සාහිත්‍ය කළා විචාර

කෙමරූජ් භිෂණය දෙවන කොටස

Off

චීනය පොල්පොට් පිළිගනියි

1977 වසරේ පොල්පොට් චීනයේ සංචාරයක නිරත විය. වියට්නාමයට එදිරිව යුද ආධාර ලබා දීමට චීනය පොල්පොට්ට එකඟ විය. එසේම ඔහු විසින් සිදුකරගෙන යන ආර්ථීක ක්‍රියා පිළිවෙත් චීනය අනුමත කරන ලදී. වසරකට ඩොලර් මිලියන 5 ක් වටිනා අවි චීනය විසින් පොල්පොට්ට සැපයූ බව වාර්තා වේ. එහෙත් වියට්නාමය සමඟ සටන් උත්සන්න වූ විට පොල්පොට් චීන හමුදා පොල්පොට්ගේ සහයට එවන ලෙස ඉල්ලා සිටියද චීන බලධාරීන් ඊට එකඟ නොවූහ. පොල්පොට්ගේ පාලන යුගයේදී කම්පුචියාව අන්තර් ජාතික තහනම් වලට ලක්වූයේ නැත. රටවල් 63 ක් විසින් කම්පුචියාවේ කෙමරූජ් පාලනය පිළිගෙන තිබුණි.

පොල්පොට් හා බටහිර බලවත්තු

යේල් විශ්වවිද්‍යාලයේ දේශපාලන විශ්ලේෂකයෙක් පවසන අන්දමට ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍යය හා තායිලන්තය පොල්පොට්ට ආධාර නොකළේ නම් මෙවැනි ජන ඝාතනයක් සිදු නොවනු ඇත. ඇමෙරිකානු බෝම්බ ප්‍රහාර නිසා ඉතිහාසයේ ක‍ෂයවී යාමට නියමිතව සිටි කෙමරූජ් වැනි අන්තවාදී දේශපාලන කණ්ඩායමකට ජනතාව ඒකරාශී කිරීමට හැකි විය. එසේම වියට්නාමයට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය කම්පුචියාවට උදව් කළහ.

මාග්‍රට් තැචර් කම්පුචියාව හැඳින්වූයේ අපගේ සතුරාගේ (වියට්නාමයේ) සතුරෙකු වශයෙනි. එම නිසා පොල්පොට්ගේ ජන ඝාතන කෙරෙහි ඔවුන් දැක්වූයේ නිහඬපිළිවෙතකි. 1989 දක්වා බ්‍රිතාන්‍යය කම්පුචියාව අරබයා සිදුකළ මැදිහත්වීම් රහසිගතය.බ්‍රිතාන්‍යය Sunday Telegraph පුවත්පතේ සයිමන් රසල් පෙන්වාදෙන අන්දමට බ්‍රිතාන්‍ය SAS විශේෂ බලකාය විසින් කෙමරූජ් භටයන්ට පුහුණුව ලබාදෙන ලදී. මෙ පුහුණුවීම් ලබාදෙන ලද්දේ තායිලන්තයේදීය. මෙම SAS පුහුණුකරුවන් අතර ෆෝක්ලන්ත යුද්ධයේ සටන් කළ වෙතරානුවන්ද සිටි බව සයිමන් රසල් වැඩි දුරටත් පවසයි. දැනට ජනඝාතන පිළිබඳව චෝදනා ලබා තිබෙන කුප්‍රකටTa Mok මෙසේ කියයි. “මෙඩ්ලින් ඕල්බ්‍රයිට්, මාග්‍රට් තැචර්, හෙන්රි කිසිංජර්, ජිමී කාටර්, රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) කෙමරූජ් සංවිධානයට උදව් කළෝය. යම් ලෙසකින් අප වරදකරුවන් වෙයිද ඔව්හුද වරදකරුවෝ වෙති. එම නිසා මෙම අධිකරණයට ඔවුන්වද ගෙන්විය යුතුය”.
ඇමෙරිකානු මැදිහත්වීම්

පොල්පොට්ගේ ජන ඝාතන ඇමෙරිකානු ක්ෂමා සංවිධානය දැන සිටියද, ඒවා නතර කිරීම සඳහා නිසි පියවර ගැනිම ඇමෙරිකාව ප්‍රමාද කළේ කරුණු කිහිපයක් නිසාවෙනි.

පොල්පොට්ගේ ආගමනය සිදුවීම සඳහා කම්පුචියාවේ ඇමෙරිකානු මැදහත්වීම එක්තරා දුරකට සහය වූ බව පෙනී යයි. 1970 දී ජනාධිපති නික්සන් සිහනුක්ගේ රජය පෙරළා දැමීමට හවුල් වීම නිසා කම්පුචියාවේ ඇති වූයේ ව්‍යාකූළ තත්වයකි. දකුණු වියට්නාම් හමුදා සහ 20,000 පමණ වූ ඇමෙරිකානු යුධ උපදේශකයන් කම්පුචියාවට ඇතුළු වූහ. ඔව්හු සිහනුක්ගේ රජය පෙරළා දමා ජෙනරල් Lon Nol බලයට ගෙන ඒමට මාන බැලුහ. මෙම අර්බුධකාරි පරිසරය කෙමරූජ්වරුන්ට හිතකර උපස්ථරයක් විය. ඇමෙරිකානු සහය ලැබූ දකුණු වියට්නාම් හමුදා, උතුරු වියට්නාම් හමුදා, ජෙනරල් Lon Nol ගේ සහයක හමුදා, කෙමරූජ් ගරිල්ලන් සියළු දෙනා සංකීර්ණ සටනක විවිධ පාර්ශ්වකරුවෝ වූහ.

කම්පුචියාවේ උතුරු වියට්නාම් කඳවුරු විනාශ කිරීම සඳහා 1969 සිට 1973 දක්වා බෝම්බ ටොන් 532,000 ක් අත හරිනු ලැබීය. මේ නිසා ගම් පිටින් ධූලි අලූ බවට පත්වූ අතර, දස දහස් ගණනක් මරු දුටුහ. කම්පුචියාවට හෙලු බෝම්බ ප්‍රමාණය දෙවන ලෝක යුධ සමයේ ජපානයට හෙළන ලද බෝම්බ ප්‍රමාණය මෙන් තෙගුණයකි. එම නිසා විනාශයේ ප්‍රමාණය පිළිබඳව උපකල්පනයන් ලබාගත හැකිය.

නිළ නොවන වාර්තා අනුව ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා මිය ගිය කම්පුචියානු මිනිසුන්ගේ ගණන 600,000 කි. ඇමෙරිකාවෙන් කම්පුචියාවට ලැබුණු ආධාර රජයේ උසස් නිලධාරීන් හා හමුදා නිලධාරීහු ගසා කෑහ.

මිලියන හතක ජනගහනයෙන් මිලියන දෙකකට නිවාස තිබුණේ නැත. බෝම්බ පිපිරීම නිසා කෘෂිකර්මාන්තය ද කඩා හැලූණි. කම්පුචියාවට ව්‍යසනය ලඟාකරවන ලද්දේ නික්සන් හා ඔහුගේ උපදේශක හෙන්රි නිසින්ජර් බව ඇතැමෙක් පවසති. නික්සන්ගේ යුධ මෙහෙයුම් කම්පුචියානු සමයේ සිදු නොවුනේ නම් කෙමරුජ්වරුන්ට හිස එසවීමට තිබුණු ඉඩකඩ සීමිත බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 1970 දී සුළු අවි සහිත 5000 ක භට පිරිසකින් සමන්විත වූ කෙමරුජ්වරු 1975 අප්‍රේල් වන විට 70000 ක හමුදාවකින් බලසම්පන්න වූහ. එම නිසා ඔවුන්ට පහසුවෙන් ජෙනරාල් Lon Nol ගේ හමුදා පරාජය කිරිමට හැකි විය.

රැඩිකල් මධ්‍යම පාන්තික උගතුන්ගෙන් සමන්විත වූ කෙමරුජ් නායකත්වය අගය කළේ ප්‍රාථමික ගොවිකමේ නියැළෙන ගෝත්‍රික ජනතා ජිවන ක්‍රමයකටය. එහෙත් ඔවුන්ගේ දේශපාලන යාත්‍රාව ගමන් කළේ පැසිස්ට් මුහුදකටය.

1979 ජනවාරි මාසයේදී ඩෙන් ෂියාඕ පෙන් වොෂින්ටනයට ගියේ චීන ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහාය. පොල්පොට් වියට්නාමය සමඟ ගැටෙනු ආශාවෙන් නැරඹූ ඇමෙරිකාව ශීත යුධ සමයේ කම්පුචියාව තම නිල නොවන මිත්‍ර රාජ්‍යයක් ලෙස සැලකීය. චීනය කෙමරුජ්වරුන්ට අවි ආයුධ ලබා දුන්නේය. මේ නිසා පොල්පොට්ගේ ජන ඝාතන වලදී ඇමෙරිකාව අනුගමනය කලේ අන්ධයාගේ භූමිකාවය.

ජනාධිපති කාටර්ගේ ජාතික ආරක‍ෂාව පිළිබඳ උපදේශක Zbigniew Brzeziìki පසු කාලීනව ඇමෙරිකාව චීනය හරහා පොල්පොට්ට උපකාර කළ බව පිළිගත්තේය.

1980 සිට රොනල්ඩ් රේගන් කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන අන්තර් ජාතික අධිකරණයකට ගෙන ඒමට තිබූ ඉඩකඩ වසා දැමීය. කෙමරූජ් භීෂණයට සෙසු රටවල විරොධය දැක්වීම බොහෝ සෙයින් ඇවිරුනේ ඇමෙරිකාව පොල්පොට් කෙරෙහි දැක්වූ සහනශීලි පිළිවෙත නිසාවෙනි. යම් හෙයකින් පොල්පොට් යුධ අධිකරණයට ඉදිරිපත් කළේ නම් ඇමෙරිකාවට 1969 සිට 1973 දක්වා කම්පුචියාවට ගුවනින් බෝම්බ හෙළීම පිළිබඳව කරුණු අන්තර් ජාතික ප්‍රජාවට කීමට සිදුවන බව ලන්ඩනයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යනයන් පිළිබඳ දේශකයෙකු වන ස්ටීවන් හිඩර් පවසයි.

පොල්පොට්ගේ මරණයෙන් පසු ඇමෙරිකානු මාධ්‍ය කිහිප වතාවක් හෙන්රි කිසිංජර්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගත් නමුදු ඔහු පොල්පොට්ගේ ජන ඝාතන පිළිබඳ ඇසූ සෑම පැනයක්ම පිළිතුරු දීම මග හැරියේය. 1980 දී ක්ෂමා සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක‍ෂක ආචාර්ය රේ ක්ලැයින් හා කෙමරූජ්වරුන් අතර රහසිගත හමුවක් වාර්තා වී ඇත.

නොම් චොම්ස්කි කම්පුචියාව පිළිබඳව මෙසේ කරුණු දක්වයි.

කම්පුචියාවේ ජන ඝාතනයේ ප්‍රථම අධියර සිදුවූයේ 1969-1975 අතර කාලය තුළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර මගින් බව “නොම් චොම්ස්කි” ප්‍රකාශ කොට තිබේ. මේ නිසා ග්‍රාමීය ප්‍රදේශවල ඉතිරි වූයේ සුන්බුන් යැයි ඔහු කියයි. කෙමරුජ්වරු මෙම විනාශ වූ ප්‍රදේශ වල ජනයා ගාල්කිරීමෙන් ඔවුන්ගේ මරණය ඉක්මන් වූ බව චොම්ස්කිගේ අදහසයි. කම්පුචියාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රතිපත්ති විවේචනය කළ චොම්ස්කි ජන ඝාතනය සඳහා පොල්පොට්ට හිතකර පරිසරය සකස් කර දීම පිළිබඳව ඇමෙරිකාවට චෝදනා කළේය.

කෙමරූජ්වරු මා පුහුණු කළේ මිනිසුන්ගේ ඛෙලි කැපීමටය.

හිටපු ළමා සොල්දාදුවකු වන Soyon Soeun කෙමරූජ් සංවිධානය කුඩා කලසිට තමාට මිනිසුන් මරා දැමීමට හුරු පුරුදු කළ බව පවසයි. ශ්‍රම කඳවුරකදී මවගෙන් වෙන්කරන ලද මෙම දරුවා ළමා සොල්දාදුවෙකු ලෙසට පුහුණු කරවන ලදී. ඔහු පවසන පරිදි ඔහුට ළමා කාලයක් තිබුණේ නැත. මිනිසුන්ට වෛර කිරීමටත්, ඔවුන්ගේ උගුරු දඬු කැපීමටත්, ඔහුට පුහුණු කොට තිබුණි. වැඩිදුරටත් කරුණු පවසන ඔහු අන් ළමුන්ට මෙන් කුඩා කාලයේ සෙල්ලම් කිරීමෙන් කාලය ගත කිරීමට නොව බිහිසුණු ක්‍රියා කිරීමට හුරු කිරීමෙන් කෙමරූජ්වරු තමාගේ ළමා කාලය සොරාගත්බව කියයි.
මා පැමිණියේ කම්පුචියාව ගලවා ගැනීමටය.

1997 දී The Eastern Economic Review සඟරාවේ ජනමාධ්‍යවේදියෙකු වූ Nate Thayer විසින් පොල්පොට්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නා ලදී. එම සාකච්ඡාවේදී පොල්පොට් මෙසේ පැවසීය.

” මා විප්ලවයට සහභාගී වූයේ කම්පුචියාවට විමුක්තිය ලබාදීම මිස මිනී මැරීමට නොවේ. කරුණාකර මා දෙස බලන්න. මා ප්‍රචණ්ඩ මිනීමරුවෙකු ලෙස ඔබට පෙනෙනවාද? අපි මේ ව්‍යාපාරයට නවකයන් වූයෙමු. අපි අත්හදාබැලීම් කළෙමු. අප අතින් වැරදි සිදුවූ බව සැබෑය. අපි වියට්නාම් ආක්‍රමණිකයන්ට එදිරිව සටන් කළෙමු. අරගලය තුළදී වැරදි සිදුවන්නට ඇත. අපට වැරදීම් සිදුවිය. ඉතිහාසය විසින් අපව විනිශ්චය කරනු ඇත.”
මම කෙමරූජ්වරුන්ට රැවටුණෙමි. (අනුගාමිකයෙකුගේ පාපොච්චාරණය)

කම්පුචියාවට විමුක්තිය ලඟකර දිය හැක්කේ පොල්පොට්ට පමණක් යැයි මම විශ්වාස කළෙමි. එවකට සුළුපරිමාණයේ ගොවියෙකු වූ මම කෙමරුජ්රුන්ට මගේ පූර්ණ සහයෝගය දුනිමි. මා ඔවුන්ගේ අනුගාමික පන්තිවලට සහභාගීවූයේ භක්තිමත් අනුගාමිකයෙකු ලෙසටය. මාක්ස්වාදය හා අනාගත කොමියුනිස්ට් විප්ලවය පිළිබඳ සිහිනය ඔව්හු පැවසූහ. අපි සියළුදෙනාම එම සිහිනයේ කොටස්කරුවන් වන්නට උත්සුක වූයෙමු.

කෙමරූජ් නායකයන් පැවසු සියළු දේ විශ්වාස කිරීමටත්, ඔවුන්ගේ නියෝග දේවභාෂිතයක් සේ පිළිපැදීමටත්, අපි පසුබට නොවුණෙමු. කෙමරුජ්වරුන්ට පක‍ෂපාතීව කම්පුචියාවේ ප්‍රතිගාමි හමුදා සමඟ සටන් කළෙමු. අපි ඡයබදප ඡැබය දක්වා සාර්ථකව සටන් කළ අතර, නගරය වට කළෙමු.

1975 අප්‍රේල් 17 ජයග්‍රාහි දින අපි නගරයට කඩාවැදී අපගේ ජය සැමරුවෙමි. යුධ ටැංකිවලට නැගුනු අපවැනි සියගණන් සොල්දාදුවන් නගරය දෙවනත් කළේ කම්පුචියාව අපගේ අතේ යන ප්‍රීතිය නිසාවෙනි.

කෙමරූජ් නායකයන්ගේ අණ පරිදි අපි නගරයේ සිටි ප්‍රතිගාමි කොටස් වෙන් කළෙමු. ඔවුන් කෙරෙහි අප තුළ වූයේ විශාල වෛරයකි. මෙම වෛරය අප තුල වගාකළේ කෙමරූජ් නායකත්වය විසිනි. පන්ති සතුරන් යැයි සැක කළ ඕනෑම අයෙකු මරා දැමීමට අපට බලතල දී තිබුණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතුන්, වෙළඳ ව්‍යාපාරිකයන්, නීතීඥයන් අපගේ ගොදුරු බවට පත්වූහ. ඔවුන් ලොරිවල පටවා නගරාන්තරයට ගෙනගිය අතර, එහිදි වෙඩිතබා ඔවුන් මරා දමන ලදී.

මුලදී අප මෙම ඝාතන කළේ ඉතා සතුටිනි. මුලදී කම්පුචියාවේ කොමියුනිස්ට් රජයක් බිහි කිරීම සඳහා පන්ති සතුරන් තුරන් කළ යුතුයැයි අපට උගන්වා තිබුණි. එම නිසා මෙම ඝාතන පිළිබඳව අපට කිසිම පශ්චාත්තාපයක් නොවීය. දිනපතාම විවිධ ආකාරයේ පුද්ගලයන් ඝාතනය කිරීමට අපට අණ ලැබුණි. මේ සෑම අයෙකුම පන්ති සතුරන් ද යන සැකය කළකදී මා තුළ ඇති විය. එහෙත් මම නිහඬවම නියෝග ඉටු කළෙමි.

වරක් අත්අඩංගුවට ගත් ප්‍රතිගාමීන් අතර, මා දැනසිටි අසල්වැසි ගොවියෙකු වූ Mu Mek ද විය. ඔහු කිසිඳු ප්‍රතිගාමි දේශපාලන දර්ශනයක් නොතිබුණු අයෙකු බව මම හොඳාකාරවම දැන සිටියෙමි. ඇරත් අසීරු කාලයේ ඔහු වනගතව සිටි කෙමරූජ්වරුන්ට ධාන්‍ය පවා සැපයීය.

Mu Mek ප්‍රතිගාමියෙකු ලෙස ලේබල් වුයේ කෙසේද යන්න මට පුදුමයක් විය. ඔහුගේ අසරණ හා බැගෑපත් දෙනෙත් මග හරිනු පිණිස මම ඔහු දකින විට ඉවත බලා ගත්තෙමි. තෙදිනකට පසු මෙම ගොවියාගේ හිසට පොල්ලකින් ගසා මරා දමා තිබුණි. මේ වන විට මා කෙමරූජ් නායකයෙකු බවට උසස්කොට තිබුණි. මගේ පාළනය යටතේ තිබූ ගමේ අන්කා සතුරන් තෝරා එවන ලෙස මට දිනපතා නියෝග ලැබුණි.

වැරහැලි ඇඳ ඇටසැකිළි බවට පත්වූ මිනිසුන් අතරෙන් කවරකු අන්කා විරෝධියෙක්ද, නැතහොත් විදේශිකයන් සමඟ සබඳතා පවත්වන ඔත්තුකරුවෙක්ද යන්න කීම අතිශයින්ම අසීරු කටයුත්තක් විය. මගේ හැඟීම අනුව ඔවුන් විප්ලවයට පෙරද අන්ත අසරණ දුගියන් ය. ඔවුන් දැන සිටි විදේශිකයන් හෝ ඔත්තුකරුවන් කිසිවෙක් නැත. එහෙත් කෙමරුජ් ඉහළ නායකත්වය දිනපතා ද්‍රෝහියන්ගේ නම් ලැයිස්තු එවන ලෙස දැනුම් දෙයි. අපට කළහැකි කිසිවක් නොවීය. අතරින් පතර තෝරාගත් අසරණයින් ද්‍රෝහීන් ලෙස නම්කොට යැවූ අතර, ඔවුන් මරා දැමුණි.

ඇතැමෙකු මරා දැමුණේ මගේ දෑස් ඉදිරි පිටදීය. වරක් එක් ගැහැණියකගේ ගෙල දක්වා පොලිතින් බෑගයක් බස්සවා එය තද කරන ලදී. හුස්ම ගැනීමට අසීරු නිසා ඇය දඟලන්නට වූවාය. කෙමරූජ් ගැටවරයන් දෙදෙනෙකු ඇයගේ අත් සහ පාද තදින් ග්‍රහණය කොටගෙන සිටි අතර, ක්‍රම ක්‍රමයෙන් ඇයගේ දැඟලීම නිසල විය. ඔව්හු එම කාන්තාව කුඹුරේ මඩ අතර වළ දැමූහ.

ඉන් දින දෙකකට පසු මෙම ගැටවරයෝ මිනිසුන්ගේ අත් පරීක‍ෂාකොට කරගැට රහිත අත් තිබුණු පුද්ගලයන් රඳවා ගත්හ. ඉන්පසු ඔවුන්ට පොලූවලින් පහරදෙමින් අතීතය පිළිබඳව පාපොච්චාරණය කරන ලෙස බල කළහ. මෙම හිංසනය නැවැත්විය යුතු යැයි මට සිතුනි. කෙමරූජ්වරු මනඃකල්පිත සතුරන් ගැන බියවී ඇත. ඔවුන්ට සෑම අයෙකුම ප්‍රතිගාමියෙකි. නැතහොත් පන්ති සතුරෙකි.

පහර කන මිනිසුන්ගේ මරණීය විලාපයන් සහ ඔවුන් ඒ අවස්ථාවේ බයෙන් බිරාන්ත වී කටට ආ දෙයක් පාපොච්චාරණයක් ලෙස කියනු මට ඇසී තිබේ. එහෙත් ඔවුන්ට ජීවත් වීමට වාසනාව ලැබුණේ පැය කිහිපයක් පමණි. ගැටවරයන්ගේ තියුණු ආයුධ වලින් ඔවුන්ගේ බෙලි කැපී ගියේය. දිනෙන් දින තත්වය දරුණු වෙයි. ඔව්හු සතුරන්, ඔත්තුකරුවන් සොයමින් මුළු රටම පීරති. එහෙත් දැන් ඉතිරිව ඇත්තේ ඇවිදින ඇට සැකිළි පමණය.

මෙවර සැකය යොමුවන්නේ කෙමරූජ් ප්‍රාදේශීය නායකයන් කෙරෙහිය. වසර ගණන් සටන් කළ සගයන්ට අසත්‍ය චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගනිති. ජිවිත කාලයක් පක‍ෂය වෙනුවෙන් සේවය කළ මිනිසුන්ගේ ඉරණම තීරණය වන්නේ වධකාගාරවලය. මෙම තත්වය නිසා මම නිශ්ශබ්දව කෙමරූජ් කායකත්වයට කීකරුව සිටියෙමි. මා කිසිවකු විශ්වාස කළේ නැත. මගේ ජීවිතය වුවද විශ්වාසයක් නොමැත. කොයි මොහොතේ වුවද මාද වදබන්ධනයට ලක් විය හැක. වදබන්ධනයට ලක්වන්නකු මගේ නම ප්‍රකාශ කළහොත් මටද අත්වන්නේ එම ඉරණමය.

මෙවැනි ඉරණමකට මා දන්නා කෙමරුජ් නායකයකු ලක්විය. ඔහු ප්‍රාදේශීය නායකයකු විය. ඔහු අවංක පක‍ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙක් විය. වධකාගාරයේ දී ඔහුගේ ඥාතියෙකුට එල්ලා පහරදෙන විට, ඥාතියා වේදනාවෙන් මිදෙනු වස් නොකළ වැරදි තමා කළ බව කීවේය. ඉන්පසු ඔහුගේ හවුල්කරුවන් කවරහුදැයි ප්‍රශ්න කරන ලදී. මෙම අසරණයා මීට වසරකට පෙර හාමතෙන් මියගිය තම බිරිඳ සහ අසල්වැසියෙකුගේ නම් කීවේය. එවිට තවත් හවුල්කරුවන්ගේ නම් කියන ලෙස වධකයෝ ඔහුට පහර දුන්හ. අධික වේදනාව නිසා ඔහු කෙමරූජ් ප්‍රාදේශීය නායකයකු ලෙස සේවය කරන තම නෑයාගේ නම කීවේය. එදින රාත්‍රියේදී කෙමරුජ් ප්‍රාදේශීය නායකයා අත්්අඩංගුවට පත්විය.

මෙවැනි අගතිගාමි ක්‍රියා නිසා මම කෙමරූජ්වරුන් කෙරෙහි කලකිරුනෙමි. ඔවුන් තවදුරටත් විශ්වාස කිරීමට මට නොහැකි විය. පොල්පොට් අපගේ දේශය විනාශ කරන බව මට හොඳින්ම පැහැදිලි විය. එහෙත් මගේ විරෝධය මා සිත තුළම තදකරගෙන සිටියෙමි. මගේ හැඟීම් දෙවන පුද්ගලයෙකු දැනගතහොත් මගේ ඉරණම වහාම තීන්දුවන බව මම දැන සිටියෙමි.

මම සැම විටම දේශපාලන මණ්ඩලයේ රැස්වීම්වලට ගියෙමි. කෙමරූජ් විමුක්ති ගී ගායකා කළෙමි. සෑම අවස්ථාවකම අන්කා දහමට පක්ෂපාති බවට දිවුරුම් දුන්නෙමි. එහෙත් මගේ අභ්‍යන්තරයෙන් ඔවුන් ප්‍රතිෙක‍ෂ්ප කර බොහෝ කල්ය.

මගේ හැසිරීම පිළිබඳව සැකයක් ඔවුන්ට ඇති වෙතැයි මම බිය වූයෙමි. එබැවින් පක්ෂ සතුරන් විනාශ කළ යුතුයි යව ස්ථාවරයේ නියැලෙමින් මමද ඔවුන්ට එකඟ වූයෙමි. දැන් අවිනිශ්චිතතාවයෙන් හා අවිශ්වාසයෙන් මුළු රටම වෙළාගෙන තිබේ. දිනපතා දහ දහස් ගණන් අත්අඩංගුවට ගෙන මරා දමති. මෙවැනි නිරර්ථක, සාහාසික මරා දැමීම් කුමකටද? මම රහසින් කම්පා වූයෙමි. අප මෙලෙසින් මිනිසුන් විනාශ කරමින් යන ගමන අවසන් වන්නේ කවදාද?

කොමියුනිස්ට් රාජ්‍යය බිහිවන විට කම්පුචියාව මිනිසුන් මුක්ත කලාපයක් වනු ඇත. පොල්පොට් කෙරෙහි මට ඇත්තේ දැන් තද පිළිකුලකි. අපි ඔහු වීරයෙකු ලෙස දුටුවෙමු. ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා අපගේ ගෙවල් දොරවල් විනාශවී අප මහ මගට ඇද වැටුනු විට අප ඒකරාශී වූයේ පොල්පොට් සමඟය. එකල ඔහු අපගේ විමුක්ති දායකයා විය. එහෙත් අද ඔහු අපගේ දේශය විනාශ කරමින් සිටියි.

වියට්නාම් ගුවන් හමුදාම මගේ ගමට බෝම්බ හෙළීය. එහිදී මිනිසුන් දස දෙනෙකු පමණ මිය ගියේය. වියට්නාම් හමුදාම ඉදිරියෙන් එන බවත්, අස්වනු ගිනිතබා පසු බසින ලෙසටත්, නියෝග ලැබිණි. මිනිසුන් හාමතේ පෙළෙද්දී අපි කුඹුරුවලට ගිනි තැබූවෙමු. ගොඩනැගිලි විනාශ කළ අපි පසු බැස්සෙමු. ඒ කාලය තුළ දී ද ප්‍රතිගාමීන් දඩයම නැවතුනේ නැත. මිනිසුන්ට අනුකම්පාව දැක්වීමට මා බියවූයේ මාද අන්කා විරෝධියෙකු ලෙස හංවඩු ගැසේය යන බියෙනි. මතුපිටින් මා දරුණු බව පෙන්වුවද, මගේ අභ්‍යන්තරය මිනිසුන් විඳින දුක්නිසා හඬා වැළපිනි.

වියට්නාම් යුධ ටැංකි හා භට පිරිස් ඉදිරියට එමින් සිටියි. අපගේ භටයන්ට ඔවුන් සමඟ සටන් කිරීමට ශක්තියක් නැත. අපි තායි දේශසීමාව ආසන්නයට පසු බැස්සෙමු. අපගේ බලය බිඳුනි. වියට්නාම් හමුදාම ඡයබදප ඡැබය නගරයේ බලය අල්ලා ගත්තේය. අප දැන් කැලෑවට කොටුවූ ගරිල්ලා හමුදාවකි. මේ කාලය තුළ මම පොල්පොට් වරක් හෝ දෙවරක් දුටිමි. අපගේ දේශය විනාශ කළේ මොහු නොවේදැයි මගේ අභ්‍යන්තරය මුර ගෑවේය.

කෙමරූජ් නායකත්වයද ක්‍රම ක්‍රමයෙන් පොල්පොට්ට අකීකරු වන සෙයක් මට හැඟුනි. දැන් දෙවන හා තෙවන පෙළ නායකයෝ ඉදිරියට එමින් සිටිති. කෙමරූජ් නායකයන් විසින් පොල්පොට් නිවාස අඩස්සියේ තබාගෙන ඇතැයි යන දූසමාන ආරංචිය පැතිර ගියද එය සත්‍ය බව අපි විශ්වාස නො කළෙමු. මාස කිපයක් ඇවෑමෙන් එය සත්‍ය බව හෙළි විය.

තායි දේශ සීමාවට කොටුවූ අපගේ ජීවිත අපටම එපාවී ඇත. අප උත්සාහ කළේ යහපත් දේශයක් නිර්මාණය කිරීමටය. ඒ සඳහා අපි දේශයේ සියළුම දේ විනාශ කළෙමු. ඉන් අප ලබාගත්තේ කුමක්ද? ගැඹුරට ඉරිතලා ගිය මළමිණි වලින් පිරීගිය දේශයකි. අපට වැරදී තිබේ. අප වැරැද්දට යොමු කළේ පොල්පොට් ඇතුළු අන්කා නායකත්වය විසිනි.

1999 වසරේ සාම ගිවිසුම මත අවිබිම තබා අපි යටත් වූයෙමු. වසර ගණනකට පසු යළි මම සිවිල් වැසියෙකු වූයෙමි. මා දැන් නිදහස් නමුදු රැකියාවක් නැත. මම මගේ ගම් ප්‍රදේශයට ගියෙමි. අපගේ නිවාස විනාශ වී තිබුණි. කුඹුරුවල බිම්බෝම්බ වළලා තිබීම නිසා එම ප්‍රදේශ අත්හැර දමා තිබේ. විප්ලවයට පෙර ගමේ ජීවත්වූ මිනිසුන්ගෙන් සීයයකට අසූවකට වඩා අත් අඩංගුවට ගෙන මරාදමා තිබුණි. ඒ අතර මගේ නෑයින් ද වූ බව දැනගන්ට ලැබිණි.

දැන් මගේ ජීවිතයේ තරුණ විය ගෙවී ගොස් තිබේ. මම ජීවිතයේ මහළු වියට පැමිණෙමින් සිටිමි. අද එදා කළ කී දෑ ගැන මහා පශ්චාත්තාපයක් දැනෙයි. අපි විශාල මිථ්‍යාවක ගැලී සිටියෙමු. ඒ මිථ්‍යාව උදෙසා අපි අපගේ සහෝදර ජනතාව මරා දැමුවෙමු. අප රටේ යටිතල පහසුකම් විනාශ කළෙමු. ඉන් අප ලැබූ විමුක්තියක් නැත.-
මම ඔහුගේ දේශනයට වශී වුනෙමි.

1962 වසරේ පොල්පොට් Phnom Penh රැස්වීමකට පැමිණියේය. මෙම රැස්වීමේ බෞද්ධ භික්ෂූන් හා ශිෂ්‍යයන් රාශියක් සිටියහ. පොල්පොට් අසන්නන් ග්‍රහණය කර ගනිමින් කථා කළේය. පොල්පොට් විවිධ උපමා භාවිතා කළ අතර, අපි සියලූ දෙනාම ඔහුට ඇහුම්කන් දුන්නෙමු.

ඔහු සිහනුක් රජය විවේචනය කළේය. සිහනුක් රජයේ පැතිර තිඛෙන සොරකම් හා දුෂණ පිළිබඳව අපව දැනුවත් කළේය. දූෂණ හා වංචාවලින් තොරවූ රජයක් බිහිකළ යුතු බව පොල්පොට් අවධාරණය කළ අතර, මෙම රජය තව දුරට පැවතුනහොත් ජනයා අන්ත දුගී බවට පත්වනු නිසැකයැයි ඔහු කීවේය.

ඔහු දේශනය කළේ රළු ආකාරයට නොවේ. මනාව වචන හසුරුවා ගනිමින් පොල්පොට් සභාව ඇමතීය. සියළු දෙනාම ඔහුට සවන්දුන්නේ ඔහුගේ වාග් මාලාවට වශී වෙමිනි.

විප්ලවවාදියා මිත්‍රත්වය දයාව දැක්විය යුතුය. සහානුභූතිය දැක්විය යුතුය. ඔහු කරුණාවන්ත ප්‍රියවචන කථාකල යුතුය. මේ පොල්පොට් පැවසූ අදහස් වලින් කොටසකි. ඔහු වැඩිපුර ආමන්ත්‍රණය කළේ ගොවීන්ට හා සිසුන්ටය. පන්ති සටන පිළිබඳව ඔහු විශේෂයෙන් කථා කළේය. චීනයේ වැනි මාක්ස්වාදී ස්වයංපෝෂිත ගොවි ආර්ථීකයක් කම්පුචියාවේ ගොඩනැගීමේ අවශ්‍යතාවය ඔහු පහදා දුන්නේය. කම්පුචියානු ගොවියාගේ ශක්තිය පිළිබඳව ඔහු කරුණු දැක්වූයේ සංසන්දනාත්මකවය.

ඔහු පෞඪ කම්පුචියානු ඉතිහාසය ගැන කථා කළේය. අතීත ඇන්කෝර් ශිෂ්ඨාචාරයේ ශ්‍රීවිභූතිය හා වර්තමාන ශෝචනීය තත්වය ගැන කරුණු ප්‍රකාශ කරන විට ඔහුගේ මුහුණෙහි වූ හැඟීම් අපි නිරීක‍ෂණය කළෙමු. දේශනයේදී ඔහු බර වචන කථා කළේ නැත. ඔහුගේ වාග්මාලාව සංයුක්ත වූයේ සරල හා මට සිළුටු වදන් වලිනි. අනාගත කම්පුචියාවේ දර්ශනය තමන්ට පෙනෙන බව ඔහු වැඩිදුරටත් කීය. අනාගත කම්පුචියාව ඉසුරුමත් හා දූෂණ වලින් තොර එකක් බව ඔහු අවධාරණය කළේය. ඔහු දේශනය අවසන් කළේ ‘සතුරන්ට විරුද්ධව සටන් කරමු’ යන පාඨය කීප වතාවක්ම උච්චාරණය කරමිනි.

පොල්පොට් ඉතා දක‍ෂ කථීකයෙකි. ඒ පිළිබඳව කිසිඳු සැකයක් නැත. ඔහු නිතරව කථා කළේ ‘ජනතාව අපට කැමති වීම සඳහා අප කුමක් කළ යුතුද යන්න පිළිබඳවය. ඔහු ඒ සඳහා උනන්දු විය. එහි ප්‍රතිඵලයක් ලෙසට ජනතාව විශේෂයෙන් දුගී, නූගත් ගොවීන් ඔහු වටා ඒකරාශී වූහ. සියළු විනාශයන් හමුවේ වුවද, මෙම කොටස් ඔහුගේ මරණය දක්වා පොල්පොට්ට පක්ෂපාති වූහ. ඔහු වචන වලින් අපව වශී කළේය. කම්පුචියාව ගලවා ගැනීමට පොල්පොට්ට වඩා සුදුසු අයෙක් අප එකල නුදුටුවෙමු. ඔහුට කම්පුචියාවේ ඉරණම භාරදිය යුතුයැයි අපි තීරණය කළෙමු.

බලය ලැබීමෙන් පසු පොල්පොට් කළ කී දෑ පිළිබඳව කථා කිරීම අනවශ්‍ය ය. ඔහු කම්පුචියාව විනාශ කළේය. සිහනුක්ගේ රජය දූෂිත හා නිළධාරිවාදයෙන් පිරී තිබුණද කෙමරුජ්වරු මෙන් මානව සංහාර කළේ නැත. පොල්පොට් මරා දැමුවේ කම්පුචියාවේ හදවතයි. පොල්පොට්ගේ දේශන වලට වශීවූයේ අප පමණක් නොවේ. විශ්වවිද්‍යාල සිසුහුද ඔහු වටා සිටියහ. එහෙත් කෙමරුජ්වරු උගත් ජනතාව සැලකූයේ සතුරන් වශයෙනි.

අවසාන විග්‍රහයේදි බලන විට පොල්පොට්ද දේශපාලනඥයෙකි. ඔහු මිනිසුන්ගේ සිත් තදින් ග්‍රහණය කර ගනිමින් දක‍ෂ ලෙස කථා කළේය. එහෙත් ප්‍රායෝගිකව යමක් ඔහුට කළ හැකිවීද යන ගැටළුව පසුව අපට පසක් වූ නමුදු ඒ වන විට අප මාරාන්තික වැරැද්දක් සිදුකොට තිබුණි. පොල්පොට්ට දර්ශනයක් තිබූ නමුදු එය මරණීය විලාපයන් ගෙන ආවේය. එවැනි දර්ශනයකින් ජනතාවට ඇති සෙත කුමක්ද යන්න අප විමසා බැලිය යුතුය. ඔහු කථා කළේ අතීත ඇංකෝර් ශිෂ්ඨාචාරය පිළිබඳවය. සමෘධිමත් ගොවි සමාජයක් පිළිබඳවය. සමාජවාදී රාජ්‍යයන් පිළිබඳවය. පන්ති භේදයකින් තොර සමානාත්මතාවය රජයන දේශයක් කම්පුචියාවේ බිහි කරන බවට ඔහු ශපථ කළේය. එහෙත් පොල්පොට් බිහිකළේ හිට්ලර්ගේ ශාපයට සමාන කළහැකි විපරීත දේශයකි.

මෙවැනි විනාශයක් සිදුවීමෙන් පසුව වුවද ඔහුට පශ්චත්තාපයක් නොවීම අපට ගැටළුවකි. ‘ඔහු මිලියන ගණන් ජනතාව මරා දැමුවා’ යන්න පිළිගන්නේ නැත. ඔහු තමා ඇතුළු කෙමරූජ් නායකයන්ගේ ක්‍රියා කලාපවලට වගකීම දැරුවේද නැත.

( David Chandler විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන ලද කම්පුචියානු ජාතිකයෙකුගේ ප්‍රකාශයකි.)
පොල්පොට්ට අවශ්‍ය වූයේ සමාජය ශුද්ද කිරීමටය.

පොල්පොට් ඇතුළු පැරිස් කවයේ සාමාජිකයන්ට කම්පුචියාව යටත් විජිත භාවය නිසා අත්පත් කරගත් සමාජ ආර්ථීක ගැටළු විසඳීමටත්, බටහිර බලපෑම්වලින් නිදහස් කර ගැනීමටත්, අවශ්‍යව තිබුණි. කම්පුචියාව කෘෂි ආර්ථීකයක් මගින් ස්වයං පෝෂිත කිරිමට ඔව්හු සැළසුම් කළහ. මේ සඳහාා ඔවුන්ගේ සැලැස්ම වූයේ මුළු රටේම ශ්‍රමය කෘෂි කාර්මාන්තය වෙත ඒකරාශි කිරීමටය. මේ සඳහා මිනිසුන් තම නිවෙස් වලින් ඉවත් කොට ගොවිබිම් කරා යැවීමට ඔව්හු තීරණය කළහ. මෙම ගොවිබිම්වලදී හරකුන්, ගොවි උපකරණ, සාමුහිකව භාවිතා කළ යුතුව තිබුණි.

මිනිසුන් තනි ඒකක ලෙස පාලනය කිරීම සඳහා පවුල් බලපෑම නිශේධනය කරනු ලැබීය. පවුලේ සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් කරනු ලැබීය. මෙය සාමුහිකත්වය වර්ධනයට ගත් පියවරක් ලෙස පක්ෂය විග්‍රහ කළහ. පවුල් වලින් පිටමං කළ ළමුන් ඔවුන්ගේ වයස් අනුව වෙන වෙනම කඳවුරුවල රඳවනු ලැබීය. දෙමාපියන්ට දරුවන් කෙරෙහි කිසිඳු බලපෑමක් කිරීමට මේ නිසා නොහැකි විය.

සමාජය ශුද්ධ කොට සමෘධිමත් දේශයක් බිහි කිරීමට පැමිණි පොල්පොට් ඇතුළු කෙමරූජ් නායකයන් ආගමික සංස්ථා කෙරෙහි දැක්වූයේ සතුරු බවකි. එම නිසා ආගමික මධ්‍යස්ථාන විනාශ කිරීමත්, භික‍ෂූන් හා ක්‍රිස්තු භක්තිකයන් මරා දැමීමත් සිදු කෙරිණි. කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ඔවුන්ට සැලසුම් තිබුණේ නැත. නවීන තාක‍ෂණය, පොහොර භාවිතය, ප්‍රතික්ෂේප කළ ඔවුන් සම්ප්‍රදායික ක්‍රම මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් මිනිසුන් පෙලුහ.

මෙම කෘෂි උටෝපියාව නිර්මාණය කිරීමේදී පීඩනයට පත්වූයේ නාගරික වැසියන් පමණක් නොවේ. ග්‍රාමීය ප්‍රදේශවල ගොවීහුද පීඩාවට පත්වූහ. ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාව බිඳ දමනු ලැබීය. ඔවුන් ගොවීන් නොව කෘෂි වහළුන් බවට පත් කරනු ලැබීය. සමාජ ශ=ද්ධකරණය වෙනුවට ඔවුන් ඇති කළේ විශාල සමාජ වියවුලකි.
පන්ති අර්බුදය පොල්පොට් දුටු අයුරු

පොල්පොට් විග්‍රහ කළ ආකාරයට විප්ලවයට පෙර කම්පුචියාව පන්ති පහකින් සමන්විත විය. එනම් ගොවීන්, කම්කරුවන්, බුර්ෂුවා කොටස්, ධනපතියන් හා වැඩවසම් ක්‍රමය ව්‍යාප්ත කළ ඉඩම් හිමියන්ය. මෙම පන්ති ක්‍රමය නැතිකර දැමීමට පොල්පොට්ට අවශ්‍ය විය. ඔහුගේ වෑයම වූයේ පියවරෙන් පියවර නොව කෙළින්ම කොමියුනිස්ට් සමාජයක් කම්පුචියාවේ ඇති කිරීමටය. එය එක්තරා ආකාරයක අත්හදා බැලීමකි. ඒ සඳහා ගෙවිය යුතු වන්දිය පිළිබඳව පොල්පොට්ට අවබෝධයක් තිබුනේ නැත.

පොල්පොට් ඔහුගේ Monarchy or Democracy? පොත මගින් කම්පුචියාවේ ගරා වැටෙන රජ පෙළපත පිළිබඳව කරුණු දැක්වීය. එසේම පන්ති අර්බුදය අවසන් කරන අයුරුද ඔහු පවසයි.

1975 අප්‍රේල් 17 දිනෙන් පසු දේශපාලනික වශයෙන් සැකයට බඳුන්වූ නගරබද අළුත් ජනයා ( new people ) ඔවුන්ගේ ධනයට අස්වාමික කොට ග්‍රාමීය ප්‍රදේශ කරා පළවා හරින ලදී. මෙම ප්‍රමාණය මිලියන තුනක් පමණ විය.

සෑම පුද්ගලයෙකුගේම පන්ති ස්වභාවය පරික‍ෂාවට ලක් කෙරුණි. නගරබද අළුත් ජනයා වහළුන් මට්ටමේ ලා සලකා කුඹුරු වැඩට දක්කන ලදී. විප්ලවයෙන් පසු මිනිසුන් කම්පුචියානු භාෂාවෙන් Opokarහෙවත් උපකරණ බව කෙමරූජ් න්‍යාය මගින් ප්‍රකාශයට පත් කෙරිණි. පන්ති භේදය තුරන් කෙරුණු බව කීවද Angkar පාක්ෂිකයන්, කෙමරූජ් හමුදා භටයන් අන්‍ය ජනතාවට වඩා වරප්‍රසාද ලැබූහ. සාගත අවස්ථා වලදී පවා ඔවුන් අනෙකුත් සාමාන්‍ය ජනයා මෙන් හාමතට ගොදුරු වූයේ නැත. ඔවුන් ගංගා අසල උණ බට වලින් අළුත් නිවාස තැනූහ. පොල්පොට්ට පක්ෂපාත වූ හමුදා කොටස් (මොවුන් Unconditional Division ) ලෙස හඳුන්වන ලදී. එලෙසම ඔවුන්ට විශේෂ වරප්‍රසාද හිමි වූහ.
පොල්පොට් ඔහුගේම කුමන්ත්‍රණයේ ගොදුරක් විය.

කම්පුචියාව පිළිබඳ ප්‍රවීණ දැනුමකින් යුක්තවූ ලේඛකයෙකු වන ඩේවිඩ් චැන්ඩ්ලර් පවසන ලෙසට පොල්පොට් ඔහුගේම සැකයේ ඔහුගේම අස්ථාන බියේ, ඔහුගේම කුමන්ත්‍රණයේ, ගොදුරක් බවට පත්විය. පොල්පොට් සියැසින් දැක සිටි ඩේවිඩ් චැන්ඩ්ලර් පොල්පොට් අසංවිධානාත්මක ගති පැවතුම් තිබු , විශ්වාසය තැබිය නොහැකි, නිතරම බියෙන් පසුවූ පුද්ගලයෙකු බව පවසයි.

සෑම අයෙකුටම ද්‍රෝහියකු යැයි හුදු සැකය පිට ලේබල් ගසා සමාජයෙන් පිටමං කළ පොල්පොට්ටද අවසානයේ තම කෙමරුජ් සංවිධානය විසින් ද්‍රෝහියකු ලෙස නම් කරන ලදී.
මහළු වී ගිය දුබල පොල්පොට් නිවාස අඩස්සියේ සිටිනු මම දුටුවෙමි.

කම්පුචියානු ජනමාධ්‍යවේදියකු වන Samkhom Pin පොල්පොට්ගේ අවසන් සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට හැකි වූ මාධ්‍යවේදියකි. “මගේ සෞඛ්‍ය තත්වය ක්‍රම ක්‍රමයෙන් පිරිහීගෙන යනවා”ඔහු Samkhon Pin ට කිවේය. “රුධිරය මගේ හිසට ගමන් කරන්නේ අසීරුවෙන්. මගේ හිස ඇදුම්කනවා”පොල්පොට් පැවසීය.

පොල්පොට් පිළිබඳව නරොදම් සිහනුක් කුමරු මෙසේ කියයි

පොල්පොට් විසිවන සියවසේ සිටි නරකම ආඥාදායකයන්ගෙන් කෙනෙකි. ඔහුට කථාවෙන් හා හැසිරීමෙන් අන් අය වසඟ කරවා ගැනීමේ හැකියාවක් තිබුණි. මතුපිටින් ඔහු පෙනුනේ ඉතා ශාන්ත, නිහතමානි මෘදු අයෙකු ලෙසටය. ඔහු ඉතා ආචාරශීලිය. කරුණාවන්ත හැසිරීම් රටාවක් පෙන්විය. එහෙත් ඔහුගේ අභ්‍යන්තරය දුෂ්ඨකමින් පිරී පැවතුනි.

ඔහු කිසිවෙකු විශ්වාස කළේ නැත. නිබඳවම අන්‍යයන් සැක කළේය. ඔහු තුළ සතුරන් පිළිබඳව තිබුණේ පැරනොයිඩ අදහස්ය. සෑම අස්සක් මුල්ලක් නෑ ඔහු සතුරන් සෙවීය. ඔහුගේ ගිලටිනයට මිනිස්සු, ගැහැණු ළමයි දසදහස් සංඛ්‍යාවක් හසුවී නිහ~ වූහ.

ඔහු දෙවියන් පිළිබඳව විශ්වාස කළේ නැත. ඔහු තමා කම්පුචියාව බේරා ගැනීමට පැමිණි ගැලවුම්කාරයා ලෙස විශ්වාස කළේය. ඔහු සැබවින්ම උමතු පුද්ගලයෙකි.
පොල්පොට් මිනිසුන් මරා දැමුවේ මන්ද?

පොල්පොට් මිනී මැරුවේ මන්ද යන ප්‍රශ්නයගැන පුවත්පත් කලාවේදී රොබට් ෆුල්ෆෝර්ඩ් මෙසේ පිළිතුරු දෙයි.

ඔහු මිනිසුන් ඝාතනය කලේ එය යුක්ති සහගත බව සිතූ නිසාවෙනි. මිනිසුන් මරා දැමීම තුළින් මානව වර්ගයාට සේවයක් කළ හැකි බව පොල්පොට් ඇදහීය. ඔහු මිනිසුන් ඝාතනය කළේ අනාගතය සඳහාය. එය ඔහුට විප්ලවය සඳහා කළ යුතුව තිබූ කාර්යයකි. මනුෂ්‍ය ඝාතන ඔහු හඳුනාගෙන සිටියේ නීතිගත දේශපාලන ක්‍රමවේදයක් (Legitimate Political Technique)
මෙවැනි දේශපාලන අරමුණු සඳහා ඝාතන කරන විට එය නවතා දැමීම කළ නොහැක. එවිට පද්ධතිය කඩා වැටේ. එම නිසාම දිගින් දිගටම ඝාතන කළ යුතුය. සමාජය වෙනස් කරනුවස් පුද්ගල ඝාතන ඔහු අනුමත කළේය. ඔහු පමණක් නොව ස්ටාලින්, ට්‍රොට්ස්කි හිට්ලර්, මාඕ වැන්නවුන් ද තම දේශපාලන විව්‍යුහයන් ගොඩනැගීම සඳහා මනුෂ්‍ය ඝාතන කළහ.

මෙවැනි ඝාතන පන්ති අරගල අවසන් විසඳුම, සංස්කෘතික විප්ලව, වාර්ගික ශුද්ධ කිරීම,වැනි හැඳින්වීම් තුළින් සිදු කළහ. ‘ඔබට බිත්තරය බිඳින්නේ නැතිව ඔම්ලට් එක්ක සෑදිය නොහැක’ යන වදන යොදා ගනිමින් ඔව්හු මනුෂ්‍ය ඝාතන සිදු කළහ.

පොල්පොට් කීවේ කුමක්ද? ‘අපි පැරණි තණකොළ ගිනිතබා විනාශ කරමු. එවිට අළුත් නිල්වන් තණපත්‍ර පොළොවෙන් මතුවේ. එය පැරණි දෑ මෙන් නොව අන්ර්ඝය. පිරිසිදුය.’

‘එක් අයෙකුගේ මරණය ඛේදවාචකයෙකි. එහෙත් මිලියන ගණනකගේ මරණය හුදු සංඛ්‍යා ලේඛන වේ.’ යන ස්ටාලින්ගේ වැකිය පොල්පොට් ග්‍රහණය කරගත්තා නොඅනුමානය.

රැඩිකල් මනෝචිකිත්සකයෙකුවූ Frantz Fanon 1950 ගණන් වලදී ඇල්ජීරියාවේ නිදහස් ව්‍යාපාරය සමඟ වැඩ කළේය. ඔහු සාමූහික විරේකය හෙවත් Collective Catharsis පිළිබඳව කථා කළේය. මින් ඔහු අදහස් කළේ පීඩිතයාට විමුක්තිය ලැබීම සඳහා තම පීඩකයා මරා දැමිය යුතුයි යන්නයි. පීඩකයා මරා දැමීමෙන් පසුව විමුක්තිය ලැබේ. විප්ලවවාදීන්ට ප්‍රචන්ඩත්වය අවියක් ලෙස යොදා ගැනීම ත‍ර්මරz ත‍්බදබ සාධාරනීකරණය කළේය. මෙම අදහස් විශාල වශයෙන් පොල්පොට්ට බලපාන ලදී. ප්‍රංශයේ ගෙනගන්නා සමයේදී පොල්පොට් Frantz Fanon ගේ පොත් කියවීය. ඝාතනය කිරීම මගින් ආත්මය ඉහලට එසවෙන බව පොල්පොට් විශ්වාස කළේය. පොල්පොට් පැවසූ පරිදි මිනිස්සු ඔවුන්ට අවශ්‍ය දේ කුමක්ද යන්න නොදනිති. ඔව්හු මායා අන්ධකාරයේ ගැනී සිටිති. ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුය. එලෙස පුන්රුත්ථාපන කළ හැක්කේ ශ්‍රම කඳවුරු තුළය. මිනිසුන් මරා දැමීම කම්පුචියානු විප්ලවයට අවශ්‍ය විය. පන්ති රහිත කොමියුනිස්ට් දේශයක් නිර්මාණය කිරීමේදී එය අත්‍යාවශ්‍යයෙන්ම කළයුතු කාර්යක් බව පොල්පොට් ඇදහීය. ඔහුගේ මාරක අත්හදා බැලීම් වලින් පසුවද ඔහුට ඝාතන පිළිබඳව පශ්චත්තාප නොවීය. ඔහු සැලකුවේ එය අනිවාර්යෙන්ම සිදුකළයුතු ක්‍රියාවක් ලෙසටය.

1979 දී ABC News මගින් පොල්පොට් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මුදල් භාවිතය අවලංගු කිරීම තමා අතින් සිදුවූ වරදක් බව ප්‍රකාශ කළේය. එහෙත් නිහඬකරන ලද මනුෂ්‍ය ජීවිත ගැන එක වදනක් හෝ කීවේ නැත.
පොල්පොට් තමාගේ ආධාරකරුවන්ද මරා දැමීය

කුප්‍රකට S-21 Tuol Sleng වදකාගාරයේ රඳවා සිටි සිරකරුවන් අතර පොල්පොට් ගේ පැරණි ආධාරකරුවන් හා කෙමරූජ් හිටපු නායකයන්ද වූහ. තම ආධාරකරුවන් සී.අයි.ඒ. ඒජන්තවරු ලෙස සැකකළ පොල්පොට් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග දෙන ලදී. ඔහු වරක් මෙසේ කීවේය. “මෙම පුද්ගලයන් අපගේ සංවිධානයේ කොටස්කරුවන් වුවද ඔවුන් විෂබීජ වැනිය. ඔවුන්ට පක්ෂයට බරපතල හානි සිදුකළ හැකිය.”

මෙලෙස අත්අඩංගුවට ගත් පක්ෂයේ සාමාජිකයන්ට විවිධ චෝදනා එල්ල කරන ලදී. ඔවුන්ට පාපොච්චාරණය කිරීමට බල කරමින් වධ බන්ධනයන්ට ලක්කොට තිබේ. ඔවුන් කිසිවෙකුට දිවිගලවා ගැනීමට නොහැකි විය. මාරක සංවිධානයක් ගොඩ නැගීම සඳහා දායක වූ ඔවුන්ව එම සංවිධානය විසින්ම බිලිගන්නා ලදී.
Vang Phean S-21 හි වධකයා

S-21 වධකාගාරයේ සේවය කළ ඪ්බට ඡයැ්බ තමන් කළ වැරදි පාපොච්ඡාරණය කළේ මෙසේය.S-21 වධකාගාරයෙන් 16000 ක් පමණ සිරකරුවන් මරා දමන ලදී. සිරකරුවන් මැරීමට පෙර ඔවුන්ට වලවල් කැපීමට නියෝග දුන් අතර, කැපූ වලවල් ඉදිරියේ සිරකරුවන් සිටුවනු ලැබූහ. පණපිටින්ම ඔවුන්ගේ බඩවල් කපා දමන ලදි. සිරකරුවන් මියගියේ පැය ගණනක් වද විඳීමෙන් පසුවය. ඔවුන් නිරිසතුන්මෙන් වේදනාවෙන් කෑගැසූහ. තවත් අවස්ථාවලදී වධකාගාරයේ Ta Sok නමැති අලූගෝසුවා මිනිසුන් ගස් වලට බැඳ ඔවුන්ගේ බඩකපා අක්මාව ඉවත් කරන ලදී. මෙලෙස ඉවත් කරන ලද මිනිස් අක්මා කුඩා ලිපක් උපයෝගි කර ගනිමින් උයා ඔහු අනුභව කළේය. සෑම දිනකම පාහේ සවස 6 සිට රාත්‍රී 10 දක්වා සිරකරුවන් ප්‍රශ්න කිරීම් වලට ලක් කරන ලදී. ඔවුන්ගෙන් දිනකට 300 පමණ මරා දමන ලදී.

ඔවුන් ළමයින් ඝාතනය කරනු මම සියැසින් දුටුවෙමි.

1979 දී කෙමරුජ්වරුන්ට එරෙහිව පැවති නඩු විභාගයේදී, Sim Phia අවුරුදු 10-13 අතර ළමයින් නව දෙනෙකු, කෙමරුජ් භටයන් ඝාතනය කළ බව පැවසීය.

ඔව්හු ළමයින් හමුදා ලොරියකින් බිමට තල්ලූකර දැමූහ. ඔවුන්ගේ දෑත් ගැට ගසා තිබුණි. මම පොල්ගසකට මුවාවී මේ මාරක දර්ශනය නැරඹුවෙමි. ළමයින් ජීවිත දානය ඉල්ලා ආයාචනා කළද කෙමරූජ් භටයන් එය තැකුවේ නැත. ඔව්හු ළමයින් පණ පිටින්ම කිඹුලන්ට ආහාර පිණිස ගඟට වීසි කළහ. නිරාහාරව සිටි කිඹුල්ල ළමයින්ගේ මස් කෑමට පොර කෑහ.
ඉයෙං සාරි ඝාතන සඳහා නියෝග දුන්බව සාක්ෂිකරුවෝ පවසති.

සාක්ෂිකරුවන් පවසන පරිදි කෙමරුජ් රජයේ හිටපු විදේශ ඇමති ඉයෙං සාරි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන් මරා දැමීමටත් නියෝග දී තිබේ. තවද ඔහු විදේශ අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ී-21 වධකාගාරයට යැවීමට මූලිකව ක්‍රියා කළේය. ඔහුට එදිරිව නඩු විභාගය සඳහා සාක්ෂි විමසමින් තිබේ.
ඉයෙං සාරිට පොදු සමාව ලැඛෙයි.

1996 වසරේ ඉයෙංසාරිට රාජකීය කම්පුචියානු රජය විසින් ඔහු කළ අපරාධවලට සමාව දෙනු ලැබීය. වින්දිතයන් බොහෝ දෙනෙකු කෙමරුජ් ප්‍රධාන පෙළේ නායකයාට සමාව දීම පිළිබඳව කථා කළේ අකමැත්තෙනි.

නීති විශාරදයන් පෙන්වා දෙන අන්දමට රාජකීය කම්පුචියානු රජයේ සමාව අන්තර් ජාතික නීතිය හමුවේ බල නොපැවැත්වේ. මේ අනුව මනුෂ්‍යත්වයට එරෙහිව කළ අපරාධ වලට අන්තර්ජාතික නීතිය අනුව ඉයෙං සාරිට නඩු විභාගයකට මුහුණ දීම අනිවාර්ය වේ.
ඔව්හු තවමත් අපගේ සමාජයේ නිරුපද්‍රිතව ජිවත් වෙති.

Sok Chea ගේ පියා සමෘධිමත් ව්‍යාපාරිකයෙකු විය. කෙමරූජ්වරු බලයට පැමිණි වහාම ඇයගේ පියා වෙඩිතබා මරා දමන ලදී. නව යොවුන්වියේ දැරියක වූ ඇයව සමූහ ගොවිපළකට යවන ලදී. එහිදී ඇය දුෂණයට හා වධබන්ධනයට ලක් කෙරිණි. කෙසේ නමුදු ජීවිතය ගලවා ගැනීමට ඇය සමත් වූවාය. දැන් Sok Chea හතළින් හැවිරිදි ගෘහණියකි. ඇය කම්පුචියාවේ අග නගරයේ ජීවත් වෙයි. ඇය පවසන පරිදි හිටපු කෙමරුජ් පීඩකයන් දැන් පොදු සමාව යටතේ තමන් කිසිම අපරාධයක් නොකළ පරිද්දෙන් ජීවත් වෙති. එය යුක්තිය නොවේ. ඔවුන් කළ අපරාධ මම දෙනෙතින් දුටුවෙමි. මහමගදී මට ඔවුන් මුණ ගැසේ. ඔව්හු අපගේ ජීවිත විනාශ කළහ. එහෙත් ඔවුන් දැන් නිරුපද්‍රිතය. අපට තවමත් යුක්තිය ඉටු වී නොමැත.
Duch කාන්තා හා ළමා දින සැමරූ අයුරු

1977 වන විට Tuol Sleng වධකාගාරයේ සේවය සඳහා වයස අවුරුදු 14-21 අතර පිරිස් බඳවා ගන්නා ලදී. මොවුන්ට මිනිසුන් වධයට පත් කිරීමට හා මරා දැමීමට පුරුදු කරන ලදී.

Tuol Sleng වධකාගාරයේ 15000 කට ආසන්න පිරිසක් රඳවා සිටි අතර, මොවුන්ගෙන් කුමන්ත්‍රණ පිළිබඳ නිතරම සැකයෙන් පසුවූ පොල්පොට් මෙම පාක්ෂිකයන් ක‍ෂA ඒජනතයන් යැයි චෝදනා කොට සිරගත කිරීමට නියම කරන ලදී. 1977 ජුලි 01 දින ඔමදක ීකැබට වධකාගාරයේ පාලක ෘමජය කාන්තා දිනය සමරන ලදි. ඔහු කාත්නා දිනය සැමරුවේ කාන්තාවන් 114 මරා දමමිනි. 1977 ජූලි 2 දින ළමා දිනය සැමරීය. එදින මරාදැමූ ළමුන් ගණන 74 කි. සමහරක් ළමුන් මරා දමන ලද්දේ කියත් වලින් කපමිනි.

Duch හෙවත් Kang Kech Eev වධකාගාරයේ සිරකරුවන් යොදා ගනිමින් ප්‍රාථමික මට්ටමේ අමානුෂික පරීක‍ෂණ කළ බවද දැන් හෙළිවී තිබේ. අවුට්ස්විව් නට්සි වද කඳවුරු පිළිබඳ අධිකරණ ක්‍රියාදාමය වාර්තා කළ Layal Gould පවසන පරිදි නට්සි වෛද්‍ය ජෝශෆ් මෙංගල් යුදෙව් දරුවන්ගේ දෙනෙත් වලට නිල් පැහැති දියර එන්නත් කොට ඔවුන්ගේ දෘෂ්ටි ස්නායු පරීක‍ෂා කිරීමට ප්‍රථම ළමුන්ට ලොලිපොප් දුන්නේය. එහෙත් Duch එතරම්වත් ළමුන් කෙරෙහි ආචාරශීලි නොවීය.

1978 දී Duch සේවයෙන් පහකළ කෙමරුජ් සොල්දාදුවන් 300 කිසිඳු නඩු විභාගයක් වත් නොපවත්වා මරා දැමීය. සමහරෙකු මරා දැමුවේ ඔවුන් කකුල්වලින් එල්ලා තිබියදී හිස කොටස වතුර බැරල්වලට ඇතුල් කරමිනි.
වරක් Duch කෙමරුජ් නායකයකුවූ භමදබ Nuon Chea – Brothe- No 2 ගේ විධානයක් අනුව ඇමෙරිකානු, ඕස්ට්‍රේලියානු හා යුරෝපියානු ජාතීන්ගෙන් සමන්විත වූ අට දෙනෙකුගේ කණ්ඩායමක් මරා දමන ලදී. එසේම පොල්පොට්ගේ උදහසට ලක් වූ කෙමරුජ් නායකයකු වූ Von Vet o Sutch විසින් මරා දමන ලද බවට සාක්ෂි තිබේ.

මෑතකදී ඔහු Far Eastern Economic Review සඟරාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී සිරකරුවන් කුකුළන් මෙන් ඛෙලිකපා මරා දැමූ බව කීවේය.

මූර්ති ශිල්පියෙකු වන ෂැප ක‍ය්බල ෘමඑජය පිළිබඳව අවබෝධයක් තිබූ අයෙකි. ඔහුගේ ප්‍රකාශ අනුව Duch උගත් පුද්ගලයෙකි. ඔහු හොඳ කථීකයෙකි. Duch මෙම මූර්ති ශිල්පියා ලවා Tuol Sleng වධකාගාරයට අවශ්‍ය ආම්පන්න සෑදවිය. මෙම ආම්පන්න භාවිතා කළේ මිනිසුන් වද බන්ධනයට පත් කිරීමටය. Duch ගේ නියෝගය ඉටු නොකළේ නම් තමාගේ මරණය නියත බව දත් මූර්ති ශිල්පියා එම කාර්යය ඉටු කළේය. එසේම ඔහුගේ දිවි රැකුණේ පොල්පොට්ගේ මූර්ති කිහිපයක් ද නෙලීමෙනි.ඇතැම් මූර්ති ඔහු ප්‍රමාණයෙන් විශාලව හා දීර්ඝ කාලයක් ගනිමින් කළේ තම මරණය කල්තබා ගැනීමේ උපක්‍රමයක් ලෙසටය. කෙසේ නමුදු Duch ගේ ග්‍රහණයෙන් බේරීමට මෙම මූර්ති ශිල්පියාට හැකි විය.

(මතු සම්බන්දයි )

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද කෙමරූජ් භීෂණය කෘතිය​ ඇසුරෙනි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල