කාලීන සංවාද, ප්‍රහසන, විවිධාංග

අතර මග . . . !

0

පසුගිය කාලය පුරාවට මා කාලය ගතකලේ මාගේ ලොරි පොඩ්ඩා නොහොත් ට්‍රක් රිය ගොඩ දා ගැනීමටය. පළමුව මා එහි සවිකොට තිබූ වේග හතරේ ගියර පෙට්ටිය ගලවා ඒ වෙනුවට වේග පහේ; තේරෙණ සිංහලෙන් කියනවානම් 5 ස්පීඩ් ගියර පෙටියක් සවි කිරීමය.

එයට අඩු වැඩිය ලෙස ක්ල්ච් ප්ලේට් හා ප්‍රෙෂර් ප්ලේට් ද අතුරු පස ලෙස සැපයීමි. එම ගියර පෙට්ටිය තිබුනු එකට වඩා සෙන්ටි මීටර 10 ක් දිගින් වැඩි නිසා එයට ගැල පෙන්නට පසුපස අවර පෙති කඳ හෙවත් ප්‍රොපෙලර් ෂාෆ්ට් එක කොට කර සාපේක්ෂව ඉදිරිපස ප්‍රොපෙලර් ෂාෆ්ට් එක දිගු කලෙමි. ඉන් පසු සිදු කලේ පසු පස ඩිෆරන්ෂලය ඇක්සලය හා දුනු මිටි දෙක සමගම ඉවත් කොට එයට 5 ස්පීඩ් එකලසක් එක් කිරීමය. මන්ද 5 ස්පීඩ් ගියර පෙට්ටියට ගැලපෙන ඩිෆරෂලයේ; පීනියන් හා ක්‍රවුන් වීලයේ දැති අනුපාතය 4 ස්පීඩ් ඩිෆරන්ෂලයට වඩා වෙනස් වන නිසාය. මේ සියල්ල සිදුකලේ මිතුරකු සතු ගර්හිත නිසාන් පැට්රල් වැගනයකින් ගලවා නැවත මාගේ ලොරි භාගයෙන් ඉවත් කරණා අදාල කොටස් නැවත සවි කර දීමේ පදනම මතය. ඒ අඩුපාඩුවට ගෙවන මුදල්වලට අමතරවය ! සාපේක්ෂව වැගනයේ දුනු මිටි සමන්විත වූයේ තුනී දුනු කොල හතකින් වන අතර ට්‍රක් රියේ දුනු මිටිවල වූයේ ගනකමින් වැඩි දුනු කොල හතරක් පමනි. මේ නිසාම ට්‍රක් රියට අමතර සුව පහසුවක් එක් කිරීමට දුනු මිටි හතරද මාරු කලෙමි. මේ සියල්ල සිදු කලේ මා තනිව වෙහෙසමින් වන අතර පසු ගිය මාසය තුල මා ඔසවන ලද, අදින ලද, තල්ලු කරණ ලද මුළු බර කිලෝ 1000 ඉක්මවන්නට ඇත. මේ සියල්ල සමග සිදුවූයේ පසුගිය කාලය පුරා පාන්දර 1.00 -2.00 වනතුරු නිදිවරමින් මජං නාගෙන වැඩ කල අතර මේවන විට ඉදිරිපස දුනු ෂකල් හා දුනු බුෂ් අළුතින් යෙදීම හා මාගේ ට්‍රක් රියෙන් ඉවත් කල ඉදිරිපස දුනු මිටි දෙක සමන්විත ඩිෆරන්ෂලය මිතුරාගේ රථයට සවි කිරීම කල යුතුව ඇත !

මේ සියල්ල වචන දෙතුන් සීයකින් ලියා අවසන් කල හැකි වුනද නිමකිරීමට ගතවන ශ්‍රමය -මිනිස් පැය ගනන අති මහත්ය. වෙහෙස සෙසු පටු නැත. වින්ද දුක දන්නේ මාත් හදවතත් පමණි !

මේ සියල්ලටම වඩා එය; මා ඔබෙන් ඈත් කර තැබීමට හේතු විය. මෙනිසාම ලියන්නට බොහෝ දේ හිත තුල ඉපදී හිත තුලම මිය ගියේ තුන් මාසයේ, හත් දවසේ තබා පාන්ශුකූලයටවත් ඉඩක් නොතබාය ! එනිසාම බයිසිකල් පැදිල්ලද තරමක් පසු බෑවේ; ඉදිරියට එන උදරය ඉදිරියේය. නමුත් සිතට වදින දසුන් රැසක්පසුගිය කාලය පුරාවට දැකීමි.

මේ ඒ පිළිබඳව සටහනක් !

රවිශංකර් හා ටෙඩී බෙයාර් . . . !

ඊයේ හවස වැඩ ඇරී පුරුදු පරිදි මගේ විශ්වාසවන්ත ගමන් සගයා වන ස්කොට් P6 සමග පාරට වැටුනෙමි. මේ දිනවල ඉඳිවෙමින් පවතින කැළණි නව පාලම හා කණු මතින් රාජගිරිය තෙක් දිවෙන මාර්ගයේ ඉදිකිරීම කරණකොට ගෙන උදේ සිට රාත්‍රිය තෙක්; දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හංදිය, තොට ලඟ, පෑලියගොඩ, නව කැළණි පාලම, කැළණිය, ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය එකී නොකී මුළු මහත් ප්‍රදේශය සිසාරා මැවෙන්නේ කරවටක් උතුරා පිටාර ගලන ට්‍රැෆික් ගං වතුරකි ! සනත් නන්දසිරි කියනා පරිද්දෙන් සැන්දෑ කළුවර ගලා හැලෙන විට – සෙනෙහස දැල්වූ නිවස සොයා යන මහ පිරිස; මේ ගං වතුරට, මියෙම්වා – රැකෙම්වා කියා සිතා පැන; පොලිස් කොස්තාපල් මහත්වරුන් විසින්; සුරා සුර යුද්ධයෙදී අමාව සොයා කිරි සයුර කළඹන පරිද්දෙන් ඇතිකරණ සුට්ටං රැළිවල මහිමෙන් මෙහා ඉවුරේ සිට එහා ඉවුරට සේන්දුවී පවුල නිදි අතරේ නිවෙස්වලට ගාල් වෙති !

ඊයේද හෙට වගේම ට්‍රැෆික් වැඩි දවසක් විය ! (වැරදීමකින් ලියැවුනක් නොව හෙට දවස මට ඒ තරම්ම ෂුවර්ය) වසා දමා තිබුනු දෙමටගොඩ රේල් ගේට්ටුව අතරින් රිංගාගත් මා ට්‍රැෆික් ගං වතුරට සේන්දු විය. කුඩා කුඩා රැළිවලට නතුව සෙමෙන් සෙමෙන් සමන්තා හෝල් හංදියටද එතැනින් වර්චූසා එක දෙසට ගසාගෙන යන්නට විය. මාලිගාවත්ත දෙසින් පැමින හිරවී තිබුනු රටේ එහා මෙහා යන සීටීබී හා ප්‍රයිවෙට් බස්; මෝටර් රථ අතර; පෙරහැරක ගමන් ගන්නා අලි ඇතුන් සේ ඇතින් කරුවලේ දිස්විය. මා ඉදිරියෙන් වූයේ දූවිළිවලින් වැසීගිය රක්ත වර්ණයෙන් අතීතයේ තියෙන්නට ඇතැයි සැක සිතෙන සීටීබී බසයකි. ඩිපෝව ලි‍යැවුනු කොටුවේ “නිකවැරටිය” කියා ලියා තිබුනි. මා මීට පෙර විටෙක කීවාසේ; චින්තන ජයසේනයන් ලියූ “මෙවර ජාතික කලා උළෙල මෙවර නිකවැරටියේදී කරටි කඩාගෙන සිදුවිය !” කියන වැකිය මතකයට ආවේ නිතැතින්මය. නැවතුනු බසය පසු කරනවාත් සමගම එහි වම් පස කවුළුවක් තුලින් මාදුටුවේ වෙනස්ම වූ දර්ශනයකි. සෙනග පිරුණු බසය දෙස නැවත වතාවක් මා බැළුවෙමි. ඒ සමගම මා ජංගමය අටවාගෙන කාච සටහණක් ලබා ගන්නට වෙසෙසුනෙමි. එය අසාර්ථක විය. ඒ සමගම ආ රැල්ලට හසුව බසය වේගයෙන් ගසා ගියේය. මා එතැන් සිට බසය හඹා පැද්දෙමි. අළුත් පාලම මතදී බසය අභිබවා යන්නට මාහට හැකිවූ නමුත් පිංතූරයක් ලබා ගන්නට ඉඩක් නොවීය. මා පෑලියගොඩ හංදියේ බලා සිට එතැන නවතනවාත් සමගම රූපයක් ලබා ගතිමි. බසය ඉගිල ගියේය. යලිත් බසය දක්නට ලැබුනේ දළුගම කන්ට්‍රාස් සිනමාහල ඉදිරියේදීය. එතැනදීද පිංතූරයක් ලබාගත් මා බසය අතහැර පදින්නට විමි.

මෙන්න ඒ පින්තූර කිහිපය.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවූ තියෝඩර් රුස්වෙල්ට් වෙනුවෙන් සැකසුනු සාදයක මේස සැරසූ රෙදි වලසුන් ටෙඩියෝ වී අප අතර පුණරුත්පත්තිය ලබා ඇත ! අපි අපේ ජනාට ආදරේට “සිරා” නැතිනම් “හිටං” කියන්නැහැ; තියෝඩර් රුස්වෙල්ට් තුමාට කියා ඇත්තේ ටෙඩී කියාය !

ඔරීමජිනල් ටෙඩී !

මේ නිකවැරටියට කරටි කඩාගෙන වඩම්මන්නේද යෝධ ටෙඩියෙකි. මෙහි විශේෂත්වය වන්නේ සෙනග පිරුණු බසයේ ටෙඩියාට තනිව ඈඳිගෙන යාමට උගේ අයිතිකරු ටිකැට්ටුවක් ගෙන ආසනයක් හිමිකර දීමය ! ඇමරිකාවේ ඌ උපන් රටේදීවත් ටිකට් එකක් ගෙන සීට් එකක ආඩම්බරයෙන් වාඩිගෙන යාමට අවස්ථාවක් ලැබී ඇතිදැයි සැක සිතෙන විටදීම මාගේ මතකයට ආවේ ඉංදියාවේ රවි ශංකර් සිතාර් වාදකයාය. ඔහුද රටකින් රටකට පියාසර කරණාවිට තම සිතාරය සඳහා ඔහුගේ අසුනට යාබද අසුන මිළදී ගන්නා බව අසා ඇත.

යාබද අසුනේ ටියුන් කරමින් සිටින්නේ වයන්නට සිතා සිටින සිතාරයක් විය හැක ! රවි ශංකර් – හැට පැන්නද බිම නොගිය වඳුරෙක් !

මෙය අසූ කාලයේ එය පුදුම සහගත කථාවක් සේ පෙනුනද මේ ටෙඩියා ඒ සියළු සැක සංකා මගේ සිතෙන් අකා මකා දැම්මේය !

“කියැවීම මිනිසා සම්පූර්ණ කරයි – රතු ලූනු පොඩි කරයි !”

කියවීම මිනිසා සම්පූර්ණ කලද ගැහැණිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇත. එනිසාම ඇය නොනවත්වාම “කියවිල්ල” කරමින් වී ඇත ! (මෙය මා කොප්පෙ ගැසුවේ කොයි ලෝකෙන්ද මාවෙත පත බෑවුනු වට්ස් අප් පණිවිඩයකිනි) තම දරුවන් කියැවීමට හුරු කර වීම; එකල බොහෝ දෙමව්පියන්හට ප්‍රශ්නයක්ව තිබුනි. දැන් දෙමව්පියන්ද බයිලා කියැවීම හැරුණු විට වෙනයම් කියැවීමක නොයෙදෙන බැවින් මේ වනවිට එම ප්‍රශ්නය සමාජය තුල සාර්ථකව විසඳී ඇති ආකාරයක් පෙනී යයි. මා කියැවීම පුරුදු පුහුණු වූයේ මාගේ මිතුරකු වූ එස්.සී.කේ. ජයකොඩි නමැති මිතුරා නිසාය. මාගේ නවාතැන්පොල අසල නිවෙසක තිබුණු අනර්ඝ එකතුවෙන් මා පාසලට ගෙන යන පොත් ජයකොඩි විසින් කියවා රස විඳ පසුව මාහට කතාන්දරයක් සේ කියාදීමෙන් පසුව ඇතිවන කුහුල නිසා මා කියැවීමට පටන් ගතිමි. එච්. රයිඩර් හැගාර්ඩ්ගේ “ඇලන් ක්වාර්ටමෙන්” පොතේ ආම්ස්ලොපාගාස් හා නස්ටා අතර කිරිගරුඬ සෝපානය ඉදිරියේ වන ද්වන්ධ සටන ලියැවුනු පිටු කිහිපය කියැවීමෙන් මා “කියවීමට” අත් පොත් තැබීමි. පසුව ආර්.ඒ. කුලසිංහ, සර් ආතර් කොනන් ඩොයිල්ගේ “රුදුරු බලුව” කතාව මාහට කතාන්දරයක් සේ පැවසීමෙන් නැවත කියැවීම ඇරඹිමි. අපට පෙර පරම්පරාව කියැවීම ඇරඹුවේ ඩීමන් ආනන්දගේ පොත්වලිනි. ඊට පෙර පරම්පරාව ඩබ්ලිව්.ඒ. සිල්වාගේ යුගයය. ඊට පෙර ගෙවී ගියේ පියදාස සිරිසේනගේ කාලයය. මේ සියලු කාලයට පසුව කියවන්නට පටන් ගත්තේ “සිත්තර”, “සතුට”, “දසුන”, “සුහද” වැනි චිත්‍ර කථා පත්තරය. තවත් කලකදී එතැනට හොරෙන්ම රිංගා දරණ ගසා ගත්තේ “සූසර”, “මධුසමය” වැනි පත්තර තට්ටුවල යටින් තබා; බ්‍රවුන් පේපර් බෑග්වල දමා අලෙවි කල පත්තරය ! මේ අපේ රටේ කියැවීමේ විකාශන කළුවරේ අත පත ගාද්දි ඉහැඟෙන දැනෙන අයුරුය. කොළඹ පොත් ප්‍රදර්ශනය පොත් කියැවීම කෙසේ වෙතත් පොත් මිළදී ගැනීම විළාසිතාවක් බවට මේ වනවිට පත් කොට හමාරය. අමෙරිකාවේ නිවසක් සාදා විකුණන විටදී එහි අනිවාර්යයෙන්ම තිබිය යුත් පොත් රාක්ක පිරවීමට පොත් ගන්නේ යාර අඩි අඟල්වලින් ඇනවුම් කිරීමෙන් බව මා අසා ඇත. මේ සියල්ල අතර ලඟදී දිනෙක මා සුන්දර දසුනක් සටහන් කර ගතිමි. මෙන්න ඒ රූපය. බලන්න එම රූපයට “කියැවීම මිනිසා සම්පූර්ණ කරයි – රතු ලූනු පොඩි කරයි !” කියන යෙදුම මොන තරම් ගැලපේදැයි කියා !

තට්ටයාගේ කොලම

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල