සාහිත්‍ය කළා විචාර

Premam – 2015

Off

මට ප්‍රේමම් ගැන ආයේ මතක් වුනා. ඒ අර හැමදාම FB එකේ ශෙයා වෙන හුරුපුරුදු පෝස්ට් ස්ටයිල් අතරේ අද යාලුවෙක් ශෙයා කරලා තිබුනු ස්ටයිලික් පෝස්ට් එකක් දැක්කම. මේ පහලින් තියෙන්නේ පොස්ට් ඒක.

ඒත් ජීවිතය කියන්නේ ඒක නෙවෙයි. ඒ අහිමිවීමත් එක්ක ඊළඟ දෙයක් සොයා ගන්න එක තමයි ජීවිතේ. අලුත් අලුත් දේවල්, මිනිස්සු, එක්ස්පීරියන්ස් හම්බවෙන්නේ එතකොට. ජීවිතේ පොඩි දෙයක් ඇතුලේ කම්පැක් වෙනවා වෙනුවට ජීවිතේ ලොකු වෙන්නේ එතකොට. අහිමිවීම/වෙනස්වීම ගැන හූල්ල හූල්ල ඉන්න එකෙන් කවදහරි වෙන අවබෝධයම තමා අහිමිවීම/වෙනස්වීම තුලින් ලැබෙන දේ. හැබැයි අපි හිතන්නේ ඒ දේ නොවුනනම් ඊට වඩා සුන්දර වෙන්න තිබ්බා කියලා. ඒත් මේ සුන්දර සිතුවිල්ල (පෝස්ට් එක) පවා එන්නෙම ඒ ‍රැවටීම, වෙන්වීම වගේ දේවල් වුනු නිසානේ.

ඒ වෙලාවේ තිබ්බ මද මත් බව නිසාම පෝස්ට් එකත් එක්කම ප්‍රේමම් මතක් වුනා. ප්‍රේමම් (Premam) කියන්නේ 2015 ආපු අතිශය ජනප්‍රිය වුනු මලයාලම් ‍ෆිල්ම් එකක්. ඇල්පොන්ස් පුතරන් (Alphonse Putharen) කියන මලයාලම් අධ්‍යක්ෂකවරයගේ ‍ෆිල්ම් එකක්. සායි පල්ලවි ඉන්දියාව ලංකාව වගේ රටවල් වල ප්‍රේමනීය අයිකොන් එකක් විදියට එලියට එන්න, ප්‍රේමම් සෑහෙන බලපෑවා. අතිශය සුරූපී යු‍තෝපියන් සුන්දරත්වය වෙනුවට ග්‍රාමීය අයිඩෙන්ටිටි එකක් එළියට එන්න පටන් ගන්නේ ඒ කාලේ වගේ. අයිශ්චර්යා වෙනුවට සායිලා තරුන සිත්වල කැලතෙන්න පටන් ගන්නේ ඒ කාලේ. ආදරයේ තියන සුන්දරත්වය, නිර්මානයක තියන සංකීර්ණ සමාජීය දේශපාලනික සහ මනෝවිශ්ලේශනාත්මක තලයට වඩා මතුපිට මිහිරියාවක් එක්ක ගේන්න ප්‍රේමම් සමත් වෙනවා.

ඒක බහුතරයක් ජනප්‍රිය වුනු මලයාලම් චිත්‍රපටිවල ලක්ෂනයක්. යුක්තිය වෙනුවෙන් මරා ගැනීම වගේම පැතලි කලු සුදු චරිත ඉදිරිපත් කිරීම, පන්ච් මියුසික්, අසමමිතික කට්ස් භාවිතය වේගවත් කැමරා මූමන්ට්ස් මේ සිනමාව මිනිස්සු අතරට යන්න බලපෑවා. ඒත් ඒ සියලු ඊස්තටික් වැඩ අස්සේ මලයාලම් ඉන්ඩස්ට්‍රි එක අලුත් අලුත් ප්ලොට්ස් හොයන්න පටන් ගත්තා. වෙනද දැකල නැති අලුත් කතා ස්ක්‍රීන් එකට ගේන්න ඔවුන් ට්‍රයි කරා. අතිශය පුරුශවාදී සමාජයක ස්ත්‍රී නියෝජනය/ ස්ත්‍රිය මොඩනයිස් කිරීම වගේ දේවල් ඒ වැඩ අස්සේ එලියට ආවා. දේශීය ගැහැනිය සහ පුරුශයගේ ෆැන්ටසි ලෝකය ඒ එක්ක පත්තු වුනා. ඔවුන්ට ලඟා වෙන්න බැරි ඒ ඩ්‍රීම් අවකාශය තමන්ට ලඟම බව තාමත් ඔවුන්ට එත්තු යන විදියට මේ නිර්මාන ඔවුන්ට සමීප වුනා.

ගැලරිය විසිල් ගහන, හො‍ටු හූර හූර අඬන, කෝපයෙන් වෙවුලන, ගැලරිය ප්‍රේමනීය කරන තැනක් බවට මේ සිනමාව ආවා. ඒක සාමාන්‍ය ප්‍රේක්ශකයට විනෝදාස්වාදය එක්ක මතකයක් විදියට තියාගෙන හෝල් එකෙන් එන්න පුලුවන් කම ලැබුනා. ඒක කර්මාන්තයක් විදියට ඉස්සරහට යන්න සහ කියපු කතන්දර වෙනස් විදියට කියන්න නිර්මානකරුවන් මහන්සිවෙන තැනක් දක්වාත් ගෙනාවා. දැන් වෙද්දි බොලිවුඩ් වලට වඩා තියුනු ෆ්‍රේමින්, එඩිටින්ග් ඇතුලු සියලුම දේවල් වලින් මලයාලම් සිනමාව ඉස්සරහින් ඉන්නවා.

ප්‍රේමම් කියන්නේ එහෙම සියලු වැඩ කෑලි දාල ගොඩ දාපු වැඩක්. ප්ලොට් එකක් විදියටත් ඊස්තටික් ලෙවල් එකක් විදියටත් ප්‍රේමම් මරු වැඩක් වෙන්නේ ඒ නිසා.

අහිමි වීම කියන්නේ හරිම සුන්දර වේදනාවක්. මුලු ලෝකෙම කඩාගෙන වැටුනා වගේ දැනුනත්, “අහිමි වීම” හිමි වෙලා තියන තාක් අපිට ප්‍රෝග්‍රසිව් පාත් එකක් තියනවා. ෆීල් කරගන්න දෙයක් තියනවා. ප්‍රේමම් සරල කොටස් තුනකට කැඩිලා එන්නෙ. පාසැල් ප්‍රේමය, යුනිවසිටි ප්‍රේමය සහ තරුණ ප්‍රේමය වශයෙන් අපිට සරලව බෙදලා ඒ කෑලි ටික එලියට ගන්න පුලුවන්.

පාසැල් ප්‍රේමය

වෙරලු මල් සුවඳ දැනෙන කාලේ. පිරිමියා ගැහැණියගෙත්, ගැහැණිය පිරිමියාගෙත් වෙනස්කම් ගුප්ත විදියට හොයන කාලේ. ෆ්‍රස්ට් කිස් එක, ඉතාමත් අහම්බෙන් (ලංකාව ඉංදියාව වගේ රටවල් වල අපිට) පලමු සෙක්ස් එක්ස්පීරියන්ස් එක හම්බවෙන කාලේ. ප්‍රේමයේ අමුතු අත්දැකීම අත්දකිමින් පොඩි පොඩි දේවල් මතකයන් විදියට ඉතුරු කරගත්ත කාලේ. කෙල්ලෙක් පස්සෙන් යාලුවොත් එක්ක යන එක, අහන්න බයෙන් ඉන්න එක, අතරේ අහම්බෙන් හිනා වෙන කාලේ. පලමු ප්‍රේමයේන් ආතුර වෙලා මදුසැල් වල කරක්ගහන්න පටන් ගන්න කාලේ. නිකොටීන් දුම පෙනහලුවලට පුරුදු වෙන කාලේ. ප්‍රේමය සමඟම විරහවත් ජීවිතේ පුලුල් කරන කාලේ. ඒ පාසැල් ප්‍රේමයේ කාලය.

යුනිවර්සිටි ප්‍රේමය

ඒක ටිකක් වෙනස්. රැඩිකල් තරුණකම එක්ක ඉන්න කාලේ. අවධානම් අරගන්න කාලේ. සම්මත වගේම අසම්මත කතා අස්සේ හිර වෙන කාලේ. කුඩුවෙන්නම බොන, නිකොටීන් දුම නැතුව ඔක්සිජන් ඉන්හේල් කරගන්න බැරුව ඉන්න කාලේ. හඳමත පා තබමින් සැහැල්ලු සිතුවිලි එක්ක සංකීර්න චක්‍රාවටවල ඇවිදින කාලේ. ලිංගකත්වය අත්දැකීමකින් එහා ගිහින් ආගමක් වෙන කාලේ. සුන්දර ප්‍රේම කතා එක්ක එහෙමෙහෙ යන කාලෙ. ජීවිතය වෙනස්ම කරන කාලේ. අලුත් මිනිහෙක් එලියට දාන කාලේ. ඒ කාලේ ප්‍රේමය කියන්නෙම අකාලික ප්‍රේමයේ සදාකලික සලකුනක් විදියට තැන්පත් වෙන කාලේ.

තරුණ ප්‍රේමය

ජීවිතය ගැන පුලුල්ව හිතන කාලේ. ටාගර්ට්ස් අස්සේ සල්ලි පස්සේ දුවන්න පටන් ගන්න කාලේ. සීරියස් අෆයාර් එකක් හොයන කාලේ. සීරියස් අෆයර් එකක් හම්බවෙන කාලේ. ජීවිතේ ඉතුරු අර්ධයේ කවුරුන් වෙනවද වග තීරනය කරන කාලේ. බොන එකට ලිමිට් දාගන්න කාලේ. නිකොටීන් වෙනුවට වාහනයක ප්‍රෙට්‍රල් සුවඳ ඉවකරන කාලේ. සඳ මතින් බිමට පා තබන කාලේ. යුතුකම් වගකීම් වැඩිවන කාලේ. අන්තිමට බඳින කාලේ. දෙන්නෙක් එක්කෙනෙක් විදියට සමාජයට පේන්න මඟුලක් කන කාලේ.

ඒත් ආදරය කියන්නේ එහෙම කාලෙන් කාලෙට බෙදන්න පුලුවන් දෙයක්ද..? ජීවිතය වුනත්..? නෑ. ඒ හැම දෙයක් ඇතුලෙන්ම හූයකින් බැඳිලා. ජීවිතය ගලාගෙන යන්නේ බැඳීම් එක්ක. කිසිදාක එක් නොවේ කියල ඒ කාලෙ හිතපු අය පසු කාලීනව එක් වෙන්නෙත්, ඒ කාලේ කවදාවත් වෙන් නොවේ කියල එක් වුනු අය පසුකාලෙක වෙන් වෙන්නෙත් මේ බැඳීම්වල තියන මිහිරියාව මතක් කරමින්. මට ඔබට ජීවිතය කියන්නේ ඒ බැඳීම්වල එකතුව. ප්‍රේමම් කියන්නේ ගලා යන ජීවිතයේ අදරය ගැන කරන හොද සංවේදනයක්. ප්‍රේක්ශකයාව මාර ගැඹුරු තැනකට අරං නොගියත් ආදරයේ වේදනාවන් එක්ක ජීවත් වන්නන් හට පැරණි මතක මල්වඩම් ගොඩ ගන්න බල කරන ප්‍රේමනීය ආමන්ත්‍රනයක්.

ප්‍රේමම් අපිට මතක් කරන්නේ, රඹුක්කන සිද්දාර්ථ ලියපු, එඩ්වඩ් කියන කතාවෙම තව වර්ශන් එකක් නේද?

අද නුඹ කොතැන ද අද මා කොතැන ද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා…..

මේ ඉරහඳ යට හමු වී
ආදරයෙන්..
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ…

ඒත් අලුත් අය අපි හැමෝගෙම වටේ. ඉස්සර ළඟින් නොසිටිය අයත් ඇතැම් විට අපි ළඟ. ඒත් අපි ප්‍රාර්තනා කරපු දේවල් ඒ විදියටම නොවුනු නිසාමයි මේ විදියට නිරාමිස වේදනාවක පහසකට හදවත පාරගෙන ඇතුලට යන්න පුලුවන් වෙලා තියෙන්නේ. ලෝකය ලස්සන වෙන්නේ අහිමි වීම් එක්ක. මිහිරි වෙන්නේ තිත්ත තිබුනොත්. තිත්ත විඳින්න. පස්සේ කාලෙක රහම මේ දැන් විඳින තිත්ත.

-තරිඳු ජයරත්න

https://mise-en-scene-sl.blogspot.com/2019/01/premam-2015.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල