අතීතකාමය, ඉතිහාසය

මිනිස් චාරිකා [7] – ක්‍රීටයේ මිනිසුන් සහ ෆීනිශියන්වරු

0

මිනිස් සම්භවය යන ගස ඵල දරා, ඒ ඵලවලින් තවත් ගස් ඇති වී දැවැන්ත වනයක් නිර්මාණය වූ විට, ඒ වනය විස්තර කිරීම තවත් සංකීර්ණ වේ. ඇත්තටම අප දැන් මේ සිටින්නේ ඒ වනාන්තරය මැදය..

මිනිස් සම්භවය යන අතීතයේ ඇති වූ මේ පැළයක් හෝ පැළ කීපයක් මගින් මහා වනාන්තරයක් නිර්මාණය වීමේ සංකීර්ණ ක්‍රියා දාමය තේරුම් ගැනීමේ වටිනාකමක් ඇත්තේ, අනාගතයද ඒ මත යම් ප්‍රමාණයකින් රැඳෙන නිසාය. එසේම ලෝකයට ඒ ඒ මිනිස් සමාජ වලින් ලැබුණු දායාද මෙන්ම අනාගතයේ ඇතිවිය හැකි අනිසි විපාකද හඳුනා ගැනීමට මේ මිනිස් සම්භව ගැන දැන ගැනීමේ වටිනාකමක් ඇත්තේය.

සමහරවිට එතරම් වැදගත් කමක් නැතැයි සිතෙන මනුෂ්‍ය වර්ගයක් මේ මිනිස් සම්භවයේ වැදගත්ම කොටසක් විය හැක. අද කාලයේ වැලිතලාවෙන් අතීතයට ගිය ක්‍රීටය හා එහි සිටි පුරාණ මිනිසුන් මෙන්ම ෆීනීශියන් වරද එසේ වැදගත් ජන කොට්ටාශ වේ.

ක්‍රීට් දිවයින් ගැන වැඩි දෙනෙක් දන්නේ, ‘ක්‍රැකටෝවා ගිණි කන්ද’ පුපුරා ගිය විස්තරය ගැන පමණක් විය හැක. එහෙත් මේ දිවයිනේ සිටි වැසියන් ගෙන් ලොවට ලැබුණු පණිවිඩ ඊට වඩා බොහොමයක් ඇත. යුරෝප ශිෂ්ටාචාරයේ තොටිල්ල ක්‍රීටයයි.

අනාදිමත් කාලයක් තිස්සේ ලෝකයේ පැලපදියම් වූ එක් වැරදි විශ්වාසයක් වූයේ, ග්‍රීකයන් යුරෝපයේ ශිෂ්ටාචාරයට පැමිණි මුල්ම මිනිසුන් සේය. එය එසේ නොවන බව පසුව කරන ලද සොයා ගැනීම් වලින් පෙනී ගිය කරුණකි. එඬේර යුගයේ සිටි ග්‍රීකයන් ‘ඒජියන් මුහුද [Aegian sea] අසළ ඇති දූපත් වලට සංක්‍රමණය වන විට, ඉතා දියුණු ශිෂ්ටාචාරයක් ක්‍රීටයේ සිටි බව සොයා ගන්නට ලැබිණි. මේ ශිෂ්ටාචාරයේ මුල සෙවීම අපහසුය.

ක්‍රීටය පිහිටා ඇත්තේ ඊජිප්තුව සහ යුරෝපා මහාද්වීපය අතර වේ. ක්‍රීටයේ ශිෂ්ටාචාරය ආරම්භ වූයේ ක්‍රිස්තු පූර්ව 4000 පමණ කාලයකට පෙර යයි අනුමාන කෙරේ. එහෙත් ක්‍රීටයේ ඉතිහාසය අවුරුදු 7000 ක් දුරකට යයි. අවුරුදු 1,30,000 කට පෙර ගල් වලින් තැනූ ආයුධ සොයා ගැනීම, මිනිසුන් ගේ යුරෝපා සංක්‍රමණය ගැන මුලින් තිබූ මත නිෂ්ප්‍රභා කරයි.

මේ ක්‍රීටයේ ජීවත්වූ ජනතාව, කලකට පෙර විනාශ වූවා යයි සැලකෙන ඉතා දියුණු අත්ලාංතිස ජනතාව ගෙන් පැවත එන්නේ යයිද කියති. ක්‍රීටයේ, ක්‍රිස්තු පූර්ව 2500 දී දිවයිනේ උතුරු පෙදෙසට වන්නට තිබි ‘නොසස්’ [Cnossus] යන නගරයේ බලවත් ආණ්ඩුවක් තිබි බවට සාක්ෂි ඇත. ඒ ස්ථානයේ ඊජිප්තුව වැනි රටවල් සමඟ ගණුදෙනු කරන ලද වෙළඳ මධ්‍යස්ථානයක්ද තිබුණු බවද කියැවේ.

අවාසනාවට මේ දිවයිනේ භාවිතා කරන ලද අක්ෂර වල තේරුම් සොයා ගැනීමට අදත් සොයා ගැනීමට නොහැකි හෙයින්, බොහෝ විස්තර අප්‍රකටය. ඒවා කියවන්නට හැකි වුනු දිනෙක ලෝකය ගැන බොහෝ විස්මිත දෑ එළිවනු ඇත. මෙම ලියැවිලි ලියා ඇත්තේ ‘ටෙරා කොටා” වර්ගයේ මැටි පූවරු වල වේ. මේ අක්ෂර වල ඊජිප්තියානුවන්ගේ රූපාක්ෂර වලට සමාන කමක් තිබුනද ඒවා වෙනස් ආකාරයක් ගනී.

ක්‍රිස්තු වර්ෂ 1600 වන විට ඒජියන් මුහුදේ පවතින දූපත්වල ක්‍රීට සභ්‍යත්වය පැතිර ගියේය.

මෙහිදී විශේෂ ස්ථානයක් ඒ සභ්‍යත්වයට කේන්ද්‍ර ගත වූ බව පෙනේ. එනම් එය ග්‍රීසියේ ඇති ‘මයිසීන්’ [Mycene] නම් නගරය විය. ඊජිප්තුව, සිරියාව යන රටවල් වලින් මෙන්ම ‘සේද මාවත’ හරහා ආසියාවෙන් එන වෙළෙඳුන්ද මේ නගරයේ ගැවසුණු බව පෙනේ. කෙසේ වුවද ක්‍රිස්තු පූර්ව 1500-1400 අතර කාලය ක්‍රීටයට ලැබූ කල දසාව හොඳ නැති වූයේ, යුරෝපයෙන් පැමිණි අරගලකාරීන් හේතුවෙනි.

එනම් ඔවුන් බොහෝවිට ‘මයිසීන්’ ප්‍රදේශයේ සිටි මුල් පදිංචි කරුවන් වෙන්නට ඇත. ඉන් පසු ක්‍රීට දිවයිනේ ශිෂ්ටාචාරය ග්‍රීසියට සම්බන්ද වූ බවක් පෙනේ. කෙසේ හෝ ක්‍රීට ජනතාව හුදෙක් වෙළෙන්දන් පමණක් නොවූහ. ඔවුන් ඉතා දක්ෂ වැඩ කරුවන් මෙන්ම කළා කරුවන්ද වූහ. ඔවුන් විසින් ඉතා සුමට සේ සකසන ලද මැටි භාණ්ඩ වල ඇති කලාත්මක භාවය ඉතා ඉහළ තලයක ඇත. ඒවායේ ඇඳ ඇති මෝස්‌තර සහ පින්තුර ඉතා මනහර වේ.

එවැනි මැටි භාණ්ඩ අලංකාර කරන්නට මුහුදු බෙලි කටු වැනි දේ ඔවුන් භාවිතා කළහ.

ජීවිතයේ සෑම අංගයක්ම පිවිතුරුව සහ සර්ව සම්පූර්ණ කර සිටි ජාතීන් ඇත්තේ නැති වුවද, එයට ලඟා වන එක මිනිස් කොට්ටාශයක් නම් ක්‍රීටයේ මිනිසුන් වේ.

නොයෙක් ආකාරයේ කැටයමින් යුතු රන් හා රිදියෙන් කරන ලද බඳුන් සහ වයින් කුසලානයන්ද අගනා නිර්මාණ විය. ටෙරා කොටා සහ මොසේක් ද්‍රව්‍ය වලින් තනන ලද නොයෙක් ආකාරයේ සැරසිළි වලින් ඔවුන්ගේ නිවාස සහ මාලිගා අලංකාර විය. ඇත් දළ සහ මාර්බල් වලින් කරන ලද [පිළිරූ මෙන්ම කැටයම් වලින් ධනවතුන්ගේ නිවාස අලංකාර විය.

ඔවුන් නිවාස අලංකාරව තබා ගත්තා පමණක් නොව, ජළය ගලා යන මුළුතැන් ගෙවල් සහ වැසිකිළි ඉතා පිරිසිදුව ක්‍රමානුකූලව තබා ගන්නා ලදී.

මෙය ඒ කාලයේ අන් ජාතීන්ට සාපේක්ෂව විශේෂ දෙයක් විය. මේ ක්‍රීට වාසීන් හෙවත් ඒජියන් මුහුද අසබඩ විසූ ජන කොට්ටාශය මුහුද සමඟ විශේෂ සබඳකමක් පවත්වා ගත්හ. නමුත් ඕනෑම ශිෂ්ටාචාරයක් විනාශ වී යනවා මෙන් ක්‍රීටයේ ශිෂ්ටාචාරයද විනාශ වීමට හේතු ඇති විය. එනම් ක්‍රිස්තු පූර්ව 1000 වන විට ක්‍රීටය ට පැමිණි, එවකට ප්‍රාථමික තලයක සිටි ග්‍රීක එඬේර ගෝත්‍රිකයන් විසින් අරගල කර කෙමෙන් ඒ ඒජියන් සංස්කෘතිය විනාශ කර දමන ලදී.

ග්‍රීකයන් වුවද, එකල වනචාරී තත්වයක, එනම් ශිෂ්ටාචාරය ඇසුරේ පහත තලයක සිටි බව මින් පෙනී යන්නේය. මෙය ලංකාව වැනි රටකට වැදගත් කරුණකි. රටක් ගොඩ නැගීමට බොහෝ කලක් ගත වේ. එහෙත් එය කඩා බිඳ දැමීමට අවශ්‍ය වන්නේ ගෝත්‍රික වනචාරින් පිරිසක් සහ උන්ට රැවටුණු පිරිසක් පමණි.

ක්‍රීට් වරුන්ට සමගාමීව සිටි මුහුදට සබඳකමක් පෙන්වූ ‘සෙමිටික් වර්යේ ෆීනිශියන්වරු ද මෙකල මධ්‍යධරණී මුහුද අවට සිටියහ. ඔවුන් ක්‍රිස්තු පූර්ව 2000 පමණ කාලයක සිට පැවති කාන්තාර වාසී ජනතාවක් වූහ. ‘ටින්’ ලෝහය සොයා ගැනීමට මේ ෆීනිශියන් වරු මධ්‍යධරනී මුහුදේ යාත්‍රා කර බ්‍රිතාන්‍යය තෙක් මෙන්ම දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව [අද කේප් ටවුන් නගරය] තෙක් පැමිණියා යයි පැවසේ.

මේ කේප් ටවුන් ප්‍රදේශය ඉන් අවරුදු දහස් ගණනකට පසු කලෙකද හැඳින් වූයේ ‘නැවියන්ගේ මිණී වල” ලෙසිනි. එතරම්ම එහි මුහුද ප්‍රචණ්ඩය. ඉන් පෙනෙන්නේ මේ ෆීනීශියන් වරු නාවිකයන් සේ දක්ෂයන් බවය. නමුත් ඒ ‘ෆීනිශියන් වරුන්ට’ වඩා කලා ශිල්ප හැකියාවක් ‘ක්‍රීට ජාතිකයන්ට’ තිබිණ.

ලංකාවේද මේ එක් ක්‍රීට් කලා ශිල්ප ක්‍රමයක් අතීතයේ සිටම ප්‍රචලිත වේ. එහෙත් එය ක්‍රීටයෙන් ගත කොපියක්දයි කිව නොහැක. එනම් කිසියම් පිළිමයක් තනා එයට තුනී ලෝහ තහඩුවක් තබා, එම ලෝහ තහඩුවට මිටියෙන් තට්ටු කර එම පිළිමයේ අනුරුව ලබා ගැනීමය. රන් පත්‍ර වලින් කල එවැනි රූප සොයා ගෙන ඇත.

ෆීනීශියන් වරු ඔවුන්ගේ නිර්මාණ පැරණි ලෝකයෙන් කොපි කළහ. එනම් ඊජිප්තුවෙන් සහ ඇසිරියාවෙන් ගත් අදහස් වලින් ඔවුන් නිර්මාණ ශිල්පයේ යෙදින. මේ ‘ෆීනීශියන් වරු’ රෙදි වර්ග පාට කිරීමේ හෙවත් ඩයි කිරීමේ දක්ෂයන් වූ බව සටහන්ය. ඔවුන්ට ‘නිල් මිනිස්සු’ සේ අන්වර්ථ නාමයක් තිබිණ. එනම් ඔවුන් සොයාගත් ප්‍රධාන පාටක් වූයේ ‘නිල්’-දම් පාට’ [Tyrian purple] විය.

ඊශ්‍රායෙල් ජාතික ඩේවිඩ් රජුගේ පුත් සොලමන් රජු ගේ අද්විතීය දෙවොළ සහ ගොඩනැගිළි තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය, කළා කෘති සහ මිනිසුන් ෆීනීශියන් වරුන්ගෙන් ලබා ගන්නා ලදී.

ක්‍රීට ශිෂ්ටාචාරය විනාශ කල ග්‍රීකයන් සමඟ මේ ෆීනීශියන් වරු වෙළඳාම් කළහ.ෆීනීශියන් වරු වෙළඳාමට පමණක් නොව අන්‍ය රටවල් යටත් කිරීමටද හැකියාවක් තිබී දක්ෂ නාවිකයන් වූහ. මධ්‍යධරණී මුහුදේ බලය අල්ලා ගැනීමට ඔවුන් එකළ බලවත් වූ රෝමන්වරු සමඟ පවා සටන් කළහ. ඔවුන් සිසිලියට සහ අප්‍රිකා මහාද්වීපයේ අතර මධ්‍යධරණී මුහුදේ ‘කාර්තේජ්’ නම් යටත් විජිතයක් ඇති කළහ.

ඒ නිසාම ෆීනීශියන්වරුන්ට ‘කාර්තේජීනියන් වරු’ යන නම පට බැඳින. ඉන් බොහෝ කලකට පෙර සිටියා යයි විස්තර කරන ඉතා දියුණු අත්ලාන්තිස් ජාතීන් ගේ නිවාස සහ ගොඩනැගිළි මේ ‘කාර්තේජීනියන් වරු’ යාත්‍රා කරද්දී දුටුවා යයි සමහර පොත් වල තිබේ.එනම් මේ අත්ලාංතිසවරු සමඟ ක්‍රීට වාසීන් සමීප වන්නට ඇත. තවත් කෙනෙක් කියන්නේ ක්‍රීටය යනු අත්ලාංතිසය ලෙසය.

මෙන්න මේ ෆීනීශියන්වරුන් ගෙන් හෙවත් කාර්තේජීනියන් වරුන්ගෙන්, ග්‍රීකයන් කෙමෙන් ඒ කළා හැකියාව ලබා ගත්හ. එපමණක් නොව ලිවීමේ කියවීමේ හැකියාව ග්‍රීකයන් ලබා ගත්තේද මේ ෆීනීශියන් වරුන් ගෙනි. ග්‍රීකයන්, ‘අකාරාදිය හෙවත් Alphabet එක ලබා ගත්තේද ෆීනීශියන් වරුන් ගෙනි. අවසානයේ ග්‍රීකයන් පරිපූර්ණ කලා නිර්මාණයේ දක්ෂයන් වූහ. කෙමෙන් ඔවුන්ගේ ගෝත්‍රික ගති නැතිව ගොස් ඉතා උසස් සංකල්ප ඇති දක්ෂ මිනිසුන් වූහ.

ලෝක ඉතිහාසයේ, මෙය අරාබි ගෝත්‍රිකයන් හමුවේ විශාල වෙනසක් පෙන්වන දෙයකි. උදාහරණයක් සේ අප භාවිතා කරන 1, 2, 3,…ඉලක්කම් වල සම්භවය ඉන්දියාවයි. එහෙත් ඒවා කොපි කලාක් පමණක් නොව ඒවාට ‘අරාබි ඉලක්කම්’ සේ කියන්නටද අරාබි සාහසික වූහ.

ග්‍රීක නිර්මාණ වල සුමට භාවය වඩාත්ම කැපී පෙනෙන්නේ ඊජිප්තියානු නිර්මාණ වලට සාපේක්ෂව වේ. ඊජිප්තුවේ ලුක්සෝර් ප්‍රතිමා තනා ඇති අයුරු උදාහරණයකි. එනම් ඒවා මිනිසෙක්ගේ ඇති නම්‍යශීලී ස්වරූපය නොපෙන්වයි. එසේම පිරමීඩ ඇතුලේ ඇති පැපිරස් කොළ වල ඇඳි සිතුවම් බොහොමයක මිනිසුන්ගේ ගැහැණුන්ගේ පින්තුරවල ලාලිත්‍යයක් නැත.

නැවත වරක් ක්‍රීටයේ මිනිසුන් ගැන කිවහොත්, ඔවුන් ලොවට දුන් විශේෂම දායාදයක් වූයේ ගද්‍ය පද්‍ය සහ නාට්‍යයන් වේ. ඒ කලා නිර්මාණ අද්විතීය විය. අද ඒවායේ ඉතිරිව ඇත්තේ හුදෙක් පැරණි ලකුණු පමණි. මේ ගැන, ලංකාවේ කලා ලෝකයේ නොමැකෙන නමක් දිනූ මෙන්ම ලංකාවේ පැරණි නාඩගම් සාහිත්‍යයන් ගැන විධිමත් අධ්‍යනයක යෙදුණු මර්සිලීන් ජයකොඩි පියතුමා විසින් සෝදිසි කරන ලදැයි කලකට පෙර ආරංචි විය.

පුරාණ ක්‍රීට දේශයේ විශේෂත්වයක් නොමැති වූවා නම් එතුමාට එසේ කරන්නට හේතුවක් නැත.

මිනිස් චාරිකා [7] – ක්‍රීටයේ මිනිසුන් සහ ෆීනිශියන්වරු.

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල