සාහිත්‍ය කළා විචාර

පෙට්‍රල් මිල සහ මහා බොරුව

Off

ඛනිජ තෙල් යනු රත්තරන් මෙන් පොළොවෙන් හාරා ගන්නා දෙයකි. තෙල්වලට කළු රත්තරන් කියා අන්වර්ථනාමයක් ද ඇත. ඉන් ඉඟි කෙරෙන්නේ ඛනිජ තෙල්වල ඇති ආර්ථිකමය වටිනාකමයි. ඒ නිසාම, අද පවතින ජාත්‍යන්තර අර්බුද බොහොමයකට ඛනිජ තෙල් එක් සාධකයක් වී ඇති බව නොරහසකි.

ලංකාව සම්බන්ධයෙන් නම් ඛනිජ තෙල් දේශපාලන වශයෙන් බලපාන්නට පටන් ගත්තේ 1974 දී පමණ තෙල් අපනයනය කරන රටවල් ඔපෙක් සංවිධානය අරඹා, එතෙක් ඇංග්ලෝ-ඇමරිකන් කොම්පැනිවල ග්‍රහණයට අසුව තිබුණු ලෝක ඛනිජ තෙල් වෙළඳ පොළට සෘජුව බලපෑම් කරන්නට පටන් ගත් කාලයේ දී ය. ලෝක තෙල් මිල ඉහළ ගියේය. සංවෘත ආර්ථික ප්‍රතිපත්තිවල අතරමංව, ආහාර අර්බුදයකට මුහුණ දී සිටි ලංකාව ඛනිජ තෙල් මිල ඉහළ යාම ඉතා දරුණු ලෙස බලපෑවේය.

මට මතක හැටියට ඔපෙක් සංවිධානයෙන් යම් සහනයක් ලබා ගන්නට පෙත්සමක් ඉදිරිපත් කරන්නට රජයේ අනුග්‍රහයෙන් වැඩ පිළිවෙළක් ඇරඹිණි.

“ඔය පෙත්සම යැව්වාම ඒක උන් පස්ස පැත්ත පිහදාන්න ගනීවි!” යැයි යූඇම්පීකාර අපේ වැඩිහිටියෝ අවඥාවෙන් පැවසූහ.

මට හොඳින් මතක ඇති පරිදි 1994 මැතිවරණ සමයේ දී, එනම්, ශ්‍රීලනිපය ප්‍රමුඛ පක්‍ෂ කිහිපයක එකතුවෙන් සැදුණු පොදු පෙරමුණ 1977 සිට ඒ දක්වා බලයේ සිටි එජාප-තොණ්ඩමාන් රජය රට කාගෙන කාගෙන කාගෙන යමින් සිටි තැන සිට අපට කාගෙන කාගෙන කාගෙන යන්නට බලය දෙන්නැයි ඉල්ලන කාලයේ දී, රටේ පෙට්‍රල් ලීටරයක මිල වූයේ රුපියල් තිස් පහකි.

එවකට ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරික වූ කඩුවෙල මන්ත්‍රී කිංස්ලි වික්‍රමරත්න වැනි අය දේශපාලන වේදිකාවල පවසා සිටියේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ පෙට්‍රල් ලීටරයක් හදන්නට යන්නේ රුපියල් දාසයක් පමණක් බවත්, එනිසා පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකට විකිණීමට හැකිබවත්ය.

මෙය ඇසූ අපේ ඇන්ටී කෙනෙක් පොදු පෙරමුණට ඡන්දය දී, ඇගේ C-90 එකට ඒ රුපියල් විස්සේ පැට්‍රල් ගහන්නට අද වෙනතුරුත් බලා සිටී!

විපක්‍ෂයේ සිට කජු කනවා මෙන් රටේ ප්‍රශ්න විසඳන දේශපාලුවන් එවැනි ජනප්‍රිය ප්‍රකාශ කරන විට හිතාමතාම නොකියන හෝ මෝඩකම නිසා නොදන්නා කරාණය නම්, රට කරවීමට බදු අවශ්‍ය බවයි.

ලෝකයේ බහුතරයක් රටවල පෙට්‍රල්, ඩීසල් වැනි භාණඩ සඳහා සුවිශේෂී බද්දක් අය කෙරේ. සාමාන්‍ය තත්වයන් යටතේ මේ බද්දෙන් ලැබෙන මුදල් යෙදවෙන්නේ පෙට්‍රල්, ඩීසල් යොදවා ධාවනය කරන වාහන යනෙන මහාමාර්ගවල නඩත්තු කටයුතු කිරීමටයි.

මා ජීවත්වෙන ඕස්ට්‍රේලියාවේ මේ බද්ද ලීටරයට ශත 38 ක් පමණ වේ.

ඕස්ට්‍රේලියාව තම ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් දේශියව නිපදවා ගත්තද, රටේ පෙට්‍රල් මිල තීරණය වන්නේ මූලිකවම සිංගප්පුරු තෙල් දර්ශකය අනුවය. (ඒ දර්ශකය ලෝකයේ ඛනිජ තෙල් ඉල්ලුම හා සැපයුම මත නීර්ණය වන්නකි). ඊට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලරයේ සාපේක්‍ෂ වටිනාකම, දේශිය වෙළඳ පොළේ ඉල්ලුම, වෙළඳ ලාභාංශ සහ රජයේ බදු අනුව මෝටර් රථ පදවන්නන් පෙට්‍රල් ෂෙඩ් එකේ දී ගෙවන මිල තීරණය වේ.

පෙර කී ලිටරයට ශත 38 ක ඛනිජ තෙල් බද්දට අමතරව ඒ මත 10% ක පොදු වෙළඳ බද්ද ද පැනවේ!

ලංකාවේ දී රජයෙන් නියම කරන එකම මිලට පෙට්‍රල් මිලට ගැනීමට පුරුදු වී සිටි මට, ඕස්ට්‍රේලියාවේ දී අළුත් අත්දැකීම් කිහිපයට මුහුණ දෙන්නට සිදුවිය.

කාරයෙන් බැස තමන්ම පෙට්‍රල් ගසා ගැනීම ඉන් එකකි.

එක් එක් පෙට්‍රල් ෂෙඩ්වල මිල එකිනෙකින් මද වශයෙන් වෙනස් වීම තවත් එකකි.

ඊට වඩා සුවිශේෂි වෙනසක් වූයේ එකම පෙට්‍රල් ෂෙඩ් එකේ වුවද, සතියේ දින අතර මිල වෙනස් වීමයි. සාමාන්‍යයෙන් අඟගරුවාදා හෝ බදදා දින දක්නට ලැබෙන අවම මිල සහ සෙනසුරාදා සහ ඉරිදා පවතින උපරිම මිල අතර සමහර විට වෙනස ශත දහයක් හෝ ඊටත් වඩා වැඩිය.

ඊට අමතරව, රජයේ බදු එලෙසම පැවතුනද, ජාත්‍යන්තර වෙළඳ පොළ අනුව සිංගප්පුරු මිල දර්ශකය ඉහළ පහළ යාමත් සමගද, ඕස්ට්‍රේලියානු ඩොලරයේ සාපේක්‍ෂ අඩුවැඩි වීම් අනුවද සිදුවන පෙට්‍රල් මිලේ ඉහළ පහළ යාම් ද මට අළුත් අත්දැකීමක් විය.

මා මෙහි පැමිණි කාලයේ පෙට්‍රල් ලීටරයක් ශත 80 ක් පමණක් වුවද, පෙරකී විවිධ සාධක අනුව මිල ඉහළ පහළ ගොස්, පසුගිය වසර තුළ මා පෙට්‍රල් ලීටරයක් සඳහා ඩොලර් 1.60 හෝ ඊටත් වඩා ගෙවූ අවස්ථා ද තිබුණි.

පසුගිය කාලයේ චීනයේ සහ ජපානයේ ඉල්ලුම අඩුවීම, ඇමරිකා එක්සත් ජනපදය තම සංචිත පුරවා අවසන් වීම සහ ඉරානය, ඉරාකය වැනි රටවල නිෂ්පාදනය වැඩිවීම යන විවිධ හේතු නිසා ලෝක බොර තෙල් මිල අතිශය විශාල වශයෙන් අඩුවුණද, ඒ හා සමාන්තරව මෙන් ඕස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකමද අඩුවුණු නිසා, අප ගෙවන මිල පහළ වැටුණේ ඉතා හෙමින්ය.

ඉතින් හරියටම දශකයකට පමණ පසු පසුගිය සතියේ ඩොලරයකට අඩු මිලකට පෙට්‍රල් මිලට ගැනීමට ලැබීම මට විශාල සතුටක් ගෙන දුනි.

නමුත්, මේ මිල පහළ යාම දේශපාලුවන්ට ස්තුති කිරීමට අපට අවශ්‍ය නැත.

ඒ මක්නිසාද යත්, පෙට්‍රල් මිල යනු රජයෙන් පාලනය කෙරෙන කෘතිම අගයක් නොවන නිසාත්, එදා ලීටරයක් ඩොලර් 1.60 කට මා මිලට ගනිද්දී ගෙවු ශත 38 පෙට්‍රල් බද්ද ද, ඊට උඩින් ගෙවු 10% පොදු වෙළඳ බද්ද ද, අද ශත 99 ට ලීටරයක් ගනිද්දීත් මා පෙර සේ ම ගෙවන බැවිනි. ඇත්ත වශයෙන්ම වී ඇත්තේ පසුගිය වසරේ රජයෙන් සිදුකළ වෙනසකට අනුව ශත 38 පෙට්‍රල් බද්ද තව දුරටත් නොවෙනස්ව නොපැවතී ජිවන වියදම් දර්ශකය අනුව වෙනස් වෙන්නට පටන් ගැනීමයි!

-රසිකොලොජිස්ට්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල