අධ්‍යාපනික, කාලීන සංවාද, විද්‍යා හා තාක්ෂණ

ඉර හඳ ඇල්ලීම

Off

“ඉර හඳ ඇල්ලුවත් මොකටද?”

“අපි හදන්නෙ ඉර හඳ අල්ලන්න නෙමෙයි!”

ඔය වගෙ කතා ලංකාවේ මිනිස්සුන්ගේ කටින් නිතරම පිට වෙනවා. මේ කතාවලින් කියැවෙන්නේ ඉර හඳ අල්ලනවා වගේ ලොකු වැඩ නොකළාට කරන්න ඊට වඩා වැදගත් වැඩ තිබෙන බවයි.

පසුගිය සියවසේ තුන්වන කාර්තුව අභ්‍යාවකාශ තරණය හා අදාළ ගොඩක් දේවල් සිදුවුණු කාලයක්. ඒ කාලයේ ඉර හඳ අල්ලන්න උත්සාහ කළ රටවල් අතර ඉදිරියෙන්ම සිටියේ සෝවියට් දේශය හා ඇමරිකාවයි.

වෙනත් හැම දෙයක්ම වගේ රජය මූලිකව කළ සෝවියට් දේශය අභ්‍යවකාශ තරණය වෙනුවෙන් විශාල ප්‍රමුඛතාවයක් දෙමින්, සැලකිය යුතු තරමින් සම්පත් වැය කර ඔවුන්ගේ එම ආයෝජන වල ප්‍රතිඵල නෙලා ගනිමින් පසුගිය සියවසේ මැද හරියේදී අභ්‍යවකාශ තරණයේ ප්‍රමුඛයා වෙන්න සමත් වුණා. ගොඩක් දේවල් රජයේ මැදිහත්වීමකින් තොරව සිදුවන ඇමරිකාවේ එවැනි දැවැන්ත කටයුත්තකට අත ගැසිය හැකි පෞද්ගලික ආයෝජකයින් සිටියේ නැහැ. එවැනි ආයෝජනයකින් ලැබිය හැකි අවදානමට සරිලන ලාබ පෙනෙන්නට නොතිබීම එයට හේතුවයි.

සෝවියට් දේශය විසින් 1957 ඔක්තෝබර් 4 වෙනිදා මුල් වරට සාර්ථක ලෙස කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික් 1) ගුවන්ගත කළා. ඒ එක්කම ඇමරිකානු ෆෙඩරල් රජයට ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් ලෙස අභ්‍යවකාශ තරණය ගැන හිතන්න අවශ්‍ය වාතාවරණය හැදුනා. 1958 ඔක්තෝබරයේදී නාසා ආයතනය බිහිවුනේ ඒ අනුවයි. නාසා ආයතනය පිහිටුවීමෙන් පසුව ඉලක්ක කළ පළමු ව්‍යාපෘතිය වූයේ අභ්‍යවකාශයට මිනිසෙකු යැවීමයි.

නාසා ආයතනය විසින් 1960 අප්‍රේල් 26 දින අභ්‍යවකාශයට ඇමරිකානුවෙකු යැවීමට මුලින්ම සැලසුම් කර තිබුණත් අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කළ පරිදිම සිදු නොවූ නිසා මේ කටයුත්ත 1961 මැයි 5 දක්වා කල් ගියා. ඊට තෙසතිකට පෙර 1961 අප්‍රේල් 12 වෙනිදා රුසියානුවෙකු වූ යූරි ගගාරින් මුල් වරට අභ්‍යවකාශයට ගියා.

අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වූ ගගාරින්ට ලොව වටෙන්ම ලොකු පිළිගැනීමක් ලැබුණා. 1961 දෙසැම්බරයේදී ඔහු ලංකාවටත් ආවා. ඒ සංචාරයේදී ගගාරින් විසින් සිටවූ ගස් ලංකාවේ ගොඩක් තැන් වල දැනටත් තිබෙනවා ඇති කියා හිතනවා.

මුල් වරට අභ්‍යාවකාශයට ඇමරිකානුවෙකු යවන්න නොහැකි වුවත්, මුල් වරට ඇමරිකානුවෙකු හඳට යවන්න නාසා ආයතනයට හැකි වුනා. ඒ 1969 ජූලි 21 වෙනිදා. ඇපලෝ ව්‍යාපෘතිය යටතේ, 1969, 1971 හා 1972 වසර වලදී ගමන් හයකදී ඇමරිකානුවන් 12 දෙනෙකු හඳට ගොඩ බැස්සා. ඒ හැර වෙනත් කිසිවෙකු මෙතෙක් හඳට අඩිය තබා නැහැ. මිනිසෙකු අවසන් වරට හඳට ගොඩ බැස්සේ 1972 දෙසැම්බරයේදී. කෙසේ වුවත්, ඒ කාලයේදීම සෝවියට් දේශය විසින් මිනිසුන් රහිත යානා ගණනාවක් හඳට යැවුවා.

ඇමරිකාව විසින් මිනිසුන් හඳට යැවීම මූලික වශයෙන්ම ඇමරිකන් රජයේ දේශපාලන ව්‍යාපෘතියක්. එහි ඉලක්කය වුණේ කෙසේ හෝ සෝවියට් දේශයට වඩා ඉස්සර වීමයි. එය නොකළානම් හඳ සෝවියට් දේශයේ භුක්තියට සින්න වෙලා යයි කියා බයක් හිතෙන්න ඇති. ඒ හැර එහි වෙනත් ආර්ථික වාසි තිබුණේ නැහැ. ඒ නිසා ඉලක්කය පස්සේ පන්නා ජය ගැනීමෙන් පසුව ඇමරිකාව පැත්තෙන් අභ්‍යවකාශ තරණයට වූ උනන්දුව දිය වෙලා ගියා. අනිත් පැත්තෙන් සෝවියට් දේශයත් වැඩේ අත ඇරලා දැම්මා. ඊට පස්සේ දශක ගාණක්ම ඉර හඳ අල්ලන වැඩේ පැත්තකට විසි වෙලයි තිබුණේ.

දැන් නැවතත් අභ්‍යාවකාශ තරණය ගැන උනන්දුව අලුත් වී තිබෙනවා. ඉර අල්ලන්න ඇමරිකාවෙන් යවපු පාකර් ප්‍රෝබ් එක කලින් කවදාවත් ගිහින් නොතිබුණු තරම් ඉරට කිට්ටු වෙද්දී, අභ්‍යාවකාශ තරඟයට අළුතෙන් එකතු වී සිටින චීනය මුල් වරට හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවා තියෙනවා. මෙය සිදුවන්නේ චන්අ නැත්නම් චන්ද්‍ර දෙවඟන ව්‍යාපෘතිය යටතේ සිදුවන සිවුවන මෙහෙයුම ලෙසයි.

මෙතෙක් කල් හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවනු ලැබ නොතිබුණේ එය තාක්ෂණිකව වඩා අසීරු කටයුත්තක් නිසයි. හඳ තමන් වටා භ්‍රමණය වන අක්ෂය ආසන්න වශයෙන් හඳ පොළොව වටා යන පථයට ලම්බකව පිහිටා තිබෙන නිසා හැම විටම පොළොව පැත්තට හැරී තිබෙන්නේ හඳේ එක අර්ධයක් පමණයි. ඒ නිසා හඳේ පොළොවෙන් විරුද්ධ පැත්තේ තිබෙන කොටසේ සිට පොළොව සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ හැකියාවක් නැහැ. චීනය මේ අභියෝගය ජයගෙන තිබෙන්නේ හඳ මත ගොඩ බස්වපු යානය හා පොළොවේ පාලන මධ්‍යස්ථානය යන දෙකම “දැකිය හැකි” පරිදි හඳේ කක්ෂයේ ස්ථානගත කර තිබෙන “පොල්කිචි පාලම” චන්ද්‍රිකාව වෙත මුලින්ම සන්නිවේදන සංඥා යොමු කර එතැනින් ගමනාන්තය වෙත යොමු කිරීම මගිනුයි. මේ චන්ද්‍රිකාව කලින්ම ස්ථානගත කරනු ලැබුවා.

චන්අ-4 යානය ඇතුළේ කපු ඇටයක් පැල කරවන්නත් චීනය සමත් වුනා. මේ හඳේ පැලයක් පැල වුනු පළමු අවස්ථාව. කොහොම වුනත් ඒ පැලයට ආයුෂ තිබුණේ දවස් කිහිපයක් පමණයි. හඳේ දවසක් පොළොවේ දවස් 27ක් පමණ වන නිසා හඳට රෑ වන තුරු පැලයට දවස් ගානක්ම අවශ්‍ය උෂ්ණත්වය ලැබුණත් හඳට රෑ වෙද්දී එන අධික ශීතලෙන් බේරෙන්න විදිහක් නොතිබුණු නිසා දවස් කීපයකට කලින් ඒ කපු පැලේ මිය ගිහින්.

අභ්‍යාවකාශ තරණයේ යෙදෙන හැම රටක්ම වගේ එය කරන්නේ තමන්ගේ රටේ ජාතික කටයුත්තක් ලෙස සලකලයි. ඒ නිසා, වෙනත් ක්ෂේත්‍රවල තරමට මේ ක්ෂේත්‍රයේ දැනුම රටකින් රටකට කාන්දු වෙන්නේ නැහැ. කිසියම් රටක් අභ්‍යවකාශ තරණයෙන් ඉදිරියට එනවා කියන්නේ ඒ රටේ තාක්ෂණ දැනුම පිළිබඳ සංඥාවක්.

චීනය වගේම අසල්වැසි ඉන්දියාවත් අභ්‍යවකාශ තාක්ෂනය අතින් වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා. ඉන්දියාවේ “ඒක් ටොයිලට් ප්‍රේම් කතා” සුලභ වීම එයට බාධාවක් වී නැහැ. ඉදිරි දශකයක කාලය තුළ මේ ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් වෙයි කියා හිතන්න පුළුවන්. නුදුරු අනාගතයේ දවසක ඉර හඳ අල්ලන්න ආසාවක් ඇති වුනු කෙනෙක් හඳට ගියොත් දවල් කෑමට චීන කෑම කන්න ලැබෙයිද ඉන්දියන් කෑම කන්න ලැබෙයිද කියා දැන්ම කියන්න අමාරුයි.

https://economatta.blogspot.com/2019/01/blog-post_16.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල