කාලීන සංවාද

නීත්‍යානුකූල අළුගෝසුවකු වීමට යන ජනපතිට බුදු සරණයි !

Off

භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද වැළඳී තිබෙන්නේ එම තත්වයයි.

මරණීය දණ්ඩනය යනු ආවේග විමෝචනය කිරීමේ මාර්ගයක් නො වන බව අප මුලින් ම වටහා ගත යුතු ය. එය අයත් වන්නේ දණ්ඩනයට හා විශෝධනයටයි. දණ්ඩනය යනු දඬුවම් කිරීමයි. විශෝධනය යනු නිවැරදි කිරීමයි. රටක අධිකරණය හා සිරගෙවල් පවතින්නේ ඒ වෙනුවෙනි.

මරණීය දණ්ඩනය යනු අපේ රටට අලුත් දෙයක් නො වේ. මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ මා අසා තිබෙන කණගාටුදායක ම කතාව මට කීවේ 1971 කැරැලිකරුවකු ලෙස සිරගතව සිටි ප්‍රේමපාල හේවාබටගේ ය. මිනීමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයකුගේ නව යොවුන් වියේ දියණිය ඔහුගේ මරණ දිනයේ සිමෙන්ති කවර උරයක දැවටූ සිය පියාගේ සපත්තු කුට්ටම තුරුළු කරගෙන හිස් බැල්මෙන් සිරගෙදර දෙස බලා සිටිනු උදෑසන උසාවිය වෙත රැගෙන යමින් සිටි ප්‍රේමපාල දැක තිබිණි.

මරුසිරා නමින් ප්‍රසිද්ධව සිටි සිරිපාල පෝරකයට ගෙන ගොස් එල්ලා මරා දමන විට ඔහු ජීවතුන් අතර සිටියා ද යන්න තවමත් නොවිසඳුණු අභිරහසකි.

යුක්තිය පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් වූ පරිදි එම වකවානුවේ ම මරණ දඬුවමට ලක් වූ පුද්ගලයකු අවසාන දින රාත්‍රියේ සිය මොට්ට බෙලෙක් පිඟානෙන් බඩ කපාගෙන බඩවැල් එළියට ඇදගෙන කපමින් සිටියදී දැක රෝහල්ගත කිරීමෙන් පසු ඔහුට ප්‍රතිකාර කළ දෙමළ වෛද්‍යවරයා පසු දින උදයේ ඔහු එල්ලා මැරීම සඳහා රැගෙන යාමට දෙන්නේ නැත. ඔහු පවසන්නේ එම පුද්ගලයා කවරකු වුවත් දැන් ඔහු වෛද්‍යවරයාගේ රෝගියකු නිසා ඔහුගේ ටිකට් කැපීමට බැරි බවයි. ඊළඟ වතාවේ ඔහුට මරණ දඬුවම සඳහා දින නියම කරන්නට පෙර ශ්‍රී ලංකාව මරණ දඬුවම අහෝසි කළේ ය.

පසුගිය ආණ්ඩුව කාලයේ භයානක අපරාධකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය වුණේ අපරාධයට යොදා ගන්නා ලද ආයුධ පෙන්නන්නට ගිය විට පැන යන්නට උත්සාහ කළා ය කියා වෙඩි තබා හෝ දියේ ගිල්වා හෝ මරා දැමීමයි. අඩු තරමේ මරා දමන ලද සැකකරුවා අපරාධකරුම ද යන්න තහවුරු කර ගැනීමේ කිසිදු විභාගයක් නො පවත්වා අනියම් අන්දමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලදී. එම මරණ දඬුවම ක්‍රියාත්මක කළ පොලිසියට අධිකරණයේ හා රජයේ සහයෝගය ලැබුණු අතර එම ක්‍රියාමාර්ගය මහජන ප්‍රසාදයට ලක් විය. එහෙත්, අවසානයේදී සිදු වී තිබෙන්නේ කුමක් ද? අපරාධකරුවන් මේ අන්දමින් මරා දැමීමෙන් හෝ මෙවැනි අපරාධ සිදු වීම වැළැක්වී නැත. අවසානයේදී සිදු වී තිබෙන්නේ සමාජයක් ලෙස අප ද අපරාධකරුවන් බවට පත් වීම පමණි.

ප්‍රශ්නය ඇත්තේ වෙන තැනක ය. අප කරමින් ඉන්නේ යතුර නැති වූ අඳුරු තැන එය සොයනවා වෙනුවට වීදි පහන යට යතුර සොයනවා වැනි දෙයකි. මේ භයානක අපරාධ නැති කිරීම පහසු නැත. ඒ වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු ය. සමාජ ආරක්ෂාව වැඩි දියුණු කළ යුතු ය. ඊටත් වඩා වැදගත් වන්නේ මෙවැනි අපරාධ ඇති වන්නට හේතු වන සමාජ ආකල්ප වෙනස් කිරීමයි. මෙවැනි අපරාධවලට ප්‍රතිචාර දක්වන ආකාරය හා සම්බන්ධ ආකල්ප ද වෙනස් විය යුතු ය.

මීගමු රෝහලේදී 22 හැවිරිදි ඇඟලුම් සේවිකාවක් දූෂණය කර හයවන මහලෙන් බිමට තල්ලු කර මරා දැමූ බවට චෝදනා ලද සුදර්ශන බාලගේ නම් වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී. නඩුවේ ප්‍රධාන සාක්කි වුණේ විද්‍යාත්මක සාක්කි හා සුළු සේවිකාවක විසින් දෙන ලද සාක්කියයි. වෛද්‍යවරයා කිසිවකු හාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යනු දුටු බවට එම සේවිකාව සාක්කි දුන්නා ය.

විත්තිකරු නඩුව අවසානයේදී තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර කළ ප්‍රකාශයේ කොටසක් මෙසේ ය: මට විරද්ධව පොලිසිය බොරු සාක්‍ෂි ගෙතුවා. වසර 7 ක්‌ මම දුක්‌ වින්දා. මෙම සිද්ධියට අදාළ ඝාතකයන් දැනටමත් මීගමුව රෝහල තුළ සිටිනවා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු නඩුව අවසානයේදී මෙසේ ඉල්ලා සිටියේ ය:
විත්තිකරු මරදන්කඩවල වැනි ග්‍රාමීය පරිසරයක උපත ලබා නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වුණා. විත්තිකරු හැමදාම පෙනී සිටියේ මිනිස්‌ ජීවිත බේරන්න මිස මිනිස්‌ ජීවිත නැති කරන්න නොවෙයි. මොහු කුඩා දැරියකගේ පියෙක්‌. මව විශ්‍රාමික ගුරුවරියක්‌. එහෙත් කුරිරු ඉරණම විසින් විත්තිකරු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට පත් කළා. මොහු නිර්දෝෂයි. මෙම විත්තිකරු පසුවන්නේ තරුණ වයසෙයි. ඔහුට එරෙහිව පවතින නඩු හෝ පෙරවැරදි නැහැ. විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී එම තත්ත්වය සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක්‌ පමණුවන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

එහෙත්, විනිසුරුවරයාගේ මතය වූයේ නඩුව පරිවේශනීය සාක්‍ෂි මත සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වී තිබෙන හෙයින් හා අධිකරණය දෙන තීන්දු දෙස මහජනයා ඕනෑකමින් බලා සිටින හෙයින් මෙවැනි තීන්දුවක් දෙන බවයි.

මෙම ඝාතනය සිදු වූ ආකාරය දකින්නට ඇත්තේ මිනීමරුවාත්, වින්දිතයාත් පමණි. මිනීමරුවා තමන් බව වෛද්‍යවරයා පිළිගෙන නැත. විද්‍යාත්මක සාක්කිවලින් නඩුව ඔප්පු වුණා සේ ම, තවදුරටත් කිසියම් කුකුසක් ඉතිරි වී නැතිවා ද නො වේ. ඔහු ඇත්තට ම මේ මිනීමැරුම කළා ද?

බංඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් තල්දූවේ සෝමාරාව භික්ෂුව එල්ලා මරා දමා දැන් පනස් වසරක් පමණ වේ. ඝාතනය සම්බන්ධයෙන් යම් යම් සැක සංකාවන් අද පවා මතු වේ.

මිනීමැරුම් සම්බන්ධයෙන් මෙවැනි ගැටලු තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසු, මිනීමැරුම කළේ වෙනත් අයකු විසින් බව ඔප්පු වූ අවස්ථා ලෝක ඉතිහාසයේ තිබේ.

අනෙක් පැත්තෙන්, යම් අපරාධයක් කර දීර්ඝ කාලයකට පසු එම අපරාධකරුවාට මරණ දඬුවම නියම කිරීම මෙම ක්‍රමයෙහි පවතින බරපතල ගැටලුවකි. මරණ දඬුවමට ලක් වන්නේ කාලය විසින් බොහෝ වෙනස්කම්වලට ලක් කරන ලද මිනිසෙකි.

බංග්ලාදේශය විසින් ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ නායක අබ්දූල් කදීර් මුල්ලා 2013දී එල්ලා මරා දමන්නේ ඊට වසර 42කට පෙර සිදු කළ යුද අපරාධයක් සම්බන්ධයෙනි. මරා දමන විට වයස අවුරුදු 65ක වැඩිහිටියකු වූ ඔහු අපරාධය සම්බන්ධ කාලයේ අවුරුදු 23ක් වයස වූවෙකි. ඒ වකවානුව වනාහි බංග්ලාදේශය පකිස්තානයෙන් නිදහස් වීම පිණිස අරගලයක් පැවති සමයයි. ඉන්දීය සහාය ඇතිව මෙම වෙන් වීමේ අරගලය පැවති සමයේ අබ්දූල් කදීර් මුල්ලා සහයෝගය දැක්වූයේ එවකට එරට රජය වූ පකිස්තානයටයි. ඉන්දීය සහයෝගයෙන් බංග්ලාදේශය පකිස්තානයෙන් වෙන් නොවුණා නම් අබ්දූල් කදීර් මුල්ලා යුද අපරාධකරුවකු නොව වීරයකු වන්නට ඉඩ තිබිණි.

මිනීමැරුමක් කරන්නට පුද්ගලයකු පෙළඹෙන මනෝභාවය ඉතා සංකීර්ණ විය හැකි ය. එහෙත්, මිනීමැරුම බරපතල වරදක් බවට කිසිදු සැකයක් නැත.

එහෙත්, මිනීමරුවකු නීත්‍යානුකූලව ඝාතනය කිරීම ද එවැනි ම මිනීමැරුමක් බව අප අමතක නො කළ යුතු ය. එහිදී අපි සමාජයක් ලෙස මිනීමරුවන් බවට පත් වන්නෙමු.

ශිෂ්ට සමාජයන් මරණීය දණ්ඩනය අනුමත කරන්නේ නැත. මරණ දඬුවම වෙනුවට වෙනත් ශිෂ්ට දණ්ඩන ක්‍රම ඔස්සේ මිනිසුන්ට නිවැරදි වී යළි සමාජගත වන්නට අවස්ථාව සලසා දිය යුතු ය.

සමාජය දණ්ඩනය පාවිච්චි කළ යුත්තේ වැරදිකරුවන් නිවැරදි කරන්නට මිස ආවේග පාලනය කර ගන්නට හෝ පළිගන්නට නො වේ.

මෙය ද කිව යුතු ය. ලංකාවේ සමාජය ඒ තරම් ශුද්ධවන්ත නැත. මෙහි ජීවත් වන හැම කෙනෙකු ම පාහේ මිනීමැරුම්වලට අනියමින් හෝ සම්බන්ධ ය. නැතිනම් මිනීමැරුම් අනුමත කර හෝ තිබේ. මුළු ලංකාව ම මිනීමරුවෝ ය.

ජනාධිපතිතුමනි ස්වකැමැත්තෙන් නීත්‍යානුකූල අළුගෝසුවකු වීමට යන ඔබට බුදු සරණයි!

– අජිත් පැරකුම් ජයසිංහ

http://www.w3lanka.com

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල