අධ්‍යාපනික, කාලීන සංවාද

වෙල්ලාල නොවන දෙමළ කතාකරන ජනයා සමග කරන කතා

Off

සිංහලයන් උතුරු පළාතට ගිහින් දෙමළ කතාකරන ජනයා හමුවන එක ඉතා වැදගත්. කොළඹ ඉන්න රාජ්‍ය නොවන පඬියන්, සිවල් සාමාජිකයන් ආදී කී දෙනකුට දෙමළ කතා කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. ඒත් ඔවුන් තමයිලු දෙමළ කතාකරන ජනයාගේ ප්‍රශ්නය මොකක් ද කියල දන්නෙ. ඒ ප්‍රශ්නෙ අපට තේරෙන්නෙ නැතිලු. ඒක ලෙහෙසියෙන් කියන්නත් බැරිලු. බැසිල් රාජපක්‍ෂත් ඒ වගේ කතාවක් කියනවා. බැසිලිකාවෙ පූජකයන් ඒකට වෙනස් අර්ථකථන දෙන්න හැදුවත් ඔහු කළ ප්‍රකාශය ඒවට ඉඩක් තියල නැහැ. මේ කිල්ලෝටවල කුණු හෙවීමක් නො වෙයි. කුණු කන්දලයක් ගැන කීමක්. අපි ඔය ඊනියා ප්‍රශ්නය අපට තේරෙන විධියකට කියන්න පුළුවන් කෙනකු එනකන් බලා ඉන්න වෙනවා. එතකන් විසඳුමක් දෙන්න බැරි බව කාට වුණත් තොරෙන්න ඕන. ඇයි කවුරුන්වත් ප්‍රශ්නය මොකක් ද කියල කියන්නෙ නැහැ නෙ.

කොළඹ ඉන්න රාජ්‍ය නොවන පඬියන්, සිවල් සාමාජිකයන් හා තවත් අය බොහෝ දෙනකු කියන්නෙත් තවත් එවැනි ම අයකුගෙන් අහගත් කතා. ඔය අතර කොළඹ ඉන්න දෙමළ කතාකරන වෙල්ලාල ප්‍රභූ ලොක්කොත් සිංහලෙන් අර පඬියන්ගෙන් යම් යම් අයට දෙමළ ප්‍රශ්නයක් ගැන කියවනවා. මේ වෙල්ලාල ප්‍රභූන් ඉඳල හිටලා උතුරු පළාතට යන අය. ඔවුන් සමහර විට සිංහලයන් සමග ආවාහ විවාහ වෙලා. එහෙමත් නැත්නම් ඔවුන්ගේ දු දරුවන් සිංහලයන් සමග ආවාහ විවාහ වෙලා. ඒ විවාහ බොහෝ විට ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ විවාහ.

මේ වෙල්ලාලයන්ගෙන් සමහරු ලංකා ක්‍රිස්තියානි (ඇංග්ලිකන්). සමහරු මෙතෝදිස්ත. ලන්දේසින් පළමුවත් ඉංගිරිසින් දෙවනුවත් දෙමළ ජාතිවාදය ඇරඹුවෙ මේ වෙල්ලාලයන් යෙදා ගනිමින්. වෙල්ලාලයන් මෙරටට ගෙන එනු ලැබුවේ ලන්දේසීන් විසින්. වෙල්ලාල කියන එකට එක එක්කෙනා සිංහල නිරුක්ති දෙන්න හදනවා. මේ අය දන්නෙ නැහැ දකුණු අප්‍රිකාවෙ නැටෝල් කියන ප්‍රදේශයෙත් ලන්දේසින් එහි ගෙන ගිය වෙල්ලාලයන් ඉන්න බව. ඒ වෙල්ලාලයන්ටත් සිංහල නිරුක්ති දෙනවා ද? එහෙම නැත්තන් ඒ වෙල්ලාලයන් හා මේ වෙල්ලාලයන් අතර වෙනසක් තියෙනවා ද? සිංහලයන්ගෙ තියෙන එක පුරුද්දක් තමයි සිද්ධි සාධාරණය (පොදු යන අර්ථයෙන්) නොකර කතා හදන එක. දෙමළ කතා කරන ජනයා අතරත් ඒ පුරුද්ද තියෙනවා. අපට බටහිරයන්ගෙන් ඉගෙන ගන්න තියෙන එක දෙයක් තමයි කළ යුතු තැන්වල සිද්ධි සාධාරණය කිරීම.

ලන්දේසීන්ගෙන් අපටත් දකුණු අප්‍රිකාවටත් වෙල්ලාලයන් වගේ ම රෝම ලන්දෙිසි නීතියත් ලැබුණා. ඉංගිරිසින් ඒක වෙනස් කරන්න ගියේ නැහැ. ලංකාවෙ අනාදිමත් කාලෙක සිට දෙමළ කතා කරන ජනයා හිටියා නම් ඔවුන් හා අද තමිල්නාඩුවෙ දෙමළ කතාකරන ජනයා ව්‍යවහාර කරන දෙමළ අතර විශාල පරතරයක් තියෙන්න ඕන. එහෙත් ඒ භාෂා අතර වයස් පරතරය අවුරුදු තුන්සිය පනහක් පමණ. අවශ්‍ය නම් බටහිර වාග්විද්‍යානුකූල අධ්‍යයනයක් කරල දැන ගන්න පුළුවන්.

ඊයෙ පෙරේදා මෙහේ ජාතික දිනයට ද මොකක් ද එකකට පැමිණි මාලදිවයින් ජනාධිපතිතුමා ඇතුළු මාලදිවයින් වැසියන් පැවත එන්නෙ අවුරුදු අටසියයකට පමණ පෙර ලංකාවෙන් ගිය සිංහල බෞද්ධයන්ගෙන්. ඔවුන් දැන් කතාකරන්නෙ සිංහල මත පදනම් වූ භාෂාවක්. ඔවුන්ගේ භාෂාව හා මෙරට සිංහල භාෂාව අතර වයස් පරතරය අවුරුදු අටසියයක් පමණ වෙනවා. කලකට ඉහත කොළඹ විශ්වවිද්‍යාලයේ හේමපාල විජේවර්ධන හා ජේ බී දිසානායක කළ අධ්‍යයනයකින් ඒ පිළිබඳ කරුණු දැනගන්න ලැබුණා.

මාලදිවයිනේ සංඛ්‍යා අපේ පැරණි සංඛ්‍යා මෙන් ම දොළහ පාදක කරගත් එකක්. උදාහරණයකට දහතුන යනු දොළොස්එක. අපේ සංස්කෘතියෙ බොහෝ වැදගත් සංඛ්‍යා, රෝසි සේනානායකට පෙර, දොළහ පදනම් කරගත් ඒවා. දහඅට රියන් බුදු පිළිම වහන්සේලා, සූවිසි විවරණ, තිස්පැය, තුන්තිස් පැය, හැට රියන්, අසූහාර දාහ ආදිය එක්කො දොළහෙ පූර්ණ ගුණාකාර, නැත්නම් එහි අර්ධ ගුණාකාර. අපේ දවසකට සිංහල පැය හැටක් තිබුණ. වරුවකට පැය තිහයි. තුන්තිස් පැය කිව්වෙ දවස් එකහමාරකට. සිංහල පැයක් කියන්නෙ ඉංගිරිසි පැයක් නො වෙයි. අප දැන් සියල්ල පටලවා ගෙන.

අද මාලදිවයින් වැසියන් මුස්ලිම් වෙලා. මා බලා හිටියා මාලදිවයින් ජනාධිපති ආර්යාව බුර්කාවකින් සැරසී එන තෙක්. එතුමිය එහෙම ආවෙ නැහැ. පකිස්තානෙ බංග්ලා දේශයෙ ඉන්න මුස්ලිම් කාන්තාවන් පමණක් නොව හින්දු ඉන්දියාවෙ ඉන්න මුස්ලිම් කාන්තාවනුත් අපේ වගේ බුර්කා අඳින්නෙ නැහැ. මේ රටේ බුර්කා සංස්කෘතිය ආගමික සංස්කෘතියකින් මතු වූ එහෙත් වෙන ම දේශපාලනයක් තියෙන සංස්කෘතියක්.

මා මාලදිවයින් කතාව කිව්වෙ වෙල්ලාලයන් ගැන කියන්න ගිහින්. ඉංගිරිසි සමයෙ වෙල්ලාල ප්‍රභූන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුණා. ඇතැම් සිංහල ප්‍රභූනුත් එහෙමයි. ඔවුන් එකට පෑහෙන්නෙත් ඒකයි. මේ ක්‍රිස්තියානින් පසු කලෙක එක්කෝ බෞද්ධ වුණා නැත්නම් හින්දු වුණා. රාමනාදන් අරණාෂලම් ආදීන්ට ඇත්තේ ක්‍රිස්තියානි සම්භවයක්. ජයවර්ධනලා බණ්ඩාරනායකලා වික්‍රමසිංහලාත් එහෙමයි. සුමන්තිරන් තවමත් මෙතෝදිස්ත. අද සමහරු යළි ඉපදිලා. බෝන් අගේන් වෙලා. ඉංගිරිසින් වෙල්ලාලයන්ට රටේ නායකත්වය දුන්නා. රාමනාදන් එකල මෙරට ඊනියා ලාංකික නායකයා. වෙල්ලාල ප්‍රභූන්ගේ ප්‍රශ්නය වුණෙ පළමුව සීමිත පසුව සර්වජන ඡන්දය සමග ඔවුන්ට ඉංගිරිසින් දුන් නායකත්වය සිංහල ප්‍රභූන් අතට පත්වීම. වෙන ප්‍රශ්නයක් නැහැ. දෙමළ ජාතිවාදය ඉංගිරිසින් ඇති කළ එකක්. ඒකෙ ඉතිහාසය 1833 තෙක් දිවයනවා.

මේ තත්වය හොඳින් නිරුපණය වනවා ක්‍රිකට් ක්‍රීඩාවෙහි. එකල ලංකාවේ ක්‍රිකට් මධ්‍යස්ථානය වූයේ වනාතමුල්ලේ ඕවල් ක්‍රීඩාංගනය. එය ටැමිල් යුනියන් සංගමයේ මුලස්ථානය. අද එය නම් කර ඇත්තේ පී සරවනමුත්තු නමින්. ඒ සරවනමුත්තුගේ මුණුබුරකු වෙනවා පාක්‍යසෝති සරවනමුත්තු. ඔහුටත් සිංහල ප්‍රභූවරුන් සමග මෙන්ම ප්‍රභූවරියන් සමගත් විශේෂ සම්බන්ධකම් තියෙනවා. අද ක්‍රිකට් ක්‍රීඩාවේ මූලස්ථානය එස් එස් සී හෙවත් සිංහල ක්‍රීඩා සමාජය. ක්‍රිකට් ක්‍රීඩාවේ මුලස්ථානය දෙමළ ප්‍රභූන්ගෙන් සිංහලයන් අතට පත් වුණා වගේ දේශපාලනය ද දෙමළ වෙල්ලාලයන්ගෙන් සිංහලයන් අතට පත් වී තිබෙනවා. ඒ කාලෙ ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමෙ සිංහල බෞද්ධයන් හිටියෙ ටිකයි.

ඉංගිරිසින්ගෙ අනුග්‍රහය ලබන වෙල්ලාල ප්‍රභූන්ට නැවතත් රටේ නායකත්වය හිමි නොවේ යැයි ඔවුන් සිතන නිසා ඔවුන් තමන්ට පාලනය කරන්න වෙන ම රටක් ඉල්ලනවා. මේ තමයි දෙමළ ජාතිවාදය. විස්තර දැන ගැනීමට ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කියවන්න.

වෙල්ලාලයන්ට අවශ්‍ය ලංකාව ම බැරි නම් අඩු තරමෙන් උතුරු පළාතේ අනෙක් දෙමළ කතාකරන ජනයා පාලනය කරන්න. ඔවුන් කොහොමටත් ඒ අනෙක් ජනයා පීඩනයට ලක් කළා. ඒ ඉංගිරිසින්ගෙ හා ලන්දේසින්ගෙ සහායෙන්. ඔවුන් පළාත් සභාවලින් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන් පළාත් සභාවලට වෙන් කරන මුදල් වියදම් නොකර දෙමළ කතාකරන ජනයා දුගී බවේ ම තියා ගන්න උත්සාහ කරනවා. ඔවුන් අනෙක් දෙමළ කතාකරන ජනයා සිංහලයන්ට විරුද්ධ ව උසිගැන්වුවා. ඔවුන් හිතනවා එවිට ඒ අනෙක් දෙමළ කතාකරන ජනයා සිංහලයන්ට, ඊනියා සිංහල ආණඩුවට, විරුද්ධ ව සටන් කරාවි කියා. එසේ සටන් කර ඒ ජනතාව තමන් පාලනය කිරීම වෙල්ලාල ප්‍රභූන්ට භාර දේවි කියා. එහෙත් දැන් මෙය තවදුරටත් කර ගෙන යන්න බැරි තැනකට සේන්දු වෙමින් පවතිනවා.

මා දෙරණේ චතුර සමග කතාව බැලුවේ නැහැ. මොන එහෙකට ටෝක් විත් චතුර කියනවද දන්නේ නැහැ. ටෝක් ඔක්කො ම සිංහලෙන්. විශ්වකර්මත් රූහඬ පටයක් නිකුත් කර තිබෙනවා. ඒකත් බැලුවෙ නැහැ. ඒත් මට හිතාගන්න පුළුවන් සමස්තයක් ලෙස ගත් කල ඒ සියල්ලෙන් කියැවෙන දේ. අප තව තවත් උතුරු පළාතේ වෙල්ලාල නොවන දෙමළ කතාකරන ජනයා සමග සෘජු සම්බන්ධකම් ඇති කර ගත යුතුයි.

කාලය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල