කාලීන සංවාද

මා විසින් පැහැර හැරීම

Off

ඔබට මිතුරන් දහයක්, එක්‌ සතුරෙක් සිටියහොත් හිතේ වැඩිමනක් හොල්මන් කරනුයේ අර සතුරාය.

ඔබ හොඳ වැඩ දහයක් සිදු කර, එක් අවැඩක් කලොත් හිතට වැඩිමනක් එන්නේ අර එකම එක නරක කාරණාවය.

එබැවින්, පුණ්‍ය කටයුතු වේවා වැඩි ප්‍රමාණයකට දායක වී එක් අවස්ථාවක වුව එයින් යම් සිත්තැවුලක් සිදුවුවහොත් එය හිතට වද දෙනවා නොඅනුමානය.

මේ එබන්දකි,

ආගමට දහමට අපහාසයක් සිදු කිරීම මාගේ බලාපොරොත්තුවක් නොවන අතර, හුදෙක් එක් සිදුවීමක් පමණක්ද, සඳහන් කරන්නාවූ සිදුවීම් හා එබඳු පුද්ගලයින් ඉතාම අල්ප බවත් ආරම්භයේදීම සඳහන් කරනු කැමැත්තෙමි.

මා විදේශ ගතව රැකියාව කරන්නකු යනවග සමුහයේ බොහෝ දෙනෙකු දැනටම දන්නා කාරණයක් වන්නේ, විටින් විට මාගේ සටහන් තුලින් මා ඒ පිළිබඳව දක්වා සිටි බැවිනි. ඒ නැතා මේ සටහන කියවන්නකු ඒ පිළිබඳව මේ මොහොතේ සිට දැනුවත්ය.

විදෙස් ගතව වසර දහයකට ආසන්න කාලයක් ගතවුවද අදටත් මා කුඩා ඉඩමක පමණක් හිමිකරුවෙකි. මාගේ මෙන්ම බිරිඳගේද දෙමාපියන්ගේ වියපැහැදම් මාසිකව ලබාදෙන මා ලංකාවට පැමිණි විට නවතින්නේ ඔවුන් සමග වූ කුලී නිවසකය (දෙපාර්ශවයටම තමන්ගේය යන නිවසක් නොමැති බැවින්).

මාගේ මවු පිය පාර්ශවයන් දීර්ග කාලීනව මෙන්ම දැනටද පදිංචිය “රාගම” ප්‍රදේශයේ වන අතර, කෝට්ටේ මාදිවෙල මුල් පදිංචි කරුවන් වූ බිරිඳගේ දෙමාපියන් වත්මන වනවිට පදිංචිය “කොහිලවත්ත” ප්‍රදේශයේය.

අදාල ප්‍රදේශය ඔවුන් තෝරා ගනු ලැබුයේ, බිරිඳගේ නැගණිය විවාහපත්ව ඒ අවට සිටින බැවින් එය මාපිය දෙපලට ආරක්ෂාවක්, සහනයක් වන නිසාවෙනි.

නිවසටම ආසන්නයේ වූ පන්සලෙහි නම මා මතකයේ නොමැති අතර මතකයේ තිබුනද සඳහන් නොකරමි, නමුත් ප්‍රදේශය දන්නා උදවිය පන්සල හඳුනා ගනු ඇත.

අධික ලැදියාවක් ධර්මය කෙරෙහි ඇති මාගේ නැන්දනිය (බිරිඳගේ මවු) පිලිබඳ වර්ණනාවක් මෙහි නොකරමි, ඇය පුණ්‍ය කටයුතු වෙනුවෙන් මෙම පන්සල තෝරාගැනීම වත්මන වන විට මා මෙන්ම බිරිඳද අසතුට ප්‍රකාශ කොට ඇති මුත්. නිවාස ආසන්නයේ පිහිටීම එය තෝරා ගැනීමට එකම හේතුව වන්නට ඇත.

මාගේ බිරිඳ වසර තුනකට පෙර ගැබිනියක් බවට පත්වුයේ ඕමානයේදී වූ අතර ප්‍රසුතය සඳහා ලංකාවට පැමිණීම මුල සිට සැලසුම් කලේ ඇයගේ අභිමතයට ඉඩදෙනුවස්ය.

ප්‍රසුතියට දින වකවානු ආසන්නවත්ම කාත් කවුරුත් දන්නා පරිදි, “අංගුලිමාල පිරිත” ඇයට ශ්‍රවනය කරවනු වස්, ආරාධනා ලැබුයේ පෙර සඳහන්කළ පන්සලෙහි නායක ස්වාමීන්වහන්සේය.

මේ සඳහා සම්බන්ධ වූ නායක ස්වාමීන්වහන්සේ ඔය අතර තුරේ “අපේ විත්ති” විමසා දැනුවත් වුයෙන්, මා සඳහන් කිරීමට යත්න දරන්නාවූ කාරණය මතුවිය.

“උපාසක අම්ම මහත්තය විදෙස් ගතවෙලා හොඳ රස්සාවකුත් කරන එකේ, අපිට සුළු දායකත්වයක් දෙමුකෝ, අපි පන්සලේ …….. (මතකයේ නැත) කුටි ඉදි කරන්න පටන් අරන් තියෙනවා, එයින් එකක් භාර ගමුකො, මේවා මේ ආත්ම ගණනාවක් යහමින් දේපල ලබන්න කරුණු කාරණා යෙදෙන පුණ්‍ය කර්ම. වැඩි මුදලක් නෙවෙයි එක කුටියක සම්පුර්ණ වියදම ලස්ස පහයි. ඔබ තුමිල මුදලින් දායක උනාම අපි වැඩ කටයුතු කරලා ඔයෑයිල කැමති නමකින් එක නම් කරනව, පුර්ණ අනුග්‍රහය මෙහෙමයි කියල”.

අසරණ වූ බිරිඳගේ මුවින් දිගින් දිගටම පිටවුයේ “මහත්තයගෙන් අහල කියන්නම්, හාමුදුරුවනේ” යන වදන් පමණි.

ස්වාමින්වහන්සේගේ උනන්දුව උත්සාහය නතර නොවුණු අතර පන්සලේහිදී නැන්දනිය හමුවුවහොත් “උපාසක අම්ම අර මන් කියපු කාරණාව සලකල බැලුවද”. ප්‍රතිපලය ලෙස නැන්දනියගේ පන්සල් ගමන් සීමිත විය.

මේ අතර 2017 වසරේ අපගේ ලංකාගමනය ( වාර්ෂික නිවාඩුව) යෙදී තිබුනේ සැප්තැම්බර් මසය, එවකට අපගේ දියණිය වසර එකහමාරක සිඟිත්තියක් වූ අතර, නිවාඩු මාසය ගෙවන ආකාරය සඳහා සැලැස්මක් බිරිඳ සතු විය.

මාගේ පියාණන් මහලු වයසෙහි පසු වන හෙයින් සිහිකල්පනාවේ අඩු පාඩු තිබේ, මෙය සලකා බලා මවුපිය සතර දෙනට ආශීර්වාද කොට සෙත් පැතීමේ කටයුත්තක් අප සැලසුමෙහි විය.

අපගේ නවාතැන වුයේ බිරිඳගේ මවුපිය පාර්ශවය විසු නිවාස වුයෙන් කරුණු කාරණා සැලසුම් කලේ එහිදීය. ඒ සඳහා නැන්දනිය ආරාධනා කලේ පෙරකී නායක ස්වාමීන් වහන්සේට වූ අතර උක්ත කී කාරණාවට වසර දෙකකට අසන්න බැවින් නායක හිමියන් ඒ අදහස අතැර සිටින්නට ඇතැයි නැන්දනිය සිතන්නට ඇත.

මෙවර ස්වාමීන් වහන්සේගේ ඍජු අවධානය මා වෙතය, සෙත් පිරිත් අවසන්ව ගිලන්පස (තේ) වලඳමින් සිටි උන්වහන්සේ “මහත්තය පොඩ්ඩකට ආවනම්” එසේ ආරම්භ කළහ. මා උන්වහන්සේ එකත්පස්ව දණහිස් බිම තබා ඒ මත හිඳගතිමි.

“මන් කලින් නෝනා මහත්තයටයි, ලොකු උපාසක අම්මටයි මේ ගැන කීව. අපි මෙහෙම වැඩක් කරනව, …….. (පෙර වූ සංවාදය නැවත මුල සිට)

උන්වහන්සේට නිවීහැනේ වදාරන්නට ඉඩ හැරි මා, “අපේ හාමුදුරුවනේ, ඉන්නේ රට, කරන්නේනම් හොඳ රස්සාවක් තමයි, එත් ඔබ වහන්සේට පේනවනේ අපි ඉන්නේ කුලී ගෙදරක.” (අපේ ආරාධනයෙන් නිවෙස් හිමිකරුවන්ද මේ සඳහා සහබාගී වී සිටිඅතර, තම පන්සල මග හැර වෙනත් පන්සලකට සම්බන්ධව ඇතැයි නිවෙස් හිමියන්, නායක හිමියන්ගේ උදහසට ලක්විය). “මාගේ අම්ම තාත්තත් ඉන්නේ කුලියට හාමුදුරුවනේ, තාත්ත ඉන්නෙත් අසනීප මට්ටමේ, ඉතින් අපිට විය පැහැදම් ටිකක් වැඩියි, අනික ඒ රටේදී හම්බ කරන සල්ලි වලින් වැඩි කොටසක් ඒ රට වලටම වියදම් වෙනවා” (කුලී නිවාස, ප්‍රවාහන, මාසයක් පුරා කෑම බීම වියදම්, දියණියගේ වියදම්).

නායක හිමියන් අදහස අත් නොහරින ස්වභාවයකි, පෙර කියා තිබු මතු ආත්මවල ලැබෙන්නාවූ වරප්‍රසාධ නැවත මෙනෙහි කල උන්වහන්සේ “හොඳයි අපි මේ ගැන පස්සේ කතා කරමුකෝ”. පවසා පන්සට වැඩම කළහ.

පසුදින හීල් දානය අප නිවසෙනි,

වෙලාවට හෝ වෙලාවට කලින් යමක් ආරම්භ කිරීම බිරිඳගේ පාර්ශවයේ පුරුද්දක් වූ අතර (මට මුල් යුගයේ වදයක් වූ මෙහි ප්‍රතිපල ඉහල බැවින් මාද දැන් එය අනුගමනය කරමි). දානයමය කටයුතු කලට වෙලාවට අවසන් විය.

ගමේ පන්සලේ අපට හුරු පුරුදු “පින් අනුමෝදන් කරවීම්” කටයුතු වෙනුවෙන් කුඩා උන්නාන්සේ කෙනෙකුදු සහබාගී නොවීම සුදුවූ අතර, අප බුදුන් වැඳ නිවසට ඒමට පිටත් වුවා පමණි,

දිවැසින් අප දුටු නායක ස්වාමීන් වහන්සේ (පැයක් හමාරක් අප උන්වහන්සේ නොදුටහ) මාහට මෙන්ම නැන්දනියහටද ආවාසගෙය අසලට හඬගා, සුපුරුදු සංවාදය ආරම්භ කළහ.

අප්‍රසන්නම දසුනක් වුයේ ඒ හිමිදිරියේ උන්වහන්සේගේ කිහිල්ලෙහි පොතක් වීම නොව එය උපාසක ඇත්තන් ණයකරුවන් බවට පත්කොටගෙන ඇති “ආධාර පත්‍රයක්” වීමය.

“මහත්තයෝ අර කුටියක් භාර ගන්න එක ඔබතුමා ප්‍රතික්ෂේප කලානෙව, අපි මෙහෙම කරමු. අපේ බුදුගේ අලුත් වැඩියා කරනව. ඒකෙත් බොහොමයක් දේ එක එක්කෙනා භාර අරන් තියෙනවා (අනිවාර්යෙන් භාරදීම් වන්නට ඇත), ප්‍රධාන දොර මෙච්චර ගානක් වෙනවා එකත් අහවල් මහත්තය භාරගත්ත. වහලේ ලී වලට ආධාරයක් කරන්න බලන්නකෝ”.

එහිදී උන්වහන්සේ සඳහන් කල ගණන් මිමි මාගේ මතකයේ නැත. ඒ මාගේ අවධානය ඒ කෙරේ නොවීමය.

“මං වයිෆ් එක්ක කතා කරලා කෙරෙන විදියක් අම්ම (නැන්දනිය) හරහා දැනුවත් කරන්නම් හාමුදුරුවනේ”. අනුමත කිරීම, එකහෙලා ප්‍රතික්ෂේප කිරීම නුසුදුසු යයි හැගුනු බැවින් මා එහෙ කියා සිටියෙමි.

අතේ මුදල් යහමින් ගැවසේනම්, උදවු කලයුතු විහාරාරාම ගණනාවක් ත්‍රිකුණාමලය, අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශවල පවතියි. එය මාගේ අනාගත බලාපොරොත්තුවලින් එකකි. ජීවිතයේ අනීත්‍යය අපට මෙනෙහි කිරීමට හිඳිනා බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ නායකකම්, මහානායකකම්, පොදි බැඳ ගැනීම් ආදියට ඇති ආශාව/තෘෂ්ණාව පිළිබඳව ඇත්තේ දුකකි/පිළිකුලකි.

නැන්දනිය අදාල විහාරස්ථානය අත්හැරී අතර, හැකි අයුරින් සිය වතාවත් සඳහා “කැලණිය රජමහ විහාරයට” යාම් ඊම් සිදු කරයි.

ඉහතින් සඳහන් කල සිත්තැවුල (මා විසින් පැහැර හැරීමක් සේ දැකීම) අදද සමනය වී නොමැති අතර, අදහස් බෙදා ගැනීමෙන් යම් සහනයක්ද ලැබෙනු ඇතැයි මා විශ්වාසයයි.

https://nishanthaya1.blogspot.com/2018/07/blog-post_56.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල