කාලීන සංවාද, විවිධාංග

කැනඩාවට පැන ආ සෞදි තරුණිය තොරතුරු රැසක් හෙළි කරයි

Off

කුවේටයේ සිට කැනඩාවට පැන ගිය සෞදි තරුණිය, රහාෆ් මොහමඩ් පෙරේදා (14) පළමු වරට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරුණු රැසක් හෙළි කළාය. අවුරුදු 16 සිට තම පවුලේ අය තමන්ට කායික සහ මානසික හිරිහැර කළ බවත් ජීවිතය පරදුවට තබා පැනයාමට තීරණය කළේ ඒ නිසා බවත් ඇය මාධ්‍යවේදීන්ට කිව් බව කැනඩාවේ CBC පුවත්සේවය උපුටමින් අල්ජසීරා පුවත්සේවය වාර්තා කර තිබේ.

සෞදියේ සිටිනතුරු පැන යාමට ඉඩක් නැති බැවින් කුවේට් සංචාරය අතරතුර පැනයාමට තමන් සැලසුම් කර සිටි බව ඇය කියා තිබුණි.

පවුලේ අය නින්දට ගිය විට තමා හෝටලයෙන් පැන අවුත් ගුවන් ටිකට් පතක් මිලදීගෙන තායිලන්තයට පැමිණි බවත් තමා අල්ලාගන්නට පියා සහ සහෝදරයෙකු තායිලන්තයට ආවිට දිවි නසා ගන්නට තීරණය කළ බවත් ඒ බව තමන්ගේ මිතුරියනට ලිපි මගින් දැනුම් දුන් බවත් කියා සිටි ඇය “මම අතුරුදහන් වුවහොත් එම ලිපි ලෝකයාට දැනගැනීමට ප්‍රසිද්ධ කිරීමට තම මිතුරියන් සුදානමින් සිටි බව” ත් මාධ්‍යට හෙළි කළාය.

“එක්සත් ජාතීන්ගේ නිළධාරීන් හෝටල් කාමරය අසලට ආවිට මන් හිතුව ඒගොල්ලෝ සෞදි සහ කුවේට් නිළධාරීන් කියලා. ඒ නිසා මම දොර ඇරියේ නැහැ . ඒගොල්ලෝ හැඳුනුම් පත් පෙන්නුවමයි මම දොර ඇරියේ.” තමාට සිදුවූ කරදර සහ සෞදි කාන්තාවනට සිදුවන දේවල් ලෝකයට කියන්නට ඇයට උවමනා වූ බව ඇය ප්‍රකාශ කොට තිබුණි.

පවුලේ අය තමන්ව අත්හැර දැමූ බවට පණිවිඩයක් ලැබුණු බව කියමින් මාධ්‍ය සාකච්ඡාව අතරතුර හැඬූ ඇය ඒ නිසා තමාගේ පවුලේ නම වන අල් ඛුනින් නම අත්හැර දැමීමට තීරණය කළ බවද කියා තිබේ.

යාඥා නොකිරීම නිසා ඇයට පවුලේ අය පහර දුන් බවත් කොණ්ඩය කැපීම නිසා හයමසක් කාමරය දමා සිරකර තැබූ බවත් කී ඇය “අපිට සලකන්නේ භාණ්ඩයක් ලෙස. එහෙමත් නැත්තම් වහලියන් ලෙස. අපිට ඕන දේවල් ගැන තීරණයක් ගන්න අපිට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් වැඩිදුරටත් කීවාය.

“මම දැන් ඉන්නේ හරි සතුටෙන්. මට දැනෙන්නේ මම ආයිත් ඉපදුනා වගෙයි.”

“මම පාසලකට ඇතුලුවෙන්නත් ඉංග්‍රීසි ඉගන ගන්නත් රැකියාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. තව තවත් සෞදි කතුන් නිදහස සොයා සෞදියෙන් පැන යනු ඇතැයි මා සිතනවා” මාධ්‍ය සාකච්ඡාව අවසන් කරමින් රහාෆ් මොහමඩ් කීවාය.

http://sudukukula.blogspot.com/2019/01/blog-post_15.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල