කෙටි කථා

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (පළමු කොටස)

Off

“ජබොක්. . .”

බෝක්කු බැම්ම උඩ තබා තිබුනු මගේ පොත් ගොඩේ උඩින්ම තිබුනු රබර් මකන කැබැල්ල බෝක්කු බැම උඩ සිට අඩි පහක් හෝ හයක් පහලින් ගලා යන ඇලට වැටුනු ශබ්දයෙන් මම සිහින ලොවින් පියවි ලොවට ආවා වගේ මට දැනුනා . . . උපකාරක පංතිය නිමාවී ඉමාෂාට සමුදී එතැනින් පිටත් වූ මොහොතේ පටන් බෝක්කු බැම්ම උඩ වාඩිවී සිටින මේ මොහොත දක්වා ගතවූ කාලය කෙසේ ගතවූවාදැයි වෑයමින් සිතුවත් මතකයට නගා ගැනෙම අපහසු බව මට සිතුනා . . . එය හරියට ජීවිතයේ එක්තරා රික්ත කාල පරාසයක් මෙන් කියා මොහොතකට සිතුනා . . .

අත් ඔරලෝසුවක් නැති කමින් වේලාව ගැන වැටහීමක් ලබා ගන්න නොහැකි බව දැනුනු මා වට පිට බැලුවේ . . පරිසරයේ වෙනස්කම් වලින් වත් අනුමාන වශයෙන් වෙලාව දැන ගන්නා අදහසින් . . .

මේ සරුංගල් වාරය නිසා අහසේ ලෙළ දුන් ලොකු කුඩා සරුංගල් ලෝලීන්ගේ වෛවර්න සරුංගල් තවම බිමට පහත් කර නොමැති කමිනුත් . . . සවස් කාලය ලං වූ විට රෑන් ගැසී කූඩු කරා පියඹන පක්ශීන් තවමත් නිදහසේ ඉහල අහසේ සැරිසරනවාත් දුටු මා තවම බොහෝ සවස් වී නැති බව පසක් කරමින් කඳුලු පිරී බොඳවූ දෑසින්ම සතුටින් නිදහසේ සරුංගල් අරින්නන් දෙස බලා සිටියේ කියා ගත නොහුනු විශාල පාලුවක් වැනි හැඟීමකින් . . .

ඉහල අහසේ ළෙල දුන් විශාල සරුංගලයක් දෙස නෙත් යොමා සිටි මා මගේ බැල්ම සරුංගලයේ සිට සීරුවෙන් එහි නූල දිගේ පහලට විත් එය හසුරවන්නා හා ඔහු අසල සිටි පරිවාර පිරිස දෙස නොත් යොමාගෙන සරුංගලයේ නූල දිගේ මගේ මතකය බොහෝ ඈත නොවූ ඉසව්වකට රැගෙන ගියා . . .

සරුංගල් වාරෙට මොණරා සරුංගලය හෝ මාළුවා සරුංගලය, ඉබ්බා, ගෙම්බා, ආදී අප විසින් හඳුන්වා ගන්නා සරුංගල් අතුරින් විශාලම සරුංගලය නීපදවන ගමේ තරුණයන් කිහිප දෙනා අතුරින්, අප පදිංචි නිවසට පිටුපස එකම පවුලේ සොයුරු සොයුරියන් රැසකගේ ලොකු කුඩා ගෙවල් රැසකින් සමන්විත විශාල වත්තේ විසූ වැඩිමහල් පුද්ගලයා වූ රූබන් මාමාගේ පුතා වූ නිපුල් අයියා නිපදවන විශාල සරුංගලයත්, අපේ නිවසේ සිට මීටර් පන්සීයක් පමන දුරකින් විසූ ගමේ හැමෝගෙම ප්‍රියතම පවුලක් වූ සුරූපී ඈන් අක්කා ගේ පවුල හෙවත් ගමේ ජීවත් වූ බර්ගර් පවුල් කීපයෙන් එකක බඩ පිස්සා වූ ඩෙක්ස්ටර් අයියා නිපදවන ඔහුටම සුවිශේශී වූ එක් එක් වසර වල එක් එක් රටවල ජාතික කොඩියේ හැඩයට පාට කොල අලවන විශාල පෙට්ටි සරුංගලත් . . . . ගමේ යෞවනයන්, ළමුන්, තරුනයන් අතර නිහඬ පිල් බෙදීමක් ඇති කලා කීවොත් නිවාදියි . . .

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ සරුංගල් උඩ යැවීමට මා මේ දැන් සිටන බෝක්කුව අසල පිහිටි වෙල් යායට පැමිනිය යුතු වුනා . . . ඔවුන් එසේ පැමිනෙන විට ඔවුන් පසුපසින් පරිවාර ළමෝ රෑනක් ගමන් කිරීම ගමේ අයට සරුංගල් වාරයේදී දකින්නට ලැබෙන සුලභ දසුනක්ම වූවා . . .

මේ වේදනාකාරී ප්‍රේම සිතුවිලි වලින් හිස අවුල් කර ගන්නට ප්‍රථම කලකට පෙර බුහුටි පැංචෙක් වූ මාත් මේ පරිවාර සේනාවේම අයෙක් බව මට පසක් වී . . . නිපුල් අයියා වටේ එකතු වී . .

“නිපුලයියා දෙන්න මම පන්දුව ඔතන්නම් . . .”

“නිපුලයියා ඔන්න ඔන්න බලාගෙන අර ශාලාව පාර පැත්තෙන් පොඩි කොම්බුවෙක් එනවා වගේ මාට්ටුවක් දාන්න . . ”

“අනේ නිපුලයියා පොඩ්ඩක් දෙන්නකෝ . . . මටත් ආසයි ටිකක් වෙලා අල්ලගෙන ඉඳලා නිච්චියක් ගහල බලන්න . . .”

ආදී වශයෙන් නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් කරමින්ද . . . නොයෙක් උපදෙස් ලබා දෙමින්ද . . . නොයෙක් උපකාර කරමින්ද . . . ඉන්නා පරිවාර රැලේ මේ දැන් සිටිනා ළමෝ අතරින් මා කොහේදයි සෙවීමට මෙන් එහි සිටි ළමෝ පිරිස සිතින් ගනිමින් එකික් එක මුහුන කරා මගේ නෙත් ගමන් කලේ මා නොවේ නමේ මේ කාගේ කවුදැයි හඳුනා ගන්නට උත්සාහයක්ද දරමින් . . . . .

ටික වේලාවක් ඒ සිතුවිල්ලේ උන් මා එය වෙහෙසකර කටයුත්තක් සේ හැඟී ගියෙන් ඉඳගෙන සිටි බෝක්කු බැම්ම උඩින් පොත් කීපය තබා පැන්සලත් පෑනත් වතුරට නොවැටෙන්න වගබලා ගැනීමට පොතක් ඇතුලට දමා බෝක්කුව උඩින් නැගිට පාරේ මැදක් වන්නට ගොස් සිට ගෙන මෙපමන කලක් නිතර දුටු නමුත් මේ දැන් දුටුවාක් මෙන් අලුතින් . . අලුත් ඇසකින් . . වෙල් යාය දෙසත් , බෝක්කුව දෙසත් . . . මාරුවෙන් මාරුවට බලන්න පටන් ගත්තා . . .

වෙල් යායට වතුර බෙදන අඩි හයක් හෝ අටක් පමන පළල් ඇල හරහා අඩි පලොවක් පමන පළල් මාවත ගමන් කරන තැනේදී පාලමක් ලෙස නොවුනත් විශාල බෝක්කුවක් ලෙස සකස් කර තිබුනේ අවශ්‍යනම් එක් පැත්තක බෝක්කු බැම්ම උඩ එකවර හතර පස් දෙනෙකුට වත් ඉඳ ගන්න ඉඩ සලස්වන්න මෙන් . . .

බෝක්කුවේ වම් පැත්තටත් දකුනු පැත්තටත් දිගටම විහිදී යන වෙල් යාය . . . මාවතේ එක් පැත්තකින් කනත්ත පසුකොට එහි අවසානය වූ මිරිහාන මාර්ගය දෙසටත් අනෙක් පැත්ත මාවත පටන් ගන්නා පෙදෙස වූ පිටකෝට්ටේ සිට ගම්මන්ඩිය දෙසටත් යාවෙන මාර්ගයට එක්වීමෙන් එහි ආරම්භය සිදු වෙනවා . . . වැඩිපුර වාහන ගමනා ගමනයක් නොවූ මාවතේ මේ බෝක්කුව උඩ සිට ගෙන අංශක 360ක් කැරකුනහොත් ඇසට අසුවන දර්ශනය ඉතාම සුන්දරයි . . .

මාවත කනත්ත පැත්තට දිවෙන හරියෙදි . . වෙල්යාය බෝක්කුවේ සිට මීටර් සීයක් පමන ගොස් සීමාවී එතැන් සිට කන්දක් ලෙස ඉහලට යන්නට පටන් ගන්නේ සීග්‍ර නැග්මක් ලෙසටයි . . .නැග්මේ පාමුල දකුනු පැත්තට වන්නට තැනූ ලොකු කුඩා ගෙවල් සමූහයත් වෙල්යායත් වෙන් වන්නේ නිවාස සමූහයේ නිවැසියන්ගේ රෙදි සේදීම, නෑම වැනි පානීය නොවන ජල පහසුකම් සපුරාලීමට රජයෙන් ඉදිකර දී ඇති පොදු නාන ළිඳ නොහොත් අප හඳුන්වන ලෙසට පොකුණකින් . . .වම් පැත්තට වෙනනට ඇත්තේ වෙල මායිමට පොල්, කොස්, අඹ, රට දෙල් ගස් වවපු ගෙවතු ඇති ගෙවල් කීපයකින්. පොකුනේ සිට මීටර් විසිපහක් පමන දුරින් පේන්න තිබෙන්නේ ගමේ පොදු සුසාන භූමිය හෙවත් කනත්තයි . . .

“අනේ ලස්සන කනත්තක් . . . ”

උපකාරක පංති නිමා වී පිටකෝට්ටේ මාමලගේ ගෙදර යනවා කියා බොරුවකුත් නොවන ඇත්තකුත් නොවන යමක් ඉමාෂා විසින් ගෙදරට කියා පැමින . . . යා යුතු ඉසව්වක් ගැන කල්පනා කිරීමේදී මේ ස්ථානය එක වරම සිහියට නැගී මෙතනට ආ දිනෙක . . . ඇඳ සිටි රැලි ගොඩාක් ඇල්ලූ ලිනන් රෙද්දෙන් මැසූ සුදු සායේ වාටියේ දෙපැත්තෙන් අල්ලා වටයක් කරකැවුනු ඉමාෂා එක්වරම පැවසුවා . . .

“අහ් . . . ඔයාත් එහෙනම් මෙතැනට ආසා වුනා . . ” මට ඉබේටම කියවුනා . . .

“ඔව් අනේ බලන්න ඒක හරිම ලස්සනයි . . . අනෙක මේ ඉර බැහැගෙන යන වෙලාවේ තවත් ගොඩාක් ලස්සනට පේනවා . . . . ” ඉමා සායේ වාටිය අත්නොහැරම . . . ගොඩ . . . ආ . . . ක් යන්න ටිකක් ඇදල කීවේ එහි බරක් මට දනවන්නට මෙන්. . .

ඇගේ ලඟින් අඩි පහක් පමන ඉදිරියට පා නැගූ මා . . . කහපාටකුත් . . තැඹිලි පාටකුත් . . රෝසපාටකුත් මුසුවුනු අහස් පසුමිබිමේ . . සුදු සායකුත් . . . ලා කහ පැහැති අත් කොට බ්ලව්සයකුත් ඇඳ සිටි තළෙලු යුවතියක් . . . අහසත් කනත්තත් පසුබිම් කරගෙන ඈත පියාඹන කුරුලු රෑනක් දෙස බලා සිටනවා වැනිව සිත්තම් කර තිබූ . . . අපූරු සිත්තමක් දෙස බලා සිටිනවා වැනි හැඟීමකින් ඈ දෙස නොත් නොපියා බලා සිටියා . . . . .

“හොඳයි ඔයාට වැඩියෙම ලස්ස්න මොකද්ද ඕකේ . . ”

“ම් ම් ම් . . . . අර ඒ ඉඩමේ උඩ මායිමට වෙන්න හිටෝල තියෙන තේක්ක, කුඹුක්, කිතුල් ගස් පේලියත් . . . පහල මායිමේ තියෙන වැටමාර, ඇහැල, කොලපට හීන් උනබට ගස් ටිකත් මට හිතෙන්නේ හරිම ලස්සනක් එකතු කරලා තියෙන්නේ . . ”

“නෑ මට නම් ඔය ඉඩමේ හරිමැද්දේ ඉඳන් පහලට වෙනකම් කපල තියෙන අඩි දහයක් විතර පලල දුඹුරු පාට ගුරුපාරත් ඒ පාර දෙපැත්තටම එක දිගට හිටවලා තියෙන මල් වලින් පිරිච්ච සුදු අරලියා ගස් ටිකත් තමයි වැඩියෙන්ම ලස්සන . . . ”

“අර තැන් තැන් වල එලි පෙහෙලි කරලා ඉද්ද, වතු සුද්ද වගේ ගස් හිටෝල තියෙන්නේ ලඟදී වල දැමූ මිනියක් වෙන්න ඇති නේද . . ” ඇගේ ප්‍රශ්නය ප්‍රකාශයක් ලෙස මිසක් ප්‍රශ්නයක් ලෙස මට නොදැනුනා තරම් . . .

කාලයකට පෙර අප දෙදෙනා එක්ව සිරි නැරඹූ වටපිටාවක් මැද අද මා තනිවී සිටිනවා නොවේදැයි සිහියට නැඟුනු මොහොතේ යලිත් වරක් මගේ දෙනෙක් අඳුරු මීදුම් පටලයකින් වැසී ගොස් නොදැනුවත්වම මගේ දෙනෙත් යලිත් වරක් කනත්ත දෙසට ම යොමු වුනා . . .

සවස් වරුවක බෝක්කුව උඩ ඉඳගෙන වෙල පැත්තට කකුල් දමාගෙන . . නැතිනම් ඇල කන්ඩියේ වාඩිවී ඇලේ සීතල දිය පහරට දෙකකුල දමා පද්දමින් . . ගොයම් පැසෙන කාලයක නම් . . ගොයම පිසගෙන එන සිහින් මඩ ගඳක් වැනි නමුත් අප්‍රසන්න නොවූ සුවඳක් එසේත් නැති නම් ගොයම් කැපූ කාලයක නම් ඉතිරි වූ ඉපනැලි වලින් හමන පිදුරු සුවඳත් විඳගෙන . . එක දිගට බලා සිටිය හැකි කනත්ත . . . කොතරම් වේලා බලා සිටියත් එපා නොවන, ජීවිතයේ අනිත්‍ය නොව අද්භූත වූ චමත්කාරජනක සුන්දරත්වයක් විඳින්නා වැනිවූ හැඟීමකින් දෑස් දල්වා එක දිගට බලා සිටිය හැකි කනත්ත, එය මේ ගම් පියසට අඳුරු භයංකාරයක් එක් කලා නොව අමුතුම සුන්දරත්වයක් එකතු කලා කීවොත් නිවරදියි කියායි අහම්බෙන් හෝ මේ පාරෙන් ගමනක් යන්න ඇවිත් . . යා යුතු ගමනද අමතක කර . . . බෝක්කුව උඩ සිට ගෙන . . . වටේට කැරකී කැරකී පරිසරයේ සුන්දරත්වය විඳි මා හැමදා සිතුවේ . . .

බෝක්කුවේ සිට කනත්ත දෙසට විරුද්ද දිසාව වූ ගම්මන්ඩිය දෙසට දිවෙන මාවතේ මීටර් දෙසීයක් පමන දුරින් වෙල් යාය දකුනු පැත්තට වන්න කපා ගත් ගොයම් එක් රැස් කිරීමට ඇති ඔවිටි වලිනුත් . . වම් පැත්ත ඒ පැත්තේ වූ මිනුසුන් වෙනුවෙන් ඉදිකල පොකුණකිනුත් සීමා වී එතැන් සිට පර්චස් විස්සේ, තිහේ ඉඩම් වලින් කොටුවූ ගම්මන්ඩිය ලෙස පැතිරී යනවා . . .

ඉඳගෙන සිටි ස්ථානයේ සිට වට පිට බැලූ විට කෙතරම් සුන්දර දසුන් නෙතට හසුවූවා වුවත් අද . . මේ මොහොතේ . . මා සිටින්නේ මේ කිසිදු පරිසරයේ සුන්දරත්වයක් විඳිය හැකි මානසිකත්වයකින් නොවන බව මට පසක් වූයේ . . කඩා ගත් අමු අඹ ගෙඩියක කිරි අතේ ගෑවුනු විටෙක ඇතිවුනු කහට ගතියක් මෙන් කහටක් මූනේ දැවටෙනවා වැනි හැඟීමක් දැනී ඇඟිලි තුඩු වලින් මුහුන ස්පර්ශ කරද්දී . . . ලේන්සුවක් නොතිබූනැයින් නිදහසේ කම්මුල් දිගේ ගලා ගිය කඳුලු වැල් මූනේම වියලීමෙන් ඇතිවූ කහට ගතියක් නිසා බව ඇඟිලි තුඩු වලට දැනුනු පසුවයි . . .

මේ කඳුලුත් . . කඳුලු සැලීමට හේතුවත් . . . මකන කැබැල්ල වතුරට වැටෙන හඩින් පියවි සිහිය ලත් මට යලිදු විදුලියක් කෙටුවා වැනිව මතකය ආක්‍රමනය කරන්න පටන් ගත්තා . . . මෙසේ වේදනාවෙන් කඳුලු සැලූ මා මේ මොහොතේ සිටින්නේ පරිසරයේ සුන්දරත්වක් විඳින්න හැකි ලෙස නොව . . . තවදුරටත් මේ වේදනාවෙම ඇලී ගැලී සිටින්න නොවේද කියා සිතා වට පිට බලන්නට වූයේ . . .

“ඉතිං ඊට පස්සේ මොකද කරන්නේ . . .” අසනු වැනිව . . . ! !

ජූලි මාසයේ අග භාගය වූ හෙයින් ගොයම් කපා නිමවුනු කුඹුරු යාය සරුංගල් අරින ලොකු කුඩා සියලුම දරුවන්ට තරුනයන්ට සින්නක්කරවම ලියා දී ඇති සැටියයි හැඟීමක් සිතට නැගුනත් . . . මෙතරම් ළමෝ සංඛ්‍යාවක් . . . මෙතරම් පිරිසක් එකවර නැඟූ හඬවල් කිසිවක් මකන කැබැල්ල දියට වැටෙන හඬින් යලි පියවි සිහිය ලබන තුරු මගේ දෙසවනට කෙසේ නෑසුනාදැයි සිතන්න මහන්සියක් නොගෙන . . . ටීක් බෝලයක් ලද දරුවෙක් එහි පළුදු ඇත්දැයි ඒ මේ අත හරවා බලනවා මෙන් . . . තවදුරටත් තනිවී . . . මේ විඳින වේදනාව විඳීමෙන්ම . . . වේදනාව පහවේවි . . . වේදනාව නිමා වේවි යැයි උපන් සිතුවිල්ලෙන් . . . බෝක්කුවට මීටර් පන්සීයක් පමන දුරින් වෙල් යායේ මැදකට වන්නට ඇති අතු පතර විහිදී ගිය කාක බෝ ගසකින් සෙවන වූ ගල් පොත්ත යනුවෙන් අපි හඳුන්වන ගල්තලාව වෙත යාමට . . පොත් ටිකත් . . පෑනත් . . . පැන්සලත් අතට අරගෙන මම මහ නියරට ගොඩ වැදුනේ කිසිදු හැඟීමක් දැනීමක් නැති සීතල මල මිනියක් වන් . . . හැඟීම් විරහිත බවකින් . . . .

–http://dukaa.blogspot.ae/2009/10/blog-post.html

දෙවන කොටස :http://dukaa.blogspot.ae/2009/10/blog-post_564.html

තුන්වන කොටස: http://dukaa.blogspot.ae/2009/10/blog-post_15.html

හතරවන කොටස: http://dukaa.blogspot.ae/2009/10/blog-post_22.html

පස්වන කොටස : http://dukaa.blogspot.ae/2009/10/blog-post_29.html

හයවන කොටස: http://dukaa.blogspot.ae/2009/11/blog-post_11.html

හත්වන කොටස: http://dukaa.blogspot.ae/2009/11/blog-post_19.html

අවසන් කොටස: http://dukaa.blogspot.co.uk/2009/11/blog-post_26.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල