අධ්‍යාපනික, කාලීන සංවාද

අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති !

0

සේනා දළඹුවා ජෛව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ද?
අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති !

මනුෂ්‍යයන් අතර පමණක් නොවේ, සෙසු ජීවීන් අතරද ‘පරසතුරු ආක‍්‍රමණ’ එමටය. ඒවායෙහි කිරුළු දරා සිටින්නෝ ‘ආක‍්‍රමණික’ හෝ ‘ආගන්තුක’ ජීවීන්ය. පරිසර සහ ජෛව සම්පත් සංරක්ෂණ ක්ෂේත‍්‍රයේදී ‘ආක‍්‍රමණික හෝ ආගන්තුක ජීවීන්’ (Invasive Alien Species) යයි හඳුන්වන්නේ ‘අනෙකුත් ජීවී විශේෂයක ‘පැවැත්ම’ කෙරෙහි තර්ජනාත්මකව හැසිරෙන ශාක සහ සත්ත්ව විශේෂයෝ’ය. දැනට හඳුනා ගෙන ඇති ආකාරයට, ලෝකය පුරා සිටින දරුණු ගණයේ ‘ආක‍්‍රමණික ජීවි විශේෂ (ශාක සහ සත්ත්ව විශේෂ)’ සංඛ්‍යාව සියයකට අධිකය. ඉන් විශේෂ 32 ක් පමණ ශ‍්‍රී ලංකාවෙන්ද හමු වේ. මේ දිනවල රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන ‘සේනා’ නම් විනාශකාරී දළඹුවා (Fall Army Worm/Spodoptera frugipeda) ද, අපේ රටට හොර රහසේ කඩා වැදුණු එවන් ‘ආක‍්‍රමණික සහ ආගන්තුක’ ජීවියෙකි !

‘සේනා දළඹුවා’ මුලින්ම ලෝකයට වාර්තා වී තිබුණේ, 2016 වර්ෂයේදීය. ඒ, අප‍්‍රිකානු රටක් වන නයිජීරියාවෙනි. ඉන් පසුව උන් ඉකුත් 2018 වර්ෂයේ මැයි මාසයේදී ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් කලඑළි බැස්සාහ. ඊළඟ අගෝස්තු මාසයේදී, උන් ලංකාවේ අම්පාර ‘දමන’ ප‍්‍රදේශය් බඩඉරිඟු වගා බිම්වලින් මතු වන්නට වූහ ! සේනා දළඹුවන් මේ වනවිට, ලංකාවේ නැගෙනහිර පළාත, පහළ ඌව, උතුරු මැද සහ වයඹ යන පළාත්වලද, දකුණු පළාතේ සමහර පෙදෙස්වලද බඩ ඉරිඟු වගාවන් වනසමින් වේගයෙන් ව්‍යාප්තව ගොසිනි. උන්ගේ හානිය වී, උක්, තේ සහ එළවළු ආදී වගාවන්වලටද ව්‍යාප්ත විය හැකි බවට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ. ආහාරමය භෝග සියයකට පමණ උන්ගේ හානි බලපාන්නට ඉඩ ඇති බව කෘෂි විද්‍යාඥයන්ගේ පුරෝකතනයයි.

සේනා දළඹුවා ඉතා වේගයෙන් බෝ වෙයි. එසේම, ඉතා වේගයෙන්-විශාල ලෙස ආහාර ගනියි. බඩ ඉරිඟු ගසේ පත‍්‍ර සහ කඳ මෙන්ම, කිරි වැදී ගෙන එන කරල්ද උන්ගේ ප‍්‍රියතම ආහාරයයි. සේනා දළඹුවන්ට එක රැයින් බඩ ඉරිඟු අක්කර සිය ගණන් හපකර දමන්නට පුළුවන. උන්ට ඇත්තේ නො සන්සිඳෙන කුසගින්නකි ! එසේම, වෙළෙඳපොළේ තිබෙන කිසිදු රසායනික කෘමිනාශකයකට තවම උන් මර්දනය කරන්නට ද නො හැකිව තිබේ !

ආක‍්‍රමණික හෝ ආගන්තුක ජීවීන් හොර රහසේම ලංකාවට ඇතුළු වී, අපේ පරිසරය, බව භෝග ඇතුළු ජෛව සම්පත්වලට හානි කිරීමේ අවස්ථා මීට ඉහතද වාර්තාවී තිබේ. එහෙත් ‘සේනා දළඹුවා’ කරන තරම් බිහිසුණු විනාශයක් හට ගත් අවස්ථාවක් මින් පෙර අසන්නට වත් ලැබී නැත්තේය.

‘සේනා දළඹුවාගේ’ ව්‍යාප්තිය සහ එයින් හට ගන්නා විනාශය සම්බන්ධයෙන් දැඩි මහජන විවේචනයට ලක්ව ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. දළඹුවා 2016 වසරේදී, නයිජීරියාවෙන් මුලින්ම ලෝකයට වාර්තා වූ බවත්, ඉන් පසුව 2018 වර්ෂයේ මැයි මාසයේදී උන් ඉන්දියාවේ අපට යාබද තමිල්නාඩුවෙන් හමුවූ බවත් පවසන විවේචකයෝ, ලංකාවේ බලධාරීන් උන්ගේ ආක‍්‍රමණයෙන් මිදීම පිණිස ප‍්‍රමාණවත් පියවරක් නොගත් බව පෙන්වා දෙති ! ඇත්තටම ලංකාවේ කෘෂිකර්ම බලධාරීන් සේනා දළඹුවා සම්බන්ධයෙන් කටයුතු කරන්නට පටන් ගත්තේ ඉකුත් නොවැම්බරය අග භාගයේ සිටය. එබැවින් ඔවුන්ගේ විවේචනයද බැහැර කළ නොහැකිය.

කෙසේ වෙතත්, සේනා දළඹු ආක‍්‍රමණය සම්බන්ධයෙන් වෙනස් මතයක්ද සමාජයේ වෙයි. එනම්, මෙය ජාත්‍යන්තර ‘ජෛව කුමන්ත‍්‍රණයක’ ප‍්‍රතිඵලයක් විය හැකි බවයි ! ‘සේනා දළඹුවා’ යනු මීට ඉහත ශ‍්‍රී ලංකාවෙන් හමුවී තිබුණු ජීවියෙකු නොවේ. එසේ නම් උන් 2018 අගෝස්තු මාසයේදී, එක් වරම අම්පාර දිස්ත‍්‍රික්කයට අයත් දමන ප‍්‍රදේශයේ බඩ ඉරිඟු යායකින් මතු වූයේ කෙසේද ? යන්න, ජෛව කුමන්ත‍්‍රණයක අදහස දරන අය විමසන ලොකුම ප‍්‍රශ්නයයි.

සේනා දළඹුවාගේ ආරම්භය, උන්ගේ සමනලයින් දමන ‘බිත්තර’ය. ඉක්බිතිව එයින් (කීටයන්) ‘දළඹුවන්’ ඇති වෙයි. උන් කෙමෙන් රූපාන්තරණය වී, ‘සලබයින්’ හෙවත් ‘සමනලයන්’ බවට පත්වෙයි. උන්ද බිත්තර දමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන අන්දමට, සේනා සලබයෙකුට (සමනලයෙකුට) සුළං ධාරා ඔස්සේ දිනකට කිලෝමීටර් සියයක් පමණ පියාසර කළ හැකිය. උන් ඇතැම් විට තමිල්නාඩුවේ සිට උඩු සුළඟේ පියාඹා ආවා විය හැකිය. නැතිනම්, පිටරටින් ගෙනෙන ‘බඩ ඉරිඟු බීජ’ සමග තිබුණු උන්ගේ ‘බිත්තර’ මගින් ලංකාවට බෝවුණාද විය හැකිය. එසේත් නැතිනම්, අනිසි අරමුණක් පෙරදැරිව, යමෙක් හිතාමතාම උන් මෙහි බෝ කළාද විය හැකිය. එවැන්නක් සිදුව තිබේ නම්, එය ‘ජෛව කුමන්ත‍්‍රණයක්’ බව කිව යුතුව තිබේ !

‘ජෛව කුමන්ත‍්‍රණයක්’ යනු බොහොම බරපතල අරුත් සහිත කාරණයකි. යමෙක්, යම් රටක ඇති කිසියම් ජෛව සම්පතකට හානි කිරීම සඳහා, චේතනාන්විතව සතුන්, ක්ෂුද්‍ර ජීවීන්, දිලීර වර්ග, බැක්ටීරියා වර්ග හෝ වෛරස් ආදිය යොදා ගන්නේ නම්, එය ‘ජෛව කුමන්ත‍්‍රණයක්’ යයි හැඳින්විය හැකිය. එබඳු කුමන්ත‍්‍රණ ලෝක කරලියට පැමිණියේ, 1960 වසරේ පටන් ක‍්‍රියාත්මක කෙරුණු ‘හරිත විප්ලව ක‍්‍රියාවලිය’ද සමගිනි. ඒ සඳහා වැඩි ප‍්‍රසිද්ධියක් ඉසිලූවේ, ලෝකයටම ආහාර නිපදවා දෙන්නේ යයි කියන ඇමරිකාවේ ‘මොන්සැන්ටෝ’, ජර්මනියේ ‘බේයර්’ බඳු බහුජාතික සමාගම්ය.

‘ජෛව කුමන්ත‍්‍රණයක්’ සිදු නොවුණද, ආක‍්‍රමණික සහ ආගන්තුක ජීවීන් වෙනත් ක‍්‍රම ඔස්සේද යම් යම් රටවලට පැමිණීමට පුළුවන. උද්භිද උද්‍යාන අතර බීජ හෝ පැලෑටි හුවමාරුව, විද්‍යාත්මක පර්යේෂණවලට ගෙන්වීම, ධාන්‍ය වර්ග, භෝගවල බීජ, ආනයනික පොහොර ආදිය, ආහාරමය හෝ විලෝපික වටිනාකමක් ඇති ජීවියෙකු ලෙස හඳුන්වා දීම, විසිතුරු මල්, විසිතුරු ශාක සහ විසිතුරු ජලජ ජීවීන් බෝ කිරීම යන කර්මාන්ත ක්ෂේත‍්‍රවලදී හඳුන්වා දීම, තවත් රටක පාවිච්චි කළ කෘෂිකාර්මික යන්ත‍්‍ර හෝ බර වාහන ගෙන්වීම, ආනයනය කෙරෙන සතුන්ගේ සිරුරුවල ඇලී ඒම, විනෝදයට දඩයම් කිරීම පිණිස වෙනත් රටක සතුන් හඳුන්වා දීම සහ නිෂ්පාදන කර්මාන්ත සඳහා විදෙස් අමුද්‍රව්‍ය ගෙන්වන අවස්ථා ආදී ක‍්‍රම ගණනාවකින්ම ඔවුන් යම් රටකට ඇතුළු වීමට ඉඩ තිබේ. ඇතැම් ආක‍්‍රමණික ජීවියෙක්, විදේශයක සිට පැමිණෙන පුද්ගලයන් ඔස්සේද රටකට ඇතුළු වීමට පුළුවන !

‘ලෝක සංරක්ෂණ සංගමය’ (IUCN) ආක‍්‍රමණික හා ආගන්තුක ජීවීන් හඳුන්වන්නේ, ‘පිටරටකින් පැමිණ, ස්වාභාවික හෝ අර්ධ ස්වාභාවික පරිසර පද්ධතියක ස්ථාපිත වී, ස්වාභාවික වාසස්ථානවල වෙනස්කම් ඇතිකර, දේශීය ජෛව විවිධත්වයට තර්ජන ඇති කරන ජීවීන්’ යන නිර්වචනයෙනි. ‘සේනා දළඹුවා’ද මේ වර්ගයට අයත් වෙයි.

පිටරටින් ලංකාවට ගෙන එන ශාකමය ද්‍රව්‍ය සහ සත්වමය ද්‍රව්‍ය රටට මුදා හරින්නේ, ඒවා නීත්‍යානුකූලව නිරෝධායනයට ලක් කිරීමෙන් පසුවය. මින් ශාකමය ද්‍රව්‍ය නිරෝධායනය කෙරෙන්නේ, 1999 අංක-35 දරණ ‘ශාක ආරක්ෂණ පනතෙහි’ එන විධි විධාන අනුවය. නිරෝධායනයට ලක් කෙරෙන ශාකමය ද්‍රව්‍යය, ආක‍්‍රමණික හෝ ආගන්තුක ජීවියෙක්ද ? ලෙඩ රෝගවලින් තොර වේද ? ඒවා සමග පළිබෝධකයන් සිටීද ? සහ ඒවා යම් විනාශකාරී ශාක වර්ගයක්ද ? ආදී වශයෙන් පරීක්ෂා කරනු ලබයි. ඒවා කෙරෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යන ස්ථානවල පිහිටුවා ඇති නිරෝධායන ආයතනවලදීය. යම් ශාකමය හෝ සත්වමය ද්‍රව්‍යයක් රටට මුදා හැරෙන්නේ ‘නිරෝධායන පරීක්ෂණවලින්’ සමත් වන්නේ නම් පමණකි. සත්වමය ද්‍රව්‍ය නිරෝධායනය සඳහා වෙනම අණ පනත්ද තිබේ. මෙම කටයුතු කෙරෙන්නේ මුළු රටේම ජෛව සම්පත්වල ආරක්ෂාව වෙනුවෙනි.

ආක‍්‍රමණික හෝ ආගන්තුක යම් ජීවී විශේෂයක්, නිරෝධායනයට හසු නොවී රටකට ඇතුළු වුව හොත් ඇතිවිය හැකි ප‍්‍රතිඵල භායානකය. ආගන්තුක ජීවි විශේෂය ඒ රටට අලූත් එකක් නිසා, ස්වාභාවික පරිසරයේදී එයට ‘සතුරන්’ (විලෝපිකයන්) ඇති වීමට යම් කලක් ගත වෙයි. ආගන්තුක ජීවීන් කරන්නේ, එම කාලය ඇතුළත අලූත් පරිසරයට ඔරොත්තු දෙන ආකාරයට හැඩ ගැසීමයි. එහිදී උන් අලූත් පරිසර පද්ධති වේගයෙන් ආක‍්‍රමණය කරන්නට පෙළඹෙති. ‘සේනා දළඹුවාගේ’ ක‍්‍රියාවලියද එබඳු එකකි ! උන් නිරෝධායනයට හසු නොවූ බවද දැන් පැහැදිලිය !

‘මෙතැන පැලෑටි නිරෝධායන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අපට ලොකු ගැටලූවක් මතු වෙනවා. මේ දළඹුවා රටට ඇතුළු වුණේ කොහොමද කියන ප‍්‍රශ්නය සහ උන් නිරෝධායනවලට හසු වුණේ නැතිද කියන ප‍්‍රශ්නය අපට අහන්න වෙනවා. ශාක ආරක්ෂණ පනත යටතේ මේ සතා ‘නිරෝධායන පළිබෝධකයෙක් විදිහට’ නම් කරලා තියෙනවාද කියලා විමසන්න වෙනවා. සේනා දළඹුවා මුලින්ම වාර්තා වුණේ 2016 දි. ඊට පස්සේ එයා ඉන්දියාවෙන් මතු වෙනවා. අපි පෙර සුදානමක සිටියා නම් උන් ලංකාවට එන එක වළක්වා ගන්න තිබුණා’ එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතාය. සේනා දළඹුවාගේ ආගමනය, ජෛව කුමන්ත‍්‍රණයකට වඩා නිරෝධායන ක‍්‍රියාවලියේ ගැටලූවක් බවද ඔහු පවසයි.

ජෛව කුමන්ත‍්‍රණයක් පිළිබඳ ලංකාවේ ප‍්‍රකටතම සිද්ධිය වාර්තා වන්නේ වර්ෂ 1930-1940 දශකවලය. ‘Tristeza’ නම් වෛරසයක් නිසා ‘බිබිලේ පැණි දොඩම් වගාව’ උන්හිටි ගමන් විනාශවී යාම, එම සිද්ධියයි. ලංකාවේ කෘෂිකර්ම විශේෂඥයන් පිරිසක් දොඩම් වගාව පිළිබඳ වැඩිදුර පුහුණුවකට ඇමරිකානු කැලිපෝනියාවට ගිය බවත්, එහිදී ‘තෑගි ලැබුණු’ නව දොඩම් ප‍්‍රභේදයක් මොණරාගල දිස්ත‍්‍රික්කයේ වගා කිරීමෙන් පසුව වෛරස් රෝගය හට ගැනුණු බවත්, බිබිලේ පැණි දොඩම් වගාව විනාශවී යාම සම්බන්ධයෙන් එන කතා පුවත්වල කියැවේ. වෛරස් රෝගයේ බලපෑම කොතෙක්ද යත්, අද පවා බිබිල ඇතුළු පහළ ඌව ප‍්‍රදේශයේ පැණි දොඩම් වගා කිරීම දුෂ්කර කටයුත්තක්ව තිබේ. ලොව ඉස්තරම් යයි කියැවුණු බිබිලේ පැණි දොඩම් නැතිවාට, අද ඕස්ට්‍රේලියානු හෝ ඊශ‍්‍රායෙල් කහ පැහැති ආනයනික දොඩම් ඕනෑ තරම් තිබේ !

1999 වර්ෂයේ දෙසැම්බරයේදී තවත් මෙවැනිම සිද්ධියක් වාර්තා විය. නුවරඑළියේ පෞද්ගලික ස්ට්‍රෝබෙරි ගොවිපොළක් සඳහා ‘බම්බල්’ වර්ගයේ සජීවී මී මැස්සන් තොගයක් හොරෙන් පිටරටින් ගෙන්වීම එම සිද්ධියයි. ශරීර ප‍්‍රමාණය අතින් ගත් විට, ‘බම්බල්’ වර්ගයේ මී මැස්සන් අපේ මී මැස්සන්ට වඩා විශාලය. උන් ආහාර ගැනීමේ වේගයද, ගන්නා ආහාර ප‍්‍රමාණයද අපේ මී මැස්සන්ට වඩා ඉහළය. බම්බල් මී මැස්සන් නිසා අපේ දේශීය මී මැසි ප‍්‍රජාවේ පැවැත්ම පිළිබඳව ගැටලූවක්ද මතු වේ ! අපේ රටේ බව භෝග පරාගනය කරන්නේද මීමැසි කුලයේ සතුන්ය. එබැවින් උන් රටට අවශ්‍යය සත්ව සම්පතකි.

නුවරඑළියේ පෞද්ගලික ස්ට්‍රෝබෙරි සමාගම, මුලින්ම කළේ බම්බල් මී මැසි වද කිහිපයක් ලංකාවට ආනයනය කිරීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ඉල්ලා සිටීමයි. එහෙත් එයින් වියහැකි හානිය සලකා බැලූ එවකට වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරාව සිටි ඒ.පී.ඒ. ගුණසේකර මහතා, බම්බල් මී මැස්සන් ගෙන්වීමට අවසර දුන්නේ නැත. ඉන් පසුව ඔවුන් කළේ සජීවී බම්බල් මී මැස්සන් තොගයක් හොර රහසින් ආනයනය කිරිමයි.

පසුව සජීවී බම්බල් මී මැස්සන් තොගය, එවකට ශ‍්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ ප‍්‍රධානියාව සිටි, රේගු අධිකාරි සමන්ත ගුණසේකර මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් උන් මුදා හරින ලෙස කියමින් බලපෑම් ද කළේය. ‘මේ වගේ ජාවාරම් පිටුපස ලොකු සමාගම් ඉන්නවා. බම්බල් මී මැස්සන් සිද්ධියේදී ඒ අය මට මරණ තර්ජන පවා එල්ල කළා. ඇතැම් අවස්ථාවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පවා මේවා පිටුපස්සේ ඉන්නා බව පෙනී යනවා’ යයි සමන්ත ගුණසේකර මහතා එකල මාධ්‍යයට කීවේය.

අපේ රටේ පොල් වගාවන්ට හානි කරන ‘පොල් කුරුමිණියා’ (promeyotheca cumingi) මතු වූයේ 1970 දශකයේය. උන් මෙහි පැමිණ ඇත්තේ ඉන්දුනීසියාවෙනි. 2006 වර්ෂයේ අප‍්‍රියෙල් මාසයේදී නුවරඑළිය අඹේවෙල ප‍්‍රදේශයේ සත්ව ගොවිපොළකට ‘බ්‍රෝමුස් මොලිස්’ නම් ආක‍්‍රමණික විදේශීය තෘණ වර්ගයක් ගෙන්වීම නිසා මහත් ආන්දෝලනයක් ඇති විය. 2006 වර්ෂයේ සිට ලංකාවේ පොල් වගාවන් අතරින් වාර්තා වුණු ‘මයිටා රෝගය’ද (Aceria (Eyophyes) guerreronis නම් මයිටාවා) ලොව මුල්වරට වාර්තාවී ඇත්තේ 1965 වසරේ මෙක්සිකෝවෙනි. 1980 දශකයේදී දකුණු ඇමරිකානු පණුවන් වර්ගයක් (Globodera rostochienses) පැතිරීම නිසා අපේ අර්තාපල් වගාවන්ට හානි සිදු විය. 1997 වසරේ වාර්තා වුණු ‘අර්තාපල් පත‍්‍ර කනින්නා’ (Ciriomyza buidobernsis) රෝගයද විදේශයකින් පැමිණි එකකි. ලංකාවේ හමුවන ‘පලතුරු මැසි විශේෂ’ බොහොමයක්ද එතෙරින් පැමිණියවුන්ය. මෙබඳු කාරණා ගැන ගොවීන් පවසන්නේ, ‘ලෙඩේ ඉස්සෙල්ලා එනවා. ඊට පස්සේ ඒකට බෙහෙත එනවා’ යනුවෙන් උපහාසයෙනි.

ජෛව කුමන්ත‍්‍රණයක් නිසා හෝ, නිරෝධායනයට හසු නොවීම නිසා හෝ, අපේ රටට කඩා වැදී සිටින තවත් ආක‍්‍රමණික ජීවීන් කිහිප දෙනෙක් ගැනද මේ දිනවල අසන්නට ලැබේ.

ඉන් එකෙකු වන්නේ ‘පැසිපික් සුදු ඉස්සා’ (Litopenaeus Vannamei) ය. ඉන්දියාවේ අත්දැකීමට අනුව, උන් එරට දේශීය ඉස්සන්ට සහ කකුළුවන්ට හානිදායක සත්වයෙකි. එහෙත් රටේ අණ පනත් පවා උල්ලංඝණය කරමින් උන් ලංකාවට ගෙන්වා ඇති අතර, ලංකාවේ ජලජීවී වගා අධිකාරියේ අනුමැතියෙන් දැනට පුත්තලම ප‍්‍රදේශයේ බෝ කෙරෙමින් පවතියි. ජලජීවී වගා අධිකාරිය පවසන අන්දමට, ‘පැසිපික් සුදු ඉස්සන්’ ආක‍්‍රමණික සතුන් නොවෙති. උන්ගෙන් දේශීය ජෛව විවිධත්වයට හානි සිදු නොවන බව ඔවුන්ගේ මතයයි.

කෙසෙල් වගාවන් ආශ‍්‍රිතව බෝවී ඇති ‘බනානා ස්කීපර්’ නමැති සමනල විශේෂයද විදෙස් රටකින් පැමිණි ආක‍්‍රමණිකයෙකි. කෙසෙල් කොලය සුරුට්ටුවක් මෙන් ඔතා ගන්නා උන් කෙසෙල් වගාවන්ට හානි කරන්නේ වේගයෙනි. කෘෂි රසායන යෙදුවද පාලනය කරන්නට අසීරුවීම, ‘බනානා ස්කීපර්ලාගේ’ විශේෂත්වයකි. ‘මෙයා ලංකාවට ආපු නිසා ලංකාවේ සමනල ලයිස්තුව 248 ක් දක්වා ඉහළ ගියා’යි ප‍්‍රකට සමනල පර්යේෂකයෙකු වන රාජික ගමගේ මහතා කියන්නේය !

පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට, ‘ඔරේන්ජ් මයිග‍්‍රන්ට්’ (Orange Emigrant) නම් කහ පැහැති විදේශික සමනලයාද දැන් කොළඹ ප‍්‍රදේශයේ දැකිය හැකිය. උන් මෙරටට පැමිණ ඇත්තේ විදේශීය මල් ශාක ගෙන්වීම ඔස්සේය. ‘ඔරේන්ජ් මයිග‍්‍රන්ට්’ ගිනිකොණ දිග ආසියාව නිජබිමකර ගත් සමනල විශේෂයක් බව ප‍්‍රකටය.

ශ‍්‍රී ලංකාව, රටක් හැටියට ආක‍්‍රමණික හා ආගන්තුක ජීවීන් සම්බන්ධයෙන් මීට වඩා අවධානයෙන් සිටිය යුතු බව, ‘සේනා දළඹුවා’ අපට කියා දෙන ලොකුම පාඩමයි !

(මෙම ලිපිය 2019/01/20 අරුණ පුවත්පතේ පළවිය)

http://masuranbath.blogspot.com/2019/01/blog-post.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල