කාලීන සංවාද

ඉදිකිරීම් ක්‍ෂේත්‍රය චූල ඇසින්

Off

පළමුවෙන්ම ආර්ථිකය පිළිබඳව විශේසඥ දැනුමක් නොමැතිව මෙවන් මාතෘකාවක් පිළිබඳව අකුරු කිරීම පිළිබඳව සමාව අයදිමි.එහෙත් කුඩාකළ සිට මේ ක්ශේත්‍රයේ නියලීසිටි පවුලක ජීවත්වීමෙන් ලත් අත්දැකීම් මත හා දැනට මෙම ක්ශේත්‍රයේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයකු ලෙස ලත් අත්දැකීම් මත මෙම ලිපිය අකුරු කරණු ලැබේ.නිවාස ඉදිකිරීම්,ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම්,පොදු අවශ්‍යතා මත සිදුකරනා ඉදිකිරීම් ආදියේ සිට රටේ සන්වර්ධන ක්‍රියාදාමයට ඍජුව දායකවන මහා පරිමාණ ගොඩනැගිලි, අධිවේගී මාර්ග,ජලාශ යෝජනාක්‍රම,වරාය ඉදිකිරීම් අදී වූ දහසකුත් වූ ඒවා තැනීම අශ්‍රිතව සිදුවන ව්‍යාපාරික කටයුතු ඉදිකිරීම් ක්ශේත්‍රය ලෙස සරළව අර්ථ දැක්විය හැක.මෙම ක්ශේස්ත්‍රය රටකට බොහෝ සේ වැදගත් වන්නේ ඒ හා බිහිවන විශාල රැකියා අවස්තා නිසාය.උදාහරණයක් ලෙස අධිවේගී මාර්ගයක් වෙනි මහා පරිමාණ යෝජනාක්‍රමයක් වෙනි ව්‍යාපෘතියක් ගත්විට සැළසුම් සකස් කරන ඉන්ජිනේරුවාගේ සිට කම්කරුවන්,යන්ත්‍ර ක්‍රියා කරන්නන්,අධීක්ශකයන්, වෙනිවූ රැකියාලාභීන් පිරිසක් අපහට පෙනුනද ඒ හා සමානවූ නැතහොත් ඊටත් වඩා විශාල වූ වක්‍ර රැකියා ලාභීන් පිරිසක් තිරය පිටුපස සිට තම සේවය මෙම ක්ශේත්‍රය උදෙසා අලවිකරයි.උදාහරණ ලෙස ඉන් කිහිපයක් නම්; එම ව්‍යාපෘතියේ ඇති යන්ත්‍ර සූත්‍ර සදහා කාර්මික සේවා සපයන්නන්,අමුද්‍රව්‍ය සපයන සැපයුම් ව්‍යාපාර අශ්‍රිත රැකියාවල යෙදෙන්නන් (උදාහරනයක් ලෙස ගල්කුඩු(Corry dust ) සපයන්නන් ගතහොත්;එම ගල්කුඩු සෑදීමට යොදාගන්නා විශාල ගල් සපයන ගල්වලවල් වල සේවකයන්,කම්කරුවන්,රියදුරන්, එම විශාල ගල් අඹරා ගල්කුඩු සාදන ගල්මෝල් වල සේවකයන්,කම්කරුවන්,රියදුරන්…..) ආදී විශාල වූ පිරිසක් මෙම ඉදිකිරීම් ක්ශේත්‍රය නිසා තම දිවි සවිකර ගනිති.පුළුල් ලෙස පැහැදිලි කිරීමේදී එය මෙලෙස දැක්විය හැක.

ප්‍රාථමික අන්ශය – කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඍජුලෙස පොළවෙන් හෝ ස්වාභාවික මූලාශ්‍රයන් මගින් උකහාගන එය එයාකාරයෙන්ම කර්මාන්තශාලා සදහා ලාභයක් සහිතව අලවිකරන්නන්.(කළුගල් වලකින් ලබාගන්නා කළුගල් අඹරා නොයෙක් ප්‍රමාණ වලට බෙදා විකුනන්නන්. )

ද්විතීක අන්ශය – ප්‍රාථමික අන්ශයෙන් ලැබෙන අමුද්‍රව්‍ය යොදාගන පරිභෝජනයට සුදුසු ලෙස සකස්කරන්නන්.(ලබාගන්නා කළුගල් හා අනිකුත් අමුද්‍රව්‍ය යොදාගන කොන්ක්‍රීට් නිශ්පාදන සපයන්නන්,මහාමාර්ග සකසන්නන් ).

තෘතීක අන්ශය -ද්විතීක අන්ශයේ නිශ්පාදන වෙළඳපොළට ප්‍රවාහනය කරන්නන්. (පෙර මිශ්‍රිත (pre mixture)කොන්ක්‍රීට් සපයන ආයතනයක්නම් එම කොන්ක්‍රීට් ප්‍රවාහනය කරනා ලොරි රථවල රියදුරන් ආදීන්).

චතූර්ථක අන්ශය – නිශ්පාදන කාර්යය සදහා යොදාගනු ලබන විශේසඥ දැණුම. (මහාමාර්ග ව්‍යාපෘතියක් සදහා යොදාගනු ලබන ඉන්ජිනේරු දැනුම ).

මෙම ගලායෑම් ඔස්සේ මෙම ක්ශේත්‍රය නිසා අති විශාල රැකියා ප්‍රමාණයක් හා ව්‍යාපාර අවස්තා ප්‍රමානයක් රටකට,ව‍ය්‍යවසායකයන්ට උදාවේ.එහි ඇති සුවිසේශීතාවය වන්නේ ව්‍යාපෘතිය සිදුකරනා ප්‍රදේශයේ ජනතාවට මින් වඩා වාසිසහගත අවස්තා උදාවීමයි.උදාහරණයක් ලෙස ගම් උදාව පැවති කාල වකවානුවේ යම්කිසි ප්‍රදේශයක ගම් උදාවක් පැවත්වෙන විට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ගල්මෝල්,ගල් වලවල් ආදී ව්‍යාපාර ඇරඹි අතර එම ප්‍රදේශයේ පෙදරේරුවන්,වඩුකාර්මිකයන් වෙනි වෘතියවේදීන්ට මෙන්ම කම්කරුවන්ටද තම ගම් ප්‍රදේශයේම රැකියා දොරටු විවර විය.එහෙත් පසුගිය අවුරුදු 5-6ක් තුල සුළු පරිමාණ ඉදිකිරීම් ක්ශේත්‍රයේ ව්‍යාපාරිකයන් හට උදාවුවේ එතරම් සුභ කාල පරිච්ඡේදයක්නම් නොවේය.ඒ ගැන විමසීමේදී එයට බලපෑ ප්‍රධාන කරුණු 2ක් පෙළගැස්වීමට හැකිය.

(මෙම කරුණු ඉදිරිපත් කිරීමේදී ගල්මෝල්(metal crusher ) සහ ගල් වලවල් (Corry )යන ව්‍යාපාර යොදාගනු ලබන්නේ එය මා නියලී සිටින රැකියාව හා අනුබද්ධ වී ඇති හෙයින් එම ක්ශේත්‍රයේ උදාහරණ ඉදිරිපත් කිරීම මා හට පහසුවක් වන බැවිනි.)

01.මහා පරිමාණ ඉදිකිරීම් ආයතනවල සාධාරණ නොවන වෙළදපොළ මැදිහත්වීම.-
මා ඉහත උදාහරණයකට ගත් ගම් උදාව වෙනි ව්‍යාපෘතිවලදී ප්‍රධාන ලෙස ඉලක්කය වුවේ ප්‍රාදේශීය සන්වර්ධනයයි.එහිදී ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට හා ශ්‍රම බලකායට විෂේශත්වයක් දක්වන ලදී.එම ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක වූ නිවාස සෑදීම,මහා මාර්ග සෑදීම,විදුලි කණු සැපයීම වෙනි සෑම ඉදිකිරීමකම ප්‍රමුඛතාව ගෙන ක්‍රියාකලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ජනතාවය.තම ගමේ වූ ගම් උදාවකට කොන්ක්‍රීට් බෝක්කු සපයා තම ව්‍යාපාරය අරඹා විශාල ඉදිකිරීම් සමාගමක් දක්වා දියුණු වූ ව්‍යාපාරිකයකු මා පෞද්ගලිකව ඇසුරු කරමි.එහෙත් පසුගිය අවුරුදු 15ක පමණ කාලයේ සිට මෙම රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී; රටේ දේශීය ආයතන විසින් සිදුකරන ඉදිකිරීම් වලින් 75%ක් පමණම සිදුකරණු ලැබුවේ මහාපරිමාණ ඉදිකිරීමේ ආයතන 3ක් විසින් පමණි.එසේ කිරීමේදී ඔවුන් සිදුකරණු ලැබුවේ එම ව්‍යාපෘතියට අදාල සියළුම අන්ශ තමන් විසින්ම සිදුකරමින් කිසිදු කුඩාපරිමාණ ආයතනයකට එයට ඇතුල්වීමේ අවස්තාව අහිමි කිරීමය.උදාහරණයක් ලෙස මහාමාර්ගයක් පුළුල් කර කා(ර්)පට් ඇතිරීමේ ව්‍යපෘතියක් ගතහොත්; මින් පෙර සිදුවූවේ එම ව්‍යාපෘතිය බාරගන්නා ආයතනය යන්ත්‍ර සූත්‍ර හා විශේසඥ දැණුම පමණක් රැගෙන එම ප්‍රදේශයට පැමිනීම හා අමුද්‍රව්‍ය හා සේවක පිරිස් එම ප්‍රදේශයෙන් සපයා ගැනීමය.එහෙත් දැන් සිදුවන්නේ එම කොන්ත්‍රත් බාර ගන්නා මහා පරිමාණ ආයතන එම ප්‍රදේශයට පැමිනෙන්නේ සේවකයන් පමනක් නොව අමුද්‍රව්‍ය සපයාගන්නා මූලාශ්‍රද ඔවුන් සතුකර ගැනීමෙන් පසුව වීමය.ඔවුන් එමගින් බලාපොරොත්තු වන්නේ තම ලාභ ප්‍රතිශතය වැඩිකරවා ගැනීමය.

උදා-එම මාර්ගය සෑදීම සදහා අවශ්‍ය කරන කළුගල් ලබාගැනීම උදෙසා ඔවුන් එම ප්‍රදේශයේ මහා පරිමාණ කළුගල් වලවල් මෙන්ම කළුගල් මෝල්ද ආරම්බ කරයි.ඔවුන් සතුව ස්ථීර සේවකයන් බොහෝ ගනනක් සේවය කරන අතර ඔවුන් එම ප්‍රදේශයට පැමිනෙන්නේද ඔවුන් සමගින්මය. එම ව්‍යාපෘතිය සදහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන්ගෙන් කළුගල් මිලදී ගැනීමක් නොකරන අතර මේ නිසා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට හා සාමන්‍ය ජනතාවට එමගින් ලැබිය යුතු ප්‍රතිලාබ නිසියාකාරයෙන් ලැබෙන්නේ නැත.එවිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට හා ජනතාවට යම්කිසි ප්‍රතිලාබයක් ලැබෙනවානම් ලැබෙන්නේ එම ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන්ට සම්බන්ධ වූ උප කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණි.එහෙත් සම්පූර්ණ කොන්ත්‍රාත්තුව හා සැසදීමේදී එම ප්‍රතිශතය 20% ඉක්මවන්නේ නැත.
මෙම තත්වය වහා වෙනස්කල යුතු තත්වයකි.යම්කිසි ව්‍යාපෘතියක් එවනි ආයතනයකට බාරදීමේදී එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යෙදවුම් වලින් මෙන්ම සේවකයන්ගෙන්ද යම්කිසි ප්‍රතිශතයක් එම ප්‍රදේශයෙන් සපයාගත යුතුයැයි පවසා නීති සම්මත කලහැකි අතර එමගින් ප්‍රාදේශීය ව්‍යාපාරික මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයද යම්කිසි තත්වයකට දියුණු කලහැක.එහෙත් මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙවනි නීති මගින් පමනක් මේවා පාලනය කල නොහැකි බවය.ව්‍යාපාරිකයකුට තිබිය යුතු ව්‍යාපාර සදාචාරය හදුනාගැනීම හා එයට ගරුකිරීම මගින් මෙම ගැටළු බොහෝසේ මගහරවා ගතහැක.නම් වශයෙන් නොකීවත් එලෙස ජීවත්වෙමින් ව්‍යාපාර කටයුතු වල යෙදුනු ව්‍යාපාරිකයන් අද දක්වාම මිනිසුන්ගේ හදවත් තුල ජීවත්වෙයි.මෙලෙස දොඩම්ගොඩ සම්පූර්ණයෙන්ම බදා සිටින ව්‍යාපාරිකයන් හට අවසානයේ ඉතිරි වන්නේ ගාම්භීර අවමන්ගල්‍යක් හා සවුදි රජුට මෙන් සිවු රියනක් පමණි.

02.තරමට වැඩි දේශපාලණ අතපෙවීම් හා අධික දූශණය.

පෞද්ගලික ඉදිකිරීම් ක්ශේත්‍රයේ ජීවනාලිය වන්නේ රාජ්‍ය ආයතන මගින් සිදුකරන ලබන ටෙන්ඩර් හරහා පෞද්ගලික අන්ශයට විවෘත කරනු ලබන ව්‍යාපෘති ඉදිකිරීම්ය.ඒ අප රටේ මහා පරිමාණ ඉදිකිරීම් බොහෝමයක් තවමත් සිදුවන්නේ රජය හරහා රාජ්‍ය ව්‍යාපෘති ලෙසට වීම නිසාය.මෙම ටෙන්ඩර් පිරිනැමීම හා ඒ සම්බන්ද ගැටළු නිදහස ලද දින සිට තිබුනද මෙම තත්වයද දැනට අවුරුදු 15ක පමණ සිට බොහෝ ඔඩුදුවා ඇති සැරව ගලන තුවාලයක් බවට පත්වී තිබේ.ටෙන්ඩර පිරිනැමීමේදී 1977 සිට මේ දක්වා සිටි කිසිඳු දේශපළකයකු සම්පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කලායැයි මම නොසිතමි.එහෙත් එකල 1%-3% ත් අතර වූ කොමිස් ප්‍රතිශතය මේ අවුරුදු 15 තුළ 10%-15%ත් අතර තත්වයකට පත්වීම මේ ක්ශේත්‍රයෙන් සුළුපරිමාණ ව්‍යාපාරිකයා ඈත්කරවීමට තරම්ම බර පතල වී ඇත.දැනට අවුරුදු 10 ට පමණ පෙර කොන්ත්‍රාත්කරුවකු යනුවෙන් හදුන්වනු ලබන පුද්ගලයාට සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබුනද අද වන විට ඒ තත්වය බල්ලා මාර්ක් වී ඇත්තේද මෙම කරුණු නිසා ඔහුගේ ලාභ ප්‍රතිශතය අඩුවී පොළී කරුවන්ගේ ග්‍රහනයට නතුවූ තවත් ව්‍යාපාරිකයකු පමනක් වී ඇති නිසාය.
මේ කරුණ පිළිබඳව මා මෑතකදී ලද අත්දැකීමකි.මා සේවය කරනු ලබන වැඩබිම පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයෙන් මීටර 600 පමණට වන්න ගුරු පාරකය.එම ගුරු පාරේ මුල් හරියට වන්න පිහිටා ඇති නිවාස 3ක් හැරුන කොට වෙන කිසිඳු නිවසක් මෙම පාරේ නොමැති අතර අපට ආසන්නයේම පිහිටා ඇත්තේ ප්‍රාදේශිය සභාවට අයත් කුණු ප්‍රතිචක්‍රිකරණය කරන ස්ථානයකි.මෙම ගුරු පාර අබලන් වී ඇති ස්ථාන අප විසින් මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් මගින් සකස් කරවා බොරළු හා ගල්කුඩු යොදා පිළිසකර කරනු ලැබුවේය. ඔහු අප ව්‍යාපාරික ස්ථානයෙන් කළුගල් මිලදී ගැනීමට පැමිනෙන මැදිවියේ පසුවන කොන්ත්‍රාත් කරුවෙකි.මේ දිනවල ප්‍රදේශයේ ගුරු පාරවල් වලට බොරළු පුරවා බෝක්කු දමා ප්‍රතිසන්ස්කරණය කිරීමට කොන්ත්‍රාත්කරුවන් හට පවරා ඇති අතර ඔහුද අපගේ පාර මෙන්ම තවත් අතුරු මාර්ග 3ක් ප්‍රතිසන්ස්කරණය සදහා ටෙන්ඩර හිමිකරගන ඇත.මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ පළාත්සභාව මගිනි.ගල් ගෙනයාම සදහා පැමිණි ලොරියක මොහුද පැමිණියේ පැරණි ගනුදෙනු පියවීමටය.එහිදී අප දෙදෙනා කතා කරන විට ඔහු පැවසුවේ;

“මහත්තයලා නිසා මමබේරුනා”
“ඒ මොකෝ?”
“මමත් මේපාර පාරවල් 4කට බොරළු දාන්න කන්ට්‍රැක්ට් ගත්තනේ.ඇස්ටිමන්ට් දැම්මේ එක පාරකට ලක්ශ 20ගානේ.ඒත් බලන්නකෝ මහත්තයා ඒකෙන් ලක්ශ 4ක් අයියටයි 3ක් මල්ලිටයි දෙන්න ඕනේ.අයියගේ ලේකම්ට 2ක් දෙන්න ඕනේ.ඔය සල්ලි ගන්න ගියහම අඩුම ගානේ තව 1ක් වත් වියදම්කරන්න ඕනේ.ඉතින් මහත්තය අපි මුළු පාරම හදන්න ඕනේ ඉතුරු 10න්.ඉතින් කොහොමද මහත්තයෝ අපි මිනිස්සුන්ගෙන් බැනුම් නොහා වැඩකරන්නේ.අනික 20ක් පාස් වුන පාරක් 10න් හදන්න ගියහම ඒකේ පැවත්මක් තියෙයිද?මහත්තයලගේ පාර හදන්න තිබුනේම නැතිතරම්.පස්ලෝඩ් 2ක් විතරයි ඒකට ගියේ.ඒක නිසා මම යන්තම් ගොඩ ගියා.නැත්තම් ඉතින් මටත් අත පිහිදන් තමා ඉන්න වෙන්නේ.”

මෙහිදී ඔහු සදහන් කල අයියා සහ මල්ලී වන්නේ මෙම ප්‍රදේශයේ වාසය කරන මහ ඇමති මල්ලියෙක් සහ ඇමති අයියන්ඩියෙකි.මෙම කරුණු සත්‍යනම් මුළු ව්‍යාපෘතියෙන් 50%ක් පමණ වෙන්වන්නේ කොමිස් දීම සදහාය.ඉතින් මෙවනි තත්වයක් යටතේ කොන්ත්‍රාත් කරුවන් එම ව්‍යාපාර කටයුතු සිදුකරන්නේ කුමණ ප්‍රතිලාබයක් ලබා ගැනීමටද? තමන්ගේ ව්‍යාපාර කටයුතු තමන්ගේ දරුවන්ට උරුම කර දීමට පෙර විසූ ව්‍යාපාරික දෙමාපියන් උත්සහ ගත්තත් මා දන්නා මේ ක්ශේත්‍රයේ බොහෝ අය පවසන්නේ දරුවන්ට උගන්වා රැකියාවකට යොමුකරනවා මිස මෙම කරුමයටනම් සම්බන්ධ කර නොගන්නා බවය.මෙම දූශනය නොනවත්තනවානම් ක්ශේත්‍රයේ සුළු ව්‍යාපාරිකයන්ට කිසිදු පැවත්මක් නැතිය.ඔවුන් පුරුද්දට ව්‍යාපාර කරන්නන් හෝ කිරීමට කිසිම දෙයක් නොමැති නිසා ව්‍යාපාර කරන්නන් බවට පත්වීම වැලක්විය නොහැක.ඔවුන් ව්‍යාපාර කටයුතු වලින් ඈත්වීම බලපාන්නේ ඔවුන්ගේ පවුල්වලට පමනක් නොව එම ව්‍යාපාර වල සේවය කරන සේවකයන්ගේ සිට ඔවුන්ගෙන් යැපෙන සියළු දෙනාගේම ජීවිත වලටය.

මා විසින් ඉහත සදහන්කල කරුණු දෙක තව කෙනෙකුගේ සිතුවිළි අනූව මේ ක්ශේත්‍රයේ පරිහාණියට බලපාන ප්‍රධාන කරුණු නොවන්නට පුළුවන.එහෙත් මා ආරම්භයේදී පැවසූ ආකාරයට මෙම ලිපිය ලියවෙන්නේ මාගේ පෞද්ගලික අත්දැකීම් අනූවය.එම අත්දැකීම් හා මා ලැබූ අධ්‍යාපනය සම්බන්ධකර අකුරු කරවූවේ මෙම ක්ශේත්‍රයට ඇති කැමත්ත නිසාමය.දැනට අවුරුදු 3කට කලින් තදබල ලෙස මෙම ක්ශේත්‍රයට වෛර කල මා අහම්බයෙන් සිදුවූ සිදුවීමක් නිසා එහිම රැකියාවක් කරමින් එයට තදබල ලෙස ආදරය කිරීම ඇත්තෙන්ම පුදුමයකි.එම කැමත්ත නිසාම මේ ක්ශේත්‍රයේ දියුණුව බලාපොරොත්තුවන මා මෙම ලිපිය ලියුවේද එහි උන්ණතියටමය.

කටුස්සා…..

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල