සාහිත්‍ය කළා විචාර

න්‍යාය වමාරා කෑම වෙනුවට ප්‍රායෝගික අරගලය

Off

න්‍යාය වමාරා කෑම වෙනුවට ප්‍රායෝගික අරගලය

ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පළවා හැරීමේ අරගලය සාර්ථක වේ යයි අපේක්ෂා නො කළ ප්‍රධාන බලවේගයක් වන්නේ අති වාම කණ්ඩායම් ය. මහින්ද රාජපක්ෂ කුමන හෝ ආකාරයකින් ජය ගනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ. එහෙයින් මේ අති වාම කොටස් රාජපක්ෂ පැරදවීමේ අරගලයට සම්බන්ධ වූයේ නැත.

ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ජනප්‍රිය තර්ක කීපයක් තිබිණි. ඒවා මෙසේ ය:

මෙය ධනපති පංතියේ අර්බුදයේ ප්‍රතිඵලයකි. එය සමහන් කරගැනීම සඳහා පීඩිත පංතිකයෝ උදව් කළ යුතු නැත.
එක් ධනපතියකුට එරෙහිව තවත් ධනපතියකු බලයට පත් කිරීමට උදව් කළ යුතු නැත.
මෙම අරගලයෙන් ‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය’ දිනා ගත නො හැකි ය.
කළ යුතුව තිබෙන්නේ මෙය නොව සමාජවාදී විප්ලවය සඳහා අරගල කිරීමයි.

මේ අතර දෙමළ ජාතික විමුක්ති අරගලය ලාංකීය විප්ලවයේ මූලික කොන්දේසියක් ලෙස සලකන අති වාම කොටස් හා කොටි සංවිධානය උත්සාහ කළේ දෙමළ ජනතාව ලවා ඡන්දය වර්ජනය කරවන්නටයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලා තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කළ හ. ‍ජවිපෙන් හා පෙරටුගාමී පක්ෂයෙන් කැඩී ගිය සමහර කුඩා අති වාම කණ්ඩායම් කිසිවක් නො කර වෙන්නේ කුමක්දැයි නිරීක්ෂණය කරන ස්ථාවරයක් ප්‍රකාශ කළ හ.

මෙම තත්වය ජනතා විමුක්ති පෙරමුණට ද බල පෑ අතර ජවිපෙ විපක්ෂ පොදු අපේක්ෂකයා වෙනුවෙන් කෙළින් ම සහාය ප්‍රකාශ කරන්නේ නැතිව‍, ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු බවත්, එහෙත් ඡන්දය දිය යුත්තේ කාටදැයි තමන් නො කියන බවත් කියමින් මොකක්දෝ අමුතු ක්‍රීඩාවක් කළේ ය.

එහෙත්, මේ ලියන අප ඇතුළු වාමාංශික හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ බොහෝ දෙනෙක් මේ වාම විප්‍රකාර පිළිකෙව් කරමින් කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පැරදවීම පිණිස විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරි‍සේනට සහාය දුන් හ. මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් පසුව ද අපි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යන බව අපි ඉතා පැහැදිලිව කීවෙමු. සමූහයක් ලෙස අපි එය කරගෙන යමින් සිටිමු.

මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දොරටුවක් විවර කර ගත හැකි බව අපි කීවෙමු. එවැනි දොරටුවක් විවර වී ඇති බව අපි දැන් දකිමු. දැන් අප අත තිබෙන වගකීම් වන්නේ ඒ දොරටුව වැසෙන්නට නො දී ඇර තැබීම හා දොරටුවෙන් විවර වූ අවකාශය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අරගල කිරීමයි.

මාක්ස්වාදය යනු සමාජ අරගල හා සම්බන්ධ නො වන, පරමාදර්ශයන් වෙනුවෙන් පමණක් කටයුතු කරන දර්ශනයක් නො වේ. ලොව පුරා මාක්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලවල කොටස්කරුවන් වී තිබේ. ලොව කිසිදු සමාජවාදියෙක් එවැනි බහුජන අරගලවලදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකයන්ට වාසි වන උපායමාර්ග තෝරා ගන්නේ නැත. ලංකාවේ සැබෑ සුපිරි වාමාංශිකයන් තමන් යයි සිතා සිටින අති වාම බලවේග කළේ මහින්ද රාජපක්ෂ බලයේ රඳවා ගැනීම සඳහා අනියමින් උදව් කිරීමයි. එය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඍජුව පෙනී සිටි සමසමාජ, කොමියුනිස්ට්, වාසුදේව වැනි පක්ෂවල ක්‍රියා කලාපය ම ය. දෙක ම එක සේ ප්‍රතිගාමී ය.

මහින්ද රාජපක්ෂ වැනි දූෂිත ඒකාධිපතියකු බලයේ රඳවා ගැනීමෙන් මේ අති වාම කණ්ඩායම් බලාපොරොත්තු වන්නට ඇත්තේ කුමක් ද? මහින්ද රාජපක්ෂ බ‍ලයේ සිටියහොත් ධනේශ්වර ක්‍රමයේ අර්බුදය උත්සන්න වී, ධනවාදී ආර්ථිකය බිඳ වැටී, අරාජිකත්වයක් නිර්මානය වී සමාජවාදී විප්ලවයකට අවස්ථාව ලැබෙනු ඇති ය යන්න ඔවුන්ගේ බලාපොරොත්තුව බව පෙනේ. එහෙම වෙයි ද? අර්බුදය උත්සන්න වී, ධනවාදී ආර්ථිකය බිඳ වැටී, අරාජිකත්වයක් නිර්මානය වනවා ඇත. එහෙත්, නොවන දෙය වන්නේ සමාජවාදී විප්ලවයයි. එයට හේතුව වන්නේ අන් කිසිවක් නොව ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අර්බුදයයි. ජනතාව සමාජවාදී විප්ලවයකට පෙළ ගස්වන්නට හැකි නායකත්ව බලවේගයක් නිර්මානය කිරීමට ලංකාවේ වමට බැරි ය. මූලික හේතුව වම ඒ සඳහා කිසිදු ගෙදර වැඩක් මේ මොහොතේ කරමින් නැතිකම පමණක් නො වේ. ලංකාවේ වම යනු ආගමික ස්වරූපී භක්තියකින් ප්‍රාතිහාර්ය සිදු වනු ඇතැයි සිතා සිටින මනෝරාජික සමාජවාදීහු පිරිසකි.

ඔවුන් සිතා සිටින්නේ අර්බුදය මැදින් නායකත්වයක් බිහි වී ව්‍යාපාරයක් ගොඩනැගෙනු ඇති ය කියා ය. එහෙත්, අද වන විට වාමාංශිකයන්ට පහේ කමිටුවක් හදාගන්නටවත් බැරි තරමට ආත්ම කේන්ද්‍රීය හා පුද්ගලෝත්තමවාදී ලෙස වාමාංශිකයෝ සීසීකඩ විසිර ගොසිනි. මෙම අතිවාම කණ්ඩායමිවල ජනප්‍රිය බහුජන නායකයන් කිසිවෙක් නැත.

මේ අතර, දෙමළ ජාතික විමුක්ති අරගලය ලාංකීය විප්ලවයේ මූලික කොන්දේසිය ලෙස සලකන බලවේගය බලාපොරොත්තු වන්නේ සිංහල සමාජය ජාතික අන්තවාදය දෙසට තල්ලු වීමයි. ඔවුන් බලාපොරොත්තු වන්‍නා සේ ම ඒකාධිපතියා දිගට ම බලයේ සිටියා නම් බොදු බල සේනා වැනි උමතු ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් සමග එක්ව සිංහල සමාජය ජාති හා ආගම් අන්තවාදයන් වෙත තල්ලු කරනවා ඇත. එය දෙමළ ජාතිවාදීන්ට සිය දෙමළ විමුක්ති අරගලය හෙවත් ඊලාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ සටන ඉදිරියට ගෙන යාමට හොඳ තත්වයකි.

ඒකාධිපතියා සිය බලතල, ඔහුගේ ආධාරක පදනම, මාධ්‍ය, අධ්‍යාපනය ආදී සි‍යලු දේ භාවිතා කරන්නේ ජාතිවාදය, ආගම්වාදය, ජ්‍යෝතිෂය, හොර වෙදකම්, ප්‍රාතිහාර්ය ආදී ප්‍රතිගාමී අදහස් ප්‍රවර්ධනය කරන්නටයි. එවන් සංදර්භයක් තුළ සමාජවාදය පිළිබඳ කතිකාවක් සමාජය තුළ ඇති කරන්නට හැකි වන්නේ නැත.

ඒකාධිපතියා පළවා හැරීමත් සමග විවර වන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සමාජවාදී කතිකාව ඉදිරියට ගෙන යාම සඳහා යෝග්‍ය පසුබිමක් නිර්මානය කරයි. අපි ‍දොර ඇර ගත්තෙමු. දැන් කළ යුතුව තිබෙන්නේ කෝ අරක නෑ නේද, මේක නෑ නේද කියමින් කෝචොක් කර කර සිටීම නොව, නැති දේ ඇති කිරීමට අරගල කිරීමයි. ඕක හරියන්නෙ නැහැ, කරන්න ඕන මේක මුළුමනින් ම අනෙක් පැත්ත හැරවීම ය කියමින් කුටුම්බවලට ගාල් වී පාරිභෝජනවාදී ජීවිතවල ගිලී සිටින ඊනියා වම්මුන්ට කීමට ඇත්තේ එක දෙයකි. ඔබ වෙනුවෙන් ඉතිහාසය කටුගෙවල් නිර්මානය කරමින් තිබේ. අනාගතය තිබෙන්නේ ජනතාව සමග එක් වී අරගල කරන, ජනතාවට නායකත්වය දෙන වාමාංශිකයන්ට පමණි.
අපි මෛත්‍රීපාලගෙන් සමාජවාදය අපේක්ෂා නො කළෙමු. මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් අපි අපේක්ෂා කළේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යාමටයි. දැන් අති වාම කණ්ඩායම් පැත්තක සිට අපට කෝචොක් කරති. කෝ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තා ද, යහපාලනය ඇති කළා ද වැනි ප්‍රශ්න ඔවුහු අපෙන් අසති. ධනවාදය තුළ ‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය’ ඇති නො වන බව කියති. මේ කිසිවත් අරගලයකින් තොරව සිදු වන්නේ නැත. එහෙයින් අපි තවමත් අරගල කරමින් සිටිමු. දෑස් ඇර බලන්න. ඒකාධිපති රාජපක්ෂ පවුලේ දූෂණ හෙළිදරව් වෙමින් තිබේ. ක්‍රියාමාර්ග වෙනුවෙන් අපි සටන් කරමින් සිටිමු. 2005 සිට රටේ බලය අල්ලාගෙන සිටි දුෂ්ට කල්ලියක බලය ශීඝ්‍රයෙන් හැකිළෙමින් තිබේ. සමාජය මිලිටරිහරණය සඳහා ඉවහල් වන ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. නවතම නිදසුන විශ්වවිද්‍යාලවලට ඇතුල් වන සිසුන් සඳහා අනිවාර්ය කර තිබූ, ආරක්ෂක හමුදා විසින් සපයන ලද නායකත්ව පුහුණුව නවත්වා තිබීමයි. උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාර ධුරය හොබවමින් ආඥාදායක ස්වරූපයකින් පළාත් සභා මර්දනය කරමින් කටයුතු කළ හමුදා නිලධාරීන් ඉවත් කර තිබේ. පාලිත තෙවරප්පෙරුම වැනි එක්සත් ජාතික පක්ෂයේ මැර දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.

මේ කිසිවක් පරිපූර්ණ නැත. වෙනස යනු අප විසින් අරගලයක් ඔස්සේ නිර්මානය කළ යුතු දෙයකි. ධනේශ්වර පක්ෂ අපට ප්‍රජාතන්ත්‍රවාදය තිලිණ කර දෙන්නේ නැත. අපි එය අරගල කර දිනා ගත යුතු ය. සිදු වෙමින් තිබෙන දේ කෙරෙහි අන්ධ වී සිටින අති වාම කොටස් මෙම බහුජන අරගලවලට ද සම්බන්ධ වන්නේ නැත. ප්‍රායෝගික ජනතා අරගලවලට සම්බන්ධ නො වී න්‍යාය පට්ට ගසමින් සිටින මාක්ස්වාදීන් වමාරා කන හරකුන් වැනි ය.

සමාජ ක්‍රමය කඩා වැටී මිනිසුන්ට වෙනත් කිසිදු විකල්පයක් නොමැති තැන සමාජවාදය තෝරා ගනු ඇතැයි සිතා සිටීම මනෝරාජික අදහසකි. එය කිසිදාක සිදු වන්නේ නැත. ධනවාදය සමාජවාදය දෙසට පරිවර්තනය කළ හැකි ය. එසේම එය ම්ලේච්ඡත්ව වෙත ගමන් කරන්නටත් ඉඩ ඇති බව පෝලන්ත සමාජවාදී නායිකා රෝසා ලක්ෂම්බර්ග් සියවසකට ඉහතදී පෙන්වා දී තිබේ.

ලංකාවේ සමාජවාදියෝ යහපාලනයට විරුද්ධ ය. ඔවුන් යහපාලනය දකින්නේ ධනවාදයේ අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ය. එහෙත්, යහපාලනයක් නොමැති තැනක නිර්මානය වන්නේ කාලකන්නිකම හා කලකිරීම පමණි. එයින් මිනිසුන් සමාජවාදය වෙත යොමු වන්නේ නැත. බොහෝ විට සිදු වන්නේ ජනතාව ජාතික හා ආගමික අන්තවාදයන්ගේ පිළිසරණ පැතීමයි.

මේ මොහොත වන විට ධනේශ්වර එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර බල අරගලයක් ඇරඹී තිබේ. චමපික රණවක වැනි සිංහල ජාතිකවාදීහු ද සිය බලය වෙනුවෙන් සීතල යුද්ධයක් ආරම්භ කර හමාර ය. දින සීයේ වැඩපිළිවෙල අවසන් වන්නේ මෙම බලවේග අතර සංහිඳියාව සුණු විසුණු කර දමමිනි. එහෙත්, දින සීයේ වැඩපිළිවෙල යනු මෙම බලවේග ඔස්සේ ‍මේ රටේ සාක්ෂාත් කර ගත හැකි ඉතා ප්‍රගතිශීලී ජයග්‍රහණයකි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් වේ. මහින්ද රාජපක්ෂ වැනි ආඥාදායකයන් නැවත මතු වීම තීරණාත්මකව පරාජය කිරීමට එය ඉවහල් වනු ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ අයුක්තිය හා අකාර්යක්ෂමතාව ‍දෙසට නම්නීකරණය කර තිබුණු පොලිසිය, අධිකරණය, රාජ්‍ය ‍සේවය වැනි ව්‍යූහයන් හරි දිශාවට දුවවීම කෙතරම් අමාරු කාර්යයක් ද යන්න පැහැදිලි කරන උදාහරණයකි, පාලිත තෙවරප්පෙරුම සිද්ධිය. වීඩියෝ සාක්ෂි සහිතව හෙළිදරව් වූ ප්‍රසිද්ධ හිංසන ක්‍රියාවක් වූ එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන අණ කළාට පසුවයි.

මෙම සංදර්භය තුළ අපගේ කාර්යභාරය කුමක් ද? දින සීයෙන් පසු ඇති වන තත්වයන් තුළ අපි අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද? දැනට පෙනෙන්නට තිබෙන තත්වය තුළ, දින සීයෙන් පසු ශ්‍රිලනිපය හා එජාපය වෙන වෙන ම සන්ධාන ගොඩනගාගෙන මහ මැතිවරණය තරග කරනු ඇත. දින සීයේ වැඩසටහන තුළ සිදු විය යුතු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල වැදගත්කම මතු වනු ඇත්තේ අලුත් සංදර්භය තුළයි. මහජන මතය විකෘති වන අන්දමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීම හා මුදලට හා වරප්‍රසාදවලට අලෙවි වීම නැවැත්විය යුතු ය.

අනෙක් පැත්තෙන් ඊළඟ මහ මැතිවරණයකදී සිදු විය හැකි දෙයක් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය. එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන යාන්ත්‍රණය මේ වන විට සැකසී තිබෙන්නේ රාජපක්ෂ පාලනය තුළ ශ්‍රීලනිප ‍ප්‍රාදේශීය නායකත්වය විසින් කරන ලද භූමිකාවට සමාන්තරවයි. කෙටියෙන් කීවොත්, එජාප ප්‍රාදේශීය නායකත්වය යනු පාලිත තෙවරප්පෙරුමලා ය. මංකොල්ල නඩුවක සැකකරුවකු ලෙස සිටියදී බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ රොයිස් විජිතලා ය. ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාකාරයන් ප්‍රාදේශීය මට්ටමෙන් දැක්වූ ක්‍රියාකාරිත්වයට තමන් ආදේශ වීමයි. ඔවුන් නැවැත්වූ තැන සිට තමන් කරගෙන යාමයි. එසේම, ශ්‍රීලනිපයෙන් ධනවත් වූ හා බලවත් වූ නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිශාන්ත මුතුහෙට්ටිගම, වැනි නම්වලින් සංකේතවත් වන ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත දේශපාලනඥයන් සිය ධන බලය පාවිච්චි කර නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වීම මුළුමනින් ම වැළැක්වීමට දින සීයේ වැඩසටහන සමත් වේ යයි සිතිය නො හැකි ය.

මෙවැනි සංදර්භයක් තුළ අරගලය පාර්ලිමේන්තුව තුළින් ද ඉදිරියට ගෙන යන්නට නම් ප්‍රගතිශීලීන් විපක්ෂය තුළ ශක්තිමත් විය යුතු ය. ඒ වෙනුවෙන් පුළුල් බහුජන පෙරමුණක් ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමටත්, විනයගරුක, දක්ෂ, ප්‍රගතිශීලී අරගලකරුවන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමටත් කටයුතු කළ යුතුව තිබේ.

-අජිත් පැරකුම් ජයසිංහ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල