කාලීන සංවාද

මව් ගුණ සමර – 4 – අයාලේ ගිය සිතක සටහන් සමඟ ගවනර් ජෙනරල් ගැන කතාවක්

0

අපිට ජීවිතේ කිසිම දෙයක් අපි හිතන පතන විදිහට කරගන්ට නම් ලැබෙන්නෙ නෑ..නෑ..නෑම තමයි…ඒක වෙන්නෙ මෙහෙමයි..අපෙ ප්‍රියම්බිකා තොමෝගෙ අප්පච්චි නැත්නම් වසර තුනකට පමණ පෙර අභාවප්‍රාප්ත මගෙ මාමණ්ඩි හිටියනං කියයි “ඔව්ව ගණං ගන්ට එපා රවි පුතා… එහෙම තමයි ඒකෙ අවයවය” කියල…හෙහ්…හෙහ්..

දැං ඔන්න පොඩි උදාහරණයක් ගත්තොත් කවදකහරි මගෙ විවාහ මංගල්ලෙ මෙන්න මෙහෙමයි කරන්නෙ කියල මම පොඩි කාලෙ ඉඳලම හිතාගෙන උන්න. ඒ ඔය පොඩි කාලෙය කිව්වෙ එකල්හි ඒ සිදුහත් කුමරාණෝ යශෝධරා කුමරිය හා සමඟ උත්සව ශ්‍රීයෙන් යුතුවැ මිණිරුවන් රැසක් මස්තකයෙහි සරණ බන්ධන ප්‍රාප්තවී….කියල හයේ නැත්නම් හත වසරේ බුද්ධාගම පොතේ තිබ්බ පාඩමක කියවපු කාලෙ නම් එහෙම නෙවෙයි. ඒකාලෙ ඔය ගිරව “පෙත්තප්පු බත් කෑවද?” කියල බත් කනව කියන්නෙ මොකක්ද කියල මෙලොව සංසාරයක් දන්නෙ නැතුව කියවනව වගෙ අපි ඔය සරණ බන්ධන සීන් කියෙව්වට ඒ කියන්නෙ අහවල් දෙයක්ද කියල තේරුමක් නම් තිබුනෙම නෑ.

ඒ දවස්වල අපිට නොමිලේ පෙළපොත් ලැබුනෙ නෑ. තුන්වන පාසල් වාරෙ අන්තිම දවසෙ ඒ කියන්නෙ බොහෝවිට දෙසැම්බර් පළවෙනි සතියෙ සිකුරාද නිවාඩු දෙනකොට ඊළඟ වසරට නියමිත පාඩම් පොත් පංතිභාර ගුරුතුමී හෝ ගුරුතුමා කළු ලෑල්ලෙ ලියනව. අපි ඉතිං ඒ ලැයිස්තුව පරිස්සමට කොපි පොතක අන්තිම පිටුවෙ ලියාගෙන ගිහිල්ල අම්මට දුන්නම අම්ම දෙසැම්බර් පඩි ගත්තම පොත් සාප්පුවට ගිහිල්ල හිට ඒ පොත් තොගේ අරං දෙනව. ඩබල් රූල් පොත්, තනි රූල් පොත්, කොටු රූල් පොත්, මකන කෑලි, පැන්සල්, අඩි රූල් කවකටු පෙට්ටි යනාදී සියලු අංගෝ පාංග ඇතුලුව…

පාඨ ග්‍රන්ථ නොහොත් පෙළ පොත් තිබ්බෙත් ආණ්ඩුවෙන් ගහපු එව්ව නෙවෙයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ අනුමැතියට යටත්ව විවිධ ඒ විෂයය පිළිබඳව ප්‍රාමාණික විද්වතුන් ලියාපු පොත් තමයි අපි පාවිච්චි කලේ. එව්වයෙ දෙවෙනි පිටුවෙ තිබ්බ මෙහෙම ලියල….අ.ග්‍ර.ප්‍ර.උ.මණ්ඩලය විසින් රජයේ පාඨශාලාවන්හි භාවිතයට සුදුසු බවට අනුමත කරන ලදී. (එහෙම කෙටියෙන් හැඳින්නුවෙ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය) ඊටත් යටින් මෙහෙමත් තිබ්බ අනුමත කරන බලධාරියගෙ නම… ඩබ්ලිව්.ඩී.සී. මහතන්තිල. අ.ග්‍ර.ප්‍ර.උ.මණ්ඩලයේ ලේකම්…

ඉතිං මම මේ කියන්න ආවෙ ඒ කාලෙ බුද්ධාගම පෙළ පොත් ලිව්වෙ ජයසේකර අබේරුවන් කියල මහත්මයෙක්. එතකොට භූගෝල විද්‍යාව, ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය පෙළ පොත් ලිව්වෙ පී. රූබන් පීරිස් කියල මහත්මයෙක්. එතුමාගෙ ලිපිනයත් තිබුන මට මතක විදිහට රෝහල පාර, කළුබෝවිල. පස්සෙ කාලෙක මම කොළඹ ආවට පස්සෙ ඔය කළුබෝවිල රෝහල පැත්තෙ යනකොට මම දැක්ක පී. රූබන් පීරිස් මාවත කියල නාම පුවරුවක්. එකත් එකටම ඒ මහත්මය ජීවත් වෙච්චි නිවස පිහිටල තිබුනු පාර වෙන්න ඕන.

කොළඹට ප්‍රධාන රෝහල් පහක් තියනව. ඇස්වාට්ටුව හන්දියෙ මහ ඉස්පිරිතාලෙ සහ ජයවර්ධනපුර රෝහල.. එතකොට දෙකයි. ඊට පස්සෙ උතුරු කොළඹ මහ රෝහල තියෙන්නෙ රාගම. දකුණු කොළඹ රෝහල කළුබෝවිල සහ මැද කොළඹ රෝහල තියෙන්නෙ මාළිගාවත්තෙ ජයන්ත වීරසේකර මාවතේ.

එතනම පොඩ්ඩක් එහායින් ඒ කාලෙ (ඒ කාලෙ කියල මම කිව්වෙ හැත්තෑ හතේ අටේ වගෙ) තිබ්බ බී.සී.සී. (British Ceylon Corporation) කොම්පැණියෙ පොල්තෙල් මෝලක්. හප්පා ඒ කාලෙ ඔතනින් යන එන කොට හුළං අතත් එක්ක එනව පොල්තෙල් සුවඳ ඉන්ඩ හිටින්ඩ බෑ. ඒ පැක්ටරියට අල්ලලම තිබ්බ දුම්රිය නිල නිවාස. ඒ නිල නිවාසයක හිටිය අපෙ අම්මගෙ අයිය කෙනෙක්. ඒ කියන්නෙ මගෙ මාම කෙනෙක්.

අර මම කලින් කතාවෙ කිවෙ අපේ ගෙදර නැන්ද කෙනෙක් ඇවිල්ල නැවතිල හිටිය කියල. ආන්න ඒ නැන්ද කසාද බැඳල හිටියෙ ඔන්න ඔය මාමව. මම ඉතිං සමහර සති අන්ත වල ඉස්කෝලෙ ඇරිල පයින්ම යනව ඔය කියපු මාමලගෙ ගෙදර. කැටවලමුල්ල ලේන් එක දිගේ ඇවිල්ල දෙමටගොඩ රේල් බෝක්කුව යටින් ආවම එතනම දකුණු අත පැත්තෙ තමයි මම ඔය කියල දුම්රිය නිවාස තිබ්බෙ.

ඔය බී.සී.සී. එක ඉස්සරහ බෝඩ් එකක් ගහල තිබ්බ රජයට පවරාගත් සීමාසහිත බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් කියල. ඉංග්‍රීසියෙන් තිබ්බෙ Government Owned Business Undertaking Of British Ceylon Corporation…අන්න එහෙම.

යූ.ඇන්.පී ආණ්ඩුවෙන් ඒ කාලෙ එහෙම දේවල් කලා. එක එක ව්‍යාපාර රජයට පවරාගෙන පරිපාලනය කලා. එව්වට කිව්වෙ G.O.B.U. (Government Owned Business Undertaking) කියල. පාඩු ලබල වහල දාන්ඩ වෙන ව්‍යාපාර වගේම දේශපාලන හේතූන් මතත් එහෙම දේවල් කලා කියලයි කියන්නෙ. මරදානෙ ටවර් රඟහල ලඟ තිබ්බ බුහාරි හෝටලයත් එහෙම රජයට පවරාගත්තු G.O.B.U. එකක්. බුහාරි හෝටලේ බිරියානි ඒ කාලෙ රට පුරාම ප්‍රසිද්ධයි. ඇත්ත පත්තරේ සිරා ඒ දවස්වල කතු වැකියක් ලියල තිබ්බ “ජේ.ආර්. බුරියානි වෙළඳාමට බහී” කියල.

රෝහල් ගැන කතාව ඇදිල ආපු එකේ මම මේ ගිය සතියෙ වගෙ මුහුණු පොතේ කියවපු අපූරු තොරතුරකුත් කියලම ඉන්නම්කො ඔබ තමුන්නාන්සෙලාගේ දැන ගැන්ම උදෙසා.

ශල්‍යාගාර නොහොත් ඔපරේෂන් කරන තැන්වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Operation Theaters කියලනෙ. දන්නවද ඇයි එහෙම කියන්නෙ කියල? මට සෑහෙන කාලෙක ඉඳල තිබ්බ ප්‍රස්නයක් ඕක.

අවුරුදු සීයකට හමාරකට වගෙ ඉස්සර ශල්‍යාගාර හදල තිබ්බයි කියන්නෙ ශල්‍යාගාරය වටේටම ඉහළ මහලක් තියෙන විදිහටලු. ඒ කියන්නෙ හරියටම සිනමා ශාලාවක නැත්නම් නෘත්‍යාගාරයක බැල්කනියක් වගේ. පල්ලෙහා සැත්කමක් කෙරෙද්දි ඒ බැල්කනියෙ වෛද්‍ය සිසු සිසුවියො ඉඳගෙන බලා හිටියලු සැත්කම කෙරෙන ආකාරය දැකබලාගෙන ඉගෙන ගන්නා පරමාර්ථයෙන්. ඉතිං ඒ කාලෙ ශල්‍යාගාරය නෘත්‍යාගාරයක් වගේ නිර්මාණය වෙලා තිබුණු හින්දලු Operations Theaters කියන නම භාවිතයට ආවයි කියන්නෙ.

දැං ආයෙම අර මගෙ විවාහ මංගල්‍යය කතාවට ගියොත් මම ඉතිං හිතාගෙන හිටිය කවදකහරි මම බඳින්නෙ මෙහෙමයි කියල. ඒ කිව්වෙ ඔය නිළමෙ ඇඳුම්, ඔටුනු, තුප්පොට්ටි, බඳ පටි, කඩු, කිණිසි අරව මෙව්ව මොකවත්ම නෑ කෙලින්ම අඳින්නෙ ජාතික ඇඳුම. එතකොට පෝරුවෙ චාරිත්‍ර වාරිත්‍ර පොල් බිඳිලි, අස්ටක කියවිලි මොකවත්ම නෑ. රෙජිස්ටරේ අත්සන් කලා එච්චරයි. ඒ කරල මගෙ යාලු ඥාති හිතමිත්‍රාදීන්ට හොඳට බඩ පුරා බීම සහිතව කෑම වේලක් දෙනව ගාතෙ දාල වැටෙන්ඩ. අන්න එහෙමයි මගේ තිබ්බ අහිංසක බලාපොරොත්තුව.

මම ඉතිං ඒ කාලෙ දෙකක් දාගත්තම ඔය විස්තරේ කියල ඇති යාලුවො එක්ක අනන්ත වාරයක්. ඒ කියන කියන වෙලාවක් ඇත්තං බැඳල කරල කාරිය හිටපු මගෙ යාලුවො කිව්වෙ “පිස්සුද බං? උඹ ඔය හිතාගෙන ඉන්න එව්ව කොරන්ට හම්බවෙන්නෙ නෑ බලාපංකො…” කියල.

මම කිව්වෙ “ආ..බලා ඉඳපංකො මම ඔහොම නොකරයිද කියල එහෙනං…” අන්න එහෙම. ඒත් අන්තිමට උනේ මොකක්ද? අපි දෙන්න එකතු වෙලා අපේ මංගල්ලෙ ලොජිස්ටික්ස් සැලසුම් කරද්දි මම අපේ උන්දැට ඔය අයිඩියා එක හෙමිහිට දැම්ම. නිකං අර කියන්නෙ මුට්ටිය දාල බලනව කියල. අන්න එහෙම නිකමට මුට්ටිය දාල බැලුව. ආය මොනවද කෙලිය නේද තාප්පෙටම. (ඔය මුට්ටිය දාල බලනව කියන කතාවෙ උපත නම් ඔය අය හැමෝම වගෙ දන්නව ඇතිනෙ. එනිසාවෙන් ඒ විස්තරේ මම ආයම පාරක් මෙතන කියන්ට යන්නෙ නෑ)

ඉතිං මංගල්ලෙ පැවැත්වෙන විදිහ නොහොත් ක්‍රියා පටිපාටිය ගැන නිකමට මුට්ටිය දාල බැලුව විතරයි අපේ උන්දැ දුන්නෙ නැද්ද මුට්ටියට කෙලින්ම දෑත බදල හොඳ පොළු පාරක්. ඒ කිව්වෙ කෙලින්ම ඇස් දෙකේ කඳුළු පුරවගෙන මෙහෙම කිව්වනෙ. “අනේ එහෙම කොහොමද ඒයි? අපේ පවුලෙ කවුරුවත්ම ඔහොම වෙඩිං එකක් අරගෙන නෑනෙ. අපෙ අම්මල අප්පච්චිල කොහොමද ලොකු අම්මලට මාමලට නැන්දලට මාමලට මූණ දෙන්නෙ?”

මම ඉතිං ඒ පාර “ආ..එහෙමත් එකක්ද හ්ම්ම්ම්..කලිං කියන්ට එපාය..කවුද ඔහොම දෙයක් දන්නෙ? හරි හරි එහෙනං ඕන එකක්… ඔයා කියන විදිහකට කරමු” කියල පසු බැස්ස.

කෙළිය නේද තාප්පෙටම කියනකොට මට මතක් උනේ අපේ ට්‍රම්පච්චි. ට්‍රම්පා මේ දවස්වල තාප්ප කේස් එකක් හින්ද ඇමරිකාවෙ කොන්ග්‍රස් එකත් එක්ක ෆුල් මලෙං ඉන්නෙ. කොන්ග්‍රස් එකත් අරින්නෙ නෑ. ගේමම ඉල්ලනව. වැඩේ තියෙන්නෙ පහුගිය නොවැම්බර් වල තිබ්බ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකෙන් කොන්ග්‍රස් එකේ වැඩි බලය හිමිවුනේ ට්‍රම්පච්චි විරුද්ධ පක්ෂයට. ඒ කිව්වෙ ඩිමෝක්‍රටික් එකට. බරක් ඔබාමා හිලරි ක්ලින්ටන් එහෙම ඒ පක්ෂයෙ උදවිය.

අමරිකාවෙ කොන්ග්‍රස් එක කියන්නෙ අපේ පාර්ලිමේන්තුව වගේ. ට්‍රම්පච්චිගෙ ඡන්ද පොරොන්දුවක් තමයි අමරිකා-මෙක්සිකන් දේශසීමාවෙ දිගටම මහ විසාල තාප්පයක් ගහනව කියන එක. සෙල්ලං තාප්පයකුත් නෙවෙයි ඒක. අඩි 30-40 වගෙ උස. සැතපුම් මම හිතන්නෙ 1200 වගෙ ගානක් දිගයි. සම්පූර්ණ වියදමට ට්‍රම්පච්චි ඉල්ලනව ඩොලර් බිලියන 5ක්. වැඩේ කියන්නෙ ඩිමෝක්‍රටික් පක්ෂයෙ උදවිය කියන්නෙ මේක මේ කිසිම තේරුමක් නැති නාස්තිකාර වැඩක්ය ඒ නිසාවෙන් අපි උඹට සත පහක්වත් දෙන්නෙ නැතිය කියල.

අපේ පාර්ලිමේන්තුව වගේම තමයි අමරිකාවෙ කොන්ග්‍රස් එකෙන් තමයි රටේ සියලුම වියදම් අනුමත කරන්නෙ. මතකනෙ පාර්ලිමේන්තුව අපේ බ්‍රොයිලර් අගමැතිතුමාගෙ වියදම් ඔක්කොම කපා හැරිය. ඊට පස්සෙ අමාත්‍යාංශ වැය ශීර්ෂත් කපා හැරිය. මෙහෙත් එහෙමයි එහෙත් එහෙමයි. ඒ හින්ද ට්‍රම්පච්චි දැං ඉන්නෙ අර කූඤ්ඤෙ ගලවල කිරිපල්ල ලෑලි පලු දෙකට අහුවෙච්චි වඳුර වගෙ විරව පට්ටං ගහගෙන.

හැබැයි එකක් තියෙන්නෙ ට්‍රම්පච්චිත් අරින පාටක් නෑ. දැං සති දෙහෙකට කිට්ටු වෙන්ට ඉඳල අමරිකාවෙ බහුතරයක් ෆෙඩරල් ආයතන වලට වියදමට සල්ලි නෑ. ට්‍රම්පච්චි ඒ සල්ලි නවත්තල. ඒකට කියන්නෙ Government Shutdown කියල. හරියට අපේ අර ගමරාළයි පාර්ලිමේන්තුවයි අතරෙ තිබ්බ කඹ ඇදිල්ල වගෙ..හෙහ්,හෙහ්,

ඒ අස්සෙ මෙහෙම ආරංචියකුත් ආව අද මේ ටිකකට ඉස්සෙල්ල. දැං ට්‍රම්පච්චි ඔය තාප්පෙට ඩොලර් බිලියන පහක් ඉල්ලනවයි කියල ඩිමෝක්‍රටික් අය කිව්වට ට්‍රම්පච්චි කියන්නෙ ඩිමෝක්‍රටික් එකෙන් කියන ගාන වැරදියි තාප්පෙට එච්චර යන්නෙ නැතිය කියල. අන්තිමට දැන් දෙගොල්ලොම එකඟවෙලා අපේ රෝසි නංගි ඇමරිකාවට ගෙන්නල හරියටම ගාන ඩොලර් බිලියන කීයද කියල කොන්ග්‍රස් එක ඉස්සරහ කියව ගන්ට. කොහොමද ඒක?

අප්පටසිරි ගජ නැන්දට කජු මද කිව්වලු..දැනටම කතන්දරේ වචන 1200 කට කිට්ටුවෙන්ට ලියල. ඒත් අම්ම ගැන එක වචනයක් ලියල නෑනෙ. “මේ සුට්ටි පුතා දීයා කන්ට එපාය…” අපෙ අත්තම්ම හිටියනම් එහෙම කියයි හක හක ගාල හිනා වෙවී….හෙහ්,හෙහ්..හරි හරි එහෙනම් අම්ම ගැන ලියන්නං මෙතැක් පටන්.

පහුගිය සටහනට නිර්නාමික මහතෙක් හෝ මහත්මියක් කමෙන්ට් එකක් දාල තිබ්බ මෙහෙම.

/ සැන්ඩි නැතිව අරක්කු බී, හොදට බොරේ හිටින්නට හදාපු හරක් මස් කරියක් සමග කිරිබත් කා අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරමු !!! /

ඔය කමෙන්ට් එක කියෙව්වම මට මතක් වුනේ අපෙ අම්ම ගවමස් භක්ෂණයට බොහොම ප්‍රියමනාපයි. අන්තිම අවුරුදු දහයක් පහළවක් වගෙ මහළු වයසට ආවේණික ජීර්ණ අපහසුතා කරණ කොටගෙන ගවමස් ආහාරයෙන් වැළකී සිටිය නම් තමයි. ඒත් එතුමිය එතකල් ගව මස් පරිභෝජනය කලා.

ඔය ආසාව ඇති උනයි කියල කියන්නෙ මෙහෙමයි. අම්මගෙ අප්පච්චි ඒ කිව්වෙ මගෙ ආතා වැඩකරල තියෙන්නෙ සී.ජී.ආර්. එකේ නොහොත් ලංකා දුම් රිය සේවයෙ. අන්තිමට විශ්‍රාම ගිහිල්ල තියෙන්නෙ හෙඩ් ෆයර්මන් හැටියට. ඒ දවස්වල දිව්ව අඟුරු කෝච්චි ක්‍රියාත්මක උනේ වාෂ්ප බලයෙන්. ඒ වාෂ්ප ලබාගත්තෙ වතුර උතුරවල. ඒ වතුර උණු කලේ ඉන්ධන හැටියට අඟුරු දහනය කරල. හෙඩ් ෆයර්මන්ගෙ රාජකාරිය තමයි වතුර උණුකරන බොයිලේරුවෙ ගින්න නිවෙන්නට නොදී පවත්වාගන්න එක.

නාවල පිටියෙ තියනව දුම්රිය දෙපාර්තමේන්තුවෙ ධාවනාගාරයක්. (Running Shed) බොහොමයක් වෙලාවට ආතා වැඩ කලාය කියන්නෙ පොල්ගහවෙල ඉඳල නාවලපිටියට යන කෝච්චි වල. ඉතිං නාවල පිටියෙ ස්ටේෂන් එක ලඟම ඒ දවස්වල තිබිල තියනව මුස්ලිම් මුදලාලිලගෙ බත්කඩ පෙළක්. ඔය බත් කඩවල අනිවාර්යයෙන්ම හරක් මස් උයනවනෙ.

ඒ කාලෙ මම ඔය කියන්නෙ තිස් හතළිස් ගණංවල බහුතරයක් සිංහලයො හරක් මස් කෑවෙ නෑ. ඒ මදිවට හරක් මස් කන අය වසළයො කියලයි සැලකුවයි කියන්නෙ. අර මතකනෙ අනගාරික ධර්මපාල තුමාගෙ “සිංහලයිනි ගෙරි මස් නොකනු” ව්‍යාපාරය. එතුමා ඒ ව්‍යාපාරයත් රට පුරා අරගෙන ගියේ නමසිය විසි ගණං වලනෙ. ඒ හින්ද ඒකෙ බලපෑමත් නොසෑහෙන්න තියෙන්නෙ ඇති.

ඉතිං කියන්නත් දෙයක් නෑනෙ අපෙ ආතත් ගවමස් නොකන්නෙක්. ඒත් කොහොම හරි නාවලපිටි ගිය දවස් කීපෙකදි මුන්දැට අර මුස්ලිම් කඩවල් වලින් බත් කාල හරක් මස් රහ වැටුන. මම හිතන්නෙ පලවෙනි දවසෙ නිකමට වගෙ රහ බලන්ට කෑල්ලක් කන්ට ඇති. සමහරවිට මුද්ලාලි බල කරන්ට ඇති. “නේ..නේ..දොරේ යේක නිකමට වගෙ අද කේල්ලක් කාල බලන්ටකෝ කෝමද එරච්චි රෂ කියල..ඇමදාම කන්ට ඕන නේ..අදට විතරක් කන්ටකො මම කියනවට” කියල

ඉතිං මට හිතෙන්නෙ කාපු දවසෙම ආතට රහ වැටුන ගවනර් ජෙනරල්. (මමයි අපෙ උන්දැයි ගව මස් හැඳින්නුවෙ ගවනර් ජෙනරල් කියල) වෙලාව කියන්නෙ එතනම එහා පැත්තෙ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙ හරක් මස් කඩේකුත් තිබිල තියනව.ඒ පාර ආත කරල තියෙන්නෙ සතියකට සැරයක් විතර ඔතනින් හබරල කොලේක ඔතාපු හරක්මස් රාත්තලක් දෙකක ගෙදර අරගෙන එන්ට පුරුදු වෙලා තියනව.

ගෙදර කට්ටිය ඒ කිව්වෙ අත්තම්ම ඇතුලු දරුවො හරක් මස් කන්නෙ නෑනෙ. ඒ හින්ද ආත කරල තියෙන්නෙ ගේ පිටිපස්සෙ පාලු කමතක තිබ්බ පොඩි පැළක තමයි මස් උයල තියෙන්නෙ. කොහොම හරි මුලින් මුලින් එහෙම කලාට පස්සෙ පස්සෙ ගෙදර ඔක්කෝටම ගවනර් ජෙනරල් රහ වැටුන කියමුකො. ඊට පස්සෙ ඉතිං අවුලක් නැතුව ගෙදර ඔක්කොමල හරක් මස් කන්ට පටන්ගෙන තියනව. ඒත් වටේ පිටේ අයට ආරංචි නොවෙන්ට හොරෙං වගේ තමයි වැඩේ කරල තියෙන්නෙ.

අපි පොඩි දවස්වලනම් හරක්මස් කන එක එච්චර ගණං ගත්තෙ නෑ කවුරුත්. අනික සැවුල් මාංශ කියන්නෙ ඒ කාලෙ සුඛෝපභෝගී ආහාරයක්. (මතකනෙ මගෙ අර කතාව..පිළිස්සූ සැවුලකු නිසා අහිමිවූ මගේ ආදරය…එතනදිත් ඔය කිසිම කෙනෙක් අත ගහන්ට බයවෙලා මඟුල් මෙසේ උඩ බැබලි බැබලි හිටපු පිළිස්සූ සැවුළා හින්දනෙ මගෙ ආදරේට කණ කොකා ඇඬුවෙ…හෙහ්…හෙහ්) කරඳගොල්ල, බයිරහා, පුස්සැල්ලාව අරක මේක අටෝරාසියක් මහා පරිමාණ කුකුල් ගොවිපොලවල් තිබ්බෙත් නෑ ඒ කාලෙ.

බ්‍රොයිලර් කුකුල්ලුත් නෑ බ්‍රොයිලර් අගමැතිලත් නෑ ඔන්න කොටිම්ම. හෙහ්..හෙහ්….ඉඳහිටල මාස තුන හතරකට සැරයක් කුකුල් මස් ටිකක් කෑවෙ අපේ ගෙදර ගරාජ් එක පිටිපස්සෙ තිබ්බ කුකුල් කූඩුවට කළවැද්දෙක් හරි මුගටියෙක් හරි පැනල ඌට කිකිළිව මැරුවට අරගෙන යන්ට බැරිවුන දවසට විතරයි.

ගෙදර ඇති කරපු සතාය කියල අනික් අය පැත්ත පලාතට නාවට අපේ ගෙදර හිටපු අම්මගෙ බැඳපු නැති අයිය කෙනෙක් ඒ කිව්වෙ මගෙ මාම කෙනෙක්…එයා තමයි ඔය කුකුල් මේච්චලේ කලේ.. ඊට අමතරව උන්දැ එලුවොත් හැදුව…එළු ගාල පිටිපස්සෙ වතුර මුට්ටියක් උණු කරල කිකිළි සුද්ද කරල ඒ ලිපේම අප්පල්ලෙක මස් ටික හොඳට පහේ දාල උයනව. අපෙ අත්තම්මයි මායි හෙමීට සුවඳ අහල පහල පැතිරෙනකොට එතෙන්ට කිට්ටු කරනව හෙහ්…හෙහ්..

හරි ඉතිං මට වයස අවුරුදු දෙකක් තුනක් වගෙ කාලෙ ගෙදර හරක්මස් ඉව්වට මට කන්න බෑ. එකක් දැවිල්ල වැඩියි. මට මතක විදිහට අපි පොඩි දවස්වල ගෙදර හදන කිසිම මසක් මාලුවක් අපි පොඩි එවුන්ට කියල මිරිස් තුනපහ අඩුවෙන් දාල ඉව්වෙ නෑ. හායි හූයි ගාල අපිත් වැඩිහිටියො එක්කලා හරි හරියට එව්වත් එක්ක බත් කෑව. කාල කට දිව තොළ දනව ඉවසන්ටම බැරිනං අත්තම්ම අල්ලට සීනි හැන්දක් දෙකක් දානව.

මට පොඩි කාලෙ මස් කන්ට බැරි අනික් කාරනෙ මස් හයිය වැඩියි. ගවනර් කොහොමත් හයියයිනෙ. සේර අනම් මනම් දාල ඉව්වත් එහෙමට මෙලෙකක් නෑ. අපි අනුරාධපුරේ ඉන්න කාලෙ නම් අපෙ අර මාම කරන්නෙ කොහෙං හරි හොරාට ගෙනාපු ගංජා කොළ හීන්වට කපල මස් උයන කොට ඒකට දානව. ඒත් ඔය එහෙම කලාම මස් මෙලෙක් වෙනවයි කියල තමයි.

ඉතිං මම අර පුංචිම කාලෙ අම්ම කරනවයි කියන්නෙ හරක් මස් හෝදල අම්ම හපලලු මට දෙන්නෙ. ඒ අම්ම හපපු මස් තමයි මම කන්නෙ..හෙහ්,හෙහ්…

ඒ දවස්වල මම අම්ම එනකල් ඉන්නවලු බත් කන්ට.. අම්ම ආවම අම්ම පස්සෙන්ම යනවලු “අම්ම හපලා අම්ම හපලා …” කිය කිය.

ඒ කාලෙ එහෙම කලාට ටිකක් ලොකු මහත් වෙනකොට ඒ කිව්වෙ අවුරුදු හය හතක් වගෙ මට ඔය කතාව මතක් කරන එකත් මහ ලැජ්ජාවක්ලු. එහෙම වෙලාවට මම රටෙත් නොහිට පැනල දුවනවලු. අපෙ පොඩි අම්මගෙ දුවල “අම්ම හපලා අම්ම හපලා…” කියල මට සවුත්තුව දානකොට මම උං පාරෙ පන්නනවලු තඩි ගහන්ට…හෙහ්,හෙහ්..

http://ranrandil.blogspot.com/2019/01/622-4.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල