අධ්‍යාපනික

ගිනි බොක්කේ මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීම 1

Off

මම අවුරුදු 33 ක නාවික සේවයෙන් පසුව විශ්‍රාම ගෙන සතියක් ඇතුලත මා සමග නාවික හමුදාවේ සේවය කල මට පෙර විශ්‍රාම ගොස් සිටි මිත්‍රයකු මාර්ගයෙන් මට පෞද්ගලික ආයතනයක රැකියාවක් සදහා ආරාධනාවක් ලැබිණ.

කන්ද උඩරට මහනුවර හැඳී වැඩී පදිංචි වී සිටි මම, මගේ අවුරුදු 33 ක සේවා කාලයම සේවය කර තිබුනේ නිවසින් පිටය. මාසයකට වරක් දෙකක් දවස් දෙක තුනක් නිවසේ සිටි කාලය හැර අනෙක් මුලු කාලයම වාගේ ගත වී තිබුනේ සේවය කරන ස්ථානවලය. මේ නිසා මම විශ්‍රාම ගන්නා තෙක් බලා හිටියේ ගෙදරට වී නිදහසේ කාලය ගත කිරීමටය. එකල මා සභාපතිවරයාව සිටි මහනුවර ටෙනිස් සමාජයේ සෑම දිනකම පාහේ ටෙනිස් ක්‍රීඩා කරන්නටත්, මා ආසා කරන පොත් පත් කියවීමට හා ලිවීමටත්, උද්‍යානය මනා ලෙස පවත්වාගෙන යාමටත් විශාල බලාපොරොත්තු සිතේ පුරවාගෙන සිටියෙමි.

එහෙත් එම ආයතනයෙන් මට ගෙවන්නට බලාපොරොත්තු වන වැටුප ඇසූ පමණින්ම මගේ ඒ නිසංසල ජීවිත බලාපොරොත්තු එක්වරම සම්පූර්ණයෙන්ම පසෙකලා මම ඔවුන් සමග එකතුවීමට එකඟ වුනෙමි. ඒ එම ආයතනයෙන් මට ගෙවන්නට බලාපොරොත්තු වන වැටුප මා අවුරුදු 33 ක් සේවය කර හමුදාවේ ධජ නිලධාරියෙකු තෙක් උසස්වීම් ලැබ ලබා ගත්තාවූ වැටුප මෙන් 5 ස් ගුනයකටත් වඩා වැඩිවීම නිසාය.

මම අප්‍රේල් මස 25 වනදා ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (AGMS) උපදේශක වරයෙකු වශයෙන් සේවයට බැඳීම සිදුවූයේ මේ ආකාරයටය. මා එම ආයතනයේ සේවයට බැඳෙන විට එහි මූලික ව්‍යාපාරික ක්‍රියාකාරකම් වූයේ,

1.බටහිර ඉන්දියානු සාගරයේ මාස ගණන් මුහුදේ ගතකර; සමහර විට මාස 8/12 දක්වා, බල මාළු දීර්ඝ ලයින්වලින් අල්ලන ලෝන්ග් ලයිනර්ස් නැමැති විශාල ට්‍රෝලර් යාත්‍රාවලට මුහුදු කොල්ලකරුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට සන්නද්ධ මුහුදු ආරක්ෂකයින් යෙදවීම.

2.බටහිර ඉන්දියානු සාගරයේ මුහුදු කොල්ලකරුවන්ගේ අවදානමක් ඇතැයි අන්තර් ජාතික ආයතන මගින් දැනුම් දී ඇති කලාපය හරහා යන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සදහා නෞකාවල භෞතිකව ගමන් කරන මුහුදු ආරක්ෂකයන්ගේ ආයුධ කලාපයේ කෙලවරදී ආරක්ෂා සහිතව තැන්පත් කර තැබීම සදහා ගබඩා පහසුකම් සැපයීම.

3.මුහුදු කොල්ලකරුවන් ක්‍රියාකාරීයැයි අදාල අන්තර්ජාතික ආයතන මගින් ප්‍රසිද්ධ කරඇති ප්‍රදේශ තුලින් ගමන් කරන වෙළඳ නෞකාවලට ආයුධ සහිත මුහුදු රැකවලුන් (sea marshals) සැපයීම.

4.ගාල්ලේ, සුඩානය අසල මුහුදේ සහ මැද පෙරදිග අසල, එකල තිබූ මුහුදු කොල්ල කරුවන් ක්‍රියාත්මක වූ ප්‍රදේශය වටා ආරක්ෂිත කලාපයෙන් බැහැරට යන නෞකාවලින් ආයුධ එකතුකර ගැනීම සහ කලාපයට ඇතුලු වන නෞකාවලට ආයුධ සද්නද්ධ රැකවලුන් ලබාදීම සදහා සුරක්ෂිත ආයුධ ගබඩා සහ රැකවලුන්ට නවාතැන් පහසුකම් ලබාදීම.

මා ආයතනයට සම්බන්ධ වනවිට මෙම කටයුතු සියල්ලම පාහේ ක්‍රියාත්මක වෙමින් තිබුණි. මා පැමිණෙන විට ආයතනයේ සභාපතිවරයාගේ පැය විසි හතරේම වැඩ කරන ව්‍යාපාර ඥානය නාබි ගත වී තිබුනේ අප එකල ක්‍රියාත්මක වී සිටි බටහිර ඉන්දීය සාගරයෙන් බොහෝ දුර පිහිටා තිබූ අප්‍රිකා මහා ද්වීපයේ අනෙක් පැත්තේ ගිනි මුහුදු බොක්ක වෙතය.

ගිනිබොක්ක යනු අත්ලාන්තික් සාගරයේ පිහිටි නයිජර් සහ වෝල්ටා ගඟවල් මුහුදට ගලන දූපත් බොහෝ ගණනක් ඇති පහත රටවල්වල දේශ සීමාවන් හා ගැටෙන මුහුදු බොක්කකි.

ලයිබීරියාව, අයිවරිකෝස්ට්, ඝානා, ටෝගෝ, බෙනින්, නයිජීරියා, කැමරුන්, ඉක්විටෝරියල් ගිනි, ගැබොන්, සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ, කොංගෝ සමූහ ආණ්ඩුව, ඩී.ආර්.කොංගෝ සහ ඇන්ගෝලා යන රටවල් මෙම බොක්ක වට පිහිටි රටවල්ය.

මෙම බොක්කේ 2011 වන විට මුහුදු කොල්ල කෑම් අධිකව සිදුවන්නට පටන් ගත්තේය. 2013 පමණ වන විට ඔවුන් විසින් කොල්ල කන්නට උත්සාහ කරන ලද නැව් ප්‍රමාණය වසරකට 100 ක් පමණ විය. නයිජීරියාව ලෝකයේ ප්‍රධානතම තෙල් නිපදවන්නෙකු නිසා මෙම බොක්කෙන් නයිජීරියාවේ වරාය වලට යන එන නෞකා වලට මෙම භයානක තත්වය තදින්ම බලපෑවේය. ඒ පමණක් නොව අවට රාජ්‍ය වලද නාවික වෙළදාම මෙම ප්‍රශ්නය නිසා සීඝ්‍ර පසුබෑමකට ලක්විය.

උදාහරණයක් වශයෙන් අසල ඇති බෙනින් සමූහ ආණ්ඩුවේ කොටොනු වරායේ වාණිජ නාවික කටයුතු ඊට පෙර අවුරුද්දට වඩා 70% කින් අඩු විය.

http://lakshmanillangakoon.blogspot.com/2019/01/1.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල