කාලීන සංවාද

ප්‍රේමදාස උඩුගම්පොල ඝාතකයෙක්ද ? වීරයෙක්ද ?

0

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල වසර 84 ආයු වළඳා අභාවප්‍රාප්ත වී ඇත. ප්‍රේමදාස උඩුගම්පොල 1988/89 භීෂණ කාලයේදී ජවිපෙ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා ක්‍රියා කලේය. ඔහුගේ ක්‍රමවේදයන් සහාසික විය. අල්ලා ගත් කැරලිකරුවන් වධ බන්ධනයට පත් කිරීම මෙන්ම ඔවුන්ව ඝාතනය කිරීම ඔහුගේ නායකත්වය යටතේ සිදු විය. කුප්‍රකට බෝල් පොයින්ට් වධයද ඔහුගේ නිර්මාණයක් බව කියවේ. මේ අතර ප්‍රේමදාස උඩුගම්පොලව බලල් අතක් ලෙස යොදා ගනිමින් බොහෝ දේශපාලකයෝද අහිංසකයන්ව ඝාතනය කළහ.

සාම කාලයක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොලව විනිශ්චය කිරීම ඉතා පහසු ක්‍රියාවකි. එහෙත් ඔහුට මුහුණ දීමට සිදුවූ අවිචාර සමය සැලකිල්ලට ගෙන ඔහු පිලිබඳව තක්සේරුවකට ආ යුතුය. කෙසේ නමුත් නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල ඝාතකයෙකු ලෙසට දඞු කඳේ ගැසීමට නොහැක්කේ ජවිපෙ 2 වැනි කැරළි සමය තුල කැරලිකරුවන් ද පොලිසියට හා හමුදාවට නොදෙවෙනි ලෙස ම්ලේච්ඡ ක්‍රියා වල නිරත වීම නිසාය. ඔවුන්ද මිනී මැරීම , මංකොල්ලකෑම , ස්ත්‍රී දූෂණ කලෝය. එම අවිචාර සමයේදී බලවත් වූයේ අවිය මිස මිනිස්කම නොවේ.

පහත දැක්වෙන්නේ ජවිපෙ හිටපු ක්‍රියාකාරියෙකු වූ නන්දසේන සිල්වා ගේ දියණිය වූ රුවන්දි සිල්වා විසින් ලියන ලද සටහනකි. (ජවිපෙ කැරලිකරුවන් විසින් නන්දසේන සිල්වාව ද්‍රෝහියෙකු ලෙස නම් කරමින් මරා දමන ලදී)

……..මා සහ අක්කා අවසන් වරට තාත්තා දුටුවේ නොවැම්බර් 03 වෙනිදා පාසැල් නේවාසිකාගාරයේදීය. ඉන් පස් දිනක් ඇතුළත ඔහු මරා දැමිණ. ඔහු සමඟින් තවත් 04 දෙනකු ඝාතනයට ලක් විණ. දෙදෙනකු යාබදව තිබූ ගොවිපලවල් හී අයිතිකරුවෝ වූහ. ඒ දෙදෙනාම දෙමළ ජාතිකයන් වූ අතර කිසිදු කි්‍රයාකාරී දේශපාලනයක් නොකල වුන්ය. ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි මම අද ද නොදනිමි. අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගොවිපොළේ කටයුතු සඳහා අත් උදව්වට හොරණ ප්‍රදේශයේ සිට ආ වඩු කාර්මිකයෙකු වූ රෝහණය. දෙවැන්නා වුයේ ජයවර්ධන අංකල්ය. (ඔහු වාමාංශික කි්‍රයාකාරිකයෙකු වූ වසන්ත දිසානායකයන්ගේ බාල සොහොයුරාය.) ජයවර්ධන අන්කල් එවකට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි වසා දැමීම හේතුවෙන් ගෙදරට වී සිටි ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ සැළසුම්කරුවෙකු වූ මගේ තාත්තාගෙන් ප්‍රායෝගික දෑ උගෙනීමට අපේ ගෙදරට විත් සිටි බව මට මතකය. ඔවුන් සියල්ලෝ අපේ නිවස තුළදීම අමු අමුවේ මරා දැමිණ. අනතුරුව නිවස මුළුමණින්ම ගිනිබත් කරන ලදී. සුරතලයට ඇති කරන්නට යැයි කියා රාවණඇල්ලේ තාත්තාගේ මිතුරෙකු මට ගෙනවිත් දී තිබූ මුව පැටවාද මරා දමා තිබිණ. මරණයට පෙර තාත්තාට වධ දුන්නා දැයි මම නොදනිමි. ජයවර්දන අන්කල් ගේ දකුණු අත කපා වෙන් කොට, තාත්තාගේ කඳින් වෙන් කළ හිස සමග අප නිවසට එන ප්‍රධාන පාරේහි ගසක එල්ලා තිබිණ. ඔහු වෙනුවෙන් අවමගුල් චාරිත්‍ර තහනම් කළ ඝාතකයින් එසේ කළහොත් අපෙන් පළිගන්නා බවට තර්ජනාත්මකව දන්වා තිබිණ. මටත්, අක්කාටත් තාත්තාගේ අවමංගල්‍යය තහනම් අඩවියක් විණ. ඔහු අපෙන් සමු නොගත්තේය. ඔහුගේ මුහුණ සිඹ සමු දෙන්නට මටත් අක්කාටත් නොහැකි විය………

මේ අනුව බලන විට හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල ඝාතකයක්ද ? ජවිපෙ භීෂණයෙන් ජනතාව බේරා ගත්තෙක්ද යන්න ප්‍රශ්නයට නැගෙයි. භීෂණ සමයන්හි අන්‍යන් බියපත්ව පසෙකට යන විට උඩුගම්පොලා ඉදිරියට එති. ඔවුන් කුණු සුද්ද කරන ස්කැවෙන්ජර්ස්ලා වෙති. රාජ්‍ය විසින් සියළු අපවිත්‍ර වැඩ කර ගන්නේ ඔවුන් හරහාය. එහෙත් කිසිදා ඔවුන් ඒ සඳහා ගරුත්වයක් නොලබති. කෙසේ නමුත් ඉතිහාසය විසින් ඔහුට අදාල ස්ථානය ලබා දෙනු ඇත.

http://transyl2014.blogspot.com/2019/01/blog-post_3.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල