ඉතිහාසය, කාලීන සංවාද, විවිධාංග

දොඩන්නැතුව කෝමෙයි ?

0

පහුගිය ලිපියට වැඩිපුර ලැබිල තිබුණේ යන්නෙ කොහෙද මල්ලෙ දොඩම් ප්‍රතිචාර. කතා කළේ ඉරටයි හඳටයි යන එක ගැනයි. දොඩමුත් ඉර හඳ වගේ ගෝලාකාර නිසා දොඩම් මතක් වුනාද දන්නෙ නෑ. කොහොම වුනත් දොඩම් ගැන කතාවක් ඇදිල ඇවිත් නිසා ඒ ගැනත් මක්කා හරි දොඩන්නැතුව කෝමෙයි ?

ඔය ප්‍රතිචාර වල කියන කවුරු හරි විදේශිකයින් කණ්ඩායමක් බිබිලේ දොඩම් වලට ගේම දුන්නා කියන කතාව ටිකක් පරණ කතාවක්. මට ඔය කතාව අහන්න ලැබිලා අඩු ගානේ අවුරුදු තිහක් තිස් පහක්වත් ඇති. ඒ දවස් වල ඔය වගේ කතාවක් ඇහුනහම වැඩි හොයා බැලිල්ලක් නැතුව කතාවට ප්‍රචාරයක් දෙන එක අපිත් කරපු වැඩක්.

ඔය වගේ කතාවක් පැතිරෙන්න මොකක් හෝ හේතුවක් තියෙන්න පුළුවන්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනේ. හැබැයි ගිණි නැතුවම දුම් නගින වෙලාවලුත් තියෙනවා. මේ කතාවේ පසුබිම හා අදාළ වැඩි තොරතුරු සමහර විට කියවන අය දන්නවා ඇති. මමනම් දන්නේ නැහැ. නොදත් පමණින්, ඔය කතාව බොරුවක් බව හෝ ඔය වගේ දේවල් වෙන්න විදිහක් නෑ කියලා කියන්නත් බෑ. කොහොම වුනත්, පදනමක් ඇතුව හෝ නැතුව ඔය වගේ කතාවක් වේගයෙන් පැතිරුණේ කොහොමද කියන එක ගැනනම් අදහස් දක්වන්න බැරිකමක් නැහැ.

දැන් ලංකාවේ ඕනෑම අහුමුල්ලකින් රටින් එන කහ දොඩම් මිල දී ගන්න පුළුවන්. ඇමරිකාවත් දොඩම් නිෂ්පාදනය කරන හා අපනයනය කරන රටක් වුනත් ලංකාවට මේ දොඩම් එන්නේ ඇමරිකාවෙන් කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් වෙන්න පුළුවන්. මේ හා අදාළ අළුත් සංඛ්‍යාලේඛණ තියෙන තැනක් මට හමු වෙලා නැති නිසා නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.

කොහොම වුනත් ඔය කහ පාට රට දොඩම් ලංකාවට එන්න ගත්තේ අසූව දශකයේ මැද හරියේදී වගේ. ඊට කලින් අපි (මම) දැකලා තිබුණේ කොළ පාට දොඩම් විතරයි. අපේ ගම් වල ගොඩක් ගෙවතු වල දොඩම් ගහක් තිබුණා. ඒ ගස් වල කවදාවත් “මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ” කියන්න තරම් ගෙඩි හැදුනේ නැහැ. හැබැයි ගෙඩි හැදුනා. ගස් ලොකු නිසා ගෙඩියක් කඩා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ වගේම පැණි දොඩම් කියා කිවුවත් ඔය දොඩම් දැන් තියෙන රට දොඩම් තරම් පැණි රස නැහැ. පොඩි ඇඹුල් ගතියකුත් තිබුණා. ඒ නිසා, ගොඩක් වෙලාවට දොඩම් මිරිකලා දොඩම් යුෂ හදලා බොනවා මිසක් දොඩම් බිකි ගලවාගෙන කෑවේ නැහැ.

ඔය කාලේ වෙද්දී මොණරාගල බිබිලේ වගේ පැති වල වාණිජ වගාවක් විදිහට දොඩම් වවන්න ඇති. මමනම් ලංකාවේ එවැනි වාණිජ දොඩම් වගාවක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. කොහොම වුනත්, ඒ පැති වලින් ආපු හෝ එහෙම නැත්නම් අපේ පැත්තේම ගෘහස්ථ වගාවක් ලෙස වවපු ගස් වලින් කඩාගත් දොඩම් කඩෙන් මිල දී ගත හැකිව තිබුණා. ලෙඩෙක් බලන්න එහෙම යන වෙලාවල් වලදී අපි ගෙදර ගහකින් කඩාගත් හෝ කඩෙන් ගත් දොඩම් ගෙඩි දෙක තුනක් අරං ගියා.

දොඩම් ගෙඩි දෙකක් තරමවත් උස නැති කාලේ දැකලා නොතිබුණත් ටිකක් ලොකු මහත් වුනාට පස්සේ කාලෙදී කඩවල් වල කහපාට රට දොඩම් තිබුණු බව මතකයි. මේ රට දොඩම් වල දේශීය දොඩම් වල නොතිබුණු ප්‍රණීත රසයක් වගේම සිත් ඇදගන්නා සුළු පෙනුමකුත් තිබුණා. කොහොමත් ඉතිං මාකට් එකට පොත්ත රතු ගෙඩියක් බැස්සහම ගොඩක් අයට කකා හිටපු ගෙදර වත්තේ ගෙඩිය අමතක වෙනවනේ. ඊට අමතරව මේ ගෙඩියේ රහත් හොඳයි. මිරික මිරික ඉන්න දෙයක් නැහැ. පොත්ත ගැලෙව්වා. ඇදල ඇරියා.

ඉතා පැහැදිලිවම ඔය රට දොඩම, අඩු වශයෙන් මුල් කාලයේදී, දේශීය දොඩම් වලට වඩා ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය වුණා. ඊට අමතරව මේ දොඩම් ගෙඩියක් විකිණුනේ දේශීය දොඩමක මිලට වඩා ටිකක් හෝ අඩු මිලකටයි. ඒ නිසා, රට දොඩම ආපු ගමන් ලංකාවේ දේශීය දොඩම් වලට තිබෙන ඉල්ලුම අඩු වන එකත්, ඒ හේතුව නිසා දේශීය දොඩම් නිෂ්පාදනය පහත වැටෙන එකත් අනිවාර්යයෙන්ම සිදුවිය හැකිව තිබුණු දේවල්. දේශීය දොඩම් නිෂ්පාදනය වට්ටන්න කවුරු හෝ විසින් කුමන්ත්‍රණයක් කළත් නොකළත් එය සිදු විය හැකිව තිබුණා.

රට දොඩම් ලංකාවේ වෙළඳපොළට ඇවිත් ටික කාලයක් යද්දී දේශීය දොඩම් වැඩිපුර පේන්න නැතුව ගියා. ඔය කුමන්ත්‍රණ කතාව වේගයෙන් ප්‍රචලිත වුනේ ඔය කාලයේදී. බිබිලේ කියන නම ඊට පෙර සිටම විදේශීය කුමන්ත්‍රණ හා අදාළව කතා කරද්දී කියැවුණු නමක් වීමත් මේ කතාව පැතිරෙන්න උදවුවක් උනාද දන්නේ නැහැ.

දැන්නම් නැවතත් කොළපාට දේශීය දොඩම් වලට ලංකාවේ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. එය තරමක් දුරට ලංකාවේ සිදු වූ සංස්කෘතික වෙනසක් එක්ක සිදු වුනු දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුනත් රට දොඩම් වල ජනප්‍රියත්වයත් තවමත් අඩු වෙලා නැහැ. මිල වුවත් දේශීය පළතුරු වල මිල එක්ක බැළුවහම එතරම් වැඩි නැහැ.

දැන් ලංකාවේ ආගමික කටයුතු සිදුවෙන විදිහෙත් අමුතු හා අලුත් දේවල් තියෙනවනේ. පහුගිය අවුරුද්දේ මගේ පියාගේ තුන් මාසේ දානය වෙලාවේ හාමුදුරුවරුන්ට පළතුරු කූඩයක් බැගින් පූජා කළ යුතු බව ගමේ හාමුදුරුවෝ විසින්ම කියලා තිබුණා. තවත් විශේෂ ඉල්ලීමුත් තිබුණා. දානයට වැඩම කරපු අප කාලයක් තිස්සේ දැන සිටි ජ්‍යෙෂ්ඨ නායක හිමිවරුන් කිහිප නමක් ඇතුළු වෙනත් විහාරාධිපති හිමිවරුන් තරමට ගමේ පන්සල මිල දී ගෙන අළුතින් පැමිණ සිටි මේ හාමුදුරුවන්ව අප ඇසුරු කර තිබුණේ නැහැ. කෙසේ වුවත් ගමේ පන්සල නිසා තීරණ ගැනීමේදී අපි ඒ හාමුදුරුවන්ට තැන දුන්නා.

ඔය වැඩේට පළතුරු ගන්න ගියේ මම. කූඩ තිහක් හදන්න ප්‍රමාණවත් තරමට ගත්ත පළතුරු අතර දේශීය පළතුරු වර්ග ගණනාවක්ම තිබුණා. ගෝනි කිහිපයක්. රට පළතුරුත් තිබුණා. නමුත්, මම අදහස් කරපු විදිහට කූඩ හැදුවහම වර්ග ගණනාවක් අතරේ රට පළතුරු ටික ලොකුවට මතු වෙලා පේන්නේ නැහැ. ගෙදර අනෙක් අයට ඕනෑ වුනෙත්, ගමේ හාමුදුරුවන්ට ඕනෑ වෙලා තිබුනෙත් ඇපල්, රට දොඩම් හා රට දෙළුම් වලින් පිරුණු කූඩ. ඒ නිසා අන්තිමට අර දේශීය පළතුරු පැත්තකට දමලා වැඩිපුර රට පළතුරු දමලා කූඩ පුරවන්න වුණා.

මම කියන්න හදන්නේ අවසාන වශයෙන් වෙළඳපොළ සමතුලිතතාවය තීරණය කරන්නේ පාරිභෝගික රුචිකත්වය විසින් බවයි. ලංකාවේ මිනිස්සු වඩා කැමති දේශීය දොඩම් වලටනම් මොන ලෙඩ බෝවුනත් ඒ ලෙඩ වලට පිළියම් කොහෙන් හෝ ලැබී නැවත ගස් වල දොඩම් හැදෙයි. වඩා කැමති රට දොඩම් වලටනම් කුමන්ත්‍රන නැතත් දේශීය දොඩම් නිෂ්පාදනයට පැවැත්මක් නැහැ.

රටින් එන පළතුරු වලට බෙහෙත් ගහලා කියන එක ප්‍රචලිත කතාවක්. කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවේදී අළුත් ඇපල්, දොඩම්, මිදි ආදිය කාලා ලංකාවට ආවහම ලංකාවේ වෙළඳපොළේ විකුණන්න තිබෙන ඒ පළතුරු කටේ තියන්නවත් හිතෙන්නේ නැහැ. එක පාරටම වෙනස තේරෙනවා. හැබැයි ඔය වැඩේ කෙරෙන්නේ ලංකාවේදීමයි. ඒ වගේම ඔය විදිහට රසායනික ගහන්නේ රට පළතුරු වලට විතරක් නෙමෙයි. කෙසෙල්, ගස්ලබු, අඹ වගේ දේශීය පළතුරක් ගත්තත් වෙනසක් නැහැ. මෙතැන සිදුවන්නේ බාහිර කුමන්ත්‍රණයක් නෙමෙයි.

දැන් ඔය කතාවට අනුව ඔය කුමන්ත්‍රණය වෙන්න කලින් බිබිල මොණරාගල පැත්තේ මාර විදිහට දොඩම් හැදිලා තිබෙනවා. බිබිලේ දොඩම්, නාවල අන්නාසි, මල්වානේ රඹුටන්, කළුතර මැන්ගුස් වගේ සමහර පළතුරු වල නම් එක්ක ගම් වල නම් කියවුනත් ඔය සම්බන්ධතා කොයි තරම් ප්‍රබලව පැවතුනාද කියන එක සොයා බැලිය යුතු දෙයක්.

කාලයක් බිබිල මොණරාගල පැත්තේ සරුවට දොඩම් හැදී තිබෙන බව බොරුවක් නෙමෙයි. මේ කියන කාලය අසූව දශකයට පෙර කාලයක්. නමුත්, මහා දිග කාලයක් නෙමෙයි. මම හිතන හැටියට වැඩිම වුනොත් දශක කිහිපයක කාලයක්. බිබිලේ දොඩම් වගාව විනාශ වුනේ කොහොමද කියන එක වගේම බිබිලේ දොඩම් හැදුණේ කොහොමද කියන එකත් කතා කළ යුතුයි.

ලංකාවේ දැන් ජනප්‍රියව තිබෙන බොහෝ පළතුරු වර්ග යුරෝපීය පාලන කාලයන් වලදී හඳුන්වා දෙනු ලැබූ හෝ ව්‍යාප්ත වූ පළතුරු. රඹුටන්, දුරියන්, මැන්ගුස් වගේ නම් මැලේ නම්. මේ පළතුරු පෘතුගීසි කාලයේදී වත්මන් මැලේසියාවෙන් හෝ ඉන්දුනීසියාවෙන් පැමිණි පළතුරු . නමුත්, දොඩම්නම් සෑහෙන කාලයක සිට ලංකාවේ තිබී ඇති පළතුරක්.

දොඩම් වල නිජබිම උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකුණු චීනය අයත්වන ප්‍රදේශයක්. මුලින්ම දොඩම් පැතිරිලා තියෙන්නේ ආසියාවේ. සෑහෙන කාලයකට පෙර දකුණු යුරෝපයටත් පැතිරිලා තියෙනවා. නමුත් ඇමරිකාවට පැතිරිලා තියෙන්නේ කොලොම්බස් ආවට පස්සේ.

චන්ද්‍රසිරි දොඩම්ගොඩ, තුමිඳු දොඩම්තැන්න, බෙනඩික්ට් දොඩම්පේගම වගේ මිනිස්සු ගැනත් දොඩම්ගස්ලන්ද, දොඩම්පේ, දොඩම්දූව වගේ ගම් ගැනත් අපට අහන්න ලැබෙන එකෙන් පේන්නේ දොඩම් ගස් කාලයක් තිස්සේ ලංකාවේ පැතිර තිබී ඇති බවයි. නමුත්, ඒ අර මම මුලින්ම කිවුවා වගේ ගෘහස්ථ බෝගයක් විදිහට මිසක් වාණිජ බෝගයක් විදිහට නෙමෙයි. මේ ගස් වලින් ලොකු පලදාවක් ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, දහනවවන සියවසේ දෙවන අර්ධයේදීත් දොඩම් කියන්නේ ලංකාවේ ගෙවතු වගාවක් මිස වාණිජ භෝගයක් නෙමෙයි.

ලංකාවේ දොඩම් වගාව ගැන 1881දී ඩබ්. ෆර්ගසන් විසින් ලියනු ලැබ ඔබ්සර්වර් පුවත්පතට යැවූ ලිපියක් 1908 දී “ද ට්‍රොපිකල් ඇග්රිකල්චිර්ස්ට්” සඟරාවේ (වෙළුම 30, පිටුව 99) පළවී තිබෙනවා. එහි ඔහු මෙසේ කියනවා. (අරුත පැහැදිලි වන පරිදි මගේ වචන වලිනුයි ලියන්නේ)

“දොඩම් වගාව වෙනුවෙන්ම වෙන් කර ඇති කිසියම් ඉඩමක් ලංකාවේ ඇති බවක් මා දන්නේ නැහැ. ආර් එල් එම් බ්‍රවුන් මහත්තයා (වාණිජ බෝගයක් ලෙස) මහර පැත්තේ දොඩම් වවන්න උත්සාහ කළත් එය සාර්ථක වුනේ නැහැ. ලංකාවේ දොඩම් වවන්නේ ගෙවල් අවට හා වතු වල මිශ්‍ර වගාවක් ලෙසයි. ඒ නිසා, කොළඹ විකුණන්න තියෙන දොඩම් එන්නේ කොහෙන්ද කියා හොයන්න යන කෙනෙක් අමාරුවේ වැටෙනවා. පසුගිය අවුරුදු විසිපහ පුරා ගලහ වත්තේ දොඩම් ප්‍රසිද්ධියට පත්ව තිබුණත් එහි දොඩම් වවා තිබෙන්නේ කෝපි වවා ඇති මේ වත්තේ පාරවල් දිගේ මිසක් වෙනම වගාවක් ලෙස නෙමෙයි.”

ලිපිය පළ වූ 1908 වෙද්දී ගලහට අමතරව හැටන් හා බදුල්ල ප්‍රදේශ වලත් වාණිජ භෝගයක් ලෙස දොඩම් වගාව ව්‍යාප්ත කරන්න උත්සාහ තිබෙන බව පෙනෙන නමුත් සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙසේ වුවත්, හැටන් වලට වඩා බදුල්ල දොඩම් වගාවට යෝග්‍ය බව පෙනී ගොස් තිබෙනවා.

වෙනත් වාර්තාවක ඇති තොරතුරු අනුව 1880 මැයි 13න් අවසන් වූ දෙසතිය තුළ ලංකාවේ නගර කිහිපයක දොඩම් විකිණිලා තිබෙන්නේ පහත මිල ගණන් වලටයි.

ලොකු දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ – ශත 50
මහනුවර – ශත 48
ගාල්ල – ශත 50
නුවරඑළිය – ශත 25

පොඩි දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ – ශත 37
මහනුවර – ශත 36
ගාල්ල – ශත 37
නුවරඑළිය – ශත 18

මිල ගණන් වල වෙනස්කම් අනුව පෙනෙන්නේ ඒ වන විට වැඩිපුර දොඩම් වවා තිබෙන්නේ නුවරඑළිය පැත්තට වෙන්න බවයි. පහතරට කලාපයේ වැවෙන පළතුරක් වන අන්නාසි ගෙඩියක මිල දිහා බැලූ විට මේ කරුණ පැහැදිලි වෙනවා.

අන්නාසි ගෙඩියක්
කොළඹ – ශත 4
මහනුවර – ශත 25
ගාල්ල – ශත 6
නුවරඑළිය – ශත 37

සමහර විට ඔය දවස්වල නාවල පැත්තේ ලොකුවට අන්නාසි වවන්න ඇති.

බ්‍රිතාන්‍ය පාලන කාලයේදී, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව රටේ විවිධ ප්‍රදේශ වල දොඩම් වගාව අත්හදා බලා තිබෙනවා. නමුත්, මුලදී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම පහසු වෙලා නැහැ. අන්තිමට බදුල්ල හා මොණරාගල පැති වල දොඩම් වවා සරු අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 1940 පමණ වෙද්දීයි.

කොහොම වුවත්, ඒ සාර්ථකත්වය වැඩි කලක් පැවතිලා නැහැ. 1950 පමණ වෙද්දී ට්‍රිස්ටෙසා වෛරසය පැතිරීම හා වෙනත් හේතු නිසා දොඩම් ගස් කණාටු වෙලා අස්වැන්න අඩුවෙලා ගිහින් තියෙනවා. මේ ලංකාවේ දොඩම් වගාවට මේ වගේ හානියක් සිදු වෙලා තිබෙන පළමු අවස්ථාව නෙමෙයි. දොඩම් වගාව රටේ ව්‍යාප්ත වෙන්නත් කලින් 1900 පමණදීත් හඳුනා නොගත් රෝගයක් වැළඳී ලංකාවේ දොඩම් වගාව විනාශ වෙලා තිබෙනවා. මේ විදිහට වෛරස් හෝ වෙනත් රෝග පැතිරීම නිසා වගාවන් විනාශ වීම දුලබ දෙයක් නෙමෙයි. ලංකාවේ කෝපි වගාව විනාශ වුනෙත් මෙවැනිම හේතුවකිනුයි.

සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන විදිහට 1960 දශකයේදී ලංකාවේ දොඩම් වගාව නැවතත් පණ ගසා ඇවිත් තියෙනවා. මේ වන විට ලංකාවේ පරිභෝජනය කරන දොඩම් ප්‍රමාණය තරමටම දොඩම් 1963, 1964 වගේ අවුරුදු වලදී රටේ නිෂ්පාදනය වී තිබෙනවා. නමුත්, සෑම වසරකම එක වගේ පලදාවක් ලැබී නැහැ. පලදාව විශාල ලෙස විචලනය වී තිබෙනවා. එසේ වුවත්, 1980 පමණ වන තුරු ලංකාවට දොඩම් ආනයනය කර නැති නිසා පරිභෝජනය කර තිබෙන්නේ රටේ හැදුණු දොඩම් ප්‍රමාණය පමණයි. මේ කාලයේදී දොඩම් වාරයට මිල ගණන් විශාල ලෙස පහත වැටීමත්, අවාරයට මිල ගොඩක් ඉහළ යාමත් සිදු ඇති බව පේනවා. දොඩම් ආනයනය කරන්න පටන් ගැනීමෙන් පසුව වසරේ සෑම කාලයකදීම ලංකාවේ වෙළඳපොළෙන් දොඩම් මිල දී ගන්න හැකි වී තිබෙනවා වගේම මිල ස්ථාවර වී ද තිබෙන බව පෙනෙනවා.

බිබිලේ දොඩම් වගාව විනාශ කරන්න කුමන්ත්‍රණය කර තිබෙන්නේ කවුරු වුවත් බිබිල පැත්තට දොඩම් වගාව හඳුන්වා දී ව්‍යාප්ත කර තිබෙන්නේනම් ඉංග්‍රීසින් විසිනුයි. 1850 පමණ සිට උත්සාහ කිරීමෙන් පසුව ඒ වැඩේ සාර්ථක වී තිබෙන්නේ 1940 පමණ වෙද්දීයි. එහෙම නැතුව අනාදිමත් කාලයක සිට මොණරාගල බිබිල පැති වල දොඩම් වගා තිබී නැහැ. සාර්ථකය කියා කීවත් මේ වගාවන්ගෙන් හොඳ මට්ටමේ පලදාවක් ලැබී තිබෙන්නේ අතරින් පතර වසර කිහිපයක කෙටි කාලාන්තර කිහිපයක් ඇතුළත පමණයි.

ඉංග්‍රීසින් ගියාට පස්සේ ලංකාවේ ආණ්ඩු යටතේත් කෘෂිකාර්මික අංශයටනම් යම් සැලකිල්ලක් ලැබුණු ලැබුණු බව කියන්න පුළුවන්. එහි වරදක් නැහැ. ඒ හේතුව නිසා හෝ වෙනත් වෙළඳපොළ සාධක මත මෑත වසර වලදී ලංකාවේ දොඩම් වගාව නැවතත් ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ වන විට ලංකාවේ දොඩම් වගාව වෙනුවෙන් යෙදවෙන භූමි ප්‍රමාණය ඉතිහාසයේ කවර කලකවත් මේ වගාව වෙනුවෙන් යෙදෙවී නැහැ. එහෙත්, ලංකාවේ දොඩම් පරිභෝජනය රටේ දොඩම් නිෂ්පාදනය මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙයට එක හේතුවක් වන්නේ දේශීය දොඩම් ආනයනික දොඩම් වලට පූර්ණ ආදේශකයක් නොවීමයි. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ අය හොයන්නෙම පොත්ත රතු ගෙඩි නිසා දේශීය නිෂ්පාදනය ඉහළ යාම ආනයනික දොඩම් ඉල්ලුම මුළුමනින්ම නැති කරන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය වන්නේ ලංකාවේ දොඩම් ඵලදා අනුපාතය ගොඩක් අඩු මට්ටමක පැවතීමයි. දොඩම් වගාවට වෙන් කරන ඉඩම් ප්‍රමාණයේ තරමට දොඩම් නැහැ. ඒ නිසා, වැඩි ඵලදාවක් තියෙන රටවලට මෙහේ හදනවට වඩා ගොඩක් අඩු මිලට ලංකාවට දොඩම් එවන්න පුළුවන්. පහත තියෙන්නේ ලංකාවේ හා වෙනත් ප්‍රධාන හා අසල්වැසි දොඩම් වවන රටවල ඉඩම් හෙක්ටයාරයකින් ලබාගන්නා දොඩම් කිලෝග්‍රෑම් ප්‍රමාණයයි.

බ්‍රසීලය- 27,640
ඇමරිකාව- 21,525
චීනය- 16,975
ඉන්දියාව- 12,724
මෙක්සිකෝව- 14,432
ස්පාඤ්ඤය- 23,894
ඊජිප්තුව- 25,203
තුර්කිය- 37,982
ඉතාලිය- 17,920
දකුණු අප්‍රිකාව- 42,195
ඇල්බේනියාව- 41,502
ඝානා- 39,926
ඉන්දුනීසියාව- 39,233
ගෝතමාලාව- 35,004
ග්‍රීසිය- 32,466
ඉරානය- 26,013
ඕස්ට්‍රේලියාව- 19,334
තායිලන්තය- 21,217
පකිස්තානය- 11,612
නේපාලය- 10,078
ලංකාව- 937

පේනවනේ තත්ත්වය. ලංකාවේ දොඩම් ගහක ගෙඩියක් හැදෙන කොට වෙන රටවල් වල ගහක ගෙඩි තිහ හතළිහක් හැදිලා. ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව දොඩම් පලදාව අතින් ලංකාවට පහළින් ඉන්නේ තව එක රටක් (බොස්නියාව) විතරයි. ඔය බිබිලේ දොඩම් අස්වැන්න සරුවටම තිබුණු අවුරුදු වලදීවත් ලංකාවේ දොඩම් අස්වැන්න අනික් රටවල් වල කිට්ටුවකවත් තිබිලා නැහැ. අනෙක් පැත්තෙන් බැලුවොත් දොඩම් නිෂ්පාදනය හෝ පරිභෝජනය අතින් ලංකාව කිසිම දවසක ලැයිස්තුවේ උඩ ඉන්න රටවල් වලට කිට්ටු කරලා නැහැ.

පළ ඇති දොඩම් රුක් තියෙන, ලොකු දේශීය දොඩම් ඉල්ලුමක් තියෙන, දොඩම් අපනයනය කරන රටවල් තව සිය ගානක් තියෙද්දී, හිඟන්නාගේ දොඩම් පාත්තරේටම හෙනහුරාගෙන් ගෙනාපු ට්‍රිස්ටෙසා වෛරසය හරි වෙන පලිබෝධයක් හරි දාලා බිබිලේ දොඩම් වගාව කවුරු හරි විනාශ කළානම් ඒ මොකක් හරි මාර ලොකු තරහකටම වෙන්න ඕනෑ.

අහන්න කලින්ම කියන්න තව දෙයක් තියෙනවා. ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෙක් නෙමෙයි !

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල