කාලීන සංවාද

Game of the Thrones සිංහලෙන් – සිහසුනට තරග වැද – ප්‍රස්තාවනාව

Off

සිහසුනට තරග වැද
“අපි ආපහු යන්ට පටන් ගත්තනම් හොඳයි වගේ නේද?” ගැරඩ් ආයාචනාත්මක ස්වරයෙන් කීවේ ඔවුන් වටා වනාන්තරයේ අන්ධකාරය දැඩිවෙද්දීය. “වනචාරියො ඔක්කොම මැරිලා.”

“උඹ මැරිච්ච මිනිස්සුන්ට බයද?” සෙර් වේමාර් රොයිස් ඇසුවේ කට කොනකට නැගුනු සියුම් සිනහවක්ද ඇතුවය.

ඒ ඇමට අසුවීමට තරම් ගැරඩ් මෝඩයෙක් නොවේ. වසර පනහකටත් වඩා වැඩි තම ජීවිත කාලය තුලදී මෙවැනි වංශාධිපතියන් ඇති පදම් යනු එනු ඔහු දැක තිබේ. “මැරිච්ච එවුන් මැරිලා. අපට මොකක්ද එවුන්ගෙන් ඇති වැඩේ?”

“උං ඇත්තටම මැරිලද?” රොයිස් මෘදු ස්වරයෙන් ඇසීය. “උඹට කොහොමද ඒ ගැන ඔච්චර සහතිකයෙන් කියන්ට පුළුවන්?”

“විල් උංව දැක්කා. ඒ සහතිකය මට හොඳටම ඇති.”

කොයි වෙලාවක හෝ තමනුත් මේ විවාදයට ඈඳෙන බව විල් දැන ‍නොසිටියා නොවේ. නමුත් මේ තරම් වේලාසනින් එය සිදුවීම ඔහුගේ සතුටට හේතු වූයේ නැත. “මගේ අම්මා මට කිවුවෙ මැරිච්ච මිනිස්සුන්ගෙන් අපට කිසිම හානියක් වෙන්නෙ නෑ කියලයි.”

“මගේ ආයම්මත් ඔය කතාවම කිවුවා විල්.” රොයිස් පිළිවදන් දුනි. “ඔය ගෑනුන්ගෙ ඔඩොක්කුවෙ ඉඳන් අහන කතා කවදාවත් විශ්වාස කරන්ට එපා. මැරිච්ච මිනිස්සුන්ගෙනුත් අපට ඉගෙන ගන්ට පුළුවන් පාඩම් තියෙනවා.” සැඳෑ අඳුරින් පිරෙන වනාන්තරය මැද්දේ ඔහුගේ කටහඬ දෝංකාර දුනි.

“අපට බොහොම දුර ගමනක් යන්ට තියෙනවා.” ගැරඩ් තවත් උත්සාහයක් දැරීය. “දවස් අටක් නැත්තං නවයක්. කළුවරත් වැටෙනවා.”

සෙර් වේමාර් අහස දෙස උනන්දුවකින් තොර බැල්මක් හෙලීය. “හැමදාම මේ වෙලාවට එහෙම වෙනවා. උඹ කළුවරට බයද ගැරඩ්?”

ගැරඩ්ගේ දෙතොල් තදින් පියවී යනුත්, හිස වැසූ කළු පැහැ සළුවට යටින් වූ දෙනෙතේ පැන නැගුනු, අමාරුවෙන් යටපත් කරගත් කේන්තියත් විල් පැහැදිලිවම දිටීය. ගැරඩ් මේ ගෙවා දමන්නේ ‘නිශා රැකුම් බලකායට’ එක්වී ගෙවන හතලිස් වන වසරයි. අනෙක් අතට ඔහු කියන දේ සැහැල්ලුවට ගන්නා අය ගැරඩ් විසින් නොඉවසන බවද විල් දනී. නමුත් මේ මහලු මිනිසා පෙලන්නේ ඒ කිසිවක් නොව වෙනත් කුමක් හෝ දෙයක් බවත්, බිඳවැටුනු ආත්මාභිනයට යටින් ඇත්තේ නොසන්සුන්කමක් හා බියක් බවත් ඔහුට දැනුනි.

මේ නොසන්සුන්කම විල් විසින්ද හඟින ලද්දකි. මේ ඔහු ප්‍රාකාරයේ ගෙවන සිවුවන වසරයි. ප්‍රාකාරයෙන් එහා ගිය මුල්ම වතාවේ පැරණි ජනකතා සියල්ල මතක් වී ඔහුගේ ඇඟේ ලේ වතුර වූ නමුත් ඔහු දැන් ඒ ගැන සිනාසෙයි. දැන් ඔහු මුර සංචාර සියයකට වඩා වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීනයෙකි. දකුණුකරයේ වැසියන් විසින් ‘හොල්මන් කැලෑව’ නමින් හඳුන්වනු ලබන ඉමක් කොනක් නොපෙනෙන මේ මහා වනාන්තරය තවදුරටත් ඔහුව තැති නොගන්වයි.

එහෙත් අද රාත්‍රිය? අද රාත්‍රියේ කුමක්දෝ වෙනසක් තිබේ. දින නවයක් තිස්සේ ඔවුන් උතුරු හා වයඹ දෙසට – ප්‍රාකාරයෙන් ඈතට – මේ හඹායන්නේ වනචාරී ආක්‍රමණිකයන් පිරිසකගේ මං සලකුණුය. ගෙවුනු සෑම දිනයක්ම පෙරදාට වඩා අසීරු එකක් වූ මුත් අද අනිත් හැමදාටම වඩා අසීරු වූ දිනයකි. උතුරින් හමා ආ සීතල සුළඟ නිසා අවට ගස් සෙලවුනේ හරියටම පණ පිටින් සිටින්නාක් මෙනි. දවස පුරාම විල්ට දැනුනේ මොකක්දෝ දෙයක් තමන් දිහා විපරමෙන් බලා සිටින්නාක් වැනි හැඟීමකි. ගැරඩ්ටද මෙලෙසින්ම හැඟුනු බවත් ඔහු දනියි. මේ මොහොතේ විල්ට උවමනා වෙන කිසිත් නොව හැකි ඉක්මනින් නැවතත් ප්‍රාකාරයේ ආරක්ෂාව වෙත දිව යාමටය. නමුත් එය තමන්ගේ අණ දෙන නිළධාරියා සමග සාකච්ඡා කල හැකි අන්දමේ අදහසක් නොවේ.

විශේෂයෙන්ම මෙවැනි අණ දෙන නිළධාරියකු සමග.

සෙර් වේමාර් රොයිස් යනු උරුමක්කාරයන් බොහෝ ගණනක් සිටින පුරාණ වංශවත් පෙළපතක ලාබාලම පුත්‍රයා විය. ඔහු අඳුරු පැහැ දෑසක් හිමි, දහඅටවන වියේ වූ, හීන්දෑරී කඩවසම් තරුණයෙකි. තමන්ගේ කළු පැහැ සුවිසල් යුධ අශ්වයා පිට නැගුනු නයිට්වරයා කුඩා, කඳුකර අශ්වයන් දෙදෙනෙකු පිට නැගුනු විල් සහ ගැරඩ් අභිබවා දැවැන්ත පර්වතයක් මෙන් නැගී සිටියේය. ඔහු සැරසී සිටියේ කළු පැහැ ලොම් කලිසමකින්, කළු පැහැ ලොම් කමිසයක් මතින් හැඳි දිදුලන කළු පැහැ සන්නාහයකින් හා ඊටම ගැලපෙන අන්දමේ සමින් නිම වුනු කළු පැහැ උස් සපත්තු කුට්ටමකින් සහ අත්වැසුම් යුගලයකිනි‍. සෙර් වේමාර් නිශා රැකුම් බලකායට එක්වී තවමත් වසරකින් අඩක්වත් ඉක්ම ගොස් නැතත් ඔහු තම රාජකාරියට හොඳින් සූදානම් වූවකු බව – අඩුම තරමේ ඇඳුම් පැළැඳුම් වලින් හෝ – නොපිළිගෙන සිටිය හැක්කෙකු නොවේ.

මේ හැම එකකටම වඩා ඔහු සතු දැකුම්කළුම වස්තුව වූයේ ගත දවටාගත් දිගු සළුවයි. සිනිඳු, කළු පැහැ මුගටි ලොමින් නිමවූ එය බැරැක්කයේ සෙබළුන් සියළුදෙනාගේම කතාබහට ලක්වූ වස්තුවකි. “මං ඔට්ටුවක් දානවා මිනිහා ඔය මුගටියො ඔක්කොම මිනිහගෙ අතින්ම බෙල්ල කරකවලා මරලා දාන්ට ඇති කියලා. මිනිහා මහ රණශූරයා.” මේ ගැරඩ් වයින් කෝප්පයක් පානය කරන අතරතු‍රේදී තම සහචර සෙබළුන් හා නිතර පැවසූ විහිළුවකි. ඔවුන් සැවොම එම විහිළුවට එක ලෙස සිනාසුනහ.

‘තමන් විසින් විහිළුවට ලක් කරනා අණ දෙන නිළධාරියකු විසින් දෙනු ලබන අණ පිළිපැදීම අසීරුය.’ විල් මෙසේ සිතුවේ සීතලේ ගැහෙමින් තම අශ්වයා පිට ගමන් කරන අතරතුරේදී ය. ගැරඩ් ද මෙලෙසම සිතනා බව ඔහු දනියි.

“මෝර්මන්ට් කිවුවෙ අපට උංව ලුහුබඳින්ට කියලා. අපි ඒක කලා.” ගැරඩ් පැවසීය. “උං මැරිලා. උං තවත් අපට කරදර කරන්නෙ නෑ. අපට ඉස්සරහට ‍බොහොම අමාරු ගමනක් තියෙන්නෙ. මේ කාලගුනේට මං කොහෙත්ම කැමැති නෑ. මෙහෙම හිම වැටුනොත් අපට ආපහු යන්ට සති දෙකක් වත් යයි. ඔබතුමා කවදාවත් හිම කුණාටුවක් දැකලා තියෙනවද මගෙ උතුමානෙනි?”

උතුමානන්ට ඔහු කී දේ ඇසුනු බවක් පෙනුනේ නැත. සෙර් වේමාර් දැඩිවෙමින් පවතින සැඳෑ අන්ධකාරය අධ්‍යයනය කරමින් සිටියේ උදාසීන බැල්මක් දෑසේ ඇතිවය. ඔහු මෙසේ සිටිනා විට බාධා නොකල යුතු බව දිගු කලක් නයිට්වරයා සමග ගමන් කොට පළපුරුද්දක් ඇති විල් අත්දැකීමෙන්ම දනියි. “මට ආයෙමත් කියපං උඹ දැකපු දේ විල්. හැම දෙයක්ම. කිසිම දෙයක් මග අරින්නෙ නැතුව.”

නිශා රැකුම් බලකායට බැඳෙන්නට පෙර විල් දඩයක්කරුවෙකු – ඇත්තෙන්ම කිවහොත් හොර දඩයක්කරුවෙකු – වූ අතර මැලිස්ටර් වංශාධිපතියාගේ සෙබළුන්ට ඔහුව හසු වූයේ මැලිස්ටර් වනාන්තරය තුළ ඔවුන්ට අයත් මුවෙකු මරා මස් කරමින් සිටියදී ය. අතක් අහිමි කරගැනීම හෝ නිශා රැකුමට බැඳීම යන දෙකෙන් එකක් තෝරාගැනීමට ඔහුට සිදු විය. ඔහු තරම් නිශ්ශබ්දව වනාන්තරය තුළ ගමන් කල හැකි වෙනෙකෙකු නොවුනු අතර වැඩි කලක් යාමට මත්තෙන් ඔහුගේ මේ දක්ශතාව අනාවරනය කරගැනීමට ‘කළු සොයුරන්ට’ හැකි විය.

“උංගෙ වාඩිය තිබුනෙ මීට හැතැප්ම දෙකකට එහා, අර කඳුවැටියෙන් එපිට දොළ පාරක් අයිනෙ.” විල් පැවසීය. “මං පුළුවන් තරම් උංට ලං වුනා. උංගෙ අට දෙනෙක් හිටියා, ගෑනුයි පිරිමියි දෙගොල්ලොම. ළමයි ඉන්නවානං මං දැක්කෙ නෑ. උංගෙ වාඩිය හදලා තිබුනෙ ගල් පර්වතයට හේත්තු කරලා. දැන් නං ඒක හිමෙන් වැහිලා ගිහිල්ලා ඇති, ඒ වුනත් මට ඒක හොයාගන්ට පුළුවන්. ගිනිමැලයක් පත්තු වුනෙත් නෑ. කිසිම කෙනෙක් එහා මෙහා වුනෙත් නෑ. මං සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. කිසිම පණ තියෙන මිනිහෙකුට එහෙම හෙලවෙන්නැතුව ඉන්ට බෑ.”

“උඹ දැක්කද ලේ පැල්ලම් මොකුත්?”

“එහෙමනං දැක්කෙ නෑ.”

“උං ගාව ආයුධ මොකුත් තියෙනවා උඹ දැක්කද?”

“කඩු දෙක තුනකුයි, දුනු කීපෙකුයි. එක මිනිහෙක් ගාව පොරොවක් තිබුනා. දෙපැත්තටම තල තියෙන, බොහොම බර එකක් වගෙයි පෙනුනෙ. ඒක මේ යකඩින් හදාපු ගමේ ගොඩේ බාණ්ඩයක්. ඒක තිබුනෙ මිනිහගෙ පැත්තකින් බිම, අතේ දුරින්.”

“මළකඳන් තිබුනු විදිය ගැන එහෙම උඹ සැලකිල්ලෙන් බැලුවද?”

විල් දෙවුර ඇකිළුවේය. “දෙන්නෙක් පර්වතේට හේත්තු වෙලා වාඩි වෙලා හිටියා. අනිත් අය හැමෝම බිම වැතිරිලයි හිටියෙ. හරියට බිම වැටිලා වගේ.”

“නිදාගෙන වෙන්ටත් පුළුවන්.”

“මැරිලා.” විල් තිර කොට කීය. “එක ගෑනියෙක් හිටියෙ අයන්වුඩ් ගහක් උඩ නැගලා, අතු අත‍රේ බාගෙට හැංගිලා වගේ. ඈත බලාගෙන හිටියෙ.” ඔහු මඳ සිනාවක් පෑවේය. “ඒකිට නොපෙනෙන්ට තමා මම වාඩියට ලං වුනේ. ඒත් ලංවුනාට පස්සෙ තමා මං දැක්කෙ ඒකිත් හෙල්ලෙන්නෙවත් නෑ කියලා.” විල් වෙවුලා ගියේය.

“උඹට හීතලද?”

“ටිකක්. ඒ මේ හුළඟ හින්දා මයෙ උතුමානෙනි.”

තරුණ නයිට්වරයා නැවතත් තම ‍හේවායා දෙසට හැරුනි. ඔවුන් වටා සෑම තැනම හිමෙන් වැසුනු ගස්වල කොළ සර සර හඬින් සුළඟේ ලෙල දුන් අතර රොයිස්ගේ යුධ අශ්වයා නොසන්සුන් ගමනකින් ඉදිරියට ඇ‍දෙන්නට විය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල