අධ්‍යාපනික

කිතුල් මලක කඳුළ ගන්න පාරම්පරික ක්‍රම

Off

කඳුකරයේ මනාළිය වශයෙන් හඳුන්වන කිතුල් ගස සිංහල ජනතාව සතු මහඟු සම්පතකි. ලංකාවේකඳුකරය ආශ්‍රිතව බහුල වශයෙන් ඉබේ හටගන්නා බැවින් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව සතු ප්‍රධාන ආර්ථික භෝගයක් බවටද පත් වී තිබේ.කුඩා තේ වතු වගාව ව්‍යාප්ත වීඹට ප්‍රථම ඔවුහු තමන් ගේ සියලු ජීවන ක්‍රියාකාරකම් සඳහා මුදල් උපයා සපයා ගෙන ඇත්තේ මෙයිනි. කිතුල් ගහකින් දෑවැදි තුනක් දිය හැකි බව කට වහරට කියන්නේ එහෙයිනි. කිතුල් මල් කපා කඳුළ වෑස්සෙන විට ඒවා එකතු කර ගැනීම මෙහි පිළිවෙලියි. මල කැපීමට නියමිත ශාස්ත්‍රයක් පවතින අතර නම්බුකාර ගහක් ලෙසට සැලකුම් ලබන කිතුලෙන් කඳුළු නොහොත් තෙලිදිය ලබා ගැනීමට නම් ඒ ශාස්ත්‍ර යෙන් නිසි පරිදි වැඩ ගැන්මත් ගහට කීකරුව ගෞරවයෙන් කටයුතු කළ යුතු ආකාරයත් මේ පාරම්පරික ශිල්පීන් දැන සිටින්නට ඇත.

කිතුල් ගහේ ප්‍රභේද කීපයක් ඇති බව කියැවෙයි. ගෑනු පිරිම් ප්‍රභේදය ඉන් එකකි. ඒ අනුව තෙලිදිය ලබා ගැනීමට සමත් වඩාත් හොඳ ප්‍රභේදය ලෙසට සැලකෙන්නේ පිරිමි ප්‍රභේදයයි. අගින් හීන් කඳ මැදින් නොහොත් බණ්ඩියෙන් මහත් වූ ගෑනු ප්‍රභේදය ලෙහෙසියෙන් හඳුනා ගත හැකිය..පිරිමි කිතුල මුලින් මැදින් අගෙන් එක පමණය. සීරුවෙන් උසයයි.කිතුල් වැවෙන කදුකරයේ වනය අස්සසෙන් මතුවී එන පිරිමි ගස් අපට දැක ගත හැකිය.ඒවා වාඩාත් සුදුසු වන්නේ වනයේ සාරවත් ව වැඩී සූර්යා ලෝය සොයා ඉහළට ගිය බැවිනි.කහට කිතුල නම් තෙලිදිය ගැන්මට අසීරු කහට රසයක් ගන්නා තොලිදිය වෑසේසෙන කිතුලයි.ඒවා මදින්නන් මලට බෙහෙත් නොතබා පුළුස්සා ගනිමිනි.. එවිට වැඩි කාලයක් අස්වැන්න ලබා ගත නොහැකිය. පැණි ප්‍රමාණයද ලැබෙන්නේ අඩුවෙනි.කටු කිතුල් සහ කුරු කිතුල් නම් වූ තවත් ප්‍ර භේද දෙකක් පවතී. ඒවායින් තෙලිදිය ලබා ගැනීම දැනට නොකරති.එසේම ලංකාවේ කිතුල් වගා කිරීමක් දක්නට නැතිය. නමුත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කිතුල් පැළ ප්‍රචාරණය කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ. ඉදිරි අනාගතයේ ආරථික වතාවක් ලෙසට එය ඉහළට ඔසවා තැබීමට නම් එවැනි ප්‍රචාරණයක් අත්‍යවශ්‍ය වේ.

තෙලිදිය ලබා ගැනීමට යොදා ගන්නේ කිතුල් මලයි. මල කැපීම පිණිස ගහ දිගේ ඉහළට නැග ගත යුතුය.මේ මාර්ගය පහසු කර ගැනීම පිණිස මල් මදින්නන් විසින් කිතුල් ගස හැර සා ගනී. කිතුල් ගස හැර ගසා ගැනීමට භාවිතා කරන ප්‍රධාන රිටි වර්ගය වනයෙන් සොයා ගන්නා හැඩවක ලීයයි. ඊට අමතරව ගොඩපර වන මී වන ඉදල වල් ලියන් ලියන් සහ තෙලන් වැනි ලී වර්ග භාවිතා කෙරේ.මුදුන් මලේ සිට බතලේ මල දක්වා(එකිනෙකට පසු එන මල් තුනක්) මාස තුනක් කාලයක් ගත වන බැවින් ශක්තිමත්ව දිරාපත් නොවී තබා ගැන්මට නම් මේ ලී වර්ග භාවිතා කල යුතුය. උණ ගස් බහුලව යොදා නොගන්නේ දීර්ඝ කාලයකට ඒවා ඔරොත්තු නොදෙන බැවිනි.මේ ගසේ හැර වෙලීම සිදු කරන්නේ පට්ටික්කා වැල් කොරස වැල් මාබණ්ඩා වැල් කිරිඳි වැල් කළු බඹර සුදු බඹර වෙනි වැල් සහ කලවැල් වලිනි.වෙළෙඳ පලේ මිළදී ගන්නට තිබෙන කොහු ලණු වලට වඩා ඒවා විශ්වාස කළ හැකි බව මදින්නන්ගේ මතයයි. කිතුල් ගස් හැර දැමීමේ දී චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගැනෙන පුර ජලවක දිනය යොදා ගන්නා බව ඉතා අහම්බෙන් දැන ගන්නට ලැබුණේ රක්වානේ මදින්නෙකුගෙනි.

කිතුල් මල කැපීමේදී ආරම්භයේ දී මල් කිනිත්ත විවර කර කොළ පැහැ වන්නට අරිති. ඉන්පසු ගසට ළන්ව පවතින පුරුක ඇර ඉතිරි පුරුක් ඉති ගැටේ දක්වා ගලවා සුඹුල ගා දමා ගලකින් තලා පදම් කරති.මලේ කිරි පුරක නොහොත් පැණි පුරුකට බෙහෙත් තබන්නේ අනතුරුවයි.මෙයින් පසු මලට ඔලොම්බුව නමින් ආධාරකයක් සවි කර ගනිති. මල දෘඩව තබා ගැනමට එය උපකාරී වේ. දින තුනක් තිස්සේ මල පදම් කර ගනිති.ඉන් පසු මල කැපීම ආරම්භ කරනුයේ යහපත් හෝරාවකිනි.එසේම වඩදිය වේලාවටයි.මේ කාලය උදේ අට පමණ වන විට උදාවන බව ඔවුන් ගේ මතයයි. මල කපන පිහිය කලින් සූදානම් කර තබා ගැනීමද කළ යුතුය. මල් කපන පිහි පණ පොවන්නේ මඩ වතුරෙන් නොවේ. පොල් තෙල් වලිනි. කම්මල් කරුවා ළඟට යන විට පොල්තෙල් කොලපුවක් රැගෙන යෑම සිරිතයි. පණ පෙවූ පිහිය සෑම කැපීමකදීම මුවහත් තබා ගත යැතුය. ඒ සඳහා වල්ලා හෝ මිල්ල ලීයක් භාවිතා කරන අතර තිරිවානා කුඩු යොදමින් මුවහත් තැබීම කරගනිති. මුදුන් මල කපන අවස්ථාවකදී කහ ලුණු සහ පොල් තෙල් ගෙන පුරුකේ සුඹුල හැර මුලු මලේම ගෑම කරති. මුදුන් මල ළපටි බැවින් ඒය ප්‍ර වේශමින් කළ යුතුය.

කිතුල් මදින්නන් බෙහෙත් වට්ටෝරු කීපයක් භාවිතා කරති. ප්‍රදේශ වල විවිධත්වය අනුව රා හෝ මීරා අවශ්‍යතාවය මත මෙන්ම කිතුල් ගසේ මලේ ස්වභාවය අනුවත් එසේ කරති. ඉන් කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.1/ කොල්ලන් කොළ අළු සහ විටට කන හුණු පදමක් 2/ කොල්ලන් කොළ වියන් දුඹුළු ලුණු දියර අළු සහ ඇඹුල් ඉස්ම 3/ කොච්චි ගම්මිරිස් රතු ලූණු හීන් දුරු සහ ලුණු ටිකක් 4/ කෙටල අල සුද්ද කොට පෙති කපා පොල් කිරෙන් තම්බා අඹරා තැබීම.මෙලෙස භාවිතා වන වට්ටෝරු රැසක් පවතින අතර ඒ ඒ පළාත්වල සම්පත් අනුව ඒවා තීරණය වේ. බෙහෙත් තැවරීමෙන් පසු කිතුල් කොළයක තබා බාඳුරා වලින් බැඳීම කරති. බෙහෙත් යොදීමෙන් කෙරෙන්නේ මලේ අභ්‍යන්තරය් තිබෙන සිදුරු පාදා ගැනීමයි.දින තුනක් පමණ කල් ගත වූ පසු තෙලිදිය කඳුළ වෑස්සීමට පටන් ගන්නේ මෙලෙස මල හොඳින් පදම් වූ පසුවයි.ඇතැම් අය බැටරි කුඩු ආදිය මල් බෙහෙත් ලෙස භාවිතා කළද ගසේපැවැත්මට එය හානිකරය.බැටරිකුඩු වල රසායනික ද්‍රව්‍ය නිසා මලට රත් කුරමිණයෙක්(මානෙලා) ආකර්ශනය වන අතර ඌ විසින් දමන බිත්තර වලින් පණුවන් හට ගනී. එයින් මල විනාශයට පත් වීමට තිබෙන ඉඩකඩ බෙහෝය.ඇතැම් කඳුකර පළාත්වල මල කැපීම පිණිස ආරම්භයේ දීම ඔලොම්බුව දමා සම්පූරණ පුරුකේම කොපු ඉවත් කර ගනිති. ඉන් පසු උදයට දහවලට කපා හවසට සම්පූර්ණ කොපුවම වැල් වලින් වෙලා දමති. ඉන්පසු උදෙට නැවතත් කපා හවසට වෙලා දමති . මේ ක්‍රමයට මල පදම් කරගත්තද වැසි කාලයට මෙවැනි පදම් කරගැනීම වලින් මල ඇරීමට තිබෙන ඉඩකඩ වැඩි වන බව අසන්නට හැකිය.දෙසැම්බරයේ සිට අප්‍රියෙල් මස පහළෙව දක්වා කාලය ( බක් මසේ අවසානය දක්වා) කිතුල් මල් කැපීමට හොඳම කාලයයි. තෙල් ගෑමේ අවුරුද්දෙන් පසු එළඹෙන කාලය අධික වර්ෂාවට බර බැවින් මල පදම් කර ගැනීම ලේසි නැත.ඒ නිසා තෙලි දිය ගැනීමට ඇතැම් විට ඉඩ නොලැබේ.මහ රා දමන්නට පෙළඹෙන්නේ එවැනි අවස්ථාවලදීය.

සාමාන්‍ය යෙන් කිතුල් ගසක මල් පහළොවක් පමණ හට ගනිති.මුදුන්මල සහ දෙවනි මල වන ඉපියාව කැපීමෙන් අත් හරින්නේ ඒවායේ ඇට මගින් කිතුල් පරාම්පරාව ප්‍රචාරණය වන බැවිනි. තෙවනි මලේ නොහොත් බතලේ සිට කැපීම ආරම්භ කරන්නට පැරණි මල් මදින්නන් උත්සාහ දරන අනෙක් කාරණය ලෙස සළකන්නේ මුදුන් මලේ වඩුකම හරියට නොකෙරුණහොත් ගසෙන් වැඩක් ගත නොහැති තත්ත්වයට පත් වන බැවිනි.කිතුල් ගස පීදෙන්නට වසර පහලොවක් පමණ කල් ගත වන අතර වසර පහක් පමණ මල් මැදීම සඳහා ප්‍රයෝජනයට ගත හැකිය. කිතුල් මලේ වඩුකම අවුල්කරන්නා වන්නේ රිලවාය. ඌ මදින්නන් පස්සේ රහසේ වැටී මදින්නා ඉවත් වූ පසු ගස් මුට්ටියත් කොලපුත් ඇද දමා යකා නටති. ඇතැම් රිලවුන් රා බී දවස තිස්සේ අනෙක් රිලවුන් සමග කෑ කොස්සන් ගසමින් රණ්ඩුවන හැටි දකින්නට හැකිය. මල් මදින්නන්ට නීතියෙන් කිසිම පිසරණක් නැත. රා බොතල් දෙකක් ළඟ තබා ගැනීමටත් ගස් තුනක් කපා ගැනීමටත් අවසරය හිමව තිබුණද සුරාබදු අංශ සහ පොලිසිය තමන්ට වාරිකව අවශ්‍ය නඩු සදහා මල් මදින්නන් කොටු කර ගනිති. ඇතැම් විට නූගත් කම නිසා රවට්ටා කොලවලට අත්සන් ලබා ගෙන නඩු දමති. තරුණ පරපුර මල් මදින්නට නොඑළඹෙන්නේ මේ දුෂ්කරතා ඔවුන් දන්නා බැවිනි. මේ නිසා අගනා කර්මාන්තයක් ඉදිරි කාලයේ දී අතුරුදහන් වීමට තිබෙන ඉඩකඩ බොහෝ වේ.

http://seneviruwan.blogspot.com/2019/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල