කාලීන සංවාද

ප්‍රාග් ඓතිහාසික ගුහා සංචාරය – The Dark Cave

Off

ගිය දෙසැම්බරයේ පවුලේ කට්ටිය ආපු වෙලාවේ ගිය පොඩි සංචාරයක සටහනක්. මැලේසියාවට එන ගොඩක් දෙනෙක් බලන්න යන ප්‍රසිද්ධ තැනක් තමයි මේ Batu Caves කියන්නේ . ක්වාලා ලාම්පුර් නගරයේ සිට කිලෝමීටර් 15-18 ක් විතර දුරින් තමයි මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සංකීර්ණය සහිත කඳු ගැටය පිහිටලා තියෙන්නේ . ඒ ප්‍රදේශය අයත් වෙන්නේ Gombak කියන දිස්ත්‍රික්කයට . ඒ වගේම තමයි මේ නම හැදිල තියෙන්නේ ඒ අසලින් ගලන ගංගාව නිසා කියල තමයි කියන්නේ . Batu Caves ගැන වැඩිදුර විස්තර විකිපිඩියාවෙන් බලාගන්න පුළුවන්.

අපි මේ ගිය Batu Cave සංචාරයේදී මේ ගුහා සංකීර්ණය අයත් නමුත් සාමාන්යෙන් බොහෝ සංචාරකයින් නොයන තවත් ගුහාවක ඇවිදලා බැලුවා .

Limestone නමින් හඳුන්වන පාෂාණයෙන් සැදුනු Batu Caves ගුහා සංකීර්ණය අවුරුදු මිලියන 400ක් පමණ පරණයි කියල තමයි කියන්නේ. 1860-1870 දශක වලදී සොයා ගත්ත මේ ගුහා වලින් ප්‍රධාන ගුහාව පසුකාලීනව මැලේසියාවේ වෙසෙන හින්දු බැතිමතුන් විසින් තමන්ගේ පුජනිය ස්ථානයක් විදියට භාවිතාවට ගනු ලබනවා . බොහෝ සංචාරකයින් බලන්න යන්නේ මේ Temple Cave නම්වූ ඒ හින්දු පුජනිය ගුහාව .

බොහෝ අය ඉහත සුප්‍රසිද්ධ ප්‍රතිමාව එහෙම දැකල ඇති . මේ දේව රුපය මුරුගන් ලෙස ඔවුන් හඳුන්වනවා .

මේ තියෙන්නේ ඔය Temple Cave එක ඇතුලත දර්ශන කීපයක්.

batucave4මේ තියෙන්නේ ගුහාව ඇතුලත . ඔය වහලවල් වගේ තියෙන්නේ පොඩි පොඩි කඩ . දේව ප්‍රතිමා ආදිය විකුනන්න තියෙනවා .

මේ කඳු මුදුනට නගින පඩිපෙලේ ඉහලට වන්නට තවත් මාර්ගයක් තියෙනවා මම මේ කියන්න යන Dark Cave එකට යන්න. අපි Temple Cave එකට ගිහින් එන ගමන් අපේ අක්කගේ දුවගේ බලවත් ඉල්ලීම නිසා තමයි මේ Dark Cave බලන වැඩේට සෙට් වුණේ. Dark Cave කිව්වම පොඩි ෆැන්ටසි සුරංගනා ගතියක් තියෙන නිසා වෙන්න ඇති එයාට ඒක බලන්න ඕනේ මයි කිව්වා . පස්සේ අපි 4 දෙනෙක් විතරක් ගියා අනිත් කට්ටිය පහලට බැස්ස .

මෙතන ඉඳන් කතන්දරේ ෆොටෝ වලින් දාන්නම් .

මේ තියෙන්නේ Dark Cave එක ගැන තියෙන කෙටි විස්තරය .

මේ ගුහාව මුලින් ම සොයාගෙන තියෙන්නේ 1878 දී Captain H. C. Syers සහ William T. Hornaday කියන දෙන්නා .

කඳුගැටය සෑදී තියෙන්නේ මෙන්න මේ විදියට

මේකේ හැටියට ලොව වෙසෙන දුර්ලභ ම මකුළු විශේෂය ජිවත් වෙන්නේ මේ ගුහාවේ (Trapdoor spider (Liphistius batuensis)) ඒ වගේම අවුරුදු මිලියන 100ක් පමණ වයස සත්ව විශේෂ රැසක් මේ ගුහාව තුල ජිවත් වෙනවා . ඒ වගේම ලොව වැඩිම පර්යේෂණ වලට බාවිතා වෙච්ච ගුහාවක් සහ සුවිශේෂී වූ ගුහා නිර්මාණ වලට උරුමකම් කියනවා මේ ගුහාව. ඒ වගේම අතිශය සංවේදී විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් නිසා මේ තුලට ඇතුල් වීමේ දී අනුගමනය කල යුතු දේවල් ගැනත් මෙන්න මේ විදියේ සඳහනක් තියෙනවා.

මේ තියෙන්නේ ගුහා සංකීර්ණයේ සිතියම . ඔය නිල්පාටින් ලකුණු කරපු මාර්ගය විතරයි දැනට මහජනයා සඳහා විවෘත කරලා තියෙන්නේ .

මේ තියෙන්නේ ගුහාව අපූරු ලෙස නිර්මාණය වෙලා තියෙන ආකාර පිළිබඳව විස්තර

ගුහාව තුල දකින්නට ලැබෙන කෘමින් ගැන විස්තර

බෝතල් කරපු වවුලෙක් සහ වවුලන් ගැන විස්තර . මේ ගුහාව ඇතුලේ ලක්ෂ ගානක් වවුලන් ජිවත් වෙනවා .

ගුහාවට යනකොට අපිට දෙනවා පොඩි ටෝර්ච් එකකුයි හෙල්මට් එකකුයි . මේ තියෙන්නේ ගුහාව ඇතුලේ ගත්ත පින්තුර . කැමරා ෆ්ලෑෂ් බාවිතාව තහනම් නිසා අමාරුවෙන් ගත්තේ .

ගුහාවේ පොළව . ඔය වැටක් තියෙන්නේ මිනිසුන්ට ගමන් කරන්න හදපු මාර්ගය. කිසිම විටෙක ඒ මගෙන් එලියට අඩිය තැබීම තහනම්

විවිධ විදියට නිර්මාණය වුනු ගුහා බිත්ති .

මේ තියෙන්නෙත් ස්භාවිකව නිර්මාණය වුනු ගුහා පොලොව සහ ගුහාවේ බිත්ති එකිනෙකට සම්බන්ධ වෙච්ච තැනක් . මේ දේවල් ගැන ඔය භූ විද්‍යාව ඉගෙන ගත්ත අය එහෙම දන්නවා ඇති .

මේකත් ඉහල ෆොටෝ එක වගේම තම එකක් . මේ දීප්තිමත් ආලෝකය වැටුනේ අපේ කණ්ඩායමේ ඔක්කොම ටෝර්ච් එක ගහල බලන වෙලාවක ගත්ත නිසා ..

ගුහාව තුලින් ගලා එන ජලය එක් රැස් වූ තැනක් . මේ ජලය එතරම් පිරිසිදු නැති බවයි අපේ කණ්ඩායම රැගෙන ගිය පුංචි ගෑනු ළමයා පැවසුවේ .

ප්‍රතාපවත් ගුහා බිත්ති .

ගුහා බිත්තියක් හෝ පොලව හරියටම ෂුවර් නෑ ..

මේ ඉන්නේ අපේ කණ්ඩායමෙන් කොටසක් . ඔය ටෝර්ච් එක ගහගෙන විස්තර කරලා දෙන්නේ අපිත් එක්ක ආපු ගයිඩ් ළමය . හරි අපුරු ගෑනු ළමයෙක් . මැලේසියාවේ ඉන්න මුස්ලිම් ගෑනු ළමයි හරිම කඩිසර විදියට විවිධ රැකියාවල් කරනවා . මේ ළමය විහිළු තහළු කරමින් ඒ වගේම බොහොම හොඳට විස්තර පැහැදිලි කරමින් අපිව එක්කන් ගියා .

ප්‍රාග් ඓතිහාසික වැස්ස ..

මේ ඉන්නේ අර කියපු මකුලුවද කොහෙද .. ෆොටෝ එක ගන්න දැඟලුව මිසක් අර ළමය කියපු දේ හරියට අහ ගත්තේ නෑ …

මේ ඉන්නෙත් අර කියපු අවුරුදු මිලියන 100ක් වයස සතෙක් . නම් ගම් විස්තර ඒ හැටි ඔළුවට ගියේ නෑ .

හැබැයි මේ ගුහාවේ සමහර තැන් වලට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නෑ. ඉතින් මේ ඉන්න ජීවින් ආහාරයට ගන්නේ ගුහාවේ වෙසෙන ලක්ෂ ගණනක් වූ වවුලන් ගේ වසුරු කියල තමයි ඒ ළමය කිව්වේ .

ගුහාව තුල සම්පුර්ණ ගමන කිලෝමීටර් 2ක් විතර වෙනවා . විනාඩි 45ක් විතර ගමනට ගතවෙනවා . මේ යන මාර්ගයේ එක තැනක් තියෙනවා කිසිම ආලෝකයක් වැටෙන්නේ නැති . අපි රැගෙන ගිය විදුලි පන්දම් නිවා දමුවම කට්ට කළු ඝන අන්ධකාරය සහ ගැඹුරු නිහඩතාවයක් තියෙන තැනක් . එතන විනාඩි කිහිපයක් නිහඩව කළුවරේ ගෙවපු එක තමයි මේ ගමනේ මට තිබුණු වඩා වැදගත්ම මතක සටහන .

එකා පස්සේ එකා බොහොම පරිස්සමින් ටෝර්ච් එක ගහගෙන යන මේ ගමන අවසන් වෙන්නේ The Great Chamber නමින් ඔවුන් හඳුන්වන ගුහාව අභ්‍යන්තරයේ ඇති ගුහාවට සුර්යාලෝකය ලැබෙන අපුරු විවරය සහිත ස්ථානයකින් . හරියට නිකන් ඔය ෆිල්ම් වල තියෙන ලස්සන දර්ශනයක් වගේ අපුරු තැනක් . ඒ වගේම අඳුරු ගුහාවෙන් එහා ලෝකය පෙනෙන නිදහස පිළිබඳව හැඟීමක් දැනෙන තේජවන්ත තැනක්

Great Chamber එක

The Great Chamber එක තමයි ගමනේ කෙලවර . එතනින් එහාටත් යන්න හැකියාව තිබුනත් ඒවා තවම පොදු ජනතාව සඳහා විවෘත කරලා නෑ .. ආපසු ආ මග ඔස්සේ එලියට එන්නයි තියෙන්නේ .

මේ තියෙන්නේ ගුහාව ඇතුලේ ඉඳන් එනකොට අපි ඇතුලට ගිය ප්‍රධාන පිවිසුම පේන හැටි … මිට අමතරව තවත් ගුහා කීපයක් මේ කඳු ගැටය ආශ්‍රිතව තියෙනවා . ඒවා ගැන නම් වැඩි විස්තරයක් දන්නේ නෑ . ඔබ මැලේසියාවේ සංචාරය කරනවා නම් බලන්න යන්න වටින තැනක් . හරිම පහසුවෙන් කෝච්චියෙන්ම යන්න පුළුවන් බොහොම සුළු ගානක ටිකට් එකක් අරන් .

මේ අවුරුද්දේ මැලේසියාවේ තියෙන ඔය සංචාර වලට එන කට්ටිය වැඩිය නොයන තැන් කීපයක් බලන්න යන්න හිතාගෙන ඉන්නවා . ඒවා ගැනත් ලියන්න බලන්නම් (ගියොත්). සැමට සුබ අලුත් අවුරද්දක් සහ මෛත්‍රී පාලනයක් වේවා!

– පැතුම් හේරත්

සියලු ඡායාරුප පහත සඳහන් බ්ලොගයේ ඇත.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල