කාලීන සංවාද

විකල්ප දැනුමෙන් අලි එළවිය හැකිද ?

0

විකල්ප දැනුමක උදවුවෙන් අලියෙක් එළවන්න හදපු කෙනෙක්ට අන්තිමේදී ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා. ඔහු අලියාව එළවන්න යන විදිහෙන් පෙනෙන්නේ තමන් සතු වූ විකල්ප දැනුම ගැන ඔහුට කොපමණ විශ්වාසයක් තියෙන්න ඇද්ද කියන එකයි. නමුත්, අලි එළවන එක හිතන තරම් පහසු නැති බව කලින් තේරුම් නොගැනීම නිසා ඔහුට ගෙවන්න වී තිබෙන මිල ඉතාම විශාලයි. කණගාටුදායක සිදුවීමක්!

ලංකාවේ ඉතිහාස කතාව ගලා යද්දී අලින්ගේ කතාවකුත් පසුබිමෙන් ගලා ගෙන යනවා. කුරුඳු අපනයනය ප්‍රචලිත වන තුරුම ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ වුනේ අලි ඇත්තු හා මුතු. විශාල අලි ඇතුන් ගහණයක් හිටපු ලංකාවේ අලි ඇල්ලීම හා හීලෑ කිරීම සැලකිය යුතු පිරිසකගේ රැකියාව වී තිබෙනවා. මේ මිනිස්සු ජීවත් වන්නට ඇත්තේ කොයි වෙලාවක අලියෙක් ගහයිද කියන අවදානම දරාගෙනයි. ඊට අමතරව හේන් කුඹුරු කරපු බහුතර මිනිස්සුන්ට වගේම ගෙවල් වලට වී හිටපු මිනිස්සුන්ට පවා අලින්ගෙන් වෙන උවදුරු ගැන කල්පනාවෙන් ඉන්න සිදු වී තිබෙනවා.

අලි බැලීම, මුතු කිමිදීම හා අතුරේ යාම ඉතාම අවදානම් රැකියා ලෙස සැළකී තිබෙනවා. මුල් දෙක ලංකාවේ පැරණිම අපනයන කර්මාන්ත. තුන්වැන්න පසුකාලීනව නැගලා ගිය කර්මාන්තයකට සම්බන්ධයි. මේ වෘත්තීන් තුනෙන්ම අවදානමට සරිලන වාසි ලැබෙන්න ඇති. ඒ වාසි ලැබුණේ අවදානම් ගත් අයටම නොවෙන්න පුළුවන්. කොට අදින අලි හා පෙරහැරේ යන අලි වෙනම ඉන්නවනේ. අලි මේච්චල් කරන්න යන අයට තමන් ගන්න අවදානම ගැන හරි අවබෝධයක් තිබෙනවාද යන්න නොපැහැදිලියි.

දැවැන්ත සතෙක් වන අලියෙක් එක්ක මිනිහෙක්ට බාහු බලයෙන් සටන් කරලා දිනන්න බැහැ. ඒ වැඩේට කිසියම් ආකාරයක තාක්ෂණයක් උපයෝගී කරගන්න වෙනවා. වෙඩි බෙහෙත් යුගයට කලින් අලි එළවන්න උදවු කරන්න ඇත්තේ ගින්දර හා ශබ්ද කිරීම් වැනි මූලික උපක්‍රමයි. ඒ උපක්‍රම ඒ තරම්ම සාර්ථක නොවූ නිසා විකල්ප උපක්‍රම ගැන හොයන්න උනන්දුවක් ඇති වෙන්න ඇති. මොන උපක්‍රම යොදා අලි මෙල්ල කරගත්තත් පොඩි වැරදීමකින් අලියා ඉස්සර වෙන්න පුළුවන්. කරන්දෙණියේ පෙරහැරකදී අලියෙකු ඇත්ගොව්වාව පාගා මරා දමා දැන් සති දෙකයි. බුත්තල – කතරගම පාරේදී අලි මන්තර වල හාස්කම් පෙන්නන්න ගිය අයෙක්ව අලියෙක් විසින් පාගා මරා දමන්නේ ඉන් සතියකට පසුවයි. ඊටත් කලින් අලියෙක් ඇත්ගොව්වාව මරා දමනු පහත වීඩියෝවේ දැකිය හැකියි. (සංවේදී අය නොබලා ඉන්න)

අලි මන්තර කියන ඒවා ලංකාවේ කාලයක් තිස්සෙම අලි එලවන්න යොදාගෙන තිබෙනවා. මේ මන්තර ඇත්තටම වැඩ කළාද නැද්ද කියන එක කොහොම වුනත්, වැඩ කරන බව දැඩි සේ විශ්වාස කළ මිනිස්සු දිගින් දිගටම ජීවත් වී තිබෙනවා. එසේ නැත්නම් ඒවා පවතින්න විදිහක් නැහැ.

සුද්දෝ ආවට පස්සේ ලංකාවේ අලින් විශාල ගණනකට වෙඩි තබා මරා දමපු බව ප්‍රචලිත කරුණක්. නමුත්, මේ වෙඩි තැබීම් දිහා අද කෝණයෙන් බලන එක නිවැරදි නැහැ. සුද්දෝ එන කාලය වන කොටත් ලංකාවේ අලි කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනජීවිතයට විශාල තර්ජනයක්. බොහෝ අවස්ථා වල අලින්ට වෙඩි තබා තියෙන්නේ මහජන යහපත ගැන හිතලා. ඒ ගැන ඒ කාලේ ගොඩක් මිනිස්සු කැමැත්තෙන් සිට ඇති බව පැහැදිලියි.

අලි එළවන්න වෙඩි බේත් යොදා ගත හැකි බව දැන් ප්‍රධාන ධාරාවේ දැනුමක්. අලි මන්තරත් කාලයක් ඒ විදිහට ප්‍රධාන ධාරාවේ දැනුමක් වී තියෙන්න ඇති. දැනුම කියන එක පදනම් වෙන්නෙත් මිනිස්සුන්ගේ විශ්වාස මතයි. දිවයින පත්තරේට අනුව පසුගිය සතියේ මිය ගිය පුද්ගලයා විසින් “මීට පෙර දුටුවන් මවිත කරමින් බුත්තල – කතරගම මාර්ගයේදී වන අලි රංචු පිටින් පලවා හැර” තිබෙනවා. මේ පුද්ගලයා අලියා වෙත යන ආකාරයෙන් ඔහුට අලි මන්තරේ බලය ගැන කිසිදු අවිශ්වාසයක් නැති බව පේනවා. ඔහු මේ වැඩේ කරන්නේ පළමු වරට නොවන නිසා වෙන්න ඇති.

අලි ඇත්තු ඉදිරියට බය නැතිව ගිය සුද්දෝ ගැන වාර්තා තිබෙනවා. ඔවුන් ඒ විදිහට අලින්ට කිට්ටු වෙන්නේ තමන්ගේ රයිපලේ ගැන තිබෙන විශ්වාසය මතයි. එවැනි විශ්වාසයක් තිබුණු, අලි විශාල ගණනක් වෙඩි තබා මරා දැමූ පුද්ගලයින්ව පවා අලින් විසින් මරා දමා තිබෙනවා.

අලි මන්තර ගැන පෞද්ගලිකව මගේ කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා, මොන අලි මන්තරයක් ලැබුණත් මමනම් ඒකේ බලය අත්හදා බලන්න අලියෙක්ට කිට්ටු වෙන්නේ නැහැ. හැබැයි කවුරු හෝ අලි මන්තර වලින් අලි මෙල්ල කළ හැකි බව කියනවානම් එය පට්ටපල් බොරුවක් කියා කියන්න මට පුළුවන්කමක් නැහැ. කාලයක් අලි මන්තර වලින් අලි එළවා පෙන්වා ආදායම් ඉපැයූ අයෙක්ට අන්තිමේදී අලි ප්‍රහාරයකින් මිය යන්න සිදුවීම නිසා අලි මන්තර බොරු බව ඔප්පු වෙන්නෙත් නැහැ. හැමදාම වෙඩි තබා අලි මරපු කෙනෙක්ට එක දවසක වෙලාවට කොකා ගස්සාගන්න බැරි වෙන්න පුළුවන්.

මත්පැන්, දුම්වැටි, සීනි නිසා අකාලයේ මැරෙන අයගේ උදවුවට බදු ගහන්න ආණ්ඩුව ඉන්නවා. සාමාන්‍යයෙන් ආණ්ඩු කියන්නේ මේ වගේ බදු ගහන්නේ සමාජ යහපත තකා කියලයි. මත්පැන් බොන අයෙක් මත්පැන් නිසා මැරෙන්න තිබෙන සම්භාවිතාව කොපමණද? එතකොට දුම්වැටි, සීනි නිසා ඒ දේවල් පරිභෝජනය කරන කී දෙනෙක් මැරෙනවද? අලි බලන කෙනෙක් අලියෙක්ගේ පහර දීමකින් මැරෙන්න තියෙන සම්භාවිතාව ඊට වඩා අඩුද? ඒ අවදානම අඩුකරගත හැකි ක්‍රියාමාර්ග නැද්ද? අලි බැලිල්ල නියාමනය කළා කියා ආණ්ඩුවට දැනෙන තරමේ ආදායමක් ලැබෙන්නේනම් නැහැ.

https://economatta.blogspot.com/2019/01/blog-post_7.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල