ඉතිහාසය

මිනිස් චාරිකා (12) – අප්‍රිකාවට ගිය පැරණි තෙස්තමේන්තුව

0

මෙයින් අවුරුදු 3000 කට පෙර එක්තරා දිරිය කාන්තාවක්, තමන්ගේ රට ජාතිය ගැන සිතා අසීරු ගමනක යෙදෙන්නට තීරණය කලාය. ඒ රූමත්, නැණවත් ඉතියෝපියානු රැජිණක් වූ, ‘ශීබා’ විය. ඇයට කියන තව නමක් වන්නේ ‘මැකෙඩා’ යන්නය. ඒ ශීබා රැජිනට සොලොමොන් රජු හමුවීම, ඉතියෝපියානුවන්ට නම් ප්‍රසිද්ධ ආගමික සහ ඉතිහාසගත සිදුවීමකි. හීබෘ බයිබලය අනුව, ඔහු ඊශ්‍රායලයේ දෙවන රජු වූ ‘ඩේවිඩ්’ගේ පුත්‍රයා විය.

පින්තුරයේ ආකාරයට නම්, ශීබා බිසව කළු පැහැයෙන් යුතු බව පෙනේ. මේ ශීබා රැජින සොලමන් රජු හමුවීමේ පින්තුරය ඉතියෝපියාවේ ප්‍රාන්ත ගුවන් තොටුපලක් වූ ‘මැකලේ ’හිදී කැමරාගත කලෙමි.

ජෙරුසලමේ ජීවත් වූ සොලොමන් රජු ඉතා ඥාණවන්තයෙක් වූ බැව් බයිබලයේ සහ බයිබලය ආශ්‍රිත පොත්වල කියා ඇත. දිනක් ගැහැණුන් දෙදෙනෙක්, එක් දරුවෙක්ට අයිතිවාසිකම් කීවෝය. මෙය රජු ඉදිරියට පමුණුවන ලදුව, දරුවා දෙකට කපා ගැහැණුන් දෙදෙනාට දෙන්න යයි අණ කල පසු, එක් ගැහැණියක් එයට කැමති වූවාය. අනෙක් ගැහැණිය ඒ තීරණයට කැමති වුනේ නැත.

නියම මව් ඒ දෙවන ගැහැණිය බව කියූ රජුගේ ඥානවන්ත තීරණය, ඊශ්‍රායලයේ මිනිසුන්ගේ ඇගයීමට ලක් විය. ජාතක කතාවකද මෙවැනිම වූ කතාවක් ඇත.

මේ අතර ශීබා රැජිනද, සොලොමන් රජු මෙන්ම ඉතා ප්‍රසිද්ධ වූ, ඉතා ධනවත්, බලවත් රූමත් මෙන්ම, ඥාණවන්ත, සමකාලීනව ඉතියෝපියාවේ සිටි රැජිණක් විය. ශීබා රැජින සොලොමන් රජුව හමු වීමට ගියේ රාජ්‍යතාන්ත්‍රික කරුණු ගැන සාකච්ඡා කිරීමට මෙන්ම, සොලොමන් රජුගේ පාලනය යටතේ රතු මුහුද ආශ්‍රිතව යුදෙව්වන් කළ වෙළඳාම්වලින් ඉතියෝපියානුන්ට ඇතිවූ අනිසි බලපෑම් නිසා, ඒ ප්‍රශ්න විසඳා ගැනීමටය යයි, ඉතියෝපියානු ඉතිහාසයේ පවතී.

කෙසේ වුවද බයිබලයේ කියන්නේ නම්, ඇය සොලොමන් රජු හමුවීමට ගියේ, ඔහුගේ ඇති බුද්ධිමත් බව පරීක්ෂා කිරීම සඳහාය. ඇය ඇසූ, ඇසූ නොයෙක් ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දුන් රජුගේ ප්‍රඥාව ගැන ඇය සතුටු වූවාය. එයින් සතුටු වූ ශීබා රැජින, සොලොමන් රජුට, ජෙරුසලමට ඇය ගෙන ගිය කුළු බඩු සහ රත්තරන් වැනි අගනා ලෝහ වර්ග ප්‍රදානය කළ බැව් කියැවේ.

බයිබලයේ රැජිණ හෙවත් Queen යන්න කියා ඇත්තේ, ‘කළු ගැහැණිය’ ලෙසිනි. (1 Kings 10:1) ශීබා රැජිනගේ අනෙක් නම ‘මැකෙඩා’ යයි කීවෙමි. ජේසුස් වහන්සේ පවා, ඇයගේ දීර්ඝ ගමන සහ ඥාණවන්ත සොලොමන් රජුට කළ අභියෝගය සහ එයින් ඇති වූ ආදර සම්බන්ධය ගැන පවසා ඇත. ශීබා රැජිනට අයිතිවාසිකම් කියන්නේ ඉතියෝපියාව පමණක් නොවේ. යේමනයද ඇයට අයිතිවාසිකම් කියයි.

පොදුවේ ‘දකුණේ රැජින’ යන නම ඇයට දී ඇත. මේ යුගයේදී යේමනය, ඉතියෝපියාව ලෙස නම් බෙදීමක් නොතිබුණු නිසා, සමහරවිට ඇය මේ පළාතේම රටවල්වල නායිකාව වන්නට ඇත. ඇය දකුණු අරාබිය සහ අප්‍රිකාවේ නායිකාව වන්නට ඇතැයි තවත් මතයකි.

ගැහැණියකට නායකත්වය ලැබුණු අප්‍රිකාව සහ අරාබිය එදා වඩාත් සාමකාමී වන්නට ඇත. ඉස්ලාමයට පෙර යුගයේ [Pre-islamic era] ගැහැණුන්ට තිබූ නිදහස පිළිබඳව මේ පුරාවෘතය ඉඟියක් දෙයි. ‘ශීබා’ යන හීබෘ වචනයේ අරාබි තේරුම වන්නේ ‘සාබා’ ලෙසින් වේ. ‘සාබා’ යනු පුරාණයේ යේමනයේ තිබු ‘සේබියන්’ නම් වූ රාජධානිය හෙයින්, එහි රැජිණ ‘ශීබා’ නම් විය යන්න විය සේ, යේමනයේ මිනිසුන් අදහති.

මේ ජනප්‍රවාද ඇතුලේ හොඳින් පෙනෙන දෙයක් නම්, මේ ඉපැරණි වෙළඳ මාවත් හරහා මිනිසුන් ගිය දීර්ඝ චාරිකාවලින්, වෙනස් ජාතීන් අතර සංස්කෘතික, සමාජයීය සහ ආගමික වෙනස්කම් ඇති වීමය. මෙහිදී කවදත් වෙළඳාමට රුසියන් වූ යුදෙව්වන්, දකුණු අරාබිය සහ අප්‍රිකාවෙන්., ‘ඇත් දත්’ සහ ‘සුවඳ විළවුන්’ ගෙන එන්නට පැමිණි බව පෙනේ.

ඒ අතර ඔවුන්, දස පණත, පැරණි තෙස්තමේන්තුව ඇතුළු යුදෙව් සංකල්ප ගෝත්‍රික නොදියුණු අරාබියට සහ අප්‍රිකාවට ගෙන ආ බවට තොරතුරු ඇත.

ඒ තොරතුරු, පසුව යුදෙව් ආගමට හැරුණු ශීබා රැජිණ මගින් නිළ වශයෙන් පිළිගැනෙන්නට ඇත. මේ බොහෝ ගනුදෙනු කෙරුනේ සව්දි අරාබිය හරහා හෙයින්, ඉස්ලාමය, කෙලින්ම යුදෙව් ආගමේ කොපියක් බව ඔබට පෙනෙනවා ඇත.

සොලමොන් රජු හමු වීමට ශීබා රැජිණ චාරිකා කිරීමට ගිය කාලය, අවුරුදු හතක් වූවායයි කියයි. බොහෝ විට ඇය එකළ ප්‍රසිද්ධ වූ සේද මාවතේ අතුරු මාවතක් වූ දකුණු අරාබිය ඔස්සේ ජෙරුසලමට, ඔටුවන් ඇති තවලම් හරහා චාරිකා කරන්නට ඇත. ඒ අතර යේමනයේ අගනුවර වූ ‘සානා’ පසු කර සේබියන් නුවර හරහා ජෙරුසලමට චාරිකා කරන්නට ඇත. එසේ නොවුණා නම් වෙන්න ඇත්තේ, යේමනයේ රැජිණද වූ ඇය, ‘සානා’ නුවර සිට ජෙරුසලමට චාරිකා කිරීමය.

‘සොලොමන් රජු සමඟ විසීමෙන් ඇය ගැබ්බර විය’ යන්න ඉතියෝපියානු ජන ප්‍රවාදයේ කියවේ. එදින රාත්‍රියේ සොලොමන් රජු සිහිනයක් දුටුවේ; හිරු ඊශ්‍රායලයෙන් නැග, රෝමය සහ ඉතියෝපියාවේ මුදුන් වන විට දීප්තිය වැඩි වූ බවය. මේ ලකුණ හේතුවෙන්, සොලොමන් රජු, ශීබා රැජිණට ඔහුගේ මුද්ද දීමට තීරණය කළේය.

‘ඩේවිඩ්’ගේ පරම්පරාවෙන් පැමිණෙන රජුට අවශ්‍ය වූයේ, ඉතියෝපියාව වැනි දකුණේ ඇති රටවල්වල බලය එම ඩේවිඩ්ගේ පරම්පරාව විසින් පාලනය කිරීමය. එහෙත් ඒ දරුවා ලැබෙන තෙක්, ගැබ්බර ශීබා රැජිණ ජෙරුසලමේ සිටියේ නැත. ඇය රජුගෙන් සමුගෙන නැවත තම රාජධානිය වෙත ගමන් ආරම්භ කලේ ඇය රජුට කළ ආදරයට වඩා, ඇය උපන් රටට ආදරය කළ බැවිණි.

ශීබාගේ ආගමනයෙන් පසු, ඉතියෝපියාව සමඟ වෙළඳාම් කළ යුදෙව්වන්ගෙන් ඇති වූ වෙළඳ බාධක අඩු විය. එය ඉතියෝපියාවට හොඳ කාලයක් උදා වන්නට හේතුවක් විය. ඉතියෝපියාවට ශීබා රැජින නැවත පැමිණෙන අතර ඇයට පුතෙක් ලැබිණි. ඔහු ‘මෙනලික්’ නම් වූයේය. ‘මෙනලික්’ යන්නේ තේරුම, ‘ඥාණවන්තයාගේ පුත්‍රයා’ යන්නය. ‘මෙනලික්’ ඉතියෝපියාවේ ඔටුන්න හිමි කුමරා විය. ඔහු පසු කලක ඉතියෝපියාවේ රජ වී, තමන්ගේ පියා වන සොලොමන් රජු හමු වීමට ජෙරුසලමට ගොස්, තම මවට දුන් මුද්ද පෙන්වා ඔහුගේ අනන්‍යතාවය පියා ඉදිරියේ සනාථ කලේය.

එමගින් මෙනලික් කුමාරයා, පියාගේ නොමඳ ආදරය හිමිවී, එදින සොලොමන් රජුට දිය හැකි ඉහළම ත්‍යාගය වන, මිළකින් මනින්නට නොහැකි, ‘The arc of Covent’ යන්න ත්‍යාගයක් වශයෙන් ලබා ගත්තේය. ජනප්‍රවාදයේ කියන්නේ, එය යුදෙව් ආගමේ ප්‍රකාශිත ‘දශ පණත’ ග්‍රන්ථකරණය කර තිබු පුස්තක ඇති පෙට්ටිය බවය. එහෙත් ඒ ගැන වෙනත් අද්භූත මතයක්ද පවතී.

සමහරවිට ඥාණවන්ත සොලොමන් රජතුමාට යුදෙව් ආගමේ පැවැත්ම, පැරණි ඊශ්‍රායලයේ සිදු නොවන බව තේරෙන්නට ඇත. අද දින ඒ සොලමන් රජු තැනූ මාළිගාවේ එකදු ගල් කැටයක්වත් සොයාගැනීමට නොහැක. ඒ සියල්ල ආක්‍රමණකාරීන් විසින් විනාශ කර ඇත. අදද පා ගමනකින් ලෙහෙසියෙන් තරණය කළ නොහැකි, මහා කඳු, ගංගා සහ ගිරි හෙල් ඇති ඉතියෝපියාවේ එම පුස්තක ඇති පෙට්ටිය, වඩාත් සුරක්ෂිතව තියන්නට හැකි බව තේරුම් ගන්නට ඇත.

සමහරවිට පසු කලක බයිබලයේ එය මෙසේ තිබුනේ එම හේතුව නිසා වෙන්න ඇත. බලන්න, මතෙව් 12: 42:- “දේව විනිශ්චය දවසේදී දකුණු දිශාවේ රැජිනිය මේ පරම්පරාවට විරුද්ධව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, එතුමිය සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාවේ සිට පැමිණියාය. මෙන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි ඇත” කුමක්ද මේ සලමොන් ගේ ප්‍රඥාවට වඩා වැඩි දෙයක් වන්න ඇත්තේ ?

මෙය නම්, ජේසුතුමා කුරුසයේ ඇණ ගහන්න තරම් කෘර වුනු යුදෙව්වන්ට, මෝසෙස් විසින් ලැබී තිබුණු දස පණත ඇතුළු ඒ සංකල්ප හෝ අමුතු දෙයක් ඇති පෙට්ටිය ජෙරුසලමෙන් පිටට ගෙනයන්න ‘ශීබා’ රැජිණ මුල් වුනා කීම විය යුතුය.

“The arc of Covent” මෙනලික් රජු එය ඉතියෝපියාවට ගෙන ආවේය යන්නද, එය එහි ‘ලලිබෙලා’ පැරණි දේවස්ථානය හෙවත් ලලිබෙලාහී ‘ශාන්ත ජිඕර්ජිස් ගල් පල්ලිය’ [St. Georgis rock church] ආශ්‍රිතව තිබේ යයිද ජනප්‍රවාදයේ පවතී. තනි ගලෙන් තනන ලද මේ ආකාරයේ පල්ලි 11 ක්, දේව දූතයන් 700 ක් විසින් තනන ලදැයි ජන ප්‍රවාදයේ පවතී. සොලොමොන් රජුගේ පුත්, මෙනලික් රජු සමඟ යුදෙව්වන් ඉතියෝපියාවට පැමිණ පදිංචි වූහ.

ඊශ්‍රායලය නැවත ගොඩනගන තෙක්, බොහෝ යුදෙව්වන් ඉතියෝපියාවේ සිටියද, අද ඔවුන් මෙහි ඇත්තේ අඩු සංඛ්‍යාවකි. තවද ශීබා රැජිණ සහ සොලොමන් රජුගේ පුත් මෙනලික් රජුගෙන් ආරම්භ කළ රජ පරම්පරාව 1975 වසර තෙක් පැවතිණි.

කෙසේ හෝ ශීබා රැජිණ අපට ගෙන එන්නේ අද්භූත කතාවකි. ඇයට ගැන ඉවර කරන්න නොහැකි තරම් ධනය තිබිණ. සොලොමන් රජුගේ ඥානයට පැරදී ඔහුට පසුව ආදරය කළද, බොහෝ ඥාණවන්ත කාන්තාවක් විය. කඳු හෙල්, කාන්තාර, ගංගා, මුහුදු තරණය කර කළ අභියෝගාත්මක චාරිකාවට අමතරව ඇති තවත් තර්ජනයක් වූ මං පහරන්නන්, ගෝත්‍රික අරාබින්, සොරුන්ට නොබියව ඇයට අවශ්‍ය ගමනාන්තයට පැමිණි හෙයින්, ඇය ඉතා නිර්භීත කෙනෙක් වන්නටද ඇත.

විශාල පළාතක් පාලනය කළ හෙයින් ඉතා බලවත් විය. රජෙක් තැනූ කරුණාවන්ත මාතාවක් විය. මේ අතර එක් පාදයක එළුවෙක්ගේ මෙන් රෝම ඇති වීම හේතුවෙන් ඇය ඉතියෝපියාව ආරක්ෂා කරන්නට පාතාලයෙන් ආ භූතයෙක් ලෙසද සැලකිණි.

කෙසේ වුවද අවසානයේ පැරණි තෙස්තමේන්තුව රටට ගෙන ඒමට මුල් වූ ඇය, අවරුදු දහස් ගණනක් අඛණ්ඩව පැවතීමට, ජාතියකට නව ජීවනයක් දුන් ඇය, ඉතියෝපියානුවන් අදද ආදරයෙන් සිහිපත් කරන, එම ජාතියේ ආදරය දිනූ මාතාව වූවාය.

මිනිස් චාරිකා (12) – අප්‍රිකාවට ගිය පැරණි තෙස්තමේන්තුව

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල