල තිරාණගම

0

දයාපාල තිරාණගම ගැන මා අසා තිබුනේ රාජිනි තිරාණගම (රාජසිංහම්) නිසා යයි කිවොත් නිවැරදිය. හෙලන් ක්ලොදොව්ස්කි රාජිනි ගැන කළ වාර්තා චිත්‍රපටය (No more tears sister) නරඹා ඉන්පසු වෙනත් දිනෙක ලන්ඩනයේ වොල්තම්ස්ටෝව් වල දයාපාල තිරාණගම සහ ඔහුගේ දියණියන් දෙදෙනා රාජිනි ගැන කල සංවාදය නැරඹීමටද ගියෙමි. මා දයාපාල තිරාණගම මහතා ප්‍රථම වරට දුටුවේ එදිනය.

රාජිනි තිරාණගම ද එක්ව ලිපි පල කරන ලද “මානව හිමිකම් සඳහා වන විශ්ව විද්‍යාල ඇදුරන් ” ගේ වෙබ් අඩවිය UTHR අප ඒ දිනවල යාපනයේ සහ උතුරේ සිදුවන සිද්ධීන් ගැන දැන ගැනීමට කියවූ ප්‍රධානතම අපක්ෂාපාතී වෙබ් අඩවියක් විය.

එදින සංවාදයේදී “රාජිනි සැබවින්ම මරා දමන ලද්දේ දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින්මද , ඒ ගැන ඔබට සාක්ෂි තිබේද?” යන ප්‍රශ්නය මම ඇසුවෙමි. එය ඇසුවේ එංගලන්තයේ විසූ බොහෝ ද්‍රවිඩ පිරිස් එය එසේ බව නොපිළිගත් හෙයිනි. ඔහුගේ දියණිය බොහෝවිට මා LTTE සංවිධානයට පක්ෂ අයෙකු ලෙස සලකා පිළිතුරු දුන් බවක් පෙනුනි.

මා දැන සිටියේ කොටි සංවිධානය ජනතාව රැඳී සිටි කෝවිලක (නල්ලූර් කෝවිල විය හැකිය) සිට හමුදාවට ෂෙල් ප්‍රහාර එල්ල කල එතනින් ඉවතට දිව ගිය බවයි. ඉන්පසු හමුදාව විසින් එතනට එල්ල කල ෂෙල් ප්‍රහාර වලින් රැස්ව සිටි අහිංසක දමිළ ජනතාවෙන් සමහරක් මිය ගිය පසු කොටි සංවිධානය ඒවා වීඩියෝ ගත කර බටහිරට එවන ලද බවයි. රාජිනි දැඩි ලෙස මෙම ක්‍රියාවලිය විවේචනය කළ නිසා ඇය මරා දැමුණු බවයි.

විජයකලා කොටි සංවිධානය වැන්නක් නැවත අවශ්‍ය යයි කියන්නේත් දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දැඩි පාලකයෙක් අපේක්ෂා කරන්නේත් එකම හේතුවක් නිසාය. සමහරුන් හිට්ලර් ඉල්ලන තරමට මේ තත්වය දරුණු වී ඇත්තේ ඇයිදැයි හේතුව සොයනු මිස පණිවිඩය ගෙන ආ විජයකලා විවේචනය කිරීමෙන් පලක් නැත.

මේ ඇත්තේ රයිගමයා හා ගම්පලයා විසින් කද දෙපැත්තට ඇදීම නිසා කදය කොහේටවත් නොයන බව අවබෝධ කරගත නොහෙන නායක දෙපොළක් නිසා ඇතිවූ තත්වයක් පමණි. ඔවුන් දෙදෙනා සිතන්නේ පණිවිඩය ගෙනා විජයකලා ඉවත් කිරීමෙන් ප්‍රශ්නය විසඳෙනු ඇත කියානම් ඔවුන්ට වැරදී ඇති ප්‍රමාණය ගැන ඔවුන්ටම අවබෝධයක් ඇත්තේ නැත.

දයාපාල තිරාණගම මහතා මුහුණු පොතේ පළ කල මේ ලිපිය මෙහි පල කරන්නට සිතුවේ එහෙයිනි.

විජයකලා සම්බෝලයට ගැනීම සහ ජාතිවාදයේ නරුම සවභාවය

ද්‍රවිඩ කොටි සංවිධානය නැවත හිස එසවීම සඳහා ඇති ඉඩකඩ නැත්නම් ඒ සඳහා අවශ්‍යවන දේශපාලන අවකාශය හුදෙක්ම අද පවතින්නේ සිංහල ජාතිවාදයේ බියකරු සිහිනයක් ලෙස පමණක් වුවද ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වුවමනා වෙන් ම මග හැරිම නිසා ජාතිවාදීන් බියට පත්වී ඇති බව පෙනේ.

විජයකලාගේ දේශපාලන නොමෙරුම් කමේ මේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මහත්වරුන්ගේ අශෝභන සහ ද්වේශ සහගත හැසිරීම මගින් පෙන්වුයේ එයයි.එබඳු සැහැසි දර්ශන මේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ උරුමය ලෙස පවතින්නේ නම් අපේ රටේ ජනවාර්ගික සමගිය ට ඇති අභියෝගයන් කල්ප ගණනකට ඉවත් කල නොහැකි වනු ඇත.

කොටි සංවිධානය විසින් කරනලද තිරස්චීන ඝාතනයන් සහ ජනතා පීඩනය මම හෙලා දකින්නෙමි. මගේ බිරිඳ රාජනී මරා දැමුවේද ඔවුන් විසිනි .එ නමුදු 2009 දී ඔවුන් පරාජය කිරීම සමගිය සහ සංහිඳියාව ගොඩ නැගීමේ එකම කොන්දේසිය ලෙස පවත්වා ගැනීමට සිංහල දේශපාලන පංතීන් කැස කැවීම ද්‍රවිඩ ජනතාව අතර ප්‍රජාතන්ත්‍ර වාදය සහ සමානාත්මතාවය සදහා වූ සටන අති විශාල ලෙස ශක්තිමත් කරන සහ වලංගු කරන දේශපාලන අවකාශයක් නිර්මාණය වනු ඇත.මෙය විජය කලාගේ නන් දෙඩවීමට වඩා බලවත්ය.වලංගුය.

ද්‍රවිඩ කොටි සංවිධානයේ නොපනත්කම්වලට සහ විජයකලා වැන්නවුන්ගේ ලාබාල ප්‍රකාශයනට මුවා වී යුධයෙන් පසුව ද්‍රවිඩ ජනතාවගේ ජීවිතයට එල්ලවී ඇති බරපතල ප්‍රශ්නයන් අමතක කිරීම ද්‍රවිඩ අන්තවාදී කොටස්වල අභිප්‍රායන්ට ජීවය ලබා දීම හැර වෙන යමක් කල නොහැකිය.

සිංහල ජාතිවාදය මෙයට දශක ගණනාවකට කලින් සහ අද පවා තේරුම් නොගන්නා ප්‍රශ්නය මෙයයි. ඔවුන්ගේ නිවාස සහ දේපල අපසු ලබා ගැනීම,ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කරනලෙස ඉල්ලා සිටීම,අතුරුදහන් කල දහස් ගණනකගේ ප්‍රශනය,පියෙක් නැති මව් වරුන් පමණක් ඇති දස දස දහස් ගානක් පවුල්වල දුෂ්කර පැවැත්ම මෙන්ම අපේක්ෂා බංගත්වය විජයකලා ගේ නොමේරු ප්‍රකාශයට වඩා දේශපාලන ගතිකත්වයක් ඇති කරගත් දාට සිංහල ජාතිවාදයට නැවතත් ඉතිරිව ඇත්තේ ප්‍රචණ්ඩත්වයේ විසඳුම පමණක් බව පෙනී යනු ඇත.

-දයාපාල තිරාණගම

History of the Organisation – UTHR

https://kolambagamaya.blogspot.com/2018/07/blog-post.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල