සාහිත්‍ය කළා විචාර

ජාතිවාදය ගැන කතා කරමු

Off

මේ ජාතිවාදය කියන වචනයත් පහුගිය චන්දෙත් එක්කලා ආයෙත් කරළියට ආවා. මේ වචනය පාවිච්චි කළාට බොහෝ දෙනෙක් ඒකෙ තේරුම දන්නෙ නැති බව ඒ අය කියන කතා වලින් පෙනෙනව. සමහර අය සිතා ඉන්නේ “මං සිංහල, මගේ ජාතිය සිංහල“ කියල කියන එකත්, නැතිනම් “නාන් තමිල්“ කියන එකත් ජාතිවාදය කියල. මට මතක් වෙන පොඩි සිද්ධියක් දැන් කියන්නම්. දවසක් – දැන් අවුරුදු තිහකට විතර ඉස්සර – සමාජවාදී කියල කියාගන්න පක්ෂයක ශිෂ්‍ය සංගමයේ නායකයා එක්කල මාත් තවත් මගේ සරසවි මිතුරන් කිහිප දෙනකුත් එයාලාගෙ පක්ෂ කාර්යාලය ළඟට වෙලා බලා හිටිය කළින් කතා කරගත්තු ගමනක් යන්න කියල. ඒ කාලෙ යූ ඇන් පී ආණ්ඩුවට විරුද්ධව අරගල කරමින් සිටි සරසවි ශිෂ්‍යයො අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වශයෙන් ද කියල හරියටම මතක නෑ මොකක් හරි ශිෂ්‍ය එකමුතුවක් වශයෙන් යම් යම් අවස්ථාවන්හිදී බලධරයන් හමුවෙලා එහෙම නැත්නම් විපක්ෂ දේශපාලනඥයන් හමුවෙලා තමන්ගෙ ගැටළු වලට විසඳුම් සාකච්ඡා කිරීමේ සිරිතක් පැවැතුනා. සාකච්චා කරනව කිව්වට ඒව ගොඩක් වෙලාවට බාර්ගේන් කිරීම් නැත්නම් සාකච්ඡාමය අරගල. කොහොම හරි, අදාළ දූත ගමනට යන්න එනවයි කියල පොරොන්දු වූ අයගෙන් ඒ වෙනකොට ඇවිදිල්ල හිටියෙ මං සහ තව දෙන්නෙක් හෝ තුන්දෙනෙක් විතරයි. නියම කරගත් වේලාව පහු වෙලා විනාඩියෙන් විනාඩිය ගෙවිල යද්දී මං අර කියපු ශිෂ්‍ය නායකයා කිව්ව “ඔහොම තමයි ලංකාවෙ මිනිහගෙ වෙලාව“ කියල. “සිංහලයගෙ වෙලාව“ කියල සාමාන්‍යයෙන් අපි කියන යෙදුම, “ලංකාවෙ මිනිහගේ වෙලාව“ කියල සංශෝධනය කරල කිව්වෙ, එයාලගෙ පක්ෂය ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක හිටපු නිසා. මගේ කට කොනකට එවේලේත් පොඩි හිනාවක් ආව.

ජාතිවාදයට විරුද්ධ වීම සඳහා අප එසේ අපගේ සම්ප්‍රදායික යෙදුම් වෙනස් කළ යුතුද?

අපගේ සිංහල සිරිත් විරිත් වෙනස් කළ යුතුද?

කොහෙත්ම නෑ.

අපගේ සිංහල අනන්‍යතාව පවත්වාගැනීමෙන් අප කවදාවත් ජාතිවාදීන් බවට පත් වන්නේ නැත.

එසේනම් ජාතිවාදීන් වන්නේ කවුද?
******************************************************************************
පෘථිවියේ මානවයා බිහිවූයේ එකම තැනකින් හෝ තැන් කිහිපයකින් වෙන්න පුළුවන්. කොහොම වුනත්, මූලික වශයෙන් මොංගොලොයිඩ්, කෝකසයිඩ් හා නිග්‍රොයිඩ් යනුවෙන් මානවයා වර්ග තුනකට බෙදෙන බව මානව විද්‍යාඥයෝ කියනව. මේ වර්ග තුන ලෝකයේ විවිධ පළාත් වල පදිංචි වුනා. ඒ ඒ පළාතට ආවේණික වූ ගති පැවතුම් හා සිරිත් විරිත් වගේම භාෂා ව්‍යවහාරයන් වෙන වෙනම දියුණු වූ බවයි අපට පෙනෙන්නෙ. එසේ වෙන් වූ පසු, ඒ එක් එක් මිනිස් කණ්ඩායම් වෙන වෙනම ජාතීන් වශයෙන් වර්ධනය වුනා. මේ වෙනස්කම් වලට දේශගුණික තත්වයන්, පරිසර උෂ්ණත්වය, ආහාර සොයාගැනීමේ සුලභ හෝ දුලභ බව, වතුර, මේ ආදී දේවල් බල පාන්නට ඇති සහතිකවම.

දැන් බලන්න ලංකාවෙත් විවිධ පළාත් වල, පොදුවේ සිංහල කියන නමින් හැඳින්වෙන ජන කොට්ඨාශයේ සාමාජිකයන් අතර වුනත් සුළු සුළු වෙනස්කම් තියෙනව නේද? උදාහරණයක් වශයෙන් බලන්න, කථා කරන භාෂා ව්‍යවහාරය, මළ ගෙවල් හා මගුල් තුලා වලදී අනුගමනය කරන සිරිත් විරිත්, සිංහල අවුරුදු චාරිත්‍ර ආදියේ යම් වෙනස්කම් පැහැදිළිවම දැක ගන්න පුළුවන්. ඒත්, ලෝකය දියුණු වීමත් සමග සන්නිවේදනය හා ගමනාගමනය දියුණු වූ නිසා, මෙම ජන කණ්ඩායම් අතර අන්තර් සම්බන්ධතා වැඩි වෙලා ගිහින් ක්‍රමානුකූලව ඒ වෙනස්කම් අකා මකා යන්නට පටන් ගත්තා. සන්නිවේදනය හා ගමනාගමනය මෙලෙස දියුණු වී නොතිබුනානම්, ලංකාවේ දකුණු පළාතේ සිංහලයා වෙනම ජාතියක් ලෙසත් උඩරට සිංහලයා තවත් ජාතියක් ලෙසත් වැඩෙන්නට ඉඩකඩ තිබුනා. කවදාවත් ගාල්ලෙ කොල්ලෙක් මාතලෙන් කෙල්ලක් කසාද බඳින එකක් නෑ. අඩු වශයෙන් එහෙම සම්බන්ධතා දුර්ලභ වෙනව.

මේකෙ ප්‍රතිවිරුද්ධ අත්දැකීමත් අපට දැකගන්න පුළුවන්. මේ දකුණුදිග හෝ අග්නිදිග ආසියානු කලාපයේ විවිධ රටවල මිනිසුන් අතර ඇති සමානතා අධ්‍යයනය කළොත්, යුරෝපයේ හෝ ඇමරිකාවේ මිනිසුන් සහ දකුණු ආසියාවේ මිනිසුන් අතර බරපතළ වෙනස් කම් පවතිද්දී ඉන්දුනීසියාවේ, මියන්මාරයේ, මාල දිවයිනේ, ශ්‍රී ලංකාවේ මිනිසුන් අතර බරපතළ සමානකම් පවතින බව (භාෂාව, සිරිත්-විරිත් ආදිය) අපට දැකගන්නට පුළුවනි.

එපමණක් නොවෙයි. ඇතැම් යුරෝපීයයන් පෙරදිග රටවල් ආක්‍රමණය කිරීමේ ප්‍රතිපලයක් ලෙස, සිංහලයන් අතර වගේම සමහර දෙමළ පවුල් අතරත් යුරෝපීය ගති පැවතුම් විශාල ලෙස පැතිරී ඇති බවත් අපට පැහැදිළිව පේනව නේද?.
මේ සියල්ලෙන්ම, සමස්තයෙන්ම පෙනී යන්නේ කිසිදු ජාතියක් තවත් ජාතියකට වඩා පහත් වන්නේ හෝ උසස් වන්නේ නැති බව. ජාතිවාදයේ එක ස්වරූපයක් තමයි තමන්ගේ ජාතිය උසස් කියල සිතීම. ඒක තමයි ජාතික ස්වෝත්තමවාදය කියල හඳුන්වන්නෙත්. මේ මානසික තත්වය තියන අයත් අපට ඉඳල හිටල හම්බවෙනව.

මේ උදාහරණය බලන්න. මම හිතනව මම ඉතාම හොඳ ගුණ යහපත් කෙනෙක් කියල. අපි එහෙම හිතමුකො. එතකොට, මං දැන් ඔබට කියනව මෙහෙම. මං ඉතා හොඳ පුද්ගලයෙක්. ඔබ මා යටතේ ජීවත්වෙන්න. මං කිසිම විදිහකින් ඔබට හිරිහැරයක් කරන්නෙ නෑ. ඒත් ඔබ කිසි දෙයක් තනිවම තීරණය කරන්න එපා. ඔබ සියල්ල කළ යුත්තේ මා කියනා විදිහටයි.

දැන් ඔබ ඒකට එකඟ වෙනවද? ඔබට මා සමග එකට ජීවත් වීමෙන් ඔබටත් මටත් වාසි රැසක් ලැබෙනව. මූලිකවම ගත්තොත් ආරක්ෂාව. අපි දෙන්න එකම ඉඩමක දෙපැත්තෙ පදිංචි වෙලා ඉන්නෙ. තව කොච්චරක්ද? සමහර විට කඩේට යන්න බඩු ගේන්න එහෙම. දෙන්නටම බඩු ගන්නකොට සමහරවිට මිලත් අඩු වෙනව. ඉතින් ඔබ කැමතිද මං කියන විදිහටම ඉන්න.

ඔබ කියාවි මට එහෙම කියන කියන විදිහට ඉන්න බෑ, එහෙම කියනවනම් මං වෙනම කෑල්ලක් වෙන් කරගන්නං කියල. නැද්ද? අර එකට ඉන්නකොට තියන වාසි වලට වඩා ඔබ අගය කරනව නිදහසේ තමන් කැමති තීරණයක් අරන් ජීවත් වෙන්න.

මම කියනව, බලන්න ඔබට වඩා මට නිවැරදි තීරණ ගන්න පුළුවනි. ඔබ සමහර විට ඔබේ දරුවන්ගෙ අනාගතය අඳුරු කරාවි. මං කියන විදිහට කළොත් ඔබට එහෙම වෙන එකක් නෑ. ඔබ කැමති වෙනවද?
ඔබ ටික දවසක් බලයි. දිගින් දිගටම ඔබේ කැමැත්තට පිටින් වැඩ වුනොත් ඔබ අකමැති වෙයි ඒ විදිහට ජීවත් වෙන්න.

මං හිතුවට මං ඔබට වඩා උසස් කියල, ඔබට වඩා හොඳයි කියල, ඔබට වඩා දක්ෂයි කියල. ඔබ එහෙම හිතන්නෙ නෑ. ඒකයි ප්‍රශ්නෙ.

මෙතනදි තවත් එක් වැදගත් කාරණයක් මතුකරල පෙන්වන්න මම අදහස් කරනව.

ඉංග්‍රිසි භාෂාවෙ නේෂන් කියන වචනය සිංහලයෙන් ජාතිය කියන එකට අනුරූප බව සමහර අය හිතනව. නැෂනල් කියන එකට ජාතික කියල පරිවර්තනය කරල තියෙන්නෙ ඒ නිසා. මේ වැරදි සහගත පරිවර්තනයත් අතිශය කණගාටුදායක ප්‍රතිපල අත් කර දී ඇති බව මගේ හැඟීමයි. ජාතික කොඩිය, ජාතික ගීය යනාදී යෙදුම් නිසා, ජාතිය යනුවෙන් හැඳන්වෙන දේ සහ නේෂන් යනුවෙන් හැඳින්වෙන දේ පිළිබඳව වැරදි අවබෝධයන් ඇති වෙලා තියෙන්නෙ. අපගේ අසල්වැසි ඉන්දියාවේ, නැෂනල් කියන එක පරිවර්තනය කරගෙන තියෙන්නෙ රාෂ්ට්‍රීය කියල. නේෂන් කියන එකට දේශය කියලයි ඔවුන් කියන්නෙ. ඔවුන් ජාතිය කියල කියන්නෙ එත්නිසිටි කියන එකට. ඉන්දියාවේ ප්‍රධාන රාජ්‍ය භාෂාව වශයෙන් භාවිතා කරන හින්දි භාෂාව අපේ මේ සිංහල භාෂාවට පොඩි පොඩි සමානකම් දක්වන නිසා මම ගූගල් පරිවර්තකය හරහා මේ වචන අතර සම්බන්ධතාව සොයා බැලුවා. වෙනත් භාෂාවන් සම්බන්ධයෙන් මේ වැඩේ කරන්න මට අමාරුයි මොකද ඒ භාෂාවන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් මට නැහැ.

ඇත්ත වශයෙන්ම නේෂන් කියන වචනයත් ජාතිය කියන තේරුමම ඇතිව බිහිවුනු වචනයක් බව දුරදිග බලද්දි පේනව. “නේෂන්“ කියන ඉංග්‍රිසි වචනය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආපු වචනයක් කියලයි කියන්නෙ. ප්‍රංශ භාෂාවෙදි ඒක පාවිච්චි වෙලා තියෙන්නෙ ඔය අපි කියන “ජාතිය“ කියන තේරුමෙන්ම තමයි. ඒ වුනාට දැන් ඉංග්‍රිසියෙන් නැෂනල් ෆ්ලැග්, නැෂනල් ඇන්තම් වගේ යෙදුම් ගත්තහම ජාතිය පිලිබඳ අදහසක් එන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් සීතාවක රාජධානිය සහ කෝට්ටේ රාජධානිය වෙන වෙනම නේෂන්ස් දෙකක්. ඒත් ඒ දෙකේම වැඩිපුර හිටියෙ සිංහල මිනිස්සු. නේෂන් එකක් කියල දැන් කියන්නෙ වෙනම ස්වාධීන පරිපාලන ඒකකයකට. 1948ට කළින් අපිත් රැජිනගේ නේෂන් එකේ. හිරු නොබසින අධිරාජ්‍යයට ජාතික වශයෙන් වැදගත් වුනු ඕනෑම දෙයක් අපටත් වැදගත් වෙලා තියනව ඒ කාලෙ.

නුමුත් අපි දැන් ජාතිය කියල කියන්නෙ කෙනකුගෙ උප්පත්තියෙන් හිමි වන ලක්ෂණයකට. ජානමය ලක්ෂණයකට. මව සහ පියා සිංහල නම් දරුවගෙ ජාතිය සිංහල. මවයි පියයි ජාති දෙකක වුනාම දරුවගෙ ජාතිය කළවං. එයා කතා කරන්න පහසු භාෂාවක් තෝරගනී, නැත්තං මවගෙ භාෂාවත් පියාගෙ භාෂාවත් දෙකම පුරුදු වෙයි.

මේ තත්වය උඩ තමයි මේ ලාංකීය ජාතිය කියල එකක් ගැන කතා කරන්නෙ. ශ්‍රී ලංකා කියල නේෂන් එකක් තිබුනට එහෙම ජාතියක් නෑ. ශ්‍රී ලංකා කියන්නෙ රාජ්‍යයක්, රාජධානියක්, රටක්, දේශයක්. ඒකට අයිති ගොඩබිමක් තියනව. පුරවැසි ජනතාවක් ඉන්නව. එක ආණ්ඩුවක් තියනව. එතකොට, රටට අයිති පුරවැසියන් ඇරුණම අනිත් ඔක්කොම දේපළ. සත්තුත් දේපළ විදිහටනෙ සළකන්නෙ. පන්සලේදි විතරයි සත්තුන්ට පණ තියන බව මතක් වෙන්නෙ. කවුරුවත් බලනවද සත්තු කැමති සන්ධානෙටද පොදු අපේක්ෂකයටද කියල. කවුරුවත් අහනවද උන්ගෙ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්නෙ මොන ආණ්ඩුවක් යටතෙද කියල. උන්ට චන්ද බලෙත් නෑ, උන් වෙනුවෙන් කතා කරන්න මන්ත්‍රීවරුත් නෑ. අතරින් පතර ඉන්න “ඒකීය පුද්ගලයන්“ සහ ඔවුන් විසින් ගොඩනගාගත් සමහර සංවිධාන හැරුණම වෙන කවුද සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්නෙ?

ඉතින් මේ සත්තු ටිකත් අනිත් දේපළ වගේම එක එක්කෙනා අයිති කරගෙන ඉන්නව. සමහර සත්තු ආණ්ඩුවට අයිතියි. සමහර සත්තුන්ට විශේෂ අයිතිකාරයෙක් නෑ, ඕනැ කෙනෙකුට මරාගෙන කන්න පුළුවනි. සමහර සත්තුන්ට කන්න බොන්න දෙනව හරියට නිකං ගහකට පොහොර දානව වගේ. සත්තුන්ගෙත් ජාති ඉන්නව. ඒත් ඒ ජාති ගැන අපි උනන්දු වෙන්නෙ අස්වැන්න බලාගෙන විතරයි. වැඩිපුර කිරි ගන්න පුළුවන් හරක් ජාති එහෙම අපි දන්නව. මුවෝ ගෝන්නු ජාති කීයක් ඉන්නවද කියල දන්නෙ සත්වවේදීන් විතරයි. අපි ඒව ගැන හොයන්නෙ නෑ.

හරි, දැන් අපි දන්නව, ජාතිය කියන වචනය තේරුම් දෙකකින් පාවිච්චි වෙනව කියල. හැබැයි මේ තේරුම් දෙක පටලවාගන්න හොඳ නෑ.

මේ ජාතිවාදය කියන සංකල්පය ඉස්මතු වෙන තවත් තැනක් තමයි ඔය අයිතිය කියන කාරණාව. සිංහල ජාතියට අයිති භූමිය, රට, කඩන්න දෙන්න බෑ කියල අපි කියනවනෙ. භූමිය කොහොමද පුද්ගලයෙකුට අයිති වෙන්නෙ කියන කාරණාව මෙතනදි සාකච්ඡා කළ යුතු වෙනව. මට හරියටම මතක නැති එක්තරා පර්යේෂක කණ්ඩායමක් හොයල බලල තියනව පොඩි දරුවන් අයිතිය ගැන දක්වන අදහස මොකක්ද කියල. එතනදි ඒ ගොල්ලො නිගමනය කරල තියෙන්නෙ පොඩි දරුවන් “අයිතිය“ කියන සංකල්පය අදාළ කරගන්නෙ කෘතිම දේට විතරයි කියල. ඒ පර්යේෂකයො කියන්නෙ අඹ ගහ, ඉර, හඳ, ගංගාව වගේ දේවල් කාටවත් අයිති දේවල් විදිහට පොඩි ළමයි තේරුම් ගන්නෙ නැතිලු. එතකොට “මගෙ ඉඩම“ කියන එක කොහොමද? “මගෙ ගේ“ කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක අපි හදපු දෙයක්. ඉඩම. ඉඩම හදපු එකක්ද? ස්වභාවික පොළොව හාරලා කාණු කපල සංවර්ධනය කරන එක ගැන නෙමෙයි මං කතා කරන්නෙ. මහ පොළවෙ කෑල්ලකට වැටක් ගහල වට කර ගත්තට පස්සෙ ඒ ඉඩමට අයිතිකාරයෙක් ඉන්නව. ඒකට ඔප්පුවක් තියනව. ලෝකෙ පළමුවැනි ඉඩම් ඔප්පුව ලිව්වෙ කවුද? කවුරු හරි රජ කෙනෙක්නෙ ඕක ලියන්න ඇත්තෙ. මමනං ඒ ගැන හොයල නෑ. ඒත් ඔයාලට හෙව්වොත් හොයාගන්න පුළුවන් වෙයි, කවුද පළමුවැනි ඉඩම් ඔප්පුව ලීව කෙනා, මොන ඉඩමටද ඒක ලිව්වෙ කියල. මේක අද ඊයෙ වෙච්ච දෙයක් නෙවෙයි. අහල ඇතිනෙ රජවරු පන්සල් දේවාල වලට නින්දගම් ඔප්පු පූජා කරපු කතන්දර එහෙම. පන්සල් හදල පූජා කරන එක නෙවෙයි, ඉඩම් පූජා කරන එක. ගෙයක්, ආරාමයක් හදල පූජා කරන්න හරි විකුණන්න හරි තෑගි දෙන්න හරි පුළුවනි. ඒත් ඉඩමක්.

මේ කතාව විකාරයක් වගේ පෙනෙයි, එක පාරට. ඒ වුනාට කල්පනා කරල බලන්න. අපට අයිති ඉඩම නෙවෙයි ඉඩමෙ මායිම් වැට නේද? වැට නේද අපි හදන්නෙ. පුරාණ කාලෙ කැලේ මැද්දෙ කොටසක් එළි පෙහෙළි කරල වැටක් ගහනව සත්තු එනවට. දැන් මේක හේනක්. වගා කරන්න පටන්ගන්නවා. වගාවෙ ප්‍රතිපල පරිභෝජනය කරනව. වැඩිපුර තියන ඒව මොකද කරන්නෙ? කල් තියා ගන්න පුළුවන්නම් ලුණු දාල, දුමේ දාල, වැලි යට වළ දාල තියාගන්නවා. බැරිනම් තව කෙනකුට දීල තමන්ට නැති දෙයක් ගන්නව. භාණ්ඩ හුවමාරුව – ආදි කාලීන් වෙළඳාම් ක්‍රමය. පස්සේ මුදල් වලින් ගනු දෙනු කරන්න පුරුදු වුනා. මේකනෙ ක්‍රමය.
දැන් මේ හේනට වටිනාකමක් තියනව. පස බුරුල් කරල තියෙන්නෙ. පාත්ති හදල. දෙවැනි වතාවෙ වගාව පහසුයි. දැන් මේ පහසුවට වගා කරන්න පුළුවන් තත්වයක් හදල තියන එක හේනට වටිනාකමක් එකතු කරනව. නිකම්ම නිකම් නව දැළි හේනකට වඩා වටිනාමක් තියනව එක වරක් හරි වගා කරපු හේනකට. දැන් මේක කාට හරි දෙනවනම් නිකම් දෙන්න බෑ. වටිනාකමක් එකතු වෙලා තියෙන්නෙ. වැටක් ගහල තියනව. පස බුරුල් වෙලා තියනව. පාත්ති හදල තියනව. ඉතින් එතකොට ඉඩම විකුණන්න සිද්ද වෙනව. මේ විකුණන්නෙ මහ පොළොව නෙවෙයි. අර වැඩි කරපු වටිනාකම. වැලිව් ඇඩිෂන් එකක් වෙලානෙ තියෙන්නෙ.

ඉතින් ඔය ක්‍රමයට තමයි ඉඩම් වලට වටිනාකම් ඇවිල්ල තියෙන්නෙ. පහු වෙනකොට ඉඩම් අක්කර ගණන් හෙක්ටෙයාර් ගණන් එක පුද්ගලයෙක් අතට ආවට පස්සෙ මුඩු ඉඩම් වලටත් වටිනාකමක් දෙන්න මිනිස්සු පුරුදු වුනා. දැන් නම් ඉඩම් වල වටිනාකම තීන්දු වෙන්නෙ ඉඩමට එකතු කරපු වටිනාකමකට වඩා වටාපිටාවෙ තත්වය අනුව. යටිතල පහසුකම් අනුව.

අර අපි ඉස්සෙල්ල කතා කරපු මිනිස්සු කණ්ඩායම්, මූලික කණ්ඩායමෙන් කැඩිල ඇවිත් වෙන වෙන පළාත් වල පදිංචි වුන මිනිස්සු මුලදි මුලදි ස්ථිර වාසස්ථාන ඇති කරගත්තෙ නෑ. මේව මං හිතල කියන දේවල් නෙවෙයි. මානව විද්‍යාඥයන් හොයාගෙන තියන කරුණු. ඔවුන් මානව ඉතිහාසය බෙදල තියනවනේ ගල් යුගය, දඩයම් යුගය, එඬේර යුගය, ගොවි යුගය යනාදී වශයෙන්. ඔයාල ඉස්කෝලෙදි ඉගෙනගෙන ඇති නේද? ඉතින් මේ ගොවි යුගයෙදි තමයි මේ මං කියන සංසිද්ධිය වෙන්නෙ. ඉතින් එක පළාතකට සංකේන්ද්‍රණය වුන එක කණ්ඩායමක් ඒ ප්‍රදේශය තුළ හේන් කොටු කර ගන්නව. ඉතින් අර දඩයම් යුගය තුළ තැනින් තැනට ඇවිදිමින් සත්තු දඩයම් කරගෙන ගල් ගුහා තුළ ජීවත් වෙන්න පුරුදු වෙලා හිටපු මිනිස්සු, ගෝත්‍රික කණ්ඩායම් තමයි මෙහෙම ස්ථිර වාසස්ථාන ඇති කරගෙන පදිංචි වෙන්නෙ. ඔන්න දැන් පුංචි ගමක් හැදිල. මෙහෙම කාලාන්තරයක් ගත වුනාම මේ ග්‍රෝත්‍රය ජාතියක් බවට පත් වෙනව. ඒ ඔක්කොම කතා කරන්නෙ එකම භාෂාව. අනුගමනය කරන්නෙ එකම සිරිත් විරිත්. ගෝත්‍රික නායකය රජ්ජුරුවො බවට පත් වෙනව. එතකොට මේ වාස භූමිය රාජ්‍යයක් බවට පත් වෙලා. ඔන්න එක ජාතියයි. එක රාජ්‍යයයි. එක රජයි. මේක තමයි ජාතික රාජ්‍යයක් වෙන්නෙ.

දැන් මේ ඔක්කොම දෙනා ජීවිකාව විදිහට කරන්නෙ ගොවිතැන. සමහර අය එඬේරුන් විදිහටත් කටයුතු කරනව. භාණ්ඩ හුවමාරු කරගන්නව. එතකොට අර රජ්ජුරුවො. එයත් ගොවිතැන් කරනවද? ඔව්, එයත් ගොවිතැන් කරනව. ඒත් එයාට ගොවිතැනට යොදවන්න කාලය මදි වෙනව එන්න එන්න. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැඩි වෙනවනේ. මිනිස්සුන්ගෙ සණ්ඩු සරුවල් බේරන්න වෙනව. වෙනත් ගෝත්‍රවල එවුන් මේක අස්සට රිංගන්න එනකොට උන් එළවන්න ඕනැ. තනියම කරන්න බැරි වෙනකොට හේවායො ටිකක් ලෑස්ති කරගන්නව. රාජ පුරුෂයෝ, හේවායො, නගරාරක්ෂකයො හදාගන්නව. ඉතින් රජ්ජුරුවන්ට බඩගින්නෙ ඉන්න බෑනෙ. හැමෝටම කියනව තමන්ගෙ නිෂ්පාදනයෙන් පොඩ්ඩ පොඩ්ඩ රජ්ජුරුවන්ට දෙන්න කියල. ඔන්න බදු ක්‍රමය පටන් ගන්නව. දැන් මේක සෑහෙන දුරකට අංග සම්පූර්ණ රාජ්‍යයක්.

අර දඩයම් යුගයෙ තිබුනු පුරුද්ද, තැන් තැන් වලට සංක්‍රමණය වෙමින් ජීවත් වෙන එක, තාම ඇඟ ඇතුළෙ තියනව. ඉතින් අර වෙළඳාමට යොමු වුනු කට්ටිය මොකද කරන්නෙ? තමන්ගෙ රාජ්‍යය තුළ කරන වෙළඳාමට වඩා වැඩි වෙළඳාමක් කරන්න හිතාගන ඇවිදින්න ගන්නව. වෙනත් රට වලට රිංගනව. හිතට අල්ලල ගියොත් එහෙ පදිංචි වෙනව. හැබැයි ඉතින් උන්ගෙ ගති පැවතුම් අර මුල් පදිංචිකාරයන්ගෙ ගතිපැවතුම් වලට වඩා ටිකක් වෙනස්. කතා කරන භාෂාවෙත් පොඩි පොඩි වෙනස්කම් තියනව. ඒ වුනත් කතා බහ කරල අදහස් හුවමාරු කරගන්න බැරිම නෑ. මේ තත්වය කාලාන්තරයක් පැවතිලා තියනව. අහල තියනව නේද කච්ඡපුට, සේරිවාණිජ වගේ වෙළෙන්දො ගැන. එතකොට තපස්සු සහ භල්ලුක. එයාල තිරියායෙ ඉඳල දඹදිව පැත්තෙ ගිහින් තියෙන්නෙ. ගිහින් තියනවද ගිරිහඩු සෑය බලන්න. ලංකාවෙ ප්‍රථම චෛත්‍යය.තපස්සු සහ භල්ලුක හදල තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ කේශ ධාතු නිධන් කරල නේද හැදුවෙ?

ඉතින් මෙහෙම තිබුන ලෝකෙ තමයි පහුකාලීනව මේ රාජ්‍යයන් ගණනාවක් විදිහට ගොඩනැගුණෙ. මේ ස්ථිර වාසස්ථාන වලට ආවට පස්සෙ මිනිස්සු ටික ටික ශිෂ්ට වෙන්න පටන් ගත්ත. නීති රීති හදා ගත්ත. නීති ක්‍රියාත්මක කිරීමේ බලය රජ්ජුරුවන්ට පැවරුව. රජ්ජුරුවො දඬුවම් ක්‍රම එහෙම හදාගත්ත. නීති පැනවීමේ බලයත්, ඒ කියන්නෙ ව්‍යවස්ථාදායක බලයත් රජ්ජුරුවො තමන්ගෙ අතට ගත්ත.

මිනිස්සු දිවුණු වෙද්දි, ශිෂ්ට වෙද්දි, ආගමික සංකල්ප ඇති කර ගත්ත. ඒකට ගොඩක්ම මුල් වෙලා තියෙන්නෙ රජ්ජුරුවන්ටවත් පාලනය කළ නොහැකි ස්වභාවික උවදුරු, ලෙඩ රෝග – කායික රෝග විතරක් නෙවෙයි, මානසික රෝගත්, ඔය ආතතිය වගේ ඒව එහෙමත්. ඉතින් දෙවියො පිළිබඳ සංකල්ප එහෙම ඉස්මතු වුනා. සමහර අය දඩබ්බරකමට දෙවියො ඇදහුවේ නෑ. තවත් සමහර අය ලෝකය තේරුම් ගන්න උත්සාහ කිරීමේ ප්‍රතිපල විදිහට දේව සංකල්පය බැහැර කළා. මේ සියල්ලම වුනේ සමාජයේ පැවැත්ම තහවුරු කරගැනීමේ සාමූහික උවමනාව මත. මිනිස්සු එකිනෙකා අතර සාකච්ඡා නොකළා වුනත් හැමෝම – මං කියන්නෙ සාමාන්‍ය මිනිස්සු බහුතරය – හිතනව අපි අනාගත ලෝකය, සමාජය, අපේ දරුවන්ගෙ ලෝකය මීට වඩා යහපත් වෙන්න ඕනැ කියල. එහෙම නේද? මිනිස්සු විතරක් නෙවෙයි අපි සිවුපා සත්තු රංචුවක් උදාහරණයක් හැටියට ගනිමු. කැලේ ඉන්න මුවෝ රංචුවක්. උන් පැටවුන්ගෙ ආරක්ෂාවට පළමුවැනි තැන දෙන්නෙ නැද්ද? මුවෝ මොකක් හරි සම්මන්ත්‍රණයක් තියල එහෙම එකඟතාවකට ඇවිත් තියනවද? නෑ. ඒක ස්වභාවිකයි. මිනිස්සුත් එහෙමයි. සියල්ලම කෘත්‍රිම බවට පත් කරගත්තු අය ඇරෙන්න. ආගම මුදල් බවට පත් කරගත්තු අය ඇරෙන්න. ස්වභාවිකව ඉපදුනු ජීවත්වන මිනිස්සු දරුවන්ට ආදරෙයි. දරුවන්ගෙ අනාගතය ගැන හිතනව. මිනිස්සු නොදැනුවත් කමට පරිසරය විනාශ කරල දරුවන්ගෙ අනාගතය අඳුරු කරනව තමයි. ඒක වෙනම කාරණයක්. ඒ කියන්නෙ නොදැනුවත් කම. පරිසරය විනාශ කිරීමෙන් දරුවන්ගෙ අනාගතය අඳුරු වන බව බොහොමයක් අයට වැටහෙන්නෙ නෑ. දැන් බලන්න මේ ප්ලාස්ටික පුච්චන එක මොන තරම් හානිකරද? ඒක සමහර අය තේරුම් ඇරගෙන නෑ. මෙච්චර ලොකු වායු ගෝලෙකට මේ පොඩි ප්ලාස්ටික් කෑල්ලක්, සිලි සිලි මලු හතරක් පහක් පුච්චන එකෙන් වායුව දූෂණය වෙන්නෙ කොහොමද කියල එයාල හිතන්නෙ. එහෙම නැතිව කවදාවත් එයාල ඕනැ කෙහෙල්මලක් වුනාවෙ දරුවන්ට කියල නෙවෙයි ඒ වගේ හානියක් පරිසරයට කරන්නෙ.

ඉතින් ආපහු අපි කතා කරපු ඉතිහාසයට හැරෙමු.

දැන් සමාජය හැදුන. ජාතියක් හැදුන. රජ කෙනෙක් හැදුන. පහු කාලෙදි එකම ජාතිය ඇතුළෙ රජවරු දෙන්නෙක් හැදුන. පිය රජතුමා කල්පනාකාරී වෙලා කුමාරවරු දෙන්න යුව රජ වරු හැටියට පත් කරපු අවස්ථා වලදි ඇරෙන්න අනෙක් අවස්ථා වලදි සමහර විට කුමාරවරු දෙන්න ජාතියේ කොටස් දෙකකට රජ වෙනව වෙන වෙනම. එහෙම නොවී වෙනත් විදහකට ඕක වෙන්නත් පුළුවනි. කොහොමහරි එක ජාතියකට එක රජ කෙනෙක් විතරයි කියල කියන්න පුළුවන් තත්වෙක තිබිල නෑ ඒ කාලෙ. ප්‍රදේශ වශයෙන් ඈත් වුනාම, නායකයො දෙන්නෙක් බිහි වෙනව. දැන් ලංකාවෙ බලන්න රුහුණු මායා පිහිටි. එතකොට සීතාවක, කෝට්ටෙ, කන්ද උඩරට. එක එක කාලවල එක එක විදිහෙ බෙදීම්. එතකොට මේ කෑලි දෙක තුන ම යුද්ධ කරල අල්ලගත්තු රජවරු ඊට පස්සෙ මේ රට එක් සේසත් කළා කියනව. ජාතිය එක් සේසත් කළා කියනව. දැන් අපි දන්න ඉතිහාසය බලන්න ලංකාවයි ඉන්දියාවයි. ඔය දෙකේම තත්වෙ ඕක නේද? කොසොල් නුවර රජතුමා පසේ නදී කෝසල – මේව මං කියන්න ඕනැ නෑ නිකං කතාව දිග්ගැහෙනව විතරයි. ඔබ දන්නවා මේ සියල්ල. මට පෙන්නන්න ඕනැ වුනේ මේ රාජ්‍යය කියන එක රජාගෙ වුවමනාව අනුවයි හැදුනෙ කියන එක. රජාල දෙන්නයිනම් රාජ්‍ය දෙකයි. එක රජෙක් ඇවිත් ඔය කෑලි දෙක තුනම එකතු කරගෙන එක් සේසත් කරනව. ඔහොම තමයි ඒ කාලෙ තිබිල තියෙන්නෙ. වැසියො ඉතින් ඔහෙ ඉන්නව. රජ්ජුරුවො පාලනය කරනව. අපි, රට වැසියො, පාලනය වෙනව.

ඉතින් මේ ඉඩම් කොටුකරගත්තු අපි, රටවැසියො, අපේ හේන් වගා කරගෙන ජීවත් වුනා. වෙළඳාම් කරපු අය හැම තැනම ගියා ඇවිදගෙන තවලම් අරගෙන. නගරයෙන් බඩු ගම් වලට ගෙනියනව. ගම් වලින් නගරයට ගෙනියනවා.

දැන් මේ රජවරුන්ට මහජන සහයෝගය ඕනැ වෙනව සමහර අවස්ථාවලදි. ඔය යුද්ධ කරන්න එහෙම. ඇයි ඒ විතරක්ද, තමන්ගෙ රට ලොකු වුනු තරමට, සාරවත් වුනු තරමට, තමන්ට ලැබෙන බදු ප්‍රමාණයත් වැඩි වුනා. ඉතින් ලොකු රාජ්‍යයක රජ වුනොත් සැප වැඩියි. පොඩි රාජ්‍යයක රජ වුනොත් සැප අඩුයි. සම්පත් වැඩිපුර තියන කෑල්ලක් අහිමි වුනොත් දුකයි. එහෙමයි ඉතින් ඒ කාලෙ රජකම් කළේ. රජ්ජුරුවෝ මිනිස්සුන්ට ආදරය පෙන්වනකොට මිනිස්සුත් රජ්ජුරුවන්ට ආදරේ කළා. ඉතින් රජ්ජුරුවො වෙනුවෙන් මැරෙන්න වුනත් මිනිස්සු ලෑස්ති වුනා. රජ්ජුරුවො නැති වුනොත් තමන්ගෙ නෑදෑ හිතවතුන් අනතුරට වැටෙන්න පුළුවනි. සතුරු රටවලින් ඇවිත් තමන්ගෙ රට මංකොල්ල කන්න පුළුවනි. ආරක්ෂාව දෙන්න කෙනෙක් නෑ. ඔහොමයි එදා මිනිස්සු කල්පනා කළේ. ඒක හරි. ඒ කාලෙ තිබුන තත්වය ඒක තමයි, සමහරවිට අපට දැන් ඒක විකාරයක් වගේ පෙනුනට.

මේ පුරුද්ද තමයි ක්‍රමක්ක්‍රමයෙන් මිනිස්සුන්ගෙ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවෙ. ඉතින් එතනදි තමන්ගෙ රට තීරණය වුනේ රජ්ජුරුවන්ගෙ වුවමනාව අනුවයි. මේ තත්වය වටහගන්න අමාරුයි අපේ ලංකාව ගැන විතරක් හිතපුවහම. මොකද මේක කුඩා දූපතක්නෙ සාපේක්ෂව බලපුවහම. අනිත් අතින් ගත්තහම ඔය බටහිර රටවල එහෙම ලිඛිත වූ ඉතිහාසයක් නෑ හුඟක් අතීතයට දිවයන ඉතිහාසයක්. ලංකාව ඉන්දියාව වගේ රටවල් ඒ කාලෙ සාපේක්ෂ වශයෙන් ගොඩක් දියුණුයි. මිනිස්සු ඉතිහාසය හැටියටම ලිව්වෙ නැති වුනත් සාහිත්‍යකරණයේ යෙදිල තියනව. බටහිරින් ගත්තොත් ග්‍රීක් වරු බොහොම දියුණු වෙලා හිටපු ජාතියක්. දැන් අපි භාවිතා කරන ගණිතය, ජ්‍යාමිතිය, නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඔයවගේ බොහොමයක් සංකල්ප ග්‍රීසියෙදි දියුනු වෙලා තියනවනෙ. ඒ නිසා මේ කාරණය ගැන අධ්‍යයනය කරන එක බොහොම කල්පනාවෙන් කරන්න වෙලා තියෙන්නෙ. පුරාවිද්‍යාත්මක සාධක පවා සළකල බලන්න වෙනව.

අපට හොයාගන්න පුළුවන් තොරතුරු වලින් වුනත් මං මේ කියපු කාරණය ගැන සාධාරණ නිගමනයකට එන්න පුළුවන්. ඒ කියන්නෙ රට කියන එක රජා විසින් තීරණය කරන එකක්. ජාතිය කියන එක අම්ම අප්ප තීරණය කරන එකක්. ඉතින් ඔය ඉංග්‍රීසි නේෂන් එක අපේ ජාතිය විදිහට අරගෙන ලාංකීය ජාතියක් ගැන කතා කරන්න බෑ. නේෂන් එක කියන්නෙ රට. මං කිව්වනෙ හින්දි භාෂාවෙදි ඕක පරිවර්තනය කරගෙන තියෙන්නෙ දේශය එහෙම නැත්නම් රාෂ්ට්‍ර නොහොත් රට කියලනෙ. ඉතින් එතකොට ලෝකයේ මිනිස්සු යම් කාලයක ඒ කියන්නෙ මේ නවීන ලෝකය ඇති වෙලා දේශ සීමාවන් – ඔය ටෙරිටරි කියන සංකල්පය, වීසා ලබා දීම, පුරවැසි භාවය හෝ ද්විත්ව පුරවැසි භාවය වගේ සංකල්ප ඇති වෙන්න කලින් නොයෙක් නොයෙක් තැන් වල පදිංචි වෙලා හිටියා. ඊට පස්සෙ අර මං කියපු සංකල්ප පහළ වුනාට පස්සෙ ඒ ඒ දේශ සීමාවන් ඇතුළෙ ඉන්න මිනිස්සු ඒ ඒ රට වල පුරවැසියො බවට පත් වුනා. ඕකනෙ තත්වය. දැන් කාටවත් බෑ මේ පුරවැසියන්ගෙන් කොටසක් පළමුවැනි පංතියේ පුරවැසියෝ එහෙම නැත්නම් ශ්‍රේෂ්ට පුරවැසියො කියල කියන්න.

එහෙම කවුරුහරි හිතනවනම් එතන තමයි ජාතිවාදය තියෙන්නෙ. කොටින්ම කතාව ඔච්චරයි.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල