කාලීන සංවාද, දේශපාලන

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

Off

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි ඉරණමක් අත්වෙතැයි ඔබතුමා පමණක් නොව මමද නොසිතුවෙමි.

2015 ජනවාරි මාසයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගන්නා විට එය බලවත් පක්ෂයකි. එහෙත් හෙට මහා මැතිවරණයක් පැවැත්වුවහොත් එකම ආසනයක්වත්, අඩු වශයෙන් පොලොන්නරුවවත් ශ්‍රීලනිපයට ලැබෙන්නේ නැති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. අනුපාත ඡන්ද ක්‍රමයට පින්සිදුවෙන්නට උපරිම වශයෙන් මන්ත්‍රී ධුර දහයකට දොළහකට වඩා ගන්නට ශ්‍රීලනිපයට නොහැකිවෙනු ඇත. මේ වසරේ අග පැවැත්වෙන ජනාධිපතිවරණයට ඔබ ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහය දෙන්නේදැයි ගිය සැප්තැම්බරයේ ඔබ විමසූ විට බැහැ කියා ඔවුන් ඔබට පස්ස හැරවීම කොතරම් අභාග්‍යයක්ද ?

ඉන් පසු ඔබතුමා රාත්‍රී ජාමයේ මහින්ද රාජපක්ෂ මහතා කැඳවා රනිල්ගේ අගමැති පුටුව ඔහුට දුන්නේ පොහොට්ටුවේ සහයෝගය ජනාධිපතිවරණයේදී ඔබට දෙනු ඇතැයි යන බලවත් විශ්වාසයෙන් බව අපි දනිමු.

එහෙත් දැන්නම් එන පොට හොඳ නැත. උන් ඔබට සහය දෙන්නට සුදානම් නැති බව වරින් වර කරන ප්‍රකාශවලින් පෙනේ. පොහොට්ටුව මිසක් වෙන සන්ධාන එපා යැයි ඊයෙත් මහින්දගේ චක්ගෝලයෙක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කීවේ නිකම් නොවේ. පිටිපස්සේ සිට ඔවුන්ගේ කටින් ඒවා කියවන්නේ රාජපක්ෂ පවුලේ අය බව දේශපාලනයේ තිබෙන යටිකුට්ටු වැඩ ගැන හොඳ අවබෝධයක් තිබෙන ඔබතුමා දන්නවා ඇත. පොහොට්ටුකාරයන් දැන් සුදානම් වන්නේ ඔබව බේරේ වැවට විසිකොට රාජපක්ෂ කෙනෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නටය. කොයි රාජපක්ෂද කියා තීරණය කරන්නේ මහින්දත් ඔහුගේ හාමිනේත් පුත්තු තුන්දෙනාත් බැවින් ඉල්ලන්නේ ගෝටාද බැසිල්ද කියා තවම ෂුවර් එකටම කිව නොහැකිය. ගෝටා ඉල්ලුවොත් පරදින එකනම් ඉරහඳ සේ විශ්වාසය. ඒ නිසා ඔහු එන්නේ නම් මාත් කැමතිය.

ඔබතුමා ඔය මල ඉලව් පක්ෂය භාර නොගෙන ස්වාධීනව සිටිමින් ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු කළේ නම් ඔබේ නම ඉතිහාස පොතේ ලියවෙන්නේ රන් අකුරෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඔබතුමා සමග යූඑන්පීකාරයොත් පොහොට්ටුකාරයොත් ශ්‍රීලංකාකාරයොත් ජේවීපී කාරයොත් ටීඑන්ඒ කාරයොත් සිවිල් සංවිධානකාරයොත් බලවත් ලෙස කේන්තියෙන් සිටින බැවින් යලිත් ජනාධිපතිවරණයට ඉල්ලුවොත් ඇපත් කැන්සල් වෙන බව මා ලියන්නේ බලවත් දුකෙනි.

‘අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නහී’ යන කියමන ඔබට මතක් කර දෙන්නට ඔබගේ එකම උපදේශකයෙකුටවත් මතක් නොවූයේ ගොන් රැළක් උපදේශකයන් ලෙස ඔබ පත්කර ගත් නිසා නොවේද ?

දැන් ඔබට ඉතිරි වී ඇති එකම තෝරා ගැනීම වන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමට මෙතැන් සිටවත් කටයුතු කොට ලබන ජනවාරියේ ගෞරවාන්විත ලෙස විශ්‍රාම යාමය. එසේ නොකොට තව තවත් ගොන්කම් කලොත් සියලුදෙනාම කාලයක් යනතුරු ඔබතුමාගේ මව්තුමිය සිහි කරනවාට සැක නැත.

මේ වගට,
සුදුකුකුලා

http://sudukukula.blogspot.com/2019/01/blog-post_13.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල