කාලීන සංවාද, දේශපාලන

සහන් කසීරගේ නැගෙනහිර ජර්මනිය

Off

බුකියේ පළවෙන සහන් කසීර වික්‍රමසිංහ ලියන හුඟක් දේවල් කියවන කෙනෙක් මම. එයා ලියන බොහොමයක් දේට කැමතිත් එක්ක. ගාල්ලේදී පැවැත්වීමට නියමිත ෆෙයාවේ සාහිත්‍ය උළෙලේ “සිංහල සාහිත්‍යයේ ස්වජීවන අත්දැකීම්” පිළිබඳව සහන් කසීර කතා කිරීමටත් නියමිතයි.

මම අද දැක්ක ලංකානිව්ස්වෙබ් වෙබ් අඩවියේ ලිපියක් පළ කරලා තියනවා සහන් කසීර වික්‍රමසිංහ. මිහිපිට කිසිවක් අලුත් නොවේ ! කියන ඒ ලිපියට මේ යොමුවෙන් යන්න පුළුවන්.

ලිපිය කියවන කොට මට හිතුනේ ඉඳල හිටලා ගුරුන්ටත් වරදිනවා ඇති කියල. මෙන්න මේ ඡේදයන් දැකලා.

මම මෙය උපුටා ගත්තේ එම වෙබ් අඩවියේ පළවී තිබුන ලිපියෙන්.

//සෝවියට් සංගමයේ බලපෑමෙන් සමාජවාදී පාලනයක් රැගත් නැගෙනහිර ජර්මනිය දිළින්දන්ගෙන් පිරුණු අපායක් ව තිබියදී බටහිර සහාය ලද බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කේතුමතියක් බවට පත්ව තිබිණ. බර්ලින තාප්පය බිඳ දැමූ පසුව බටහිර කලාපයට පිවිසුණු නැගෙනහිර ජර්මානුවන් එහි සශ්‍රීකත්වය ; නාන කාමර වල සුවපහසුව දැක විස්මයට පත් වූ බව පැවසේ.//

සමහර වෙලාවට ලිපියේ අන්තිමට කියන මේ වාක්‍යයට අනුව,
//මිත්‍රවරුනි; දේශපාලනික, සංස්කෘතික සහ ආගමික පඹවැල් තුළින් මිනිස් බව තවමත් නිදහස ලබා නැති බව ඔබ වැටහේද ?// මම තවම ඔය කියන දේශපාලනික පඹ වැල්වලින් නිදහස ලබලා නැතිව ඇති.

මම දන්නා තරමින් නැගෙනහිර ජර්මනිය දිළින්දන් ගේ අපායක් බවට පත්වෙලා තිබ්බේ නැහැ. ඒ තර්කයෙන්ම ගත්තොත් ලංකාව තවමත් ඊට වැඩිය දිළිඳුයි. දිළින්දන්ගෙන් පිරිලා කියල කිව්ව හැකි සමහර පැති. නැගෙනහිර ජර්මනිය කියන්නේ සමාජවාදී ලෝකයේ වඩා හොඳට තිබ්බ රටවල් කිහිපය අතරින් එකක්. අදත් එහි කුඩා ළමුන් සඳහා තිබු කෙයාර් හෝම් පද්ධතිය තවමත් පාවිච්චි වෙනවා. මම එයින් එකකට ගිහිනුත් තිබෙනවා. ළමයින් බලන්නේ උපාධිය දක්වා උගත් තරුණ ගුරුවර ගුරුවරියන්. ඒ උසස් තත්වය තවමත් එහෙමයි.

අනික් සමාජවාදී රටවල් තමා හංගේරියාව, යුගෝස්ලාවියාව වගේ ඒවා. බටහිරට හිතවත්ව හිටි රුමේනියාව, ඇල්බේනියාව නම් දිළින්දන් ගෙන් පිරි තිබු රටවල් . මම රුමේනියාවට ගිහින් තිබෙන නිසා ඇහින් දැක්කා ඒකනම්.

අපි සෝවියට් දේශයේ උගත් කාලයේ බටහිර ජර්මනියට එන්න කලින් හොඳට මිල අඩුවට ආහාර ගන්නේ නැගෙනහිර බර්ලිනයේ රෙස්ටුරන්ට් වලින්.

උන්ට බටහිර මිනිසුන්ට තරම් හොඳ ඇඳුම් පැළඳුම් කාර් තිබ්බේ නැහැ. නමුත් බඩගින්නේ මුකුත් නැතිව හිටි හිඟන්නෝ නම් නෙමෙයි.
බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කොහොම වෙතත් ඇමෙරිකන් මාර්ෂල් ප්ලෑන් එක නිසා ගොඩ ආව රටක්. කොටින්ම ඇමෙරිකන් සල්ලි වලින් නැවත ගොඩ නැංවුන රටක්. බටහිර ජර්මනිය පින් දෙන්න ඕනේ ඇමෙරිකාවට ඒකට නම්.

මම ලියපු එක ලිපියක් තියනවා මෙතන. වර්තමාන ජර්මනිය එක රටක් වුනත් නැගෙනහිර වාසීන්ට තවම කියන්නේ ඔසී කියල. (ඕස්ට්‍රේලියානුවන් නොවේ) මගේ බිරිඳගේ සොයුරිය බැඳලා ඉන්නේ නැගෙනහිර ජර්මන් වැසියෙක්. නම අන්ද්‍රියාස් . ඔහුගේ ගම තුරින්ගියා ප්‍රාන්තයේ කර්ස්දොෆ්. ඔහු ඔබෙහොෆ් වල ස්කි ජම්පින් කරපු ක්‍රීඩකයෙක්. අපි නිවාඩුවට සමහර විටෙක ඔවුන්ගේ තට්ටු හතරක නිවසේ නතර වෙනවා. එම නිවස 1920 හදපු එකක්. නාන කාමර හතරක් තිබෙනවා තට්ටුවට එක ගානේ. ඒවා සහ බටහිර ජර්මනියේ තිබ්බ නාන කාමර වල වල වෙනසක් නැති බව සහතික කරලා කියන්න පුළුවන්. මොකද එකම වසර වල බටහිර ජර්මනියේත් ඉඳල තිබෙන නිසා. මේ ගමේ අනිත් නිවෙස් හුඟක් ඒවගේ.

මේ ඒ ගම ගැන ලියපු එකක්.
ධනවාදී රටක සමාජවාදී ගම

මේ නැගෙනහිර ජර්මනියේ නිවාස ගැන මම ලියු ලිපියක්. සහන්ට කැමතිනම් කියවන්න පුළුවන්.
කියුබාව ගැන කීමට ප්‍රථම – නැගෙනහිර ජර්මනියේ නිවෙස්

මේ ගමේ මගේ බිරිඳගේ තවත් ඥාතිවරියක් ඉන්නන නිසා අපි එහි ගියා. ලස්සන ගමක් නිසා දෙතුන් වරක් ම නැවතී ඉඳල තිබෙනවා ශීත කාලයේ නිවාඩුවට. ඥාතිවරියත් ඇය ගේ දරුවනුත් නැගෙනහිර රාජ්‍යය පැවති සමය පුරා ජීවත්වූ දෙමහල් නිවස තමයි පින්තූරයේ තිබෙන්නේ. ඔවුන් සහන් කියන තරම් දිළින්දෝ කියල නම් හිතෙන්නේ නැහැ. නැගෙනහිර ජර්මනිය පැවති කාලයේ ගත් පින්තුර පවා තිබෙනවා තවමත්. ඔවුන්ගේ පරණ ට්‍රබන් කාරයේ විනෝද ගමන් ගිය ඒවා හෙම හැත්තෑව අසූව දශකයේ. ලංකාවට වැඩිය නම් හොඳයි.
නැගෙනහිර ජර්මනියේ තුරින්ගියා වල සූල් සහ එර්ෆුට් කියන නගර දෙකටත් ගිහින් තිඑබෙනවා. නැගනහිර ජර්මන් රජය කාලේ හදපු තට්ටු නිවාස එහි තවම තිබෙනවා. බටහිර ජර්මනියේ කවුන්සිල් (රජයෙන් දෙන) ගෙවල් සහ ඒවා අතර වැඩි වෙනසක් නැහැ. ලංකාවේ ඒ කාලේ තිබුන තට්ටු නිවාස වලට වඩා දෙතුන් ගුණයක් හොඳයි.

මේ නැගෙනහිර ජර්මනියේ පුටීන් ගේ භූමිකාව ගැන ලියපු එකක්.
විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය

හැබැයි එක දෙයක් ඉතා පැහැදිලිව කිව යුතුයි. බටහිර ජර්මනිය කේතුමතියක් වෙන්නේ නාන කාමර නිසා නම් නෙමෙයි. නිදහස නිසා. නැගෙනහිර ජර්මනියේ පවත්වාගෙන ගිය කේජිබි එකේ ගෝලයා වුනු ස්ටාසි ඔත්තු සේවාව නිසා රටම අපායක් වෙලා තිබුන සමහරුන්ට. විශේෂයෙන්ම ලේඛකයන්ට, විද්‍යාඥයන්ට අනිකුත් බුද්ධිමතුන්ට. ස්ටාසි එකට ඔත්තු දුන්නේ නැත්නම් වධ දෙන නිසා. තමන්ගේම යහළුවන් ගැන ඔත්තු දෙන්න බැරි නිසා දිවි නසාගත් මිනිසුන් හිටිය. මිනිස්සු වෙඩි කාගෙන හරි බටහිරට පැනල ගියේ ආර්ථික සුව පහසුවක් සෙවීමට වඩා නිදහස සොයා .

හැබැයි තවමත් පරණ නැගෙනහිර ජර්මනියට කැමති මිනිසුත් ඉන්නවා. අර ගුඩ්බයි ලෙනින් කියන චිත්‍රපටයේ කියවෙන්නේ එහෙම කතාවක්. කැමති නම් හොයාගෙන බලන්න හොඳ ක්ලැසික් චිත්‍රපටයක්.

අහ්, ලියන්න අමතක වුණා. සවුදි කෙල්ල ගැන කතාවට නම් සම්පුර්ණයෙන්ම එකඟයි. ඒ දෙන පබ්ලිසිටිය දැක්කම සැකත් හිතෙනවා. සම්පුර්ණයෙන්ම අනවශ්‍යයි වගේ. ඔයාලටත් ජමාල් ඛශෝගී අමතක වුනාද ? නැත්නම් යේමනය.

https://kolambagamaya.blogspot.com/2019/01/blog-post_17.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල